ඩුබායි අත්අ­ඩං­ගු­වෙන් හරක් කටා මුදා ගත් පාතාල මෙහෙ­යුමේ මුල මැද අග | Page 2 | සිළුමිණ

ඩුබායි අත්අ­ඩං­ගු­වෙන් හරක් කටා මුදා ගත් පාතාල මෙහෙ­යුමේ මුල මැද අග

 

 

මෙරට මත්කුඩු ජාලයේ අංක එකේ ජාවාරම්කරු ලෙස සැලකෙන පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබුණු රතු නිවේදනයකට අනුවය. ඒ ඉකුත් අගෝස්තු 11 වෙනිදාය.

 

එදා හරක් කටාව ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ඩුබායි ගුවන ්තොටුපොළේදී ය. ඒ සිය බිරිය යැයි කියන කාන්තාවක් සමඟ ඔහු මලයාසියාව බලා යාමට පැමිණි අවස්ථාවේදීය.

ඩුබායි පොලිසිය එසේ අගෝස්තු 11 වෙනිදා හරක් කටාව අත්අඩංගුවට ගත් බව 12 වෙනිදා අපේ රටේ මාධ්‍ය රැසක ප්‍රධාන පුවත බවට පත් වූයේ ඒ වන විට මෙරට සිදුවෙමින් පැවති ඝාතන රැල්ලේ ප්‍රධාන පුරුකක් බවටද හරක් කටා පත්ව සිටි බැවිනි. නමුත් මෙරට බලධාරීන් නම් හරක් කටා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පිළිගන්නට එතරම් කැමැත්තක් නම් දැක්වූයේ නැත. වගකිව යුත්තෝ මුල සිටම කියන්නට වූයේ හරක් කටා අත්අඩංගුවට ගත් බවක් නිල වශයෙන් මෙතෙක් තහවුරු වීමක් සිදු වී නොමැති බවය.

පොලිසිය පැත්තෙන් ඒ කියන කතාව නිවැරදිය. නිල වශයෙන් බලධාරීන් ඒ බව තහවුරු කරගෙන නොසිටියාට නිල නොවන තොරතුරු ඔස්සේ හෝ ඒ බව තහවුරු කරගෙන සිටි බව දන්නෝ දැන සිටියහ. එසේ නිල නොවන මට්ටමින් පවා හරක් කටා ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් බව දැන සිටි බලධාරීන් හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීති කෘත්‍යයට නිල දැනුම් දීමක් ලැබෙන තුරු අත ගැසූ බවක් නම් පෙනෙන්නට නොවීය.

හරක් කටා සම්බන්ධයෙන් එසේ වූවත් මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී නම් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් සිය මෙහෙයුම් ඇරඹියේ නිල දැනුම් දීම් මෙරටට ලැබෙන්නටත් මත්තෙනි. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුද්ගලිකවම ඊට මැදිහත් වෙමින් ඩුබායි පාලකයන්ට පවා ඇමතුම් ලබාදී තිබුණේ මධුෂ් මෙරටට පිටුවහල් කර ගැනීමටය. ඒ අතර විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි තිලක් මාරපන ව ඩුබායි පාලකයන් මුණ ගැසීමට අබුඩාබි වෙත පිටත් කර යැවීමටද වග බලා ගෙන තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම උපරිම වශයෙන් සිදු කරමිනි. මාකඳුරේ මධුෂ් මෙරටට ලැබෙන්නේ එම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ නොවන්නට මාකඳුරේ මධුෂ් අදටත් ඩුබායිහි රැඳී සිටිමින් මෙරට පාතාලයේ රජු ලෙස තවමත් වැජඹෙනු ඇත.

හරක් කටා සම්බන්ධයෙන් ඒ නම් පැවතියේ ඊට හාත්පසින්ම වෙනස්ම වූ ක්‍රියාවලියකි. වගකිව යුත්තෝ මේ ගැන පැහැදිලිවම ජනාධිපතිවරයා දැනුම්වත් කර රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කිරීමට උත්සාහ ගත්තේ දැයි ඇත්තේද ගැටලුවකි. ඒ හරක් කටා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බොහෝ අයට එතරම් උනන්දුවක් නොවූ බැවිනි.

ජාත්‍යන්තර පොලිස් තොරතුරු මඟින් දැන ගන්නට ඇති ආකාරයට අනුව හරක් කටා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලිසියේ අබුඩාබි ශාඛාව මඟින් මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත නිල වශයෙන් දැනුම් දීම කර ඇත්තේ අගෝස්තු 19 වෙනිදාය. ඒ ඔහුව අත්අඩංගුවට ගෙන දින 08 කට පසුවය. මෙම නිල දැනුම් දීම මෙරටට ලැබෙන තුරු අඩුම තරමින් හරක් කටා ඩුබායි පොලිස් අත්අඩංගුවේ ඉන්නවාද නැද්ද යන්නවත් සොයා බලන්නට වගකිව යුත්තන් කටයුතු කර තිබුණු බවක් නම් දැන ගන්නට නොවීය. ඒ තරමට හරක් කටා සම්බන්ධයෙන් පැවතියේ නිද්‍රාශීලීත්වයකි.

හරක් කටාව අත්අඩංගුවට ගැනීම තහවුරු කරමින් අබුඩාබි හි පිහිටි ජාත්‍යන්තර පොලිස් ශාඛාව මෙරටට නිල දැනුම් දීමත් සමඟ සඳහන් කරනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින උදර්පන අවබෝධතා ගිවිසුමේ 08 වැනි වගන්ති ප්‍රකාරව දින 30ක් ඇතුළත හරක් කටාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උදර්පන අයදුම්පත එක්සත් අරාබි රාජ්‍ය බලධාරීන් වෙත යොමු කරන ලෙසය. ඩුබායි පිහිටා ඇත්තේ එක්සත් එමීර් රාජ්‍ය පාලනය තුළය. අබුඩාබි එහි පරිපාලන කේන්ද්‍රස්ථානයයි. ජාත්‍යන්තර පොලීසියේ එක්සත් එමීර් රාජ්‍යයේ ශාඛාව ක්‍රියාත්මක වන්නේ අබුඩාබිහිය. බුඩායි හි දී අත්අඩංගුවට ගත් හරක් කටා සම්බන්ධයෙන් අබුඩාබි වලින් මෙරටට දැනුම් දීමක් ලැබෙන්නේ එබැවිනි.

ජාත්‍යන්තර පොලිසියේ අබුඩාබි ශාඛාව මඟින් කළ එම දැනුම් දීමට අනුව හරක් කටාව මෙරටට ලබා ගැනීමට නම් ඒ ලිපිය ලැබී දින 30ක් තුළ සියල්ල කළ යුතුව ඇත. ඒ කියන්නේ සැත්තැම්බර් 12 වෙනිදාට පෙර උදර්පන අයදුම්පත යොමු කළ යුතුව ඇති බවය.

ඒ අනුව එම උදර්පන අයදුම්පත සකස් කිරීමට අදාළව පළමු සාකච්ඡා වටය නීතිපති දෙපාර්තමේන්තුව සමඟ පැවැත්වෙන්නේ අගෝස්තු 23 වෙනිදාය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එක්වය. ඒ සාකච්ඡාව සිදු වන්නේ ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාලින්ද රණසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රියාස් බාරි යන සමඟිනි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙම නිලධාරීන්ට පැහැදිලිවම නියෝග ලැබෙන්නේ උදර්පන අවබෝධතා ගිවිසුමේ වගන්ති 08 ප්‍රකාරව ගොනුවක් සකස් කර මධ්‍යම බලධාරී (Central Authority) ලෙස කටයුතු කරන ආරක්ෂක ලේකම් වෙත එය බාර දෙන ලෙසය. ඒත් සමඟම නීතිපති දෙපාර්තමේන්තු බලධාරීන් පොලිසියට පැහැදිලිව දැනුම් දෙන්නේ එහි පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කළ යුතු බවටය. ඩුබායි බලධාරීන් වෙත ගොනුව යොමු විය යුතුව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කිරීමෙන් අනතුරුවය.

හරක් කටාට එරෙහිව මිනිස් ඝාතන විසි තිස් ගණනක් තිබුණා යැයි කීවත් ඒ එකක් වත් මේ ගොනුවට ඇතුළත් කිරීමට නම් විදිහක් නොවීය. ඒ පොලිසිය ඒ කිසිවක් සාක්ෂි සහිතව අධිකරණයට ගොනු කර නොතිබුණු බැවිනි. හරක් කටාගේ නම ගෑවුණු මත්කුඩු ටොන් එකකට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් ගෙවී ගිය වසරක කාලය තුළ අල්ලා ගෙන ඇතත් ඔහුට මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක චෝදනා පත්‍රයක් මෙතෙක් ගොනුවී ඇති බවක් පවා සොයා ගන්නට නැති තරම්ය.

හරක් කටා ව ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමට මුල් වන රතු වරෙන්තුව ජාත්‍යන්තර පොලීසිය මඟින් නිකුත් කිරීමට පවා මුල් වන්නේ මාතර මහාධිකරණයේ ඔහුට එරෙහිව බී. ආර්. 2150/15 යටතේ ඇති අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් සහ බී. ආර්. 1514/20 යටතේ පවරා ඇති මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් පමණි.

මෙම චෝදනා දෙකට ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනය නිකුත් කර ඇත්තේද 2021 නොවැම්බර් 25 වෙනිදාය. ඒ ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන ලැයිස්තු අංක A9678/11-2021 යටතේය.

මෙම රතු නිවේදනය නිකුත් කරන විට නඳුන් චින්තක වික්‍රමරත්න නමින් හරක් කටාට ඇති N 5455297 දරන විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු ද ජාත්‍යන්තර පොලිසියට ලබාදීමට පියවර ගෙන තිබුණේ මෙම අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයෙන් ඔහු රටවල් අතර ගමන් කිරීමකදී කොටුකර ගැනීමට ඇති පහසුව තකාය. නමුත් හරක් කටා රටින් පිටව ගියේත් ඔහු ඩුබායි හි රැඳී සිටියේත් එහි සිට ලෝකයේ රටවල් අතර සංචාරය කරන්නේත් හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නැමැති අයකුගේ නමින් සකස් කරගෙන ඇති N 8692136 විදෙස් ගමන් බලපත්‍රයෙන් බව අනාවරණය කර ගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසිනි. ඒ හරක් කටා අත්අඩංගුවට පත්වීමට මාස දෙක තුනකට පමණ පෙරය.

හරක් කටා 2020 පෙබරවාරි 22 වෙනිදා මෙරටින් පලා යන්නේ ද එම විදෙස් ගමන් බලපත්‍රයෙනි. ශ්‍රී ලංකාවේ සිට මුලින්ම යන්නේ ඉන්දුනීසියාවේ ජාකර්තා ගුවන් තොටුපොළ වෙතය. මෙම තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයා ගන්නේ හරක් කටාට එරෙහිව රතු වරෙන්තුවත් නිකුත් කර බොහෝ කාලයකට පසුවය. එසේම හරක් කටා මාලදිවයිනේ ද එම විදෙස් ගමන් බලපත්‍රයෙන් සංචාරය කර ඇති බවද පසුව හෙළි වී තිබුණි. ඒ අනුව හරක් කටාට එරෙහිව ඇති රතු නිවේදනයට මෙම තොරතුරුද ඇතුළත් කරමින් ප්‍රංශයේ ලියෝන් නගරයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය විසින් යාවත්කාලීන කරනු ලබන්නේ පසුගිය ජුනි 22 දාය. හරක් කටා ඩුබායි ගුවන් තොටුපොළේදී අගොස්තු 11 වෙනිදා කොටු වන්නේ ද යාවත්කාලීන කළ එම තොරතුරු නිසාවෙනි.

හරක් කටාව එසේ පහසුවෙන් ඩුබායි පොලිසිය අල්ලා ගත්තාට ඔහුව මෙරටට ගෙන ඒමට අවශ්‍ය නීතිමය කටයුතු නම් හරි හැටි සිදුවී තිබුණේදැයි ඇත්තේ ගැටලුවකි. අඩුම තරමින් ඔහුට එරෙහිව රතු නිවේදනය ලබා ගත් මාතර මහාධිකරණයේ විභාග වන නඩු දෙකට අදාළව විවෘත වරෙන්තුවක්වත් පොලිසිය ලබා ගෙන තිබුණේ නැත. ඒ දේවල් පොලිසියට පවා මතක් කර දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.

රටේ තැන තැන වෙඩි පත්තු කරන රටටම කුඩු බෙදන මහා අපරාධකරුවෙක් ලෙස නම කියැවෙන හරක් කටාට අන්තිමට විවෘත වරෙන්තුවක් පවා ලබා ගන්නේ අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් විභාග වන නඩු දෙකකට අධිකරණය මඟ හැර සිටීම මුල් කරගෙනය. එම වරෙන්තුව පවා හරක් කටාට එරෙහිව නිකුත් කෙරෙන්නේද සැත්තැම්බර් 09 වෙනිදාය. හරක් කටාව මෙරටට බාර දෙන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන් වෙත යොමු කෙරන ගොනුව සකස් වන්නේ එම විවෘත වරෙන්තුවද ඇතුළත් කෙරෙමිනි.

සැත්තැම්බර් 12 වෙනිදාට පෙර ඩුබායි බලධාරීන් වෙත යොමුකර තිබිය යුතු වූ එම ගොනුව මධ්‍යම බලධාරී (Central Authority) වන ආරක්ෂක ලේකම් වෙත යොමු කරනු ලබන්නේ එදිනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වග කිවයුතු නිලධාරියෙකු විසින් එම ගොනුව රැගෙන ගොස් එදින බාර දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නිරත විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුගේ අතටය. ඒ එහි පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුවටද යොමු කිරීමෙන් අනතුරුවය. එම ගොනුව ආරක්ෂක අමාත්‍යාශයේ නීති අංශයද ඊට පසුදින හෝ ඒ ආසන්න දිනකදී විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද කියැවෙති.

මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින්ද අධිකරණයට කරුණු දක්වමින් හරක් කටා ට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබා ගැනීමටද පොලිසිය කටයුතු කර තිබුණේ ඔහුව කඩිනමින් සහ පහසුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට එය මහත් පිටුවහලක් වන බැවිනි.

මෙසේ හරක් කටා සම්බන්ධයෙන් වූ ගොනුව සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් වැය වෙමින් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව විසින් සැප්තැම්බර් 16 වෙනිදා ජාත්‍යන්තර පොලිසියේ අබුඩාබි වෙත පණිවුඩයක් යොමු කරමින් ඉල්ලීමක් කරනුයේ හරක් කටා සම්බන්ධයෙන් උදර්පන ඉල්ලීම ක්‍රියාත්මක වන බැවින්, එතෙක් ඔහුව මුදා නොහරින ලෙසය. එම ඉල්ලීම පවා යොමු කෙරනුයේ නියමිත කාල සීමාව ගෙවී ගොස් දින ගණනාවක්ද ගෙවී ගොස් තිබියදීය.

මෙසේ මෙරට බලධාරීන් හරක් කටා සම්බන්ධයෙන් උදර්පන ඉල්ලීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරන්නට වූයේ හරක් කටා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඒ දේවල් පවා සිදුවූයේ මන්දගාමීවය. නමුත් හරක් කටා නම් ඔහුව අත්අඩංගුවට පත්වූ මොහො‍ෙත් සිටම සිය නිදහස වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරනු ලැබුවේ මෙරට මුදලින් කෝටි තිහ හතළිහක් වියදම් කරමිනි. ඩුබායි හි ඇති ලොකුම නීතිඥ සමාගමේ ද සහය ගෙන තිබුණු හරක් කටා අන්තිමේදී මෙරටින්ද නීතිඥ කණ්ඩායමක් ඩුබායි වෙත ගෙන්වා ගත්තේය. ඒ ජනාධිපති නීතිඥවරයකු ප්‍රමුඛ පස් දෙනෙකුගේ කණ්ඩායමකි. ඒ අය වෙනුවෙන් ඔහු වෙන්කර තිබුණේ යැයි කියන මුදලේ තරම රුපියල් මිලියන 150කි. ඩුබායි හි තරු පන්තියේ හෝටලයක නවාතැන් පහසුකම් ද ඒ අය වෙනුවෙන් සකස් කර තිබී ඇත්තේ ආහාර පානද සමඟිනි. සතියක් පුරාවට එම නීතිඥ කණ්ඩායම එරට රැඳී සිටිමින් විශාල වැඩ කොටසක් කර තිබුණේ හරක් කටාගේ නිදහස වෙනුවෙනි. ඒ අතර හරක් කටා සිය ගෝලබාලයන් හරහා තවත් කෝටි ගාණක් විසිකර තිබුණේ සිය නිදහස වෙනුවෙන් ඇල්ලිය යුතු හැම තැනක්ම අල්ලන්නටය. පසුගිය 03 වෙනිදා හරක් කටාට නිදහස උරුම වන්නේ ඒ සෑම උත්සහයකම ප්‍රතිඵලයක් ලෙසින් විය හැකිය.

එසේ හරක් කටා නිදහස ලබන විට පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකදී ද හරක් කටා ගැන මාතෘකාවක් ඇදී ආවේය. ඒ හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට යොමුකර ඇති ලිපි ලේඛන ඒ වන තුරුත් ඩුබායි බලධාරීන් වෙත යොමු කර නැති බවටය. එහිදී කියැවෙන්නට වූයේ එම ගොනුව ඒ වන විටත් ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ බවටය. ඒ වනවිටත් හරක් කටා සිටියේ නිදහස ලබා ඩුබායි හි තරු පන්තියේ හෝටලයකට ගොස් සිට මිතුරන් සමඟ සාදයක් පවත්වමිනි.

ඒ යැයි කියා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නම් හරක් කටාව නිකම්ම අතහරින්න කිසිසේත්ම සූදානම් නැත. පොලිසියට උපදෙස් දී ඇත්තේ මෙතෙක් නිල වශයෙන් හරක් කටා නිදහස් කිරීමක් ගැන මෙරටට දැනුම්දී නොමැති බැවින් ඔහුව කොටු කරගෙන මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය හැම උපරිමයක්ම කරන ලෙසය. ඒ හයියෙන් පොලිසිය දැන් සිටින්නේ හරක් කටාව පමණක් නොව, ඩුබායි හි රැඳී සිටින හැම අපරාධකරුවෙක්ම මෙරටට ගෙන්වා ගැනීමට හැකි ක්‍රමවේදයක් ගැන සොයමිනි.

 

Comments