- මෙවර ඉදිරිපත් වන්නේ මුදල් ඇමැතිවරයෙක්ගේ අභියෝගාත්මක අයවැයක්
- මෙවර අයවැය දිළිඳු ජනතාව ඉලක්ක වූවක්
- තරුණයන් රට තුළ රඳවා ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුයි
- නියම සුදුස්සන් සොයා සමෘද්ධි හා දීමනාලාභීන් යළි යාවත්කාලීන කරනවා
- මාස 6 කින් බලාපොරොත්තු සහගත තත්ත්වයක් උදා වේවි
මේ මස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ නව අයවැය ඉදිරිපත් කරනවා. මෙවර අයවැය රටේ ජනතාවට තීරණාත්මක අයවැයක් වේයැයි පවසනවා? අයවැය කොයි අතකට පෙරළේද?
මේ අයවැය අපේ කාලයේ ඉදිරිපත් කෙරෙන අභියෝගාත්මක අයවැයයි. මුදල් ඇමැතිවරයෙක් බරපතළ අභියෝගාත්මක කාලයක ඉදිරිපත් කෙරෙන අයවැයක්. අපි උත්සාහ දරන්නේ මේ රට යළිත් වරක් ආර්ථික ස්ථායිකරණයක් ඇති කිරීමයි. ආර්ථිකය ස්ථාවර කිරීමේදි කළ යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන වැඩපිළිවෙළ මේ තුළ ඇතුළත් වෙනවා. පවතින ආර්ථික අර්බුදයෙන් වැඩිම පීඩනයක් ඇති වුණේ දිළිදු ජනතාවට. ඒ නිසා ඔවුන්ව නඟා සිටුවීමේ වැඩපිළිවෙළක් අනිවාර්යයයෙන්ම මෙවර ඇතුළත් වෙනවා. මේ අයවැය නැවත ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීමේ ආරම්භයක් විදියටයි අපි දකින්නේ.
එයින් අදහස් වන්නේ මෙදා අයවැය දිළිදු ජනතාව ඉලක්ක කරගත් අයවැයක් වන බවද?
පසුගිය කාලයේ වූ කොවිඩ්, යුක්රේන් ආදි ගැටලු සහගත තත්ත්ව අපේ ආර්ථිකයේ විශාල පසුබෑමකට හේතුවක් වුණා. මේ නිසා දිළිඳු තත්ත්වයට ඉහළින් සිටි අයත් අද දිළිඳු මට්ටමට වැටිලා තියෙනවා. මෙවර ආර්ථික පුනර්ජීවයක් බලාපොරොත්තු වන අතරම අභ්‍යන්තරයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දිළිදු ජනතාවට සහනයක් ලැබෙන පරිදි මෙවර අයවැය ඉදිරිපත් කරන්නට. නමුත් ප්‍රධාන අරමුණ ආර්ථික ස්ථාවරත්වයට අවශ්‍ය මුල් අඩිතාලම දැමීමයි.
පසුගිය මාසයේ උද්ධමනයේ යම් අඩුවක් පෙන්නුම් කළා. ඉදිරියේදීත් අයවැයෙන් යම් සහන ලැබේ යැයි පීඩාවට පත් ජනතාව අපේක්ෂා කරනවා. මෙවර අයවැයෙන් ජනතාවට යම් සහනයක් ලැබේවිද?
මහ බැංකුව හා රජය අභියෝගාත්මක කාලයේ ගත් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියේ වාසිය දැන් ලැබෙමින් පවතිනවා. නමුත් මේ මාසයේ උද්ධමනය අඩු වුණා කියලා උද්ධමනය පාලනයකට යටත් වුණා කියලා සතුටු වෙන්න බැහැ. උද්ධමනය පහතට ගෙන ඒමේ මූලාරම්භයක් දැන් වැටිලා තියෙනවා. ජනතාවට දැනෙන අපහසුකම් අවසන්ව නැහැ. අනිත් පැත්තෙන් ව්‍යාපාරික ප්‍රජාව තුළ ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුයි. මේ වන විට බඩු මිල යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒත් ඒ අඩුව ජනතාවට ලැබෙනවාද යන කාරණය අපි කල්පනා කළ යුතුයි.
බඩු මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් නැත්තේ ඇයි.?
ඒ සඳහා නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. දැනට පවතින ආර්ථිකය නියාමනය සිදු කිරීමට පහසු නැහැ. මිල පාලනය පහසු කරුණක් නොවේ. ආර්ථිකය යම් පමණකට ස්ථාවර වූ පසු නීති රීති පනවා එය පාලනය කර ගෙන යාම සිදු වෙනවා. දැනට කළ යුතු පාලනයක් සිදු කිරීමේ අවකාශයක් නැහැ. මේ වන විට අපිට ඇති එකම විසඳුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමයි.
මේ වන විට තරුණ පිරිස් වේගයෙන් රට හැර යාමේ ප්රවණතා මතු වෙලා. රට හැර යන තරුණයින් මෙරට තුළ රඳවා ගැනීමේ ඉදිරි වැඩ පිළිවෙල කුමක්ද?
මේ අවස්ථාවේ ආර්ථිකයට පැලැස්තර විසඳුම් කරන්න බැහැ. එයින් මේ අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැහැ. ආර්ථිකය ක්‍රමවත්ව හා ස්ථීරව ශක්තිමත් කළ යුතුයි. එවිට රටේ ණය ශ්‍රේණිගත කිරීම්හි ඉහළට යාම, ජාත්‍යන්තරව අප රට කෙරෙහි මූල්‍ය විශ්වාසය ගොඩනැඟීම ගොඩනැඟේවී. අද තරුණයන් අපේක්ෂා භංගත්වයෙන් සිටින්නේ. ඒ නිසා විකල්ප ක්‍රියාමාර්ග සොයනවා. පැලැස්තර විසඳුම්වලින් රවට්ටන්න බැහැ. මේ නිසා දීර්ඝකාලීන විසඳුම්වලට යා යුතුයි.
විශ්වාස කළ හැකි රටක්, ජීවත් වීමට සුදුසු රටක් බවට පත් කිරීම මෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඉලක්ක කරගෙන ආර්ථිකය ගොඩ නැඟීමේ ක්ෂණික, මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් පැහැදිලි කළොත්?
ඇත්තමට මේ කාලය ජනතාවට ගොඩක් අමාරු කාලයක්. මේ ප්‍රතිසංස්කරණ ජනතාවට දරා ගැනීමට ගොඩක් අපහසු වේවි. රජයක් ගන්නා ජනප්‍රිය තීන්දු නෙමෙයි මේ ප්‍රතිසංස්කරණවල ඇතුළත් වන්නේ. නමුත් මේ අභියෝගය ක්‍රියාත්මක විය යුත්තේ නැවතත් කිසිදාක මෙවන් ආර්ථික බිඳ වැටීමක් ඇති නොවෙන්න. ඒ නිසා අසීරු ජනප්‍රිය නොවන තීන්දු ඉදිරියේදී ගන්නවා. ඒ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ තීන්දු නොගෙන ඉදිරියට ගියොත් වෙන්නේ තවදුරටත් මේ ආර්ථිකය ප්‍රපාතයකට වැටීමයි. මේ ප්‍රතිසංස්කරණ නොකළහොත් අද මුහුණ දෙන තත්ත්වයට වඩා අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා.
ආර්ථිකය ගොඩනැඟීමට රජය බදු ප්‍රතිපත්ති දැඩි කරලා. මේ වන විට ජනතාව දැඩි බදු බරකින් පීඩා විඳිනවා. සාමාන්‍ය ජනතාවට විඳින්ට සිදුවන බදු බරට අයවැයෙන් හෝ සහන සැලසෙයිද?
මේ පිළිබඳ මට කිසි දෙයක් කියන්න බැහැ. ආදායම් බදු හා යෝජිත බදු ප්‍රතිසංස්කරණ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. මේ නිසා අධිකරණයේ තීන්දුව මත සිටයි අපට කටයුතු කරන්න සිදු වන්නේ. අපේ යෝජිත ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම අරමුණු කරගෙනයි ගොඩ නැංවුණේ. 2020 ජනවාරි කළ බදු ප්‍රතිපත්තිය එක්තරා ආකාරයෙන් රාජ්‍ය ආදායම අඩුවීම කෙරෙහි බලපෑවා. අපිට මේ වන විට රුපියල් බිලියන 4 කට වඩා පොලී හා වාරික ගෙවීමට තියෙනවා. ඒවා ගෙවා ගත හැකි රටක් අපි ඇති කළ යුතුයි.
ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාතය ඉහළ දැමුවත් තැන්පතු සඳහා බදු මුදලක් අය කර ගැනීමට සූදානම් බව කියැවෙනවා?
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබෙනකම් අපිට කිසිවක් කියන්න බැහැ. අධිකරණ තීන්දුව තුළ තමයි ඉදිරි ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න සිදු වන්නේ.
IMF කොන්දේසි මත රාජ්‍ය සේවයේ වයස් සීමාව යළිත් වරක් අයවැයෙන් සංශෝධනයට ලක්වේ යැයි යන අදහස මතු වෙනවා. ...?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම දවසක රජයේ සේවකයන්ගේ වයස් සීමාවක් ගැන කතා කර නැහැ. දැනට 60 වයස් සීමාව වෙනස් වෙන්නේ නැහැ.
ඔබ පසුගිය ආණ්ඩුවේත් ඇමැතිවරයෙක්. පසුගිය රජය ගත් අසාර්ථක තීන්දු තීරණ අර්ථිකය මේ තරමට කඩා වැටීමකට හේතුවූ බවට චෝදනා නැඟෙනවා? ඔබත් ඊට එකඟද?
යම්තාක් දුරකට මම ඊට එකඟ වෙනවා. විශේෂයෙන් පොහොර ප්‍රතිපත්තිය අපේ ගොවීන්ට දැඩි බලපැමක් ඇති කළා. එය හොඳ තීන්දුවක් වුණාට ක්‍රියාත්මක කිරීම නිසි ආකාරයෙන් කළේ නැහැ. අදියර වශයෙන් කළ යුතු දෙයක් එකවර කිරීම තුළ විශාල ප්‍රශ්න ඇති වුණා. පැවැති රජය හා ජනාධිපතිවරයා වෙනස් වීමට මෙය බලපෑවා. මම පමණක් නොවේ, බහුතරයක් මේ ගැන කිව්වා. නමුත් ඒ මත අභිබවා වෙන අදහස් ක්‍රියාත්මක වුණා.
පසුගිය රජය හිතුවක්කාරි ලෙස IMF ගියේ නැහැ. බොහෝ දෙනෙක් චෝදනා කරනවා එදා IMF ගියා නම් මේ වින්නැහිය රටට අත් නොවන බව? ඔබත් එදා රජයේ ඇමැතිවරයෙක්?
ලෝකය තුළ අපේ ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 84යි. එවැනි රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කිව්වොත් ඔවුන් එන්නේ නැහැ, අපිට උදවු කරන්න. එදා ඒ තීන්දුව ගන්න පමා කළේ ඇයි කියලා මම දන්නේ නැහැ. IMF සහය ලබා ගැනීම මීට මාස ගණනාවකට කලින්ම කළ යුතු කාරණාවක්. නිලධාරින් තුළ පවා යම් මත බෙදීමක් තිබුණා. අපේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට කිසිදු ජාත්‍යන්තර මූල්‍ය සහයෝගයක් ලැබෙන්නේ නැහැ. හේතුව අද ණය ගෙවා ගැනීමට බැරි රටක් බවට අප පත්වීම.
එවැනි රටවලට ණය දෙන්නේ නැහැ. අද මූල්‍ය විනයක් රට තුළ ඇති කරන්න කටයුතු කර තියෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ මතයි මෙහි සාර්ථකත්වය රැඳෙන්නේ. ගෝඨාභය හිටපු ජනාධිපතිගේ කාලයේ මේ සඳහා අපි දේශීය යාන්ත්‍රණයක් ගොඩනඟන්න උත්සහ කළා. නමුත් එය අසාර්ථක වුණා. දේශීය යාන්ත්‍රණයක් හරහා අසාර්ථක ක්‍රමවේදයක් ඉදිරියට ගෙන යාමට බැහැ.
ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල එකඟතාව ලබා ගැනීම වැදගත්. පසුගිය තුන් වැනිදා අපේ ණයකරුවන් සමඟ සාකච්ඡා කළා. මේ සම්බන්ධව විශාල වැඩ කොටසක් රජය කරමින් යනවා. ප්‍රශ්නවලට විසඳුම ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුයි. මෙහි සහය ලබා ගැනීමෙන් පසු වෙනත් තැන් වලින් ණය ලබා ගත හැකි වෙනවා. රුපියල ශක්තිමත් වෙනවා. ආයෝජන ආරම්භ කෙරෙනවා. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විකල්පයක් නොවේ කියන අය මීට විකල්පයක් දිය යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කවර කාලයේ ලැබේ යැයි අපේක්ෂා කළ හැකිද?
කාලය දැනටමත් කිව නොහැකියි. දෙසැම්බර් වන විට ලබා ගැනීමට අපේක්ෂා කරනවා. නමුත් ඒ ලබා ගැනීමට පෙර සම්පූර්ණ කළ යුතු සාකච්ඡා වට ගණනාවක් තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාව තිබිය යුතුයි. නිල වශයෙන් කිසිදු රටක් සහයෝගය ලබා නොදෙනවා යැයි අපට පවසා නැහැ.
මේ වන විට රටවල් කිහිපයක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වී නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ වත්මන් තත්ත්වය කුමක්ද? ඇයි ඉන්දියාව, චීනය වැනි රටවල් ඊට විරුද්ධව කොන්දේසි පනවලා?
එය වැරදි පණිවිඩයක්. කිසිදු රටක් කොන්දේසි පනවා නැහැ. දැනට සිදු වන්නේ ඒ රටවල් අපේ රටත් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමයි. ඒ නිසා විනිවිද බවකින් මේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මහ බැංකුව පසුගිය කාලයේ මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය අධික ලෙස ඉහළ ගිය බව පැවැසෙනවා. ඔබ මේ කතාවට එකඟද? දැනට මුදල් අච්චු ගැසීමක් සිදු වන්නේද?
රජයේ වියදම් පරිපාලනයට ආදායමක් රටට ලැබෙන්නේ නැතිනම්, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුනම් අපේ වියදම් ආදායමට වඩා වැඩි නම් ඒ මූල්‍ය හිඟය පියවා ගැනීමට ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. මුදල් අච්චු ගැසීම වැඩි වෙන්න වෙන්න උද්ධමනය වැඩි වුණා. උද්ධමනය පාලනයට ගත යුතු තීන්දු තීරණ තිබුණා. මේ තත්ත්වය ගෝලීය වශයෙන් සියලු රටවලට පොදු ප්‍රශ්නයක්. නමුත් මූල්‍ය ප්‍රතිපත්තියේ නොගැළපෙන තීන්දු නිසා මේ තත්ත්වය උග්‍ර වුණා.
IMF බලාපොරොත්තු වෙනවා, රටේ අවදානම් හා දිළිදු ජනතාව නඟා සිටුවීමට. සමෘද්ධි හා දීමනා ලබන අයගේ සත්‍යතාව තහවුරු කිරීමේ සංගණනයන් ඉදිරියේදී සිදුවන බව කියැවෙනවා. දීමනා ලබාදීම් යළිත් යාවත්කාලීන කිරීමක් සිදු වෙනවාද?
සමාජ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය මේ වන විට අපේ රටේ දැනට සමෘද්ධි ඇතුළු සියලු දීමනා ලබන සියලු දෙනා නැවතත් ලේඛනගත කිරීමක් කරනවා. අද චෝදනාවක් තියෙනවා, මෙසේ දීමනා ලබන සියලු දෙනා සුදුසු අය නෙමෙයි කියලා. ඒ නිසා මේ වන විට සියලු අයැදුම්පත් කැඳවීම් කරනවා. දැනට සමෘද්ධිය ලබනවා, ලක්ෂ 17.5 ක්. මේ වන විට සියලු දීමනා ලක්ෂ 35 කට ලබා දෙනවා. මේ තුළ නුසුස්සන් ඉන්න බවට චෝදනා තියෙනවා.
මේ නිසා මේ සියල්ල පරිඝණක ජාලයකට ඇතුළත් කරනවා. මේ වන විට ඉල්ලුම් පත්‍ර ලක්ෂ 35 කට වැඩි ප්‍රමාණයක් ලැබී තියෙනවා. ක්ෂේත්‍ර නිලධාරීන් මේ වන විට තොරතුරු එකරාශී කරමින් සිටිනවා. ඒ මත නිවැරදි අය තෝරා ගන්නවා. මේ අය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කරනවා.
මේ ආර්ථික අර්බුදයත් සමඟ සමාද්ධි දීමනා වැඩි කිරීමකට යාමට සිදුවේද?
එහෙම තීන්දුවක් නැහැ. මෙයින් කිසිදු අයකුගෙ දීමනා කපන්න උත්සාහ කරන්නේ නැහැ. සුදුසු අය තෝරා ගැනීමක් පමණයි කරන්නේ. සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරන අතර අසාධාරණයට ලක්වී ඇත්නම් එය නිවැරදි කිරීමට ක්‍රමවේදයක්ද සකසනවා.
රටේ ආර්ථිකය හොඹවන වැදගත් ඇමැති ධූරයක් ඔබ දරනවා. බිඳ වැටුණු ආර්ථිකය හඳන්න සුදුසුම කෙනාද මෙවර රට බාර අරගෙන තියෙන්නේ?
මේ අභියෝගය භාර ගත්තේ රනිල් වික්රමසිංහයනුයි. මේ වන විට දේශපාලන හා සමාජ ස්ථාවරත්වය රට තුළ ගොඩ නැඟී තිබෙනවා. යම් කණ්ඩායමක් සේ ස්ථාවරත්වය බිඳ දමන්න කටයුතු යොදනවා. ආණ්ඩුව මේ කරන කිසිදු කාර්යයක් සඟවා නැහැ. අපි කිසිම විටක ජනතාවට බරක් පැටවීමට කැමැති නැහැ.
නමුත් විකල්ප නැතිනම්, යම් යම් තීන්දු ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවේ නම් එය කළ යුතුයි.
මාස 6 ක් ගියාට පස්සේ තමන්ගේ දේශපාලන මතිමතාන්තර ක්‍රියාත්මක කළ හැකියි. අපි බලාපොරොත්තු වෙනවා යම් කාලයක් ගත වෙද්දී යම් පිබිදීමක් මතු වෙනවා. මාස 6 ක් පමණ යද්දි යම් බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත්වෙයි කියා බලාපොරොත්තු තැබිය හැකියි.
පසුගියදා යළිත් වරක් රජයට විරුද්ධව දැවැන්ත කැරැල්ලක් සුදානම් වුණා. නමුත් මේ වන විට ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස් විම් රැසක් සිදුවෙනවා.
දේශපාලනිකව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් මේ වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීම බලපාන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු රජයටත් ඡන්දය දුන් ජනතාවටත් පමණක් නෙමෙයි. සියලු දෙනාටයි. ඔවුන්ගේ අමානුෂිකත්වය පෙන්නුම් කළා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.
විපක්ෂය ලබන මාර්තුවලදී මහ මැතිවරණයක් අපේක්ෂා කරනවා. මේවන විට ඊට සූදානම කෙබඳුද?
ජනාධිපතිතුමා තීන්දු කරාවි. නමුත් මහ මැතිවරණයකට යාමට පෙර රටක් තිබිය යුතුයි. රටක් නැති වුණොත් මේ කිසිවක් නැහැ. මේ රට යම් ස්ථාවරත්වයකට පත් වූ පසුවයි, දේශපාලන වෙනසකට යා යුත්තේ. එසේම මේ කරගෙන යන වැඩපිළිවෙළ කඩා කප්පල් කිරීම නුසුදුසුයි.
පොදු ජන එක්සත් පෙරමුණ මේ වන විට කැබලි කිහිපයකට කැඩී විසිරිලා. ඔබත් එහි සාමාජිකයෙක්. ?
බිඳ වැටීමක් සිදු වූ නිසයි, පොහොට්ටුවට රජය නැතිව ගියේ. අපි රජයේ ප්‍රධාන කොටස්කරුවෝ. පොහොට්ටුව ඇතුළේ බිඳ වැටීමක් සිදු වෙලා. ඔවුන් වගකීමකින් කටයුතු නොකළේ නම් මේ විරෝධතාවට වඩා වැඩි විරෝධතාවයක් ඇති වේවි.
මෙවර අයවැය ඡන්ද විමසීම තීරණාත්මක වෙයිද?
මේ වන රජයට සහයෝගය දක්වන මන්ත්‍රිවරයෙක් කිසිදු විරෝධතාවක් ප්‍රකාශ කර නැහැ. ඔය ආකාරයටමයි, 21 සංශෝධන ඡන්ද විමසීමේදි කිව්වේ. විවිධ මාධ්‍ය විවිධ දේ ගැන කියනවා.
ඡායාරූප - ශාන් රූපස්සර