
කට් ක්‍රීඩාවෙන් ජයකෙහෙළි නංවමින් ආනන්දයට ආනන්දයක් වූ තිලාන් විජේසිංහ ආනන්ද හා නාලන්දා ක්‍රිකට් ඉතිහාසයම බබළවන්නේ 50 වැනි සුලෝහිත ගැටුමේ ආනන්ද කණ්ඩායමේ නායකයා ලෙසිනි. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයකෙහෙලි නැංවූ ඔහු විවිධ ක්ෂේත්‍ර හා ඉසව් හි සුරුව සරන්නේ වාර්තා තබමිනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ළාබාලතම සභාපතිවරයා ලෙස ද පත්වෙන හේ සිය වෘත්තීය දිවිය අරඹන්නේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙසිනි.
එවකට ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජන බැංකුව ලෙසින්ද සැලකුණු ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමෙහි සම නිර්මාතෘවරයකු ද වන ඔහු කාර්මික ඉංජිනේරු, ව්‍යාපාර කළමනාකරණය හා ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ත්‍රිත්ව උපාධි ලැබූවෙකි. තිලාන් විජේසිංහ මේ වනවිට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය (PPP – Public Private Partnership) පිළිබඳ ශ්‍රී ලංකාවේ හොඳම සමාගමක් සේ ප්‍රචලිත TWC නම් ආයෝජන බැංකු සමාගමෙහි සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.
ක්‍රිකට් ක්‍රීඩාවත්, පරිපාලනයත්, ව්‍යවසායකත්වයත් මනාසේ සමබර කරගනිමින් බොහෝ ක්ෂේත්‍ර ඇසුරු කළ ඔහුගේ දිවිසැරියේ තතු ඇසුරෙන් කරන ලද සාකච්ඡාවක සංක්ෂිප්තයයි මේ.
සම්පූර්ණ නම - තිලාන් මන්ජිත් විජේසිංහ
උපදින්නේ - කොළඹ බොරැල්ලේ
උපන්දිනය - අප්‍රේල් 19
අම්මා තාත්තා හා සහෝදර සහෝදරියන් ගැන කතා කළොත්
තාත්තා තිලක් විජේසිංහ. ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්. අම්මා නාලිනී. ඇය මොන්ටිසෝරි ගුරුවරියක්. සහෝදරයෙක් හා සහෝදරියක් මට ඉන්නවා.
පාසල් යන්නේ
කොළඹ ආනන්ද විද්‍යාලයට
පාසලේදී ඔබ ගොඩක් බාහිර වැඩ කරනවා. විශේෂයෙන් ක්‍රිකට් ඔබේ ජීවිතයේ අංගයක් වගේ
ඔව් මම ක්‍රිකට් ක්‍රීඩා කළා. ක්‍රිකට් සම්බන්ධයෙන් බොහෝ වාර්තාත් මම තිබ්බා. ඊට අමතරව පාසල් විවාද කණ්ඩායමේ හිටියා. ශිෂ්‍ය නායකයකු විදියටත් කටයුතු කළා.
ඔබ තමයි ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ 50 වැනි තරගයේ ආනන්දීය කණ්ඩායම් නායකයා.
අවුරුදු 12 ඉඳන් 19 දක්වා මම ආනන්ද ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ආනන්ද නාලන්දා 50 වැනි බිග් මැච් එකේ ආනන්දීය කණ්ඩායමට නායකත්වය දෙන්න මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව 1975 ඕවර් 50 ආනන්ද නාලන්ද ප්‍රථම තරගයටත් සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. 1979 තමයි මම ආනන්ද කණ්ඩායමට නායකත්වය දුන්නෙ.
පාසල් අධ්‍යාපනය සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීම කොහොමද සමබර කර ගත්තෙ
වයස අවුරුදු 15 විතර වෙනකම් මම හරියට සමබර කරගත්තා. සාමාන්‍ය පෙළ මම හොඳටම සමත් වුණා. පළවැනි තුන්දෙනා අතර මම පන්තියෙ හැමදාම හිටියා. මට ජ්‍යේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබුණෙ ඇත්තෙන්ම වයස 13 දී. ඒක වාර්තාවක්. මුළු තරගාවලියම ගැහුවා. අට වැනි ශ්‍රේණියෙන් පසුව මගේ අධ්‍යාපන කටයුතුවල පොඩි පිරිහීමක් තිබුණා.
උසස්පෙළට මොන විෂය ධාරාවෙන් ද පෙනී සිටියේ
ගණිත අංශයෙන් තමයි මම පෙනී සිටියෙ. ඊට පසු අධ්‍යාපන කටයුතු ඇත්තටම මට යම්කිසි වාසනාවක් නිසා ලැබුණු දෙයක් කිව්වොත් වැරැද්දක් නැහැ. මම උසස්පෙළ කරන කාලෙ උසස්පෙළ විභාගෙ තිබුණෙ අප්‍රේල් මාසෙ. ක්‍රිකට් සීසන් එක ඉවර වෙන්නෙ මාර්තු. මට මතක හැටියට 1968 න් පස්සෙ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමට ගහපු කිසිම කෙනෙක්ට විශ්වවිද්‍යාලෙ යන්න වරම් ලැබුණෙ නෑ. මොකද ක්‍රිකට් සහ ඉගෙනීම සමබර කර ගන්න අමාරුයි.
හැබැයි ඔබට ලැබෙනවා විශේෂ අවස්ථාවක්.
මට වයස අවුරුදු 17 දී ඇමෙරිකානු ශිෂ්‍යත්වයක් ලැබුණා ඇමෙරිකාවට යන්න. ඒ කාලෙ ලංකාවෙම ඉන්ටර්විව් කරලා දහයකට පහළොවකට වගේ පිරිසකට මේ ශිෂ්‍යත්වය ලැබුණා. ඒ ශිෂ්‍යත්වයේදී ඇමෙරිකාවේ පවුලක් එක්ක ජීවත් වෙන ගමන් 12 වැනි ශ්‍රේණියේ ඉගෙනීම් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක සංස්කෘතික වැඩසටහනක්. මම 1977 අගභාගයේ ඉදන් වර්ෂයක් ඇමෙරිකාවෙ පවුලක සාමාජිකයෙක් විදියට තමයි ඉගෙනීම් කටයුතු කළේ. ඊට පස්සෙ ඇමෙරිකාවෙදි මම අධ්‍යාපන කටයුතු හොඳට කළ නිසා එහේම විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබුණා.
හැබැයි ඔබ ලංකාවට එනවා. ඒ ඇවිත් තමයි 50 වැනි ආනන්ද නාලන්ද තරගාවලියේ ආනන්ද ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන්නෙ.
මොකද වෙන්නෙ ?
ඒ ශිෂ්‍යත්වෙ හැටියට ලංකාවට ඇවිත් තමයි ආපහු යනවා නම් යන්න ඕන. ඒක අනිවාර්යයි. ඒ නිසා මම 13 වසරෙදි ආපහු ආනන්දෙට එනවා. ඒ ආවෙම ක්‍රිකට් ගහන්න ආස නිසා. ඊට පස්සෙ 50 වැනි බිග් මැච් එකේදී ආනන්දෙට නායකත්වය දීලා තමයි මම පාසලෙන් අයින් වුණේ.
ඔබ නැවත ඇමෙරිකාවට යනවාද?
1979 ජූලි මාසෙ මම නැවත ස්ටේට් ඔෆ් නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයට බැඳෙනවා. එතැනදි මම ද්විත්ව උපාධියක් හැදෑරුවා. ව්‍යාපාර කළමනාකරණය හා ඉංජිනේරු ක්ෂේත්රයට අදාළවයි මම ඒ උපාධි කළේ. ඊට අවුරුදු දෙකකට පස්සෙ ඇමෙරිකාවේ කෝනේල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබිලා ගියා. ඊට පස්සෙ මම අවුරුදු පහක් මම විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධි 3ක් ලබා ගත්තා. කාර්මික ඉංජිනේරු, ව්‍යාපාර කළමනාකරණය හා ආර්ථික විද්‍යාව කියන ක්ෂේත්රවලින් මම උපාධිය ලබා ගත්තා. ලංකාවට ආවෙ 1984 දි.
ආපහු ලංකාවට ඇවිල්ලත් ක්‍රිකට් අමතක කරන්න බැරි වුණා නේද?
වයස 15 දි මගේ පියාට පුහුණුකරු කතා කරලා කිව්වා මම ක්ලබ් ක්‍රිකට් ගැහුවොත් හොඳයි කියලා. බොරැල්ලෙ ඕවල් එකේ තියෙන ටැමිල් යූනියන් ක්‍රිකට් ක්ලබ් කියන සමාජයට මම බැඳුණා. මට විතරයි සිංහල නමක් තිබුණෙ. මම ආඩම්බරෙන් කියන්නෙ මට එතැන කිසිම වෙනසක් වුණේ නෑ. ක්ලබ් එකට තිබුණු මගේ කෘතඥතාව නිසා මම නැවැතත් ඒ ක්ලබ් එකෙන් 84 දි පළමු පෙළ ක්‍රීඩා කළා. 1991 වර්ෂයේදී ඒ ක්ලබ් එකේ මම නායකයා වුණා. 91-92 මමයි චන්දික හතුරුසිංහයි තමයි මුලින්ම පිතිකරුවන් විදියට එන්නෙ. පළමු පෙළ හොඳම පිතිකරු දිනා ගත්තටත් පස්සෙ මාව තේරුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ 25ට. නමුත් අන්තිම 11ට තේරුණේ නෑ. හැබැයි මාව ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකයා විදියට පත් කළා. 1992 වර්ෂයේදී මම ක්‍රිකට් ගහන එක මුළුමනින්ම නතර කළා.
මොකද්ද හේතුව
මට ව්‍යවසායක ක්ෂේත්රයට එන්න ඕන වුණා.
කොතනින්ද පටන් ගන්නේ
ප්රයිස්වෝටර් හවුස් කූපර්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් මම පටන් ගන්නෙ. පත්තරේ තිබුණු දැන්වීමකට අනුව මම අයදුම්පතක් ඉදිරිපත් කරලයි ඒකට තේරෙන්නෙ. 60ක් ඉල්ලලා තිබුණා. මම තමයි තේරුණේ.
ඒ ඔබේ පළමු රැකියා සම්මුඛ පරීක්ෂය ද?
ඔව්. ඒක තමයි මගේ පළමු වගේ ම අන්තිමටම ඉල්ලුම් කළ රැකියා අයදුම්පතත්. මම රස්සාවක් හොයා ගෙන ගිහින් නෑ, ඒකෙන් පස්සෙ අද වෙනකම්. ආරාධනා ලැබුණට පස්සෙයි මම ගියේ.
සම්පත් බැංකුවට කොහොමද සම්බන්ධ වෙන්නෙ
මට සම්පත් බැංකුව පටන්ගත් සභාපතිතුමාගෙන් ආරාධනයක් ලැබුණා සම්පත් බැංකුවට එකතු වෙන්න කියලා. අවුරුදු එකහමාරකට පස්සෙ මට උසස්වීමක් ලැබුණා. ඒ කළමනාකරණ තනතුරක්. මට එතකොට අවුරුදු 31 යි. මා දන්නා පරිදි බැංකුවෙ කළමනාකරණ තනතුරක් ලැබුණු ළාබාලම කෙනා මම. මම එහි වැඩ කළා 1991 තෙක්. මගේ හොඳම මිත්‍රයෙක් වුණු ඉරේන් පෙරේරා මට කතා කරලා කිව්වා, අපි අලුත් කොම්පැනියක් පටන් ගන්නවා, ආයෝජන හා කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් කියලා. මටත් එකතු වෙන්න ආරාධනයක් ලැබුණා.
ඒක අවධානමක් කියලා හිතුණෙ නැද්ද?
ඔව්, මට තීරණයක් ගන්න වුණා, සම්පත් බැංකුවෙ දිගටම ඉන්නවද; කැනඩාවට පදිංචියට යනවාද; මේ අලුත් අවස්ථාව බාර ගන්නවද කියන එක. ඉරේන් මට කිව්වෙ 7%ක් කොටස් දෙන්නම් කියලා. මම ආයෙත් ලංකාවට ඇවිත් 92 මුල ඒෂියා කැපිටල් කියන ඒ ආයතනයට කිව්වා, සම්පත් බැංකුවේ තියෙන මගේ වැඩ ටික ඉවර කරලා මම එතැනට එනවා කියලා. සම්පත් බැංකුවේ පාලනාධිකාරිය කැමැති වුණේ නෑ මම යනවට. ඔවුන් කිව්වෙ තව අවුරුදු 10කින් තිලාන් සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වෙන එක අනිවාර්යයි කියලා. එයාලා කිව්වා ලබන අවුරුද්ද වෙද්දි නිවාස ණයකුත් ගන්න පුළුවන් කියලා.
ගන්න අසීරු තීරණයක්
මම ආයෝජන හා කොටස් වෙළඳපොළ කියන ක්ෂේත්රවලට කැමැතියි. අනික මට ඒ ආයතනයේ කොටස් තියෙනවා. අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් විදියට යන්නෙ. මගේ බැංකු පොතේ රුපියල් ලක්ෂ එකහමාරක් ඒ වෙනකොට තිබුණා. මම හිතුවා මම ලක්ෂයක් ආයෝජනය කරනවා කියලා. එතැනින් මට ලැබෙන තෘප්තිය නැත්නම් ව්‍යවසායක ක්ෂේත්රයට යන සතුට මට සම්පත් බැංකුවෙ ඉඳීමෙන් ලැබෙන්නෙ නෑ. මේක රැකියාවක් විතරයි. කළමනාකාර අධ්යක්ෂ වෙන්න මම අවුරුදු 10 බලා ඉන්න ඕන. ඒක තේරුමක් නෑ. මම කෙළින් තීරණයක් ගත්තා.
කොහොමද පටන් ගැන්ම
පොඩි කාමරයක අපි කිහිපදෙනෙක් පටන් ගත්තෙ. අවුරුදු 3ක් ඇතුළත ලංකාවේ කොටස් වෙළෙඳපොළ ආශ්රිත ලංකාවේ ලොකුම සමාගම් 10 ඇතුළට ආවා. ඒෂියා කැපිටල් ආයතනය තමයි එවකට ලංකාවට වැඩිම විදෙස් ආයෝජන ගෙනාවෙ. ඒ කොටස් වෙළෙඳපොළට හා ඍජු ආයෝජන විදියට.
මේ අතරෙනෙ ඔබ ආයෝජන මණ්ඩලයේ සභාපති වෙන්නෙ
ඔව්. ඒක විශාල ටාගට් එකක් විදියටනෙ මට ගන්න වුණේ. ඒක බාර ගනිද්දි මම ඒෂියා කැපිටල් එකේ මගේ කොටස් විකිණුවා. 1992 මම ආයෝජනය කළ ලක්ෂය අවුරුදු තුනහමාරකට පස්සෙ මම විකිණුවෙ ලක්ෂ ලක්ෂ 330කට. එතැන ඉන්නවා නම් සම්පත් බැංකුවෙන් නිවාස ණයක් ගන්න පුළුවන් කියපු මට අවුරුදු තුනහමාරකින් කොළඹ 7 ගෙයක් සල්ලි දීලා ගන්න පුළුවන් වුණා.
ඔබ ආයෝජන මණ්ඩලයට පත් කිරීමේ පසුබිම සකස් වෙන්නේ කොහොමද?
ඔව්. ඒකට කතා කළේ එවකට හිටපු ජනපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක. මම එක්ක එතැන තව හතර දෙනෙක් හිටියා. මාව තමයි තේරුණේ. ඒක සිද්ධ වුණේ වෙනම විදියකට. එතකොට මට වයස 35යි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමයි මාව ඉන්ටර්විව් කළේ. මගෙන් ඇහුවා කැමතිද මේ තනතුර බාර ගන්න කියලා. මම කිව්වා කල්පනා කරන්න ඕන කියලා. කල්පනා කරන්න දෙයක් නෑ, දැනට ලැබෙන වැටුපට වඩා ගෙවන්නම් කියලා. චන්ද්‍රිකා මැතිණිය මගෙන් ඇහුවා කීයක් බලාපොරොත්තු වෙනවද කියලා. මම කිව්වා මට ලක්ෂයකින් ජීවත් වෙන්න පුළුවන් කියලා. එතුමිය හරි කිව්වා. ඒක අනෙක් සියලු අයගේ වැටුපට සාපේක්ෂව ඉහළම වැටුපක්. මට කලින් සභාපති ගත්තා වගේ හතර ගුණයක්. මේකට ගොඩක් ප්‍රශ්න ආවා. පාර්ලිමේන්තු විවාදයක් පවා තිබුණා තිලාන් විජේසිංහ කියන මේ පුද්ගලයාට මෙච්චර වැටුපක් දීලා ආයෝජන මණ්ඩලේ සභාපති කළේ ඇයි කියලා.
මේ තත්ත්වයට ඔබ මුහුණ දුන්නෙ කොහොමද?
මේවා නිසා මට දැනුණු දේ තමයි මම හරියටම වැඩ නොකළොත් මට මාස 6ක්වත් මෙතන ඉන්න හම්බ වෙන්නෙ නෑ කියන එක. මම මගේ පුද්ගලික අංශයේ තිබුණු සියලු තනතුරුවලින් අයින් වුණා. මම මුළුමනින් ම ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ම කැප වුණා. දත්ත බැලුවහම පේනවා 1996 සිට 2001 වකවානුව දක්වා තමයි දළ දේශීය ප්‍රතිශතය ප්‍රතිශතයක් විදියට වැඩිම ශුද්ධ ලාබයක් වාර්තා කළේ.
එතැනින් කොතැනටද
ආයෝජන මණ්ඩලයෙන් අයින් වුණාට පස්සෙ මට 2002 වර්ෂයේදී දැන් ඒෂියන් හොටෙල්ස් ප්‍රොපටීස් ආයතනය එවකට අයිති වෙලා තිබුණෙ මැලේසියානු පාර්ශ්වයකට. ඒ අය මට කතා කරලා කිව්වා මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට බැඳෙන්න කැමැතිද කියලා. මම මාස 22ක් ඒ ආයතනය පරිපාලනය කළා. ඊළඟට මම ඩිල්මා එකෙන් ආරාධනයක් ලැබුණා කළමනාකාර අධ්යක්ෂ ලෙස වැඩ කරන්න. අවුරුදු 5ක් මම එතැන හිටියා. මටත් 10%ක විතර එහි කොටස් තිබුණා.
ඔබ නැවත අමෙරිකාවට යනවා.
2008 අග භාගයේදී මම මුළු පවුලම එක්ක යන්නෙ. ඒකාලෙ ලෝකෙ දැවැන්ත මූල්‍ය අර්බුදයක් තිබුණා. ඒ නිසා මට ලැබෙන්න තිබුණු රැකියා අවස්ථා ඉතා අඩු වුණා. ඒ අතරෙ ලංකාවෙන් ආයෙත් මට ආරාධනයක් ලැබුණා, ඕවර්සීස් රියැලිටි සිලෝන් පීඑල්සී සමාගමේ සමූහ කළමානාකාර අධ්යක්ෂ ධුරයක් බාර ගැනීමට. මම බාර ගත්තා. ලංකාවට ඇවිත් මම අවුරුද්දක් වැඩ කළා.
එකපාර නැවත ඔබ ව්‍යවසාය ක්ෂේත්රයට එනවා?
මගේ බිරිය එක දවසක් මට කතා කරලා අහනවා, තිලාන් ඔයා මේ ළමයි ලොකු වෙනවා දකින්න ආස නැද්ද කියලා. එතකොට 2010 වසරේ මම නැවතත් ව්‍යවසාය ක්ෂේත්රයට යන්න ඕන, මට නිදහසක් ඕන කියන තීරණයට ආවා.
TWC ඇරඹෙන්නේ ඒ අනුවද? මොකද්ද ඔබේ ආයතනයෙන් කෙරෙන කාර්යය
ඒකත් ආයෝජන මූල්‍ය ආයතනයක්. අපි දේශීය විදේශීය ආයෝජකයන්ට උපදෙස් ලබා දෙනවා, ක්ෂේත්රයේ මූල්‍ය ආයෝජනය කරන්නෙ කොහොමද කියලා. ආයතන මිලදී ගැනීම්, මුදල් කළමනාකරණ ආදිය අපි කරනවා. අපි රාජ්‍ය හා පෞද්ගලිකත්ව හවුල්කාරීත්වය සම්බන්ධ හොඳ ම ආයතනයක් ලෙසින් ආයෝජන මණ්ඩලය හඳුන්වනවා. දැන් අපි PPP සම්බන්ධයෙන් අපේ තියෙන විශේෂඥත්වය බංගලිදේශයට, නේපාලයට හා මාලදිවයිනට අලෙවි කරනවා.
ඔන්ලයින් ගනුදෙනුකරණයත් ඔබට ආගන්තුක නෑ?
wow.lk සමාගම මමයි තව හතරදෙනකුයි පටන් ගත්තෙ. ඒක අවුරුදු තුන හතරකට පස්සෙ ඩයලොග් ආයතනය මිලදී ගත්තා. ඩයලොග් ගත්තට පස්සෙත් මම අධ්යක්ෂ මණ්ඩලයේ හිටියා. ඊට පස්සෙ ඩයලොග් ආයතනය DARAZ එකට විකිණුවා
ජීවිතේ දිහා ආපහු හැරිලා බැලුවොත් මොනවගේ හැඟීමක් ද ඔබට එන්නේ
මට ඕන තැනක හොඳට නින්ද යන කෙනෙක්. හැබැයි මට නින්ද යන්නෙ නැති එක අවස්ථාවක් තියෙනවා. ඒතමයි මගේ ජීවිතයට, චරිතයට කැළලක් වෙන දෙයක්, බොරු චෝදනාවක් කළොත්.
කවුද ජීවන සහකාරිය. ඒවගේම දරුවන්
ඇය ශනිකා වෙලගෙදර. අපි 1994 විවාහ වුණේ. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ශනිල්ට දැන් අවුරුදු 27යි. පොඩි පුතා අනිෂ්ට අවුරුදු 25යි. එයාලට ඔවුන්ගේම ව්‍යාපාරික ආයතනයක් තියෙනවා.
විවේක වෙලාවට මොකද කරන්නෙ
මට පියානො, ගිටාර් සහ හාර්මෝනිකා තුනම වාදනය කරන්න පුළුවන්. ඒ මගේ අම්මාගෙන් ලැබුණු දායාදයක්. මම ගීත ලියලා තියෙනවා, ඉංග්‍රීසි මාධ්‍යයෙන්
ආපහු ක්‍රිකට් ගහන්න අදහසක් නැද්ද?
මේ දවස්වල මම ආයෙත් 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට තරග කරන්න ලෑස්ති වෙනවා. ලබන අවුරුද්දෙ මාර්තු දකුණු අප්‍රිකාවෙ ඒක තියෙන්නෙ. මේ දවස්වල ඒකෙ පුහුණුවීම් කරන්න ගත්තා.
පොත් කියවන්න කැමැතිද?
සාමාන්‍යයෙන් මම කියවන්නෙ සඟරා. මම ආසම සඟරාව The Economist.
චිත්‍රපට බලන්නවද?
මම චරිත කතා ඇසුරෙන් හැදුණු චිත්‍රපට බලන්න කැමැතියි.
සංචාරය කරන්න කැමැති කොහේද?
බොගවන්තලාව හා කොත්මලේ ට කැමැතියි. මම කඳුකරයට හා ජලාශවලට කැමැතියි.
බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ
එහෙම නැහැ. මම කැමැති නැහැ අනවශ්‍ය මිලක් ගෙවන්න. ඒවුණාට මගේ පෞරුෂයට ගැළපෙන විලාසිතාවක් තියෙනවා නම් මම ගන්නවා. මම වියදම් කරන මුදලට වටිනාකමක් තියෙනවා නම් මම ගන්නවා.