වට්ටක්කා වගාවෙන් ලක්ෂ 17ක් සෙවූ උතුරු මැද ගොවි රජා | සිළුමිණ

වට්ටක්කා වගාවෙන් ලක්ෂ 17ක් සෙවූ උතුරු මැද ගොවි රජා

චාමර ප්‍රදීප් ලැබූ අස්වැන්න සමඟින්

- අක්කරයක වට්ටක්කා අලෙවියෙන් රුපියල් ලක්ෂ 17ක් ලැබිලා
- පොළට ගෙනිහින් ඉතිරි වෙන එළවළු බිරිය ගෙදර කඩයක තියන් ගමේ අයට තොග මිලටම විකුණලා

විවිධ බාධක කම්කටොලු, අභියෝග මැද වුවද ගොවි බිම ජය ගන්නා ගොවීහු අප රටේ කොතෙකුත් වෙසෙති. අලසකම දුරැලා මහ පොළොව හා සටන් වදින එම ගොවි ජීවිත තුළ ඇත්තේ නොපසුබට උත්සාහය සහ තිර අධිෂ්ඨානය බව නොරහසකි. අක්කරයක පමණ වගා බිමක කරන ලද සරුසාර වට්ටක්කා වගාවෙකින් රුපියල් ලක්‍ෂ 17ක් වැනි ඉහළ ආදායමක් උපයා ගත් උදාර ගොවි මහතකු පසුගියදා අපට මුණ ගැසුණේ පුලතිසි පුරවරයට අයත් මහවැලි බී කලාපයේ වැලිකන්ද ප්‍රදේශයේදීය. නාගස්තැන්න මහවැලි ගම්මානයේ වෙසෙන හතළිස් දෙහැවිරිිදි දෙදරු පියකු වන බී. චාමර ප්‍රදීප් සේනාරත්න ඒ ශූර ගොවියාය. 

දීර්ඝ කාලයක් තිස්සේ යල මහ දෙකන්නයේ වගාවේ නිරතව සිටි තමන් මෑතක සිට තම ගොවි බිමේ වී වගාවට අමතරව අතිරේක බෝග වර්ග වගා කිරීම තුළින්ද සාර්ථකව ආදායම් උපයන බව චාමර ප්‍රදීප් සේනාරත්න ගොවි මහතා පවසයි. මෙවර යල කන්නයේ අක්කරයක පමණ බිමේ වට්ටක්කා වගා කර එහි සාර්ථක අස්වැන්න අලෙවි කිරීම තුළින් රුපියල් ලක්‍ෂ 17ක පමණ මුදලක් ලබා ගැනීමට හැකි වූයේ ඒ අනුව බව ඔහු ආඩම්බරයෙන් යුතුව අප සමඟ පැවැසීය.

මහවැලි බී කලාපයේ නැඟෙනහිර මායිම අවසන්වන්නේ නාගස්තැන්න ගොවි ගම්මානයෙනි. පොලොන්නරුව- මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල නගරයේ සිට කිලෝ මීටර් 40ක් පමණ ගෙවා නැඟෙනහිර දෙසට යන විට වැලිකන්ද නගරය හමු වේ. එතැන් සිට මඩකළපුව දෙසට තවත් කිලෝමීටර් 10ක් පමණ ගිය විට හමු වන අසේලපුර හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 03ක් පමණ ගමන් කළ පසු හමු වන්නේ නාගස්තැන්න මහවැලි ගම්මානයයි. වී වගාව මූලික කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් ගොවි පවුල් 300කට වැඩි ප්‍රමාණයක් එහි වෙසෙන බවද අපට දැනගන්නට ලැබිණි.

රුදුරු කොටි ත්‍රස්ත තර්ජන නොඅඩුව පැවැති සමයේ ඊට නිරන්තරයෙන් ගොදුරු වූ ගම්මානයක් ලෙසද නාගස්තැන්න ගම්මානය හැඳින්වීම නිවැරදිය. එදා කොටින්ගෙන් අපමණ බැට කෑ නාගස්තැන්නේ වැසියන්ට මෙකල වන අලි තර්ජනවලින් අඩුවක් නොමැති බව අප එහි ගිය ගමනේදී මුණ ගැසුණු ගම්මුන් බොහෝ දෙනකු පැවැසූහ.

අපගේ මෙම සටහනෙහි කථානායක චාමර ප්‍රදීප් සේනාරත්න මුණ ගැසීම සඳහා ඔහුගේ නිවහනට ගොඩ වැදුණු මොහොතේ ඔහුගේ බිරිය වන අනෝෂා කුමාරසිංහ ගෙන් දැනගන්නට ලැබුණේ තම සැමියා ගොවි බිමෙන් නෙළා ගත් වට්ටක්කා, බටු, තක්කාලි, මෑ කරල් ඇතුළු එළවළු අස්වැන්න අලෙවි කිරීම සඳහා උදෑසනම වැලිකන්ද සතිපොළට ගිය බවය. එහෙයින් ඔහු නැවත නිවසට පැමිණෙන තෙක් එහි රැඳී සිටින්නට අපට සිදු වූව ද හෝරා දෙක තුනක් පමණවූ එම කාලය ප්‍රයෝජනවත් ලෙස ගෙවා දැමීම සඳහා ආසන්නයේ පිහිටි ඔහුගේ වගා බිම වෙත කැඳවා ගෙන ගියේ අප කැටුව පැමිණි නාගස්තැන්න මහවැලි ක්‍ෂ්ත්‍ර සහකාර හර්ෂ කාංචන ය.

අක්කරයක පමණ වපසරියක වගා කර තිබූ වට්ටක්කා වගාවත්, ඊට අමතරව පැණි කොමඩු, බඩ ඉරිඟු, බණ්ඩක්කා, බටු මිරිස්, තක්කාලි, මාලු මිරිස්, වැටකොලු ඇතළු බෝග වගාවන් ආදියත් එහි ඉතාමත් සරුවට වැඩී තිබෙනු දැකගත හැකි විය. මේ සියලුම වගාවන් සඳහා මොහු රසායනික පොහොර ඉතාමත් අඩුවෙන් යෙදීමත් ඒ හැර කාබනික පොහොර භාවිත කිරීමත් විශේෂත්වය බව මහවැලි ක්‍ෂෙත්‍ර සහකාර හර්ෂ කාංචන අප සමඟ පැවැසීය. එමෙන්ම කෘමි හානි වැළැක්වීම සඳහා කෘෂි රසායන භාවිත කෙරෙනුයේ ඉතාමත් සීමිතව බවද ඔහු පැවසීය.

චාමර ප්‍රදීප් සේනාරත්න මහවැලියෙන් උපන් මේ ගොවි බිමේ දෙවැනි පරපුරේ සාමාජිකයෙකි. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ගොවි පවුල් පදිංචි කරවනු ලැබූ නාගස්තැන්න මහවැලි ගම්මානයට ඉඩම් ලාභියකු ලෙස සුදුසුකම් ලැබ පැමිණ ඇත්තේ චාමරගේ මවුපියන්ය. ඒ 1992 වසරේදී පමණ බවද අපට දැනගන්නට ලැබිණි. ඒ වන විට චාමර වයස අවුරුදු 10ක පමණ කුඩා දරුවෙකි. හෙතෙම සිය අම්මා අප්පච්චී ගෙන් ගොවිතැන පිළිබඳ අත්පොත් තබන්නේ ඒ කුඩා කල පටන්මය. සාමාජිකයන් සිවු දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වන චාමර මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ සිය ගම්පියසට යාබදව පිහිටි අසේලපුර පාසැලෙනි. ඉන්පසුව වැලිකන්ද මහා විද්‍යාලයෙන් අපොස සාපෙළ දක්වා ඉගෙනුම ලබා තිබේ. ඉන්පසුව රජයේ රැකියාවකට යෑමේ යෞවනයේ අසාව චාමර තරුණයා විසින් සපුරා ගනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳීමෙනි. බිහිසුණු යුද්ධය පැවැති සමයේ උතුරු නැඟෙනහිර ක්‍රියාන්විතයේ වසර අටක් පමණ සේවය කර පසුව එම රැකියාවට ආයුබෝවන් කියා පැමිණ නැවත තෝරාගෙන ඇත්තේ සිය මවුපියන්ගෙන් උරුම වූ දෑතේ රැකියාව වන ගොවිතැනය.

“පුංචි කාලේ ඉඳලම මම කුඹුරු ගොවිතැන් කළා. අම්මා අප්පච්චිගෙන් ඒ දැනුම ලැබුණේ. හමුදාවේ ඉන්න කාලෙත් නිවාඩුවට ගෙදර ඇවිල්ලා අප්පච්චිගේ ගොවිතැන් කටයුතුවලට උදව් කරනවා. ඒ මොකද අපේ පවුලේ ආර්ථිකය ගොඩනැඟිලා තිබුණේ ගොවිතැන මත. වෙනත් ආදායම් මාර්ග තිබුණේ නෑ. මට රජයෙන් ඉඩම් ලැබිලා නෑ. අප්පච්චිට මහවැලියෙන් ලැබුණු ඉඩම තමයි මම වගා කළේ. පසුව අඳ,බදු ක්‍රමයට කුඹුරු අරගෙනත් වගා කළා. අපි පුරුද්දට හැමදාම කළේ කුඹුරුවල වී වගා කරන එක. නමුත් වී වගාව විතරක් කරලා ගොඩයන්න බෑ කියන එක තේරුම් ගත්තා. දඹුල්ල, කැකිරාව වගේ ප්‍රදේශවල එළවළු වගා කරන මගේ යාලුවො කිහිප දෙනකු ඉන්නවා. ඒ අය මට කිව්වා වී වලට අමතරව එළවළු වගාවටත් යොමු වෙන්න කියලා. පස්සේ මම තීරණය කළා පසුගිය කන්නයේ වට්ටක්කා වගාවක් ආරම්භ කරන්න. නමුත් ඒ පළවෙනි වතාවේ වගාව අසාර්ථක වුණා. ඒකට හේතුව හොඳ බීජ වර්ග මට ලැබුණේ නෑ. රසායනික පොහොරත් මට ලැබුණේ ගුණාත්මක ඒවා නෙවෙයි. ඒ නිසා මම ගොවිතැන ගැන කලකිරීමෙන් හිටියෙ. විශේෂයෙන් මේ අතිරේක බෝග වගාව ගැන. ආයෙම අතිරේක බෝග වගාව කරන්නේ නෑ වී වගාවම කරනවා කියලා හිතාගත්තා. ඒ වෙලාවේ මහවැලියේ ක්‍ෂේත්‍ර සහකාර නිලධාරී හර්ෂ මහත්තයා මට කිව්වා චාමර මේ වැඩේ අත්හරින්න එපා. ලබන වතාවෙත් වට්ටක්කා වගාව කරන්න. අපි උදව් කරන්නම් කියලා. ඒ අනුව තමයි මේ සැරේ වට්ටක්කා වගා කළේ. නමුත් ගිය සැරේ වගේ නෙවෙයි මට මේ වතාවේ වගා කරන්න හොඳ බීජ වර්ග ලැබුණා. පොහොරත් කලට වෙලාවට ලැබුණා. ඒ නිසා සාර්ථක අස්වැන්නක් ගන්න මට පුළුවන් වුණා. අක්කරයක වට්ටක්කා වගාවට රුපියල් ලක්‍ෂ 04ක් විතර වියදම් ගියා. නමුත් හොඳ ආදායමක් මට ලැබුණා. පැණි කොමුඩු අක්කර කාලක විතර බිම් ප්‍රමාණයක වගා කළා. වට්ටක්කා වගාවෙනුයි, පැණි කොමඩු වගාවෙනුයි රුපියල් ලක්‍ෂ 17ක් විතර දැනට ලැබිලා තියෙනවා. මේ වගා කටයුතුවලදී මගේ බිරිය අනෝෂාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ හැම දෙයක්ම වාගේ අපි දෙන්නාගේ දෑතේ වීරියෙන් කළ දේවල්. දැන් මගේ ගොවිපලේ වට්ටක්කා විතරක් නෙවෙයි වම්බටු, බණ්ඩක්කා, තක්කාලි, මෑ කරල්,වැටකොළු, මාලු මිරිස් වගේ එළවළු වර්ග ගණනාවක් තියෙනවා. ඒවා වෙළඳපොළට ගෙනහින් අලෙවි කරනවා වගේම මගේ බිරිය ගෙදර පවත්වාගෙන යන කුඩා එළවළු කඩයේ අලෙවි කරනවා. ගමේ අය වගේම අහල පහල අය ඇවිත් ඒ එළවළු මිලදී ගන්නවා. එහි විශේෂත්වය තමයි ඇය ඒ එළවළු විකුණන්නේ තොග අලෙවි කරන මිලටයි. ඒ නිසා එයට විශාල ඉල්ලුමක්ද පවතිනවා. ඒ එළවළු අලෙවි කිරීමෙන් දවසකට සෑහෙන ආදායමක් ලබනවා. මේ සියලු කටයුතුවලදී මහවැලියේ නිලධාරීන්ගෙන් විශාල සහයෝගයක් මට ලැබුණා. ඒ බව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ අය මාව දිරිමත් කළේ නැත්නම් මම වගාව අත්හරින අදහසක මුලින් හිටියේ. මහවැලියේ නේවාසික ව්‍යාපාර කළමනාකරු ඉන්දික රණවීර මහත්මයාගේ උපදෙස්මත නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකරු කෘෂිකර්ම විජේසුන්දර මහත්මයාගේ මෙහෙයැවීම මත කොට්ඨාස කළමනාකාර තුමා බණ්ඩාර මහත්තයා, ක්‍ෂේත්‍ර සහකාර හර්ෂ කාංචන මහත්තයා,කෘෂිකර්ම නිලධාරිනි ශ්‍යමලී සුරවීර මහත්මිය මේ හැම දෙනාම මට නිරන්තරයෙන් මගේ ගොවි බිමට ඇවිල්ලා මට අවශ්‍ය සෑම උපදේශයක්, සහයෝගයක්ම ලබලා දුන්නා.”

ගොවිතැන එතරම් ලාබ නැති ඇතැම්විට පාඩු ලබන රැකියාවක් බවට අපට බොහෝවිට අසන්නට ලැබෙන මැසිවිල්ලකි. එසේ වන්නට බලපාන හේතු කාරණාද කොතෙකුත් තිබෙන බවද අපි දනිමු. මෙවැනි වගාවක් කිරීමේදී ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු මොනවාදැයි චාමර ගොවි මහතාගෙන් විමසූ විට ඔහුගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි. 

“ප්‍රධාන වශයෙන්ම සෑම වගාවකදීම ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ගුණාත්මක බීජ සපයා ගැනීම එහිදී වෙළඳපොළේ නොයෙකුත් වෙළඳනාමවලින් බීජ වර්ග තිබෙනවා. නමුත් අපිට එක්වරම ඒවායේ ගුණාත්මක තත්වය හඳුනා ගන්න ලැබෙන්නේ නෑ. එවැනි අවස්ථාවල ව්‍යාජ බීජ වර්ගවලට ගොවීන් අහු වෙනවා. විශාල මුදලක් වියදම් කරලා වගා කරනවා. නමුත් සාර්ථක වෙන්නේ නෑ. ඒ නිසා ගුණාත්මක බීජ තෝරාගැනීම නිවැරදිවම කරන්න ඕන. මෙහිදී තමයි විශේෂඥ දැනුම තිබෙන නිලධාරීන්ගේ මඟ පෙන්වීම උපදෙස් අවශ්‍ය වන්නේ. ඒ වගේම පොහොර, කෘෂි රසායන ආදිය සපයා ගැනීමේ තිබෙන දුෂ්කරතාව. එමෙන්ම එහි ප්‍රමිතිය පිළිබඳව.

මට පසුගිය වතාවේ මේ කාරණා දෙකම බලපෑවා. හොඳ බීජ ලැබුණෙත් නෑ. වැඩි මුදලක් දීලා වෙළඳපොලෙන් මිලදී ගත්ත පොහොරත් නිසි ප්‍රමිතියෙන් යුක්තව නෙවෙයි තිබුණේ. ඒවා යෙදීමෙන් වගාවට නිසි ප්‍රයෝජන අත්වුණේ නෑ.නමුත් මේ වතාවේ ඒ ගැටලු කිසිවක් මතුවුණේ නෑ. මහවැලියේ නිලධාරීන් මට අවශ්‍ය සෑම උදව්වක්ම ලබා දුන්නා.”

වට්ටක්කා වගාවෙන් මෙවැනි සාර්ථක අස්වැන්නක් ලබන්නට යොදන ලද පොහොර වර්ග මොනවා දැයි අප කල විමසුමට පිළිතුරු දුන් චාමර ගොවි මහතා කීවේ රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර වර්ගද වගාවට යෙදූ බවයි.

“මේ අක්කරයක වගාවටම රසායනික පොහොර යෙදුවේ කිලෝ 50යි. අනෙක් සියල්ලම ගොම පොහොර සහ කුකුල් පොහොර. කුකුල් පොහොර මිටි 100ක් යෙදුවා. ගොම පොහොර මිටි 150ක් විතර දැම්මා. වට්ටක්කා ඇට හිටවන්න කලින් වළවල් 2750ක් පිළියෙළ කළා. එසේ පිළියෙළ කළ වළවල්වලට මම දැම්මේ ගොම පොහොර සහ කුකුල් පොහොර පමණයි. ඇට හිටවලා පැළ හැදුණට පස්සේ තමයි යූරියා යෙදුවේ. අවස්ථා දෙකක්. ඒ අවස්ථාවලදීත් රසායනික පොහොර දැම්මේ ගොම සහ කුකුල් පොහොර සමඟ කළවම් කරලා. වට්ටක්කා කිලෝ 10,000ක් විතර දැනට කඩලා තියෙනවා. කිලෝ එකක් දුන්නේ තොග මිල රුපියල් 160 ගාණේ. වගාවේ වල් මර්දනය සඳහා මේ වතාවේ මම වල් නාශක යෙදුවා. ඒ වැඩේ ශ්‍රමයෙන් කළා නම් රුපියල් 80,000ක් විතර වැය වෙනවා.

ඒ මුදල ඉතිරි කර ගන්න පුළුවන් වුණා කෘෂි රසායන භාවිත කළ නිසා. පරාග පෝෂණ ක්‍රියාවලිය මී මැස්සන් මගින් තමයි සිද්ධ වුණේ. ඒ බව විශේෂයෙන් කියන්න ඕන.”

ගොවිබිම මනාව ජය ගැනීමේ කාරණයේදී මුහුණ දීමට සිදුවූ වෙනත් අභියෝග මොනවාදැයි අප විමසූවිට ඔහු කීවේ වන සතුන්ගෙන් සිදුවන හානි අතර වල් අලින්ගේ හානිය මූලික බවය. තම වගාවන් පමණක් නොව ජන ජීවිත රැකගන්ටද විශාල වෙහෙසක් දැරීමට සෑම දෙනාටම පාහේ සිදුව තිබෙන බව හෙතෙම කීවේය. වී වගාව මෙන්ම අතිරේක බෝග වගාවද වල් අලින්ගෙන් රැක ගැනීමට දිවා රෑ දෙකෙහිම වෙහෙසෙන්නට සිදුවන බවත් විශේෂයෙන්ම අස්වනු නෙළන කාලවලදී ගොවිබිම්වලට වන අලි කඩාවැදීම නිරන්තරයෙන්ම සිදුවන බවත් පැවැසීය. මෙය තමන්ට හෝ නාගස්තැන්නේ ගොවීන්ට පමණක් නොව බොහෝ ගොවි බිම්වල ජනයා කාලයක පටන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් මෙන්ම පොදු කාරණයක් බවද කීය.

ගොවිබිම්වලින් ඇසෙන දුක්මැසිවිලි අරුමැසි නොවන අප රටේ චාමර ප්‍රදීප් සේනාරත්න වැනි සැබෑම දිරිය ගොවි රජවරුන්ද වෙසෙනු අසන්නට ලැබීම පවා එක්තරා අන්දමක සොම්නස දනවන කාරණයක් බැව් අමුතුවෙන් කිවයුතු නැත. පරිසරයද නොනසා රැක ගනිමින් තම ගොවිබිම ජය ගන්නට කිසියම් වෙහෙසක් හෙතෙම දරා තිබෙන බව අපටද හැඟී ගිය කාරණයෙකි. ඔහු ජයටැඹ කරා මෙහෙයැවීමේ ගෞරවයේ කිසියම් කාර්ය භාරයක් මහවැලි බී කලාපයේ වගකිවයුතු නිලදරුවන් විසින් දරා තිබීම සැබැවින්ම පැසසිය යුතුය.

කරුණාරත්න ගමගේ 
ඡායාරූප - නිමල් ජයරත්න, මනම්පිටිය

Comments