
ඊ පොත් හෙවත් ඉලෙක්ට්‍රොනික් පොත් සංකල්පය ලොව පුරා ප්‍රචලිත ව බොහෝ කලක් ගෙවී ඇතත්, ලංකාවේ ඒ ගැන කතා කරන්නට ගත්තේ වසර කිහිපයක සිට ය. කඩදාසි අර්බුදයත් සමඟ යළිත් මේ වසරේ මුද්‍රිත පොත් අසාමාන්‍ය ලෙස ගණන් යෑමත් සමඟ ඒ ගැන කතිකාවට නව පණක් ලැබිණි. එහෙත් මේ පිළිබඳ බොහෝ පාඨකයන්ගේ දැනුම යාවත්කාලීන නැති බව සත්‍යයකි.
ලංකාවේ තත්ත්වය එසේ වුවත් 2015 වර්ෂයේදී ඇමරිකාවේ කරන ලද සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඒ වනවිටත් ඇමරිකානුවන්ගෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් කියවන්නේ හා පරිහරණය කරන්නේ ඊ පොත් බව ය. 2015 දී තත්ත්වය එසේ නම් ඊට අවුරුදු හතකට පසු තත්ත්වය ඔබට සිතා ගැනීමට අපහසු නැත. ඉලෙක්‌ට්‍රොනික පොත් මෙරට එතරම් බහුල නො වුව ද එම පහසුකම ව්‍යාප්ත ව තිබිණි නම් පාඨකයනට වන මෙහෙය අවතක්‌සේරු කළ හැකි නොවිය හැකි යැයි සිතෙන්නේ මේ පසුබිම ඔස්සේ ය.
ඊ පොත් හෙවත් ඉලෙක්ට්‍රොනික පොත් ඕඩියෝ පොත් හෙවත් ශ්‍රව්‍ය පොත් ද සාපේක්ෂ වශයෙන් යම් වර්ධනීය ගමනකට අවතීර්ණ වන්නට ලොව පුරා කඩදාසි හිඟ වීමත්, කඩදාසි දැරිය හැකි මිල ඉක්මවීමත් බලපාන්නට ඇත. එමෙන්ම කඩදාසි නිපදවීම සඳහා ඍජු ව යොදා ගන්නා ගස් කැපීම පිළිබඳ ව වන ලොව පුරා විරෝධය ද ඊට සැලකිය යුතු බලපෑමක් කරන්නට ඇත.
ඉලෙක්ට්‍රොනික පොතක් යන්නට අර්ථකථනයක් දෙන මහාචාර්ය රොනාල් ජී. මස්ටො සිය electronic Book නම් කෘතියෙහි ඊ පොත් යන්න අර්ථකථනය කරන්නේ,
"ඩිජිටල් ස්‌වරූපයෙන් පවතින, පරිහරණය කළ හැකි පෙළක් හෙවත් පඨිතයක් (Text) සහිත පොතක් e පොතක් ලෙස හැඳින්විය හැකියි. එහි පෙළ සමඟ පින්තූර ද ඇතුළත් විය හැකි වන අතර සමතල (Flat panel) ප්‍රදර්ශකයක් හරහා කියවිය හැකි විය යුතු ය. එනම් පරිගණක හෝ වෙනත් ඉලෙක්‌ට්‍රොනික මෙවලමක් මඟින් පරිහරණය කළ හැකි විය යුතු ය." ලෙසිනි.
බොහෝවිට දියුණු රටවල මුද්‍රිත පොත සමඟ සමගාමී ව ඊ පොතක් ද නිකුත් වේ. එහෙත් ලංකාවේ තවමත් එවැනි ප්‍රවේශයකට අවතීර්ණ වූයේ සියයට දහයකටත් වඩා අඩු ප්‍රමාණයකි.
ඊ පොත් කියැවීමට විශේෂයෙන් වෙන් වූ ඉලෙක්‌ට්‍රොනික කියවන (e Reader) උපකරණ තිබේ. පළමුවරට ඊ රීඩරයක් හරහා නිකුත් කරන ලද්දේ Rocket e නම් පොත් ශ්‍රේණියයි. ඒ 1998 දී Nuomedia ආයතනය විසිනි. පළමු ඊ පොත නිකුත් කෙරුණු කාලවකවානුව ගැන මතභේද පවතී. 1949 දී Angela Ruiz Robles නමැති ස්‌පාඤ්ඤ කාන්තාවක් පළමු ඊ පොත සඳහා පේටන්ට් අයිතිය ලබාගෙන තිබේ. එහෙයින් අද බොහෝ දෙනා ඇය ඉලෙක්‌ට්‍රොනික පොතේ මව ලෙස හඳුන්වති. ඒ අනුව ලොව ප්‍රථම ඊ පොතට අදාළ පේටන්ට් බලපත්‍රය ඇයට ලැබී තිබේ. කෙසේ වෙතත් ඇයගේ ඊ පොත ගැන ඇති තොරතුරු ඉතා අල්ප ය. වර්තමානයේ දී ඇතැමුන් පිළිගන්නේ ලොව ප්‍රථම ප්‍රායෝගික ඊ පොත මිචෙල් හාට් විසින් 1971 දී බිහි කරන ලද බවයි.
කෙසේ නමුත් පොත සමඟ වන පරිකල්පනීය බැඳීමට හා පොතේ ආත්මීය සුවඳට අනුගත නොවී පොතක් විඳිය නොහැකි බව බහුතර පාඨක පිරිසේ මතයයි. එමෙන්ම ලංකාව වැනි රටක පවතින තාක්ෂණික ගැටලු හා සීමා ද ඊ බුක් සංකල්පය මෙරට ප්‍රචලිත නොවීමට බලපෑම් කරන්නට ඇත. දශකයක පරණ කාලයක් තිස්සේ ඊ බුක් වෙනුවෙන් යම් මතවාදීමය හා ක්‍රියාත්මක තලයේ සටනක යෙදෙන්නේ සම්මානනීය ලේඛකයකු වෙන දයා දිසානායක ය.
මේ කතිකාව මෙවැනි කඩදාසි පිළිබඳ අර්බුද පවතින සමයෙක වඩාත් කතාබහට ලක් වෙන බැවින් මෙවර සිළුමිණ වාදයට මාතෘකා කර ගන්නට සිතුවෙමු. වාදයට සම්මුඛ වෙන්නේ හෙන්රි වර්ණකුලසූරිය නිර්මාණවේදියා හා කැත්ලීන් ජයවර්ධන නිර්මාණවේදිනියයි.
කැත්ලීන් ජයවර්ධන මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තැබූ නවකතා, කෙටිකතා, විචාර, පර්යේෂණ හා ගුවන්විදුලි නාට්‍ය රචිකාවියකි. රාජ්‍ය සම්මානය ඇතුළු සාහිත්‍ය සම්මානලාභිනියක වන ඇය සාහිත්‍ය වෙනුවෙන් කෙරෙන මතවාදීමය වේදිකාවල විචාරාත්මක මෙහෙයක් ඉටු කරන්නියකි.
මෑතකදී උස්ගලටත් වතුර නම් ඊ පොත ගුරුළුගෝමි ඇප් එක හරහා පාඨකයන්ට තිළිණ කළ හෙන්රි වර්ණකුලසූරිය ලේඛකයා අප මේ කතා කරන විෂයයේ මෑතකාලීනව ප්‍රායෝගික යෙදුණු නිර්මාණකරුවා ය. හේ මුද්‍රිත ග්‍රන්ථකරණයෙන් දැඩි විශ්වාසයෙන් යුතු ව ඊ පොත් අභියෝගයට පිළිපන්නෙකි. මේ ඔවුන් ඊ පොත් සංකල්පය කෙරෙහි දරන මතවාදී ම ය ප්‍රවේශයයි.
වර්තමානයේ පවත්නා අධික මුද්‍රණ වියදම් හේතුවෙන් මුද්‍රිත පොතක මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමෙන් පාඨකයා සාහිත්‍යයෙන් ඈත් වීමට පිළියමක් ලෙස නව ලෝක ප්‍රවණතාවක් වන ඉලෙක්ට්‍රොනික පොත් හෙවත් e-Books වෙත අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරමින් හෙන්රි වර්ණකුලසූරිය ලේඛකයා සිය මතවාදය මෙසේ දැක්වීය.
‘ ඊ පොත් සංකල්පයේදි යම්කිසි ඇප් එකක් හරහා පොතක් කියැවීමක් සිදු වෙන්නෙ. බාගත කරගන්න අවස්ථාව නොලැබෙන්නේ එවිට මේ පොත සඳහා වන ගෙවීම ලේඛකයාට නොලැබෙන නිසා. එතකොට නොමිලේ පොතක් එළියට දැම්මා වගේ. ඊ පොත් සංකල්පයට අනුගත ඇප් එක බාගත කරගත් පසු අපට පොත් රාක්කයකින් පොත් තෝරනවා වගේ තමන්ට අවශ්‍ය පොත් තෝරාගෙන කියැවිය හැකියි. උදාහරණයක් විදියට ගුණසේන සමාගමේ ගුරුළුගෝමි ඇප් එක වගේ. ඇප් එකට ගිහින් තමන්ට අවශ්‍ය පොත සර්ච් කරලා හොයා ගන්න පුළුවන්‘
ඊපොත් සංකල්පය ගැන කැත්ලීන් ජයවර්ධන නිර්මාණවේදිනිය පවසන්නේ මෙවැන්නකි. ඇය තවමත් පොත සහ පෑන යන ඇබ්බැහියෙන් තමාට මිදෙන්නට නොහැකි බැව් පවසන්නීය.
‘ පෞද්ගලිකව මා සම්බන්ධයෙන් ගත්තම නං මට කියන්න තියෙන්නේ තරමක් වෙනස් කතාවක්. පොතක් අතට අරන් පිටු පෙරළ පෙරළා, පොතේ සුවඳ ඉව කරමින් පොතක් එක්ක කරන ගනුදෙනුවකට මං හුරු වෙලයි ඉන්නේ. මේ හුරුපුරුද්ද මඟ හැර ගන්න මට අසීරුයි. ඒ ගැන උත්සාහයක් දරන්න මං උත්සාහ කරලත් නෑ. පොතක් ලියන එක සම්බන්ධයෙනුත් කියන්න තියෙන්නේ ඒ කතාවම තමයි. කඩදාසි හා පෑන් එක්කයි මං මගේ ඒ ගනුදෙනුව කරන්නේ. මගේ විවේක බුද්ධියට වැඩි අවකාශයක් සලසන්නේ කඩදාසි හා පෑන කියලයි මට හිතෙන්නේ. නිර්මාණ සාහිත්‍යයට මේ විවේක බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් අද වෙනකොට තරමක් බලපෑම් කරනවයි කියලයි මං හිතන්නේ‘
ඊ පොත් සංකල්පය ලංකාවේ පාඨකයන් සම්බන්ධයෙන් දුරස්ථ අත්දැකීමක් දරන බව බොහෝ පිරිසක් පවසති. හෙන්රි ලේඛකයා පවසන්නේ ඒ නුහුරු බව පවතින්නේ තමා ඒ සඳහා අනුගත වන කාල සීමාව ඇතුළත පමණක් බව ය.
‘මේ නුහුරු බව නොදැනීම මේ මෑතක් වනතුරු මටත් තිබුණා. ඒක නියම විදියට සමාජගත වුණේ නෑ. හැබැයි විදෙස්ගත බහුතරයක් මිතුරන් පොත් කියවන්නෙ ඊ පොත් විදියට. දවසක් මගේ යාළුවකුත් මට ඔහු කියවමින් සිටි ඊ පොත මට ඔහුගේ ටැබ් එකෙන් පෙන්නුවා. එය පොතක් කියවද්දි අපට දැනෙන සියලු හැඟීම් දැනෙන අයුරෙන් තමයි සකසා තිබෙන්නේ. මේක PDF එකක් නොවෙයි. සාමාන්‍ය පොතක් විදියට මේක පිටු පෙරළමින් කියවන්න පුළුවන්. කොටින්ම පිටු පෙරළන ශබ්දය පවා අපට ඇහෙනවා. අපිට පිටු අතට අහු නොවෙන එක විතරයි වෙනස. මම ගොඩක් උනන්දු වුණේ ඒකෙන්.
දයා දිසානායක කාලයක් තිස්සේ මේ ගැන උනන්දු වන හා ක්‍රියාකාරී කෙනෙක්‘
ඊ පොත් සංකල්පය වඩාත් ප්‍රචලිත නොවන්නට බලපෑම් කළ සාධක අතර රටේ බහුතරයට එය විවර නොවීමේ කරුණත් ඇති බව කැත්ලීන් ලේඛිකාව සිහිපත් කරයි.
‘ සයිබර් අවකාශය මේ රටේ අතිමහත් බහුතරයකට විවර වෙලා නෑ. ඊ පොත් භාවිතය සීමිත පිරිසකට සීමා වෙලා තියෙන්නේ ඒකයි. වර්තමාන සමාජ ආර්ථික පසුබිම මත වැඩි දෙනකුට පොත් මිලදී ගැනීම අතිශයින් දුර්ලභව ඇති සන්දර්භයක් තුළ ඊ පොත් භාවිතයට හුරුවීම සිද්ධ වෙලා. ලෝකයේ අනවරත වෙනසට අනුගත වෙන්න අපටත් සිද්ධ වෙලා. එහෙම නැති වුණොත් අපි වඳ වෙලා යන සත්ත්වයන්ගේ කොටසටයි වැටෙන්නේ‘
ඊ පොත් සංකල්පය ගැන වඩාත් කතාබහ අලුත් වෙන්නේ මේ වකවානුවේ දී ය. ඊට බලපෑම් කරන ලද හේතු සාධක ගැන හෙන්රි ලේඛකයා පවසන්නේ මෙවැන්නකි.
‘ඇත්තටම අපිට අද වෙනකොට මුද්‍රිත පොතක් දරාගත හැකි මිලකට දෙන්න අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවානෙ. මගේ උස්ගලටත් වතුර නවතම ඊ පොත මම මිල කරලා තියෙන්නෙ රුපියල් 400යි. ඒත් ගුරුළුගෝමි ඇප් එක හරහා මේ දිනවල දෙන මිල අඩු කිරීමත් එක්ක පොත රුපියල් 280කට ගන්න පුළුවන්. ඒ මිල කියන එක අපි අර පරණ පොත් දුන් මිලටම වගේ පාඨකයන්ට දෙන්න පුළුවන්. ඔන්ලයින් ගෙවීමක් කරලා පොත ගන්න පුළුවන්. එතකොට තමන්ගෙ පොත් රාක්කයකින් පොතක් තෝරනවා වගේ තමන් මිලදී ගත් පොත් ඕනෑම අවස්ථාවක කියැවීමේ පහසුකම තියෙනවා‘
කඩදාසි මිල සම්බන්ධයෙන් ගත්තම හොඳ විකල්පයක් සේ අපට පෙනුණත් මේ මොන විදියෙන් හෝ හොඳ පොතක් සමාජගත කිරීමේ වගකීමෙන් ලේඛකයාට මිදිය නොහැකි බව කැත්ලීන් ලේඛිකාව සිහිපත් කරයි. ඇය ඉඟි කරන්නේ යම්කිසි වාරණමය තත්ත්ව වුවත් එතරම් ගණන් නොගන්නා තත්ත්වයට මේ නිසා පත්විය හැකි බවකි.
‘ තාක්ෂණික මට්ටමින් ගත්තම නං ලෝකේ හරිම දියුණුයි. ඩිජිටල් පොත්, ඊ පොත්වලට අමතරව ඕඩියෝ පොතුත් ඇවිත්. මං හිතන්නේ පුංචි තිරයකින් පොත් කියවනවට වඩා අඩුවෙන් ඇස් රිද්ද ගෙන ඕඩියෝ පොතක් අහන් ඉන්න පුළුවන්. අද කඩදාසි මිල ප්‍රශ්නය නිසා අහස උසට නැඟල තියන පොත්වල මිල දිහා බැලුවහම ඒක හොඳ විකල්පයක් කියන එකේ සැකයක් නෑ. ඒත් මං හිතන්නේ පොත් ලියන එකටත්, කියවන එකටත් වඩා වැදගත් වෙන්නේ පොත්වල අන්තර්ගතය මොකක් ද කියන එක. ඒ අන්තර්ගතය, මිනිසාට, සමාජයට කරන බලපෑම කොයිවගේ ද කියන එක. පාඨකයා ඉන්න තැනින් එක අඩියක් ඉස්සරහට තියන්න, එක පඩියක් නඟින්න ඒක මොනතරම් දුරට හේතු වෙනව ද කියන එක‘
කඩදාසි මිල ගැන කතා කරන බොහොමයක් දෙනා වගේ ම ඊ පොත් ගැන කතා කරන බොහෝ දෙනා පොත් කියවන අය ම ද කියා ගැටලුවක් තමාට ඇතැයි හෙන්රි ලේඛකයා චෝදනා කරයි. මුහුණු පොතේ දවස පුරා සරමින් මුහුණු පොතේ පළ වන නවකතාත් කියවන අය පවා ඊ පොත් සංකල්පයට විරුද්ධ වීම හාස්‍යජනක බව ඔහුගේ මතයයි.
‘ඊ පොත් කියවන්න අමාරුයි කියන සමහරු ෆේස්බුක් එකේ දවස පුරාම ඉන්නවා අපි දැකලා තියෙනවා. ෆේස්බුක් නවකතා කියන දෙයක් දැන් ප්‍රචලිත වෙලා තියෙනවානෙ. ඒවා කියවන්න ඕන තරම් පිරිස ඉන්නවා. හැබැයි මේකට විරුද්ධ වෙනවා. මොනවා ආවත් අකැමැති හා විරුද්ධ පිරිසක් ඉන්නවානෙ. ගොඩක් අය ඊ පොත් වලට විරුද්ධ වෙන්නෙ ෆැෂන් එකට. අලුත් හා වෙනස් වෙන්න තියෙන අකැමැත්තට. පොත්වල මිලත් එක්ක බෑ කියලා බෑ, මේකට යන්න වෙනවා. පොත් කියවන්න කැමැති නම් ඊ පොත් සංකල්පය ප්‍රතික්ෂේප කරන්න බැරි වේවි ඉදිරියෙදි. කියවන කෙනා මොන විදියෙන් හරි කියවනවා. ලෝකයේම පාඨකයන්ට පොත් කිවුවම කඩදාසි කොළය එක්ක ලොකු බැඳීමක් තියෙනවා. මම කැමතියි මෙහෙම කියන්න. ගොඩක් මේ සම්බන්ධයෙන් තර්ක ගේන, අය ඊබුක් තියා මුද්‍රිත පොතක් වත් කියවන්නෙ නැති අය. අර අලුත් දෙයක් ආව ගමන් කෑගහන, විරුද්ධ වන පිරිසක් ඉන්නවනෙ.‘ ඊ පොත් ආදී මොන සංකල්ප හා ක්‍රමවේද ආවත් පොදුවේ සාහිත්‍යයේ පිරිහීමක් දක්නට ලැබෙන බව කැත්ලීන් නිර්මාණවේදිනියගේ අදහසයි.
‘වර්තමාන නිර්මාණ සාහිත්‍ය ගත්තම කවියට, කෙටිකතාවට සාපේක්ෂව නවකතාවේ යම් පසුබෑමක් සිද්ධවෙලා තියනව වගේ ස්වභාවයක් තමයි මට නං පෙනෙන්නෙ. සංඛ්‍යාත්මකව ගත්තොත් නම් නවකතාව බොහෝ සෙයින් වැඩි දියුණු වෙලා. ඒත් ගුණාත්මකව ගත්තොත් තරමක් පරාභවයට පත් වෙලා ද කියලයි හිතෙන්නේ‘
සමහර ප්‍රකාශකයන් වෙත කෙරෙන බලපෑම් හා චෝදනා අඩු වීමේ ප්‍රවණතාවක් ද මේ හරහා ඇති වෙන බැව් හෙන්රි ලේඛකයාගේ මතයයි.
‘සමහරු චෝදනා කරනවානෙ අපිට කිවුව ගාණට වඩා වැඩියෙන් මුද්‍රණය කරලා ප්‍රකාශකයා විකුණුවා වගේ ඒවා. මේ ක්‍රමයෙදි ඒක කියන්න බෑ. මොකද ලේඛකයාට බලා ගන්න පුළුවන් තමන්ගෙ පොත කොච්චර අලෙවි වෙලා තියෙනවාද කියලා. ඒක හොඳ ප්‍රවණතාවක්. මුද්‍රණය කරද්දි තරම් තාම අලෙවි වෙනවා කියලා තෘප්තිමත් වෙන්න බෑ. නමුත් අලෙවියක් සිදු නොවෙනවා කියලා කියන්නත් බෑ. යම් මන්දගාමි අලෙවියක් තියෙනවා. තාම විශාල ඉල්ලුමක් නැති වෙන්න පුළුවන්. මොකද මේක තවමත් ලේඛක පාඨක ද්විපාර්ශ්වයට ම යම්කිසි දුරස්ථභාවයක් තියෙන දෙයක්නෙ. ඒත් කොහොම හරි මේක ඉදිරියේදී ප්‍රචලිත විය යුතුයි‘
දියුණුවට සාපේක්ෂ ව සාහිත්‍යයේ වර්ධනය බාල බව කැත්ලීන් ජයවර්ධන ලේඛිකාව දිගින් දිගටම අවධාරණය කරන්නී ය. ඇය පවසන්නේ දියුණුව යන්නෙන් අදහස් කරන්නේ මෙවැන්නක් නොවන බවයි.
මම නම් දකින්නේ ලෝකෙ දියුණු වෙලා, තාක්ෂණය පිමිපැනලා තිබුණත් මිනිහා පරාදවෙලා කියලයි. මිනිහාගේ ආකල්ප වර්ධනය නතරවෙලා වගේ. බාහිර දිලිසීම් අනන්තවත් තියෙද්දී අදත් ලෝකේ යුද්ධ පවතිනවා. ඉහළම තාක්ෂණය ඉතා හොඳ තත්ත්වයේ (වැඩියෙන්ම බිහිසුණු) යුද අවි නිෂ්පාදනය කරනවා. මගේ පෞද්ගලික අදහසේ හැටියට නං දියුණුව කියන්නේ මේකට නෙවෙයි. මේ තත්ත්වය මිනිහාට ඒත්තු ගන්වන එකටයි සාහිත්‍ය, කලාව තිරය පිටුපස මෙහෙයක් කරන්නේ. මේ ප්‍රවණතාව මේ රටේ කොයිතරම් දුරට දකින්න ලැබෙනව ද කියන එක තරමක ප්‍රශ්නයක්‘
ඇත්තටම ඉදිරියේදී මුද්‍රිත පොත් කියලා දෙයක් නැති වෙයිද යනුවෙන් අප ඉදිරියේ නැඟෙන පැනයට පැහැදිලි හා ඍජු පිළිතුරක් දෙන හෙන්රි ලේඛකයාගේ අදහස මෙවැන්නකි.
‘මම කවදාවත් එහෙම හිතන්නෙ නෑ. ලෝකෙත් එහෙම වෙන්නෙ නෑ. අදටත් ලෝකෙ දියුණුම රටවල පවා 70% මුද්‍රිත පොත් කියවන්නෙ. 30% යි ඊබුක් කියවන්න පෙලඹිලා ඉන්නෙ. ඊබුක් වගේම අද ඕඩියෝ බුක් කියන දෙයත් තියෙනවානෙ. කියවද්දි පොතේ තියෙන ශබ්ද ඇහෙන, රූප දකින්න පුළුවන් ග්‍රැෆික් නවකතා වගේ වෙනත් තාක්ෂණ දැන් ඇවිල්ලා තියෙනවා‘
තාක්ෂණික දියුණුවට සාපේක්ෂව ඇති වී ඇති අවර ගණයේ ප්‍රතිඵල ගැනත් තාක්ෂණික චෞරත්වය ගැනත් කැත්ලීන් ජයවර්ධන ලේඛිකාව සිය මතය පැහැදිලි කළේ වෙනස් මානයක් පිළිබඳ සිතන්නට අවකාශ විවර කරමිනි.
‘තාක්ෂණික දියුණුව සාමාන්‍ය මිනිසාගේ බුද්ධිමය ශක්‍යතාවන්ට මොන විදිහේ බලපෑමක් කරල තියනව ද කියන එක ගැන අපූරු අදහසක් විවර කළේ Sapiens කියන පර්යේෂණාත්මක කෘතිය සම්පාදනය කරපු යුආල් නොආ හරාරි කියන ඉතිහාසඥයා. 21 Lessons for the 21st Century (21 වන සියවසට පාඩම් 21 ක්) කියන කෘතියෙන් ඔහු කියන්නේ ඉතිහාසය දිහා බැලුවම ඉතාම අඥාන මිනිසුන් අපට හමුවෙන්නේ මේ 21 වන සියවසේදී කියලයි. හේතුව, බොත්තමක් එබූ පමණින් ලබාගන්නා දැනුම ගැන විශ්වාස තැබීම. 21 වන සියවසේ තාක්ෂණික දියුණුව මහා පරිමාණයේ චෞරයන්ට, ත්‍රස්තවාදීන්ට උදා කරල දීපු අවස්ථා ගැනත් ඔහු මතක් කරනවා. කොහොම වුණත් හැමදේකම සාධනීය, නිෂේධනීය පැති තියෙන්න පුළුවන් කියන එක ගැන අවධානවත් වීමයි වැදගත් වෙන්නේ‘
එහෙත් සියල්ල ඩිජිටල්කරණය වී ඇති යුගයක මේ සියල්ල තව නොබෝ දිනකින් මතවාද පමණක් වනු ඇති බවට හෙන්රි වර්ණකුලසූරිය ලේඛකයා අවධාරණය කරයි.
‘ඩිජිටල් තාක්ෂණය අපේ සියලු දේවලට ඇවිල්ලා ඉවරයි. අපේ ස්මාර්ට් ෆෝන් එකේ ඉඳන්, රූපවාහිනියේ, කැමරාවේ ඉඳන් සියලු දේ ගිලගෙන තියෙද්දි මේ පොත විතරක් ඩිජිටල් නොවී තියේවි කියලා විශ්වාස කරන්න බෑ. අනික අද වෙනකොට ගස් කැපීම ගැන ලෝකය පුරා විරෝධතාවක් ක්‍රියාත්මකයි. ඒ එක්කත් කඩදාසි නිෂ්පාදනය එක්කො අඩු වෙනවා; නැත්නම් මිල යනවා. ඒ නිසා ක්‍රමයෙන් මුද්‍රිත දේවල් අඩුවෙමින් යනවා. ඉදිරියේදී ඒකට විකල්පය ඊ බුක් හා ඕඩියෝ බුක් තමයි‘
කඩදාසි අර්බුදයත් සමඟ මේ එළැඹුමට වඩාත් පාඨක ආකර්ෂණයක් හිමි වනු ඇති බව අනිවාර්ය සාධකයකි. කියවන්නට අවැසි කෙනා කෙසේ හෝ කියවන බවත් එයට මාර්ගය අවැසි නොවන බවත් බහුතරයකගේ මතය වී ඇත්තේ එබැවිනි.