මිය ගිය ජීවිතය අමරණීය කර ජීවිත හතරකට පණ දුන් දාන පාරමිතාව | සිළුමිණ

මිය ගිය ජීවිතය අමරණීය කර ජීවිත හතරකට පණ දුන් දාන පාරමිතාව

කොළඹ ජාතික රෝහලේ ඉහළ මාලයේ හෙලිකොප්ටර් ගොඩ බැස්ස වීමේ අංග­ණ­යේදී චමින්ද යානයෙන් එළියට ගත් අයුරු සහ අව­යව දන්දී මිය­ගිය එම්. ජී. චමින්ද

ජීවිතය නමැති පහන දිනක නිවී යනු ඇත. ඒත් නිවී යන්නට ප්‍රථම ඒ ආලෝකයෙන් තවත් පහනක් හෝ පහන් දල්වන්නට සිත් පහළ වන්නේ නම් ඒ ඉතා අහුඹු සිදුවීමක් පමණි. තම සමීපතමයාගේ අවසන් හුස්ම පොඳ ගිලිහී යාමට ආසන්න සිරුරේ, පොළොවට පස්වන දෙනෙත්, අවයව ජීවිතයක් යදිමින් සිටින තවත් ජීවිත ජිවත් කරන්නට හැකි නම් එය උතුම්ම දාන පාරමිතාව පිරීමක්ය. මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමින් මොළය මියගොස් මරණාසන්නව සිටින තම ආදරණීය ස්වාමියාගේ, සොහොයුරාගේ, පියාගේ උණුසුම යන්නට මත්තෙන් සිරුරේ කොටස් තවත් ජීවිත සුවපත් කරන්නට දන් දෙන්නට සිත් පහළ වන්නේ තවත් එවැනි සත්පුරුෂයනට පමණි. හසලක මහඅස්වැද්දුම ගම්මානයෙන් ඇසෙන්නේද මිනිසත් බවින් එහා ගිය එවැනි උතුම් දාන පාරමිතාවක කතාවකි.

හසලක මහ ඇස්වැද්දුම පදිංචි අවුරුදු 48 ක් වැනි තරුණ වියේ පසු වූ එම්. ජී. චමින්ද මේ වන විට ජිවිතයෙන් සමු ගෙන අවසන්ය. පසුගිය පළමුවැනිදා ඔහු ජීවිතයට සමු දෙන්නේ තම ජිවිතය මරණයට කැප කර තවත් ජීවිත කිහිපයකට ජීවත් වීමට භාග්‍ය ලබා දෙමිනි. කෘත්‍රිම ශ්වසනාධාර මත හුස්ම වැටෙමින් තිබූ චමින්දගේ පණ ගැහෙමින් තිබූ සිරුර පසුගිය 31 වැනිදා බදුල්ල මහ රෝහලේ සිට ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙනාවේ ඒ උතුම්ම සද්කාර්යයට දායක වන්නටය. 31 වැනිදා උදැසන ගුවන් හමුදා අංක 4 බෙල් 412 හෙලිකොප්ටරයෙන් ඔහු ගුවන් ගතවූයේ සිය ජීවිතයේ උතුම්ම පරිත්‍යාගය වෙනුවෙනි. ඒ දසුන සතුටු කඳුළුද, දුක් කඳුළුද ඇති තරමිට වඟුරුවමින් රැස්ව සිටියවුන්ගේ සාධුකාර නාද මැද ඔහු තම අවයව දන්දෙන ගමනට පිටත් වූයේ තම ආදරණීයන්ට සමු දෙමිනි. 

හසලක ප්‍රාදේශීය සභාවේ රියැදුරකු වශයෙන් සේවය කළ චමින්ද ඔක්තෝබර් 26 වැනිදා රැකියාව අවසන් වී නිවෙසට යාමට පිටත් වූයේ සවස් වරුවේය. හසලක යශෝධරා බාලිකා විදුහලේ ගුරුවරියක වූ චමින්දගේ බිරිය චන්ද්‍රලතා පුතණුවන් දෙදෙනා වන උසස් පෙළට මුහුණ දී සිටින ඉෂාර සඳරුවන් හා අට වසර අධ්‍යාපනය ලබන ගීසර සඳරුවන් සමඟ එදින ගොස් තිබුණේ ඇයගේ සහෝදරියගේ නි‍ෙවසේ වූ දාන පින්කමකට සහභාගී වන්නටය. සහෝදරියගේ දාන ගෙදර ගිය බිරිය චන්ද්‍රලතා සවස් වරුවේ තම ස්වාමියාට කතා කර විමසුවේ ඔහුද රැකියාව නිම වී දාන ගෙදරට පැමිණෙන්නේද යන්න දැන ගැනීමටය. ඒ ඇයත් ඔහුත් අතර අවසන් වචන හුවමාරුව විය. එවකටත් රාජකාරියේ යෙදි සිටි චමින්ද බිරියට පැවැසූයේ හැකි වුවහොත් ඊට තමන්ද පැමිණෙන බවකි.

රාජකාරිය නිම වූ චමින්ද පාරට බැස්සේ නි‍ෙවසට පැමිණීමේ අරමුණෙනි. කිලෝ මීටර එකහමාරක් පමණ පයින් ආවද යළි චමින්දට සිතුණේ බසයක නැඟී තමන්ද දාන ගෙදරට යා යුතු බවකි. ඔහු ආපසු හැරී හසලක සිට වස්ගමුව දක්වා දිවෙන ලංගම බසයට නැග්ගේ ඒ හේතුවෙනි. පාපුවරුවේ නොසිටි චමින්ද බසයට ගොඩ වී අසුනක වාඩි වීමට තැත් කළද මීරට 300 ක් පමණ දුරකදී හදිසියේ පාරට දැමූ බයිසිකලයක් නිසාවෙන් බස් රියදුරු නොසිතු අවස්ථාවක වේගයෙන් තිරිංග තද කළෙන් බසයේ සිටි බොහෝමයක් බයස තුළම කැරකී ගියහ. නමුත් චමින්ද ඒ වේගයෙන්ම ඉදිරිපස දොරටුවෙන් එළියට විසි වී ගියේ සරුංගලයක් පාවෙන්නාක් මෙනි. බසයෙන් එළියට විසි වූ චමින්දගේ හිස්කබල වේගයෙන් පොළොවේ වැදී ඔහු සිහිසුන් වන්නේය.

දරුණු ලෙස අනතුරට පත් චමින්ද බස් මඟින් විසින්ම හසලක රෝහලට ගෙන යන්නේ ඉන් අනතුරුවය. සහෝදර සහෝදරියන් 5 දෙනෙකු සිටින පවුලේ චමින්දගේ බාල සොහොයුරු එම්. ජි. නිලංජන්ය. චමින්ද අනතුරින් රෝහල්ගත කළ අවස්ථාවේ සිට චමින්දගේ සිරුරේ අවයව දන්දීමේ තීරණය දක්වා සියලු කටයුතු පිටුපස සිටින්නේ ඔහුය.

“හසලක රෝහලින් අයියා ඇක්සිඩන්ට් වුණා කියලා පණිවිඩය ලැබුණේ එදා රෑ 7 ට විතර. මම රෝහලට යනකොට අයියා අසාධ්‍ය තත්ත්වයෙන් හිටියේ. හිසේ ලොකු පිපිරුමක් තිබුණා. කතා කළේ නැහැ. නමුත් අතපය හොලවලා එයාගේ වේදනාව මට ප්‍රකාශ කළා. ඒ එක්කම අයියව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණ රෝහලට ගෙන ගියා. මමත් අයියා එක්ක ගියා. මහියංගණ රෝහලේදි වෛද්‍යවරු එකතු වෙලා විශාල වෙහෙසක් ගත්තා, අයියාගේ ජීවිතය බේරා ගන්න. නමුත් අයියාගේ සංඥා නිකුත් කිරීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් ටිකෙන් ටික අමාරු වුණා. අයියාට සියලු ප්‍රතිකාර ඉක්මනින් ලබා දුන්නා. එදා රෑ 10.30 වෙනකොට ඇම්බියුලන්ස් එකකින් සි. ටී. පරීක්ෂණ සඳහා අයියව බදුල්ල මහ රෝහලට ගෙන ගියා. ඒ වන විට අයියාගේ හිස පවා ඉදිමී ගොඩාක් අමාරු තත්ත්වයෙන් හිටියේ. බදුල්ල රෝහලේදී අයියව පරික්ෂා කළ වෛද්‍යවරු මට කිව්වේ අයියාගේ ජිවිතය ගැන විශ්වාස කරන්න පුළුවන් 50% යි කියලා. එවෙලෙම අයියාව පැය කිහිපයක ශල්‍යකර්මයකට ලක්කළා. පාන්දර 6.10 දැඩි සත්කාර ඒකකයට දැම්මා. වෛද්‍යවරු කිව්වා ඔයාගේ අයියාගේ ශල්‍යකර්මය සාර්ථකයි. විශ්වාසය තියා ගන්න පුළුවන් කියා. නමුත් උදේ අයියව පරික්ෂා කළ වෛද්‍යවරු නැවතත් කිව්වා අයියගේ ඇසේ බබා වැඩ කරන්නේ නැහැ. තත්ත්වය දරුණුයි. ඒත් අපි උත්සහය අතහැරලා නැහැ කියලා. නමුත් අයියා ජීවත් වන බව අපි දැක්කා. 28 වැනිදා වෛද්‍යවරු අපිට කතා කර කිව්වා, අයියගේ මොළය අක්‍රීය වෙමින් තියෙනවා. මොළය මැරිලා. එයා වෙනුවෙන් කළ පරීක්ෂණ සියල්ල ඉවරයි. ඒවා ෆේල්. නමුත් අපේ උත්සාහය තවමත් අත්හැර නැහැ කියලා. ඒ වෙලාවේ මම වෛද්‍යවරුන්ගේන් ඉල්ලා සිටියා මගේ මොළේ කොටසක් හෝ අයියට බද්ධ කරන්න බැරිද කියලා. මේ අවස්ථාවේ වෛද්‍යවරු මාව ළඟට ගෙනත් අයියගේ තත්ත්වය පැහැදිලි කරමින් කිව්වේ, අයියගේ මොළය මැරුණත් අනිකුත් කොටස් හොඳින් පවතින බව. නමුත් අයියව නැවතත් ගොඩ ගැනීමට නොහැකි බවත්, මේ අවස්ථාවේ අයියා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ එයාගේ සිරුරේ කොටස් තවත් කිහිප දෙනෙකුට හෝ පරිත්‍යාග කර අයියා වෙනුවෙන් ඒ අය ජිවත් කරවීම බව“

ජීවිතයේ අසීරුතම අවස්ථාවට මුහුණ දෙමින් චමින්දගේ සොහෙ­ායුරු නිලංජන් යළි නිවෙස බලා ගියේ කිසිදාක නොවිඳි වේදනාවෙනි. සත්‍යයට මුහුණ දිය යුතු ආකාරය දිවා රෑ කඳුළු වගුරුවමින් ඔහු තීරණයකට පිවිසියේය.

“නංගි ගොඩාක් ශක්තිමත් කෙනෙක්. මේකට එයාගේ අත්සන අවශ්‍යයි. මම එයාට විතරක් දාන පාරමිතාවේ ආදීනව තේරුම් කරලා දුන්නා. බෝධි සත්ත්ව වරු දන් දීපු හැටි කියලා දුන්නා. අයියව අපිට අත්හරින්න සිදු වෙනවා. තවත් ජීවිත ජීවත් කරන හැටි වෛද්‍යවරු කළ පැහැදිලි කිරීම නංගිට කියලා දුන්නා. ඒත් ගෙදර අනිත් අයට මේ දේ කියලා දෙන්න අපිට බැරි වුණා. නංගිගේ හිත ගොඩාක් ශක්තිමත්. අන්තිමේදී අපි දෙන්නා තීරණය කරලා කැමැත්ත පළ කරලා අයියා ආයිත් ජීවත් වෙනවා දකින්න අත්සන් කළා. ඒත් ගෙදර අය මේ දේවල් දන්නේ නැහැ. මගේ සහෝදරයෝ බෝධි පූජා තියෙනවා, අයියා සුවපත් වෙන්න කියලා. අම්මා තවමත් ජීවත් වෙනවා. එයාට මේ දේ දරා ගන්න පුළුවන් වුණේ නැහැ. ......“ චමින්දගේ සොහොයුරු නිලංජන් පවසන්නේ ය.

ඒ වන විට ජිවිතය යදින රෝගීන් කිහිප දෙනෙක් කොළඹ ජාතික රෝහලේ, මහනුවර හා රාගම මහ රෝහලේ සූදානම් වූයේ ලහි ලහියේය. පසුගිය 31 වැනිදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයට ගුවන් හමුදාවේ අංක 4 බෙල් 412 යානාව පෙරවරු 8.30 ට ගොඩ බැස්සුවේ චමින්දගේ අවසන් ගමනටය. ඒ අවස්ථාවේ චමින්ගේ ආදරණීය බිරිය, දරු දෙදෙනා, සහෝදරයන් මෙන්ම අවට අසල්වාසීන් පවා එකතු වූයේ ඒ උතුම් දානමය පින්කම වෙනුවෙන් සාධුකාර දෙන්නටය. දැඩි සෞඛ්‍ය රැකවල් මධ්‍යයේ බදුල්ල මහ රෝහල් වෛද්‍ය නිලධාරීන් විසින් ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායමට චමින්ද බාර දුන්නේ කොළඹ ජාතික රෝහල දක්වා ගෙන යාමටය. 

ආරක්ෂක අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2019 ජනවාරි මස ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙවැනි අවස්ථාවක අදාළ අවයව දන්දෙන රෝගියා හෝ දන්දුන් අවයව පැය 24 ක කාලයක් තුළ අදාළ රෝහලෙන් රැගෙන යාමට හෙලිකොප්ටරයක් ලබා දිය යුතුවෙයි.

“මේ ගිවිසුමට අනුව ලංකාවේ කුමන හෝ රෝහලක සිට රෝගියා හෝ අදාළ අවයව කොටස් ගෙන යාමට කිසිදු ප්‍රමාදයකින් තොරව ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ලබාදීමට මෙම ගිවිසුමෙන් බැඳී සිටිනවා. මේ වන විට අවස්ථා 7 කදී මේ පහසුකම ලබා දුන්නා. 2019 වසරේ රත්නපුර සිට කොළඹටත්, රත්නපුර සිට නුවරටත් අවස්ථා දෙකකදී මෙවැනි හෙලිකොප්ටරයක් ලබා දී තියෙනවා. 2020 වසරේදී හිඟුරක්ගොඩ සිට කොළඹට එක් අවස්ථාවකදී ප්‍රවාහනය කළා. 2021 වසරේදී අවස්ථා තුනකදී ගුවන් යානා තුනක් ලබා දුන්නා. ඒ බදුල්ලේ සිට කොළඹට හා අවස්ථා දෙකකදී ත්‍රිකුණාමලයේ සිට කොළඹට. මේ වසරේ මේ සිදුවීම පමණයි. මේ රෝගියා ගෙන යාමට හෙලිකොප්ටරය ඇම්බියුලන්ස් එකක් බවට පරිවර්තනය කරන්න සිදු වුණා. රෝහලේ වෛද්‍යවරයකුත් සමඟ අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊට එක්වුණා. මේ සඳහා රුපියල් ලක්ෂ 17.5 ක් වැය වුණා. මේ මුදල ගෙවීම් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා. අපි නැවතත් ඒ මුදල මහ භාණ්ඩාගාරයට පරිත්‍යාග කිරීමක් කරනවා“ ඒ ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහය. ගුවන් හමුදාව පවසන පරිදි මේ සඳහා බෙල් 412, බෙල් 212 හෙලිකොප්ටරය මෙන්ම වයි 12 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානාව භාවිත කෙරෙයි. වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයෙන් පිටත් වූ චමින්ද රැගත් හෙලිකොප්ටරය නැවතත් ගොඩබා ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ඒ සඳහා සැකසුණු ඉහළ මාලයේ ගුවන් යානා ගොඩ බැස්ස වීමේ අංගණයටය.

චමින්දගේ සිරුරේ වූ අවයව ලබා ගැනීමේ කටයුත්ත සිදු වූයේ කොළඹ ජාතික රෝහලේදීය. එය නැවත බද්ධ කිරීමේ කටයුතු සිදු කරන්නේ ඊට අදාළ මහනුවර, කොළඹ හා රාගම රෝහල්වලය. පසුගිය පළමුවැනිදා උදෑසන කොළඹ ජාතික රෝහල පැවැසූයේ ඒ වන විටත් ඒ කටයුතු සූදානම් වන බවකි. කොළඹ ජාතික රෝහල සඳහන් කළේ චමින්දගේ අක්මාව හා වකුගඩු දෙක ජීවිත දානය අපේක්ෂාවෙන් සිටි හතර දෙනකුට බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් එය රාගම, මහනුවර රෝහල් තුළ සිදු කරන බවත්ය. චමින්දගේ හෘදය හා පෙණහලු දෙක බද්ධ කිරීමට සූදානමින් සිටියද යම් නොගැළපීමක් නිසාවෙන් ඒ බද්ධ කිරීම් සිදු නොවුණ බව ජාතික රෝහල පැවැසීය.

චමින්දගේ අවයව දන් දුන් නිසල සිරුර යළිත් බදුල්ල මහ රෝහල දක්වා රැගෙන ආවේ පසුගිය 2 වැනිදාය. ඒ මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමටත් අනතුරුව සිරුර ඥාතීන්ට බාර දෙන්නටය. අවසන් කටයුතු සඳුදා සිදුවිය.

“මගේ ස්වාමියා බසයෙන් වැටිලා අනතුරකට ලක්වුණා. හිසට විතරයි තුවාල සිදු වුණේ. අනතුරින් පස්සේ දැඩි සත්කාර ඒකකයේ දින හතරක් හිටියා. එහිදි රෝගියාගේ මොළය මියගොස් තිබෙන බව අපිට දැනුම් දුන්නා. රෝගියා සනීප කරන්න බැරි බව අපිට පැවසුවා. එය දරා ගන්න බැරිවුණා. ඉන් පස්සේ මගේ දරුවෝ දෙන්නාත් පවුලේ අනෙකුත් අයත් එකතු වෙලා ස්වාමියාගේ ශරීර කොටස් දන් දෙන්න තීරණය කළා. වෛද්‍යවරුන් කැමති වුණා. මගේ ස්වාමියාගේ හදවත, අක්මාව, පෙණහලු සහ වකුගඩු අරගෙන රෝගීන් හතර දෙනෙකුට බද්ධ කරන්න. ආදරණීය ස්වාමියෙක් දරුවන් දෙදෙනාට පියෙක් නැතිවුණත් අපිට ජීවිත හතරක් බේරා ගන්න පුළුවන් වුණා. මගේ ස්වාමියා මිය ගියත් එයා ජීවත් වෙනවා කියන හැඟීම අදටත් අපිට තියෙනවා...“ ඒ මියගිය චමින්දගේ බිරිය ජී. ජී. චන්ද්‍රලතාය.

අත්හැරීම පුරුද්දක් කළ යුත්තේ ධර්මාවබෝධයෙන්ම පමණි. චමින්දද, ඔහුගේ හිතවතුන්ද අත්හැරීම ප්‍රගුණ කළේ සිය දයාබරිත සගයා වෙනුවෙනි. චමින්දගේ නිසල සිරුර අවසන් කටයුතු සිදු කළද චමින්දගේ අවයව වලින් පණ ලැබුවෝ තවමත් ජීවත් වෙති.


ඌව පළාත් සමුහ ප්‍රසන්න පත්මසිරි

Comments