ප්‍රචණ්ඩකාරීන් මැයි 09 විනාශ කළේ මගේ මවුපියන් හැදූ නිවෙසයි | සිළුමිණ

ප්‍රචණ්ඩකාරීන් මැයි 09 විනාශ කළේ මගේ මවුපියන් හැදූ නිවෙසයි

මැයි 9 වැනිදා මම හිටියේ කොළඹ. මට පණිවිඩයක් ලැබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධුරයෙන් ඉවත් වෙනවා, එතුමාට සමු දෙන්න අරලියගහ මන්දිරයට එන්න කියලා. එතුමාට ගෞරවනීය සමු දීමක් සඳහා ඒ අවස්ථාවට මම පමණක් සහභාගි වුණාම ඇති කියන අදහස මා තුළ තිබුණා.

මැයි 9 වැනිදා වෙද්දි රටේ තිබුණේ වෙනස්ම තත්ත්වයක්. මගේ දිස්ත්‍රික්කයේ ඉන්න බහුතරය ගොවීන්. ඒ වෙද්දි ඔවුන් පොහොරත් නැතිව ඉන්ධන මිලත් ඉහළ ගිහින් තියෙන වෙලාවක කුඹුරු වැඩ පටන් ගත්තා විතරයි. ඒ නිසා ඒ කිසිම කෙනෙකුට එදා කොළඹට එන්න කියලා මම බලපෑම් කළේ නැහැ. මම එදා අරලියගහ මන්දිරයට ආවේ දවල් 12.30ට විතර. එතකොට ගාලුමුවදොර සිදු වීම සිදු වෙලා ඉවරයි. ඒ සිදු වීම මමත් අනුමත කළ දෙයක් නෙවෙයි. විනාඩි 15-20ක් අරලියගහ මන්දිරයේ ඉඳලා මම එතැනින් පිටත් වුණා." රටම භීතියට පත් කළ මැයි 9 වැනිදා අඳුරු සඳුදාවේ මතක ආවර්ජනය කරමින් එසේ කතාබහට පිවිසියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල ය. වර්තමානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම සිංහල මන්ත්‍රීවරයා මෙන්ම එම දිස්ත්‍රික්කයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා ද වන්නේ ඔහුය. මැයි 9 වැනිදා දහවල අරලියගහ මන්දිරයෙන් ඔහු පිටත් වන්නේ මාදිවෙල මන්ත්‍රී නිවෙස වෙත යෑමටය. එහෙත් මඟ දිගට ඔහු දකින්නේ පෙර නොවූ දසුන්ය.

"මාදිවෙලට එන මඟ දිගටම මම දැක්කේ එක් එක් පාර්ශ්ව කණ්ඩායම් හැදිලා වාහනවලට ගහනවා, ගිනි තියනවා, මිනිස්සුන්ට පහර දෙනවා. මම පුළුවන් ඉක්මනින් මන්ත්‍රී නිවාසයට ආවා. රට පුරා සිදු වන දේවල් දැනගන්න ලැබෙද්දි මම මගේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ සභාපතිවරුන්ට කතා කරලා උපදෙස් දුන්නා මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කරන්න, ප්‍රශ්නවල පැටලෙන්න එපා කියලා. ඒ එක්කම මට ආරංචි වුණ කට්ටියක් කන්තලේ පිහිටි මගේ ගෙදරටත් පහර දෙන්න සැලසුම් කරනවා කියලා. මම එවෙලාවෙම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිතුමාට, සහකාර පොලිස් අධිකාරිතුමාට සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාට දුරකතනයෙන් අමතලා කිව්වා, මෙහෙම ආරංචියක් තියෙනවා, ඒ දේ වෙන්න දෙන්න එපා. අද දවසේ සිදු වෙන සිදු වීම් සම්බන්ධයෙන් මම වැරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි කියලා."

එහෙත් මැයි 9 වැනිදා මෙරට රජ කළේ නීතිය නොව අවනීතිය සහ ප්‍රචණ්ඩත්වයයි. ඒ ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරලගේ නිවෙස ද විනාශ කළේය. 

"ප්‍රචණ්ඩකාරීන් විසින් එදා විනාශ කළ ඒ ගෙදර හැදුවේ මගෙ මවුපියන්. මම පාර්ලිමේන්තුවට ආවට පස්සේ ඒ ගෙදරට මගේ සල්ලිවලින් හුනු, තීන්ත ටිකක්වත් ඒ ගෙදරට ගාලා නැහැ. පාර්ලිමේන්තුවට ඇවිත් ගත වුණු අවුරුදු එක හමාරක කාලය තුළ මම පවුලේ අය එක්ක, කාර්ය මණ්ඩලය එක්ක තියා මගේ මිත්‍රයන් එක්ක විනෝද චාරිකාවක්වත් ගිහින් නැහැ. මගේ බිරිය, දරුවන් ඇතුළු ඥාති පරපුරේ කිසිම කෙනෙක් එකම දවසක් මාදිවෙල මන්ත්‍රී නිවාසයේ ඉඳලා නැහැ. ඔවුන් කිසිවෙක් මගේ මන්ත්‍රී වරප්‍රසාද කිසිවක් භුක්ති විඳලා නැහැ. එහෙම තත්ත්වයක් තුළ මගේ පවුලේ අයට ගෙදර ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වුණා කියන එක මගේ හිතට විශාල කනගාටුවක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම සිංහල මන්ත්‍රීවරයා වගේම ත්‍රිකුණාමල දිස්තික්කයේ ආණ්ඩුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා විදිහට සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ජාති භේදයක් නැතිව මගේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ට අයත් හැම ගමක් පාසාම ගිහින් මගේ කාලය, ශ්‍රමය වැය කරමින් උපරිමයෙන් වැඩ කරපු කෙනෙක්. විශේෂයෙන් කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරෙමින් තිබුණු කාලයේ අපේ දිස්ත්‍රික්කයට ඇමතිවරයෙක්, රාජ්‍ය ඇමතිවරයෙක් තියා මන්ත්‍රී වරයෙක්වත් නැති තත්ත්වයක් තුළ මම තනිවම මට ඡන්දය දුන් නොදුන් හැම කෙනක් වෙනුවෙන්ම වැඩ කළා.

මම කාගෙන්වත් කොමිස්, අල්ලස් අරගෙන නැහැ. හොරකම් කරලා නැහැ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදිහට මට පාවිච්චි කරන්න දීලා තියෙන වාහනේ දැන් අරගත්තොත් මට යන්න වෙන්නේ බස් එකේ. මගේ ලොකු පුතා මේ අවුරුද්දේ ඒ ලෙවල් විභාගයට පෙනී සිටිනවා. පොඩි පුතාට අවුරුදු 15යි. චූටි පුතාට අවුරුදු එකහමාරයි. ගෙදරට පහර දෙන්න එනවා කියලා කිව්වම මගේ ලොකු පුතා අත්‍යවශ්‍ය ලිපිලේඛන, එයාගෙයි මල්ලිගෙයි පාසල් පොත්, පාසල් නිල ඇඳුම් බෑග්වලට දාගෙන අක්කගෙ ගෙදරට ගිහින් තිබුණ නිසා ඒ දේවල් බේරුණා. මගේ පුතා කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ ගණිත අංශයෙන් උසස්පෙළ කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා කියලා මට මන්ත්‍රී වරප්‍රසාදවලින් මගේ දරුවා කොළඹ පාසලකට ඇතුළත් කරගන්න වුවමනා වුණේ නැහැ. මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලුවේ පුළුවන් නම් දිස්ත්‍රික්කයේම දරුවන් වෙනුවෙන් ඒ පාසල දියුණු කරලා දෙන්න කියලයි. එතුමා සංවර්ධන වැඩසටහනක් දියත් කළත් කොවිඩ් වංසගතය නිසා ඒ කටයුතු නැවතුනා.

දරුවා ගමේ පාසලේ තියලා මට ඕන වුණේ මේ පාසල හොඳයි, ඔබේ දරුවෝ එවන්න කියන පණිවිඩය අනිත් රාජ්‍ය සේවකයන්ටත් දෙන්නයි. මගේ ගෙදරට පහර දෙන්න ආව පිරිස අතර හැම පක්ෂයකම අය ඉඳලා තියෙනවා. ඔවුන් ඒක කළේ රැල්ලට. මම වගේ පොඩි මිනිහෙකුගේ ගෙදරට ගහන්න තරම් මනසින් පහළට වැටුණේ විවිධ හේතු නිසා ඔවුන් මානසිකව බොහොම පහළට ඇද වැටුණු පුද්ගලයන් වීම නිසයි. ඔවුන්ගේ හිත්වල තිබුණු පීඩනය මුදා හැරියේ ගෙවල් කඩලා ගිනිබත් කරලා මහා විනාශයක් කරලා. ඔවුන් ගැන අද මගේ හිතේ තියෙන්නේ අනුකම්පාවක්. වෛරය සාංසාරික පුරුද්දක් කරගන්න මම කැමති නැහැ. නමුත් එවැනි සිදුවීම් නැවත මේ රටේ සිදු නොවිය යුතුයි."

කපිල අතුකෝරල එසේ පැවසුවේ සිය ජීවිත කාලය පුරා අත්විඳි විවිධාකාර සිදුවීම් තුළින් ලැබූ අත්දැකීම් පන්නරයක් කර ගනිමිනි. ඔහුගේ පියා මෙත්තසේන අතුකෝරල ඉඩම් නිලධාරියෙකි. මව මාලනී ගුණවර්ධන පවුල් සෞඛ්‍ය නිලධාරිනියකි. අක්කා සහ නංගි කෙනෙකුට මැදිව පවුලේ එකම පිරිමි දරුවා ලෙස කන්තලේදී උපන් ඔහු හෝඩි පොත කියවන්නේ ' සීතා ටීචර්ගේ' මොන්ටිසෝරියෙනි. කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ඇරඹූ කපිලට පාසල් කිහිපයකම ඉගෙන ගන්නට සිදු වන්නේ රජයේ සේවකයන් වූ මවුපියන්ට ලැබුණු ස්ථාන මාරු මෙන්ම එකල රට පුරා ඇවිළුණු යුද ගිනි නිසාය. "මට මතක විදිහට එතකොට මම තුනේ පන්තියේ හිටියේ. දෙහිවත්ත සහ නීලපොළට පළමු වැනි එල්.ටී.ටී.ඊ ප්‍රහාරය එල්ල වීම නිසා උන්හිටි තැන් අහිමි වුණු මිනිස්සු පදිංචි කළේ අග්‍ර බෝධි විද්‍යාලයේ නිසා පාසල වැහුණා. ඒ නිසා කාලයක් මම නුවර කුඩා පාසල් කිහිපයක ඉගෙන ගත්තා. ඔහොම කාලයක් යද්දි අම්මාට ගම්පහට මාරුවක් ලැබුණු නිසා කාලයක් මම නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙත් ඉගෙන ගත්තා. කොහොම වුණත් සාපෙළ විභාගය ලියලා කෘෂි විද්‍යා අංශයෙන් මම උසස් පෙළ විභාගය ලිව්වෙත් කන්තලේ අග්‍ර බෝධි විද්‍යාලයෙන්.

මගේ අම්මා වින්නඹු මාතාවක්. ඒ කාලේ ගමට විදුලිය තියා රෝහලක්වත් නැහැ. ගමේ ගැබ්බර අම්මලා දරුවා බිහිකරන්න සූදානම් වුණාම අම්මා මහ රෑ පවා පාපැදියෙන් ගිහින් රාජකාරිය ඉෂ්ට කරනවා. අද ගමේ ඉන්න ගොඩක් දරුවන්ට එයාලගේ අම්මලා අපේ අම්මා පෙන්නලා කියන්නේ "මේ තමයි උඹේ පළවැනි අම්මා" කියලා.

මගේ තාත්තා 1996 ජුනි 18 වැනිදා මිය ගියේ සේරුවිල ප්‍රදේශයේ රාජකාරී කටයුත්තකට යන අතරෙදි එල්.ටී.ටී.ඊයෙන් වෙඩි තියලා. තාත්තා මිය යද්දි ඔහු ගත්ත නිවාස ණයෙන් රුපියල් තිස් දාහක් ගෙවන්න ඉතිරි වෙලා තිබුණා. ඒ ණය ගෙව්වේ අම්මගේ වැටුපෙන්. එහෙම දුක් මහන්සියෙන් මගේ මවුපියෝ හදපු ගේ තමයි විනාශ කළේ."

ඒ අත්දැකීම ඔහුගේ සිතට ගෙන දෙන්නේ සන්තාපයක් වුවද දේශපාලනය හා බැඳුණු ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල දේශපාලනයට පිවිසි අතීතය සිහි කළේ එකී සිදුවීම ද සිහිපත් කරමිනි.

"මගේ දේශපාලන ජීවිතයේ ගුරුතුමා මගෙ අම්මගේ වැඩිමහල් සහෝදරයා වන එම්.කේ. ඩී. එස් ගුණවර්ධන මැතිතුමා. මගේ දේශපාලන ජීවිතයට ආභාසය ලැබුණේ එතුමගෙන්. 1989දී එතුමගේ ගෙදරට තැබූ වෙඩි තැබීමකින් අපේ ගෙදර සිටි තුන් දෙනෙක් ඝාතනය වුණා. දිස්ත්‍රික්කයටම හිටපු එකම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා වගේම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ගිය එකම පුද්ගලයා විදිහට එතුමා ගමක් ගානේ ඇවිදිමින් දුප්පත් මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කළා. 2020 මැතිවරණයෙන් මම ජය ගත්තේ එතෙක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිසිම සිංහල මන්ත්‍රීවරයෙක් නොගත් වැඩිම මනාප සංඛ්‍යාව විදිහට මනාප 31,000ක් අරගෙනයි. "

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු ජනතාවට ඉහළින් සිටින අයකු නොව ජනතාව වෙනුවෙන් විශාල වගකීමකට බැඳි සිටින අයකු බව කපිල අතුකෝරලගේ අදහසයි.

" මම වගේ දුප්පත් මිනිහෙක් පාර්ලිමේන්තුවට එනවා කියන්නෙ ඉතා විරල සිදුවීමක්. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ජනතාව මාව පාර්ලිමේන්තුවට එව්වේ සුසන්ත පුංචිනිලමේ වගේ ධනවත්, බලවත් ඇමති කෙනෙක් පරාද කරලයි. ඒ ඔවුන් වෙනුවෙන් බොහෝ දේවල් කරයි කියන බලාපොරොත්තුවෙන්. ජනතාව මට අවුරුදු පහකට බලය දීලා තියෙනවා. ඒ නිසා මට වගකීමක් තියෙනවා ඒ කාලය තුළ පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ හඬ මතු කරන්න. මට යුතුකමක් නැහැ ඒ වගකීම පැහැර හරින්න. නමුත් මාව අවශ්‍ය නැත්නම් ඊළඟ මැතිවරණයේදී ජනතාවට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්. මම ඒ අයිතියට ගරු කරනවා."

පවතින බොහෝ අර්බුදවලට හේතුව ජනතාව අතර දේශපාලන සාක්ෂරතාව ඉතා අඩු මට්ටමක පැවතීම බව ඔහුගේ අදහසයි.

" රටේ පරිහානියට හේතුව නායකයෝ, රාජ්‍ය සේවකයෝ සහ ජනතාව අතර තිබෙන අනවබෝධය සහ හිතලා බලලා කටයුතු නොකිරීමේ අඩුපාඩුවයි. අපි හැමෝම තමන් ගැන විතරක්ම හිතනවට වැඩිය අනුන් ගැන කල්පනා කරලා වැඩ කරන සමාජයක් ගොඩ නඟන්න දායක වෙනවා නම් මේ රට ගොඩක් සුන්දර වේවි."

අවසාන වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල කී එවදන් තුළ සියලු දෙනාට ජීවිතයට එක්කර ගත හැකි අපූරු දැක්මක් ගැබ්ව ඇත.

Comments