
විශ්ව තැපැල් දිනය වන්නේ ඔක්තෝබර් 9 වැනිදාය. වත්මන් තැපැල් සේවය මුලින්ම ආරම්භ වන්නේ ක්‍රි.ව. 1642 දී එංගලන්තයේ එඩ්වඩ් රජතුමාගේ කාලයේදීය. රජුට ගාස්තු අය වෙන ක්‍රමවේදයක් වන රටවැසියන්ට පණිවුඩ යැවිය හැකි මඟක් ලෙස එය ඉතිහාසයට එක්වී ඇත.
ලංකාවේ තැපෑල ආරම්භ වන්නේ 1796ත් 1814 කාලයත් අතර ඉංග්‍රීසි හමුදා ලංකාව ආක්‍රමණය කළ යුගයයි. ඉංග්‍රීසි හමුදා සහ රාජසිංහ රජුගේ හමුදාව අතර සටන් ගැන වාරණ බ්‍රිතාන්‍ය පාලකයන් වෙත යැවීමට ගාලු වරායේ නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය නැව මෙහි ආරම්භයයි. බ්‍රිතාන්‍ය නැවට ලිපි එකතු කිරීමට පහසුවන ලෙස කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය සහ ත්‍රීකුණාමලයේ මුල්ම තැපැල් කාර්යාල බිහි කරන ලදී. බ්‍රිතාන්‍ය වික්ටෝරියා රැජනගේ උඩුකය සහිත පැන්ස 6ක් වටිනා ‘සිලෝන්‘ එකේ මුල්ම මුද්දරය 1857 අප්‍රේල් 1 වැනිදා නිකුත් කරන ලදී.
බැංකුවකට ගියත් සේවයේ සිටින වැඩිම පිරිසක් කාන්තාවෝය. පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ ආයතනයකට ගියත් වැඩියෙන්ම සේවයේ යෙදී ඉන්නේ කාන්තාවෝය.
ඡන්දයට නාම යෝජනා දෙන විට කාන්තා නියෝජන ප්‍රතිශතය අනිවාර්ය වී තිබේ.
- කලක් මෙරට බස්වල කොන්දොස්තර හාමිනේලා සිටි යුගයක් ද දැකගත හැකි විය. දැන් කාන්තා නියෝජනයක් නැත්තේ අරක්කු, බියර්, වයින් විකුණන බාර්වල පමණය. ඒ සුරා බදු ආඥා පනත අනුව කාන්තාවන්ට අරක්කු අලෙවියේ යෙදීම හා මිලදී ගැනීම තහනම් නිසාය. ඒත් මංගල සමරවීර මුදල් ඇමති සන්දියේ එම නීතිය වෙනස් කළත් පැය 24ක් තුළ එවකට ජනපති මෛත්‍රීපාල එම ගැසැට්ටුව රිවස් කළේය.
පියුම් මාමා ගැන අපේ ගීත සාහිත්‍යයේ ඕන තරම් ඇත. ඒත් ලියුම් ගේන පියුම් නැන්දා ගැන ගීත නම් අපේ ගීත සාහිත්‍යයේ ඇත්තේම නැත. ඒත් දැන් ලියුම් ගේන නංගි නැත්නම් පියුම් නැන්දා ගැන ගීත ලියන්නට ද කාලය එළඹ ඇත. රුග්ගහවිල නියෝජිත තැපැල් ස්ථානය පිහිටියේ ගම්පහ දිස්ත්රික්කයේය. නුවර පාරේ රුග්ගහවිල තැපැල් කාර්යාලයට යාමට ඇත්තේ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලිනි.
රුග්ගහවිල තැපැල් ස්ථානාධිපතිනිය ජී.ජී.ඩී.යු. ගමගේ යි. ඇයට වූ ප්‍රධාන අභියෝගය තමන්ට ලියුම් බෙදන්නට ඇති කලාප හතරට ප්‍රමාණවත් ලියුම් බෙදන්නන් නොවීමය. අලුතින් පැමිණෙන ලියුම් බෙදන්නන් ද වැඩේ දුෂ්කර නිසා දවසෙන් දෙකෙන් රස්සාව දමා ගසා ගෙදර යාම සාමාන්‍ය සිදුවීමකි.
2021 දෙසැම්බර් 21 වැනිදා සිට රුග්ගහවිල උපතැපැල් කාර්යාලයට ලිපි බෙදීමේ සහයට කෙනකු පත්කර ඇති බව තැපැල් ස්ථානාධිපතිනිය දැනගත් විට ඈ වඩාත් විමතියට පත්විය.
"මං පුදුමයට පත්වුණේ පිරිමියෙක්ටවත් බෙදාගන්න බැරි මේ ලියුම් තොගේ කොහොමද කෙල්ලෙක් බෙදන්නේ කියලා. අපේ උප තැපැල් කාර්යාලයට පත් වෙලා ආවේ ලිපි බෙදීමේ ආදේශිකාවක්."
2021 දෙසැම්බර් 21 වැනිදා රුග්ගහවිල උපතැපැල් කාර්යාලයේ ලියුම් බෙදීමට ආවේ තරුණියකි. ඇය නමින් එන්.එම්. එස්. කේ. සුනාලි නුවන්ගිකා නුගවෙලයි. රුග්ගහවිල උපතැපැල් ස්ථානයට අප යන විට එහි තැපැල් ස්ථානාධිපතිවරිය හා ලියුම් බෙදන්නිය වන සුනාරි අප පිළිගත්තේ 'ආයුබෝවන්' කියා ආචාර කරමිනි.
"මගේ ගම වේයන්ගොඩ. මං උපන්නේ 1992 නොවැම්බර් 28. මං ඉගෙන ගත්තේ වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ. මම ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාව."
![]() |
රුග්ගහවිල උපතැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිනි ජී.ජී.ඩී.යූ.ගමගේ |
2020දී මේ 'ලිපි බෙදීමේ ආදේශිකාව" කියන තනතුර ගැසට් කරලා තිබුණා.
"තනතුරට ඉල්ලන්න යනකොට ගෙදර අම්මයි තාත්තයි මොකද කිව්වේ?" "අම්මයි තාත්තයි කිව්වා ආණ්ඩුවේ රස්සාවක්. පෙන්ෂන් තියෙන වගකීමක් ඇති රස්සාවක්. ඔහොම තානාන්තරයක් අහලත් නැහැ. ගිහිල්ල උත්සහ කරල බලන්න කිව්වා."
"අලුත් ඉල්ලුම් කරන තනතුර ගැන බෝයි ෆ්‍රෙන්ඩ් මොකද කිව්වේ?" "එයා හමුදාවේ. එයා ඕන අභියෝගයක් භාරගන්න සූදානම් නිසා ප්‍රශ්නයක් නැහැ කිව්වා."
සුනාලිට පත්වීම ලැබුණ රුග්ගහවිල උපතැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිනිය ඇතුළුව මුළු සේවක සංඛ්‍යාව හතරක් පමණක් විය. ලිපි බෙදීමේ කටයුතු බාර ඩබ්ලිව්. බී. අයි. සම්පත් සහ සුනාලිව මුලින්ම ලියුම් බෙදන්න පුරුදු කරන්න එක්කන් ගිය හැටි අපට කියන්නට වූයේ රස කරමිනි. සුනාලි වැඩට ඇවිත් හිටියේ ඇගේ අම්මාගේ මෝටර් සයිකලයෙනි.
"මෙහේ පෝස්ටල් ඒරියා එක ලොකුයි. පුස් බයිසිකලේක කාන්තාවකට ලියුම් බෙදන්න අමාරුයි. සුනාලි ආව දවසේ ඉඳන් ලියුම් බෙදුවේ එයාගෙම මෝටර් සයිකලේ ගිහින්."
"පළවෙනියටම සුනාලි ලියුමක් බෙදනකොට කට්ටිය මොකද කිව්වේ?"
"කාටත් මේක අලුත් අත්දැකීමක් වුණා. සමහර අය අදහගන්න බැරුව බලාගෙන හිටියා. මෙහෙම කෙල්ලෙක් ලියුම් බෙදනවා දැකල නැති නිසා සමහරු ගෙදරට ඇවිල්ල තේකක් බීලා යන්න කතා කළා. සමහරු ඇහුවා පිරිමියකුටවත් බෙදාගන්න බැරි මේ ලියුම් තොගේ මේ නංගි කොහොම බෙදයිද කියලා."
"අපි අලුතෙන් කොල්ලො ලියුම් බෙදන්නට ආවම පොඩිම ඒරියා එක පුරුදු කළේ. ඒක බෙදා ගන්නත් බැරුව කොල්ලෝ පැනල ගියා. ඒ හින්ද අපි සුනාලිට මුලින්ම පුරුදු කළේ ලියුම් 1700කට වඩා බෙදන්න තියෙන ලොකුම ඒරියා එක."
![]() |
සුනාලි සිය සැමියා සහ දියණිය සමඟ |
අද සතියකට මෝටර් සයිකලයකට ලැබෙන්නේ පෙට්‍රල් ලීටර් 4කි. මෙතරම් විශාල ප්‍රදේශයක් ලියුම් බෙදීම එම ඉන්ධන ප්‍රමාණයෙන් සිදු කළ නොහැකිය. මෝටර් සයිකලයට පෙට්‍රල් ලබා ගන්නා අන්දම සුනාලි හෙළි කළේ මෙසේය.
"යාළුන්ගේ QR වලින් පෙට්‍රල් ඉල්ල ගන්නවා. පෙට්රල්වලට දෙපාර්තමේන්තුවෙන් ගෙවීමක් කරන්නේ නැහැ. පෙට්රල්වලට මාසෙකට ලොකු ගානක් යනවා."
අප රුග්ගහවිල උපතැපැල් ස්ථානයට යනවිට මඳ වැස්සක් ඇද හැලෙමින් තිබුණි.
"දැන් වැස්සට කොහොමද ලියුම් බෙදන්නේ?"
"රේන්කෝට් එක දාගෙන බෙදන්න පුළුවන්. ඒත් ලියුම තෙමෙනවා. තීන්ත පෑනෙන් ලියපු ඇඩ්රස් මැකෙන්න පුළුවන්. පොඩ්ඩක් වැස්ස තුරුල් වෙනකම් ඉන්නේ."
සුනාලිගේ පවුලේ තොරතුරු ද දැනගැනීමට අප විමසිලිමත් වූයේ කිසිදු දේශපාලන බලපෑමකින් තොරව මෙම තනතුරට ආවේ පවුලේ කෙනෙක්වත් තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින බව දැන ගැනීමට අවශ්‍ය වූ නිසාය.
සුනාලිගේ තාත්තා නිමල් නුගවෙල පෞද්ගලික ආයතනයක සේවය කරන අතර මව චාන්දනී නුගවෙලය. සුනාලිගේ එකම අක්කා සේවය කරන්නේ ගුවන් හමුදාවේය.
"ඔච්චර විස්තර කිව්වා අපිට ඔයාගෙ සැමියා ගැන මුකුත් කිව්වේ නැහැනේ?"
"අපි යාළුවුණේ ඉස්කෝලේ යන කාලේ."
"එතකොට පාසල් ප්‍රේමයක්. නම මොකක්ද?"
"එයා තරිදු මධුසංක නයිනානායක. එයා හමුදාවේ. අපි දැන් බැඳලා. චූටි දුවෙක් ඉන්නවා. මිතුෂි නිවෙන්සා නයිනානායක. දුව ඉපදුණේ 2020 ජුනිවල.
"එතකොට වැඩ බාර ගත්තේ 2021 පෙබරවාරි කියන්නේ වැඩ බාර ගන්න කොට බබාට මාස අටයි නේද?"
"ඔව් බබාව අම්ම ළඟ තියල ආවේ."
"පළවෙනි දවසේ වැඩ පටන් ගන්න කොට බබා මතක් වුණේ නැද්ද?"
"මොකද නැත්තේ. බබා බොහොම අමාරුවෙන් අම්ම ගාව තියලා ගෙදර පස්සේ දොරෙන් වැඩට ආවේ. මාව දැක්කම ලියුම් ගන්න හිටපු අය පුදුම වුණා. පළවෙනි ලියුම බෙදනකොට බයක් වගේ තිබුණා. පෝස්ට් ඔෆිස් එකේ තුන්දෙනාම මට ලොකු සහයෝගයක් දුන්නා. ඒකයි මෙච්චර ගමනක් එන්න පුළුවන් වුණේ."
"උදේ වැඩට එන්නේ කීයටද?"
"උදේ 8ට වැඩ බාර ගත්තත් 11 වෙනකම් ලියුම් තෝරලා වෙන් කරන වැඩ තියෙනවා. ලියුම් බෙදන්න 11ට පටන් ගත්තොත් හවස තුනහමාරට ඉවර කරනවා. මොකද හතරට ඕෆ් වෙනවා. මම් මුලින්ම ලියුම් බෙදන්න පටන් ගත්තේ වල්පොළ කලාපය අංක 2. මං එනකම් බබා බලන් ඉන්නවා."
සුනාලි කියන අන්දමට බෙදන ලිපි බොහෝමයක් දුරකතන බිල්, බැංකු වාර්තා, ඉස්කෝල ලියුම්, ජාතික හැඳුනුම්පත්, ලයිසන් මෙන්ම ඒ සන්දියේ ටෙලිග්‍රෑම් යයි කියූ ටෙලිමේල් ද ඇත.
"දැන් ඔය ලියුම් බෙදන අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් නේද ගෙවල්වල බල්ලො ඇඟට පනින එක."
"මුලින්ම දැකපු දවස්වල ගෙවල්වල බල්ලන්ගෙන් ගොඩක් ප්‍රශ්න ඇතිවුණා. ඒත් ටික දවසක් ගියාම ඉව අල්ලල පුරුදු වුණා. කොහොමත් අපි ගේට්ටු ඇරගෙන ඇතුළට යන්නේ නැහැනේ."
"මොනාද ඉතින් ලියුම් බෙදන ගෙවල්වල අය කියන්නේ?"
"සමහරු තේකක් බීලා යන්න කියනවා. සමහරු මුද්දරයක් ගහල ලියුමක් දාන්න දෙනවා. පැන්ෂන් එක ඇවිල්ලද, සමෘද්ධිය ඇවිල්ල ද අහනවා."
"ඔව්වා නෙවෙයි කොල්ලො ඉන්න ගෙවල්වලට ලියුම් බෙදන කොට නංගි බැඳල ද කියල එහෙම අහන්නැද්ද?"
"මොකද නැත්තෙ, මුල් කාලේ ඇහුවා. මං නිකං හිනා වෙලා හිටියා."
සුනාලි පවසන පරිදි මෙම ප්‍රදේශයේ වැඩිපුරම ලිපි ලැබෙන්නේ වතුපිටුවල ආයෝජන කලාපයටය. එමෙන්ම ලලාන් රබර් සමාගම, රසෝසා කොම්පැනිය මෙන්ම රයිගම් ඒජන්සිය ඇතුළු ආයතන කීපයකටය.
පොලිසියට වරෙන්තුකරුවකු හෝ සැකකරුවකුගේ නිවැරදි ලිපිනය සොයා ගැනීමට අවශ්‍ය වූ විට ඊට සුදුසුම පුද්ගලයා වන්නේ ලිපි බෙදන්නාය. සුනාලි ගැන කිව්වොත් ලියුම් බෙදන හාමිනේය.
"පොලිසිය එහෙම පුද්ගලයකුගේ පදිංචි ස්ථානය ඇහුවොත් රාජකාරියේ හැටියට අපට තියෙන්නේ ග්‍රාම සේවක මහත්තයට යොමු කරන එක. අපට ඊට වඩා දෙයක් කරන්න බලයක් නැහැ."
සමහරුන් මුද්දර අලවන්නේ නැතිව ලිපි තැපැල් කරන අවස්ථා ද අප දැක ඇත. සුනාලි පවසන්නේ එවැනි අවස්ථාවක ලිපිය බාර ගන්නා තැනැත්තා අවම ගාස්තුව ලෙස දෙගුණයක් මුදලින් ගෙවිය යුතු බවය. දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ අවම ගාස්තුව රුපියල් විසිපහකි.
සුනාලි සමඟ ඡායාරූප ගැනීමට රුග්ගහවිල උපතැපැල් කාර්යාලය අසල සති පොළේ ඇවිදින විට සුනාලි කෙතරම් ජනප්‍රිය චරිතයක්දැයි අපට අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නොවීය.
"නෝනා ටෙලි නාට්‍යයක රඟපාන්නද යන්නේ."
"අපිත් එක්ක ඉන්න පින්තූරෙකුත් පත්තරේ දාන්නකෝ."
"ලියුම් බෙදන නංගි ගැන නිවුස් එක හවසට ප්‍රවෘත්තිවලට යයිද?"
මේ ආදි විවිධ ප්‍රශ්න සුනාලිගෙන් ඇසූවන් බොහෝය.
"සුනාලි මේ පැත්තේ අඳුරන්නැති කෙනෙක් නෑ වගේ."
"ඔව් ඉතින් ගෙදරට ලියුම් එන ඕන කෙනෙක් මාව දන්නවා. ගෙදරක ඉන්න අයගේ නම් ඉඳන් මට කියන්න පුළුවන්."
"එහෙනම් දැන් ඡන්දෙ ඉල්ලන්න තරම් ජනප්‍රියයි නේද?" කියූ විට ඇය සිනාසුණා පමණි.
ඡන්දය හා තැපෑල එ්කාබද්ධ වූ අංග දෙකකි. අපට මෙහිදී ඡන්දය මතක් වුණේ හිටපු මන්ත්‍රී 'තේමිස්' නිසාය. 56 මහමැතිවරණයට ඡන්දයට නාම යෝජනා දෙන විටත් උන්නැහේ සේවය කළේ තැපැල් බෙදීමේය.
56 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතා සමඟ මන්ත්‍රී ධුරයට ඔහු පත්විය. පාර්ලිමේන්තුව රැස්වූ දින සර් ජෝන්ට 'හලෝ මචං ජෝන්' යැයි කියා සර් ජෝන්ගේ පා පහරකින් පාර්ලිමේන්තුවේ පඩිපෙළ දිගේ රෝල් වී ගියේ ඔය කියන තේමිස්ය.
එහෙත් තේමිස් හිටපු මන්ත්‍රීවරයා අවසන් කාලයේ මා හට ප්‍රකාශ කළේ සර් ජෝන් තමන්ට එවන් පා පහරක් එල්ල නොකළ බවය. තේමිස් ඒ වන විට ලංකාවේ දැවැන්තම ලියුම් කවර නිෂ්පාදනය කළ 'රෝයල් මේල්' ව්‍යාපාරයේ හිමිකරු විය. තේමිස්ට ඡන්දය දිනීමට හේතු වූයේ ආයතන මට්ටමින් සියලු දෙනා ඔහුව දැන හැඳිනගෙන සිටීමය.
රෝමියෝ ජුලියට් ආදර හසුන් ඇරියේ පරවියන්ගේ කකුල්වල දැවටීමෙනි. පියල් නන්දාට ආදරය ප්‍රකාශ කරන ලද්දේ කඩදාසියක ලියූ තැපැල් කළ ලිපියකිනි.
ඒත් අද ඉන්න කොල්ලන් කෙල්ලන් පෙම්පත් ලියා තැපැල් කරන්නට දන්නේ නැත. ඔක්කොම ඊමේල්ය. නැත්නම් වට්ස්ඇප්ය. ඒත් ඉතින් හොඳින් දන්න හඳුනන කෙනකුගේ ළෙන්ගතු අකුරු - සෙනෙහස ඊටත් වඩා කඩදාසියට උරාගෙන ඇති ජීවන සුවඳ අද මොකුත් නැත. අපේ මේ තැපෑල ගොළුබෙලි තැපෑල (snail mail) ලෙස හඳුන්වන්නේ මේ නිසාය. ඒත් ඉතින් සුනාලි වැනි යෞවනියන් හතරවටේ කර්මාන්තශාලා, ඇඟලුම් ආයතන වෙනත් කූල්ටූල් පිට කයිය ගැසිය හැකි රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු තිබියදී පොදු ජනතාවට වඩාත් සේවයක් වන ලියුම් බෙදීම වැනි වෘත්තියකට පිවිසීම ඒ වෙත නව යෞවනියන් තව තවත් යොමු වීමට හේතුවනු නියතය.