කෘතිය - ඇසිදිසි මාධ්‍ය චාරිකාව
කර්තෘ - රොස්මන්ඩ් සේනාරත්න
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශනයකි
මිල- රුපියල් 1,500/=
පිටු ගණන- 171
විමසීම්- 0777 273 777
1979 මාර්තු 13, එදාය ඒ දවස. එතෙක් ලංකාවේ විද්‍යත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පැතිරුණු හිමිකමක් අත්කර ගෙන සිටි ගුවන්විදුලි මාධ්‍යයට මුහුණලා නව රූප මාධ්‍යයක් බිහි වූයේ එදාය. ඒ රූපවාහිනි මාධ්‍යයයි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එසේ සංස්ථාවක් බවට පත් වන්නේ 1967 දීය. එතෙක් එය රේඩියෝ සිලොන් නමින් පැවතුණේය. මෙරට ප්‍රථම රූපවාහිනී විකාශනාගාරයක් ආරම්භ වූයේ පන්නිපිටියේ මහල්වරාව නම් ප්‍රදේශයේදීය. ඉංජිනේරු ශාන් වික්‍රමසිංහ සහ ව්‍යාපාරික අනිල් විජේවර්ධන එක්ව ආරම්භ කළ එම සේවය කොළඹ අවට ප්‍රදේශ ආවරණය කරමින් මහත් ප්‍රේක්ෂක වර්ධනයක් දිනා ගනිමින් තිබුණි. එහෙත් මාස දෙක තුනක් ගෙවී ගිය තැන හටගත් අභ්‍යන්තර අර්බුදයක් හේතු කොට ගෙන එම සේවය නතර කෙරුණි. 'ඇසිදිසි මාධ්‍ය චාරිකාව' නමින් ප්‍රවීණ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්න ඉදිරිපත් කරන මෙම කරුණු වෙනත් මූලාශ්‍රවලින් ලබා ගත් ඒවා නොවේ. ඒවා ඔහුගේ අත්දැකීම් ලෙසින් උපයා සපයා ගත් තොරතුරු බව අමතක නොකළ යුතුය.
රොස්මන්ඩ් මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පුහුණු වන කාර්මික නිලධාරියකු ලෙසින් රේඩියෝ සිලෝන් එකටය. ඒ 1966 දීය. ඔහුගේ මාධ්‍ය චාරිකාව ආරම්භ වන්නේ එතැන් සිටය. එසේ ගත් කල මේ කෘතිය අපට පවසන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතය ගැන පමණක්ම නොවේ. මන්ද යත් වෘත්තීය මාධ්‍යවේදියකු වශයෙන් ඔහු විසූ එම කාලය තුළ මෙරට ඇසිදිසි මාධ්‍ය ගලා ගිය ආකාරය ද ඊටම ඇතුළත්ව ඇති හෙයිනි.
ඉහත සඳහන් වූ ආකාරයට මුල්ම ටෙලිවිෂන් සේවය මාස දෙක තුනකින් වැසී ගියද පසුව අයි. ටී. එන්. හා ජාතික රූපවාහිනිය ලෙසින් ගොඩ නැඟෙන මෙම සේවාවට රොස්මන්ඩ් සේනාරත්න ද සම්බන්ධ විය. ඒ අනුව පළමු රූපවාහිනි සජීවි විස්තර කථනයේ සිට 1981දී ප්‍රථම වරට මැදිරියකින් බැහැරව නිෂ්පාදනය කළ රූපවාහිනි සංගීත වැඩසටහන ජාතික රූපවාහිනියේ ප්‍රථම සජීවි බාහිර විකාශනය යනාදී තොරතුරු ඔහු පවසන්නේ සිය අත්දැකීම් වශයෙන් වුවත් ඒවා මෙරට රූපවාහිනි ඉතිහාසය තුළ අප දැනසිටිය යුතු කරුණු බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
“රූපවාහිනි මූලාරම්භයේ සිට අප ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ විකාශනයට විනාඩි 45කට පමණ පෙර පටිගත කොට එම වීඩියෝ පටය රාත්‍රී අටට ධාවනය කිරීමෙන්ය.” රොස්මන්ඩ් සේනාරත්නගේ ඉහත අත්දැකීම අපට තවත් කරුණක් සිහිපත් කරයි. රූපවාහිනිය මෙරටට ආ ඒ මුල් කාලයේදී ජනතාව එය නැරඹුවේ එය රූප පෙට්ටියක්ය යන තැන සිටය. එනිසා එම ප්‍රවෘත්තිය පරණ හෝ අලුත් එකක් වීම ඔවුන්ට වැදගත් නොවීය. ඔවුන්ගේ ආශාව වූයේ එය රූපයෙන් දැක ගැනීමය. කෙසේ වෙතත් මාධ්‍ය භාවිතාවක් හැටියට ප්‍රවෘත්ති සජීවීව ඉදිරිපත් කිරීමේ වැදගත්කම සභාපතිවරයාට පැහැදිලි කර දීමට තමන් ඉදිරිපත් වූ බව කතුවරයා පවසයි. මේ දැන් අපට ලැබුණ පුවතක් යනුවෙන් අලුත්ම ප්‍රවෘත්තියක් පවා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ එවිටය යනුවෙන් ද තවදුරටත් පෙන්වා දීමට ඔහු කටයුතු කොට තිබේ. කෙසේ වෙතත් රොස්මන්ඩ්ගේ පෙන්වා දීමට අනුව රූපවාහිනි සජීවී ප්‍රවෘත්ති ප්‍රකාශය 1982 දෙසැම්බර් මස හත් වැනි දින රාත්‍රී අටට ප්‍රචාරය වී ඇත. එය ඉදිරිපත් කළේ රොස්මන්ඩ් සේනාරත්න වන ඔහුමය. එදින ප්‍රවෘත්ති නිෂ්පාදනය කළේ නිෂ්පාදිකා ශ්‍රීමා අධිකාරීය.
කෘතියක් වශයෙන් ගත් කල මෙහි එන තොරතුරු රොස්මන්ඩ් සේනාරත්න නම් මාධ්‍යවේදී චරිතයේ සජීවී අත්දැකීම් සැකෙවින් දැක්වීමක් ලෙසින් පෙනී යා හැකි නමුත් එම කාලය තුළ ඇසිදිසි මාධ්‍යයේ හැසිරීම පිළිබඳ ද තොරතුරු එක් රැස්කර ගැනීමක් හැටියට ඒ ගැන පෙන්වා දීම සුදුසු යැයි සිතමි.
සපත්තු දිලිහෙනවා මිනිස්සු පිරිහෙනවා
කෘතිය - සරණාගතයින්ගේ දුම්රිය
කර්තෘ - ඩී. එම්. ටී. බී. දසනායක
ප්‍රකාශනය- ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයකි
මිල- රුපියල් 700/= පිටු ගණන- 176
විමසීම්- 0112 682 223
අවසාන සිංහලයාගේ පරාජය දක්වා තම දේශපාලන ජයග්‍රහණ අත්කර ගැනීමේ අරමුණු මත ගොඩ නැඟුණු දෙමළ වාර්ගික දේශපාලනයත් ඊට ප්‍රතිපාක්ෂිකව නිර්මාණය වුණු සිංහල අන්තවාදී දේශපාලනයත් නිදහසින් පසු ලංකාවේ ජාතික සංවර්ධනය අඩාළ කළ බරපතළම සමාජ දේශපාලන අර්බුදයකි. සරණාගතයින්ගේ දුම්රිය නමින් ලියවී ඇති කතාව පසුබිම් කරගෙන ඇත්තේ එම උමතු දේශපාලන හැඟීම් තිරශ්චීන මානව සංහාරය නිර්මාණය කළ සැටිය. මේ, මානව විරෝධී ප්‍රචණ්ඩත්වය කොතරම් දුරට සමාජ සාමයික පැවැත්මට බාධාවක් වී ඇත්ද යන්න ද ඒත් සමඟම නිරූපණය වේ.
කතුවරයාගේ පළමු කෙටිකතා සංග්‍රහය වන මෙම කෘතිය තවත් බොහෝ අත්දැකීම් ප්‍රකාශ කරන කෙටි කතාවලින් සමන්විතය. තමන් විසින් වරින් වර ලියන ලද කෙටිකතා එකතුවක් හැටියට මේ ගැන සඳහන් කරන ඔහු එහි එන චරිත “හුදෙක් මනංකල්පිතයන් වන නමුත් මානව සම්බන්ධතා නිරූපණය කරන ලෙස සැලකීමට ද හැකිය.” යනුවෙන් පවසා ඇත. කතුවරයා එසේ පවසා ඇති අන්දමට මෙහි එන බොහෝමයක් චරිත තම වුවමනාව වෙනුවෙන් එම සමාජ අත්දැකීම් කියා පෑමට නිර්මාණය කළ මනංකල්පිත චරිත වශයෙන් දැකිය හැකිය. උදාහරණයක් ලෙස සරණාගතයින්ගේ දුම්රිය නම් කතාවේ එන පිරිසිදු දෙමළ ලේ ඉල්ලා සිටින සිවගණනාදන් අයියර් නම් පුසාරිගේ චරිතයෙන් මතු වන හැඩි දැඩි හැසිරීම පෙන්වා දිය හැකිය. ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් කොන්දේසි විරහිතව ඉල්ලා සිටි පිරිසුදු ජර්මන් ලේ සහිත ආර්යවාදය ද මෙහිදී අපට සිහිපත් වේ. මතුපිටින් පෙනී යන එවැනි සමානකම් බොහෝ වාර්ගික උමතු දේශපාලන ව්‍යාපාර තුළ දැකිය හැකි වුණත් ඊට අදාළව පොදු සමාජ ගත අත්දැකීම් ගැන විමසන විට මිනිසුන් සැමවිටම ඒ වියරුවාදී හැඟීම් වෙනුවෙන්ම පෙනී සිටියේ යැයි පිළිගැනීමට අපට පුළුවන්කමක් නැත. ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම අවසානයේදී රට දෙකඩ කළ ආකාරය ඉතිහාසය පෙන්වා දෙයි. එහිදී එතෙක් එක්ව වාසය කළ මුස්ලිම් ජාතිකයන් පකිස්ථානයටත්, හින්දු ජාතිකයන් ඉන්දියානු කලාපයටත් පොදුවේ ප්‍රවාහනය කෙරුණේ දුම්රියෙනි. මෙම දේශපාලන සංසිද්ධිය පාදක කොටගෙන කුෂ්වන්ත් සිං විසින් ලියන ලද “ට්රේන් ටු පකිස්ථාන්” (කුලසේන ෆොන්සේකා “අවසාන දුම්රිය ” නමින් සිංහලට පරිවර්තනය කරන්නේ එම කෘතියයි.) නම් කෘතිය ඉතා සියුම් චරිත නිරූපණ හරහා අපට පෙන්වා දෙන්නේ මුලින් කී වාර්ගික ප්‍රචණ්ඩත්වය හා දේශපාලනය කොතරම් අසංවේදී ලෙසින් සංවේදී මනුෂ්‍යත්වය විනාශ කරනවාද යන කාරණයයි.
නිදහසින් පසු ලංකාවේ වැඩුණු මෙම වාර්ගික බෙදීම පුළුල්ව වටහාගත් අනගාරික ධර්මපාල තුමන් විසින් “සපත්තු දිලිහෙනවා මිනිස්සු පිරිහෙනවා” වශයෙන් පෙන්වා දුන්නේද නූතන සමාජය තුළ දැකිය හැකි දිස්නය පසුපසින් ඇත්තේ ප්‍රාථමික නූගත් මානව ආකල්පයන්ය යන කාරණයයි. කෘතියට පෙරවදනක් සපයමින් ආචාර්ය ලීල් ගුණසේකර ද මේ බව සඳහන් කොට ඇත.
අපරාධ කතා කියවීම අපරාධයක් නොවේ
කෘතිය - ගිජුලිහිණියන්ගේ රාත්‍රිය
කර්තෘ - ජයශංඛ කරුණාරත්න
ප්‍රකාශනය- දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි
මිල- රුපියල් 750/= පිටු ගණන- 216
විමසීම්- 0718 190 148
අපරාධ පරීක්ෂණ කතා, සාහිත්‍ය ශානරයක් වශයෙන් බටහිර ලොව ව්‍යාප්ත වූයේ මුල් කාලයේ සිටමය. ෂර්ලොක් හෝම්ස් සාහිත්‍යයත් ජේම්ස් බොන්ඩ් චරිතයත් ඉහත තත්ත්වය කැපී පෙනෙන ලෙසින් හඳුන්වා දීමට හොඳටම ප්‍රමාණවත්ය. විශේෂයෙන්ම අපරාධ විමර්ශනය, ජාත්‍යන්තර රහස් ඔත්තු සේවාවන් හරහා මතු වූ සුවිශේෂ චරිත සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සියුම්ව හඳුනා ගත් ලේඛකයන් විසින් ගොඩනඟන ලද මෙම කතා සියුම් ජීවිත විවරණයන් ද කළ බව පොදුවේ මෙරට පාඨකයන් පමණක් නොව විචාරකයන් ද හඳුනා නොගත් තත්ත්වයකි. ඒ නිසා මෙරට පාඨකයන් ද එක හුස්මට කියවිය හැකි කතා ලෙසින් ඒවා හඳුනා ගත් අතර, හුදෙක් එම සාධකයම පදනම් කර ගනිමින් මෙම සාහිත්‍ය ප්‍රවණතාව අවර ගණයේ ලා සැලකීමට විචාරකයෝ ද ඉදිරිපත් වූහ.
'ගිජුලිහිණියන්ගේ රාත්‍රිය'නමින් ජයශංඛ කරුණාරත්න විසින් ලියන ලද මෙම කෘතිය ඔහු විසින් මීට පෙර හඳුන්වා දුන් රහස් පරීක්ෂක කතා මාලාවන් සමඟ බැඳී පවතින්නකි. තමන් විසින් විඳින ලද මලයාසියානු සංචාරක අත්දැකීමක් මත පදනම් වෙමින් ඉදිරිපත් කරන මෙහි එන රහස් පරීක්ෂක චරිතය බටහිර රහස් පරීක්ෂක කතා ගමන් ගත් මඟ, එකී කතා රචකයන් විසින් අදාළ චරිත නිරූපණයට ගත් වෙහෙස හඳුනා ගනිමින් සිදු කළා වූ ප්‍රයත්නයක් ලෙසින් දැකිය හැකිය. විශේෂයෙන්ම ආසියානු කලාපය තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු මාෆියා සංවිධානවල ක්‍රියාකාරීත්වය මෙන්ම ඔවුන් හඹා යන අපරාධ පරීක්ෂකයකුගේ නිරීක්ෂණ ශක්තිය, ඒ තුළින් විදාරනය වන සමාජ සම්බන්ධතා සහ පුද්ගල හැසිරීම් නිරූපණය කිරීමට කතුවරයා ගෙන ඇති උත්සාහය තුළ සැලකිය යුතු වර්ධනීය තත්ත්වයක් දැකිය හැකිය. අපරාධ පරීක්ෂකයා යනු හුදෙක් අපරාධකරුවකු හඹා යන නිල චරිතයක්ම නොවේ. ඔහු අත්විඳින සමාජ අත්දැකීම් ඔස්සේ වෙසෙස් ආකාරයේ සමාජ දැක්මක් සහිත පුද්ගලයකු නිර්මාණය වන බව ලෝක සාහිත්‍යයට එක්වී ඇති විශිෂ්ට රහස් පරීක්ෂක කතා සහ සමහර විට එම නිලධාරින් විසින්ම ලියා ඇති ස්වයං චරිතාපදාන කියවීමෙන් දත හැකිවේ. මෙම කෘතියේ ලේඛකයා ද තමන් විසින් ගොඩ නගනු ලබන රහස් පරීක්ෂකයාගේ චරිතය සියුම් මානවීය හැසිරීම් සහිතව ඉදිරිපත් කරන්නට ගෙන ඇති ප්‍රයත්නය ඇගයීමට ලක් විය යුත්තකැයි සිතමි.
නව මාන සොයා යෑමත් අපූර්වත්වයක්
කෘතිය - දඩයම් බල්ලෝ
කර්තෘ - සමීර ඒකනායක
ප්‍රකාශනය- Granta.lk ප්‍රකාශනයකි
මිල- රුපියල් 1,500/= පිටු ගණන- 344
විමසීම්- 0779 829 330
රබීන්ද්‍රනාත් තාගෝර් කී ආකාරයට ජීවිතයේ ගංගාව ගලා බසින්නේ මෙතෙක් එය ගලා නොගිය විවිධ ඉසවු මං පෙත් ඔස්සේ මිස නිශ්චිත එක් ගමන් මාර්ගයක නොවේ. මෙය සිංහල නවකතාවේ මෙතෙක් පැමිණි ගමන සම්බන්ධයෙන් ද ගැළපෙන කියුමක් යැයි සිතේ. 'දඩයම් බල්ලෝ' නම් කෘතිය ද ජීවිතයේ ගලා යෑම පිළිබඳ තමන්ගේ හඳුනා ගැනීම වෙනස් මානයකින් දැකීමට ගත් උත්සාහයක් යැයි කතුවරයාගේ වදන්වලට අනුව පෙනී යයි.
“ජීවිතයේ සමහර බැඳීම් ඇතිවෙන්න මහා ලොකු කාලයක් ගත වෙන්නෙ නැහැ. බොහොම කුඩා නිමේෂයක් ඇති ඒකට. කොච්චර ශක්තිමත් බැඳීමක් වුණත් සිඳී බිඳී විසිරී යන්නට පොඩි කාලයක් ප්‍රමාණවත්... කෙනෙක් මත විශ්වාසය තබන්න කාලය කියන සාධකය හරි ශූන්‍ය විදිහටයි බලපාන්නෙ. පුංචි මොහොතක් ඇති කෙනෙක්ට තව කෙනෙක්ගෙ හදවත තුළ නොමැකෙන ලෙස ලැගුම් ගන්නට.”
කතුවරයාගේ ඉහත හඳුනා ගැනීම පුද්ගලයන්ගේ වෙනස්කම් හා බැඳීම් පුද්ගල මට්ටමින්ම වටහා ගැනීමට ගත් උත්සාහයක් වැන්න. මා එසේ කියන්නේ මුල්ම නවකතතාවේ සිට 60 දශකය අවසන් වන තුරුත් නවකතාවේ එන චරිත හඳුනා ගැනීම සාහිත්‍යයේ එන චරිත නිරූපණය යන සාධකය මත තීරණය වූවක් වන හෙයිනි. එහෙත් 70 දශකයෙන් පසු එය සමාජ දේශපාලන විග්‍රහයන් ඔස්සේ සිදු වූ අතර එම නිසාම පන්ති විග්‍රහය වැනි දේශපාලන නිර්වචන භාවිතයට ආවේය. එහෙත් මෙම කෘතියේ කතුවරයාගේ අදහස් විසින් තමන් අවට පවත්නා සමාජය නිරූපණය කරනු ලබන්නේ පුද්ගලත්වය මත පිහිටමිනි. වර්තමාන ලේඛකයන් අතින් එය එසේ සිදුවන්නේ ඔවුන් සමාජ අත්දැකීම් ග්‍රහණය කරගන්නා සැටි ද පෙන්වා දෙමිනි.
“මඳක් සිතන්න... ඔබගේ ජීවිතයේ ප්‍රධාන චරිත වන සමහර චරිත කාලයාගේ ඇවෑමෙන් උප ප්‍රධාන චරිත වෙලා. සමහර විට අතුරු චරිතයක් බවට පත් වෙනවා. අතුරු චරිත ප්‍රධාන චරිත වෙලා ඔබගේ ජීවිතය ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මේ ජීවිතය හරිම පුදුමයි.” මෙය වෙනස් හඳුනා ගැනීමක්ය යන්න හුදෙක් ඔහුගේ වදන්වලින් පමණක්ම කළ හැක්කක් නොවේ. මන්ද කතුවරයාගේ අදහස් ඔහුට සාපේක්ෂ විය හැකි නමුත් ඒ මතම පිහිටා කෘතිය කියවීමට පාඨකයන් ඉදිරිපත් නොවන හෙයිනි.
ජාතක කතා පිළිබඳ විමර්ශනාත්මක හැදෑරීමක්
කෘතිය - කා විසින් කොතැනක දී කා හට කුමක් පිණිස කියන ලද්දක් ද?
කර්තෘ - රත්තොට උපනන්ද
ප්‍රකාශනය- ඇස්. ගොඩගේ ප්‍රකාශනයකි
මිල- රුපියල් 600/= පිටු ගණන- 412
විමසීම්- 0112 686 925
මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍යයික ලියවිලි බොහෝමයක විමර්ශනාත්මක ආස්වාදයකින් යුතුව සැලකිල්ලට ලක් කොට ඇති සාහිත්‍ය මුලාශ්‍රයක් වන්නේ ජාතක පොතයි. ජාතක කතා නමින් පොදුවේ හඳුනා ගන්නා මෙම කතා සාහිත්‍යය මෙරට නිර්මාණ සාහිත්‍යයටත් ජන ජීවිතයටත් සිදු කොට ඇති බලපෑම විමසුම් සහගතව විමසා බැලූ තවත් කෘති පසුගිය කාලය තුළදී බිහිවී ඇත. එවැනි පසුබිමක රත්තොට උපනන්ද විසින් රචිත “ කා විසින් කොතැනක දී කා හට කුමක් පිණිස කියන ලද්දක් ද?” යන මේ කෘතිය විශේෂයෙන්ම ජාතක කතාහි දැකිය හැකි වෙසෙස් ලකුණු කිහිපයක්ම භාෂා සාහිත්‍යයික වශයෙන් විමර්ශනයට ලක්කොට තිබීම සැලකිය යුතු කටයුත්තකැයි පෙන්වා දීම සුදුසුය.
ඒ අනුව යමින් මෙහි අන්තර්ගතය හැඳින්වීම, ජාතකකතා පිළිබඳ ප්‍රස්තුත විග්‍රහය, ජාතක සංඥා නාම විවරණය සහ සාරාංශ ගතකරණය වශයෙන් බෙදා විශ්ලේෂණය කිරීමක් දකින්නට පුළුවන. එහි එන හැඳින්වීම තුළ සමස්ථ අධ්‍යයනය විෂයෙහි ගම්‍යයන් ලබා දෙන තත්ත්වයක් දැකිය හැකි අතර කතුවරයා සඳහන් කරන අන්දමට ඊට අදාළව ඛුද්දක නිකාය ඇතුළු නිකාය ග්‍රන්ථ ද ජාතක පාලිය ද ජාතකට්ඨකථාව ද විශුද්ධිමග්ගය ද යනාදී ප්‍රාථමික මූලාශ්‍ර ග්‍රන්ථ ද යොදා ගෙන ඇත. පන්සිය පණස් ජාතක කතා පොත ද, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ජාතක කතා විමසුම ද වශයෙන් තමන් විසින් පරිශීලනය කරන ලද විද්වත් කෘති ගණනාවක් නම් කොට දක්වා ඇති කතුවරයා ඒත් සමඟම සිය විමර්ශනයේ ඇති පෘථුලතාව පෙන්වා දෙයි.
කතුවරයා සිය කෘතිය තුළින් වැඩිදුරටත් පෙන්වා දෙන අන්දමට ජාතක කතාකරු තාර්කික ක්‍රම දෙකක් අනුගමනය කොට ඇත. ඉන් පළමු වැන්න ගම්‍ය රීතිය වන අතර දෙවැන්න ප්‍රතිගම්‍ය රීතිය නම්වේ. මෙය නවීන තර්ක ශාස්ත්‍රයේ එන ප්‍රධාන නිගාමි රීති දෙකකි. එහි සරලම අර්ථය අනුව එහි ඇත්තේ අනිවාර්ය සම්බන්ධයකි. ඊට අනුව එකී සහසම්බන්ධය නිසාම වර්තමාන කතාවෙන් අතීත කතාව ගම්‍යවීමත් එමෙන්ම අතීත කතාවෙන් වර්තමාන කතාව ගම්‍ය වීමත් සිදුවෙයි. ජාතක කතාවේ ඒකාබද්ධතාව හෙවත් සහසම්බන්ධතාව යනුවෙන් හඳුනා ගන්නේ මේ තත්ත්වයයි. කෙසේ වෙතත් මෙම විග්‍රහය මෙතනින් අවසන් නොවේ. කතුවරයා එය සිය අධ්‍යයනය මත පිහිටමින් විස්තරාත්මකව පෙන්වා දෙන ආකාරය මෙවැනි කුදු සටහනකින් පැහැදිලි කළ නොහැක. එය මනා සිහියකින් අවබෝධ කරගත යුතු තත්ත්වයකි. ඒ වෙනුවෙන් මෙම කෘතිය පරිශීලනය කිරීමම වැදගත්ය. තවද මෙම කෘතිය ඔහුගේ එම අධ්‍යයනයෙහි පළමු වැනි කොටස පමණක් බව ද පෙන්වා දිය යුතුව ඇත.