“හිතට කිසි නිදහසක් නෑ. වෙන වැඩක් කරන්න උනන්දුවක් දැනෙන්නෙත් නෑ."
" මොකක්ද හේතුව ? මොකක් හරි ප්‍රශ්නයක්ද? "
" නැහැ, ඊළඟ සතියෙ ඉන්ටවිව් එකක් තියෙනවනෙ. "
" ඉතින් ඒ ඊළඟ සතියෙනෙ. දැම්ම ඉඳන් දඟලන්නෙ මොකටද ?"
" ඒත් ඒ වැඩේ ඉවර වෙනකම් හිතට සැහැල්ලුවක් නෑ. ඊට පස්සෙ නම් ඔන්න හරි."
" ඉතින් ඊළඟ සතියටත් ඔය වගේ මොකක් හරි යෙදුනොත් ආයෙ ඔය විදිහනෙ. එහෙම බැලුවාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න දවසක් නැතිවෙයි ඔන්න. "
එය ඇත්තම ඇත්තකි. මේ මානසික තත්ත්වය අද සමාජයේ බහුතරයකට වඩා පිරිසක් අඩු වැඩි වශයෙන් අත් විඳින්නකි. එදිනෙදා ජීවිතයේදී අපට සිදු කරන්නට පැවරෙන, අනපේක්ෂිතව මුහුණ දෙන්නට සිදු වන කාරණා මෙතෙකැයි කියන්නට
නොපුළුවන. ඇතැම් ඒවා සැබවින්ම බැරෑරුම්ය; වැදගත්ය. ඉන් සමහරක් වැදගත්කමින් අඩුය. ඒ හැටි හිතන්නට දෙයක් පවා නැති තරම්ය. එහෙත් ඒ ගැන මහමෙරක් ලෙස කල්පනා කරමින් දෙගිඩියාවෙන් හෝ කනස්සල්ලෙන් පසු වීම අප බොහෝ දෙනා පුරුද්දට මෙන් සිදු කරන්නකි.
අපට කරන්නට සිදු වී තිබෙන හෝ මුහුණ දෙන්නට සිදු වන නිශ්චිත අවස්ථා හෝ නිශ්චිත කටයුතු සම්බන්ධයෙන් මෙයාකාරයෙන් දෙගිඩියාවෙන් පසු වෙනවාට අමතරව අනාගතයේ කුමක් සිදු වේදැයි කියන්නට නොදන්නා ඇතැම් දේ ගැන පවා කනස්සලු වන්නට, බියෙන් පසු වන්නට සමහරු පෙළඹී සිටිති. අනාගතය යනු සැබවින්ම අවිනිශ්චිත සංකල්පයක් බව කීම බොරුවක් නොවේ. ඒවා හිටි අඩියේ කනපිට හැරෙන්නට පුළුවන. 2020 එළැඹෙන විට අප බොහෝ දෙනා සතුව බොහෝ සැලසුම් තිබෙන්නට ඇත. එහෙත් කොවිඩ් ඒ සියල්ල වෙනතක හැර වූයේ කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙනි.
සමාජයක් වශයෙන් සියලු දෙනාටම ඒ ආකාරයේ අවිනිශ්චිතතාවලට මුහුණ දෙන්නට සිදු වීම අමුත්තක් නොවේ. ඊට හේතු වන්නේ බහුතරයක් දෙනා එක හා සමාන අත්දැකීම්වලට මුහුණ දෙන බැවිනි. එහෙත් අප මේ කතා කරන කාරණය ඊට වඩා තරමක් වෙනස්ය. පෞද්ගලික ජීවිතයේ ඇතැම් අනාගත ඉසවු, සිදුවීම් යනාදිය පිළිබඳ කල්පනා කරමින් නොසන්සුන්ව පසුවීම ඇත්තෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. ගෙවෙන මොහොතේ සතුට මුළුමනින්ම නසා දමන්නකි.
උදාහරණයක් වශයෙන් කිවහොත් එළැඹෙන සතියේ හෝ එළඹෙන මාසයේ අපට ඉතා තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙන්නට, නොඑසේ නම් වැදගත් කාර්ය භාරයක්, වගකීමක් උසුලන්නට සිදු වන්නේ යැයි සිතමු. එහෙත් එය දැනගත් දා පටන්ම සිතේ කොණක ඇත්තේ සැංගි සැංගි විටින් විට එළියට එන, විස්තර කළ නොහැකි අන්දමේ අපහසුතාවකි. එය එදිනෙදා ජීවිතයේ කටයුතු පවා මොහොතකට ආපස්සට ඇද දමන්නකි. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ එකී කටයුත්තෙන් පසු තමාට ඉහළ මානසික නිදහසක් ලැබේ යැයි කල්පනා කළද එය එසේ නොවීමය. ඊට හේතුව නම් ඒ ආකාරයේ බොහෝ කටයුතු වගකීම් නිරන්තරවම සාමාජීය සත්ත්වයෙකු වශයෙන් අප කර මත වැටීම සාමාන්‍ය තත්ත්වයක් වීමය. එබඳු අවස්ථාවකදී මෙයාකාරයෙන් කල් තියා වද වන්නටත් මන සුව වනසා ගන්නටත් අප පුරුදු වුවහොත් අපේ ජීවිතයෙන් අඩක්ම වාගේ ගෙවන්නට සිදු වන්නේ එබඳු පැහැදිලි කළ නොහැකි අඳුරු හා මූසල හැඟීම් සමඟය.
ජීවිතය අස්ථිර බව අප කවුරුත් දනිති. අටලෝ දහමට අනුව අපට සතුටින් සිටින්නට ලැබෙන්නේ එක්තරා සුළු කාලයක් පමණි. ඒ කොටසද මේ ආකාරයේ ඇබ්බැහිවලින්, මානසික හුරුපුරුදුවලින් අහිමි කර ගැනීම කෙතරම් පාඩුවක්ද?
මේ තත්ත්වයට වගකිව යුතු හේතුව ලෙස අපට සඳහන් කළ හැක්කේ අවිනිශ්චිත භාවයයි; දෙගිඩියාවයි. එය කවර මිනිසකුට වුව සාමාන්‍ය තත්ත්වයක් වන නමුත් එය නිරන්තරව සිතේ පැලපදියම් වූ තත්ත්වයක් බවට පත් වූ කළ අපට අත්විඳින්නට සිදු වන්නේ ලොකු කරදරයකි. එය ඉංගිරිසියෙන් අප හඳුන්වන්නේ 25uncertinity යන පදයෙනි. අනාගතයේ සිදු වන්නට නියමිත යම් සිදුවීමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන්, පැහැදිලි අවබෝධයක් හෝ වැටහීමක් නැති බව, එසේත් නැත්නම් ඒ වැටහීම හෝ අවබෝධය ප්‍රමාණවත් නැති බව සිතමින්, එහි ප්‍රතිඵල, අතුරු ප්‍රතිඵල ආදී දහසකුත් එකක් දේ ගැන අසහනයෙන් යුතුව කල්පනා කරන්නට පටන් ගැනීමය. අප බොහෝ දෙනා අනාගතයේ සිදු කරන්නට තිබෙන දේ යම් ආකාරයක සැලසුමකට සිදු කරන්නට පුරුදු වී තිබෙන බව ඇත්තය. එහෙත් මෙහිදී සිදු වන්නේ මේ සියලු සැලසුම් යටපත් කරමින් හිතේ සැහැල්ලුව ද නසා දමමින් අප්‍රසන්න අවිනිශ්චිතතාවක් හිතේ රජ කරන්නට පටන් ගැනීමය.
මෙහි ඇති ඊටත් වඩා නරක දේ නම් ඔය කියන කටයුත්ත අහවර වන තෙක් නොඑසේ නම්, ඒ වගකීම ඉටු කරන තෙක් එදිනෙදා ජීවිතයේ කටයුතු අකර්මණ්‍ය විමය. ඒ කිසි වැඩක් කරන්නට පිරියක් නැති විමය. ඔය විදිහට ඊළඟ ඉසව් ගැන වැනි වැනී ඉන්නට ගියොත් සතුටින් වැඩ කරන්නට කාලයක් අපට ඉතිරි නොවේ. එබැවින් එය බොහෝ ඉක්මනින් වෙනස් කර ගත යුතු පුරුද්දක් බව තේරුම් ගත යුතුමය. ඊට අමතරව, මේ අවිනිශ්චිත බව අපේ අනාගතය සැලසුම් කිරීමේ හැකියාවට ඇති කරන්නේ මෙතෙකැයි කිව නොහැකි පාඩුවකි.
අනාගත ඉසවුවක් හෝ වගකීම් ඉටු කිරීමක් සම්බන්ධයෙන් ආතතියක්, බරක් දැනීම සාමාන්‍යයෙන් දැකිය හැකි තත්ත්වයකි. ඊට හේතුව මිනිස් මොළය යම් සැලසුමක් කරන්නේ අපේ අතීත අත්දැකීම් පදනම් කරගෙන වීමයි. තත්ත්වය එසේ වුවද එබඳු අනාගත මොහොතක් එළඹෙන සෑම විටකම එයාකාරයෙන් කැළඹෙන්නට මනස හුරු කරගතහොත් අපට සිදු වන්නේ අලි අබග්ගයකි.
බාගවිට මේ කියන කාරණා ඒ හැටි බරපතළ ඒවා නොවන්නට ඉඩ තිබේ. ඊළඟ සතියේ යන්නට සැලසුම් කර ඇති ගමනක්, සහභාගි විය යුතු මංගල්‍යයක්, උත්සවයක්, සමිති සමාගම් වැඩක් වැනි බොහෝ සාමාන්‍ය ලෙස පෙනෙන ඉසව්වක් වුව යමකු තුළ යම් නොසන්සුන්කමක් ඇති කරන්නට ඉඩ තිබේ. එය තීන්දු වන්නේ පුද්ගලයන්ගේ මානසික තත්ත්ව අනුවය. අනෙක, මෙය බාල, ළමා, මහලු ආදී වයස භේදයකින් මෙන්ම රැකියාව, සමාජ තරාතිරම යනාදිය ඉක්මවා අප තුළ පොදුවේ දකින්නට ඉඩ ලැබෙන තත්ත්වයකි.
" අපේ මනස හැමවිටම සූදානම් වෙලා ඉන්නේ අතීතයේ අප ලැබූ අත්දැකීම් හෝ හුරුව එක්ක අනාගතයේ තියෙන දේවල් කොයි විදිහට වෙනවදැයි තීන්දුකර පණිවිඩයක් දෙන්නයි. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒත් සමහරකු ඒ බව දැන දැන වුණත් යම් හිතේ කලබලයක් ඇති කරගන්නට පුළුවන්. මේ අනවශ්‍ය කනස්සල්ල ඇතිවෙන්නෙම අනාගතයේ තමන් මුහුණ දෙන ඉසව්ව හෝ අවස්ථාව ගැන යම් තරමකට හෝ දන්නවා වුණත් එයින් යම් කලබැගෑනියක්, යම් වරදක් එහෙමත් නැත්නම් යම් පාඩුවක් සිදු වෙයි කියලා හිතන්නට පුරුදු වෙන නිසයි." මෙසේ පවසන්නේ ලයිෆ්ස්ටාන්ස් හෙල්ත් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී අනිෂා පතෙල් ය.
මෙසේ අඩමානය මුසු අනවශ්‍ය බියකට හුරුවීම නිසා අපට හැම විටම පාහේ අත්දැකීමට සිදු වන මානසික තත්ත්වය වන්නේ ආතතියයි. හිතේ ආතතියක් ඇතිවූ විට අප හැම විටම උත්සහ කරන්නේ ඊට එරෙහිව සටන් කරන්නටය. එසේ නැත්නම් එතැනින් පලා යන්නටය. විවිධ හෝමෝනවල ක්‍රියාකාරකම් වැඩි වීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම වැනි ශාරීරික වෙනස්කම් පවා මෙබඳු අවස්ථාවලදී අපට දකින්නට පුළුවන. එහි ඇති ගැටලුව වන්නේ මේ තත්ත්වය දිගින් දිගටම අපේ ජීවිතයට කාවද්දා ගතහොත් එය දැඩි බරපතළ සෞඛ්‍යය තත්ත්ව පවා ඇති කරන්නට හේතු වීමයි. ශාරීරික සෞඛ්‍යය පැත්තෙන් ගතහොත් හෘදය සම්බන්ධ රෝග වුව මේ නිරන්තර ආතතිය මුල් කරගෙන ඇරඹෙන්නට පුළුවන්. මතකය පිළිබඳ ගැටලු ඇති වීම මේ නිසා ඇති වන මානසික සෞඛ්‍ය පිළිබඳ රෝග තත්ත්වයකි.
ඉතින් අප දිගින් දිගටම අනාගතයේ සිදුවන කවර කටයුත්තක් පිළිබඳව වුණත් අනවශ්‍ය විදිහට බයක් සැකක් සංකාවක් ඇතිකරගෙන එහෙයින් පෙළෙමින් නොසන්සුන්ව ඉන්නවා යැයි කියන්නේ අපේ මනස නිරන්තර ආතති තත්වයකට හුරුකර ගැනීමක් නොවේද? අපේක්ෂිත හෝ අනපේක්ෂිත අනාගත ඉසව්වක් වෙනස් කිරීමේ හැකියාවක් බොහෝවිටම අපට නොතිබෙන්නට පුළුවන. අපේක්ෂිත අනාගත ඉසව්වක් වෙනස් කිරීම යනු එය මඟ හැර පළා යාමක් වන්නට ඉඩ තිබේ. එය අපට හැමදාමත් කරන්නට පුළුවන් කාරණයක් නොවේ. එබැවින් කවර අනාගත අවස්ථාවක් හමුවේ වුව සිතේ ඇතිවන අවිනිශ්චිතභාවය මුසු වූ නොසන්සුන් හා කරදරකාරී බව හැකිතාක් දුරකට යටපත් කරගන්නට හැකි ක්‍රම ගැන සොයා බලන්නට වෙහෙසීම කාලය අපතේ හැරීමක් නොවේ.
මේ කාරණයේදී බොහෝ දෙනා පසු වන්නේ අඩු වැඩි වශයෙන් එකම තත්ත්වයක බව කිව යුතුය. අනාගතය පිළිබඳ යම් තාක් දුරකට අවිනිශ්චිත භාවයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒත් සියලු වැඩකටයුතු අවුල් වන තරමට ඒ දිග්ගස්සා දිග්ගස්සා ගැනීම ඇතැමකු මුහුණ දෙන අභාග්‍යසම්පන්න තත්ත්වයයි. එය වටහා ගැනීම මේ අනවශ්‍ය පීඩනය තේරුම් ගැනීමේ පළමු වැනි පියවරයි. ඔව්, එය සාමාන්‍ය තත්ත්වයකි. එය වැඩි දුරකට ඇදගෙන යන්නේ අප විසින්මය.
අපි මෙහිදී බොහෝ විටම හිතන්නේ යම් කාරණක් ඉටු කරන්නට අපට නොහැකි වන්නට පුළුවන් බවයි. අපේ ශක්තිය ඊට ප්‍රමාණවත් නොවන්නට ඉඩ ඇති බවයි. මෙතැනදී අප කළ යුත්තේ අපේ අතීත " ප්‍රගති වාර්තා පොත " හෙමින් මෙනෙහි කර බැලීමයි. එවිට ඔබට වැටහෙනු ඇත්තේ ඔබ ඔබ හිතන තරමේ අසාර්ථක පුද්ගලයකු නොවන බවයි. ඊට පෙර එබඳු තත්ත්වවලට මුහුණ දුන් විට ඔබ කටයුතු කළ ආකාරය මුලික පදනම ලෙස සලකා ඊළඟට යෙදී ඇති අවස්ථාවට සූදානම් ඔබට පුළුවන.
ජීවිතයට තවත් වටිනාකම් එක් කර ගැනීම හෝ සතු කුසලතා, හැකියාවන් හෝ දස්කම් හෝ ඔපමට්ටම් කර ගැනීම අනාගත අවස්ථාවකදී මෙසේ දෙගිඩියාවෙන් සිටින්නට තිබෙන ඉඩකඩ අඩු කරයි. කවර හෝ කාරණයකින් ඔබට යම් සංවිධාන කටයුත්තක බර දිගින් දිගටම දරන්නට සිදු වේ යැයි සිතමු. එවිට කළ යුත්තේ ඒ ගැන වද වීම නොව ඒ හා සම්බන්ධයෙන් ඔබ සතු විය යුතු කුසලතා හෝ දක්ෂතා ඉහළ නංවා ගන්නට වෑයම් කිරීමයි. එවිට ඔබටම නොදැනී ඒ ක්ෂේත්‍රය හුරුපුරුදු එකක් වන්නට තිබෙන ඉඩකඩ වැඩිය. හුරුපුරුදු තැනකදී අපට දැනෙන මානසික පීඩනය ද නොසන්සුන් බව ද සාපේක්ෂව ඉතා අඩුය.
ඊළඟ කාරණාව වන්නේ සීමාවකින් තොරව මෙකී තත්ත්වය ගැන උපදෙස් පතන්නට යෑමය. නිශ්චිත තෝරා ගැනීමකින් තොරව දකින ඕනෑම කෙනකුගෙන් හෝ මූලාශ්‍රයකින් ගැටලුවක් පිළිබඳ උපදෙස් පැතීම යනු අවුලෙන් අවුලට වැටීමකි. බාගවිට ඔවුන්ගේ එක් වචනයක් හෝ හේතුවෙන් ඔබ ඒ වන තෙක් සිටි තැනින් තවත් පහළට ඇද වැටෙන්නට වුව ඉඩ ඇත. එබැවින් ඒ ගැන සොයා බැලීමේදී හෝ කතා කිරීමේදී වඩා ආරක්ෂාකාරී වන්නට අපට සිදු වෙයි.
මේ කාරණයේදී පමණක් නොව තවත් බොහෝ කාරණාවලදී අප වටහා ගත යුතු කාරණයක් වන්නේ අපට වෙනස් කළ හැකි මෙන්ම අපට කිසිසේත් වෙනස් කළ නොහැකි හෝ මැදිහත් විය නොහැකි සාධකත් තිබෙන බවය. එසේ අපේ පාලනයෙන් තොර බාහිර කරුණු සම්බන්ධයෙන් තැවීම, කනස්සලු වීම නිෂ්ප්‍රයෝජන දෙයකි. කළ යුත්තේ ඒ වෙනුවට විකල්ප සෙවීමය. මුහුණ දෙන්නට සිදු වී ඇති ඒ කටයුත්ත සිදු වන වේලේ වැස්සක් ඇද වැටේද, විදුලිය විසන්ධි වේද යනාදිය ගැන වුවමනාවට වඩා වද වීම නොකළ යුතුය. ඒ වෙනුවට කළ යුත්තේ ඊට විකල්ප වශයෙන් ගත යුතු පියවර තිබේ නම් ඒ පිළිබඳව සිතා බැලීමය. එසේත් නැත්නම් අපට පාලනය කළ හැකි දේ පිළිබඳව හිත යොමු කර බැලීමය. සැලසුම් කිරීම, කල් තියා ඊට අවශ්‍ය ඇඳුම් පැලඳුම් හෝ යන්ත්‍ර සූත්‍ර මෙවලම් හෝ ප්‍රවාහන පහසුකම් යනාදිය සූදානම් කර තැබීම වැනි අපේ පැත්තෙන් සිදු කළ යුතු දේ ගැන උනන්දුවෙන් සොයා බලන්නට අපට පුළුවන. එවිට අදාළ කටයුත්ත සාර්ථක වනවා පමණක් නොව ඊට තමන් සූදානම් බව අපේ අභ්‍යන්තරයෙන්ම ඒ කටයුතු හරහා ඉඟියක් ලැබෙන බැවින් අපේ මානසික පීඩනය ද අඩු වෙයි.
ඇතැමකු මෙබඳු දෙගිඩියාවක් හෝ අවිනිශ්චිත බවක් සිත ඇති වූ විට කරන්නේ එදිනෙදා ජීවිතය සී සී කඩ විසිරෙන්නට ඉඩ හැරීමයි. කෑම බීම ගැන පවා උනන්දුවක් නොපෙන්වීමයි. එහෙත් ඒ වෙනුවට අප කළ යුත්තේ හැකි පමණ අපේ එදිනෙදා කටයුතු රටාවටම අනුගත වන්නට උත්සාහ කිරීමයි. ආහාර වේල, ව්‍යායාම කරන වේලාව, නින්ද මේ ආදී කටයුතු අතපසු නොකර ඉටු කිරීමෙන් මොළයට පණිවිඩය ලැබෙන්නේ ඔබ ඔබේ සාමාන්‍ය ජීවිතය ගත කරන බවය. මෙය අනෙක් අතට යම් කාරණයක් නිසා අපේ සිතේ ඉපදී තිබෙන පීඩාව හෝ අවිනිශ්චිත බව යටපත් කර සිතට සැහැල්ලුවක් ගෙන එන්නට උදවු වෙයි. හුස්ම ගැනීමේ ව්‍යායාම සහ යෝග ව්‍යායාම මේ කාරණය සඳහා ඉතා කදිමය.
බාගවිට මේ කාරණය සම්බන්ධයෙන් ඇතැමකුට තනිව එකවර විසඳුමක් ලබා ගන්නට පුළුවන් වන්නට ඉඩ ඇත. එහිදී අපට අපේ අවධානය යොමු කළ යුතු හා යොමු යොමු කළ හැකි විකල්ප දෙකක් හඳුනාගත හැකිය. ඉන් එකක් වන්නේ විශ්වාසවන්ත හා ඊට හැකියාවක් ඇතැයි කල්පනා කළ හැකි පුද්ගලයන්ගෙන් අදහස් විමසීමය. ඔවුන්ගේ උපදෙස් පැතීමය. එතනිනුත් එහාට යන්නට අවශ්‍ය වුවහොත් චිකිත්සකයකුගේ සහාය ඇතිව මානසික ආතතිය සම්බන්ධයෙන් ඇති ගැටලුවලට ප්‍රතිකාර ලබාගන්නට ද අපට පුළුවන.