රටේ ආර්ථිකය දැන් ස්ථාවර වෙමින් තිබෙනවා | සිළුමිණ

රටේ ආර්ථිකය දැන් ස්ථාවර වෙමින් තිබෙනවා

 

පල්ලමකට වේගයෙන් ගමන් කරමින් තිබූ වාහනයකටයි ඔබ ගොඩ වුණේ. ඔබට මේ වාහනය නතර කරගන්න පුළුවන් වුණාද ? නැතිනම් තව දුරටත් පල්ලමට ගමන් කරනවාද?

වේගයෙන් ගමන් කළ වාහනය නතර කර එය අපේ පාලනයට යටත් කරගන්න හැකි වී තියෙනවා. ඒ වගේම ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් වෙලා ඇති බව කියන්න පුළුවන්.

විදේශ රටවලට, බැංකුවලට ගෙවීමට ඇති ණය ගෙවීම් මේ වන විට නතර කර තියෙනවද? ණය ගෙවීමේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?

ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය දිගටම ගෙවා ගෙන යනවා. ද්විපාර්ශ්වීය ණය ගෙවීම් නතර කර එය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කරගෙන යනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා  ලසාඩ් මූල්‍ය උපදේශන සමාගමටත්, ලොව විශාලතම නීති ආයතන දහයෙන් එකක් ලෙස සැලකෙන ක්ලිෆඩ් චාන්ස් එල්.එල්.පී. නීති උපදේශන සමාගමටත් පවරලා

තියෙනවා. මහ බැංකුවේ ඒ සඳහා ප්‍රවීණයන් සිටිද්දි විශාල මුදලකට විදේශීය සමාගම්වල සහාය ගන්නේ ඇයි?

ණය ප්‍රතිව්‍යුහගතකරණය අපිට අලුත් දෙයක්. මෙය අපේ අය කවදාවත් කර තිබූ දෙයක් නෙමෙයි. අපිට ඒ අත්දැකීම අඩු නිසයි, විශේෂඥ දැනුමැති විදේශීය සමාගම් ඒ සඳහා සම්බන්ධ කර ගත්තේ. ඒ වගේම ණය දුන් අයත් අපේක්ෂා කරන්නේ අත්දැකීමක් ඇති අයගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගැනීමටයි.

ඔබ මහ බැංකු අධිපති ලෙස පත්වූ මේ කාලය තුළ කොපමණ ණය ප්‍රමාණයක් ගෙවා අවසන් කර ඇත්ද?

මම මහ බැංකුවේ අධිපති වීම ණය ගෙවීමට සැලකිය යුතු කරුණක් නෙමෙයි. ගෙවන ණය ප්‍රමාණය එයින් අඩු වැඩි වන්නේ නැහැ. ප්‍රතිපත්තියයි වැදගත් වන්නේ. මේ ක්‍රියාවලිය කවුරු අධිපති වුණත් දිගටම කරගෙන යා යුතු වෙනවා.

මේ වන විට තෙල්, ගෑස් පෝලිම් නැතිවී, යම් මට්ටමකට මිල අඩුවී සාධනීය වෙනසක් අපි අත්දකිනවා. මේ තත්ත්වය ඇතිවීමට ඩොලර් ලංකාවට ලැබුණාද?

අද විදුලිය කැපෙන්නේ අඩුවෙන්. අවශ්‍ය ප්‍රමාණයට තෙල් පවතිනවා. ගෑස්, තෙල් පෝලිම් නැහැ. යම්තාක් දුරකට සාමාන්‍ය තත්ත්වයකට රට පත්ව තියෙනවා. මේ අවස්ථාවේ රජය හා මහ බැංකුව ගත් ප්‍රතිපත්තිමය තීරණ නිසයි මේ තත්ත්වයට පත්කර ගන්න හැකි වුණේ. ඒ වන විට අපිට තිබෙන මුදල් කළමනාකරණය කර ගනිමින් අත්‍යවශ්‍ය දේට මුදල් යොදා ගැනීම සිදු වෙනවා. මෙහිදී කරුණු දෙකක් බලපෑවා. අපි විදේශ ණය ගෙවීම අත්හිටුවීම හා ඒ මුදල අත්‍යවශ්‍ය සේවාවන්ට යොමු කිරීම. දෙවැන්න මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් ඉල්ලුම හා පරිභෝජනය අඩු කරන්න හැකි වීම. මේ නිසා ලැබුණු විදේශ මුදල් නිසියාකාරව කළමනාකරණය කර ගන්න හැකි වුණා. එසේ සිදු නොවිණි නම් විශාල කැලඹිමක් රට තුළ ඇතිවන්න තිබුණා.

වර්තමානයේ ජනතාව ලැබෙන දෙයින් ජීවත් වීමට හුරු වුණා. QR එකට තෙල් ගහනවා. ආනයනික භාණ්ඩ අඩුයි. අපේ රටෙන්ම මේ ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබූ බව නේද මෙයින් පෙනෙන්නේ?

තාවකාලිකව පුළුවන්. නමුත් අපි මේ තත්ත්වයෙන් තව ඉදිරියට යාමට නම් විදේශ විනිමය අාදායම වැඩි කරගත යුතුයි. ගෙවීමට ඇති ණය අඩුකර ස්ථාවර කර ගත යුතුයි. එසේ කර ගත හොත් ලබන වසරේදී මීට වඩා හොඳ තත්ත්වයකට රට පත් විය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම, ගෙවීමට ඇති ණය සඳහා සහන කාලය දිගු කර ගැනීම වැනි මේ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාමෙන් අපේ බලාපොරොත්තුව ලබන වසරේදී යම් හොඳ තත්ත්වයකට රට පත් කර ගැනීමයි.

පොලී අනුපාතික වැඩිකර මුදල් පාලනයට ඔබ ගත් පියවර ප්‍රශංසනීයයි. නමුත් ජනතාවට අධික ණය පොලිය දරා ගන්න බැහැ?

අධික ණය පොලිය ඉහළ යන්නේ උද්ධමනයට සාපේක්ෂවයි. තැන්පත්කරුවන්ගේ මුදලින් තමයි මේ ණය දෙන්නේ. තැන්පත්කරුවන්ට ලැබෙන්නේ සියයට 22ක පමණ පොලී අනුපාතිකයක්. උද්ධමනය සියයට 60 නම්, තමන්ට පොලිය ලැබෙන්නේ සියයට 22ක් නම් ඉතිරි කරගත් මුදලේ අගය අඩු වෙනවා. මේ නිසා ඉතුරු කරන්නාට තවමත් උද්ධමනයට ගැළපෙන පොලියක් ලැබෙන්නේ නැහැ. තැන්පත් කරන්නාට සාපේක්ෂව ණය ගන්න කෙනාට ගෙවීමට ඇති පොලිය අඩුයි. පොලී අනුපාතික වැඩි කිරීම තුළින් පමණයි උද්ධමනය පහතට ගෙන ආ හැකි වන්නේ. පොලිය අඩු වෙලා උද්ධමනය වැඩි වෙනවා නම් කිසිම අයකුට ව්‍යාපාර කරලා වැඩක් නැහැ. උද්ධමනය නිසා නිෂ්පාදන වියදම වැඩි වෙනවා. ඒ නිසා කළ යුතු පළමු දේ වන්නේ උද්ධමනය අඩු කිරීමට පොලී අනුපාතික වැඩි කිරීමයි. ව්‍යාපාර පවා කඩා වැටෙන්නේ උද්ධමනය වැඩි වීම නිසයි. සියලු ව්‍යාපාර කඩා වැටිලා අධි උද්ධමනකාරි තත්ත්වයකට පත් වුණොත් ඒ රට ලේසියෙන් ගොඩ දාන්න බැහැ.

ඒත් ජනතාවට වැදගත් වන්නේ මේ පොලී අනුපාතික කොපමණ කලක් පවතීවිද? ස්ථාවර තැන්පතු සඳහා ලබා දුන්  20% ක බැංකු පොලී සහනය තව කොපමණ කාලයක් ලැබෙයිද?

උද්ධමනය ඉදිරියේදී අඩු වෙනවා නම් පමණයි, ණය පොලී අනුපාතික අඩු කළ හැකි වන්නේ. මේ මාසයේ තමයි වැඩිම උද්ධමනය ඇත්තේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මේ මාසේ උද්ධමනය සියයට 69.8 ක්. අපේ පුරෝකතනය අනුව ලබන මාසේ සිට උද්ධමනය ක්‍රම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහෙම අඩු වුණොත් පොලී අනුපාතික අඩු වීමක් සිදු වෙනවා. එසේ නොවී සමහර විට උද්ධමනය වැඩි වුණොත් පොලී අනුපාතික වැඩි කරන්නත් සිදු වෙනවා. ඒ නිසා වැදගත් දේ උද්ධමනය පාලනය කිරීම.

බඩු මිල වැඩි වෙලා ජනතාව දැඩි පීඩනයකට පත් වෙලා. ජනතාවට සහනයක් ලැබෙන කාලයක් කවදා උදා වේවිද?

උද්ධමනය කියන්නේ බඩු මිල වැඩි වීමයි. අපිට අවශ්‍ය බඩු මිල වැඩි වීමේ වේගය අඩු කිරීමයි. සමහර භාණ්ඩවල සැපයුම වැඩි වුණොත් එහි මිල අඩු විය හැකියි. එසේ නොමැතිව බඩු මිල අඩු වන්නේ නැහැ. අපේ අරමුණ බඩු මිල අඩු මට්ටමකින් වැඩි වීම පාලනය කිරීමයි. ඒ නිසා ලබන අවුරුද්දේ බඩු මිල අඩු වෙයි කියා බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍යයෙන් වැඩි වුණු බඩු මිල අඩු වීමේ ප්‍රවණතාව අඩුයි. බඩු මිල අඩු වෙන්න නම් උද්ධමනය ඍණ වී අවධමනයක් සිදු විය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ. රටකට අවධමනයක් දීර්ඝ කාලීනව තිබුණොත් ඒ ආර්ථිකය දිගටම පවතින්න බැහැ. ඒ රටේ කර්මාන්ත‍, නිෂ්පාදන කඩා වැටෙනවා. දිගුකාලීනව රටේ බඩු මිල අඩු වීම ඒ රටේ ආර්ථික ස්ථාවරත්වයට හානියක්.

රාජ්‍ය ආදායම් උත්පාදනයට තවමත් මුදල් අච්චු ගහනවද? ඒ කුමන කාරණා සඳහාද?

රාජ්‍ය ආදායම වැඩි කිරීමටයි බදු පනවා ඇත්තේ. රාජ්‍ය ආදායම වැඩි වුණොත් මුදල් අච්චු ගැසීමේ අවශ්‍යතාව අඩු කළ හැකියි. මුදල් අච්චු ගැසීම අනවශ්‍ය ආකාරයට සිදු වුණොත් තමයි උද්ධමනය අඩු කිරීමට නොහැකි වන්නේ. මහ බැංකුව ලෙස ආර්ථික ක්‍රියාකාරිත්වයට අපි යම් කිසි ප්‍රමාණයක් මුදල් අච්චු ගැසිය යුතුයි. රජයට ඒ ඒ මාසයේ යම් ආදායමක් නොලැබුණත් රාජ්‍ය සේවක වැටුප් නොගෙවා සිටින්න බැහැ. එවිට මහ භාණ්ඩාගාරයෙන් හෝ මහ බැංකුවෙන් මුදල් ගැනීමට රජයට සිදු වෙනවා. 2020-2021 වසරවල රජයේ ආදායමට වඩා වියදම තුන් ගුණයකින් වැඩි වුණා. එම නිසා ආදායම ප්‍රමාණවත් නොවූ නිසා මහ බැංකුවෙන් දිගින් දිගටම ණය ලබා ගත් නිසයි, මේ උද්ධමනය ඇති වුණේ.

අද ඩොලරය හිර කර ගෙන ද සිටින්නේ? අත්‍යාවශ්‍ය දේට ඇති පමණට ඩොලර්  තිබෙනවාද?

ඩොලරය හිර කර නැහැ. වෙළෙඳපොළේ යම් පාරාසයක් තුළ අඩු වැඩි වීමේ අවස්ථා දී තියෙනවා.

මේ වන විට මුළු විදේශ සංචිත ප්‍රමාණය කොපමණද?

සැප්තැම්බර් මාසය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.8 යි. මෙයට චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමත් ඇතුළත්. අපනයන ආදායම ජූලි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 1,164 ට සාපේක්ෂව අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,224 ක් දක්වා ඉහළට ගියා. එසේම ආනයන වියදම පෙර මාසයේ වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,287ට සාපේක්ෂව අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,486ක් දක්වා ඉහළට ගියා.

ආර්ථිකය නඟා සිටුවීමේ රජයේ වැඩ පිළිවෙළ කුමක්ද?

රජයේ වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදීත්, අතුරු අය වැයේදීත් ඉදිරිපත් කර තිබුණා. රටේ උද්ධමනය පාලනය කිරීම, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හා විදේශ සංචිත පාලනය කිරීම යන කාරණාවලදී අපේ මැදිහත් වීම ලබා දෙනවා.

රට පෙර තිබූ තත්ත්වයට පත් වීමට, උද්ධමනය පාලනයට තව කොපමණ කාලයක් බලා සිටිය යුතුද?

එය එක දිනකින් කළ හැකි දෙයක් නෙමෙයි. මේ වන විට අපි ක්‍රමානුකූලව ස්ථාවර වෙමින් පවතිනවා. ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගෙන ලබන වසර වන විට භාණ්ඩ සුලබව ලබා දිය යුතු වෙනවා. කර්මාන්ත ව්‍යාපාර යළි පෙර තිබූ තත්ත්වයට ක්‍රමයෙන් පත් වන විට රට යළිත් සුපුරුදු තත්ත්වයට පත් විය හැකියි. මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 8 කින් අඩු වුණා. මේ නිසා ගිය වසරේ තිබුණු තත්ත්වයට ආර්ථික වර්ධන වේගය යළි පැමිණීමට නම් සියයට 8 කින් වැඩිවිය යුතුයි. ඒ සඳහා වසර දෙක තුනක් යාවි. අපි කරගෙන යන මේ ස්ථාවර ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන ගියොත් යළි කඩා වැටීමක් සිදු වන්නේ නැහැ. අසීරුකම් තියෙනවා. වේදනාව විඳගෙන අපි එයින් ගොඩ ආ යුතුයි.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ තත්ත්වය කෙබඳු ද?

මේ වන විට ඔවුන් හා අපි එකඟතාවකට පැමිණ තියෙනවා. රජය හා මහ බැංකුව විසින් කරගෙන යන වැඩපිළිවෙළ ඔවුන් පිළි ගෙන තියෙනවා. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී තමයි IMF මූල්‍යමය සහයෝගය දීම ආරම්භ කරන්නේ. එය දෙසැම්බර් මාසයේ පමණ බලාපොරොත්තු වෙනවා. IMF ණය ලබා ගැනීමට අපේ ණය ප්‍රතිව්‍යූහගත කර තිරසර මට්ටමට පළමුවෙන්ම ගෙන ආ යුතුයි. ඒ සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒ විශ්වාසය මතයි ණය දීම ආරම්භ වන්නේ. මේ වසරේ දෙසැම්බර් හෝ ඊළඟ වසරේ ජනවාරි මස වන විට ණය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

යම් හෙයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට අදහස් කරන එක්සත් ජනපද ඩොලර් බිලියන 3 නැති වුණොත්, දෙවැනි පියවරකට සූදානම්ද?

ණය ලබා ගැනීම ප්‍රමාද වුව හොත් වන්නේ දැනට තිබෙන තත්ත්වය දිගටම පවතිනවා. නමුත් වැඩිපුර මුදලක් ලැබුණොත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි වෙනවා.

ඉදිරියේදී අයවැයක් එනවා. පීඩාවට පත්වූ ජනතාව සහන අපේක්ෂා කරනවා. ඇත්තටම ඉදිරි අයවැයෙන් රජයට සහන ලබා දිය හැකි වෙයිද?

අයවැය කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඉදිරි වසර තුළ ආර්ථික ස්ථාවරත්වයකට පත් කරන්නේ කෙසේද යන වැඩපිළිවෙළ එහි ඉදිරිපත් විය යුතුයි. එහිදි සහන ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන්. සහනාධාර පාවිච්චි කර බඩු මිල අඩු කිරීමෙන් ආර්ථිකයට සහනයක් ලැබෙන්නේ නැහැ. එයින් රට තවත් අමාරුවේ වැටෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව ජනතාවට සහනයන් දිය හැක්කේ ආර්ථිකය ස්ථාවර කළොත් පමණයි. ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරි අයවැයෙන් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මැතිවරණයක් පැවැත්වීම කෙරෙහිත්  අවධානය යොමු කර තියෙනවා. මේ අවස්ථාවේ රටට අවශ්‍ය මැතිවරණයක්ද? මැතිවරණයක් පවත්වා රට ගොඩ දැමිය හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

එය දේශපාලන ක්‍රියාවලියට අයත් දෙයක්. මහ බැංකු අධිපති වශයෙන් මම එවැනි දේවල් ගැන අදහස් ප්‍රකාශ නොකළ යුතුයි. කවුරු ජනාධිපති, අගමැති වුවත්, කොයි රජයක් ආවත් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. කවුරු බලයට ආවත් දේශපාලනමය වශයෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි.

සේයාරූ - සුලෝචන ගමගේ

 

Comments