
වසර 1996 ලෝක එක්දින ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ වෙනස්කම් බොහෝය. ඉන් වඩාත්ම කැපී පෙනෙන්නේ ඒ වෙද්දී සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවන රටාව එහෙම පිටින්ම වෙනසකට ලක් වීමය. ඔවුන්ට දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන් අතර වෙනදා නොතිබුණු ඉහළ ජනප්‍රියත්වයක් හිමි වූ අතර, ලොව පුරා නමගිය වෙළෙඳ සමාගම්වල සන්නාම තානාපති ලෙස කටයුතු කිරීමට බොහෝ ක්‍රීඩකයන්ට අවස්ථාව උදා විය.
පසුකාලීනව මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට පෞද්ගලික කළමනාකරුවන්, ජාත්‍යන්තර සබඳතා සම්බන්ධිකරණය කිරීමට ඒජන්තවරුන් පත්වීමට අඩිතාලම වැටුණේ 96 ලෝක ශූරයන් ලෙස දිනාගත් අපරිමිත කීර්තියත්, ජනප්‍රියත්වයත් හේතුවෙන් බව ඉඳුරාම පැවැසිය හැකිය. මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ ක්‍රිකට් ඒජන්ත ලෙස ආන්දෝලනාත්මක පුවත් මැවූ චාලි ඔස්ටින්ගේ අවතීර්ණය සිදු වූයේ ඒ අනුවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට වසන්තය උදා කළ 1996 ලෝක ශූරතාව ජාත්‍යන්තර විචාරකයන් හඳුන්වන්නේ එතෙක් මෙතෙක් ජාතික ක්‍රිකට් කණ්ඩායම ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය ලෙසිනි. ඒ හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල පුනරුදයක් ඇති වූවා පමණක් නොව ජාතික කණ්ඩායමට එක්වීමේ අරමුණ ඇතිව ලංකාවේ සියලු පළාත්වල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නව ප්‍රබෝධයක් ද ඇති විය. ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තරයේ විශාල වටිනාකමක් මෙන්ම ඇගැයීමක් ද හිමි වූ අතර, ලොව පුරා විවිධ රටවල ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග නැරැඹීමට ජනතාව පෙළ ගැසෙන්නට පටන් ගත්තේය.
96 ලෝක ශූරයන් වීමෙන් පසු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ජීවන රටාව වෙනස්කම් රැසකට භාජනය වූ අතර, එතෙක් සාමාන්‍ය ජීවිතයක් ගත කළ බොහෝ ක්‍රීඩකයන්ට ඉන් ඔබ්බට යෑමේ පසුබිමක් නිර්මාණය වූයේ නිතැතින්මය. ලෝක ශූරයන් වූ කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු තුරුම්පුව චමින්ද වාස් එවකට මේ ලියුම්කරු සමඟ කියා සිටියේ එතෙක් සාමාන්‍ය බස් රථයක පාපුරුවේ එල්ලී ක්‍රිකට් පුහුණුවීම්වලට පැමිණි තමාට ලෝක ශුරයන් වීමෙන් පසු එලෙස සාමාන්‍ය ජනතාව සමඟ බස් රථයක ගමන් කිරීමට නොහැකි අයුරින් ජනප්‍රියත්වය ඉහළ ගිය බවය. ලෝක ශූරයන් යන යන සෑම ස්ථානයකදීම ජනතාව රොඳ බඳින්නට පටන් ගෙන තිබූ අතර, බොහෝ ක්‍රීඩකයෝ තරුණියන්ගේ ආකර්ෂණයට සහ ආදරයට ලක් වූහ. යන යන සෑම ස්ථානයකදීම ජනතාව සිය ක්‍රිකට් වීරයන් දැක බලා ගැනීමට රැස් වූයේ බුරුතු පිටින්ය.
ක්‍රිකට් කළමනාකරුවන්, තැරුව් කරුවන් සහ ඒජන්තවරුන්ගේ ඇල්ම බැල්ම යොමු වන්නට වූයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුපුරුදු ජීවිතය එසේ සුඛෝපභෝගී මුහුණුවරකට පෙරළීමත් සමඟය.
සැබැවින්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතාව දිනූ අනූව දශකයේ මැද භාගය වනතුරු කිසිදු ක්‍රීඩකයකුට පෞද්ගලික කළමනාකරුවකු හෝ ඒජන්තවරයකු සිටියේ නැත. ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතය මුවහත් කිරීමට පුහුණුකරුවන් සහ හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නිරතුරුවම සැදී පැහැදී සිටි අතර, ක්‍රීඩාවෙන් ඔබ්බට ගොසින් වෙනත් ආකාරයේ ආදායම් මාර්ගයක් සොයා ගැනීමට හෝ ඉඩ ප්‍රස්ථාවක් නොතිබිණි. ඇරත් ජාත්‍යන්තර තරග බිමේ ඒ වන විට එවැනි තත්ත්වයක පසු වූ ලෝ ප්‍රකට ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසු වූයේ පහළ තලයකය. අනිත් අතට ක්‍රීඩා කිරීමෙන් ලැබුණු මුදල අද මෙන් අතිවිශාල නොවූ බැවින් ඔවුන්ට මුදල් කළමනාකරණය කිරීමට බාහිර පුද්ගලයකුගේ උදවු උපකාර හෝ උපදෙස් හා මඟ පෙන්වීම් අවශ්‍ය නොවීය. ඇරත් ඒ වන විටත් වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරට සිටියේ නැත. සිය ජීවිතයම ක්‍රිකට් ක්‍රීඩාව කරගත් බොහෝ ක්‍රීඩකයන් සිටියද, ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් විවිධ ආදායම් මාර්ග සකස් කර ගැනීමට හෝ සිය දායකත්වය ලොව වෙනත් රටවල දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට සපයා අතිරේක මුදලක් උපයා ගැනීමට හෝ වැඩි ඉඩකඩක් නොලැබිණි. එසේ වුවා නම් එවැනි අවස්ථාවක් උදා කර ගත්තේ එවකට ලොව හෙල්ලූ ප්‍රවේගකාරී පිතිකරුවකු වූ අරවින්ද ද සිල්වා පමණි. ඔහු එංගලන්ත ප්‍රාන්ත තරග බිමට එක්ව කෙන්ට් ප්‍රාන්ත පිල නියෝජනය කරමින් එංගලන්ත ක්‍රිකට් භූමියේ සිය අණසක පතුරුවාලද්දි ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතාව දිනා තිබුණේ ද නැත.
මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් අතර කළමනාකරුවන් හෝ ඒජන්තවරුන් ලෙස පත්වීමේ සහ කටයුතු කිරීමේ පසුබිම ඒ අයුරින් නිර්මාණය වූවද, පසුකාලීනව සුපිරි පිතිකරුවන් වන මහේල ජයවර්ධනගේ සහ කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් කළමනාකරු ලෙස චාලි ඔස්ටින් පත්වනතුරු ඒ පිළිබඳ වැඩි කතාබහක් මෙරට ජනතාව අතර සිදු නොවීය. ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දක්වමින් සිටි මහේල, සංගක්කාර පමණක් නොව ලොව විශිෂ්ටතම වේගපන්දු යවන්නකු බවට පත්ව සිටි ලසිත් මාලිංගගේ කළමනාකරු ලෙසත් කටයුතු කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිය වපසරිය පුළුල් කරගත් මේ බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිකට් ඒජන්ත කරළියට සේන්දු වන්නේ එසේ 96 ලෝක ශූරයන් වීමෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ විශාල පෙරළිය නිසාය.
කවුරුත් දන්නේ චාලි ඔස්ටින් ගැන පමණි. එහෙත් චාලිට පෙර මෙරට ඇතැම් ක්‍රීඩකයන්ට කළමනාකරුවන් සිටි බව දන්නේ අතළොස්සක් පමණි. එවැනි බොහෝ කළමනාකරුවන්ගේ භූමිකාව ඇතැම් විට නිල නොවන මට්ටමෙන් සිදු වූ අතර, ඇතැම් ක්‍රීඩකයන් ඔවුන්ගේ සේවය ලබා ගෙන තිබුණේ කෙටි කාලපරාසයක සහ විවිධ අවස්ථාවන්හි දී පමණි. ඒ සියල්ල වෙනස් වූයේ චාලි ඔස්ටින්ගේ අවතීර්ණයෙන් පසුවය. ඔහු ක්‍රිකට් කළමනාකරුගේ හා ඒජන්තවරයාගේ භූමිකාවට වැඩි වටිනාකමක් දෙමින් ක්‍රීඩකයන් සමඟ ගිවිසුම් ගත විය.
ඔහුගේ අවතීර්ණය සිදුවීමට බලපෑ තවත් කරුණු ගණනාවකි. වසර 2000න් පසු ජාතික කණ්ඩායමට සේන්දුවූ තරුණ ක්‍රීඩකයන්ගේ චින්තනයේ වෙනසක් ද තිබිණි. ඔවුන්ගේ අදහස් හා ගතිපැවතුම් වලත් පැරැණි ක්‍රීඩකයන්ට වඩා නැවුම් බවක් තිබිණි. සම්ප්‍රදායානුකූල හා ඉපැරැණි සිතිවිලි හා මතවාද තුළින් ඔබ්බට ගොසින් නව පරිකල්පනයෙන් සිත් පුරවා ගෙන සිටි එම තරුණ පරපුරේ ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාව වූයේ මේ විස්මිත ක්‍රීඩාව වෘත්තීය මට්ටම දක්වා ඉහළට ඔසවා තැබීමේ අරමුණකි. ඉන් සිය ජීවිතය ආර්ථික තත්ත්වයේ ඔපමට්ටම් කරගැනීමේ අභිලාෂයකි. චාලි ඔස්ටින්ලාට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වීමේ දොරටු විවර වීමට එය ද ප්‍රබල සාධකයක් බවට පත්වී තිබිණි.
චාලි ඔස්ටින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2000 වසරේදීය. එවකට කෝඩුකාර ක්‍රීඩා මාධ්‍යවේදියකු වූ හෙතෙම මුල් කාලයේදී ලෝ ප්‍රකට Cricinfo වෙබ් අඩවියේ විශේෂාංග ලේඛකයකු සහ ශ්‍රී ලංකාවේ වාර්තාකරු ලෙස කටයුතු කරමින් සිටියේය. ඇතැම් වාර්තාවලට අනුව චාලි මෙරටට පා තබා ඇත්තේ රැකියාවක් සොයා ගැනීමේ අරමුණ ඇතිවය. තවත් වාර්තාවකින් කියැවෙන්නේ ඔහු එවකට එංගලන්තයේ ‘දි ගාඩියන්‘ පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදියකුගේ සහායකයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි බවය. කෙසේ පැමිණිය ද අවසානයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිය ආධිපත්‍ය පතුරුවාලීමට පමණක් නොව ක්‍රීඩකයන්ගේ ජීවිතවලට වැඩි ආර්ථික වටිනාකමක් සපයා දීමටත් ඔහු කදිම අත්වැලක් බවට පත්වී තිබිණි.
පසුව දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ දැන හැඳුනුම්කම් ගොඩනඟා ගැනීමට චාලි ඔස්ටින් සමත්වූ බවත්, මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රිකට් විනිසුරුවරයකු සමඟ සමීප සබඳතා ගොඩ නඟමින් ඔහුගේ නිවෙසේහිම නවාතැන් ගෙන සිටි බවත් ප්‍රකට කරුණක් විය. ඔහුට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ සමීප ඇසුරක් ගොඩ නඟා ගැනීමට හැකි වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීම හේතුවෙනි. මේ වන විට ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති ඔස්ටින් කළමනාකරණ සමාගම ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම ඔහු සකස් කරගනු ලැබුවේ ඉන් පසුවය. පසුකාලීනව චාලි ඔස්ටින් සිය ක්‍රිකට් ඒජන්තවරයා ලෙස පත් කරගත් මෙරට බොහෝ ක්‍රීඩකයන්ට අනුව එය සිදුවූයේ දෙපාර්ශ්වය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමකට අනුවය.
එවැනි ගිවිසුම් ලොව පුරා බොහෝ ක්‍රීඩා ක්ෂේත්‍රවල සුලබ සිදුවීම් වන අතර, ලොව විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රවල ඉහළින් වැජඹෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනකුට කළමනාකරුවන් සිටිති. ටෙනිස්, ගොල්ෆ් වැනි තනි පුද්ගල ක්‍රීඩාවන් පමණක් නොව ලොව වැඩිම ජනප්‍රියත්වයට පත් පාපන්දු ක්‍රීඩාවේ නිරත නොම්මර එකේ ක්‍රීඩකයන්ටද කළමනාකරුවෝ වෙති. ඔවුන්ගේ භූමිකාව ක්‍රීඩාවෙන් ඔබ්බට විහිදී ඇති අතර, ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ වාණිජ ගනුදෙනු සම්බන්ධිකරණය සහ කළමනාකරණය සිදු කරමින් ඔහුට හෝ ඇයට සිය ආදායම් මාර්ග පුළුල් කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට කළමනාකරුවන්ගේ හෝ ඒජන්තවරුන්ගේ රාජකාරිය වේ. අනිත් අතට ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය විවිධ කටයුතුවලට අදාළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සහභාගි කරගැනීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයකුට හෝ සමාගමකට සම්බන්ධිකරණ කටයුතු සලසා දීමේ රාජකාරිය ද කළමනාකරු හෝ ඒජන්තවරයා සතුය. එය ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ වෘත්තීය භාවය ඔපමට්ටම් කිරීමක් මෙන්ම ඔහුගේ හෝ ඇයගේ ආදයම් මාර්ග පුළුල් කිරීමක් ලෙසත් සැලකිය හැකිය. මේ සඳහා කළමනාකරු හෝ ඒජන්තවරයා අයකරනු ලබන මුදල් ප්‍රමාණය එකිනෙකට වෙනස්ය. කළමනාකරුවන් හෝ ඒජන්තවරුන් අතර වැඩි වෙනසක් නොවූවත්, මාසික වැටුපකට සේවය කිරීමේ කළමනාකරුවන් මෙන්ම විවිධ කටයුතුවලදී කොමිස් මුදලකට සේවය කරන ඒජන්තවරු ද සිටිති. එය කෙසේ වුවත් මේ දෙඅංශයෙන්ම දායකත්වය සලසා ගන්නා ක්‍රීඩකයන්ට හෝ ක්‍රීඩිකාවන්ට ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙයි. මෙහිදී ඒජන්තවරුන් බොහෝ විට කටයුතු කරනු ලබන්නේ කොමිස් මුදලකටය. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 10% සිට 20% දක්වා අගයක් ගන්නා අතර, අදාළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට ක්‍රීඩාවෙන් බාහිර සියලු කටයුතු සම්බන්ධිකරණය කිරීමේදී එම කොමිස් මුදල අඩු වැඩි වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. චාලි ඔස්ටින් මේ දෙයාකාරයෙන්ම කටයුතු කරනු ලැබූ බව කියැවේ. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොව ඔවුන්ගේ පෞද්ගලික කළමනාකරුට හෝ ඒජන්තවරයාට ද විශාල මුදලක් උපයා ගැනීමට ඉඩකඩ සැලසේ. නමුත් මේ සිදුවිය යුතුව තිබුණේ ක්‍රිකට් ආයතනය සමඟ අදාළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඇතිකරගත් ගිවිසුමට බාධාවක් නොවිය යුතු වන අතර, එම ගිවිසුමට අදාළ කිසිදු කොන්දේසියක් උල්ලංඝනය නොවන ආකාරයෙනි. එය ඒ අයුරින් පවත්වා ගැනීම කළමනාකරු හෝ ඒජන්තවරයාගේ නොව ක්‍රීඩකයාගේ වගකීමක් විය.
ක්‍රිකට් ඒජන්ත චාලි ඔස්ටින්ගේ භූමිකාව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ආන්දෝලනයට තුඩු දුන්නේ ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේදී අනවශ්‍ය බලපෑම් සිදු කරන බවටත්, සිය පටු අරමුණු ඉටු කරගැනීමේ චේතනාවෙන් තමා සමඟ ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ රඳවා තබාගැනීමට කටයුතු කරන බවටත් චෝදනා එල්ලවීම හේතුවෙනි. අනිත් අතට මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට පෞද්ගලික කළමනාකරුවන් හෝ ඒජන්තවරුන් පත් කරගැනීම ඒ වනවිට කරළියේ වැඩි කතාබහට ලක් නොවීම හේතුවෙන් චාලි ඔස්ටින්ගේ සිදුවීමට වැඩි ප්‍රචාරයක් ද ලැබී තිබිණි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා අතර ඊට වැඩි ප්‍රචාරයක් ලැබී තිබූ අතර, ඔවුහු චාලි ඔස්ටින් පමණක් නොව ඔහු සමඟ ගිවිසුම් ගත වූ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන ඇතුළු ක්‍රීඩකයන්ගේ ද පතුරු හැරීමට පටන් ගත්හ. චාලි ඔස්ටින් යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවනු ලබන අදිසි හස්තය ලෙස හඳුන්වමින් එවකට ඔහු පිළිබඳ පළ වූ විවේචනාත්මක පුවත් අපමණය. ඉන් වැඩි ප්‍රමාණයකින් කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට ද චෝදනා එල්ල කර තිබිණි.
දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩාවෙන් ඔබ්බට ගොසින් සිය ආර්ථිකය ශක්තිමත් කරගැනීමටත්, ඉන් තම ආර්ථිකය ඉහළ දමාගැනීමටත් කටයුතු කළ චාලි ඔස්ටින් නමැති මේ පුද්ගලයා ශ්‍රී ලංකික බහුතරය අතර දැඩි විවේචනයට ලක් වූ කළු චරිතයක් බවට පත් වූයේ එලෙසිනි. ඇතැමුන් මේ පුද්ගලයා ලේබල්ගත කරනු ලැබුවේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ මාෆියාව ලෙසටය. තවත් සමහරු ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ‘ගෝඩ් ෆාදර්‘ ලෙස ලේබල් ගත කළහ. එය කෙසේ වුවත් චාලි ඔස්ටින් සමඟ ගිවිසුම්ගතව සිටි කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දැරුවේ වෙනත් අදහසකි.
කුමාර් සංගක්කාර කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඒජන්තවරුන්ගේ ක්‍රියා කලාපය මෙරට ක්‍රිකට් බලධාරින් මෙන්ම සාමාන්‍ය ජනතාව ද වරදවා වටහා ගෙන සිටින බවය. එවැනි ගිවිසුම් ක්‍රීඩාවට හානියක් නොවන බවත් එවකට චාලි ඔස්ටින් ආන්දෝලනාත්මක සිදුවීමක් වීමෙන් පසු කුමාර් සංගක්කාර ‘ක්‍රිකින්ෆෝ‘ වෙබ් අඩවියට කියා තිබිණි. ක්‍රීඩකයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ අවධාරණය කරමින් ඔහු සඳහන් කර ඇත්තේ එය නිදහස් කැමැත්තක් බවත්, එසේ කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත්ය. සිය ක්‍රිකට් දිවිය තුළ තමාට පිටියෙන් පිටත කටයුතු කළමනාකරණය කර ගැනීමට එමඟින් අවස්ථාව ලැබී තිබූ බැවින් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට තරම් නිදහසක් ලැබුණු බවය.
එතෙර මෙතෙර ඉහළ මට්ටමේ වෘත්තියවේදීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ තොරතුරු ගබඩාව වන ලින්ක්ඩ්-ඉන් වෙබ් අඩවියේ ගිණුමට අනුව චාලි ඔස්ටින් යනු සසෙක්ස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පාරිසරික, සංවර්ධන හා ප්‍රතිපත්ති සකස් කිරීමේ විෂයයන් සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. හෙතෙම දශකයකට වැඩි කාලයක් මෙරට ජීවත්වන අංක එකේ විදේශිය ව්‍යාපාරිකයෙකි. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඒජන්තවරයා ලෙස කටයුතු කිරීම හැරුණු විට මෙරට ප්‍රමුඛතම රෙඩ් ඩොට් ටුවර්ස් සංචාරක ව්‍යාපාර සමාගමේ හිමිකරුය. ක්‍රීඩකයන් කළමනාකරණය කිරිමේ අරමුණින් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ ඔස්ටින් කළමනාකරණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාය. ඔහු ටියර්ඩ්‍රොප් හෝටල් සමූහයේ සම නිර්මාතෘවරයා ද වන බව එහි සඳහන් වේ. බංග්ලාදේශයේ ප්‍රිමියර් ලීග් තරග බිමේ ඩැකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් බඳවා ගැනීමේ සහ කළමනාකරණය කිරීමේ අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරන බව ලින්ක්ඩ්- ඉන් වෙබ් අඩවියේ ඔහුගේ ගිණුමෙහි සඳහන් වේ. ඉන් කියැවෙන්නේ චාලි ඔස්ටින් නාමය දේශීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වූවත්, සෑහෙන කාලයක් යනතුරු ඉහළ මට්ටමේ කෝටිපතියකු ලෙස මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ රැඳී සිටිනු ඇති බවය.