හිතේ හයියෙන් ක්‍රිකට් පිටියත් ජීවිතයත් දිනූ දිරිය යුවතිය | Page 2 | සිළුමිණ

හිතේ හයියෙන් ක්‍රිකට් පිටියත් ජීවිතයත් දිනූ දිරිය යුවතිය

දා මෙදා තුර ප්‍රචණ්ඩත්වය විසින් බිලි ගත් ජීවිත බොහෝය. ඒ අතර මවුපියන් අහිමි වූ දරුවන් මෙන්ම දරුවන් අහිමි වූ මවුපියන් ද වේ. මෙවර අපේ කතානායිකාව වන දියණියට ද සිය ආදරණීය පියා අහිමි වූයේ එක්තරා අඳුරු සමයක මෙරට වෙළාගත් ප්‍රචණ්ඩත්වය හේතුවෙනි. පියාගේ අහිමි වීමත් සමඟ පිරිමි හයියක් නොමැතිව අසරණ වූ පවුලේ ගැහැනුන් මහ පොළොව සේ සියල්ල දරාගෙන ජීවිතය සමඟ ඔට්ටු වන්නට විය. පිරිමියකු මෙන් පිත්ත හා පන්දුව සමඟ ජීවිතය සමඟ ඔට්ටු අල්ලන දිරිය යුවතියක වන ඇය ඉනෝකා රණවීර ය. ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ හැට්‍රික් එකක් ලබා ගත් එකම ක්‍රීඩිකාව වන්නේ ඇයයි. එමෙන්ම හැට්‍රික් එකක් ලබා ගත් ලොව අට වැනි ක්‍රීඩිකාව බවට පත් වන්නට ද ඉනෝකා වාසනාවන්ත වූවාය. 

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ වේරගොඩ විජයබා විද්‍යාලයෙන්. උසස් පෙළ කරන්න අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී විද්‍යාලයට ඇතුළත් වුණා. මගේ අම්මා ඩල්සි ඩයස්, මගේ අක්කා ඩයනා රණවීර. මගේ තාත්තා මිය යද්දි මගේ වයස අවුරුදු දෙක හාමාරක් කියලා අම්මා කියලා තියෙනවා. ඇත්තටම කිවුවොත් මම තාත්තව දැකලා තියෙන්නේ ‍ෆොටෝවලින් විතරයි. තාත්තගේ ඡායාවක්වත් මට මතක නැහැ. තාත්තා නැතිවුණාට පස්සේ මාවයි අක්කවයි බලාගෙන, අපේ සියලු වගකීම් ඉටු කරලා තියෙන්නේ ලොකු අම්මා නන්දනී ඩයස් හා පුංචි එඩී ඩයස් කියන දෙන්නා. ඒ දෙන්නටත් දරුවෝ ඉන්නවා. එයාලගේ සැමියන් ජීවතුන් අතර නැහැ. මගේ අම්මා විදෙස් රැකියාවක් කරලා තමයි අපිව ජීවත් කළේ. ඒ කාලේ අපි පුදුම දුෂ්කර කාලයක් ගත කළේ. අපේ පවුලේ පිරිමියෙකුට කියලා හිටියේ ලොකු අම්මගේ පුතා විතරයි. පුංචි නිතරම කිවුවේ, පිරිමි නැති ගෙදර පිරිමි අපි තමයි, ඒ නිසා අපේ වැඩ පිළිවෙළකට තනියම කරගන්න පුරුදු වෙන්න, ශක්තිමත් වෙන්න ඕනේ, සමාජයෙන් කතා අහන්නේ නැතුව ලස්සනට ජීවත් වෙන්න ඕනේ කියලයි. මගේ පුංචි ගුරුවරියක්. ඒ නිසා එයාට ඕනේ වුණේ මාවත් ගුරුවරියක් කරන්නයි. අධ්‍යාපන වැඩ හොඳින් කරන්න කියලා නිතරම කියනවා.”

පුංචිගේ පැතුම ඉටු කරන්නට සිතේ ආශාවක් තිබුණද ඉනෝකා ඉගෙන ගත් පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට අවස්ථාවක් නොවීය. එවැනි පසුබිමක් තුළ ක්‍රිකට් ක්‍රීඩිකාවක වූයේ කෙසේ දැයි ඇසූ පැනයට ඇය දුන්නේ අපූරු පිළිතුරකි.

“මම ඉගෙන ගත්ත පාසල් දෙකේම ක්‍රිකට් තිබුණේ නැහැ. ඒ නිසා මම නෙට්බෝල් සහ වොලිබෝල් ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩා දෙකෙන්ම සමස්ත ලංකා මට්ටමින් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වුණාට ලොකු අම්මගේ පුතා එක්ක පොඩි කාලේ ඉඳලා හාඩ් බෝල් ක්‍රීඩා කරපු නිසා හිත තිබ්බේ ක්‍රිකට් ගහන්නයි. පුංචි දන්න ක්‍රිකට් ගහන කෙනෙක් හිටියා. මට උදවු කරන්න කියලා පුංචිට කිවුවට එයා කැමති වුණේ නැහැ මම සෙල්ලම් කරනවට. ස්පෝට්ස් කරන්න එපා ඉගෙන ගෙන ඉන්න කියලයි කිවුවේ. පස්සේ මගේ තාත්තාගේ දුරින් නෑදෑ වෙන, කලින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ චන්දිමා ගුණරත්න අක්කා මට උදවු කළා. ඒ වගේම පාසලේ නෙට්බෝල් පුහුණුවීම් කරපු නදිකා අක්කත් උදවු කළා. ඒ උදවුවෙන් තමයි මම මුලින්ම සදර්න් ලේඩීස් ක්‍රීඩා සමාජයට ක්‍රිකට් ගහන්නේ. ඒ, 2010දී. මම ක්‍රිකට් පටන් ගත්තේ අනිත් ක්‍රීඩිකාවන් වගේ පාසල් කාලෙදි නෙමෙයි, මට වයස අවුරුදු 21න්. දැන් වයස 36ක් වෙනවා. මේක කැපවීම මත ආපු ගමනක්.”

විනය හා ගුණගුරුක බව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආභරණයකි. පවුලෙන් ලැබුණු විනයගරුක බව හා ගුණගරුක බව ඉනෝකා රණවීර වඩාත් ඔප මට්ටම් කර ගන්නේ ත්‍රිවිධ හමුදාවට බැඳීමෙන් පසුවය. ඇය නාවික හමුදා නිලධාරිනියකි. ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීම සඳහා නාවික හමුදාවෙන් ඉනෝකාට විශාල සහායක් ලැබෙන බව ද මතක් කිරීමට ඇය අමතක නොකළාය.

“මම නාවික හමුදාවට බැඳුණේ 2011 අවුරුද්දෙදි. ඒක අහම්බයක් කිවුවොත් හරි. තේරීම් කමිටුවේ හිටියා ජයන්ත අමරසිංහ කියලා සර් කෙනෙක්. එතුමා තමයි කිවුවේ නාවික හමුදාවට ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ තමයි සංවර්ධිත කණ්ඩායමට ක්‍රීඩා කළේ. ජාතික කණ්ඩායමට එන්න අවස්ථාව උදා වෙන්නෙත් ඒ දක්ෂතා නිසයි. 2012 අවුරුද්දේ මම හීන දැක්කා ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන්. මුලින්ම ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කණ්ඩායම සමඟයි. එදා හරියට සෙල්ලම් කරන්න බැරිවුණා. මම දැම්ම ඕවර හයට ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් ලකුණු 36ක් ගැහුවා. ඊට පස්සේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග බොහෝමයක් ක්‍රීඩා කළා. ආබාධවලට ලක් වීම නිසා තරග අහිමි වෙලා තියෙනවා . නමුත් කවදාවත් මම මානසිකව වැටිලා නැහැ. හැමදාම හිතේ හයිය තිබ්බා වැටෙන වාරයක් ගානේ නැඟිටින්න. ඒ හයිය ආවේ ගෙදරින්. පිරිමි නැතුව හැදුණු ගෙදර පරිසරයෙන්. ඒ නිසා පවුලේ අයට මම ස්තුති කරනවා. මේ ගමනට උදවු කළ සියලු දෙනා වගේම ජාතික කණ්ඩායමේ මගේ ආදරණීය ක්‍රීඩිකාවන්ගේ උදවු ලොකු හයියක් වුණා කියන්න ඕන. ඒ වගේම චන්දිමා අක්කා නොහිටියා නම් අද ඉනෝකා රණවීර කියලා කෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නොහිටින්න තිබුණා. මම කොළඹ ඇවිත් හිටියෙත් චන්දිමා අක්කගේ ගෙදරක. ඒ පවුලේ අයත් මට හරියට උදවු කළා.” 

ඉනෝකා පැවසුවේ කෘතවේදීවය. දුක්ඛිත අතීතය තුළින් ඇය වර්තමාන හා අනාගතය දුටුවාය. තමාට කොළඹ නිවෙසක් ඉදිකර ගැනීමට අවස්ථාව තිබියදී ඇය කළේ සිය පාසලේ නැති බැරි අන්ධ සහෝදරියකට නිවෙසක් තනා දීමය. උපයන හැම මුදලකින්ම යම් කිසි කොටසක් ඉනෝකා නැති බැරි අයට සැලකීමට වෙන් කරන්නීය.

“මම මුලින්ම බස් එකේ ගමන් බිමන් ගියේ. ඊට පස්සේ බයික් එකක් ගත්තා. දැන් ඒකත් නැහැ. මට කොළඹ ඉඩමක් තියෙනවා. ඒත් ගේ හදලා නැහැ. මම මට ලැබෙන හැම මුදලකින්ම කොටසක් නැති බැරි අයට වෙන් කරනවා. මගේ අම්මා කාපු කට්ට මට හොඳට මතකයි. ඒ නිසා මම අපේ ඉස්කෝලේ ඉගෙන ගත්ත අන්ධ නංගි කෙනෙකුට ගෙයක් හදලා දුන්නා. නැති බැරි අයට බෙහෙත් අරන් දෙනවා. ආබාධිත අයට රෝද පුටු අරන් දුන්නා. ගෙදරින් මට කියනවා දැන් ඔයාටත් දෙයක් කර ගන්න කියලා. අම්මටයි අක්කටයි ජීවත් වෙන්න හැම දේම මම කරනවා. ඒත් මගේ සතුට තව කෙනකුට උදවු කරන එකයි. නාවික හමුදාවෙන් මට ගෙවීමක් කරනවා. ඊට අමතරව ක්‍රිකට්වලින් යම්කිසි මුදලක් ලැබෙනවා. ඒ මුදලින් මම මට පුළුවන් විදිහට මිනිසුන්ට උදවු කරනවා.”

ඊට කදිම උදාහරණය නම් ඉනෝකා වරක් ඇයට හිමි වූ තරගයේ වීරයා සම්මානය කණ්ඩායමේ සාමාජිකාවකට පිරිනැමීමය. තමන්ට ලැබුණු වටිනා දෙයක් එලෙස අතහරින්නේ එහෙමත් කෙනෙකි. එහෙත් ඉනෝකා ඒ පිනට ද සම්මාදම් වූවාය.

“මම ඒ දේ කළේ හිතට එකඟවමයි. එදා අන්තිම ඕවරය දැම්මේ අචිනි කුලසූරිය, මම කොයිතරම් හොඳට සෙල්ලම් කළත් අන්තිම ඕවරය එදා හරියට නොදැම්මා නම් මෑන් ඔෆ් ද මැච් වෙන්න මම නෙවෙයි, ප්‍රතිවාදී කණ්ඩායමේ කෙනෙක්. ඒ අවසන් ඕවරය තමයි දිනුමට හේතුවක් වුණේ. ඒ නිසා හෂිනි පෙරේරා මගේ ළඟට ඇවිත් කිවුවා අචිනිට මෙන්ෂන් කරන්න කියලා. මට ඕන වුණේ නැහැ එයාව මෙන්ෂන් කරලා පාඩුවේ ඉන්න. ජයග්‍රහණයට ඇයත් එක හේතුවක් වූ නිසා ඇයව මෙන්ෂන් කරනවා වෙනුවට මම අචිනිට එන්න කියලා මට ලැබුණු සම්මානය ඇයට පිරිනැමුවා. ඇය මට පසුව මැසේජ් එකක් එවලා තිබුණා අක්කේ ඔයා මගේ හීනය ඉටු කළාට බොහොම ස්තුතියි කියලා. බොහොම අමාරු කාලයක් මමත් පසු කරලා තියෙන නිසා ඕනෑම කෙනකුට මමත් හැකි අයුරින් උදවු කරනවා. ඒක මම ජීවිතේට පුරුද්දක් කරගෙනයි තියෙන්නෙ.”

ඉනෝකා යනු ආදරය වෙනුවෙන් ද උතුම් පරිත්‍යාගයක් කළ යුවතියකි. ඒ ප්‍රේමය ගැන ඇය මෙසේ කීවාය. 

“මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගන්නේ පාසල් කාලයෙදි. එයත් මමත් එක පාසලේ සම වයස්වල. අපි ආදරේ කළා අවුරුදු 15ක්. ඔහු මාව හොඳින් තේරුම් ගත් ආදරණීය කෙනෙක්. අපේ ගෙදර පිරිමි අය නොහිටිය නිසාත් තාත්තගේ ආදරේ විඳලා නොතිබ්බ නිසාත් එයාගේ ආදරේ මට ගොඩාක් හොඳින් දැනුණා. නමුත් අවුරුදු 15ක ඒ ආදරේට සමු දෙන්න වුණේ මගේ‍ ගෙදරින් ඒ සම්බන්ධයට අකමැති වුණු නිසයි. ඒ නිසා අපහසුවෙන් වුණත් අපි වෙන් වුණා. ඔහු 2017දී විවාහ වුණා. මම තනිකඩව ඉන්නවා. අදටත් එයා මගේ විශේෂ දවස්වලට කතා කරලා සුබ පතනවා. එයාගේ වයිෆ් මාව දන්නවා. නමුත් අපි අතර වෙන කිසිම සම්බන්ධයක් නැහැ. අපි ආදරේ කළා. ඒ කතාව අවසන් වුණා. එයා දැන් පවුල් ජීවිතයක් ගත කරනවා. මම ඒ ජීවිතේට හදවතින්ම සුබ පතනවා.”

යළි ප්‍රේමයක් ගැන නොසිතන්නේ ඒ විරහව නිසා දැයි ඇසූ විට ඉනෝකා පැවසුවේ, “මම විවාහ ජීවිතේ ගැන නොහිතන්න ඒකත් එක හේතුවක් තමයි. අනිත් එක අපි අඳින පලඳින විදිහට අපේ පෙනුම වෙනස් නිසාත් නිතරම පිරිමි ළමයින්ගේ ආශ්‍රයක් නැති නිසාත් එහෙම ලොකුවට ආදර යෝජනා එන්නේ නැහැ. ෆේස්බුක් එකෙන් චැට් කළොත් තමයි. ඒත් එහෙම ආදරේ කරන්න බැහැනෙ. ආදරේ කරන කෙනාව හදවතට දැනෙන්න ඕන. අපි වගේ අයව තේරුම් ගන්න ඕනේ. මෙච්චර කාලයක් මම නිහඬව හිටියේ කලින් ආදරේ නැති වුණු නිසා තමයි. ඒත් මේ දවස්වල ෆේස්බුක් එකෙන් හඳුන ගත්ත කෙනෙක් එක්ක කතා බහ කරනවා.. නමුත් තවම ආදරේ කරන්න හිතලා නැහැ. ගෙදරින් ඒ ගැන දන්නෙත් නැහැ. ආදරයට හා විවාහයට එන විදිහට මුහුණ දෙනවා..” කියාය.

2012 වසරේ අප්‍රේල් මාසයේදී වමත් පිතිකාරිනියක් හා පන්දු යවන්නියක් ලෙස ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක් වූ ඉනෝකා රණවීර පන්දු වාර විස්සයි විස්ස මෙන්ම එක් දින තරග පිටිය ද ඇයගේ දක්ෂතාවෙන් වර්ණවත් කළාය. විටින් විට ජාතික කණ්ඩායමට එක් වෙමින් දක්ෂතා දක්වන ඇය කතාබහ අවසන් කළේ මේ දක්වා පැමිණි ගමනට උදවු කළ සියලු ආදරයෙන් මතක් කරන බව පවසමිනි.

Comments