මට රඟපාන්න එපා කියලා එයා කවදාවත් නීති දාලා නෑ | Page 2 | සිළුමිණ

මට රඟපාන්න එපා කියලා එයා කවදාවත් නීති දාලා නෑ

එයාගේ සීමාව පැන්නොත් තමයි එයාට  කේන්ති යන්නේ

ඒ තමයි මගෙ ජීවිතයේ ලැබුණු හොඳම සම්මාන දෙක

මේ දිනවල සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ඉන්දික ධර්මතිලකගේ ‘මැස්සා’ ටෙලි නාට්‍යයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝය. රටක් ලෙස දැඩි ආර්ථික පරිහානියකට පත්ව තිබෙන මෙවන් වකවානුවක සමාජගත ගැටලුවක් සාකච්ඡා කෙරෙන නිර්මාණයකි. ඒ වගේම සමාජයට හොඳ පණිවුඩයක් ලබා දෙන කාලීන අවශ්‍යතාව මත සැකසුණු නිර්මාණයකි. එහි පොලිස් නිලධාරිනියකගේ චරිතයට පණ පොවමින් ඔබ හමුවට එන ඇය සුරූපී, දක්ෂ රංගන ශිල්පිනී මහේෂි මදුශංකා යි.

 

“පහුගිය කාලේ නිර්මාණවලට දායක වෙන්නෙ ලැබුණේ අඩුවෙන්. බබාල දෙන්නගේ වැඩකටයුතු නිසා ඉස්සර වගේ නිතර දකින්න නොලැබුණත් එදා ලැබුණු රසික ආදරය අදටත් එසේම තිබීම ලොකු සතුටක්. චරිතය තුළ මට යම්කිසි දෙයක් කරන්න පුළුවන් හොඳ නිර්මාණයක් සඳහා ඇරයුම් ලැබුණොත් අනිවාර්යයෙන්ම එයට දායක වෙනවා. මගේ මහත්තයා ගුවන් නියමුවෙක්. ගෙදර කටයුතුයි ළමයින්ගේ පාසල් ගෙන යන කටයුතුයි එක්ක මම ටිකක් කාර්යබහුලයි.

ඉන්දික ධර්මතිලකගේ මැස්සා ටෙලි නාට්‍යය මෑත කාලීනව මට ලැබුණු හොඳම නිර්මාණයක්. විශේෂයෙන්ම කාලීන අවශ්‍යතාව මත නිර්මාණය වූවක්. ඒක පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. මේ වගේ චරිතයක් මං කළේ පළමු වතාවට. හැමදාම කළ චරිතවලින් මිදිලා මේ වගේ වෙනස් චරිතයක් කරන්න ලැබීම සතුටක්. විශේෂයෙන්ම මෙය අද සමාජයට අවශ්‍යම පණිවුඩයක් දෙන නිර්මාණයක්.

බොහෝ දුරට අද අම්මලා දරුවනුත් ඇදගෙන හැල්මේ දුවන්නේ විභාග පාස්කරවීමේ තරගයක. දරුවන්ට හොඳ නරක කියාදෙන්නවත් එයාලට වෙලාවක් නෑ. ළමයි පොතේම විතරයි. ඒ ළමයි දන්නෙ නෑ වැඩිහිටියන්ට ගරුකරන්නෙ කොහොමද? සමාජයේ හොඳින් හැසිරෙන්නෙ කොහොමද කියලවත්. මේ වගේ වාතාවරණයක බිහිවෙන ළමයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ ගැටලුවට පිළිතුරක් තමයි මැස්සා තුළින් ගෙන එන්නේ. සෝබන දේවල් නැතුව අද කාලයේ සිදුවන දේවල් ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු ‘මැස්සා’ කාලීන අවශ්‍යතාව මත බිහිවුණු නිර්මාණයක් නිසා මිනිසුන් අතරට ගිහින් ගොඩක් ජනප්‍රිය වේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.“

මහේෂි මදුශංකා බලන බලන චැනල් එකේ හිටපු කාලයක් තිබුණා. ඒ ඇය කලා ක්ෂේත්‍රයට පිවිසුන කාලය. එදා ඇය ලද ප්‍රේක්ෂක ආදරය අදටත් එසේම පවතින බවයි ඇය පවසන්නේ.

“මං ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. සුදේශ් වසන්ත පීරිස්ගේ “ජීවිතය ලස්සනයි“ සිනමාපටය ඔස්සේ මුලින්ම සිනමා ප්‍රේක්ෂකයන් මාව හඳුනගත්තා. මුල්ම නිර්මාණයට සම්බන්ධ වුණේ රංජන් රාමනායක එක්ක. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ “මුතුවරුසා“ ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයට පිවිසුණා. ඔහුගේම ‘පිපෙන මල්’ ටෙලි නාට්‍යය, සඳුන් රාජකරුණාගේ ‘ඡායා’ ගොඩක් ජනප්‍රිය වුණා. මේ වෙද්දි ටෙලි නාට්‍යය 30කට වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. චිත්‍රපට 5ක් විතර කරලා තියෙනවා. “මුතුපලස, ඡායා, මුතුවරුසා’ සම්මාන සඳහා නිර්දේශ වුණා. ක්ෂේත්‍රයේ හොඳ අධ්‍යක්ෂකවරු වගේම ප්‍රවීණ නළුවන් සමඟ හොඳ නිර්මාණ රැසකට දායක වෙන්න ලැබුණු එක සතුටක්. ඇත්තටම මේ වගේ කලාවක නිරත වෙන්න ලැබුණ එක ගැන මං උදේ හවා දෙවියන්ට පින් දෙනවා.“

ආදරණීය මවක් මෙන්ම ආදරණීය බිරියක් වීමේ තෘප්තිය විඳිමින් සිටින ඇය විවාහ දිවියට ඇතුළත් වුණේ ආදර සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙසින්.

“මං හරිම වාසනාවන්තයි මේ වගේ සැමියෙක් ලැබුණ එක. ඔහු ෆයිලට් කෙනෙක්. අපි ආදරය කරලයි විවාහ වුණේ. අපි දෙන්නගෙ වෘත්තීන් අහසට පොළොව වගේ. ඒත් එයා මං නියැළෙන ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් ඉන්න කෙනෙක්. නිවාඩු තියෙන වෙලාවට ඔහුත් සෙට් එකට එනවා. ඒ නිසා මෙතන වෙන්නෙ මොනවද කියලා එයා හොඳ අවබෝධයකින් ඉන්නේ. වැරදි කරනවා නම් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒක කලා ක්ෂේත්‍රයේ ද වෙනත් ක්ෂේත්‍රයක ද කියලා අදාළ නෑ. අපි දෙන්න අතරේ හොඳ අවබෝධයක් තියෙනවා. එයා මගේ වෘත්තිය හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා කවදාවත් මට රඟපාන්න එපා කියලා නීති දැම්මෙ නෑ. මට හොඳ දරුවන් දෙන්නෙක් ඉන්නවා. පුතා තෙනුල්, දුව තෙනුලි. ඒක තමයි මේ ජීවිතේ මට ලැබුණු හොඳම සම්මාන දෙක. ඒ වගේම හොඳ සැමියෙක්. එයා පුදුම ඉවසීමක් තියෙන කෙනෙක්. එයාගේ සීමාව පැන්නොත් තමයි එයාට කේන්ති යන්නේ. ගොඩක් වෙලාවට ගැහැනියකුගේ අනාගතේ ලස්සන වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ එයාට ලැබෙන සැමියා අනුව. මට හොඳ පවුල් ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ ගැන මං හරිම තෘප්තිමත්.

Comments