සසුනඹර එකලු කළ නිවී ගිය මිණි පහන | Page 2 | සිළුමිණ

සසුනඹර එකලු කළ නිවී ගිය මිණි පහන

දැයෙන් සමුගත් ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්

- පල්ලේගම ධම්මරක්ඛිත නායක හිමියන්ට ගමේ දරුවන් කිව්වේ විස්කෝතු හාමුදුරුවෝ කියාය
- තමන්ගේ ඉතිහාසය නොදන්නා ජාතියකට අනාගතයක් නැති බව කියූයේ උන්වහන්සේය
- ගුරු හිමියන් වූ කළුකොඳයාවේ හිමි අනුව යමින් මහා විහාරයට ලේඛනාගාරයක්

ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්වූ අවස්ථාවේ ලෝක වාසීන් බොහෝ දෙනා ලෝක සිතියම ගෙන බලා ඇත්තේ මේ 'සිලෝන්' නොහොත් ලංකාව ලෝකයේ තියෙන්නේ කොහේද කියාය. එමෙන්ම පසුගිය බදාදා අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වූ මොහොතේ බොහෝ දෙනා පල්ලේගම පිහිටියේ කොහේදැයි විමසිලිමත් වූයේ 'පල්ලේගම' සිරිනිවාස හිමියන්ගේ උපන් ගම් පළාත වීම නිසාය. පල්ලේගම පිහිටියේ පුරාණ නුවර කලාවියේ දකුණ පළාතේය. පල්ලේගම වඩාත් ආසන්න දඹුල්ල නගරයටය. පල්ලේගම ගම්වැසියන් රජ කාලේ සිට සිරිමාබෝ සමිඳුන්ට ඇප උපස්ථාන කරමින් ගොවිතැනින් දිවි ගෙවූ අතර මේ ගම් පළාතේ ජීවත් වූයේ එකම නෑදෑයන් පිරිසකි. නවසිය පනහ දශකය වන විට මේ පල්ලේගම ගමේ ජීවත් වී ඇත්තේ පවුල් 25ක් පමණකි.

පල්ලේගම ටිකිරි බණ්ඩා ගොවි මහතා විවාහ වී සිටියේ අනුලා කුමාරිහාමි සමඟය. කුමාරිහාමි කියූ සැණින් මේ යුවළ ජීවත් වූයේ පල්ලේගම උල්පත උඩහා දුක්ගන්නා වලව්වේ බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. නවසිය පනස්තුන වසර උදා වී දින දෙකක් ගිය විට ඔවුනගේ කුලුඳුල් දරුවා උපන්නේ දඹුල්ල මහ රෝහලේදීය. අලුත උපන් පුතාට ජයතිලක බණ්ඩා යන නම තබන ලදී. ටිකිරි බණ්ඩා අලුත උපන් පුතාගේ වේලාව අරගෙන ගියේ පළාතේ නම් දරාපු ජෝතිශාස්ත්‍රඥයකු වූ 'අබේ අත්තප්පා' ළඟටය. කේන්දරය අතට ගත් 'අබේ අත්තප්පා' විමතියෙන් ඒ දෙස බැලීය. කේන්දරේ සහසුද්දෙන් බැලීමට දින දෙකතුනක් ඉල්ලුවේය. ඒත් හවස් වන විට අබේ අත්තප්පා උඩහ දුක්ගන්නා වලව්වට පැමිණීම ටිකිරි බණ්ඩාට අදහාගත නොහැකි විය.

"මේ දරුවා උපන් වෙලාව අනුව මවුබිමේ විතරක් නෙවෙයි රට රාජ්‍යවලත් නම පැතිරෙන මහා බලවතෙක් වෙනවා. ඒ හින්ද මේ දරුවා ඇහැක් වගේ බලා ගන්න."

ජයතිලක බණ්ඩාට පසුව එම පවුලට බාල මල්ලිලා තුන්දෙනකුත් නංගිලා හය දෙනකුත් එක්විය. ජයතිලක ඉස්කෝලේ කැලෑසියකට ඇතුළු කරන්න පෙර මුලකුරු කියවා ඇත්තේ අම්මාය. ඒ අබේ අත්තප්පා හදා දුන් නැකතටය. ජයතිලකගේ අම්මාට ගමේ අය ඇමතුවේ 'අනුලම්මා' කියාය. දරුවන් දහ දෙනකු සමඟ ඔට්ටු වූ මේ වීර මාතාව මුලින්ම ජයතිලකව පාසලකට බාර දුන්නේ බුලාගල හන්දියේ රජයේ මිශ්‍ර පාසලටය. බුලාගල ඉස්කෝලේ ලොකු සර් පේමරත්න කුඩා ජයතිලකට ගල්කූර දුන්විට 'අම්මා' යනුවෙන් කිසි පැකිළීමක් නැතුව ලිවීම කාටත් පුදුමයක් විය.

ගමේ ඉස්කෝලෙට ජයතිලක ගියේ පහේ පන්තියට පමණය. ඉන්පසු ඔහු පල්ලේගම සිද්ධාර්ථ මහා විද්‍යාලයට ඇතුළු විය. එවකට ඔය කියන සන්දියේ රුවන්වැලිසෑයේ නායක හාමුදුරුවන් ලෙස වැඩ වාසය කළ පල්ලේගම ධම්මරක්ඛිත මහනායක හාමුදුරුවෝ ජයතිලකලාගේ ගමේ සමීපතම ඥාතිවරයෙක්. පල්ලේගම ධම්මරක්ඛිත මහා නායක හාමුදුරුවෝ අවුරුද්දකට කීප වතාවක්ම පල්ලේගම ගමට වැඩම කළ අතර බොහෝ විට පෝය දවසකට යෙදෙන මේ ගමනේදී ගමේ පන්සලට වැඩමවා ගම්මු රැස්කරවා සුවදුක් විමසීම උන්වහන්සේගේ සිරිතක් විය. මල්ලක් පුරවා විස්කෝතු රැගෙන විත් ගමේ ළමයින්ට බෙදා දෙන්නටත් උන්වහන්සේ පුරුදුව සිටි අතර ළමයි ඒවාට කිව්වේ 'ලෑතර' කියාය. නමුත් ගමේ ළමයින් අතර ධම්මරක්ඛිත හිමියන් ජනප්‍රිය වූයේ 'විස්කෝතු හාමුදුරුවෝ' ලෙස ය.

එක් පෝ දිනක පල්ලේගම ධම්මරක්ඛිත හිමියන් රුවන්වැලි සෑයේ ආවතේව කටයුතුවලට උපන් ගමෙන් කුල දරුවන් දෙදෙනකු තෝරා ගත් අතර ජයතිලක ඉන් ප්‍රධාන විය. 1968 ජනවාරි 31 වැනිදා ජයතිලක උපන් ගමේ සිට රුවන්වැලි සෑයට ගියේ තම අත්තාත් සමඟය.

එවකට රත්නමාලි චෛත්‍යරාමාධිපතිව වැඩ විසූ උතුරු මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක පල්ලේගම ශ්‍රී සුමන ධම්මරක්ඛිත නාහිමියන්ගේත් එවකට අටමස්ථානාධිපතිව වැඩ විසූ උඳුරුව හල්මිල්ලෑවෙ ශ්‍රී සුමන රේවත නාහිමියන්ගේත්, පල්ලේගම ඤාණරතන නාහිමියන්ගේත් ශිෂ්‍යවරයකු වශයෙන් 1968 වර්ෂයේ මැයි මස 9 වැනි දින පල්ලේගම සිරිනිවාස නමින් ජයතිලක දරුවා පැවිදි දිවියට ඇතුළු විය. පැවිදි කරවීමෙන් පසු අනුරාධපුර මහා විහාර පිරිවෙනින් ද මූලික අධ්‍යාපනය ලබා පසුව හුණුපිටිය ගංගාරාම පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබූහ. මින්පසු කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසීමට වරම් ලැබූහ. 1986 වසරේදී එම විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. මුන් වහන්සේ 1975 වර්ෂයේ මැයි 6 වැනි දින මහනුවර ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනුවර උපෝශථාගාරයේ දී අධිශීල සංඛ්‍යා උපසම්පදාව ලබා ගන්නා ලදි.

උන්වහන්සේගේ අභයගිරි චෛත්‍ය ස්ථානයේ භාරකාරත්වයට පත්වන්නේ 1994 වර්ෂයේදීය. අභයගිරි විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරමින් සිටින විට රත්නමාලි චෛත්‍ය ස්ථානයේ භාරකාරත්වය පුරප්පාඩු වූයෙන් අටමස්ථානාධිපති පල්ලේගම ඤාණරතන නාහිමියන් විසින් සිරිනිවාස හිමියෝ 1995 වර්ෂයේදී අසදෘශ රත්නමාලි චෛත්‍ය ස්ථානයේ භාරකරු වශයෙන් පත්කරන ලද්දේ සිරිනිවාස හිමියන්ගේ දැවැන්ත සංවිධාන ශක්තිය හඳුනා ගැනීමෙන් පසුවය.

මේ අතර රුවන්වැලි මහසෑයේ විහාරාධිකාරී වූ ඇතිනිමලේ ගුණරතන නාහිමියන් 1995 මාර්තු 08 වැනි දින අපවත්වීම නිසා 1995 ජුනි 01 දින සිට සිරිනිවාස නාහිමියන්ට රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරී ලෙස මහත් භාරදූර ස්ථානයක වැඩ කටයුතු ආරම්භ කිරීමට සිදුවිය. ඉන් අනතුරුව නොසිතූ අවස්ථාවක අටමස්ථානාධිපතිව වැඩ විසූ පූජ්‍ය පල්ලේගම ඤාණරතන නායක ස්වාමීන් වහන්සේ අපවත්වීම නිසා අටමස්ථාන කාරක සභාවේ අනුමැතිය පරිදි 1997 ජූලි 05 වෙනිදා පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ වශයෙන් පත්කරන ලදී.

මීට විසි වසරකට පෙර එදා නව රජයක් පිහිටුවීමෙන් පසු 2002 ජනවාරි මස 26 වෙනි දින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අටමස්ථානාධිපති නාහිමියන් බැහැ දැකීමට පැමිණියේය. එම අවස්ථාව උපයෝගී කරගත් සිරිනිවාස හිමියන් වහන්සේ පවතින යකඩ වැට වෙනුවට ශ්‍රී මහා බෝධිය වටා දෙවන රන්වැටක් නිර්මාණය කිරීමේ වැදගත්කම අගමැතිවරයාට පැහැදිලි කළේය. එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අගමැතිතුමා 'අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රන්වැට අරමුදල' නමින් ශක්තිමත් අරමුදලක් පිහිටුවීමට ද, එහි සභාපතිවරයා වශයෙන් කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වූ හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජයදාස ගේ සේවය ලබා දීමට ද කැමැත්ත පළ කළේ ය. ඒ අනුව 2002 වසරේ මැයි මස දී නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විජයදාස මහතාගේ සහාපතීත්වයෙන් 'අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රන්වැට අරමුදල' නමින් ප්‍රබල සමිතියක් පිහිටුවන ලදී. ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා දෙවන රන්වැට ඉදිකිරීම 2002 වර්ෂයේ මැයි මස 23 වෙනිදා ආරම්භ විය. මුළු ඇස්තමේන්තුව රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් විය. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අරලියගහ මන්දිරයේදී සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයක දී රන්වැට අරමුදලට මුදල් රැස් කිරීම ප්‍රථමයෙන් ආරම්භ විය. 2003 මැයි 24 වෙනිදා දෙවැනි රන්වැට අති උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී.

2004 දෙසැම්බර් 12 වෙනි දින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය විහාර ප්‍රාකාරය බිඳ වැටුණේ ය. මෙය මහා විපතක පෙර නිමිත්තක් බව සිරිනිවාස ස්වාමීන් වහන්සේට වැටහුණ අතර, මේ බව එවක අරමුදලේ සභාපතිව සිටි හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ.එච්.ජේ. විජයදාසට වහාම දැනුම් දෙන ලදී. උන්වහන්සේ සිතූ පරිදිම එම විපත සිදු වී දින 14ක් ගත වූ වහාම එනම් 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමිය නිසා ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ විනාශ වූ අතර, පනස් දහසකට අධික පිරිසක් මරුමුවට පත්විය. නාහිමියන්ගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වූ විජයදාස මහතා ප්‍රාකාරය වඩාත් අලංකාර ලෙස ගොඩනැඟීම සඳහා සියලු කටයුතු සම්පාදනය කළේය.

සිරිනිවාස හිමියන් අටමස්ථානය රැක ගැනීමට කළ ඉදිකිරීම් ගැන සඳහනක් නොකළහොත් එය ඉතිහාසය අමතක කළ කළගුණ නොදත් ජාතියක් ලෙස අප අවමානයට ලක්වනු නියතය.

සිරිනිවාස හිමියන් 2004 ඔක්තෝබර් මස නව ධර්ම ශාලාවට මුල්ගල තැබූ අතර, මෙම ධර්ම ශාලාවට රුපියල් මිලියන 100ක් පමණ වැය කරන ලදී. බැතිමතුන් 7000 ට පමණ රැස්විය හැකි මෙම ධර්ම ශාලාව ගොඩනැඟීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ අනුග්‍රහය ලැබුණු බව මෙහිදී සඳහන් කළ යුතුමය.

හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් තුන්වන සියවසේ දී දළදා වහන්සේ ගෙන එන ලද්දේ අනුරාධපුරයට ය. පැරණි චාරිත්‍රානුකූලව පැවැත්වෙන දළදා පෙරහැර සඳහා උඩමළුව වටා පෙරහැර මාවත 2004 වර්ෂයේ ඉදි කරන ලදී. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ අනුග්‍රහය ලැබුණි.

මේ සියලු දැවැන්ත කාර්යන් නිම කළත් සිරිනිවාස හිමියන් නිතර කියූ අඩුපාඩුවක් මහා විහාරයට තිබුණි. එනම් දෙස් විදෙස්වලින් වැඩම කරන මහා සංඝයා ඇතුළු ආගන්තුක සංඝයා වහන්සේට නේවාසික පහසුකම් සහිත අංග සම්පූර්ණ දෙමහල් සංඝාවාසයක් නොමැති බවයි. රුපියල් මිලියන 200ක් පමණ වැය වූ මෙම දැවැන්ත මන්දිරය 2016දී වැඩ අවසන් කරන ලදී.

සිරිනිවාස හිමියන් මහා විහාරය සතු වසර සිය ගණනක් පැරණි ලේඛන නිතර පරිශීලනය කළ හිමිනමකි. 1971 දි සිරිනිවාස හිමියන් මාලිගාකන්ද පිරිවෙනට ඇතුළු වන විට එහි පරිවේණාධිපති වූයේ කළුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියන්ය. ජාත්‍යන්තර ප්‍රමිතියේ ලේඛනාගාරයක් හා පුස්තකාලයක් උන්වහන්සේ ගොඩනැඟුවේ ඉතිහාසය හා පුරාවිද්‍යාව හදාරන ගිහි පැවිදි කාගේත් පරිශීලනය සඳහාමය. එමෙන්ම ශ්‍රී මහා බෝධිය ගැන සත්‍ය තොරතුරු දැන ගැනීමට 'ශ්‍රී මහා බෝධිය' නමින් වෙබ් අඩවිය සිරිනිවාස හිමියන්ගේ අදහසක් අනුව විවෘත කරන ලද්දකි.

කොළඹට වැඩම කරන අටමස්ථානවාසි භික්ෂූන්ගේ දුෂ්කරතා ඇසූ සිරිනිවාස හිමියන් එයට ද පිළියමක් යොදන ලදී. අනුරාධපුර අටමස්ථානය ඇතුළු විහාරස්ථානවල වැඩවසන සංඝයා වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු යම් යම් අවශ්‍යතා සඳහා කොළඹට පැමිණි විට නැවතීමේ අවශ්‍යතාවය කිරුළපනේ ඩී. ඇම්. කොළඹගේ මාවතේ අගනුවර ආරාමය නමින් දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකරන ලදී.

එමෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් වෙනුවෙන් වාට්ටුවක් සෑදීමට පුරෝගාමී වූයේ සිරිනිවාස හිමියන්ය. අනුරාධපුර මහ රෝහලේ 18 වාට්ටුවට යාබදව උන්වහන්සේ විසින් දැඩි සත්කාර වාට්ටුවක් සහ එයට අවශ්‍ය මිල අධික වෛද්‍ය උපකරණ සැපයීම ද උන්වහන්සේ අතින් සිදු විය. 1997 වසරේ අටමස්ථානාධිපති ධූරයට පත් පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසි හතර වසරක් ඉක්මවා අටමස්ථානයේ ඇති කරන පුනරුදය තුළ මිරිසවැටිය සම්බන්ධයෙන් සිදු කළ මැදිහත්වීම හා මෙහෙවර සුවිශේෂී එකකි. දුටුගැමුණු මහ රජු විසින් ස්වර්ණමාලි මහ සෑය තැනීමටත් ප්‍රථමයෙන් ඉදි කළ මිරිසවැටිය දාගැබ රටේ සාමයේත්, එක්සේසත් බාවයේත් සංකේතය ලෙස වැදගත් වන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ.

මිරිසවැටිය භාර ගනිද්දි උන්වහන්සේට අවශ්‍ය සිවුපසය තියා බුද්ධ පූජාවක් පැවැත්වීමට අවශ්‍ය කළමනා පවා රැස් කරගත නොහැකි තත්ත්වයක එදා තිබිණි. ඉතා අසීරුවෙන් සිය දාන වේල පවා පිරිමසා ගනිමින් ආගමික වතාවත් මිරිසවැටියේ ඇරඹූ සිරිනිවාස හිමියෝ සේවකයන් විටින් විට ලැගුම්ගත් වාඩියක් වූ ගොඩනැඟිල්ලක් සුද්ධ පවිත්‍ර කර තාවකාලික කුටියක් තනා ගෙන ඉතාම දුෂ්කරව තේවා ආදී දෛනික වතාවත් ඇරඹූහ.

එවකට ජනපති රණසිංහ ප්‍රේමදාස නිතර මිරිසවැටියට පැමිණ ඉදිකිරීම් ප්‍රගතිය විමසා බැලුවේය. 1993 පොසොන් පෝදා කොත නිරාවරණය කිරීම වෙනුවෙන් දාගැබේ වැඩ වේගවත්ව කළ හැකි විය. පිළිසකර කරන ලද මිරිසවැටිය කොත නිරාවරණය කරන්න එම අවස්ථාවට පැමිණීමට නියමිතව සිටි ජනාධිපති ආර්. ප්‍රේමදාස මැයි 1 වැනිදා හදිසියේ මියයාම නිසා කොත නිරාවරණය කෙරුණේ 1993 ජුනි මස 04 වැනිදා යි.

සිරිනිවාස හිමියන්ගේ අපවත් වීම ගිහි පැවිදි කාටත් දැරිය නොහැකි පාඩුවකි. උන්වහන්සේ ප්‍රදේශයේ විහාරස්ථානවල ඇති අඩුපාඩු සපුරා ගැනීම සඳහා මුදලින් හා ද්‍රව්‍යමය වශයෙන් ආධාර උපකාර කිරීම, දිළිඳු ජනතාවට ගේ දොර ළිං තනාදීම, පාසල් දරුවන් හා දහම් පාසල් දරුවන්ට ඇඳුම් පැලඳුම්, පොත්පත් ආදිය ලබා දීම, විශ්වවිද්‍යාලය දක්වා යා හැකි දරුවන් තෝරා ඒ අයට උපකාර කිරීම, අනුරාධපුර මහාරෝග්‍ය ශාලාවට ද්‍රව්‍යමය වශයෙන් උපකාර කිරීම, දිනපතා තමන් වෙත පැමිණෙන ඇතැම් දුගී ජනතාවට උපකාර කිරීම, ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අවතැන් වූ පාසල් දරුවන්ට හා ජනතාවට උපකාර කිරීම සෝබර ජනතාව කඳුළෙන් සිහි කරති.

එමෙන්ම මේ සද්කාර්යයන් තවත් ඉදිරියට ගෙනයෑම සඳහා උන්වහන්සේ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි පදනම 2007.09.21 වැනි දින පිහිටුවා ගැනීම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාටත් දිළිඳු දරුවන්ටත්, ජනතාවටත් දැන් ඇති එකම බලාපොරොත්තුව වී තිබේ.

ඊටත් වඩා බෝධිස්ථානයේ අභිවෘද්ධියට මේ අයුරින් සිදු කර ඇති, සිදු කරන සේවාවන්ට අමතරව මතු පරම්පරාව වෙනුවෙන් සලකා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව ඓතිහාසික තොරතුරුත්, වර්තමාන සුවිශේෂී තොරතුරුත් ඇතුළත් විද්වත් ලේඛකයන් ලවා සිංහල බසින් හා ඉංග්‍රීසි බසින් ලියන ලද ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක් ද, සංයුක්ත තැටි කිහිපයක් ද, මාසික සඟරාවක් ද බිහිවුණේ සිරිනිවාස හිමියන්ගේ මූලිකත්වය නිසාමය. 'අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ' 'ජය ශ්‍රී මහා බෝරුණ', 'අනුරාධපුර වරුණ', ජයසිරි මහා බෝ සිරිත' ඒ අතර ඓතිහාසික ග්‍රන්ථ ලෙස ඉතිහාසගත වී හමාරය.

පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමියන් මෙරට බහුශ්‍රැත භික්ෂුවක් ලෙස ඉතිහාසගත වනු නියතය. උන්වහන්සේ 2008 පෙබරවාරි දාහත්වැනිදා සිළුමිණට ප්‍රකාශ කොට ඇත්තේ තමන්ගේ සංස්කෘතිය ඉතිහාසය නොදන්නා ජාතියකට අනාගතයක් නැති බවය. ලිපියේ අවසානයට සිරිනිවාස හිමියන් සිළුමිණට කළ ප්‍රකාශයක්ම එක් කරන්නේ උන්වහන්සේට උපහාරයක් ලෙසය.

"බෝමළුවෙ තෙරුන්නාන්සෙ" කියන නම පුරාණ නුවරකලාවිය යෙදුමක්. ඒ නමින් හඳුන්වන්නෙ, අනුරාධපුරේ 'අටමස්ථානාධිපති' භික්ෂූන් වහන්සේව. සිංහලයා තෘප්තිමත් ජාතියක් බවට හේතුව වුුණේ බෞද්ධ දර්ශනයෙන් අපට ලැබුණු අල්පේච්ඡතාව, ජීවත්වීමට අවශ්‍ය තරමට පමණක් බලාපොරොත්තු සහිත වීම, වර්තමානයේ අප අතින් මේ සියල්ලම ගිලිහී යමින් තිබෙනවා ඒ ඉතිහාසය, අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය පිළිබඳ වර්තමාන පරපුරට අවබෝදයක් නැති තරම්. ඔවුන් වැඩි දෙනෙක් අපේ අතීත උරුමය දකින්නෙ මතුපිටින්. විනෝද ගමන් සඳහා විතරයි. ඒ තුළ සැඟවී ඇති ජාතියේ ගැඹුරු යථාර්ථය දකින්නෙ නෑ. මේ තත්ත්වය වහා නිවැරදි කර ගත යුතුයි. තමුන්ගෙ සංස්කෘතිය, ඉතිහාසය නොදන්නා ජාතියකට අනාගතයක් නෑ, තමන්ගේ සාරයත් අතීතය පාගා දමමින්, හරසුන් ලෝකයක් අගය කිරීමෙන් ඉතාම පරාධීන ජාතියක් පමණයි අපට උරුම වෙන්නෙ. මේ තත්ත්වයට තවත් පමා නොවී ජාතික මට්ටමින් ක්‍රියා මාර්ග ගත යුතුයි.




Comments