කසිප්පු තිප්පොළෙහි සිටි සියලු බේබද්දෝ උක්කුවා එන තුරු බලා සිටියෝය. ඒ කරුණු දෙකක් මතය. එකක් නම්, ණයට බීමටය. අනෙක නම්, උක්කුවාගේ පුරසාරම් කතා ඇසීමටය. ඒ දෙකම සියල්ලන්ටම විනෝදය ගෙන දෙන්නකි. කසිප්පු උක්කුවාගේය. තිප්පොළෙහි අලෙවිකරුවෝ ඔහුගේ ගෝලයෝය. ඔහුගේ පුරසාරම් කතා කේන්ද්‍ර වන්නේ ගමේ ගැහැනුන් වෙතය. හැඩකාර සෑම ගැහැනියක සමඟම යහන් ගත වී ඇතැයි ඔහු කියයි. මීට සති දෙකකට ඉහත දී උක්කුවාගෙන් බේබද්දන්ට අපූරු සාදයක් ලැබිණි. එහි නිමිත්ත වූයේ ගැහැනුන් සිය දෙනකු හා නිදි වැදීම සම්පූර්ණ වීමය.
උක්කුවා කසිප්පු ජාවාරමෙන් හොඳ හැටි හම්බ කළේය. සල්ලි පොලියට දුන්නේය. ඊට අමතරව බ්‍රෝකර් වැඩ කළේය. ඊටත් අමතරව කුඹුරු අඳේට ගෙන වගා කළේය. ඔහුට සල්ලිවලින් අඩුවක් නැත. ඔහුට බිරියෝ දෙදෙනෙක් වූහ. දෙදෙනාටම අඩුවක් නොකළ උක්කුවා දකින දකින ගැහැනිය පසුපස හඹා ගියේය. කඩවසම් සිරුරකට හිමිකම් කියන ඌට ඉහෙන් බහින රෝගයක් නැත. සෑම ආහාර වේලකටම මසක් පිළියෙල කර ගත්තේය. ඇතැම් විට ඔයට ගොස් මාළු බාගෙන ආවේය.
උක්කුවා නැහැදිච්ච මිනිසකු ලෙස ලේබල් වී තිබුණ ද කිසිවකු ඔහු පාච්චල් කරන්නට ඉදිරිපත් වූයේ නැත. දිග උල් පිහියක් ද ඉණෙහි රඳවාගෙන සිටින උක්කුවාට කවුරුත් මූණිච්චාවට ගරු කළහ. සමහරු උක්කුං මහත්තයා යැයි ඔහු ඇමතූහ. තව සමහරු උක්කුං අයියා යැයි කීහ. තවත් සමහරු උක්කුං ළමයා යැයි කීහ.
උක්කුවා කසිප්පු පොළට පැමිණියේය. බේබද්දන්ගේ මුහුණුවල සිහින් සිනාවක් ඇදී ගියේය.
“උක්කුං අයියෙ එකසිය එක වෙන්නෙ කවද්ද?”
“ඉන්නව මල්ලි, හොඳ කෑල්ලක් ඉන්නවා!”
“කවුද අප්පෙ අපි නොදන්න කෑල්ල!?”
“ඇයි බං අර කලිසම් ගහගෙන ගාමන්ට් යන බඩුව!”
“අප්ප! ඔය කියන්නෙ අර නෙල්කා! එයා නම් අල්ලන්ඩ අමාරුවෙයි!”
උක්කුවා සිනාසුණේය. මහා හයියෙන් සිනාසුණේය.
“මේ උක්කුංට කොයි ගෑනිත් එකයි බං!” ඔහු අන්තිමට කියා සිටියේය.
නෙල්කා යනු මේ ගමේ කුලී ගෙදරකට ළඟදී පැමිණි එක් දරු මවකි. ඇගේ සැමියා වූ විජේපාලට ස්ථිර රැකියාවක් නොවූ අතර ඈත පළාත්වලට ගොස් විවිධ රැකියාවල යෙදී කීයක් හෝ හම්බ කර ගත්තේය. මේ දිනවල ඔහු ඔක්කම්පිටියේ මැණික් ගැරිල්ලක නිරතව සිටියේය. නෙල්කා ඇඟලුම් කම්හලෙහි සේවය කරමින් පුංචි පුත්‍රයා ද බලාගෙන පිළිවෙළකට ජීවත් වූවාය. ඇය හැඩකාර, තරුණ උගත්කමක් ද ඇති ගැහැනියකි.
නෙල්කා ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ටයක් හැඳ ලතාවකට ගමන් කරන විලාසය දුටු උක්කුවා ඇයට වශී විය. ඇය වැඩට යන විටත් වැඩ නිමවා ගෙදර එන විටත් ඇගේ පසුපසින් යෑමට උක්කුවා පුරුදු විය. ඇය ඇමතීම සඳහා උක්කුවා අලුත් යෙදුමක් ද තනා ගත්තේය. ඒ “නංගි කෙල්ල!” යන්නය.
“නංගි කෙල්ල ඇත්තටම ලස්සනයි!”
“මගෙ ලස්සන බලන්ඩ කෙනෙක් ඉන්නවා!”
“එහෙම කියන්ඩ එපා නංගී අපිත් ලව් එක හොඳට අඳුරන මිනිස්සු!"
උක්කුවා පළමු දිනයේ නෙල්කාට චොකලට් එකක් දුන්නේය. ඇය එය වීසි කළාය. දෙවැනි දිනයේ කළු පාට ටී ෂර්ට් එකක් තෑගි ලෙස දුන්නේය. නෙල්කා එය කැලයට වීසි කළාය. තෙවැනි දිනයේ උක්කුවා බලා සිටියද නෙල්කා පැමිණියේ නැත. ඇය පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
පසුදා කසිප්පු පොළෙහි ප්‍රධාන මාතෘකාව වූයේ නෙල්කාය.
“අරකි පොලිසියට ගිහින්ලු නේද උක්කුං අයියා!?”
“පොලිසියෙ ලොකු මහත්තයා මගෙ යාළුවෙක් බං!”
“හැබැයි මේකිත් මහ අමුතු ඩයල් එකක්!”
“තව වැඩි දවසක් යන්ඩ කලින් මං ඕකිගෙ කලිසම ගලවනවා!”
උක්කුවා සිනාසෙන්නට පටන් ගත්තේය. “මං එකසිය එක සමරන්නෙ හොඳ විදිහකට. ඒක නවත්තන්ඩ කාටවත් බෑ!” ඌ දිගට ම පුරසාරම් දොඩන්නට පටන් ගත්තේය. ඒ අතර දිගටම කසිප්පු පානය කළේය.
නෙල්කා නිවාඩුවක් දමා මේ හුටපටයෙන් බේරෙන විදිහක් ගැන කල්පනා කළාය. වරෙක ඇයට සිතුණේ මේ බව උක්කුවාගේ බිරියන්ට වාර්තා කළ යුතු බවය. එහෙත් බිරියන් අහිංසක බව ද මෙවැන්නකට කිසිදු උත්තරයක් ඔවුන් ළඟ නැති බව ද කෙනෙක් කීහ. වැඩි දෙනකුගේ මතය වූයේ උක්කුවා තරහ කර ගැනීම මහා විනාශයක් බවය. තමන්ට අකැමැති වන ගැහැනුන්ට උක්කුවා කැලෑ පත්තර ගහන බව ද ඉන් නොනැවතී ගෙදරට ගල් ගසන බව ද සමහරු කීහ. තවත් කෙනකුගේ මතය වූයේ ගෙදර මිනිහාට ගැහැනිය ගැන කේලාම් කීම ද උක්කුවාගේ එක් උපාය මාර්ගයක් බවය.
උක්කුවා සමඟ යාප්පුවෙන් මේ ගැටලුව විසඳාගත යුතුයැයි තව වරෙක ඇයට සිතිණි. උක්කුවා ගැන සිතත් සිතත්ම ඌ කෙරෙහි යම් ආකර්ෂණයක් ද නෙල්කාගේ සිතෙහි ගොඩ නැඟෙමින් පැවැතිණි. මිනිහා නූගත් නරුමයකු වුව යම් හැඩකාර ගතියක් ද තිබේ. විජේපාල නැති පාළුව ද නෙල්කාට දැනෙන්නට විය.
නෙල්කා හොඳට ඇඳ පැලඳ ගෙන කඩමණ්ඩිය වෙත ගියාය. උක්කුවා එහි සිටියේය. නෙල්කා දුටු සැණෙන් ඔහු නැඟී සිටියේය.
“ආ... සුදු නංගී!”
“මේ අයියෙ, දෙයක් කතා කරන්ඩ තියෙනව නම්
රෑට ගෙදරට එන්ඩ! පාරවල් ගානෙ මට කරදර කරන්ඩ එපා!"
“සොරි නංගී! අද රෑට මං එන්නම්!”
නෙල්කා සැහැල්ලුවෙන් ගෙදර ගියාය. එදින සන්ධ්‍යාව වන විට සියලු වැඩ නිමා කළ ඈ නා කියාගෙන අලුත් නයිටියක් ඇඳ ගත්තාය. දරුවාට පාඩම් කියා දී ඔහු නිදි කෙරෙවුවාය. නෙල්කා ඉස්තෝප්පුවට වී කාලය සෙමෙන් ගෙවී යන හැටි බලා සිටියාය.
හරියටම නමයයි තිහ වන විට උක්කුවා පැමිණියේය.
“අයියෙ එන්ඩ!” යැයි කියූ නෙල්කා දොර අඩවන් කොට ඔහු කැටුව කාමරයට ගියාය. තත්පර කිහිපයක් ගෙවී යද්දී 'බුදු අම්මෝ!‘ යැයි මරහඬ නඟමින් උක්කුවා ගෙදරින් මිදුලට පැන්නේය. මිදුලෙන් පාරට පැන්නේය. පාර දිගේ දිව ගිය ඔහු අමු නිර්වස්ත්‍රයෙන් නාන ළිඳට පැන්නේය. යළි ගොඩට ආවේය. යළි ළිඳට පැන්නේය. ටික වේලාවකට පසු එක්රැස් වූ ගම්මු ඔහු රෝහලක් වෙත රැගෙන ගියහ.
නෙල්කා බොහෝ වේලාවකට පසු තම දෑත සබන් යොදා හොඳින් සෝදා ගත්තාය. දෑත නාසය වෙත ළං කළ විට තවම මිරිස් සැර ඇති බව ඇයට දැනිණි.