සඳැස් ද? නිසඳැස් ද? | සිළුමිණ

සඳැස් ද? නිසඳැස් ද?

නිදහස් ආර කවියට ආලෝකයක් මිසක් පරිහානියක් නොවෙයි 
- ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

හැමෝම හිතෙන හිතෙන දේවල් ලියන එකෙන් හානියක් වෙනවා 
- මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

විය බොහෝ විට විවිධ මතවාදවලට ලක් වෙන්නකි. විශ්වනාථ පඬිවරයා කියන්නේ, වාක්‍යං රසාත්මකං කාව්‍යං කියා ය. එනම් කවිය යනු රසවත් වැකියක් බවය. අලංකාර වාක්‍ය ගොඩනඟා ගැනීමට චන්දස් ශිල්පය බලපාන බව සත්‍යයකි; පිළිගැනීමකි. මේ අනුව ගිය පැරණි සිංහල කවි සිව්පද හෝ සිලෝ විරිත්වලින් බැඳී පැවතුණි. කොළඹ යුගයේ මුල් පරපුරත්, හෙළ හවුලේ කවීහුත් මෙම සාම්ප්‍රදායික විරිත් ක්‍රමය භාවිත කළහ. මොවුහු විරිත් මාත්‍රා ඇතිව ලියූ කවර පද්‍යයක් වුව ද කවියක් ලෙස සැලකීමට තරම් ඡන්දස ගුරු කොට සැලකූහ. එම නිසා විරිත්, එළිසමය ආදිය නිසා ඇතිවන ශබ්ද රසය කවියට ආවේණික ලක්ෂණයක් බවට පත්විය. මේ අනුව බලන කල්හි සඳැස් කාව්‍ය යනු රීතිමය පදනමකින් බැඳී පැවති කාව්‍ය විශේෂයකි.

නිසඳැස් කවි කලාව ගැන වඩාත් ප්‍රබෝධයක් ඇති වූයේ හැටේ දශකයේ ය. 1961දී සාහිත්‍ය චින්තා නම් සඟරාවට ශාස්ත්‍රීය ලිපියක් ලියන මහාචාර්ය සිරි ගුනසිංහ නිසඳැස් හා සඳැස් කාව්‍ය ගැන සඳහන් කරන්නේ මෙවැන්නකි. මහාචාර්ය සිරි ගුනසිංහ ඒ වන විටත් නිසඳැස් කාව්‍යකරණයේ සක්‍රිය ව නිරත වෙමින් සිටියේ ය. ඒ වන විට ගුනසිංහයන් 1956දී ‘මස් ලේ නැති ඇට‘ 1958 අබිනික්මන, 1962 දී රතු කැකුළ යන ‘නිසඳැස්‘ කෘති පළ කර තිබුණි. නිසඳැස් කවි බිහි ව ඇත්තේ කිසියම් හේතුවක් නිසා බවත්, හේතුව හැටියට සමාජ පරිසරය බලපා ඇති බවත්, කොළඹ යුගයේ කවි ඉතා බොළඳ කවි ජාතියක් නිසා මිනිස්සු සමාජයෙන් ඈත් කොට අමුතු ම‍නෝ රාජ්‍යයක් ඇති කරන බවත් මහාචාර්ය සිරි ගුනසිංහ පවසා ඇත. මේ පිළිබඳ ජී. බී. සේනානායකගේ සමහර කාව්‍ය ගුරු කර ගන්නා මහාචාර්ය ගුනසිංහ එළිසමය හා වෘත්තය නිසා නිසඳැස් කවි ශාස්ත්‍රීය ගද්‍යයට සමාන කිරීම වැරදි බව පවසයි.

කෙසේ නමුත් මේ පිළිබඳ වාද සංවාද බොහෝ කලක් තිස්සේ බොහෝ පිරිස් අතර ඇති විණි. සඳැස යටපත් වී නිසඳැස ඉස්මතු වුණු බවක් ද එයින් කාව්‍යකරණය යම් පසුගාමීත්වයකට ලක් වූ බවකුත් මේ කතාබහ ඔස්සේ සමාජගත විය. එනිසා ම මෙවර සිළුමිණ වාදයට අප මාතෘකා කර ගත්තේ සඳැස හා නිසඳැස අතර ඇති මේ මතභේදාත්මක ඝට්ටනයයි.

මෙවර වාදයට සම්මුඛ වූයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර හා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නිර්මාණකරුවා ය. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙක් සේ ම ගේය පද රචකයෙක් හා කවියෙක් ලෙස ද ප්‍රකට මහාචාර්ය ප්‍රණීත් පාලි සංස්කෘත හා බෞද්ධ විචාර සම්ප්‍රදාය ගැන බෙහෙවින් සවිඥානික ය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සම්මානනීය නවකතා, යොවුන් කතා හා කාව්‍ය නිර්මාණකරුවෙකි. ජනප්‍රිය දේශකයකු ද වන හේ සිය නිර්මාණ දිවිය අරඹන්නේ ටෙලිනාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක් හා තිරනාටක ශිල්පියකු ලෙස ය.

සඳැස් නිසඳැස් කාව්‍යවල වෙනස ගැන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර පැවසුවේ මෙවැන්නකි. 

‘අක්ඛර නියමෝ ඡන්දං 
ගුරු ලඝු නියමෝ පද්‍යඃ‘

අක්ෂර නියමය ඡන්දස; ගුරු ලඝු නියමය පද්‍යය කියලනෙ කියන්නෙ. එතකොට පද්‍ය කියන්නෙ චතුස් පැදි, ඒ කියන්නෙ පාද හතරයි. නිදහස් කවියට ඒක අදාළ නෑ. ඒකෙදි අපේ සිතට එන අදහසක් ලියන එකනෙ අපි කරන්නෙ. ශබ්ද රසය, අර්ථ රසය කියලා දෙකක් තියෙනවා. ශබ්ද රසය ඇති කිරීම ඉතාම වැදගත් දෙයක් සඳැස් කාව්‍යකරණයේදී. එළිසමය, අනුප්‍රාසය තියෙන්නම ඕන.’

ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කාව්‍යකරණයේ සඳැස් නිසඳැස් වෙනස ගැන කියවා ගන්නේ මේ ආකාරයෙනි.

‘සඳැස් කිව්ව ගමන් අපට එකපාර හිතට එන්නේ පේළි හතරේ සමුද්‍රඝෝෂ විරිතෙන් ලියැවුණු කවි විදියට නෙ. අපි ඒක අල්ල ගන්නෙම හැඩයෙන් නෙ. අනික නිසඳැස් කියන වචනයට මම එකඟ නැහැ. ඒක නිදහස් පද්‍ය වෙන්න ඕන එහෙනම්. ඕනෑම නිදහස් කාව්‍යයකට එයට අනන්‍ය වූ ඡන්දස් ලක්ෂණ තියෙන්න ඕන. ඒවා බොහොම සියුම් විදියට හෙව්වොත් අපට හොයා ගන්න පුළුවන්. එක යුගයක සම්පූර්ණයෙන් ම ජනප්‍රිය වෙන්නෙ පේළි 4න් ලියන එළිවැට එළිසමයෙන් යුත් සඳැස් කාව්‍යය. එතකොට ඇතැම් අය මේක වැරදි විදියට වටහා ගන්නවා, මොනවා හරි ක්‍රමයකින් පේළි 4 ගළපා ගත්තොත් එක අකුරකින් හෝ වචනයකින් අන්තිම ඉවර වෙනවා නම් ඒක සඳැස් කියලයි හිතන්නෙ. ඒක වැරදියි”

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පවසන අදහසට සමාන අදහසක් දරයි. ඔහු සඳැස්කරණය සම්බන්ධයෙන් පවසන්නේ මෙපරිද්දෙනි.

‘පද හතර ගැළපූ පමණින් සඳැස් වෙන්නෙ නෑ. අර්ථය, ව්‍යංගාර්ථය, වක්‍රෝක්ති, කාව්‍යෝක්ති හොඳට තියෙන්න ඕන. නිදහස් කාව්‍යවල බලපෑම අපට බටහිර සාහිත්‍යයෙන් ආව එකක් වගේ පේන්නෙ. හැබැයි අපට මුක්තක කියලා දෙයක් තිබුණා. කෙටි කවි. අනික පාද දෙකේ කවි තිබුණා. කාව්‍ය කියන්නෙ විශාල ක්ෂේත්‍රයක්’

සඳැස් හා නිසඳැස් වෙනස් වෙන්නේ ආකෘතික වශයෙන් පමණක් ද යන්නට මස්ඉඹුල ලේඛකයා දරන අදහස මෙවැන්නකි.

‘ආකෘතිය විතරක් සමාන වෙලා මදි. අන්තර්ගතය ඒකත් එක්ක අනුකූල වෙන්න ඕන. ඒකෙන් විශාල අලංකරණයක් එකතු වෙනවා. ඉතාම ලස්සන සඳැස් රචනා කරලා තියෙනවා විමලරත්න කුමාරගම, පී. බී. අල්විස් පෙරේරා, රත්න ශ්‍රී විජේසිංහ වගේ කවියන්. මෑත කාලයේ ලක්ෂාන්ත අතුකෝරල මේ කලාවේ වර්ණය හොඳට අඳුර ගෙන නිර්මාණ කරලා තියෙනවා.’

ඒ පිළිබඳ මහාචාර්ය ප්‍රණීත් පවසන අදහසට අනුව ආකෘතියට වඩා වැදගත් වන්නේ අපූර්වත්වයයි.

‘මහගමසේකර, අජිත් තිලකසේන, සිරි ගුනසිංහ වගේ අය විවිධ විදියට කවි ආකෘතිගත කරන්න උත්සාහ කළා නෙ. ඒ අය ගැඹුරු මිනිස්සු. පඬිවරු වගේ අය. නමුත් දැන් බ්ලොග් අඩවිවලට, අන්තර්ජාලයට තමන්ට හිතෙන ඕන දෙයක් ලියන අය ඉන්නවා. ඒවගෙ කවිත්වය තියෙනවද කියන ගැටලුව තියෙනවා. මොකද සුලබ බවට වඩා අපූර්වත්වය තමයි කවියකින් අපි බලාපොරොත්තු වෙන්නේ. කාව්‍යෝක්ති, ව්‍යංගාර්ථ්‍යය, රූපක වගේ ඒවා ජීවිතාවබෝධයට කොයිතරම් හේතු වෙනවද කියන එක අපි බලනවා’

සාමාන්‍යයෙන් ඉතිහාසය පිරික්සද්දී මුල් යුගයේ කාව්‍යකරණ රීති අනුසාරයෙන් ලියැවුණු බොහෝ කවි ඡන්දසකට අනුකූලව ලියැවුණු බැව් මහාචාර්ය ප්‍රණීත්ගේ අදහසයි.

‘ලංකා ඉතිහාසයේ ඉස්සෙල්ලම එන්නෙ ගීත කාව්‍ය යුගයක්. ඊට පස්සෙ සන්දේශවලට එද්දි හා පසුකාලීන කවිවලදි වැඩිපුරම තියෙන්නෙ ඡන්දසකට අනුව ලියැවුණු ඒවා. කෝට්ටේ යුගය හොඳම සන්දේශ යුගය කියලා අපි කියනවා. ජනකවිවල තියෙන්නේ මාත්‍රා 18 සමුද්‍රඝෝෂ විරිතට, ඡන්දසට සම්බන්ධ පද්‍ය. ඒක තමයි දිගටම ජනප්‍රිය වුණේ. හැබැයි තව විරිත් තියෙනවා. දැන් රෝසමලේ නටුවෙ කටූ, සිය පින් සිරින් සරූ වගේ කවිවල තියෙන්නෙ වසන්ත විරිත. පාදයකට මාත්‍රා 12යි. හයෙන් හයට යතියක් තියෙනවා. පෙද විරිත කියන්නේ සෙත්සිරි දෙන මහ ගුණ මුහුදාණන් වගේ කවි ලියැවුණු විරිත. ලෝ වැඩ සඟරාව, බෝධි පූජා ගාථා වගේ ඒවට මාත්‍රා 16යි. සමුද්‍රඝෝෂ විරිතේ පාදයකට මාත්‍රා 18යි. එතකොට දීර්ඝ විරිත් කියලා තියෙනවා. හරියට රූ රැසේ අඳිනා ලෙසේ වගේ. පාදයකට මාත්‍රා 28ක් තියෙනවා. මේ විදියට බැලුවම කෙළ සුවහස් විරිත් තියෙනවා. සියබස්ලකර වගේ පොත්වල ඡන්දස් අලංකාර ගැන විස්තර කරලා තියෙනවා. ඒවයෙන් ලියපු කවිවලට තමයි සඳැස් කියන්නේ.’

මේ කාව්‍ය ප්‍රභේද ද්විත්වය එකිනෙකාට වෙනස් වන්නේ කෙසේද යන්නට ලේඛක මස්ඉඹුල දරන්නේ මෙවැනි මතයකි. 

‘මම භේදයක් දකින්නෙ නෑ. ඕනෑ ම පද්‍යයක ඡන්දස් ලක්ෂණ තියෙනවා. වඩාත් වැදගත් වෙන්නේ කවියක අන්තර්ගතය සහ ඒ අන්තර්ගතය කියන්න කවියා තෝරා ගත් ආකෘතිය මොකද්ද කියන එක. සඳැස්වල ආකෘති ගොඩක් තියෙනවා. නිසඳැස් ගත්තත් එහෙමයි. ඒවා සියුම් ලෙස අධ්‍යයනය කළ යුතුයි. භාෂාවේ රිද්මය සඳැස් ලක්ෂණවලට බෙහෙවින් නෑකම් කියනවා. රිද්මය ඕනෑම කවියක තියෙනවා. ඒ රිද්මයේ ආකෘතික ලක්ෂණය තමයි අපි සඳැස් ද නිසඳැස් ද කියලා වර්ග කරන්නෙ. විවිධ රටවල මේවට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා’

මේ වෙනස ඇති වීමට බලපෑම් කරන්නේ හැදෑරීම බැව් මහාචාර්ය ප්‍රණීත්ගේ අදහසයි.

‘ජනකවි සාහිත්‍යයයි, සම්භාව්‍ය සාහිත්‍යයයි කියවපු කෙනකුට භාෂාවේ වාක්කෝෂයේ අඩුවක් වෙන්නෙ නෑ. හදාරන්න ඕන. නැත්නම් නිර්මාණ කරන්න වාක්කෝෂයක් නෑනෙ. ඕන දේකට වචන තියෙනවා. ඒ පරිචය වැදගත්’

කාව්‍ය ක්ෂේත්‍රයට නිසඳැස් කාව්‍යකරණයෙන් හානියක් වූ බවට කෙරෙන මතවාදය සම්බන්ධයෙන් ලේඛක මස්ඉඹුල පවසන්නේ බොහෝ නිර්මාණකරුවන් 60 දශකයේ සිට ම මේ ආර පිළිබඳ හැදෑරීම් කළ බවකි.

‘මම හිතන්නෙ නෑ, එහෙම එකක් වුණා කියලා. ලෝකයේ බොහෝ විට නිසඳැස් ආර භාවිත වෙනවා. අපේ වුණත් බොහෝ නිර්මාණකරුවන් මේ ආර භාවිත කරනවා. මහාචාර්ය සිරි ගුනසිංහ, ජී. බී. සේනානායක වගේ නිර්මාණකරුවන් අපෙත් නිසඳැස් ආර ගැන අත්හදා බැලීම් කළා. නිදහස් පද්‍ය කියන එක අද වෙනකොට ඉතාමත් විශිෂ්ට අන්දමින් ඉදිරියට ඇවිත් තියෙනවා. නිදහස් ආරෙන් විතරක් ලියන කවියනුත් ඉන්නවා. ඒ නිසා නිදහස් ආර කවියට ආලෝකයක් මිසක් පරිහානියක් නම් නොවෙයි. කෙනකුට විවිධ දේවල් කියන්න, චෝදනා කරන්න පුළුවන්. ඒත් මම එහෙම හිතන්නෙ නැහැ’

මහාචාර්ය ප්‍රණීත් පවසන්නේ නිසඳැස් නිසා කාව්‍යකරණයේ ප්‍රධානතම අංගය වෙන ශබ්ද මාධුර්ය යන්නට අර්ථකථනයක් සපයා ගැනීම අපහසු බවෙකි.

‘විනී විතාරණයන් එහෙම කිව්වේ හැමෝම මේ හිතෙන හිතෙන දේවල් ලියන එකෙන් හානියක් වෙනවා කියලා. අපේ සංස්කෘතියේ ඉතා වැදගත් අංශයක් තමයි ගායනා කිරීම. ඒ කියන්නේ සඳැසකට අනුව ගායනය. පරමත්ථජෝතිකා, සහශ්‍රවත්ථුපකරණ අටුවාවල එහෙම තියෙනවා කුඹුරුවල වැඩ කරමින් හිටි කාන්තාවන් ගායනා කළා කියලා. ඒවයෙ තිබුණෙ අනිත්‍ය ප්‍රතිසංයුක්තය. ඒවා අහලා සඟ සැට නමක් රහත් වුණා කියනවා. මිහිරට ගායනා කිරීම ශබ්ද රස පිහිටුවා කරන දෙයක්නෙ. ඒක අපේ සංස්කෘතික ජීවිතයේ කොටසක්. අපි බොහෝ වෙලාවට නිදහස් කවි විඳින්නෙ ඇහෙන්. ඒවා ගායනා කරන්න පුළුවන්. නමුත් තාලයට ඇදලා පැදලා අනෙක් ඒවා වගේ ශබ්ද රසය පිහිටුවන්න අමාරුයි.’

සඳැසකින් තොර කවි ලිවීමේ ආරම්භකයා ජී.බී. සේනානායක ය. ඒ අනුව නිසඳැස් ලිවීම සාහිත්‍ය රසිකයාට හඳුන්වා දුන්නේ ජී. බී. ය. රොහාන් පියදාස විසින් ජී. බී. සමඟ කල්පනා සඟරාවට කළ සංවාදයක කියා ඇත්තේ තමා ලියූ මුල් ම නිසඳැස් පද්‍ය පළ වූයේ 1946 ලියූ පළිගැනීම පොතේ නොව, 1940 දසකයේ කේ. එම්. සිරිසේන විසින් සංස්කරණය කළ වෙළඳාම නම් සඟරාවට ලියූ දාසයා කාව්‍ය කියාය. කෙසේ නමුත් සඳැස් කාව්‍ය සම්ප්‍රදායට අභියෝග කරන්නට බිහි වූ කාව්‍ය ආරක් ලෙස නිසඳැස් ආර හැඳින්වීම යුක්ති යුක්ත නොවේ. එය නව නිදහස් එළැඹීමක් පමණකි.

ලියන්න පුළුවන් ඕනෑම කෙනකුට නිසඳැස් නම් ලියන්නට හැකි යැයි ශාස්ත්‍රීය සමාජයෙන් ඇතැම් විට නැඟෙන චෝදනාවට මස්ඉඹුල ලේඛකයා පවසන්නේ එය ආකෘතික ස්වභාවයෙන් තීරණය කිරීම යුක්ති යුක්ත නොවන බවෙකි.

‘ලියන කෙනෙක් හිතනවා නම් මේක හරිම පහසුවෙන් වචන කඩ කඩා ලියන්න පුළුවන් දෙයක් කියලා ඒක කවියක් හැටියට අපිට පිළිගන්න බැහැ නෙ. දැන් ඔය ගැටලුව පූර්ණ වශයෙන් සඳැස් ලියන අය අතරත් තියෙනවා. අවසාන පේළිය විතරක් ගැළපෙන්න ලියලා මම සඳැසක් ලිව්වා කියලා හිතනවා. අන්තර්ගතය, කුමක්ද කියන්නෙ, කොයිතරම් කාව්‍යෝක්ති පාවිච්චි කරලා තියෙනවාද, ව්‍යංග්‍යාර්ථය කොයිතරම් භාවිත කරලා තියෙනවාද, එහි කලාත්මක අගය කොච්චරද වගේ දේවල් මත තමයි කවියක වටිනාකම තීරණය වෙන්නෙ. එහෙම නැතිව සඳැස් ද නිසඳැස් ද කියන එක නොවෙයි වැදගත්. උසස් නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් සඳැස් ද නිසඳැස් ද කියන එක අදාළ ම නෑ.’

මහාචාර්ය ප්‍රණීත් පවසන්නේ කාව්‍යකරණයේ ආර කුමක් වුවත් මනා හැදෑරීමකින් යුතුව එහි නිරත විය යුතු බවෙකි.

අරිසෙන් අහුබුදු, කුමාරතුංග මුනිදාස, පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, සාගර පලන්සූරිය, මීමන ප්‍රේමතිලක වගේ අය ගත්තම හොඳ ප්‍රමාණවත් හැදෑරීමක් කරලා කවි ලියපු අය. ඒක ඒ අයගේ කවිවලින් පේනවා. දැන් ඉන්න අය ගොඩක් සාහිත්‍ය කියවන්නෙ නෑනෙ; හදාරන පාටක් පේන්න නෑ. පොත පත විකුණෙනවා වුණාට කියවන බවක් පේන්නෙ නෑ. පද්‍ය යොදන්නෙම ඡන්දස් එක්කම.’

සඳැස් නිසඳැස් ගැන වන මතවාදය කාලාන්තරයක් තිස්සේ වාද විවාදයට ලක් වූවකි. මේ පිළිබඳ විවිධ දේශන හා පත්‍රිකා ද සඟරාද පළ වී තිබේ. පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් කිහිප දෙනෙක් හැටේ දශකයේ පළ කළ “නිසඳැස්” නම් සඟරාව ඊට එක් නිදසුනකි. පුරාතන පද්‍ය සාහිත්‍යය ගැන වන කතාබහ පුරාණ කතා, අට්ඨ කතා මෙන්ම කාව්‍යාදර්ශය වැනි ඒ වෙනුවෙන් ම ලියැවුණු කෘතිවල නොඅඩුව අන්තර්ගත ය. කුමන ආරක කවි ලියූව ද එකී කාව්‍යකරණයට පෙර හදාරා තිබීම වැදගත් බව මේ සංවාදයෙන් පැහැදිලි ව පෙනෙන්නකි. හදාරන්නේ නැතිව වදාරන්නට නොහැකිය.

Comments