‘සිල්වර් ස්ක්‍රීන්’ සම්මාන රාත්‍රියේ සම්මානිත වූ 60 දශකයේ කලාකරුවෝ | සිළුමිණ

‘සිල්වර් ස්ක්‍රීන්’ සම්මාන රාත්‍රියේ සම්මානිත වූ 60 දශකයේ කලාකරුවෝ

හෙළ කලා කෙතේ මවුබීජයන් නිසි ඇගයීමකට ලක්වන්නේ නම් එය කෙතරම් අගනේ ද? හුදෙකලා වූ සැඳෑ සමයට එය කෙතරම් නම් අමන්දානන්දයක් එක් කරන්නේ ද? දශක ගණනක් පුරා සුවහසක් ප්‍රේක්ෂක සිත් මන්මත් කළ එවන් බොහෝ දෙනා අද සිටින්නේ නිවෙස්වලට වී හුදෙකලාවේය. ඔවුන් විඳි සුන්දර අතීතය ස්මරණය කොට වත්මනට පහන් සිතුවිල්ලක් එක්කරන්නට හැකි නම් එයයි ඔවුන්ට කළ හැකි ඉහළම උපහාරය.

 

සුමිත් බිබිලේ ද එවන් අතීතයකට හිමිකම් කියූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. ඔහුගේ සිතුවිල්ලට පණ දුන් ඔහුගේ දියණිය සනෝජා බිබිලේගේ මූලිකත්වයෙන් අරඹනු ලැබූ මෙම ඇගයීම් උලෙළ තම පියා සුජීවත්ව සිටියදී ක්‍රියාවට නංවාගත නොහැකි වූයේ ආර්ථික අතින් ශක්තිමත් නොවූ නිසාය. ඇයගේ අදහසට සවන් යොමුකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ගේ මැදිහත් වීමෙන් එකී අරමුණ ක්‍රියාවට නැංවීමට හැකිවීම කලාවට හිතැති බොහෝ දෙනාට අස්වැසිල්ලක් වූවා නොඅනුමානය. සනෝජා බිබිලේගේ ලේකම් ධූරයෙන්, සුනිල් ටී ප්‍රනාන්දුගේ සභාපතීත්වයෙන් සහ උපුල් නිශාන්තගේ මාධ්‍ය සම්බන්ධීකරණයෙන් සුසැදි මෙම වැඩසටහන ‘සිල්වර් ස්ක්‍රීන්‘ නමින් හඳුන්වනු ලැබුවේ ද ඇයගේ සිතැඟි පරිද්දෙනි.

50 දශකයේ කලා කෙත අස්වැද්දූ ප්‍රවිණ කලාකරුවන් ඒකරාශී කරගෙන පසුගිය වසරේ පවත්වනු ලැබූ ප්‍රථම සිල්වර් ස්ක්‍රීන් සම්මාන උලෙළේදී ක්ෂේත්‍රයට අපමණ මෙහෙයක් කළ කලාකරුවන් 25 දෙනකුට සම්මාන පිරිනැමීමක් සිදු කළේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහිදී හන්තානේ කතාව හරහා විජය කුමාරතුංගයන් සිනමාවට ගෙනා සුගතපාල සෙනරත් යාපා, මල්ලිකා පිලපිටිය, උදුලා දාබරේ ඇතුළු ශිල්පීන් 25 දෙනෙකුට සම්මාන, සහතික පත්, සිහිවටන සහ මුදල් ත්‍යාග පිරිනැමීම හරහා ඔවුන් කළ මෙහෙය අගයන්නට ගත් උත්සාහය බොහෝ දෙනාගේ දැඩි පැසසුමට ලක්වීය.

මෙවර සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල සඳහා මාධ්‍ය සම්බන්ධීකරණයෙන් දායක වු උපුල් නිශාන්තයන් ‘සිල්වර් ස්ක්‍රීන්‘ සම්මාන උලෙළ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“ගිය අවුරුද්දේ නිර්මාණ ශිල්පීන් 25 දෙනෙකු තෝරා ගත්තේ 50 දශකයම සැලකිල්ලට අරගෙන. මෙවර තෝරාගත් 60 දශකය සඳහා 140කට වැඩි පිරිසක් ගණනයට ලක් වුණා. මෙතරම් පිරිසකට සම්මාන ප්‍රදානයක් කිරීම අපහසු නිසා අපි තීරණය කළා තේරීමක් කරන්න. ඒ සඳහා නිර්ණායකයන් ලෙස සඳහන් කළේ එක් නිර්මාණයකට හෝ දායකවී සම්මානයක් ලබා ගෙන තිබීම හෝ ප්‍රධාන චරිත ඔස්සේ නිර්මාණ තුනකට දායකවී තිබීම. 60 - 65 දක්වා කාල සීමාව නියෝජනය කළ ශිල්පීන් අතරින් රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන සුවිනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක, නීටා ප්‍රනාන්දු, සිරිල් වික්‍රමගේ, සංගීත ක්ෂේත්‍රයේ දේවානන්ද වෛද්‍යසේකර, රූපා ඉන්දුමතී, අමිතා වැදිසිංහ, අධ්‍යක්ෂකවරුන් වන නීල් රූපසිංහ, සැම්සන් ග්‍රෙගරි, සෑම් පෙරේරා වැනි වේෂ නිරූපණ ශිල්පීන් ද ඇතුළත්ව සෑම ඉසව්වක්ම නියෝජනය වන පරිදි තමයි මේ තෝරා ගැනීම සිදු කළේ. ඒ වගේම සිරි කහවල, ඒ. ඩී. රංජිත් කුමාර, අර්නස්ට් වඩුගේ වැනි ප්‍රවීණ මාධ්‍යවේදීන්, ඒ. කේ. ඩී. දයානන්ද වැනි කැමරා ශිල්පීන්, ලාල් දිසානායක වැනි සංස්කරණ ශිල්පීන් මෙහිදි ඇගයීමට ලක් වුණා.

සෝබනී අමරසිංහ කියන්නේ පළමු චිත්‍රපටයෙන්ම හොඳම නිළිය සම්මානය දිනූ කෙනෙක්. තිස්ස ලියනසූරිය කියන්නේ පුංචි බබා චිත්‍රපටය ඔස්සේ හෙළයේ මහා නිළි රැජන මාලනී ෆොන්සේකා කලාවට හඳුන්වා දුන් අධ්‍යක්ෂවරයා. මේ වගේ ක්ෂේත්‍රයට අමරණීය මෙහෙයක් කළ දැවැන්තයින් තමයි මෙහිදී සම්මානයට පාත්‍ර වුණේ.

ඔක්තෝබර් 14 වැනිදා පස්වරු 5.30 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් පරිශ්‍රයේදී පැවති මෙවර සිල්වර් ස්ක්‍රීන් සම්මාන උලෙළ සඳහා 400 කට අධික පිරිසක් සහභාගි වුණා. මෙහිදි හේමසිරි සෙල්ලප්පෙරුම, සුනිල් බමුණුආරච්චි, රූපා ඉන්දුමතී, හේමපාල ධර්මසේන, සිරි කහවල සහ කේ. ඩී දයානන්ද සම්මාන ලැබූ අතර දෙවනි අදියරේ දී පියසිරි නාගහවත්ත, සරත් සන්දනායක, සෝබනී අමරසිංහ, අමිතා වැදිසිංහ, ඇන්ටන් ග්‍රෙගරි, එස්. ඒ. අලගේෂන් සහ සැම් පෙරේරාත් තෙවැනි අදියරේ දී තිස්ස ලියනසූරිය, ඒ. ඩී. රංජිත් කුමාර, අර්නස්ට් වඩුගේ, කේ. ජි. බාලසිංහම්, ලාල් දිසානායක, බර්නාඩ් රෙජිනෝල්ඩ්, කිත්සිරි පෙරේරා සම්මාන ලැබුවා. සිවුවැනි අදියරේදී සුමිත්‍රා පීරිස්, නීටා ප්‍රනාන්දු සුවිනීතා වීරසිංහ, විජයරත්න වරකාගොඩ, දේවානන්ද වෛද්‍යසේකර, සිරිල් වික්‍රමගේ සහ නීල් රූපසිංහ යන ප්‍රවීණයන් සම්මානයෙන් පුදනු ලැබුවා. දැනට අසනීපව සිටින ලුවී වැන්ඩස්ට්‍රාටන්ට ද මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබුවා. ජාත්‍යන්තර සම්මානලාභී කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල මෙහිදී විශේෂ උපහාර සම්මානයකට පාත්‍ර වුණා. එය රටක් වශයෙන් අප කළ යුතුව තිබූ දෙයක්.

ඒ වගේම මෙම අවස්ථාවට සපැමිණි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන, සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක ඇතුළු ප්‍රවීණ කලා ශිල්පීන් අතින් මෙහිදී සම්මාන පිරිනමනු ලැබුවා.

මෙහි විශේෂම කරුණ වූයේ එදින සම්මාන ලැබූ ඇතැම් ශිල්පීන් කිසිදාක වේදිකාවක් මතට නැඟලවත් නොතිබීම. සම්මානයටත් වඩා ඔවුන් ලැබූ මානසික තෘප්තිය අපි දැක්කා. වචනවලින් විස්තර කරන්න බැරි හැඟීමක් ඔවුන්ගේ මුහුණුවල තිබුණා.”

 

Comments