
පීඩිත මනසකින් මේ කලාව කරන්න බෑ
වැරදි කරන්නෙ නැත්නම් කාටවත් වහල් වෙලා ජීවත් වෙන්නෙ මොකටද?
දේශීය රූකඩ සහ වෙස් මුහුණු කලාව ඇසුරින් නිර්මාණය වුණු ‘කෝලම් කුට්ටම’ මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යයකි. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන චමීර ලියනගේ ප්‍රේක්ෂක ඔබට නුහුරු නුපුරුදු අයකු නොවේ. ගයා රම්‍ය අල්විස්ගේ කොළඹ අහස ටෙලි නාට්‍යයේ ජීවන්, දාම් හි කෙවින් තවමත් ඔබට අමතක නැතුව ඇති. කොළඹ අහස හි ඔහුගේ රංගනය 2014 රයිගම් සම්මාන උලෙළේ නැඟී එන නළුවාට ද නිර්දේශ විය.
“කෝලම් කුට්ටම නිසා මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ. චන්දික විජේසිංහගේ ගඟන පියවර ටෙලි නාට්‍යයත් මේ දිනවල ස්වාධින රූපවාහිනියේ විකාශය වෙනවා. දේශීය සංස්කෘතික අංගයක් වන රූකඩ, වෙස්මුහුණු කලාව ඇසුරින් නිර්මාණය වුණු සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයට ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් අධ්‍යක්ෂණය කළ කෝලම් කුට්ටම හි ප්‍රධාන චරිතය ලැබීම ලොකු සතුටක්. මේ නාට්‍යය දැනටමත් ගොඩක් ජනප්‍රියයි. කෝලම් කුට්ටම ඇතුළේ මගේ කතාවත් තියෙනවා. දැන් තමයි ඒක එළියට එන්නේ. ඉදිරියට ප්‍රේක්ෂකයන් තවත් ආදරෙන් එය වැලඳ ගනීවි. මේක මං ඉගෙන ගත් මාෂල් ආර්ට් කලාවෙන් ප්‍රයෝජනයක් ගත් අවස්ථාවක්. මං ගොඩක් ආසාවෙන් කරපු චරිතයක්. ඒ වගේම ආමි සෝල්ජර් කෙනෙකුගේ චරිතයකට කැමැත්තෙන් ඉන්නවා.
මේ වෙද්දි ටෙලි නාට්‍ය 40කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. රනිල් කුලසිංහගේ වලවෙට්ටුවා හි රංගනය රයිගම් ටෙලි සම්මාන උලෙළේ ජූරියේ විශේෂ කුසලතා සම්මානයට පාත්‍ර වුණා. වෙස් ගොඩක්ම ජනප්‍රිය වුණ ටෙලි නාට්‍යයක්. ඊට අමතරව දාම්, රන්තිලිවැව, ගිරිදේවී, රාවණා හි චරිත අදටත් ජනප්‍රියයි. මං කොහොමත් කැමති නැහැ එක වගේ චරිතවලට කොටු වෙන්න. හැමවෙලේම උත්සාහ කළේ විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයා අතරට යන්න. හේමන්ත ප්‍රසාද්ගේ උළලේනී හි ප්‍රධාන චරිතය මට සිනමාවේ මුල්ම අත්දැකීමත් ලබා දුන්නා.“
දැනුමක් අවබෝධයක් ඇතිව කලා ක්ෂේත්‍රයට පිවිසෙන අයට ක්ෂේත්‍රය තුළ රඳා පැවැත්මක් ඇති බවයි චමීරගේ අදහස.
“සිරස තරුමංසල හි මොඩ්ල් සහ රංගන යන අංශ දෙකම ජයග්‍රහණය කිරීමෙන් පසුවයි මට රංගනය ගැන ආසාව වැඩි වුණේ. ඉන්පසුව සිරස නාලිකාව ඔස්සේ විකාශය වුණු කාව්‍යා ටෙලි නාට්‍යයේ පුංචි චරිතයෙන් මං ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හඳුනගත්තේ. ඊට කලින් පාසල් වේදිකාවේ අත්දැකීම් තිබුණත් ප්‍රසිද්ධ වේදිකාවේ අත්දැකීමක් ලබා තිබුණෙ නැහැ. පාසල් යන කාලේ විද්‍යා උලෙළේ විද්‍යා නාට්‍යයක ගැලීලියෝ ගැලීලිට හිටියා. ඒක තමයි පිරිසක් ඉදිරියේ මං කළ මුල්ම රංගනය. එදා ඇතිවුණ ආසාව තමයි මහේන්ද්‍ර පෙරේරා සර්ගෙන් රංගනය හදාරන්න මාව යොමු කළේ. අනෝජා මිස්ගේ අභින වැඩමුළු සඳහාත් සහභාගී වුණා. හැමෝටම ඇඟෙන්ම එන යම්කිසි හැකියාවක් තියෙනවා. නමුත් යම් සීමාවකදී එය අවසන් වෙනවා. එහෙම ඒකාකාරී වුණ ගමන් ප්‍රේක්ෂකයාට එපා වෙනවා. අපේ බාහිර ස්වරූපය වුණත් වෙනස් කරන්නේ ඒ නිසයි. ඉන් 50%ක වෙනසක් ලැබුණත් ඉතිරිය ගත යුත්තේ අපේ හැකියාවන්ගෙන්. ඒ නිසයි අපි අලුත් දේවල් එකතු කරගත යුත්තේ. හරියට වාහනයක් අදාළ කාලෙට සර්විස් කරනව වගේ වැඩක් තමයි මේකත්. වැඩමුළුවලට සහභාගී වීම ඒ සඳහා ලොකු පිටිවහලක්. අදටත් කොහේහරි වැඩමුළුවක් තිබුණොත් කොහොමහරි මං යන්න උත්සාහ කරනවා.
තාමත් යෞවනයේ පසුවන ඔහුගේ ආකර්ෂණීය පෙනුමට යුවතියන්ගේ නෙතු බැල්ම නොවැටුණා නම් එයත් පුදුමයක්.
“ආදරය කියන්නෙ පිස්සුවක්. මං ඒක අතහැරලා ගොඩක් කල්. දැන් මං පාඩුවේ පැත්තකට වෙලා ඉන්න මනුස්සයෙක්. තමන්ට තමන් විතරයි කියන මතයෙයි මං ඉන්නේ. මමත් ආදරේ කරලා තියෙනවා. ඒ අතීතය අවුස්සනවට වඩා ඒක පැත්තකින් තියලා එයින් ගත හැකි දෙයක් අරගෙන ඉදිරියට යන එක තමයි කරන්න ඕන. ආදරය දිනුවද පරාද වුණාද කියලා තීරණය වෙන්නේ අපි ඒක බාර ගන්න විදිය අනුව. දැන් මං හිතුවොත් මං ආදරේ කළ කෙනා මගේ ජීවිතෙන් ගිය එක හොඳයි කියලා, ඒක මට සතුටක්. ඒක මට අවුලක් කියලා හිතුණ නම් තමයි මානසිකව වැටෙන්නේ. තමන්ගේ සිතුවිලි ආකල්පවල හැටියට තමයි ඒක තීරණය වෙන්නේ.
විශේෂයෙන්ම මානසික නිදහස නැත්නම් කලාකාරයෙක්ගෙන් හොඳ නිර්මාණයක් බිහිවෙන්නෙ නෑ. පීඩිත මනසකින් මේ කලාව කරන්න බෑ. ඒවගේ වෙලාවට දෙබස් වුණත් අමතක වෙනවා. අවශ්‍ය දේ අපි තුළින් එළියට එන්නෙත් නෑ. මනසයි හැමදේම ක්‍රියාත්මක කරන්නේ.
අනික සීමා මායිම් දාගෙන ජිවත් වෙන්න නෙවෙයි අපිට මේ ජීවිතය ලැබිල තියෙන්නේ. වැරදි කරන්නෙ නැත්නම් කාටවත් වහල් වෙලා ජීවත් වෙන්නෙ මොකට ද? අම්ම තාත්තාගෙන් ලැබුණ දායාදයක් මේ ජීවිතේ. ඉතින් කාටවත් වහල්වෙලා හිරවෙලා ඉන්න ඕන නෑ කියන එකයි මගේ අදහස.“