
මෙවැනි ආර්ථික අර්බුයක් පවතින අවස්ථාවකදී වුවද ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳව මෙතරම් අවධානයක් දක්වන්නේ ඇයි?
පිළිතුර - ආර්ථීක අර්බුදය පිළිබඳව අවධානය යොමු කරනවා නම්, අප දේශගුණ විපර්යාස පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. මොකද දේශගුණ විපර්යාස සහ ආර්ථිකය එකිනෙක බැඳී ඇති නිසා. අපි මේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපේ රටේ ආර්ථීක වර්ධනයක් සිදු විය යුතුමයි. අප ඉදිරියට යා යුතුයි. එහිදී අපේ ආර්ථීකය හරිත ආර්ථීකයක මට්ටමේ පැවතිය යුතුයි. ලෝකයේ සෙසු සියලුදෙනා කරමින් සිටින්නේද එයයි. අපට එයින් බැහැර වීමට හැකියාවක් නැහැ. දෙවැනිව, ශ්‍රී ලංකාව සතුව අති විශාල ලෙස දියුණු කළ හැකි හරිත ආර්ථිකයක් තිබෙනවා. අප පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකි තවත් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර තිබෙනවා.
දැනට මේ සම්බන්ධව ශ්‍රී ලංකාව ගෙන ඇති ඉදිරි පියවර මොනවද? නැතහොත් දේශගුණ විපර්යාස සම්බන්ධව ඇති සැලසුම් මොනවාද?
පිළිතුර - සැබවින්ම 26 වැනි දේශගුණ විපර්යාස සමුළුවෙන් පසු වැඩි යමක් සිදු කර නැහැ. එයට හේතුව රටේ පැවති දේශපාලන අස්ථාවර භාවය. එහෙත් අපට සැලසුමක් තිබෙනවා. අපේ සැලසුම 2015 දී අප අත්සන් කළ පැරිස් දේශගුණ සමුළුව, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ප්‍රධානීන්ගේ පාලන තන්ත්‍ර විසඳුම්, 26වැනි දේශගුණික විපර්යාස සමුළුවේ දී ගනු ලැබූ තීන්දු දක්වා වෙනවා. අප නීල ආර්ථිකයක් කෙරෙහි ද අවධානය යොමු කරනවා. මේ රාමුව තුළ අප අපේ මූලාරම්භයන් ගැනීමට කටයුතු කරනවා. ගත යුතු පියවර ගන්නවා. ඇතැම් පියවරවලදී අපට ජලය ගැනත් සැලකිලිමත් වීමට සිදු වෙනවා. ඒ වගේම පස සහ වන විනාශය සම්බන්ධවත්. ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත කලාපයටම මෙසේ කිරීමට හැකියාවක් පවතින බව මම විශ්වාස කරනවා. මීට අමතරව දේශගුණ විපර්යාසවලට අදාළව කටයුතු කරන නිලධාරීන්ට සහ ක්‍රියාකාරිකයන්ට තම පරාසය වර්ධනය කර ගැනීම වෙනුවෙන් දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයක් පිහිටුවීමටත් අප යෝජනා කර තිබෙනවා.
ඔබ දේශගුණ විපර්යාස සමුළුව පිළිබඳව සඳහන් කළා. ලබන මාසයේදී ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත 27වැනි දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සමුළුවට සහභාගී වීමෙන් රජය අතපත් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මොනවාද?
පිළිතුර - අප එහිදී අපේ භූමිකාව ඉෂ්ට කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ඉන්දීය සාගරයේ දූපතක් වශයෙන් දේශගුණ විපර්යාස මඟින් අපට ඇති විය හැකි බලපෑම් පිළිබඳ අප ඉතා සැලකිලිමත් වන නිසයි. ඒ වගේම අප ඉන්දියාව, විශේෂයෙන්ම තමිල්නාඩුව සමඟ එක්ව කටයුතු කළ යුතුයි. දේශගුණ විපර්යාස සම්බන්ධව කළ යුතු කටයුතු රාශියක් සිදු කර තිබෙනවා. අප දැනට යෝජනා කර ඇති දේශගුණික විපර්යාස සරසවිය සම්බන්ධව සහය ලබා ගත යුතුව තිබෙනවා. දේශගුණික විපර්යාස සම්බන්ධව මාගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කිරීමට මම මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට ආරාධනා කළා. ඔහු රටවල් කිහිපයකම සංචාරය කරමින් සිටිනවා. ඒ වගේම අපේ රටේ නීති සම්පාදනයේ මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ සරසවියට අදාළව උපදේශකයකු වශයෙන් කටයුතු කිරීමට එරික් සොල්හයිම් මහතා පැමිණෙනවා.
මේ වසරේදී දේශගුණික විපර්යාස සමුළුව එහි 27වන සැසිවාරය පවත්වනවා. මේ සමුළුව සාර්ථක වනු ඇතැයි ඔබ සිතනවාද? නැතහොත් එහි යම් වර්ධනය විය යුතු අංශ පවතිනවාද?
පිළිතුර - දේශගුණික විපර්යාස පිළිබඳව එකඟතාවකට පැමිණි 2015 වසර ඉතා විශේෂයි. ඒ වගේම 26වැනි දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවත් ඉතාම වැදගත්. අප 26වැනි දේශගුණික විපර්යාස සමුළුව තෙක් පසු විපරම් කළ යුතුයි. ඇතැම් රටවල් පසුගාමී වී තිබෙනවා. 27වැනි සමුළුව වැදගත් වන්නේ මේ නිසයි. ඊජිප්තුවේ ජනාධිපතිවරයා තුන්වැනි චාල්ස් රජතුමාට මේ 27වැනි සමුළුව ආමන්ත්‍රණය කිරීම සඳහා ආරාධනා කර තිබෙනවා. එය ඉතා වැදගත් යැයි මා සිතනවා. අවාසනාවකට මෙන් 27වැනි සමුළුවට ඔහුගේ සහභාගීත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය තුළ ගැටලු මතු වී තිබෙනවා. මට එක්සත් රාජධානිය සම්බන්ධව අදහස් දැක්විය නොහැකියි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් චාල්ස් රජු එහි වැදගත් භූමිකාවක් දැරිය යුතු වෙනවා.පසුගිය පෙබරවාරි මාසයේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී දේශගුණ විපර්යාස සම්බන්ධව අප විසඳුම් සම්මත කර ගත්තා. ඒ හේතුවෙන්ම ඔහු පැමිණිය යුතුයි. ඔහුට එහි වැදගත් භූමිකාවක් නිරූපණය කිරීමට ඇති බැවින්ම එක්සත් රාජධානියේ ආණ්ඩුව යළිත් සිතා බලා 27වැනි දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට ඔහුට අවස්ථාව දෙනු ඇතැයි මා සිතනවා.
සිංහල පරිවර්තනය ටිරෝනි වෑවලගේ