මන්නා­රම් වැල්ල රත්වූ වැලි කැණීම | සිළුමිණ

මන්නා­රම් වැල්ල රත්වූ වැලි කැණීම

පසු­ගිය අගොස්තු 29 වැනිදා ඛණිජ වැලි කැණී­මට විරු­ද්ධව මන්නා­රම් දුපතේ පැවැත්වූ විරෝ­ධ­තාව
පසු­ගිය අගොස්තු 29 වැනිදා ඛණිජ වැලි කැණී­මට විරු­ද්ධව මන්නා­රම් දුපතේ පැවැත්වූ විරෝ­ධ­තාව

ර්ග කිලෝමීටර් 140 ක් පුරා විහිදි ගිය පාරිසරික වශයෙන් සංවේදී මනස්කාන්ත මන්නාරම් දුපත ලංකාවේ වූ විශාලතම දූපත්වලින් එකකි. අතීතයේ මුතු කර්මාන්තයට ප්‍රසිද්ධ වූ මේ දුපත මුහුදේ ඈතට පැතිර යන විට වැලිපර දූපත් පන්තියක් බවට පත්වන බව වාර්තා වෙයි. ඉන්දියාවේ දනුස්කොඩි වෙරළ දක්වා දිවයන ආදම්ගේ පාලම නමු වූ පාලමේ ආරම්භක ස්ථානය මන්නාරම ලෙස සැලකෙන අතර දස දහස් ගණනින් වූ ලොව ප්‍රධාන පෙළේ පක්ෂීන්ගේ ගමන් මාර්ග වැටි ඇත්තේද මේ හරහා බව පරිසර විද්‍යාඥයන්ගේ මතයයි. සංචාරක පක්ෂීන්ගේ කුරුලු රජදහනක් වන අතර පක්ෂීන්ගේ නවාතැන වන්නේ මන්නාරමේ වූ ලවණ බිම්ය. අරාබි වෙළෙන්දන් විසින් ලංකාවට ගෙන ආ දුලබ බයෝබැක් ගස් 40 න් 34 ක්ම පිහිටා ඇත්තේ මේ මන්නාරම් දූපතේය. එසේම ජෛව විවිධත්වයෙන් ඉහළ මන්නාරම් වන්කාලෙයි අභය භූමියද මේ වන විට රැම්සා තෙත් බිමක් වශයෙන් නම් කර ඇත. මේ සියලු අගනාකම් පරයමින් මුදල ඉස්මතු වෙමින් ජෛව විවිධත්වයෙන් පිරිපුන් වූ මේ දූපතට දැන් කණ කොකා හඬන්නට පටන් ගෙන ඇත. මේ භූමිය සතුවූ අගනා ඛනිජ වැලි නිධිය නිසාය.

 

මේ දූපත තුළ ආසන්න වශයෙන් පවුල් 6,000 ක් පමණ ජීවත් වෙතැයි ගණන් බලා ඇතිද බොහෝමයකට මෙහි ඉඩම් ජීවිත භුක්තියට නතුව ඇති අතර තවත් අයට ජීවිත භුක්තියට යටත්ව නැත. විදේශිකයන්ගේද ආකර්ශනය රැදී මේ දූපතේ බහුතරයක් ජීවන ගමන ගෙනියන්නේ දුපත වටා වූ මුහුදේ මත්ස්‍ය කර්මාන්තයෙනි. වර්ග කිලෝ මීටර 140 ක භූමි භාගයකින් යුතු වූ මේ මන්නාරම් දුපත ගැන අවධානය යොමු කරන පාරිසරික විද්‍යාඥයන් තර්ක කරන්නේ මන්නාරම් භූමියේ වූ වැලි හැරීමෙන් නොබෝ දිනකින් මේ භූමිය අහිමි විය හැකි බවකි.

මන්නා­රම් දුපතේ ඛනිජ වැලි ගවේ­ෂණ කට­යුතු සිදු කරන අවස්ථා

පරිසරවේදීහු හා විවිධ විද්වත්හු මන්නාරම රැක ගැනීමේ විශාල සටනක නිරතව ඇත්තේ තව නොබෝ දිනකින් මේ භූමියේ කිසිදු පරිසර වාර්තා නොතකා සිදු කිරීමට නියමිත වැලි ලබා ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සූදානමක් ඇති නිසාවෙනි. මන්නාරම් භූමිය වර්ග කිලෝ මීටර 140 ක් වුවද මේ ව්‍යාපෘතියට වර්ග කිලෝ මිටර 204 ක භුමියක් අයත් වේ. ඒ මුහුදද ඇතුළුවය. මේ තුළින් ලබා ගැනීමට අපේක්ෂිත වැලි ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 265 කි. මන්නාරම් දූපතේ වැලි සැලකීමේදි ඉල්මනයිට්, රූටයිල් හා සර්කොන් ගානට් නම් බැරලෝහ අධික ලොව හතරවැනි විශාලතම ඉල්මනයිට් නිධිය පිහිටා ඇත්තේ මේ භූමියේය.

ලොව පුරා ඉල්ලුමක් ඇති මේ නිධිය පිළිබඳ ඇස වැටුණේ 2015 වසරේදි වන අතර පරිසරවේදීහු පවසන්නේ මේ වන කාලය තුළ තලෛයිමන්නාරමේ සිට තල්වුපාඩු දක්වා ප්‍රදේශවලින් වැලි සාම්පල 468 ක් පරීක්ෂණ කටයුතු සඳහා දකුණු අප්‍රිකාවට ගෙන ගොස් ඇති බවය. 2015 -2019 දක්වා මේ වැලි ගැනීමට කුහර

( Bow holes) 3500 කට වඩා විද වැලි සාම්පල 400 කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇත. මීටර 12 ක් පමණ ගැඹුරු සිදුරු 473 ක් සිදු කර ඇත. සමහරක් අවස්ථාවල ඉඩම්වලට බලෙන් ඇතුළු වී මීටර ගණන් පමණ ගැඹුරට හාරා ඇති බවද මන්නාරම් ජනතාව චෝදනා කරති.

ඔස්ට්‍රේලියාවේ Titanium Sands Ltd (TSL) මන්නාරම දූපතේ සිදු කරන ලද ඛනිජ වැලි ගවේෂණ ව්‍යාපෘතියකට සම්බන්ධ වී ඇත්තේ 2015 වසරේ සිටය. පළාත් පාලන ආයතන ප්‍රකාශ කරන්නේ එම සමාගමට ඇත්තේ ගවේෂණ බලපත්‍රයක් පමණක් බවය. එසේම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් එවැනි පතල් කැණීමේ බලපත්‍රයක් ලබා දී නොමැති බව වාර්තා වෙයි. නමුත් ඒ කිසිදු තැකීමක් නොකරමින් ඉඩම්වල පතල් කැණීම්, වළවල් හෑරීම සහ වැලි හෑරීම සිදු කරන බවකි.

ප්‍රදේශයේ සිවිල් සංවිධාන පමණක් නොව ආගමික සංවිධාන පවා එක හඬින් පවසන්නේ මෙය වහාම නැවැත්විය යුතු බවයි.

“ මන්නාරම මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටා තිියෙන නිසා මිනිසුන්ගේ දෛනික ජීවනෝපාය ඇතුළු බොහෝ දේ අහිමි වෙමින් පවතිනවා. මේ අයගේ ජීවිතයේ සැබෑ තත්ත්වය දකින්න යැයි මම ඉල්ලා සිටිනවා. මන්නාරම සුවිශේෂී දූපතක් වුවත් අද එය අසාධාරණ දූපතක් බවට පත්වෙමින් පවතියි. ඒ අය හුදෙකලාව ජීවත් වන අසරණ පිරිසක්. නමුත් එහි සුන්දරත්වය විනාශ කර එය ජීවත් වීමට නුසුදුසු කාලකණ්ණි ස්ථානයක් බවට පත් නොකරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මන්නාරම දූපතේ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න රජය මීට වඩා කැපවිය යුතුයි. අපි සියලු දෙනා ආයාචනා කරන්නේ මන්නාරමේ සිදු වන වැලි ගොඩ දැමීමේ ව්‍යාපෘතිය වහා නවත්වන ලෙසත් මෙහි ජනතාවට යුක්තිය පසිඳලන ලෙසත්. කිසිදු ඉදිකිරීමක් නොකරන ලෙසත් ඉල්ලනවා“ ඒ මන්නාරම් පුරවැසි කමිටුවේ ප්‍රධානී ඒ. ඥානප්‍රගාසම් පියතුමාගේ ඉල්ලීමයි.

වමේ සිට - මාධ්‍ය සාක­ච්ඡා­වට එක්වූ පරි­සර යුක්ති කේන්ද්‍රයේ විධා­යක අධ්‍යක්ෂ හේමන්ත විතා­නගේ, ජෙරොම් ලිය­නගේ, ඒ. ඥාන­ප්‍ර­ගා­සම් පිය­තුමා, මන්නා­රම් කාන්තා සංව­ර්ධන සම්මේ­ල­නයේ කේ. මහා ලක්ෂ්මි, මන්නා­රම් පුර­වැසි කමි­ටුවේ අසීම් මවු­ල­වි­තුමා හා කාන්තා අයි­ති­වා­සි­කම් පිළි­බඳ ක්‍රියා­කා­රීන් ශ්‍රීන් ෂැරෝර්

ටයිටේනියම් ඔක්සයිඩ් ලබා ගැනීමේ ප්‍රධාන අමුද්‍රව්‍ය ඉල්මනයිට්ය. මෙය ලෝකයේ ඉතා වටිනා එමෙන්ම මිලෙන් අධික ඛනිජ ද්‍රව්‍යයකි.

“ කැණීම් බලපත්‍රයක් නොමැතිවයි, මේ සමාගම දෙසැම්බර් මාසයේදී පතල් කැණීම ආරම්භ කරන්නේ. සියල්ලටම තියෙන්නේ කෙටි කාලයකුයි. ටයිටේනියම් සෑන්ඩ්ස් පවසන්නේ මන්නාරමේ ඇති ඉල්මනයිට් නිධිය ලෝකයේ විශාලතම හතරවන නිධිය බවයි. ඉල්මනයිට් වැලි භාවිත කරන්නේ ටයිටේනියම් ලෝහය සෑදීමට. එය සැහැල්ලු හා ශක්තිමත්. වෛද්‍ය විද්‍යාවේ සිට අභ්‍යවකාශ යානා වැනි සෑම දෙයක්ම සෑදීමට මෙම ඉල්මනයිට් භාවිත කරනවා. මේ ඉල්මනයිට් යොදා ගෙන කරන සංවර්ධිත දෙයක් කරනවට අපේ විරුද්ධත්වයක් නැහැ. අපි විරුද්ධ මේ හරහා සිදුකරන විශාල හෑරීම්වලටයි.

එසේම මෙයින් ලංකාවට ලැබෙන ලාභය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මෙයින් නිමි භාණ්ඩයක් සකස් කිරීමක් සිදු වන්නේ නැහැ. 4300 ක් වළවල් හරා තියෙනවා. මේවා බොහෝමයක් නීති විරෝධියි. ව්‍යාපෘතියක් කිරීමේදි ආදායම් වියදම් ගැන කතා කළ යුතුයි. මේ හරහා මන්නාරමට කිසිදු වාසියක් සිදු වන්නේ නැහැ. ටයිටේනියම් වැලි වර්ග කිලෝමීටර් 204 ක ප්‍රදේශයක් ඉලක්ක කර ඇති නමුත් මන්නාරම දූපතම වර්ග කිලෝමීටර් 140 ක් පමණයි තියෙන්නේ. මේ වන විට වළවල් හාරා තියෙන්නේ ඉඩම් හිමියන්ගේ අවසරයකින් තොරවයි. මේ සියල්ල සිදු වන්නේ නීති විරෝධීවයි. ” ඒ Bridging Lanka හි විධායක අධ්‍යක්ෂ ජෙරොම් ලියනගේය.

වමේ සිට - මන්නා­රම් පුර­වැසි කමි­ටුවේ ප්‍රධානී ඒ. ඥාන­ප්‍ර­ගා­සම් පිය­තුමා, මධ්‍යම පරි­සර අධි­කා­රියේ සභා­පති  එස්. අම­ර­සිංහ, භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශයේ සභා­පති ආචාර්ය සෙන­රත් හේවගේ සහ
Bridging Lanka හි විධා­යක අධ්‍යක්ෂ ජෙරොම් ලිය­නගේ 

මන්නාරම දූපතේ බොහෝ තැන් මුහුදු මට්ටමට වඩා පහළින් ඇත. මේ හෑරීම් නිසා විශාල වශයෙන්ම මුහුුද ගොඩ ගැලීමට ඉඩ ඇත. මුහුදු ජලය ගොඩ බිමට ගලා ඒම නිසා ඉදිරියේදී පානිය ජලය පවා විනාශයට ලක්වෙතැයි අනුමාන කරති. පසුගිය කාලයේ තදින්ම ගංවතුරට ලක් වූ අතර ඒ තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකියි. ස්වභාව ධර්මයේ පිහිටෙන් මෙහි ජීවත් වන්නන් මේ නිසා අද බියෙන් පසුවෙති.

තවත් පැත්තකින් ඉල්මනයිට් යනු ටයිටේනිටම්, රූටයිල් හා සර්කෝන් වැනි අගය වැඩි කිරීම හරහා ආදායම් වැඩිකර ගත හැකි ඛනිජ ද්‍රව්‍යයන්ය. නමුත් ලංකාවේ මේවා පිරිසිදු නොකර විකිණීම නිසා අපේක්ෂිත ලාභය ගිලිහී යන අතර අපට අත්වන්නේ රාජ්‍ය භාගය පමණි.

මන්නාරමේ වැලි කැණීමට දැනට උත්සාහ කරන Titanium Sands Ltd (TSL)දෙදෙනෙක්ට අයිති එකක් බව වාර්තා වෙයි. නමුත් ලංකාවේ භූ විද්‍යා හා පතල් කැණීමේ පනත හරහාද ගවේෂණයකට මෙවැනි සමාගමකට බලය දිය නොහැකි බව අදහසයි. 2015 සිට වරින් වර බලපත්‍ර 5 ක් භාවිත කරමින් මොවුන් ගවේෂණය සිදු කර ඇතිබව වාර්තා වෙයි.

මුලින් මෙයින් බලපත්‍ර 5 ක් මොරිෂස් සමාගමකට විකුණන අතර එය පසුව ඔස්ට්‍රේලියානු සමාගම බාර ගෙන ඇති බව වාර්තා වෙයි. භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය පවසන්නේ එවැනි බලපත්‍රයක් ඔවුන්ට නැති බවත්, පෞද්ගලිකව බලපත්‍රයක් විකිණීමේ එවැනි අයිතියක් නොමැති බවත්ය. නමුත් පරිසරවේදීහු චෝදනා කරන්නේ මෙම බලපත්‍ර නීති විරෝධීව භාවිත කරන තෙක් අදාළ කාර්යාංශය සිදු කළේ කුමක්ද යන්නයි.

මෙවැනි කැණීමක් සිදු කරන්නට නම් අපේ පරිසර පනත් ක්‍රියාත්මක විය යුතු අතර වෙරළ ප්‍රදේශය සඳහා වෙරළ සංරක්ෂණ පනත යටතේ පරිසර තක්සේරු වාර්තා ලබා ගත යුතුව ඇති බව ඒ සම්බන්ධ විරෝධතා ප්‍රකාශ කරන්නවුන්ගේ අදහසයි.

“ මේ පිළිබඳ පැමිණිලි කිහිපයක් ලැබුණා. ඒ අවස්ථාවලදි අපි ඒවා ගැන සොයා බැලීමක් කළා. නමුත් මුහුදු තීරුවේ සිට කිලෝ මීටර 2 ක් මුහුදට මෙන්ම ගොඩබිමට මීටර 300 අයිති වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට. මේ නිසා අපිට ඒ සම්බන්ධව අත ගහන්න කිසිදු අයිතියක් නැහැ.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවලට නිර්දේශ නිකුත් කරන්නට මධ්‍යම පරිසර අධිකාරියට බැහැ. නමුත් මන්නාරම් දුපත තුළ කිසිදු නීති විරෝධි කටයුත්තක් සිදුවන බවට අපිට වාර්තා වෙලා නැහැ. අපිට වාර්තා වුණේ ගවේෂණයක් පමණක් සිදු කරන බවට. ඒ සඳහා ඇනුමැතිය දීමේ අයිතිය තියෙන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටයි. “ ඒ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහය.

පරිසර යුක්ති කේන්ද්‍රය මේ සටනේදී මන්නාරම් වාසීන්ට ශක්තියක් දෙන්නේ ඔවුන්ට සාධාරණයක් ඉටු කර දෙන්නටය. පරිසර යුක්ති කේන්ද්‍රෙය් අධ්‍යක්ෂ හේමන්ත විතානගේ අැතුළු පරිසරවේදීහු අදාළ බලධාරින්ගේ අවධානය මේ වෙත යොමු කරවන්නටත් සුන්දර මන්නාරම් දුපත රැක ගන්නටත් ගන්නේ අපමණ වෙහෙසකි. පසුගියදා මීට අදාළ මන්නාරම් දූපතේ සංවිධාන කොළඹට ගෙන්වා මාධ්‍ය හමුවක්ද පැවැත්වූයේද ඒ අරමුණිනි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය සෙනරත් හේවගේ පවසන්නේ මෙය රටට අතිවිශාල ආදායමක් හිමිවන ව්‍යාපෘතියක් බවත් එමඟින් මන්නාරම් දූපතට කිසිදු හානියක් සිදු නොවන බවත්ය.

“ මේ වන විට සිදුකර ඇත්තේ ගවේෂණ පමණයි. වසර 4 ක කාලයක් තුළ මේ ගවේෂණයන් සඳහා අදාළ බලපත්‍ර ඔස්ට්‍රේලියානු සමාගම් 4 කට දුන්නා. ඔවුන් ඉදිරිපත් කළා මේ මන්නාරම් වැල්ලේ 5%-10% ක් දක්වා ඛනිජවැලි, එනම් මෙට්‍රික් ටොන් මිලියන 260 ක් තිබෙන බව. උදාරහණයක් වශයෙන් ඛණිජවැලි මෙට්‍රික් ටොන් 1 ක් ඩොලර් 300 ක් පමණ වෙනවා.

මෙමඟින් ඩොලර් බිලියන 80 ක් සම්පූර්ණ ආදායමක් රටට ලබාගත හැකි වෙනවා. එහි ශුද්ධ ලාභය පමණක් ඩොලර් බිලියන 25-30 ක්. එය අවුරුදු 50 ක පමණ කාලයක් යන ව්‍යාපෘතියක්.

නමුත් මේ කැණීම් සඳහා අවසර ලබා දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන් හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තා ලැබුණු පසුයි. මේ සඳහා තව වසරක කාලයක් ගතවිය හැකියි. එයින් පසුවයි, කැණීම් බලපත්‍ර ලබා දෙන්නේ. නිර්දේශ ලැබීමෙන් පසුව ඔස්ට්‍රේලියාවෙන් අධි තාක්ෂණික කර්මාන්ත ශාලාවක් මන්නාරම් දුපතේ ඉදි කරනවා.

මුල් අදියරේ අපේක්ෂාව වන්නේ වසරකට ඛනිජ වැලි මෙට්‍රික් ටොන් මිලියන 1 ක් ආයෝජනය කිරීම. මෙය රැකියා අවස්ථා 300 ක් බිහි වන එකක්. “ ඒ භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ සභාපති ආචාර්ය සෙනරත් හේවගේය.

එහි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මන්නාරම් දුපතේ කිසිදු විනාශයක් සිදුවීමට ඉඩ නොතබන බවත්, මන්නාරම් වැල්ලෙන් 10% ක් වැලි ලබා ගනිද්දි ඉතිරි 90% ක වැල්ල යළිත් අදාළ ප්‍රදේශයටම දැමීමේ පුනරුත්තාපන වැඩ සටහනක් සිදු කරන බවත්ය.

 

Comments