නාඩි අල්ලා ලෙඩේ හොයන ගඟුලේ ඇස් වෙදකම | සිළුමිණ

නාඩි අල්ලා ලෙඩේ හොයන ගඟුලේ ඇස් වෙදකම

- අක්ෂි තරල ප්‍රදාහය ආතරයිටිස් රෝගය හා සමාන අක්ෂි රෝගයක්. බටහිර වෛද්‍ය විද්‍යාවේ යුවයිටීස් ලෙස හඳුන්වන මෙය වැලඳෙන්නේ ලේවල විෂමතාවක් ඇති වූ විටයි
- මුල් අවධියේදීම ප්‍රතිකාර සඳහා පැමිණියොත් ග්ලුකෝමා රෝගියකු මාස 6-8ක් වැනි කාලයකදී බටහිර ඖෂධ නතර කරන තත්ත්වයට පත් කළ හැකිය

ලොව දකින්නටත් එය තේරුම් ගන්නත් අපට දෙනෙත් ඇවැසිය. ආලෝකය ග්‍රහණය කර ඉන් ලැබෙන සංඥා ස්නායු පද්ධතිය ඔස්සේ මොළයට සන්නිවේදනය කර ඊට අර්ථ නිරුක්ති ලබාදෙන්නේ දෑස්වලිනි. එය සිරුරේ ඇති අන් කිසිදු ඉන්ද්‍රියකට කළ නොහැකි කාර්යකි. මෙවර ‘ඉසිවර අරණ’ වෙන් වන්නේ ඇස් වෙදකමට ඍෂිවරයකු බඳු වෙදැදුරකු ගැනය. 

ගඟුල ඇස් වෙද මහතා ලෙස ලොව පුරා ප්‍රචලිතව සිටින මෙම වෙද පරම්පරාවේ ඉතිහාසය ශතවර්ෂ එකහමාරක් තරම් පැරණිය. ගඟුල වෙද පරම්පරාව ආරම්භ වන්නේ බෙල්ලනගේ මාසල් ප්‍රනාන්දු වෙදැදුරාගෙනි. හෙතෙම කෑගල්ල ප්‍රදේශයේ ඉපිද පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූවෙකි. පිරිවෙනේදී තම ගුරු හිමියන්ගෙන් උගත් ඇස් වෙදකමින් රට පුරා ප්‍රකට වූ හෙතෙම පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ තරුණියක හා ආදරයෙන් බැඳී ඇය හා විවාහ වී කෙසෙල්වත්ත ප්‍රදේශයේම පදිංචිව ඇස් වෙදකම ආරම්භ කර ඇත. පසුව ඔහුගේ පුත් බෙල්ලනගේ ඩේවිඩ් ප්‍රනාන්දු කෙසෙල්වත්ත ප්‍රදේශයේ වෙදකම පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව පානදුර හිරණ ගඟුල ප්‍රදේශයට පැමිණ වෙදකම පවත්වාගෙන ගොස් තිබේ. අනතුරුව ඔහුගේ පුත් බෙල්ලනගේ සෝමදාස ප්‍රනාන්දු වෙද මහතා ගඟුල වෙදගෙදර පවත්වාගෙන ගොස් ඇත. එහි වත්මන් උරුමකරුවා ලෙස මේ මහඟු කාර්යයේ වගකීම දරන්නේ බෙල්ලනගේ ඉෂාර ප්‍රනාන්දු ය. හෙතෙම මේ වන විට සිය පුත්‍රයා වන බෙල්ලනගේ චමිත ප්‍රනාන්දු සමඟ ඇස් වෙදකම පවත්වාගෙන යයි. චමිත ප්‍රනාන්දු ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් ඇස් වෙදකමට අමතරව සර්වාංග වෙදකම ද ප්‍රගුණ කරමින් සිටී. 2019 දී සෝමදාස ප්‍රනාන්දු වෙද මහතා වියෝ වීමත් සමඟ ඔහුගේ දෙවැනි පුතු වූ බෙල්ලනගේ ඉෂාර ප්‍රනාන්දු ගඟුල වෙද පරපුරේ සිවු වැන්නා ලෙස ඇස් වෙදකම බාර ගෙන ඇත.

“මගේ පවුලේ සහෝදරයන් දෙදෙනෙක් හා සහෝදරියන් දෙදෙනකු සිටිනවා. මම පවුලේ දෙවැනියා. කුඩා කාලයේ ඉඳලම මම පියාට වෙදකමට අවශ්‍ය බෙහෙත් හදන්න, ලෙඩ්ඩුන්ට බෙහෙත් ගල්වන්න උදවු උපකාර කළා. ඒ අතර වෙදකමත් හොඳින් ඉගෙන ගත්තා. නමුත් මට ඇස් වෙදකම කරන්න ඕනෑකමක් තිබුණේ නැහැ. මොකද ඒ වෙද්දි සමාජ පිළිගැනීම තිබුණේ අත් දිගට දාලා කමිස කලිසන් ඇඳලා සපත්තු දාගෙන රැකියාවකට යන අයට. මාත් එහෙම යන්න ආස කළා. ඒත් වෙදකම කළොත් ඒක කරන්න වෙන්නෙ නැහැ. අනික තෙල් බෙහෙත් ගාගෙන වැඩ කරන්න මං කැමති වුණේ නැහැ. ඒ නිසා මං උසස් පෙළ වාණිජ විෂයන් හදාරන්න යොමු වුණා. උසස් පෙළින් පස්සේ මං පුවත්පත් ආයතනයක වසර තුනක් පමණ රැකියාව කරගෙන යන අතරතුර මගේ අම්මගෙ මල්ලි, මගේ මාමා මට කතා කරල කිව්වා, “මෙච්චර හොඳ වෛද්‍ය ශාස්ත්‍රයක් දැනගෙන මොකක්ද ඔය ළමයා කරන මේ වැඩේ තේරුම, ඔයිට වැඩිය නම්බු නැද්ද මින්ස්සුන්ගේ දෑස් සනීප කරන එක. ඕක අතහැරල දාල තාත්ත එක්ක වෙදකම කරන්න” කියලා. ඒක මගේ හිතට තදින් වැදුණා. තාත්තා වෙදකම කරන්න කියලා මට කිව්වත් රැකියාවක අත්දැකීම් නැති නිසා කලින් අර විදියට හිතුවට මට පස්සේ තේරුණා තාත්තත් මාමා කියපු දේ නිවැරදි බව. ඒ අතරතුර මාමා මට කළුතර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න සියලු කටයුතු සූදානම් කරල තිබුණා. මම කළුතර ආයුර්වේද විද්‍යාලයට ඇතුළත් වෙලා ආයුර්වේද ශාස්ත්‍රය විභාගයට මුහුණ දුන්නා. පසුව මා සංර්වාංග වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වුණා. එදා සිට මේ දක්වා වසර දහසයකට වැඩි කාලයක් තිස්සේ මේ වෙදකම කරගෙන එනවා.” බෙල්ලනගේ ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා අතීතය ආවර්ජනය කරමින් කීවේය.

ගඟුල ඇස් වෙද පරපුරේ ආදි කර්තෘවරු විසින් වාත, පිත, කප සහ රත්තජ ආදී දෝෂ කෝපතාවන් අනුව බලා ඒවා නැවත කොටස් කර අක්ෂි රෝග 1,444ක් හඳුනාගෙන ඇති අතර, මේ වන විට ඉන් අක්ෂි රෝග ලෙස හඳුනා ගෙන ඇත්තේ 103කි. මෙම සියලු රෝග සඳහා මෙහිදී වෙදකම් කරනු ලබයි. එසේ වුවත් ඇස් රෝග අතර ඇති මස් දළු රෝගය සහ අභිඡන්දය (ඇස් රතුවී කබ කඳුළු ගැලීම නිසා ඇති වන රෝගී තත්ත්වය. මෙය ජනතාව අතර ප්‍රකටව ඇත්තේ ‘ඇස් ලෙඩ’ කියාය) රෝගය සඳහා ප්‍රතිකාර නොකරයි. ඒ එවැනි රෝගීන් මෙම ස්ථානයට පැමිණීමෙන් අනෙක් රෝගීන්ට සිදු විය හැකි අනතුර නිසාය. එනිසා ඇස් ලෙඩ නමින් හඳුන්වන රෝගයෙන් පෙළෙන්නන් ප්‍රතිකාර ගැනීමට මෙම ස්ථානයට නොපැමිණීමට වග බලා ගැනීම යහපත්ය. අනෙක් අතට එය දින කිහිපයක් තුළ ඉබේම සුව වන රෝගයකි. එසේම හදිසි අනතුරක් නිසා ඒ මොහොතේ ඇති වන තුවාල සඳහා ද මෙහි ප්‍රතිකාර නොකළද අනතුරුව ඇතිවන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරයි.

නාඩි ඇල්ලීම මඟින් රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳව නිගමනය කිරීම මෙහිදී සිදුවේ. මෙහිදී සාමාන්‍ය ආයුර්වේද චිකිත්සාවේ නාඩි අල්ලා වෙදකම් කිරීමට වඩා එහා ගිය දැනීමක් ඒ සඳහා අවශ්‍ය වේ. ගඟුල වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා පැමිණෙන්නන් අතර දියවැඩියාව නිසා ඇති වන අන්ධතාව, ඇසේ සුද ඇති වීම සහ නීල කාච රෝගය හෙවත් ග්ලුකෝමා රෝගයට ගොදුරු වූ රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටිති. ඒ පිළිබඳ වෙද මහතා වැඩිදුරටත් පහදා දුන්නේ මෙලෙසිනි.

“කෙනෙකුට තමන් නීල කාච රෝගියකු බව හඳුනා ගත හැක්කේ රෝගය උත්සන්න වී ඇසේ පෙනීම සියයට පනහක් පමණ අඩු වූවාට පසුවයි. ඇසේ පීඩනය වැඩි වීම, හිසේ කැක්කුම, ඇසේ කැක්කුම, විවිධ එළි වර්ග පෙනීමට පටන් ගැනීම, තද ආලෝකය දෙස බැලීමේ අපහසුතාව, පෙනීමේ විෂමතා ඇති වීම, ඇස් කාචයේ නීල වර්ණය ඇති වීම, තද බව සහ රත් පැහැ වීම මෙම රෝගය නිසා ඇති වෙනවා. දියවැඩියාව වැලඳීම සහ කිසියම් අනතුරකදී ඇති වූ තැල්මක් නිසා කෙනකු මෙම රෝගයට ගොදුරු විය හැකියි.

දියවැඩියාව නිසා ඇතිවන අන්ධතාවයේදී ඇසේ සුද මතුවීම, ග්ලුකෝමා රෝගයට ගොදුරුවීම, ඇස් ස්නායු ඉදිමීම, ඇස තුළ රුධිර වහනය, ඇසේ ස්නායුවක රුධිර කැටියක් සිර වීම, ඇසින් වතුර වැනි දියරයක් ගැලීම නිසා ඇති වන ඉදිමුම සහ දෘෂ්ටි විතානය ගැලවී යෑම වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු විය හැකියි”

මෙවැනි රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේ දැයි ඉසිවර අරණ කළ විමසීමේදී වෛද්‍ය ඉෂාර ප්‍රනාන්දු කියා සිටියේ, “ අපේ ප්‍රතිකාරවලදී රෝගියාගේ ඇහැ ඇතුළට කිසිදු ප්‍රතිකාරයක් ලබා දෙන්නේ නැහැ. සියලු ප්‍රතිකාර කරන්නේ ඇසට බාහිරවයි. එනම් ඇසේ පිටත ඇහැ වටේට, ඔළුවට සහ මහපට ඇඟිලි දෙකට යන ස්ථාන තුනටයි. කසාය දෙනකොට වකුගඩු අමාරු, පපුවේ අමාරු ඇත්දැයි සොයා බලනවා. ඒවා නැති අයට විතරයි කසාය වර්ග ලබා දෙන්නේ.

දියවැඩියා රෝගීන් සඳහා ඇසට ප්‍රතිකාර ලබාදෙන්නේ ඉසකුඩිච්චි, ඉස ගැල්වීම්, ඇඟිලිවල පත්තු බැඳීම ආදී සියලු දේ සිදු කිරීමෙන් අනතුරුවයි. දියවැඩියා රෝගියාගේ රෝගී තත්ත්වය අඩුවීම වැඩි වීම මත අප කරන ප්‍රතිකාර මඟින් ලැබෙන සුවයේ ද වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා දියවැඩියා රෝගීන් නිට්ටාවටම සුව කිරීමට අපහසුයි. නමුත් එවෙලෙ ඇති වී තිබෙන තත්ත්වය සම්පූර්ණයෙන් සමනය කළ හැකියි.”

ග්ලූකෝමා හෙවත් නීල කාච රෝගය සඳහා ගොදුරු වූ අයකු බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ජීවිතාන්තය දක්වාම ඇසට බෙහෙත් දියර දැමිය යුතුය. එහෙත් ගඟුල ඇස් වෙද ගෙදරට එවැනි රෝගියකු මුල් අවධියේම ප්‍රතිකාර සඳහා පැමිණියහොත් මාස හයක් අටක් වැනි කෙටි කාලයකදී බටහිර ඖෂධ නතර කරන තත්ත්වයට රෝගියා පත් කළ හැකිය. ඒ සඳහා මෙහිදී ලබාදෙන වෛද්‍ය උපදේශ නිවැරදිව පිළිපැදීම අත්‍යාවශ්‍ය වේ.

“ඇසේ සුද ඇති වන්නේ ඇස තුළ ඇති කාච පටලය දුර්වර්ණ වීමෙන් ඇතිවන ආසාදිත තත්ත්වයක් නිසා. ඒ සඳහා බෙහෙත් ගල්වා එය තුනී කළ යුතු වෙනවා. අනතුරුව ප්‍රතිකාර කරනවා. මෙම ප්‍රතිකාර බොහොම ඉහළ ප්‍රතිඵල අත් කර දී තිබෙනවා.”

වෙද මහතා පැහැදිලි කළ ආකාරයට මෙහිදී බෙහෙත් ගල්වන්නේ රෝගියාගේ ඇස මතුපිටින් වන අතර එම බෙහෙත් ගැල්වූ පසු එය ශරීරයට උරා ගන්නා තෙක් සිටිය යුතුය. එලෙස සිටිය යුතු කාලය රෝගියාගෙන් රෝගියාට සහ රෝගයෙන් රෝගයට වෙනස් වේ. එසේම රෝගියාගේ ප්‍රකෘතිතාව අනුව මෙන්ම බෙහෙත් වට්ටෝරුව අනුව ද බෙහෙත් ගල්වාගෙන සිටින කාලය අඩු වැඩි වේ.

ගඟුල ඇස් වෙද ගෙදරට දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 150 - 180ත් අතර පිරිසක් පැමිණේ. කොවිඩ් වසංගතයට පෙර මෙම ස්ථානයට දිනකට රෝගීන් 250-300ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණ ඇත. මේ වන විට බෙල්ලනගේ ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා රෝගීන් 60,000ට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති අතර, එම රෝගීන් අතර ජර්මන්, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්ක් වැනි රටවලින් පැමිණි විදේශිකයන් පමණක් නොව ආයුර්වේදයට ප්‍රසිද්ධ ඉන්දියානුවන් සිටීම ද විශේෂත්වයකි. 

අප එහි යන විට ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රතිකර ලබමින් සිටිනු දුටුවෙමු. ඇගේ රෝගය පිළිබඳව වෙද මහතා පැවසුවේ, “මේ ප්‍රංශ ජාතික කාන්තාව මීට අවුරුදු දෙකකට උඩදී මට දුරකථනයෙන් කතා කළා. ඇයට වැලඳී තිබුණේ අක්ෂිතරල ප්‍රදාහය කියන රෝගයයි. මෙය ආතරයිටිස් රෝගය හා සමාන අක්ෂි රෝගයක්. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ යුවයිටීස් (Uveitis) ලෙස හඳුන්වනවා. මෙය වැලඳෙන්නේ ඇඟේ ලේවල විෂමතාවක් ඇති වූ විටයි. මුලින්ම ඇගේ ඇස් රතු වෙන්න පටන්ගෙන තිබුණා. මේ සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී විවිධ බෙහෙත් වර්ග ඇහැට දාන්න දී තිබුණත් එය ඔවුන්ට සුව කළ නොහැකි බව පවසා තිබුණා. දැනගන්න ලැබෙන විදියට මේ රෝගය සඳහා බටහිරි වෛද්‍ය ක්‍රමය තුළ සාර්ථක ප්‍රතිකාරයක් මේ දක්වා සොයා ගෙන නැහැ. මේ කාන්තාව අප වෙත ආවාම අප මුලින්ම සිදු කළේ රෝගියාගේ ශරීරය ශෝධනයට ලක් කිරීමයි. එමඟින් ඇඟේ තියෙන දොස් ශෝධනයට ලක් වෙනවා. කිලිටි රෙද්දකට තීන්ත ගෑවට එළිය වැටෙන්නෙ නැහැ වගේ මේ දෝෂ ඉවත් නොකර ප්‍රතිකාර කිරීමෙන් ඵලක් නැහැ. ඒ නිසා අපි මුලින්ම ඇගේ ශරීරය ශෝධනයට ලක් කළා. ඒ අනුව දොස් සමනය කරලා තර්පන ප්‍රතිකාරය කළා. එමගින් නැති වූ පෙනීම වර්ධනය කරනවා. දැන් ඇය ඉන්නේ ඉතාම හොඳ තත්ත්වයක.”

ඇස් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ලංකාවේ නොයෙක් පළාත්වලින් ගඟුල ඇස් වෙදගෙදරට රෝගීහු පැමිණෙති. අම්පාර, ත්‍රිකුණාමලය, යාපනය, වව්නියාව, කිලිනොච්චි වැනි ප්‍රදේශවල සිට රෝගීන් පැමිණේ. ජංගම දුරකථන, ටැබ්, පරිගණක නිතර භාවිත කරන අයගේ ඇස්වල ඇතිවන වෙනස්කම් සඳහා පාරම්පරික වට්ටෝරු අනුව ඖෂධ නිෂ්පාදනය කර ඇති අතර හතළිස් ඇඳිරිය නිසා පෙනීම දුර්වල වීම සඳහා ද ඖෂධ ලබා ගත හැකිය. එහෙත් බරපතළ ගැටලුවක් වන්නේ අක්ෂි රෝග සඳහා අවශ්‍ය ඖෂධ වර්ග, විශේෂයෙන්ම අමු කොළ වර්ග සහ වියළි ඖෂධ වර්ග සොයා ගැනීමට ඇති දුෂ්කරතාවන්ය. මේ සඳහා ඔසු උද්‍යානයක් නිර්මාණය කිරීමට අක්කර දෙක තුනක ඉඩමක් ලබා දෙන මෙන් හෙතෙම කලකට පෙර සිටම දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණ ද, ඒ සඳහා මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. මේ උතුම් වෙදකම අනාගත පරපුරට ලබා දීම සඳහා ඖෂධ උද්‍යානයක් හා විද්‍යාලයක් නිර්මාණය කිරීම වෛද්‍ය ඉෂාර ප්‍රනාන්දුගේ අපේක්ෂාවයි. එයින් ඇස් වෙදකම ආරක්ෂා වනවා පමණක් නොව ඖෂධ පිළිබඳ ළමා පරපුරට මනා අවබෝධයක් ලබා දීමට ද හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

පෝය දින සහ පෝය දිනට පසු දින හැර අනෙක් සෑම දිනකම උදෑසන 5.00 සිට දහවල් 12 පමණ වන තෙක් මෙහිදී ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ. ඉන් පසුව ප්‍රතිකාර කිරීම සිදු නොවන අතර ඒ පිළිබඳ වෙද මහතා මෙසේ කීවේය.

“ඇතැම් උදවිය මෙහාට එන්නෙ බොහොම දුර ගෙවාගෙන මුදල් වියදම් කරලා බොහෝම අමාරුවෙන්. මේ කාලේ දුප්පත් මිනිසුන්ට විශාල මුදලක් වියදම් කරන්න හරිම අමාරුයි. අපි මේ වෙදකමට මිලක් නියම කළොත් ඒ මිනිස්සුන්ට සිද්ධ වෙන්නෙ හැමදාම අඳුරේ ඉන්නයි. මුදල් අය නොකර මේ වෙදකම කරන්නේ ඒ නිසයි. කැමති කෙනෙකුට මෙහි තබා තිබෙන පෙට්ටියට මුදලක් දැමිය හැකියි. එහෙම නොදැම්මා කියා ප්‍රතිකාර නොකර ඉන්නේ නැහැ. ඉස්සර අපි රෝගීන්ට තේ එකක්, කෑම වේලක් ලබා දුන්නා. නමුත් දැන් එහෙම කරන්න අමාරුයි. රටේ ආර්ථික තත්ත්වය නිසා වියදම ඉතා ඉහළයි. ඒ වගේම දැන් ඖෂධ සොයා ගැනීමත් ගොඩක් දුෂ්කරයි. ඒවා මිලදී ගන්නත් විශාල මුදලක් වැය වෙනවා. අපට ඒවා ලබාගන්න කිසියම් සහනදායී ක්‍රමවේදයක් සකස් කර දෙන්න කියා කීප වතාවක් බලධාරීන් දැනුම්වත් කළත් ඊට විසඳුමක් ලැබුණේ නැහැ.”

ගඟුල ඇස් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කටයුතු සඳහා තිස් දෙනකුගෙන් පමණ සමන්විත පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටිති. ඊට අමතරව ඔහුගේ බිරිය නිලූෂා , සොයුරිය මෙන්ම සොහොයුරා ද මෙහි කටයුතු සඳහා මහත් කැපවීමෙන් දායක වී සිටින ආකාරය අපට දැකගන්නට ලැබිණි.

ගඟුල ඇස් වෙද ගෙදරට ප්‍රතිකාර සඳහා පැමිණෙන අය ගාලු පාර මාර්ගයේ පැමිණෙන්නේ නම් පාණදුර බස් නැවතුම්පළින් බැස ‘හිරණ 457’ දරන බසයකට ගොඩවී ගඟුල පන්සල පසුකරත්ම හමුවන දේවාල පාර අසලින් බැසිය යුතුය. පිළියන්දල - කැස්බෑව මාර්ගයෙන් පැමිණෙන්නේ නම් පිළියන්දල - බණ්ඩාරගම බස් මාර්ගයේ පැමිණ කිදෙල් පිටියෙන් බැස ‘හිරණ 457’ බසයකට ගොඩවී ගඟුල දේවාල පාර අසලින් බැසිය යුතුය.

Comments