ලියොන් ට්‍රොස්කි කියන්නේ අප පැරණි සංස්කෘතියේ පාරප‍්‍රාප්ත නොවන්නේ නම් කිසිලෙසකින්වත් අලුත් සංස්කෘතියක් ගොඩනොනඟනු ඇති බවකි. එක් එක් කල්හි පැන නඟින මතවාද ද එසේ ම ය. අලුත් සංස්කෘති පැන නැඟුණු වහා පැරැණි දෑ ඉවතලන්නට හෝ පැරණි දෑ මුළුමණින් ම නොතකා හැරීම හෝ නොකළ යුත්තකි. එහෙත් නව සම්ප්‍රදා දුටුවනම පැරැන්න ප්‍රතික්ෂේප කිරීම අණුවන කමකි. එය පාදම නැති ගෙයක් හැදීම වැනි වැඩකි. පාදම ශක්තිමත් නැත්නම් නව නිවෙස සාර්ථක නැත.
කවිය හා ගීතය ගැන විවිධ මතවාද කාලයක් තිස්සේ ගොඩනැඟිණි. ගීතය සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයේ බෙහෙවින් ම ජනප්‍රිය කලාංගයයි. කවියෙන් පටන් ගත් බොහෝ අය ගීතයට සිය නිර්මාණාත්මක බව සින්න කර ඇතැයි චෝදනා ද නැඟෙන්නට පටන් ගෙන තිබේ. ඒ අතරේ කවියෙන් නොමිදී කවියත්, ගීතයත් දෙඅංශයේම එකසේ නිමග්න වන නිර්මාණකරුවෝ ද වෙති. රත්න ශ්‍රී, බුද්ධදාස ගලප්පත්ති වැන්නන් අදටත් කවියේ සේම ගීතයේද එකසේ නිමග්න වෙති. එහෙත් මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නන් ගීතයට ම සින්න වූ බව බොහෝ විචාරක මතයයි. තම අත්දැකීම් ජනප්‍රිය කලා මාධ්‍යයක් වන ගීතයට සින්න කර අනෙක් සියලු නිර්මාණ ප්‍රභේදවලින් වියුක්ත වූ නිර්මාණකරුවෙක් සේ මහාචාර්ය සුනිල්ට සමාජයෙන් එල්ල වෙන චෝදනාව ඊට උදාහරණයකි.
කාව්‍ය සම්ප්‍රදායට වඩා බොහෝ ජනප්‍රිය ලක්ෂණ රැගත් ගේය පද කලාව ගැන ආචාර්ය ගුණදාස අමරසේකර වැන්නන් මුල සිටම දැක්වූයේ නොපහන් බවකි. අවජාතක සාහිත්‍යාංගයක් සේ ගීතයට සාහසික උපකල්පනයක් දෙන ආචාර්ය අමරසේකර සේම මහාචාර්ය කුලතිලක කුමාරසිංහ ද කියන්නේ සාහිත්‍යාංගයක් ලෙස ගීතය පිළිගත නොහැකි බවකි.
පරාක්‍රම කොඩිතුවක්කු කවියා කියන්නේ කවියක රෝස කැකුළක්, ගිනි පුලිඟුවක් හා හංස ගීතයක් තිබිය යුතු බවෙකි. එයින් වන ව්‍යංගාර්ථ්‍යවත් අදහස වන්නේ මතුපිට සුන්දර බව සේම ගිනි පුලඟුවක් සේ හදවතට වදින බවක් ද තිබිය යුතුය යන්න ය. කවි සමයේ කියැවෙන ලෙසට හංසයා හඬ නඟන්නේ මැරෙන මොහොතේ ය. එපරිද්දෙන් සඟවා ගත් අපූර්ව යමක් වැනි දෙයකින් ද කවිය සමන්විත විය යුතු වූවක් ද එයින් කියැවේ. මේ සියල්ල සම්පූර්ණ වෙන කවිය වනාහී අපූර්වත්වයෙන් යුතු වූවක් බවට කිසිදු සැකයක් නැත. එහෙත් ජන්දස, විරිත හා මාත්‍රා ගැන මුළුමනින් ම සිතන්නට ගොස් කාව්‍යාලංකාර බැහැර වූ අවස්ථා ද නැත්තේ නොවේ.
කෙසේ වුව ද කවිය සේ ම ගීතය ද සමාජයේ කතාබහට ලක්වන්නේ එකිනෙකින් වෙනස් ලක්ෂණවලින් සජ්ජිත මාධ්‍ය දෙකක් ලෙසිනි. මෙවර සිළුමිණ වාදය ගොඩනැඟෙන්නේ කවිය හා ගීතය පිළිබඳ ව ඇති මේ විවාදාපන්න අදහස් සමුදාය ගැනය. වාදයට සම්මුඛ වෙන්නේ ගීතය හා කවිය ගැන ප්‍රාමාණික හැදෑරීමකින් හා විචාරාසම්පන්න අදහස්වලින් සජ්ජිත නිර්මාණකරුවන් දෙපළකි. මහාචාර්ය කුලතිලක කුමාරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පොබ කළ ආචාර්යවරයෙකි. ශාස්ත්‍රීය පර්යේෂණ හා විචාර කලාවෙහි සක්‍රිය ව නිරත, මතවාද මණ්ඩපවල සක්‍රිය ව ඒ ගැන කතා කරන විද්වතෙකි. දෙස් විදෙස් සම්භාවනාවට පත් හේ ගීතය සාහිත්‍යාංගයක් ලෙස ගත හැක්කේ ද යන්න ගැන නිරන්තර කතිකාවට ලක් කරන්නෙකි.
වාදයට සම්මුඛ අනෙක් නිර්මාණකරුවා වන්නේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ය. සිංහල ගේය කාව්‍ය හා කාව්‍යකරණ ලකුණක් වෙන හේ ආධුනිකයන්ට නිරන්තර ගුරුහරුකම් දෙන නිර්මාණකරණයේ සුභාවිත ලකුණකි. සිය මතවාද ගැන බෙහෙවින් විමසිලිමත් හේ ඒවා මතවාද මණ්ඩපවල දැනුම් පරාස වනු දැකීමෙන් පසු පරපුර සවිඥානික වීමේ ප්‍රීතිය නිහඬ ව අත්විඳින්නෙකි.
මතවාදීමය ප්‍රවේශයක් ගනිමින් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ගීතයේ උපත හා කාව්‍යකරණයේ වූ සුගේවතාව ගැන මෙසේ අදහස් දැක්වීය.
‘පැරණි සම්ප්‍රදායෙ තියෙන්නෙ කවිය ගැන. කවිය ආකෘතික වශයෙන් බෙදෙනවා. අනුරාධපුර යුගයේ ලියැවෙනවා ගී හැඩය ගත් කවි. ඊළඟට සීගිරි ගී. මේවායේ තියෙන විශේෂත්වය තමයි ගී විරිතෙන් රචනා වීම.
ගී විරිත්වල විශේෂ ලක්ෂණය තමයි මුල හෝ අග එළිවැටකින් තොරයි. පද විෂම පාදයි. ගී විරිත් රාශියක් තියෙනවා. මේ අතරෙ සිවුපද ලියැවිලා නැහැ කියන්නත් අමාරුයි. සීගිරි ගී අතරත් සමුද්‍ර ඝෝෂයට සම්බන්ධ ආකෘති තියෙනවා. පොලොන්නරු යුගයේ කවි ලියැවුණා අඩුයිනෙ. සසදාවත, මුවදෙව්දාවත වගේ කෘති කිහිපයක් විතරයි ලියැවුණේ. ඒවත් ගී විරිතෙන් ලියැවුණේ. ගම්පොළ අවදිය වෙනකොට සිවු පදයට හැරවුණා. කවියේ භාෂාවත් යම් පමණකින් වෙනස් වෙනවා. මුල්ම ගී යුගයේ තිබුණු භාෂාව බොහොම ප්‍රාකෘත සිංහලයක්. ඒ කියන්නෙ හෙළ භාෂාවක්. උදාහරණයක් විදියට කව්සිළුමිණ ගන්න පුළුවන්. ගම්පොළ යුගය වෙනකොට මේකට සංස්කෘත වචන එකතු වෙන්න පටන් ගන්නවා. සිවු පද බිහිවෙන්නේ එහෙම. සිවු පදවලත් මාත්‍රා දෙකේ ඉඳන් මාත්‍රා තිස් දෙක දක්වා දික්වෙන ඒවා තියෙනවා. ඊට අමතරව සිලෝ විරිත් සිංහලයට එකතු වෙනවා. ඊට අමතරව සැහැලි විරිත් තියෙනවා. ඒ අනුව පේනවා හැම කවියකම ඡන්දසක් තිබුණු බව.
ඒනිසා කවියේ මුල ඉඳන්ම ප්‍රාථමික ඡන්දසක් තිබිලා තියෙනවා.
එමෙන්ම ඔහු පවසන්නේ ගීතය බිහිවෙන්නේ කවියෙන් බැහැරව බව ය.
‘ ගීතය කියන කලාංගය බිහිවෙන්නෙ මූලික වශයෙන් ම කවියෙන් බැහැරව. සොකරි, කෝලම්, නාඩගම්වලින් පස්සෙ නූර්තිවලට එද්දි පැහැදිලි ව ම ගීත කියන නූතන අකෘතිය එනවා. එතකොට කාව්‍යවල තිබුණු ප්‍රාථමික සංගීතය වෙනුවට උත්තර භාරතීය රාගධාරී සංගීතය එතැනට එනවා. ඒ අනුව මෙය ධාරා දෙකක් විදියට වර්ධනය වෙනවා. හැබැයි ගීතයක් විදියට වර්ධනය වුණාට ගීතයේ මූලික සංගීත දිශානතිය පෙන්නන්නෙ භාෂාව. කාව්‍යෝක්තිවලින් වලින් තොර ගීතය හොඳ සාහිත්‍යමය ගුණාංග සහිත නිර්මාණයක් වෙන්නෙ නෑ. කවියක තරම් සූක්ෂ්ම වින්දනයක් ගීතයෙන් නොලැබුණාට ගීතයේ සාහිත්‍යයේත් යම් පමණකට කාව්‍යෝක්ති තියෙන්න ඕන. අතිශයින්ම සංකීර්ණ කව්‍යෝක්ති ගීතයෙන් කියන්න අමාරුයි‘
ගීතයේ කලාත්මක බව පිළිබඳ මතවාදී ම ය ප්‍රවේශයක් ගනිමින් ගීතයේ කලාව ගොඩනැඟෙන්නේ කොතනින්ද යන්නට මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසන අදහස විවාදාපන්න ය.
‘ ඇත්තටම ගීතය පද මාලාවක් නෙ. පද මාලාව කියන්නෙ සංගීතයේ අවශ්‍යතාවක්. කෙනෙක් පද මාලාවක් රචනා කළාට මේක ගීතයක් බවට පත් කරන්නෙ සංගීතඥයා හා ගායකයා. පද මාලාවක් කියන්නෙ කවියක හැඩරුව තියෙන පද සංඝටනයක්. ඒ වචන සංගටනය ගීතයක් බවට පරිවර්තනය කිරීමට මූලික වශයෙන් දායක වෙන්නෙ සංගීතඥයා. ඊළඟට සංගීතඥයාගේ අවශ්‍යතාව, අනුදැනුම අනුව තමයි ඔහු එය ගීතයක් බවට පත් කරන්නේ.
මේ පිළිබඳ විවිධ වාද විවාද තියෙනවා. ඇතැම් කවි ගීත බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ කවිය බලන කොට පද මාලාවෙ කාව්‍යමය ගුණයක් තිබුණු බව පිළිගන්න ඕන. සම්පූර්ණයෙන් ඒක බැහැර කරන්නෙ නෑ. ගීත කියන්නෙ කර්ණ මධුර, රසිකයන්ගේ මනෝභාව පූර්ණය කරන නිර්මාණ විශේෂයක්නෙ. ඒ ගුණය කාවද්දන්නෙ සංගීතඥයා විසිනුයි කියන එකයි මගේ මතය‘
ගීතය කලාවක් ලෙස ගත නොහැකි ද යන පැනයට පිළිතුරක් දෙන මහාචාර්ය කුමාරසිංහ ගීතය මුළුමණින්ම නිර්මාණයක් සේ ගත නොහැකි බවක් ද පවසන්නේ නැත.
' මම කියන්නෙ නැහැ, ගීතය මුළුමනින් ම නිර්මාණයක් නොවෙයි කියලා. ගීතයක් කලාවක් වෙන්නෙ සංගීතඥයාගේ අනුදැනුම හා පරිශ්‍රමය යටතේ. එතකොට පද මාලාවක් ලියූ පමණින් ඒක ගීතයක් වෙන්නෙ නෑ. ඒකයි ගීතය සාහිත්‍යාංගයක් නොවෙයි කියලා මම කියන්නෙ‘
ස්වාධීන ගීත කලාවක් අපට නොතිබි බවත් විවිධ තැන්වලින් ප්‍රාථමික සංගීතයක් පැවති බවට සාක්ෂි සපයා ගත හැකි බවත් පවසන ආචාර්ය රත්න ශ්‍රී සිය අදහස සනාථ කරගැනීම සඳහා උදාහරණ සේ ගන්නේ කව්සිළුමිණ සමහර වැනුම් ය.
‘ අපට ස්වාධීන ගීත කලාවක් තිබුණු බවට සාක්ෂි නෑනෙ. කවිසිළුමිණේ සැඳෑ වැනුම්වල, මනෝරථ වැනුම්වල, අවහන්හල් වැනුම වගේ තැන්වල තැනින් තැන සංගීතයක් ගැන කියැවෙනවා. නමුත් සංගීතයක් තිබුණා කියලා සාක්ෂියක් නෑ. අපට තිබුණෙ ජනකවි ටිකක්. ඒක අවජාතක කියලා කියන්න බැරි හේතුව තමයි මේවයි ප්‍රාථමික සංගීතයක් තිබුණ නිසා. සැහැලි විරිතේ පවා ඡන්දසක් තියෙනවානෙ. අමරසේකරත් ඡන්දසෙන් බැහැර වෙලා නෑ. ඒ ඡන්දසේ මූලික සංගීතයක් තියෙනවා. උත්තර භාරතීය සංගීතයට අනුව ලියන ඒවට අවජාතකයි කියන එකට මම එකඟ නෑ. ඒක සාහසික මතයක්‘
ගීතය නිසා කාව්‍යකරණයට යම් හානියක් වූ බව සමාජ මතයයි. ඒ නිසා කාව්‍යකරණය සරල වීම වැනි කාරණා සිදු වූ බවත් සූක්ෂාත්මතාව කවියෙන් ගිලිහුණු බවත් පැවසෙන සමාජ මතය ගැන මහාචාර්ය කුලතිලක පවසන්නේ මෙවැනි අදහසකි.
‘කවියට ගීතය නිසා හානියක් වුණා කියලා මම හිතන්නෙ නෑ. මොකද හේතුව රත්න ශ්‍රීගෙ වුණත් ඇතැම් කවි තමයි ගීත වෙලා තියෙන්නෙ. ඔහුගේ සියලුම කවි ගීත වෙලා නෑ. මහගමසේකරගෙ වුණත් එහෙමයි. ඔහුගේ කවි දෘෂ්ටිගෝචරයි. ඒ දෘෂ්ටිගෝචර කාව්‍ය ආකෘතිය බටහිර කවියන්ගෙන් ලද ආලෝකය මත ආවක්. එය එක්තරා විදියක අත්හදා බැලීමක්. නමුත් ඔහුගේ කවි බොහොමයක් බොහොම කර්ණ මධුර ගීත බවට පත් වුණා‘
ඒ ගැන අදහස් දක්වමින් ආචාර්ය රත්න ශ්‍රී පවසන්නේ ගීතය හා කාව්‍ය යන ක්ෂේත්‍ර ද්විත්වය ම එකසේ සුරු ව ජය ගත හැකි වූයේ මහගමසේකර නිර්මාණකරුවාට බව ය.
‘මේක ධාරා දෙකක්. මේ දෙකම සාපේක්ෂව ජය ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ මහගමසේකරට විතරයි කියලයි මගේ විශ්වාසය.
ගීතයක සීමාව කවියට සාපේක්ෂ ව අතිශය සංකීර්ණ වෙන්න බෑ. උදාහරණයක් විදියට සිරි ගුනසිංහගේ කවියක් ගීතයක් කරන්න අමාරුයි. කවියක අලංකාරෝක්ති වලට සීමාවක් නෑ. ගීතයේදී සුගේයතාව වැදගත්. සංගීතයේදී සංගීතයට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ සීමා ජයග්‍රහණය කළොත් ඒක කවියක් වෙනවනෙ‘
ගීතය අවජාතක කලාවක් වශයෙන් හඳුන්වන ආචාර්ය ගුණදාස අමරසේකරගේ මතවාදී ම ය ප්‍රවේශය ගැන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසන්නේ මෙවැන්නකි.
‘ඇත්තටම ගීතය සාහිත්‍යයක් කියන එක නිර්මාණය වුණේ එක්තරා අන්දමකට පුද්ගලික අවශ්‍යතා නිසා. ගීතය සාහිත්‍යාංගයක් කියන මතවාදය හදන්න ගොඩක් මැදිහත් වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න. මේක මෑතකදී ගොඩනැඟුණක්. ඒක සාහිත්‍යයකට වඩා සංගීතාංගයක්. අපි මේක රසවිඳින දෙයක්නෙ‘
ඒ ගැන සිය අදහස පැවසූ ආචාර්ය රත්න ශ්‍රී එය මුළුමණින්ම ප්‍රතික්ෂේප කරයි.
‘අමරසේකර කියන්නෙ සරච්චන්ද්‍ර මහා කවියා කියලනෙ. ඒ වුණාට සරච්චන්ද්‍ර එක කවියක්වත් ලියලා නෑනෙ. සරච්චන්ද්‍ර ලියලා තියෙන්නෙ නාට්‍ය ගීත. සිංහබාහු, මනමේවල සරච්චන්ද්‍ර අසාමාන්‍ය කවිත්වයක් පෙන්වනවා. ඒක සාමාන්‍ය ගීතයක කවිත්වයට වඩා ප්‍රබලයි. ඒක දැකලා තමයි සරච්චන්ද්‍ර මහා කවියා ය කියලා ඔහු කියන්නෙ.
ඔහු ස්වාධීන ගීත කලාවටනෙ නිග්‍රහ කරන්නෙ. මම එකඟ නැත්තෙ ඒකට. මේක අවජාතක කලාවක් කියනවා නම් ඒකට මම කොහෙත්ම එකඟ නෑ‘
කවියා ගායන ඇතුළු කරන්නේ සංගීත රසයකින් අපේ කන් පිනවීම පිණිස නොව ශබ්ද ධ්ව්නි මාර්ගයෙන් රස ජනනය කරනු පිණිස ය. එබැවින් ඔහු අපේක්ෂා කරන නියත ශබ්ද ධ්වනි මාර්ගයෙන් තිබිය යුතුය. එක්තරා නියත ගායනා ස්වරූපයෙන් තිබිය යුතුය. ඒ නියත ගායනා ස්රූපය නොවටහා ගෙන කවියා අපේක්ෂා කරන රසය අපට ලබාගත නොහැකි යැයි අලියා සහ අන්ධයෝ කෘතියේ ගුණදාස අමරසේකර දක්වයි.
මේ මතවාද ප්‍රතික්ෂේප කරන ආචාර්ය රත්න ශ්‍රී පවසන්නේ ගීතයේදී සුගේයතාවට ලැබෙන ඉඩ දාර්ශනික තලයේදී ගීතයට මුළුමනින් ම යෙදිය නොහැකි බවකි.
‘ ගීතය සරලයි. ඒත් ගැඹුරු දේවල් කියන්න බෑ කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. ගීතවල ඉතාම දාර්ශනික දේවල් කතා කරලා තියෙනවා ධ්වනිය සහිත. සුගේයතාවට ඉඩක් තිබිය යුතුමයි. මොකද ගීතය තනි පුද්ගල නිර්මාණයක් නොවෙයිනේ. සාමූහික කලාවක්.
බටහිර රටවල නම් ගීතවලට එක් නිර්මාණකරුවයි ඉන්නෙ. බොබ් මාලේ ගත්තත්, බොබ් ඩිලන් ගත්තත් එහෙමයි. බොබ් ඩිලන්ට නොබෙල් තෑග්ග හම්බ වෙන්නෙ ගීත රචනයටනෙ. හැබැයි කවියක් විදියට කේවල ව අගය කරනවට වඩා සංගීතයෙන් හැඩ වීම වෙනම එකක්‘
ගීතයේ අයිතිය ගැන දැඩි ව පෙනී සිටින මහාචාර්ය කුලතිලක ගීතයක අයිතිය වැඩි වශයෙන් හිමි වෙන්නේ සංගීතඥයාට බැවින් කවිය එහිදී නියෝජනය කරන්නේ සුළු අයිතියකින් යුතුව බැව් අවධාරණය කරයි.
‘ ගීතයේ අයිතිය ඇත්ත වශයෙන් ම තියෙන්නෙ සංගීතඥයාට. ඊළඟට ගායකයාට. තුන්වැනිව තමයි පද රචකයාට අයිතිය ලැබෙන්නෙ. පද රචකයා පද මාලාව ලියන බව ඇත්ත. හැබැයි ගීතමය නිර්මාණ කාර්යය ගණිත සූත්‍රයකට ගත්තොත් හතරෙන් දෙකක් ගීතයේ කාර්යභාරය දරන්නේ සංගීතඥයා. හතරෙන් එකක් ගායකයා. අනෙක් හතරෙන් එක පද රචකයා. මගේ පිළිගැනීම ඒකයි ද‘
කවියන් ගීත රචකයන් වීමෙන් ඔවුන්ගේ කවිත්වය නැති වී යැයි සමාජයෙන් නැඟෙන චෝදනාවට පිළිතුරු සපයන ආචාර්ය රත්න ශ්‍රී පවසන්නේ මෙකී චෝදනාවට බෙහෙවින් ලක්වෙන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ වුව තමාට එවැන්නක් නොපෙනෙන බවකි.
‘කවියෙක් ගීත රචකයෙක් වුණා කියලා ඔහුගේ කවිත්වය නැති වෙන්නෙ නෑ. කවිත්වයක් නැති කෙනකුට ගීත රචකයෙක් වෙන්න බෑ. ප්‍රකාශන රීතිය සරල වෙන්න පුළුවන්. උත්තම කාව්‍ය ධ්වනි කාව්‍යයයි කියලා කියනවානෙ. ධ්වනියෙ කොච්චර ප්‍රභේද තියෙනවාද? පූර්ණ ධ්වනියකට යන්න බැරි වෙන්න පුළුවන් ගීතයේදි. හැබැයි ශබ්ද ධ්වනිය වඩාත් සේවය කරනවා අර්ථ ධ්වනියට.
සුනිල් ආරියරත්නගෙත් කවිත්වය නැතිම වුණේ නෑ. ඔහු ඒක ස්වාධීන ආරක් විදියට ගීතයට අරන් එනවා. ගීතයට කවියට තරම් ප්‍රබල කාව්‍යෝක්ති අවශ්‍ය නැති නිසා ඔහු එහි නිරත නොවන්න ඇති. ඒක නිසා කවිත්වය පිරිහුණා කියලා කාටහරි චෝදනා කරන්න බෑ.
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගේය කාව්‍යකරණය සේම කවිත්වය ගැන මහාචාර්ය කුලතිලකට ඇත්තේ වෙනම ම අදහසකි. ඔහුට අනුව මහාචාර්ය සුනිල්ට ප්‍රතිභාව ඇත්තේ ගීත රචනය සම්බන්ධයෙනි.
‘සුනිල් ආරියරත්නගේ ප්‍රතිභාව තියෙන්නෙම ගීත ප්‍රබන්ධකරණය මත. ඔහු කෙටිකතා කිහිපයක් ලියලා තියෙනවා. ඒවා එච්චර සාර්ථක කෙටිකතා කියලා කියන්න බෑ.
ඔහු කවියෙක් හෝ කෙටිකතාකරුවෙක් නොවෙයි; ගීත පද රචකයෙක්. සුනිල් ආරියරත්න නම් ඇත්තටම කවියෙක් ම කියලා හඳුන්වන්න අමාරුයි. එක කවි පොතයිනෙ ලියලා තියෙන්නෙ සියොතුන්ට රැකවල් කියලා. දොළොස්මහේ පහන තිදෙනෙක් එකතු වෙලානෙ කරන්නෙ.
මහාචාර්ය සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති හා ජයලත් මනෝරත්න හා එක්ව කළ දොළොස් මහේ පහන කාව්‍ය සංග්‍රහය ගැන කළ සිහිපත් කිරීමත්, මහාචාර්ය සුනිල් ඉන් අනතුරු ව කාව්‍යකරණය ගැන එතරම් උනන්දුවක් නොදැක්වීමත් ගැන ආචාර්ය රත්න ශ්‍රී පවසන්නේ ‘සුනිල් තරම් අනිත් අය ගීතය පැත්තෙන් සාර්ථකත්වයක් පෙන්නුවෙ නෑනෙ‘ ලෙසිනි.
ඊට අමතර ව ඔහුගේ නිගමනය වූයේ ඕනෑ ම නිර්මාණකරුවකුගේ නිර්මාණ අත්දැකීම අව්‍යාජ විය යුතු බවෙකි.
කවිය හා ගීතය අතර ඇති සම්බන්ධතාව ගැන මහාචාර්ය කුලතිලක අවසන් වශයෙන් මෙසේ සිය අදහස අවධාරණය කළේ ය.
‘ඇත්තටම කවියා කියන්නෙ රසාත්මක වැකියක් නිර්මාණය කිරීමට ප්‍රයත්න දරන කලාකරුවෙක්. කවියා උත්සාහ කරනවා වින්දනාත්මක දෙයක් කවිය ඇතුළෙන් රසික සිත් සතන්වලට ජනනය කරන්න. කවියා ඒ දරන ප්‍රයත්නය ම තමයි බොහෝ වෙලාවට සංගීතඥයා ඒ පද මාලාව ගීතයක් බවට පත් කිරීමට උත්සාහ දරද්දිත් කරන්නෙ‘
කවියා, ගීත රචකයා, කවිය හා ගීතය බොහෝ කලක් තිස්සේ විවිධ මතවාදවලට ලක් වූ මාතෘකාවකි. මේ මතවාදී ගැටුමේදී ද මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසන්නේ ගීතය සංගීතඥයාගේ කාර්යයක් බවකි. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ අවධාරණයෙන් කියන්නේ කවියකු නොවී ගීත රචකයකු විය නොහැකි බවයි.