
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත වූ බව ප්‍රකාශ වුවද සැබවින්ම සිදුවී ඇත්තේ රටවල් 27ක් ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කිරීම බව ජනාමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රටවල් 20ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දුන්නද, රටවල් 27ක් ශ්‍රී ලංකාවට සහය ලබා දී ඇති බවයි.
මෙහිදී ශ්‍රී ලංකාවට පක්ෂව චීනය, පාකිස්ථානය, බොලිවියාව, කියුබාව, එරිත්‍රියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව ඡන්දය ලබා දුන් අතර ඉන්දියාව, ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,
කටාර් ඇතුළු රටවල් 20ක් යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරය හමුවේ විදේශ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනා නව යෝජනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවය. ජිනීවා මානව හිමිකම් කොමිසමේදී මෙයට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවට ඡන්ද 30ක් පමණ ලැබෙනු ඇති බව ආරම්භයේදී බලාපොරොත්තු වුවද එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කෙළේ රටවල් 20ක් පමණි.