පාර්ලිමේන්තුව පසුගිය සතියේදී රැස්වුණු නිසා දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් පාර්ලිමේන්තුව දෙසට යොමු වී තිබුණි. කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ දී දිවුරුම් දෙන බවට ආරංචි පැතිර ගියද එය එසේ සිදු නොවුණි. කැබිනට් මණ්ඩලය ලබන සතියේදී දිවුරුම් දෙනු ඇති බවට ආරංචි මේ අතර පැතිර යන්නට විය.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මොකද වුණේ?
ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එය පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
එහිදී මුලින්ම අදහස් දැක්වූවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියයි. ඔහු සමාජ ආරක්ෂණ බද්ද පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කළේය.
“ආයෝජන මණ්ඩලයේ ෆැක්ටරිවල වැඩ කරන අයගේ ඊ.පී.එෆ්, ඊ.ටී,එෆ් ගෙවන්නේ නෑ. ඒවයි හුඟාක් ඉන්නේ මෑන්පවර් සේවකයෝ. මේ තත්ත්වය නැති කරන්න නීති ගේන්න ඕන”
ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා කීවේය.
“දැන් ආපහු රබර් ආශ්‍රිත නිෂ්පාදන ලංකාවට ගේනවා. මේකට ටැක්ස් එකක් ගහන්න ඕන”
ඇමති රමේෂ් පතිරණ ද පැවසීය.
“පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකට සහය දෙන්න.”
සභානායක ඇමති සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කළේය.
“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ඕන තරම් තියෙනවා. නමුත් ඒව ක්‍රියාත්මක වෙන්නේ නෑ. පක්ෂ නායකයෙක්ට විතරයි කතා කරන්න පුළුවන්. නමුත් සමහරු උදේට පැය ගණන් කතා කරනවා.”
ඇමති බන්දුල ගුණවර්ධන සිය විරුද්ධත්වය පළ කරමින් කතා කළේය.
“ඒක කථානායකතුමා එක්ක කතා කරල විසඳ ගන්න යැයි ජනාධිපති කීවේය.
විධායකය ඕන එස්. බී. දැඩිව කියයි
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළේය.
“ 88 භීෂණය පාලනය කරන්න හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයට හැකියාව ලැබුණේ විධායක ජනාධිපතිකම නිසයි. ඊට පස්සේ එල්.ටී.ටී.ඊ යුද්ධය නතර කරන්න විධායක ජනාධිපතිකම ලොකු හයියක් වුණා. කවුරුහරි විධායක ජනාධිපතිකමට හිමි බලය අත හරිනවා නම් රට අරාජික වෙනවා. දැනටත් පැසිස්ට්වාදී අනතුරක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ව්‍යවස්ථාව ගේන්න ඕන නෑ කියන එකයි”
“ මේ පනතට අපි විරුද්ධයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපා කියල අපි 20 ගෙනාවා. දැන් ඒක එපා කියල 22 ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වෙන්නේ කොහොමද”
සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද ඊට පෝර දැම්මේය.
“ මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් විතර කතා කළා. ඒ ඔක්කොම මේකට විරුද්ධයි. ඒක නිසා මේක ගෙනල්ල පාර්ලිමේන්තුවෙ පැරදුණොත් ගෙනාපු කෙනාම වගකීම බාර ගන්න ඕන?”
ඔහු යළි කීවේය.
අනතුරුව කතා කළේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂය.
“ මේක මගේ පුද්ගලික අවශ්‍යතාවක් මත ගේන දෙයක් නෙවෙයි. කැබිනට් මණ්ඩලය අනුමත කරපු එකක් තමයි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.”
මේ කතාව දිගටම ඇදී යද්දි එයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැදිහත් විය.
“මේක කාගෙවත් පුද්ගලික දෙයක් නෙවෙයි. මේ යෝජනාව ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී. එදා පැවති පක්ෂ නායක රැස්වීමේදී මුලසුන ගත්තෙ මමයි. මේ සංශෝධන ගැන දැනුම්වත් වීමක් නැත්නම් අධිකරණ ඇමතිතුමා එක්ක මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් ලෑස්ති කරල දෙන්න කියල සභානායකතුමාටයි, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමාටයි මම කියන්නම්”
ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට පැවසීය.
පාර්ලිමේන්තුව වටලන්න හදන්නේ කවුද?
“ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ අපිට වාසි සහගත මාතෘකා ගැන කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව වටලනවා කියල ලාල් කාන්ත කිව්වා. ඒ සම්බන්ධයෙන් තමුන්නාන්සේලා කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ.”
ජනාධිපතිවරයා කතාව වෙනතකට හරවමින් කීවේය.
“කථානායකතුමා හමු වෙලා කතා කරල මේ සම්බන්ධයෙන් යෝජනාවක් ගේන්න කියල මම සභානායකතුමාටයි, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාටයි කියනවා”
අනතුරුව ජනාධිපතිවරයා කීවේය.
එයට මන්ත්‍රීවරුන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමි විය.
“මේ කුමන්ත්‍රණය පරද්දන්න ඕන. කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගන්න ඕන.”
මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පැවසීය.
“මේ අය හැම තිස්සෙම එන්නේ රාජ්‍ය දේපළ අත්පත් කර ගන්න. මන්ත්‍රීවරු මරන්න. මේක සම්ප්‍රදායක් වෙලා. මන්ත්‍රීවරුන්ගෙ ගෙවල් ගිනි තියනකම් බලා ගෙන හිටපු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොනවද?” ඇමති බන්දුල ප්‍රශ්න කළේය.
“ පොලිස් ස්ථානාධිපතිවරු 30 ක් විතර දැනට මාරු කරල තියෙනවා. ඒ අය කියන්නේ ක්‍රියාත්මක වෙන්න නියෝග ලැබුණෙ නෑ කියල. නියෝග නොදීපු අය සම්බන්ධයෙන් පියවර ගන්න ඕන”
හිටපු ඇමති සරත් වීරසේකර යළි කීවේය.
“නෑ. අපි සියලුම දෙනා ගැන පරීක්ෂණ පවත්වනවා. මාරු කරපු අය කියනවා නම් තමන්ට අසාධාරණයක් වුණා කියල ඒ අයට ඇපීල් කරන්න පුළුවන්”
පොලිසිය බාර ඇමති ටිරාන් අලස් පැහැදිලි කළේය.
“ඔහොම නළව නළව ඉඳල හරි යන්නේ නෑ. පාස්කු ප්‍රහාරය එල්ල වුණාම හිටපු පොලිස්පති සේවය අත්හිටුවලයි පරීක්ෂණ කළේ. ඒ වගේ ක්‍රියාමාර්ග ඉක්මණින් ගන්න ඕන. සුදුසුකම් නැති අය පොලිසියේ ඉහළ පුටුවල ඉන්නවා. ඒව වුණේ කොහොමද කියල හොයන්න ඕන. ”
පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මන්ත්‍රීවරයා තරමක ආවේගයෙන් සඳහන් කළේය.
“ඒ ගැන හොයන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන්නාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒකේ වාර්තාව ඇවිල්ල තියෙන්නෙ. ඒක බලල අපි ඉක්මනින් පියවරක් ගමු.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසීය.
දියත උයනට පැමිණි හිටපු මන්ත්‍රීවරු කවුද?
මේ අතර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම කියා සිටියේ ජූලි 13 වැනිදා සවස පොල්දූව මංසන්ධියේ “දියත උයන” ආසන්නයේ පැවති විරෝධතාවක් සංවිධායන කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනා පැමිණි බවයි.
“මේ හිටපු මන්ත්‍රීවරුන් තුන්දෙනා තමයි වොයිස්කට් දීලා ෆේස්බුක් තුළින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව වටලන්න එන්න කියලා. මේ හිටපු මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණයක් සිදු කරන්න” යනුවෙන් කිහිපදෙනෙක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
පිලිපීනයේ සිට පැමිණි ජනපති කුරුණෑගලට
ජපානයේ සහ පිලිපීනයේ සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නිම කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ජපාන අගමැති ඇතුළු කණ්ඩායම මුණ ගැසුණු ජනපති රනිල් පිලිපීනයට ගියේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සැසියට සහභාගී වීමටය. ආසියාව ඇතුළු බටහිර රටවල් ගණනාවක මුදල් ඇමතිවරු එකවර මුණ ගැසීමට ජනාධිපතිවරයාට මෙහිදි අපූරු අවස්ථාවක් හිමි විය.
එය ඵලදායි ගමනක් වූයේ රටේ පවතින මූල්‍ය අර්බුදය සමනය කර ගැනීමට අවශ්‍ය අඩිතාලම දමා ගැනීමට හැකියාව ලැබුණු බැවිනි. ජනපති රනිල් පිලිපීනයේ සිට ලංකාවට පැමිණි විගස කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනපති ලේකම් සමන් ඒකනායක හා පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන පිරිස කැඳවූවේ මේ ගැන කතිකා කිරීමටය.
“අපි ගිය ගමනේ සාරාංශයක් රටට කියන්න ඕනේ. තවමත් ආර්ථිකය අමාරු තැනක තියෙන බව වගේම එයින් ගොඩ එන්නේ කොහොමද කියන කාරණය ගැනත් අපි කියන්න ඕනේ.” ජනාධිපතිවරයා කියද්දී සියල්ලෝ එය අනුමත කළහ. ඒ අනුව වත්මන් දේශපාලන තත්ත්වය ද සම්බන්ධ කර ගනිමින් පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රකාශයක් කිරීමට ජනපති රනිල් තීන්දු කළේය.
ජනපති රනිල් ඉරුදින කුරුණෑගල බලා පිටත්ව ගියේ රදගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ මුණ ගැසීමටය. රටේ වත්මන් තත්ත්වය ගැන මෙහිදි දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. මෙම ගමනට හිටපු මුදල් ඇමති රවි කරුණානායක ද එක්ව සිටියේය.
රනිල් උමංදාවටත් යයි
ඉන් පසුව පිරිස ගියේ උමන්දාවටය. අලුත් සංකල්පයක් අනුව කෘෂිකර්මාන්තය නඟා සිටුවන ආකාරය මෙහිදි ජනාධිපතිට දැකගත හැකි විය. එහිදි උමන්දාවේ විහාරාධිපතින් වහන්සේ ඉදිරිපත් කළ පෞද්ගලික කෘෂි විශ්වවිද්‍යාලයක් ඉදිකිරිමේ අදහස සැමගේ ප්‍රසාදයට ලක් විය.
පාර්ලිමේන්තු සතිය ද යෙදී තිබුණ බැවින් සඳුදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඉන් පසු ඇමති මණ්ඩල රැස්වීමට ද ජනාධිපතිවරයා සහභාගී විය.
ජනාධිපතිවරයා පුරුද්දක් ලෙස පාර්ලිමේන්තුවට යන අතර එදින පාර්ලිමේන්තුවේ සිටියදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ජනපති කාර්යාලයට පැමිණෙන්නේ ඔහු මුණ ගැසී සාකච්ඡා කරන්නටය. මන්ත්‍රීවරු පිරිසක් සමඟ ජනපති රනිල් සාකච්ඡා කරමින් සිටියදී ඔහු දුටුවේ මරික්කාර් මන්ත්‍රීවරයා සිය සිංගප්පූරු ගමන ගැන අසත්‍ය ප්‍රකාශයක් කරන අයුරුය.
මරික්කාර්ට ලණුව දුන්නේ හිරුණිකාද? කියා රනිල් අහයි
වහාම සභා ගැබට පැමිණි ජනපති රනිල් මරික්කාර්ගේ ප්‍රකාශය නිවැරදි කරවූවේ ඔහුට විහිළුවක් ද කරමිනි. සභාවෙන් පිටතට පැමිණෙද්දී හමු වූ මන්ත්‍රීවරු ද මේ කාරණය විමසද්දී ජනපති සිනාසෙමින් කීවේ සිංගප්පූරුවේ දවල් කෑම කන්නට වුණේ ගුවන් යානයේදී තියාගෙන බවය.
“උදේ කෑම ලැහැස්ති කළේ සාගල. මොකද ඇමති කේ. ෂන්මුගන් එයාගේ යාළුවා. අභ්‍යන්තර කටයුතු ඇමති ෂන්මුගම් එක්ක වාණිජ ඇමති වෛද්‍ය ටැන්සි ලෙන්ග් ඇමතිතුමාත් ඇවිල්ලා හිටියා. මරික්කාර්ට මේ බොරුව හිරුණිකා ද දන්නේ නෑ කිව්වේ” ජනපති ඇඟට පතට නොදැනී කියද්දී සැවොම කොක් හැඬලූහ.
රනිල් වජිරට කියූ ජේ. ආර්. ගේ පාඩම
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා කථානායක පැමිණීමටත් පෙර සභාව තුළට පැමිණියේ සියල්ලෝ පුදුම කරමිනි. එය දුටු මන්ත්‍රී වජිර විමසා සිටියේ “ සර් ඇයි කලින්ම ආවේ තාම කථානායක ආවෙත් නැහැනේ.” යනුවෙනි.
“සභාවට එන්න ඕනේ කථානායක එන්න කලින් කියලා අපිට මන්ත්‍රී කාලේ කියලා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා.” යි කියමින් ජනපති රනිල් ආණ්ඩු පක්ෂයේ පළමු ආසනයේ අසුන් ගත්තේ සිනාසෙමිනි.
මෙය කන වැකුණු අසල සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු “ ඉස්සර නම් නායකයෝ ආවේ කථානායක ඇවිල්ලා සභාව රැස්වුණාට පස්සේයි. එතකොට ඉතින් දෙපාරක් අපි නැගිටිනවානේ.” කියද්දී සැවොම කොක් හැඬලූහ.
අරලියගහ මන්දිරයේ යළිත් වැඩ ඇරඹේ
ඉකුත් මැයි මස නව වැනිදායෙන් පසුවත්, අරගලකරුවන්ගෙන් අරලියගහ මන්දිරය මුදා ගැනීමෙන් පසුවත් ජන සහභාගීත්වයෙන් කිසිදු වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී නොපැවැත්විණි.
මේ අතර ලෝක ජනාවාස දිනය ඉකුත් 03 වැනිදාට යෙදී තිබිණි. නාගරික ජනාවාස හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මාධ්‍ය ලේකම්වරයා හා අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අතර ලෝක ජනාවාස දිනය සැමරීම සම්බන්ධයෙන් කතා බහක් ඇති විය.
මේ කතා බහේ ප්‍රතිඵලයක් ලෙස ලෝක ජනාවාස දිනය අරලියගහ මන්දිරයේදී සැමරීමට තීරණය විය. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අදහස වූයේ ද "ඒක හොඳ අදහසක්. ඒ අරගලය දැන් අතීතෙටයි අයිති. වර්තමානය සුබවාදී කර ගැනීම හරහා නැවතත් මේ ආයතන ජනතාව වෙනුවෙන් වැඩ කරන ආයතන බවට පත් කරන්න ඕනේ. ඔක්තෝබර් 3 ජනාවාස දිනය අරලිය ගහ මන්දිරය සූදානම් කරන්න" අගමැතිවරයාගේ ආශීර්වාදය ද හිමි විය.
ඒ අනුව ඉකුත් ඔක්තෝ්බර් තුන්වෙනිදා නාගරික ජනාවාස දින සැමරුම් වැඩසටහන අරලියගහ මන්දිරයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී හිමිකම් ඔප්පු 650ක් ප්‍රදානය කිරීම ද සිදු විය.
ප්‍රේමදාස ගැන ප්‍රසන්න කියපු දේ
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා උග්‍ර ප්‍රේමදාස විරෝධියකු ලෙස ප්‍රකටය. නමුත් ඉකුත් සඳුදා දිනට යෙදී තිබුණු ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයේදී ඇමති ප්‍රසන්න හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කෘතවේදීව සිහිපත් කළේය. ඒ ඔක්තෝබර් මස පළමුවෙනි සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත්කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයට යෝජනාව ඉදිරිපත් කළේ එවකට මෙරට අග්‍රාමාත්‍යවරයා සහ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස බව සිය කතාවේදී සිහිපත් කරමිනි. මෙම උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.
කතාව පවත්වා වේදිකාවෙන් බිමට බට ඇමතිවරයාගෙන් අගමැතිවරයා විහිළුවට ඇසුවේ “ඔබතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා සිහිපත් කළාට, එතුමගේ පුතාට ඔළුව උස්සන්න දෙන්නේ නෑ නේද?”
“ තාත්තගේ අහලකින්වත් ඒ පුතා තියන්න බෑ”
ප්‍රසන්න කී කතාවට අගමැතිවරයාටත් සිනා පහළ විය.
අගමැතිගේ හිත ගත් වීඩියෝව
මෙහිදී අරගලය ගැනත් ගැඹුරින් කතා විය. එයට හේතු වූයේ උත්සවයේදී ප්‍රචාරය වූ වීඩියෝ පටයකි. එමඟින් කියවුණේ අරගල කළ යුත්තේ මිනිස්සුන්ට වාසස්ථාන දෙන්න, මිනිස්සු ජීවත් කරවන්න මිස දේපළ ගිනි තියන්න නෙවෙයි යන්නය. එය අරගලකරුවන්ට එල්ල කළ සියුම් අතුල් පහරක් බව බොහෝ දෙනා කතා වුණි.
“ ප්‍රසන්න වීඩියෝ එක මරු. ඔයා කියන්න ඕන දේ නියමෙට කියල තියෙනවා”
අගමැතිවරයා ප්‍රසන්නට කීවේය.
“ ඔව් සර්... මම කියන්න තියෙන දේ කොහොමහරි කියන මිනිහනේ”
ඇමති ප්‍රසන්න කීවේය.
ජනපතිගෙන් ඇමති ප්‍රසන්නට කබීර් ගැන ඇමතුමක්
පසුගිය බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිහිප වරක්ම ඇමති ප්‍රසන්න දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තේය. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඒ වේලාවේ රැඳී සිටියේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළය. එබැවින් ජනාධිපතිවරයාට ඇමතිවරයා සම්බන්ධ කර ගත නොහැකි විය. උත්සාහය සාර්ථක නොවූ තැන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලයට දැනුම් දුන්නේ හැකි ඉක්මනින් තමන්ට ඇමතිවරයා සම්බන්ධ කර දෙන ලෙසයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයෙන් පණිවිඩය ලද විගසම ඇමති ප්‍රසන්න ජනාධිපතිවරයාට ඇමතුමක් ගත්තේය.
“ ප්‍රසන්න, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිකම කබීර් හෂීම්ට දෙන්න අපි එකඟයි කියල පාර්ලිමේන්තුවට කියන්න”
ජනාධිපතිවරයා කීවේය.
ඒ අනුව ඇමති ප්‍රසන්න විගහට එම පණිවිඩය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
සුසිල්, දයාසිරිට කියා දුන් පාඩම
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට තරු පෙන්වූ කතාවක් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවෙන් වාර්තා විය.
දයාසිරි ජයසේකර පැනයක් යොමු කරමින් විමසා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ භූමියෙන් කොටසක් ග්‍රහලෝකගාරයට ගැනීමේ සූදානමක් පවතින බවයි.
ඊට පිළිතුරු ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සභානායක සුසිල් ප්‍රේමජයන්තයි.
එම පිළිතුරු ලබාදීමට පෙර සුසිල් දයාසිරිගෙන් ප්‍රශ්නයක් විමසීය.
“හරි ඔබතුමාට පුළුවන් නම් කියන්න ග්‍රහලෝකාගාරයේ නිර්මාතෘ කවුද? කියලා” යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත විමසුවේය.
“ග්‍රහලෝකාගාරයේ නිර්මාණ නිර්මාතෘ ආතර් සී. ක්ලාක් මහතා” යනුවෙන් දයාසිරි පිළිතුරු ලබාදුන්නේය.
ඊට මඳ සිනහවකින් පිළිතුරු දුන් සුසිල් කීවේ ග්‍රහලෝකාගාරයේ නිර්මාතෘ ආචාර්ය කුලසිංහ බවයි.
මනුෂ එනතුරු සුමනදාස බලා සිටියි
පක්ෂ විපක්ෂ දේශපාලඥයන් එකට එකතු වූ මංගල උත්සවයක් බ්‍රහස්පතින්දා දහවල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ඒ හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ සහෝදරිය වන පර්නි කර්න් සහ මහාචාර්ය රියෙන්සි කර්න්ගේ පුත් මාලන් සහ, කැනඩාවේ පදිංචි කනිෂ්ක සිල්වා සහ ප්‍රීතිකා සිල්වාගේ දියණිය වන ගිම්හානිගේ විවාහ මංගල උත්සවයේදීය. විදෙස්ගතව සිටියත් ඔවුන් සිය විවාහ උත්සවය ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබුණේ මෙරට සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් විවාහ උත්සවය පැවැත්වීමට අවශ්‍ය වීම නිසාය.
සුමනදාස විසින් මනුෂ නානායක්කාර, රාජිත සේනාරත්න, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, චන්දිම වීරක්කොඩි, ශාන් විජයලාල්ද සිල්වා, පියසේන ගමගේට ආරාධනා කර තිබුණි.
මේ අතර පියසේන ගමගේ හිටපු මන්ත්‍රීවරයා පැමිණියේය.
"පාර්ලිමේන්තුවට ගිහින්ද ආවේ"රාජිත ඇසුවේය.
"මම දැන් පාර්ලිමේන්තුවේ නෑ නේ" පියසේන ගමගේ සිහිපත් කළේය.
ඩලස් අලහප්පෙරුම සහ චන්දිම වීරක්කොඩි පැමිණියේ එකටමය. රාජිත මේසයේ එක් පසෙක සිටි අතර අනෙක් කෙළවරේ සිටියේ ඩලස්ය.
"දෙකොන විලක්කුව වගේ තමයි මේ මේසෙත්. හොඳට රටේ ඉෂූස් පත්තු කරලා ගන්න පුළුවන් දෙන්නෙක් තමයි දෙපැත්තේ ඉන්නේ" චන්දිම කීවේය.
"දෙන්නම රටට හොඳක් කරන රත්තරන් මන්ත්‍රීවරු දෙන්නෙක් නේ" සුමනදාස කීවේය.
මනුෂ නානායක්කාර ඇමතිවරයා ගාල්ලේ මඟුල් ගෙදරකට සහභාගී වී මෙහි පැමිණියේය.
කීර්ති විජේබාහුගේ මධ්‍යස්ථානය අජිත් සොයා ගනී
අම්බලන්තොට වලවේවත්ත ඓතිහාසික රම්බා රජමහා විහාරස්ථානයත් සමඟ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ඇත්තේ දැඩි සබඳකමකි.
අනුරාධපුරය යුගයටත් වඩා පැරණි නටබුන් රම්බා විහාරයෙන් හමුවූ නිසා ඒ අවට ඉඩම්වලද පෞරාණික වටිනාකම් සහිත දේවල් ආරක්ෂා කිරීමට අජිත් රාජපක්ෂ කටයුතු කළේ වසර කිහිපයක සිටය.
ඇතැම් අවස්ථාවලදී මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ගේ උපදෙස් ද ලබාගත් අවස්ථා ඇත. රම්බා විහාරයේ පෞරාණිකත්වයට හානි නොවන ලෙස අපට පදිංචිකරුවන්ගේ ඉඩම් ගැටලු විසඳීමේ සාකච්ජාවක් පසුගියදා සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
මෙම සාකච්ජාවෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි අතර මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රම්බා විහාරය ගැන කළ විමසීම්වලට එහි වටිනාකම ගැන කියා දෙන්නට නියෝජ්‍ය කථානායකවරයා අමතක නොකළේය.
වජිර දරුවන් සමඟ වැල්ලේ
එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පසුගිය සෙනසුරාදා උදෑසනම බේරුවල, මොරගල්ල වෙරළ තීරයට පැමිණියේ ධීවර රාජ්‍ය අමාත්‍යාංශය මගින් එහි සංවිධානය කර තිබු ලෝක ළමා දින සැමරුම් උත්සවයකට සහභාගී වීම සඳහායි.
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත විසින් මූලිකත්වය ගෙන සංවිධානය කර තිබූ මෙම උත්සවය පැවැත්වුණේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙනුයි.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්‌ගේ නැටුම්, ගැයුම් සහ ක්‍රීඩාවන්ට මුල්තැන දෙමින් පැවැති මෙම අවස්ථාවට කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, බෙන්තර - ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නෙවිල් ඉගලවිතාන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.
බේරුවල පැවැති ළමා දින වැඩසටහනින් අනතුරුව වජිර අබේවර්ධන තවත් ළමා දින වැඩසටහනක් සඳහා සහභාගී වීමට බෙන්‌තොටට පැමිණියේය.
විපක්ෂ නායක සජිත් හුස්ම හා සක්වළ සමඟ
විපක්ෂ නායක සජිත් ඉකුත් සතිය ගත කළේ සමඟි ජන බලවේගයේ බල මණ්ඩල රැස්වීම් සහ හුස්ම හා සක්වළ වැඩසටහන් සමඟය. ‘දැන් විකල්පය අපි - විසඳුමත් අපි කියලා මුළු රටම දන්නවා’ කියා වෛද්‍ය රාජිත කීවේය. ‘නෙළුම් කුලුන උඩ නැග්ගම දිව්‍ය ලෝකේ වගේ කියලා සමහරු කියනවා, ඒත් අපිට බිම බැලුවහම පේන්නේ දුක් විඳින මිනිස්සු’ සජිත් ජන හමුවලදී කියා සිටියේ ය.
‘ජාතික සභාව ආණ්ඩුවේ තවත් ඊනියා වැඩක්. අපි ඒකට එක්වන්නේ නෑ’ එසේ අවධාරණය කළේ විපක්ෂ නායක සජිත්ය. ‘දැන් ආණ්ඩුව මගඩියක් ඒ වගේම කොමඩියක්.’ සජිත් එහෙම කියනකොට විජියමුණි සොයිසා කියා සිටියේ ‘ඒ කොමඩිය දැන් වසංගතයක් වී ඇති බවය.’ මේ අතර සමඟි විදේශගත ශ්‍රී ලංකික බලවේගයේ ජාත්‍යන්තර වැඩසටහනේ මංගල පියවර ඉකුත් දිනවල ක්‍රියාත්මක විය. ප්‍රථම කමිටුව ඉතාලියේ මිලානෝ නුවර දී පිහිටවූ අතර, දෙවන කමිටුව ඉතාලියේ ෆිරෙන්සි නගරයේ දී ඇරඹිණි.
මෙම අවස්ථාවට සජබ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී අලවතුවල, හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරු සහ සජබයේ ක්‍රියාකාරීන් පිරිසක් ද එක් සිටියහ.
නාමල්ගේ අනාවැකිය
පසුගිය බ්‍රහස්පතින්දා සවස ජාතික සභාව දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 දී පැවැත්වුණි.
මෙම ජාතික සභාවට සහභාගී වීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ පැමිණියේ මාධ්‍යවේදීන් කිහිපදෙනකු සමඟ කතා බස් කරමිනි.
“ඔබතුමා හිටපු තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයානේ කැම්පස්වල ශිෂ්‍ය දේශපාලනය ගැන මොකද කියන්නේ” යනුවෙන් මාධ්‍යවේදියකු විමසුවේ නාමල්ගෙනි.
“විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනය තිබිය යුතුයි. එය තිබිය යුත්තේ බුද්ධිමත් සංවාද ලෙස. ඒත් දැන් අපේ රටේ තියෙන්නේ එක්තරා දේශපාලන පක්ෂ දෙක තුනක බලහත්කාරකමෙන් කරන දේශපාලනයක්” යනුවෙන් නාමල් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.