ඉගෙනුමට ඇති කැමැත්ත, උනන්දුව වැඩි කරන වාස්තු ක්‍රම | සිළුමිණ

ඉගෙනුමට ඇති කැමැත්ත, උනන්දුව වැඩි කරන වාස්තු ක්‍රම

- ඉගෙනුමට ඇති කැමැත්ත වැඩි වීමට නම් දරුවන්ගේ ශක්ති ශරීරය බලවත් කිරීමට නිවෙසේ ඊශාන දිශාව බාධා රහිත පුළුල් ප්‍රවේශයක් සහිත විය යුතුය
- නිරිත දිශාවට මුළුතැන්ගෙය, වැසිකිළිය ‌හෝ සාලය උචිත නොවන අතර, ප්‍රධාන නිදන කාමරය එහි පිහිටුවීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය
- නිරිත, දකුණ හා බස්නාහිර දිශා යම් පමණකින් හෝ ආවරණය වී තිබීමත් අවශ්‍යයි

ජනක ප්‍රියන්ත දයාරත්න 
සිවිල් ඉංජිනේරු 
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය 
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ 
ආයතනයේ ප්‍රධාන පර්යේෂක

වර්තමානයේ පවතින තරගකාරී තත්ත්වයන් සමඟ අධ්‍යාපන අරමුණු කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිඵල සාර්ථක කර ගැනීම බරපතළ අවශ්‍යතාවක් බවට පත්ව ඇත. ඒ අනුව අධ්‍යාපනය වූ කලි මතකය ආවර්ජනය කිරීම මත පදනම් වූ හා ව්‍යක්ත ලෙස ඉදිරිපත් කිරීම් පිළිබඳව වූ ශිල්ප ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකිය. එබැවින් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා අප විසින් ශිෂ්‍ය ප්‍රජාවගේ මතකය රඳවා ගැනීමත්, එය පැහැදිලිව රසවත් ලෙස හා පුළුල් අවබෝධයක් සහිතව ඉදිරිපත් කිරීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. මේ සහාය ඒ වෙනුවෙනි.

නිවෙසක අධ්‍යාපනය ලබන වයසේ පසුවන දූ දරුවන් සඳහා වාස්තුමය සහායක් ලබා ගැනීමට නම් හා ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට නම් උගත් දේ මතකයේ රඳවා ගැනීමත්, අවශ්‍ය විට සැණින් සිහිපත් කර ගැනීමටත් ව්‍යක්ත ලෙස ඉදිරිපත් කිරීමටත් සහායක් ලැබිය යුතුය. මේ සඳහා ඔවුන්ගේ ශක්ති ශරීරයේ ද භෞතික ශරීරයේ ද මනා පැවැත්මක් ගොඩනඟා ගත යුතුය. භෞතික ශරීරය සඳහා අවශ්‍ය කරන ආහාර පෝෂණය හා වෙනත් කරුණු පිළිබඳව මෙහිලා සඳහන් නොකෙරෙන අතර, විශේෂයෙන් සඳහන් කරනුයේ ශක්ති ශරීරයේ යහ පැවැත්ම ගොඩනඟා ගන්නේ කෙසේද යන්නයි. ඒ අනුව අධ්‍යාපනය කෙරෙහි බලපාන ශරීරයේ ඉහළ කොටස් බලවත් හා ක්‍රමවත් වීම අවශ්‍යතාවකි. මේ සඳහා ඔවුන්ගේ වටපිටාව මනා අයුරින් සම්පාදනය කර ගැනීම සඳහා වාස්තු සිද්ධාන්ත අත්‍යවශ්‍ය වනු ඇත.

නිවෙස අභ්‍යන්තරයේ ඇති අන්තරීක්ෂ ශක්තියේ තීව්‍රතාව හා ක්‍රමවත් බව නිසා එහි වාසය කරන නිවැසියන්ගේ ශක්ති ශරීරය ද බලවත් හා ක්‍රමවත් වන බව දැනටමත් ඔබ දන්නා කරුණකි. ඒ සඳහා ඊශානයෙන් අප වෙත ලැබෙන අන්තරීක්ෂ ශක්තිය මැනවින් ලැබීමට හා රඳවා ගැනීමට උචිත අයුරින් නේවාසිකව පරිසරය ගොඩනැඟී තිබිය යුතුය. ඒ සඳහා ඊශාන දිශාව බාධාවන් රහිතව හා පුළුල් ප්‍රවේශයක් තිබිය යුතු වේ. එසේම මැනවින් එම ශක්තිය රඳවාගත හැකි පරිදි නිරිත, දකුණ හා බස්නාහිර දිශා යම් පමණකින් හෝ ආවරණය වී තිබීම අවශ්‍ය වේ. එවිට කෙමෙන් වැඩී යන අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව හේතුකොටගෙන දූ දරුවන්ගේ ද ශක්ති ශරීරය බලවත් හා ක්‍රමවත් තත්ත්වයට ගොඩනැඟෙනු ඇත. ඉතා පහසුවෙන් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා මැනවින් සහාය වනු ඇත.

මේ තත්ත්වය ගොඩනඟා ගැනීමට නම් ඊශානයට ළිඳක්, සාලයක් වැනි යමක් පිහිටිය යුතු අතර, මුළුතැන්ගෙය, වැසිකිළිය, ගරාජය, පඩිපෙළ හා ප්‍රධාන නිදන කාමරය ආදිය නොපිහිටිය යුතුම වේ. නිරිත දිශාවට මුළුතැන්ගෙය වැසිකිළිය ‌මෙන්ම සාලය ද උචිත නොවේ. එහි ප්‍රධාන නිදන කාමරය වැනි ආවරණය කරනු ලැබූ ගෘහ අංගයක් පිහිටු වන්නේ නම් එයින් නොදුටු, නොසිතූ තරම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැකි වනු ඇත.

Comments