මැල්සිරිපුර ඉංජිනේරුවාගේ ඝාතකයා ගැන ඇමෙරිකාවෙන් ලැබුණු ඔත්තුව | සිළුමිණ

මැල්සිරිපුර ඉංජිනේරුවාගේ ඝාතකයා ගැන ඇමෙරිකාවෙන් ලැබුණු ඔත්තුව

පේ ඇමෙරිකන් මහත්තයා අනුරාධපුරේ යනවා කියල පළමුවෙනිදා ගෙදරින් ගියා. තාම ගෙදර ආවේ නැහැ. මහත්තයාගේ ෆෝන් එකත් වැඩ නැහැ.“ මැල්සිරිපුර පොලිස් ස්ථානයට ඉකුත් 08 වෙනිදා පැමිණි පුද්ගලයෙක් මෙසේ කියන්නට වූයේ තම හාම්පුතා අතුරුදන්ව ඇති බවට වූ පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් කරමිනි. මේ කියන “ඇමරිකන් මහත්තයා“ මැල්සිරිපුර රේස්වත්තේ පදිංචිව සිටි ඇමෙරිකාවේ සිය ජීවිතයේ වැඩි කාලයක් ගත කළ විශ්‍රාමික නාවික ඉංජිනේරුවරයෙකි. නමින් ඔහු චිත්‍රානන්ද ජයරත්නය. එහෙත් රේස්වත්තේ බොහෝ අය චිත්‍රානන්දට කීවේ “ඇමරිකන්“ යැයි කියාය.

චිත්‍රානන්ද ඒ වන විට ගතකරමින් සිටියේ සිය ජීවිතයේ හැට නවවන කඩඉමය. අවිවාහකයෙක් වූ චිත්‍රානන්ද ගත කළේ සෙල්ලක්කාර ජීවිතයකි. අමෙරිකාවේ නාවික සිවිල් ඉංජිනේරුවරයෙක් ලෙස රැකියාවේ නිරතව හරිහම්බ කරගත් මුදල් ඔහු ජීවිතයේ සැඳෑ කාලයේ නැති නාස්ති කරන්නට ගත්තේ කමින් බොමින් විනෝද වෙමිනි. ඊටම හරියන මිතුරෝ පිරිසක්ද ඔහුට ඒ වන විටත් එක්ව සිටියහ. ඔවුන් මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වූ චිත්‍රානන්දගේ වයසින් භාගයක්වත් නැති තරමේ කොල්ලො කුරුට්ටෝ පිරිසකි. අනුරාධපුරයේ යනවා යැයි කියා ගිය “ඇමරිකන් මහත්තයා“ ආගිය අතක් සොයා ගන්නට නැතැයි කියමින් මැල්සිරිපුර පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කරන්නට වූයේ එම කුඩු කල්ලියේ සිටි චිත්‍රානන්දගේ දුකට සැපට දෙකටම සිටි ආවතේවකරුවෙක් වූ මිලින්ද රුක්ෂාන්ය.

වැල්ලව පැත්තේ පදිංචිකරුවෙක් වූ රුක්ෂාන් වෘත්තියෙන් රියදුරෙකි. තිස් එක් වියැති රුක්ෂාන් අසාර්ථක විවාහ දිවියකින් පසු සිය බිරිය සහ දරුවන් අත්හැර රැඳී සිටියේ චිත්‍රානන්දගේ නි‍වසේය. ඒ චිත්‍රානන්දට කන්න බොන්න ටික සකස්කර දෙමින් වත්තපිටිය බලා කියාගෙනය. එහිදී කන්න බොන්න පමණක් නොව, මත්කුඩු පැකට් එක පවා චිත්‍රානන්දගෙන් ඔහුට ලැබුණේය. 

“ ඇමෙරිකන් මහත්තයා අමුතු එක්කෙනෙක්. මීට ඉස්සරිනුත් මේ වගේ ගිහින් ඉඳල ඇවිල්ල තියෙනවා යැයි කියාද මැල්සිරිපුර පොලිසිය හමුවේ චිත්‍රානන්දගේ අතුරුදන්වීම ගැන පැමිණිලි කිරීමට ගිය රුක්ෂාන් පොලිස් නිලධාරීන් ඉදිරියේ කියන්නට විය.

කුඩුකාරයන්ගේ තිප්පොළක් බට ඒ වන විට පත්ව තිබුණු මෙම නිවස කලකට පෙර රේස්වත්තේ තිබුණු ගෞරවනීය ස්ථානයකි. එහි ජීවත් වූයේ ගුරු යුවළකි. චිත්‍රානන්ද එම ගුරු යුවළට දාව උපන් දරුවන් තිදෙනාගෙන් අයෙකි. සිය ජීවිතයේ වැඩි කාලයක් අමෙරිකාවේ ගතකරමින් එරට පුරවැසිභාවයද ලබාගෙන සිටි චිත්‍රානන්ද නාවික ඉංජිනේරු රැකියාවට සමු දෙමින් මෙරටට එන්නේ සිය ජීවිතයේ සැඳෑ සමය සිය මවුපියන් විසින් ගොඩනැඟූ මහ ගෙදරටවී විවේකීව ගත කිරීමේ සූදානම ඇතිවය. ඒ වසර හත අටකට පෙරය. එසේ පැමිණි ඔහු මෙරට ගත කළේ යැයි කියැවෙන්නේ සල්ලාල ජීවිතයකි. වසර ගණනාවක් තිස්සේ දුක් මහන්සියෙන් උපයාගත් ධනස්කන්දය මතට මෙන්ම කාන්තා ඇසුරටද වැය කරන්නට වූයේ සීමා රහිතවය. ඒ බව රේස්වත්තේ වැසියන්ටද රහසක් නොවීය. ඒ වන විට චිත්‍රානන්දගේ මහ ගෙදර පත්ව තිබුණේ කුඩුකාරයන්ගේ ගුබ්බෑයමක් බවටය.

චිත්‍රානන්ද කෙරෙහි නිරත්නර අවධානයෙන් සිටි අමෙරිකාවේත් කැනඩාවේත් පදිංචිව සිටි සහෝදරයන් දෙදෙනා මේ දේවල් දැන සිටියේ දැයි දන්නේ ඔවුන්ම පමණි. නමුත් ඔවුන් දෙදෙනා ඉඩ ලැබෙන හැම මොහොතකම දුරකතනයෙන් අමතා සිය සහෝදරයාගේ දුක සැප විමසා බැලීමටනම් අමතක නොකළහ. ඒ ඔවුන් අතර වූ සහෝදර බැඳීම ඉතා ශක්තිමත් එකක් වූ බැවිනි.

චිත්‍රානන්දගේ අතුරුදන් වීම වැඩිකල් නොගොස් ඒ අයට ද දැනෙන්නට ගත්තේය. ඒ චිත්‍රානන්දගේ ජංගම දුරකතනය දින ගණනාවක් තිස්සේ අක්‍රිය තත්ත්වයෙන් පැවතීම නිසාය. ඒ ගැන සහෝදරයන්ට ඇති වන්නේ දැඩි සැකයකි. ඒ නිසාම ඔවුන් චිත්‍රානන්ද ගැන සොයා බලන ලෙස දැනුම් දෙන්නේ මාලබේ උද්‍යාන පාරේ පදිංචිව සිටින චිත්‍රානන්දගේ ලොකු අම්මාගේ පුතාටය. ඔහුද චිත්‍රානන්ද සමඟ ඉතා කිට්ටු සම්බන්ධකමක් පැවැත්වූවෙකි. ඔහු මාලබේ සිට චිත්‍රානන්ද ට කුමක් සිදුවී තිබේදැයි සොයා බැලීමට මැල්සිරිපුර රේස්වත්තේ නිවසට යන්නේ පසුගිය 13 වෙනිදාය.

ඒ යන විට එම නිවසේ සිටින්නේ මිලින්ද රුක්ෂාන් පමණි. චිත්‍රානන්දට වූ දෙයක් ගැන හරිහැටි කිසිවක් ඔහු කියන්නට ඉදිරිපත් නොවීය. රුක්ෂාන් ඔහුටද කියන්නට වූයේ පළමුවෙනිදා අනුරාධපුරයේ යනවා යැයි කියා ඔහු නිවෙසින් ගිය බවක් පමණි. ඊට පෙරත් එසේ යන එන තැනක්වත් නොකියා ගොස් දින ගණනාවකට පසු නැවත නි‍ෙවසට එන බවද රුක්ෂාන් ඔහුට කීවේය. එහෙත් ඒ කිසිවක් චිත්‍රානන්දගේ ලොකුඅම්මාගේ පුතා විශ්වාස නොකළේය. රුක්ෂාන්ගේ හැසිරීම ගැන ඔහුට ලොකු සැකයක් ගෙන ආවේය. එම සැකය මුල්කරගනිමින් චිත්‍රානන්දගේ අතුරුදන්වීම ගැන එදා ඔහු මැල්සිරිපුර පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් කරන්නේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියශාන්තවද හමුවීමෙන් අනතුරුවය.

ඒ අනුව දැන් චිත්‍රානන්දගේ අතුරුදන් වීම ගැන මැල්සිරිපුර පොලිස් ස්ථානයේ ලියැවුණු පැමිණිලි ගණන දෙකකි. ඒ දෙකෙන්ම කියැවෙන්නට වූයේ චිත්‍රානන්ද පළමුවෙනිදා අනුරාධපුරයේ යනවා යැයි කියා ගොස් ඇතත් මෙතෙක් නිවසට පැමිණ නැති බවය. චිත්‍රානන්දගේ ජංගම දුරකතනය පවා ක්‍රියාත්මක නොවූ බැවින් එම අතුරුන්වීම ගැන ගෙන දුන්නේ දැඩි සැකයකි. මේ නිසාම චිත්‍රානන්දගේ අතුරුදන්වීම ගැන විශේෂයෙන් සොයා බැලීමක් කරන්නට මැල්සිරිපුර පොලිස් ස්ථානධිපති අශෝක ප්‍රියශාන්ත තීරණය කළේය. රේස්වත්ත පැත්තේ සිට විවිධ අවශ්‍යතා සඳහා පොලිස් ස්ථානයට පැමිණෙන පුද්ගලයන්ගෙන් ජයරත්න ගැන තොරතුරු විමසා බලන්නට පවා අමතක නොකළේය.

“ සර් ඔය කියන්නේ ඇමරිකන් ගැන නේද? මෑන් නියම පොර. කාල බීල ජොලියේ ඉන්න පොරක්.“

“ මිනිහා දැන් කුඩු ගහන්නත් පුරුදු වෙලානේ ඉන්නේ. හැමදාම ගෙදර කුඩු ගහන එවුන් දෙතුන් දෙනෙක් වරදින්නේ නැහැ.“

“ මිනිහා ගෙදරට ගෑනුත් ගේනවා“

“ඇමෙරිකන්ගෙන් කාටවත් කරදරයක් නම් නැහැ.“

පොලිස් ස්ථානාධිපතිවරයාට ජයරත්න ගැන ඒ අයගෙන් ලැබෙන්නට වූයේ මෙවන් පිළිතුරුය. පොලිස් ස්ථානාධිපති අශෝක ප්‍රියශාන්ත ඒ සෑම අයෙකුටම කියන්නට වූයේ ඇමෙරිකන්ගේ නි‍ෙවසේ කුමක් සිදු වන්නේදැයි නිරත්තර අවධානයෙන් සිටින ලෙසය. එහි යම් වෙනසක් සිදුවනු දුටුවහොත් ඒ බව තමාව දැනුම්වත් කරන ලෙසද පොලිස් ස්ථානාධිපතිවරයා ඒ අයව දැනුම්වත් කරනු ලැබීය.

“සර්, ඇ‍ෙමරිකන්ගේ ගෙදර දැන් දවස් දෙක තුනක් තිස්සේ දොර ජනේල් වහලයි තියෙන්නේ. ගෙදර හිටපු එකත් පේන්න නැහැ.“ පසුගිය 23 වෙනිදා පොලිස් ස්ථානාධිපති අශෝක ප්‍රියශාන්තට ගම්වැසියකුගෙන් තොරතුරක් ලැබෙන්නේ එම දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එම තොරතුර ලැබීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක්ද සමඟ රේස් වත්තට යන්නේ චිත්‍රානන්දගේ නි‍ෙවස සෝදිසි කරන්නටය. එහි ගිය පොලිස් කණ්ඩායමට පෙනී යන්නේ නිවසේ දොරගුළු ලා ඇත්තේ ඇතුළතින් බවය. දොරට කිහිප විටක්ම තට්ටුකර පරීක්ෂා කර බැලූවත් කිසිදු ප්‍රතිචාරයක් නොවූ තැන පොලිස් කණ්ඩායම තීරණය කරනුයේ වහලේ උළු කිහිපයක් ගලවා ඇතුළත පරීක්ෂා කර බැලීමටය. ඔවුන් මුලින්ම ගලවා බලන්නේ මුළුතැන් ගේ පැත්තේ උළු කැට කිහිපයකි. ඒ ගමේ තරුණයකු වහළට නංවමිනි. 

“සර්, එකෙක් එල්ලිලා මැරිල ඉන්නවා” වහලයේ උළු කැට ගලවමින් සිටි තරුණයා කෑ මොර දුන්නේය. මුළුතැන්ගෙයි බාල්කයේ එසේ එල්ලී මැරී සිටින්නේ වෙන කිසිවෙක් නොව, ඇමෙරිකන් මහත්තයා අතුරුදන්ව ඇතැයි කියමින් 08 වෙනිදා පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළ මිලින්ද රුක්ෂාන් බව හඳුනා ගන්නේ නිවසේ දොරගුළු බිඳ පොලිස් නිලධාරීන් ඒ තුළට ඇතුළුවී කළ පරීක්ෂාවේදීය. ඒ වන විටත් රුක්ෂාන්ගේ සිරුරෙන් දුඟද වහනය වෙමින් තිබී ඇත්තේ ඔහු එල්ලී මිය ගොස් ඇත්තේ දින කිහිපයකට පෙර වූ නිසා විය හැකිය.

ඇමෙරිකානු පුරවැසියකු වූ චිත්‍රානන්දගේ අතුරුදන් වීමත් ඔහුගේ අතුරුදන්වීම ගැන පොලිසියට මුල් පැමිණිල්ල කළ නි‍ෙවසේ මෙහෙකරුවෙක් ලෙස රැඳී සිටි මිලින්ද රුක්ෂාන්ගේ මරණය ගැනත් කන වැකුණු කුරුණෑගල කොට්ඨාසයභාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ චිත්‍රානන්දගේ අතුරුදන්වීමත් රුක්ෂාන්ගේ මරණයත් අතර යම් සම්බන්ධයක් ඇතැයි සැක කරන්ට ගත්තේය. ඒ නිසාම 24 වෙනිදා උදෑසනම උපුල් චන්දන අබේසිංහ කුරුණෑගල සිට මැල්සිරිපුර රේස්වත්ත බලා පිටත්ව යන්නේ කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දෙකඳුවල ඇතුළු පොලිස් කණ්ඩායමක්ද රැගෙනය. එම කණ්ඩායමට කුරුණෑගල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීහූ පිරිසක්ද පොලිස් නිල සුනඛ අංශයද එක්ව සිටියහ.

මෙම කණ්ඩායම රේස්වත්තට ගොස් රුක්ෂාන් බාල්කයේ එල්ලී සිය දිවි හානිකර ගැනීම ගැන විමර්ශන පවත්වන අතරතුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහගේ උපදෙසින් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අක්කර දෙකහමාරක් පමණ වූ ගෙවත්තේ යම් සෝදිසියක නිරත වන්නට වූයේ ඇති වූ යම් සැකයක් මතය. එම සැකය වඩාත් තීව්‍ර වන්නේ නි‍ෙවස පිටුපස කොටසේ මුළුතැන්ගෙයි සිට මීටර් තුන් හාරසීයක් ඈතින් වූ කෙසෙල් පඳුරක් පාමුල අලුත හෑරූ වළක සලකුණු දැකීමෙන්ය. එම ස්ථානය මඳක් පාදා කෝටු කැබැල්ලක් ගසා බැලීමේදී ඒ තුළින් පිටතට හමා එන්නට වූ දුඟද පොලිස් නිලධාරීන්ට බොහෝ දේ කියන්නට විය. ඒ අනුව 01 වෙනිදා සිට අතුරුදන්ව සිටින්නේ යැයි කියූ චිත්‍රානන්ද නොහොත් ඇමෙරිකන්ට සිදුවී ඇත්තේ කුමක්දැයි ඒ හැමෝටම පැහැදිලි විය. ඒ බව තවදුරටත් තහවුරු වන්නේ 25 වෙනිදා එම සිරුර නීතිමය පියවර සියල්ලක්ම ගෙන ගොඩගැනීමත් සමඟිනි. ඇඳ ඇතිරිලිවල ඔතා ඊට උඩින් කළු පැහැති ටෙන්ට් රෙද්දකින් ඔතා වළ දමා තිබුණේ චිත්‍රානන්දගේ සිරුරය. කොට කලිසමකින් සැරසී උඩුකය නිරුවත්ව තිබුණු එම සිරුර ගොඩගන්නා විට පොලිසිය සිතුවේ බොහෝ සේ නරක් වී ඕජස් ගලමින් තිබෙනු ඇතැයි කියාය. එහෙත් සිරුර එහි තිබුණේ දින කිහිපයකට පෙර සිදුවූ මරණයක ලක්ෂණ පෙන්නුම් කරමිනි.

චිත්‍රානන්දගේ මරණයේ අභිරහස විසඳීමේ වගකීම එතැන් පටන් බාරගන්නේ කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේනය. පැය ගණනාවක් පුරාවට මළ සිරුර දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව අජිත් ජයසේන පෙන්වා දෙන්නේ චිත්‍රානන්දගේ මරණය සිදු කර ඇත්තේ ගෙල කැපීමකින් බවය. ඊට පෙර ඔහුගේ හිසට සහ මුහුණට මොට ආයුධයකින් දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවද ඔහුගේ නිගමනය විය. ඒ අනුව පැහැදිලි වන්නේ චිත්‍රානන්දගේ මරණය පහරදී සිදු කළ ඝාතනයක් බවය. චිත්‍රානන්දගේ සිරුර ගොඩගත් වළෙහි තිබී ලේ තැවරුණු කොට්ටයක්ද විමර්ශකයන් සොයාගත් බැවින් බොහෝ විට චිත්‍රානන්ද මරා දමන්නට ඇත්තේ නිදි ඇ‍ෙඳ්දීම දැයි සැකයක්ද මතු විය. එහෙත් ඒ සැකයන් තහවුරුකර ගන්නට නම් ඝාතකයා හඳුනා ගත යුතුය.

චිත්‍රානන්දගේ ඝාතනයේ සැකය කෙළින්ම ඒ වන විට එල්ලවී තිබුණේ රුක්ෂාන් වෙතය. ඔහු ඒ වන විටත් ගෙල වැලලා ගෙන සිය දිවි හානි කරගෙන සිටි බැවින් චිත්‍රානන්දගේ ඝාතනය රුක්ෂාන් විසින් කළේද? ඒ පිටුපස තවත් පිරිසක් සිටියේදැයි තහවුරු කර ගැනීමට පොලිස් විමර්ශකයන්ට සිදු වන්නේ පර්යේෂණාත්මක සාක්ෂි ඔස්සේය.

ඒ සඳහා විමර්ශකයන්ට චිත්‍රානන්දගේ යටගියාව පවා හරා අවුස්සන්නට සිදු වන්නේ ඔහුගේ ඝාතනය හා බැඳුණු කරුණු ඒ තුළ තිබේදැයි සැකහැර දැනගන්නටය. චිත්‍රානන්ද මෑතකදී සිය අඹුව කරගන්නට සූදානමින් ගාල්ලේ සිට කාන්තාවක් මෙම නි‍ෙවසට රැගෙන ආ බවක් එළියට එන්නේ එවිටය. චිත්‍රානන්දගේ වයසින් බාගයකටත් අඩු වයසැති “නිමන්ති“ නැමති කාන්තාව චිත්‍රානන්දගේ අඹුව කර දීමට රැගෙන එන්නේද රුක්ෂාන්ය. එහෙත් ඇය රේස්වත්තේ නිවසේ පැය 24කට වඩා සිටියේ නැත. චිත්‍රානන්ද තමාට වඩා වයසින් බොහෝ වැඩිමල් යැයි කියා ඇය නැවත ගම්බිම් බලා ගොස් තිබුණාය. චිත්‍රානන්ද මත්කුඩු භාවිතයට පුරුදුවී සිටි බව මෙන්ම නි‍ෙවසට විවිධ කාන්තාවන් ගෙන්වා ගන්නා බවට තොරතුරුද විමර්ශන කණ්ඩායමට ලැබෙන්නට වූයේද ඒ අතරය. පසුගිය සැප්තැම්බර් 27 වෙනිදා ඔහු මත්කුඩු සමඟ ගොකරැල්ල පොලිස් ස්ථානයට පවා හසුවී තිබුණේ රුක්ෂාන් සහ තවත් අයෙක් සමඟිනි. එහිදී පොලිස් කූඩුවේ ලැගීමට සිදුවීම ගැන චිත්‍රානන්ද සිට ඇත්තේ යම් සිත් වේදනාවකි. ඒ අතර සියල්ල අත්හැර නැවත ඇමෙරිකාවට ගොස් ජීවත්වීමටද ඔහුගේ අදහසක් ද තිබුණු බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය.

මෙහිදී චිත්‍රානන්දගේ සෙල්ලක්කාර ජීවිතය ගැන පවා විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්වන්නට වූයේ තරුණ දියණියක්ද ඔහුට දාව සිටින බව අනාවරණය වීමත් සමඟිනි. එකී දියණිය වෛද්‍යවරයෙක් සමඟ ඉතා සාර්ථක විවාහ දිවියක් ගත කරන්නියකි. ඇගේ වෛද්‍ය සැමියාගේ මවුපියන්ද වෛද්‍යවරුන්ය. එම දියණිය බිහි වන්නේ චිත්‍රානන්දගේ සෙල්ලක්කාර ජීවිතයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ ඇමෙරිකාවේ සිට ඔහු ඉඳ හිට මෙරටට පැමිණ යන එන අතරතුරදීය. නමුත් ඔහු කාලයක් යන තුරුම ඒ දරුවා තමාගේ යැයි පිළිගත්තේ නැත. ඇය තමාගේ දරුවා යැයි කියා අවසානයේදී පිළිගන්නේද 2017 වසරේදී කළ ඩී.එන්.ඒ. පරීක්ෂාවකින් අනතුරුවය. ඒ වන විට එම දියණිය 24 වියේ පසු වූවාය.ඒ වන විට චිත්‍රානන්ද මෙන්ම දියණියගේ මවත් සිටියේ අවිවාහකවය.

මේ අතර චිත්‍රානන්දගේ නි‍ෙවසේ නවාතැන් ගෙන ඔහුට ආවතේව කරමින් සිටි රුක්ෂාන් ගැනද සොයා බැලීමක් කරන්නට විමර්ශකයෝ අමතක නොකළහ. එහිදී පෙනී යන්නේ රුක්ෂාන් මංකොල්ල නඩුවක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින්නෙක් බවය. සිය බිරිය සහ දරුවන්ද අත්හැර ඔහු චිත්‍රානන්ද ළගට පැමිණ ඒ වන විට මාස තුන හතරකට වැඩි කාලයක් නොමැති බවද විමර්ශකයන්ට පෙනී ගියේය.

මේ අතර ඇමෙරිකාවේ සිටින චිත්‍රානන්දගේ සහෝදරයාගෙන් විමර්ශකයන්ට ඔත්තුවක් ලැබෙන්නේ සිය සහෝදරයාගේ අමෙරිකානු බැංකු ගිණුමෙන් අවස්ථා තුනකදී ඩොලර් 1288.6 ක මුදලක් ලංකාවේ බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රයකින් ගෙන ඇති බවටය. ඒ ඔක්තෝබර් 3 වෙනිදා ඩොලර් 500ක්, 04 වෙනිදා ඩොලර් 500ක් සහ 6 වෙනිදා ඩොලර් 288.6ක් වශයෙනි. සිය සහෝදරයාගේ අතුරුදන්වීම සැලවූ වහාම එම බැංකු කාඩ්පත අක්‍රිය කිරීමට චිත්‍රානන්දගේ සහෝදරයා පියවර ගත් බවද විමර්ශකයන්ට දැන ගන්නට ලැබුනේ චිත්‍රානන්දගේ අබිරහස් ඝාතනයේ විමර්ශන අලුත් මඟකට යොමු කරවමිනි.

ඒ අනුව විමර්ශන කණ්ඩායම් චිත්‍රානන්දගේ බැංකු ගිණුම් හාරා අවුස්සන්නට ගත්තේ ඔහුගේ මරණය එම බැකු ගිණුම්වල ඇති මුදල් සමඟ යම් සම්බන්ධයක් ඇතැයි සැක කරමිනි. එම සැකය තීව්‍ර වන්නේ ඔහු හිටි හැටියේම රාජ්‍ය බැංකුවක ඇති සිය ගිණුම වසා දමා විශාල මුදලක් ඉවත් කර ගෙන ඇතැයි පෙනී යාමත් සමඟිනි. ගිණුම වසා එම මුදල් ඔහු විසින් ඉවත්කරගෙන තිබුණේ සැත්තැම්බර් 30 වෙනිදාය. එසේම ඔහු මාස කිහිපයක් තුළ සිය බැංකු ගිණුම්වල තිබුණු රුපියල් ලක්ෂ 22ක මුදලක් විටෙන් විට ලබාගෙන ඇති බවද විමර්ශකයන්ට පෙනී ගියේය. එම මුදල්වලට සිදුවූ දෙයට ඇත්තේ අදටත් අබිරහසක් ලෙසිනි. මෙසේ බැංකු ගිණුම් පිරික්සීමේදී පෙනී යන්නේ පෞද්ගලික බැංකුවකද ඔහුට අයත් බැංකු ගිණුමක් ඇති බවය. එම ගිණුමෙන්ද ඔක්කෝම්බර් 05 වෙනිදා ඒ.ටී.එම්. කාඩ්පතින් මුදල් ලබාගැනීමක් කර තිබුණේ ඉබ්බාගමුවේ බැංකු ශාඛාවකිනි. එම මුදල් ප්‍රමාණය රුපියල් 18,800කි. ඒ බැංකුවේ තිබූ සියලු මුදල් ටිකය.

මෙහිදී විමර්ශකයන්ගේ අවධානය යොමුවන්නේ අමෙරිකානු ඒ.ටී.එම්.කාඩ්පතින් මුදල් ලබාගෙන ඇති ඒ.ටී.එම්. යන්ත්‍රය වෙතය. අවස්ථා තුනේදීම එම මුදල් ලබා ගෙන ඇත්තේ ඉබ්බාගමුවේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ඒ.ටී.එම්. යන්ත්‍රයකින් බව පැහැදිලි විය. ඒ හැරුණු විට තවත් අවස්ථාවකදී ඇමෙරිකානු බැංකු කාඩ්පතින් මුදල් ලබා ගැනීමට උත්සාහයක නිරත වූවත් එය අසාර්ථක වී ඇත්තේ බැංකු කාඩ්පත චිත්‍රානන්දගේ සහෝදරයා විසින් ඒ වන විට අක්‍රිය කර තිබීම හේතුවෙනි. මේ සෑම අවස්ථාවකදීම ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගන්නේ වෙන කිසිවකුත් නොව රුක්ෂාන් බව ආරක්ෂක කැමරා දත්ත පිරික්සීමේදී පැහැදිලිවම හඳුනා ගැනීමට විමර්ශකයන්ට හැකියාවක් ලැබුණේය. සිවුවැනි අවස්ථාවේදී ඒ. ටී. එම්. කාඩ්පතින් මුදල් ගැනීමට නොහැකි වූ තැන ඔහු එම කාඩ්පත වෙනත් පුද්ගලයකුට දෙමින් ඔහු ලවාද මුදල් ගැනීමට යම් උත්සහයක නිරතවී තිබුණේය. එම පුද්ගලයා මේ වන විට සිටින්නේ උන්හිටිතැන්වලින් පලා ගොස් අතුරුදන්වය. විමර්ශකයන් විශ්වාසකරනුයේ චිත්‍රානන්දගේ ඝාතනය ගැන බොහෝ දේවල් ඔහුව කොටුකර ගැනීමෙන් පසු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි කියාය.

මේ අතර විමර්ශකයන්ගේ විශේෂ අවධානයකට යොමු වන්නේ රුක්ෂාන්ගේ බැංකු ගිණුමක් කෙරහිය. එම ගිණුමට අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ 03ක මුදලක් බැරවී ඇති අයුරු විමර්ශකයන්ට පෙනී ගියේය. එම මුදල් ඔහුගේ ගිණුමට බැරවන්නේද චිත්‍රානන්දගේ ඇමෙරිකානු ඒ. ටී. එම්. කාඩ්පතින් ඔහු මුදල් ඇදීමත් සමඟිනි. ඒ හැරුණු කොට රුක්ෂාන්ගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් වරක් ඒ. ටී. එම්. කාඩ්පතක් හරහා ගෙන ඇති අයුරුද විමර්ශකයන්ට නිරීක්ෂණය විය. ඒ ගැන සොයා බැලීමේදී පෙනී යන්නේ ඉබ්බාගමුවේ පිහිටි බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකින් එම ලක්ෂයක මුදල ගෙන ඇත්තේ රුක්ෂාන් නොව, වෙනත් අයකු විසින් බවය. විමර්ශන නිලධාරීන් දැඩි පරීශ්‍රමයකින් අනතුරුව ඒ පුද්ගලයාව සොයා ගන්නේ ආරක්ෂක කැමරා දත්තයන්ට පින් සිදු වන්නටය.

“අනේ සර්, මට ගහන්න කරන්න එපා. මම ඇත්ත කියන්නම්“ විමර්ශන නිලධාරීන් ඔහුව කොටුකර ගැනීමත් සමඟ ඇඟට අතක් තියන්නටත් කලියෙන් ඔහු සියල්ල වමාරන්නට ගත්තේය. නමුත් ඒ චිත්‍රානන්ද ඝාතනය ගැන නොව, වෙනත් කතාවකි.

“රුක්ෂාන් එයාගේ බැංකු කාඩ් එක මට දීල කිවුවා රුපියල් 10,000ක් අරන් වරෙන් කියල. එදා ඇමෙරිකන් මහත්තයා ගෙදර හිටියේ නැහැ. මම ඇහුවා ඇ‍ෙමරිකන් කෝ කියල. එතකොට කිවුවා අනුරාධපුරේ ගිහින් කියල. මම බැංකුවට ගිහින් කාඩ් එකෙන් සල්ලි ගන්න කොට දැක්කා ලොකු ගාණක් තියෙනවා කියල. මම ඒ නිසා ලක්ෂයක්ම ගත්තා. හැබැයි රුක්ෂාන්ට කිවුවේ නැහැ. ගත්ත 10,000ක් කියලයි කීවේ. අපි දෙන්නම ඒකෙන් කුඩු ගැහුවා. හංග ගත්ත සල්ලි වලින් මම කොළඹ ගිහින් කුඩු ටිකක් ගෙනාවා“ යැයි ඔහු ගිරා පෝතකයෙක් ලෙස හැමදෙයක්ම කියන්නට ගත්තේය. ඒ කොළඹින් රැගෙන පැමිණි හෙරොයින්වලින් ඉතිරිව තිබුණු ග්‍රෑම් 02ක්ද විමර්ශන නිලධාරීන්ට බාර දෙමිනි.

මේ අතර විමර්ශන නිලධාරීන්ගේ අවධානයට යොමු වන්නේ චිත්‍රානන්ද සතුව තිබුණු යතුරුපැදියක්ද චිත්‍රානන්දගේ මරණයත් සමඟ අතුරුදන්ව ඇති බවය. ඒ ගැන කළ සොයා බැලීමේදී එම යතුරුපැදිය මතුවන්නේ දඹුල්ලෙනි. බැලින්නම් එම යතුරුපැදිය රුක්ෂාන් විසින් සිය කුඩු සගයකුගේ මාර්ගයෙන් රුපියල් 60,000කට උකස්කර තිබුණේය. එම කුඩු සගයාවද විමර්ශන නිලධාරීන් හඳුනා ගෙන සිය භාරයට ගත්තේය.

එහෙත් තවමත් චිත්‍රානන්දගේ ඝාතනය ඇත්තේ නොවිසඳුණු අබිරහසක් ලෙසිනි. ඒ චිත්‍රානන්දගේ ඝාතනයේ අබිරහස් ගොන්නක්ම සඟවාගෙන රුක්ෂාන් බාල්කයේ එල්ලී පරලොව සුවය සොයා ගිය බැවිනි.

ඡයාරූප - සුනිල් එස්. පැල්ලන්දෙනිය

Comments