වාහන මිල අහසෙන් පොළවට අමතර කොටස් මිල උඩු ගුවනට | සිළුමිණ

වාහන මිල අහසෙන් පොළවට අමතර කොටස් මිල උඩු ගුවනට

- වැගන් ආර් ලක්ෂ 65 සිට 45ට බසී
- ඇල්ටෝ ලක්ෂ 35 සිට 23ට බසී
- ඔයිල් ලීටරේ 900 සිට 3000 නඟී8000ට තිබූ ඇල්ටෝ ටයරය 24,000
- CV JOINT 6000 සිට 19,000 ට නඟී
- KDH ලක්ෂ 10-15න් මිල අඩු වෙලා

බොහෝ දෙනා කියන්නේ ලංකාවේ අපිට මැලේරියා උණ ඉතා භයානක බවය. ඒත් සමහර අය කියන්නේ ඩෙංගු උණ ඊට වඩා භයානක මෙන්ම මාරාන්තික බවය. මේ උණ වර්ග දෙකම සමච්චලයට ලක් කළ පුද්ගලයකු කීවේ කොරෝනා උණ අතිභයානක මෙන්ම පොඩ්ඩ එහා මෙහා වුණොත් මරණය නිසැක බවත්ය.

ඒත් මේ උණ කොයි එකටත් වඩා උණක් පොදු ජනතාව අතර ඇත. ඒ 'වාහන උණ' ය. ඒ උණට සමහරු 'රථගාය' කියා ද කියති. ඒ කියන්නේ ගමන් බිමන් යෑමට සුපිරි වාහනයක් තමා සතු කර ගැනීමේ සිහිනයයි. අසීමිත ලෙස ලංකාවට වාහන ආනයනය කළ යුගයේ කොම්පැනියක කළමනාකරුට දිය හැකි හොඳම 'ඇම' වූයේ වාහනයයි. බොහෝවිට ආයතනයකින් වාහනයක් දෙන කළමනාකරුවකුගේ වැටුප වූයේ රු. 30,000කට අඩු මුදලකි. ඉතිරි ආදායම මේ කළමනාකරු සොයාගත යුතු වුයේ තමන් අලෙවි කරන ආයතනික භාණ්ඩ සඳහා කොමිස් මුදලක් ලෙසය. කළමනාකරු දිවා රෑ වෙහෙසෙන්නේ අලෙවි ප්‍රවර්ධන කටයුතුවලින් ලැබෙන කොමිස් කුට්ටිය වැඩි කර ගැනීමටය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති ඡන්ද ව්‍යාපාරයේ එක් පො‍ෙරාන්දුවක වූයේ සෑම නිවෙසකම 'කුඩා වාහන' සිහිනය සැබෑ කරන බවය. ලාංකික සමාජයේ කොතරම් 'වාහන උණක්' ඇත්දැයි එයින්ම වටහා ගත හැකිය.

ලංකාවේ වැඩිම වාහන ඉල්ලුමක් ඇති වන්නේ අප්‍රේල් මාසයේ සහ දෙසැම්බර් මාසයේය. බොහෝ ආයතනවල මේ මාසවල බෝනස් ලැබීම හා උත්සව කාලයක් නිසා පවුලේ උදවිය සමඟ සාප්පු සවාරි යෑම සහ හිතමිතුරන් හා ඥාතීන්ගේ ගෙවල්වලට විසිට් එකක් දැමීම, සිංහල අවුරුදු හා නත්තල් සැමරුමත් මේ අරමුණු අතර ප්‍රමුඛතම අරමුණු වේ.

රට තුළට ක්‍රමවත් ලෙස ආනයනය කළ වාහන නැවැත්වීම නිසා කාර් සේල්වල තිබුණ වාහන උණු කැවුම් මෙන් විකිණී ගියේය. වරායෙන් ක්ලියර් කළ වාහන ද අන්තිමට නැත්තටම නැති විය. එයින් සිදු වූයේ රට තුළ ඇති ලියාපදිංචි කළ වාහන මිල අසීමිත ලෙස දරාගත නොහැකි ලෙස ඉහළ යෑමය.

ලංකාවේ වෑන් අතර රජ කරන්නේ ටෙයෝටා KDH රථයයි. එහි එක මොඩලයක් වූයේ කොමන් රේල් සුපර් ඩීසල් කියාය. එම රථය ධාවනයට භාවිත කළ යුත්තේ සුපර් ඩීසල් පමණකි. ඒත් පසුගිය ඉන්ධන හිඟයේදී සාමාන්‍ය ඩීසල් භාවිතය නිසා මේ වර්ගයේ රථ බොහොමයක් ගර්භිතව ගරාජ්වලට ඇදගෙන යෑමට සිදු විය. ලංකාවේ වාහන මිල ඉහළ යෑමට පෙර සාමාන්‍ය KDH වෑන් එකක මිල තිබුණේ රුපියල් ලක්ෂ හැටපහත් හැත්තෑපහත් අතරය. මේ මිල පරාසයට මෙම KDH මාදිලියේ ෆුල් ඔප්ෂන්, ඔටෝ 'ඩෝ', ඩුවල් AC, සුපර් කස්ටම් ආදී ඕන වෑන් එකක් ගත හැකි විය. අසීමිත ඉල්ලුමත් සමඟ මෙම වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 150 - 160 පසුකරමින් ඉහළ යන්නට විය. මේ අසාමාන්‍ය මිල ඉහළ යෑමේදී වඩාත් අසරණ වූයේ රක්ෂණ සමාගම් සහ ෆිනෑන්ස් කොම්පැනිය. රක්ෂණ සමාගම්වලට ප්‍රශ්නය වූයේ මේ රථ අඩු මිලට රක්ෂණය කොට අනතුරකට පත් වුවහොත් ලැබෙන වන්දිය වාහනය රෙපයාර් කිරීමට ප්‍රමාණවත් වේදැයි යන ප්‍රශ්නයයි. ෆිනෑන්ස් සමාගම්වලට ප්‍රශ්නය වූයේ අසීමිතව වැඩි වූ කෘත්‍රිම මිලට ණය පහසුකම ලබා දුන්නත් ඉන්පසු එහි වටිනාකම අඩු වුණොත් පාරිභෝගිකයන් ණය පහසුකම නොගෙවා මඟ හැරීමය. එහෙත් අද මෙම KDH රථයක මිල ලක්ෂ 10 - 15කින් පසු බැස ඇත්තේ සිතාගත නොහැකි ලෙසය. කෙසේ වෙතත් 58 කාණ්ඩයේ හයියෙස් රථයක මිල ද දැන් 28 සිට 22 දක්වා අඩු වී ඇත. ලංකාවේ ජනප්‍රියතම වාහන පෙළ වන්නේ ප්‍රිමියෝ, ඇලියොන්, ඇක්වා, ඇක්සියෝ වැනි කාර් ය. මේ රථවල මිල තීරණය වන්නේ එහි කන්ඩිෂන් නොහොත් ධාවන තත්ත්වය මතය. එමෙන්ම එහි ඔප්ෂන් හෙවත් අමතර අංගෝපාංග ප්‍රමාණය ද බලපායි. AC, පවර් මිරර් (විදුලියෙන් ක්‍රියා කරන දෙපස කණ්නාඩි) පවර් ෂටර් (විදුලියෙන් ඉරෙහි වීදුරුව ඉහළ පහළ යැවීම) ආදි ඔප්ෂන් වැඩි වන තරමට වාහනයේ මිල ද වැඩිවේ.

වාහන මිල වැඩි වීමත් සමඟ රුපියල් ලක්ෂ 125 දක්වා වැඩි වූ ප්‍රිමියෝ කාරයක් දැන් ලක්ෂ 70 - 80 දක්වා පහතට වැටී ඇත. ඇලියොන් (260 මොඩලය) රථයක මිල රු. ලක්ෂ 110 - 120 දක්වා ඉහළ ගියත් අද එය ලක්ෂ 75 - 85 දක්වා අඩු වී ඇත. ඇක්වා රථයක මිල ඉහළ යෑමට පෙර පැවතියේ ලක්ෂ 35 වැනි මිලකටය. ඉල්ලුම වැඩිවෙද්දි ඇක්සියෝ රථය ලක්ෂ 65 අතර මිල කෙරෙනු අතර අද එය රුපියල් ලක්ෂ 40 දක්වා පසුබැස ඇත.

පොදු ජනතාව අතර අඩුම මිලට ගත හැකි වාහනය වූයේ මරුටි 800 නමැති ඉන්දියන් කුඩා කාර් රථයයි. අනූව දශකයේ මේ රථය ලංකාවට හඳුන්වා දී ඇත්තේ රු. 175,000කටය. ඒ, 15 ශ්‍රී ලෙසය. වාහන මිල ඉහළ යන්නට පෙර මේ ඉංගිරිසි අකුරු කුඩා රථයක් වූයේ ලක්ෂ 10කට අඩු මිලකටය. අන්තිමට මේ කුඩා රථය ලක්ෂ 22 දක්වා මිලකට අලෙවි විය. ඒත් දැන් නැවතත් මේ රථය ලක්ෂ 15 - 16 දක්වා පහත බැස ඇත.

සමාන්‍ය ජනතාව අතර ජනප්‍රියතම තත්වයක් ඇති කාර් එක ඇල්ටෝ ඉන්දියන් රථයයි. 2015 නිෂ්පාදිත මේ රථයක් වාහන මිල ගණන් වැඩි වීමේදී ලක්ෂ 33 දක්වා ඉහළ ගියේය. එහෙත් අද එය ලක්ෂ 23 දක්වා පහතට වැටී ඇත.

ලංකාවේ ජනප්‍රියතම ජපන් රථය වී ඇත්තේ වැගන් ආර් රථය වෙළෙඳපොළට හඳුන්වා දී ඇත්තේ ලක්ෂ 24ක් වැනි මිලකටය. අධික වාහන ඉල්ලුමත් සමඟ වැගන් ආර් රථය රුපියල් ලක්ෂ 65 දක්වා ඉහළ ගියේය. එහෙත් දැන් එහි මිල ලක්ෂ 45ටත් වඩා පහළට බසිමින් පවතී.

ඒත් මේ මොන මිල අර්බුදයක්වත් බලනොපාන වාහන වර්ග ද ඇත. ලාන්සර් බොක්ස් වැනි රථයක් වාහන මිල ඉහළ ගිය යුගයේ ලක්ෂ 13 - 14ට මිල වූයේ එහි කන්ඩිෂන් එක මතය. මෙම වාහනය ලංකාවට ආනයනය කොට වසර 35කටත් වැඩිය. අලුත් වාහන මිල අඩු වුණත් මෙවැනි රථ වාහන ලෝලීන් තම හිතට ඇල්ලුවොත් මිල කීයක් වුණත් අතාරින්නේ නැත.

මේ වාහන මිල වැඩි වීමේදී SUV මාදිලියේ හොන්ඩා CHR රථයක් ලක්ෂ 150 පහු කර ගිය අවස්ථා ද ඇත. ඒත් දැන් සමහර රථ ලක්ෂ සියයට පහළට වැටෙමින් පවතී. ඒත් මේ මිල ගණන් අසද්දි ඔබ කලබල වී මෙම මිලට වාහන තිබේ දැයි කලබල විය යුතු නැත.

වාහන මිල පහත වැටීමට ප්‍රධාන ලෙස බලපෑ සාධකයක් වී ඇත්තේ අමතර කොටස් මිල අධිකව ඉහළ යෑමය. ඒ නිසාම වාහන සොරකම් කොට උස්සා මස් කිරීම ද දැන් ජයටම සිදුවේ. සමහර උස්සන වාහනයක පවර් ෂටර් දෙක විතරක් රුපියල් 140,000/කට විකුණන්න පුළුවන් වාහන ද මේ අතර ඇත.

මේ වාහන මිල ගණන් කඩාවැටීම ගැන නිරීක්ෂණයේදී හෙළි වූ කරණු කීපයක් වන අතර ඉන් ප්‍රධාන හේතුව වන්නේ රටේ ආර්ථික කඩා වැටීමයි. එමෙන්ම QR කේතය මඟින් ඉන්ධන සීමා වීම, අමතර කොටස් මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑම මෙන්ම වාහන සර්විස් කිරිමේ ගාස්තු ඉහළ යෑම ද බලපා ඇත. එදා වැගන් ආර් කාර් එකක් සර්විස් කළේ රුපියල් 9,000කටය. ඒත් අද එය රුපියල් 20,000ටත් අධික වී ඇත. මේ සියල්ලටම වඩා හේතු වී ඇත්තේ ෆිනෑන්ස් ලීසින් වාරික ඉහළ යෑමය. එදා ලක්ෂයකට ෆිනෑන්ස් පහසුකමක් මාසයකට රුපියල් 2,200කට ලබා ගත හැකි වුවත් අද එම මාසික වාරිකය රුපියල් 3200/- සිට 3800/- දක්වා වැඩි වී ඇත.

ලංකාවේ වැඩිම කාර් සේල් ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක් නම් මාලඹේ සිට කඩුවෙල අතරය. හැටකට වැඩි මේ කාර් සේල් අතරින් 7ක් දැන් වසා දමා හමාරය. එක් අලෙවිකරුවකු අපට කිවුවේ වාහන මිල අඩුවීමත් සමඟ මිලදි ගත් වාහන 15න් කෝටි ගාණක අලාභයක් ඇතිවී ඇති බවය. වැඩි මිලට වාහන ගත් බොහෝ දෙනා කිවුවේ දෙසැම්බර් වන විට රට යථාවත් වී මේ තත්වය යථා තත්ත්වයට පත්වනු ඇති බවය. එමෙන්ම QR කේතය මඟින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි වුවහොත් වාහන මිල අර්බුදය විසඳෙන බවය.

මෙම ලිපිය කියවා මේ මිල ගණන්වලට වාහන සොයා ගොස් ඔය කියන අඩු මිලට වාහන ඇත්තේ කොහේදැයි ඔබත් අතරමං විය යුතු නැත. වාහනයක මිල තීරණය වන්නේ ඉල්ලුම මෙන්ම, වාහනය අලෙවි කරන්නාගේ මුදල් හදිසි අවශ්‍යතාවයේ බලවත්කම මතය. ඇතැම් වාහන අඩු මිලකට කිසිසේත් නොවිකුණ වාහන හිමියන් සිටින සිටින බව ද ඔබ අමතක නොකළ යුතුය. අන්තර්ජාලයේ අධික වාහන මිල ගණන් ගැන ඔබ කලබල විය යුතු නැත. ඔය බොහොමයක් වාහන මිල කොට ඇත්තේ ගෙදර සියලු ආර්ථික අවශ්‍යතා වාහනයේ මිලට එක් කිරීමෙනි. ඉල්ලුම සහ සැපයුම මත කෙරෙන මේ වාහන ගනුදෙනු ප්‍රායෝගිකව සිදු වන්නේ අන්තර්ජාලයේ සඳහන් මිලට බොහෝ අඩු මිලකටය.

බොහෝ දෙනා නඩත්තුව අපහසු නිසා දැන් දෙවැනි වාහනය අලෙවියට සූදානමින් සිටී. මෙසේ ගියහොත් එම ඉරණම පළමු වාහනයට ද අත්වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

මිනිස්සු ටයර් ගන්නෙ නැතුව ගියා 
සජිත් කුමාර 
විජය මෝටර්ස් (ටයර්), කොළඹ 14.

ඩොලර් ප්‍රශ්නයත් එක්ක ටයර් මිල අසාමාන්‍ය විදිහට ඉහළ ගියා. Ceat සහ Ferantino ලෝකල් ටයර් නිසා මිල ඉහළ යන්නේ කොහොමද කියල අපෙන් අහනවා. ඒවට අමුද්‍රව්‍ය ගේන්නේ ඩොලර්වලට. මිල ඉහළ යන්න කලින් ඇල්ටෝ කාර් ටයරයක් රුපියල් 8,000යි. අන්තිමට 22,000ට ගියා. මිනිස්සු ටයර් ගන්නෙ නැතුව ගියා. දැන් ආයෙත් 18,000ට බැහැලා. මිල වැඩි වීම නිසා ටයර් අලෙවිය 50%කින් බැස්සා. 195/15 වෑන් ටයර් එකක් දැන් 38,000යි

සමහරු බඩු ඩිමාන්ඩ් කරනවා 
මාලන් රණසිංහ 
එච්.එම්. ඕගනයිශේෂන්, පංචිකාවත්ත

අපි කරන්නේ ටොයෝටා පාට්ස් විතරයි. රුපියල් 1,100 තිබ්බ ෆිල්ටරය 1,600ට නැග්ගා. එන්ජින් ඔයිල් ලීටර් 4 කෑන් එක 12,000 ඉඳන් 16,000ට නැග්ගා. සී.වී. ජොයින්ට් එක 3,800 ඉඳන් රුපියල් 6,000 ට වැඩි වුණා. බ්‍රේක් පෑඩ් රුපියල් 3,000 ඉඳන් රුපියල් 6,000 දක්වා වැඩි වුණා. මෙතැනදි සමහරු බඩු නැහැයි කියලා ඩිමාන්ඩ් කරනවා. අපි නම් ප්‍රතිපත්තියක් විදිහට පාරිභෝගිකයෝ අපහසුවට පත් කරන්නේ නැහැ.

යුක්රේන් යුද්ධයත් බලපානවා 
පියල් ලොකුගමගේ 
අජන්තා මෝටර් ස්ටෝස්, පංචිකාවත්ත

කියමනක් තියෙනවා බඩුවක් නිකන් දෙනවා කිවුවමත් අඩු කරන්න බැරිද කියල අහනවා කියල. අමතර කොටස් මිල වැඩි වෙන්න කොවිඩ් බලපෑවා. නැව් ගාස්තු වැඩි වෙනවා වගේම යුක්රේන් යුද්ධයත් බලපානවා. මේ ඔක්කොම ගාස්තු එකතු කරලා තමයි කස්ටම් එක අමතර කොටස් කන්ටේනරයේ බදු අය කරන්නේ. ලක්ෂ 7 - 8 ට තිබ්බ අඩි 40 කන්ටේනරයක් දැන් ලක්ෂ 20ක් විතර වෙනවා. පොඩි ෂිප්මන්ට් එකක් ගේන එක පාඩුයි.

ප්‍රධාන හේතුව ඩොලර් 
ජානක නන්දසිරි 
ජානක මෝටර්ස්, මාලිගාවත්ත

අමතර කොටස් වැඩි වෙන්න ප්‍රධාන හේතුව ඩොලර් ප්‍රශ්නයම තමයි. දැන් එක්ස්පෝට් කරන කොම්පැනිවලට අමතර කොටස් ඉම්පෝට් කරන්න සල්ලි තියෙනවා. අබාන්ස්වලට එක්ස්පෝට් කරන නිසා ඒගොල්ලට ඩොලර් ප්‍රශ්නයක් නෑ. මෙතැනදි ඩොලර් තියෙන අයට සාධාරණ මිලකට අමතර කොටස් දෙන්න පුළුවන්. එතකොට ඩොලර් නැති ආනයනකරුවන්ට සිද්ධ වෙන්නේ වැඩි මිලකට ඩොලර් අරගෙන බඩු ඉම්පෝට් කරන්න. එතකොට ඉබේම අමතර කොටස් මිල වැඩි වෙනවා.

වැට් එක වැඩි වීමත් බලපෑවා 
අයි. වික්‍රම සුරේන්ද්‍ර 
වික්‍රම මෝටර් ස්ටෝස්, පංචිකාවත්ත

අමතර කොටස් මිල වැඩි වීමට ප්‍රධාන හේතුව ඩොලරය ඉහළ යෑම විතරක් නෙවෙයි. වැට් එක වැඩි වීමත් බලපෑවා. ඔය වැඩි කරන මොන ටැක්ස් එකත් අන්තිමට පාරිභෝගිකයාගේ කරපිටට තමයි වැටෙන්නේ. අපි කරන්නේ තොග වෙළෙඳාම. කොරෝනා කාලේ වාහන දිවුවෙම නෑ. ස්පෙයාර් පාට්ස් විකිණුනේ නැහැ. ඉස්සර අපි බඩු නිකුත් කළේ මාස 4 ක්‍රෙඩිට් (ණයට). දැන් හොඳම කස්ටමර්ටටත් මාසයක් ක්‍රෙඩිට් දෙන්නේ විශ්වාසය මත. ණය ගන්නැතුව මුදලින් ගෙවලා ස්පෙයාර් පාට්ස් ගත්තම ඒ යට කරන ගාණටත් ලාභාංෂයක් එක්කර ගන්න නිසා මිල වැඩි වීමක් සිද්ධ වෙනවා. මාස 3කට පස්සේ මේ සතියේ අපේ ස්පෙයාර්පාට්ස් ෂිප්මන්ට් එකක් ආවා.

කස්ටමස්ලා අඩුයි 
වසන්ත කිත්සිරි 
වික්‍රම මෝටර්ස්, පංචිකාවත්ත‍

අමතර කොටස් ප්‍රධාන වශයෙන් ගේන්නේ ජපානය, තායිලන්තය, ඉන්දියාව වගේ රටවලින්. ස්පෙයාර් පාට්ස් මිල ඉහළ ගියාම කස්ටමර්ලාගේ පැමිණීම පැහැදිලිව අඩු වෙලා තියෙනවා. සමහර ඔයිල් වර්ග රුපියල් 5,000 සිට 15,000 දක්වා වැඩි වෙලා තියෙනවා. අමතර කොටස් මිල වැඩි වුණා කියන්නේ වාහන මිල අනිවාර්යයෙන් පහළ බහිනවා. අමතර කොටස් මිල වැඩි වුණාම මිනිස්සු හදන්නේ වාහනේ 'රනින් රෙපයාර්ස්' විතරයි.

අමතර කොටස් තහනම් භාණ්ඩ වෙලා 
ඩබ්ලිව්.ඒ. ප්‍රදීප් 
ඩග්ලස් ඇන්ඩ් සන්ස්, පංචිකාවත්ත‍

වාහන අමතර කොටස් මිල රඳා පවතින්නේ ඩොලරය මත. ඒකට හේතුව ඒවා දේශීයව නිෂ්පාදනය කෙරෙන්නෙම නැති තරම්. අසාමාන්‍ය ලෙස අමතර කොටස් මිල වැඩි වීමත් එක්කම 30%ක් 40%ක් බිස්නස් අඩු වෙනවා. පෙට්‍රල් ප්‍රශ්නය නිසා පහුගිය කාලේ අමතර කොටස්වලට ඉල්ලුම අඩු වුණා. පෙට්‍රල් ප්‍රශ්නය ටිකෙන් ටික විසඳෙන කොට අමතර කොටස් ඉල්ලුම වැඩි වුණා. වාහන අමතර කොටස් තහනම් භාණ්ඩයක් වීම නිසාත් මිල වැඩි වුණා. ඒත් දැන් අමතර කොටස් තහනම තරමක් ලිහිල් කරලා තියෙනවා.

ඡායාරූප - චින්තක කුමාරසිංහ

Comments