සෞඛ්‍යවත් ජීවිතයකට බ්‍රැන්ඩික්ස් අතහිත | Page 2 | සිළුමිණ

සෞඛ්‍යවත් ජීවිතයකට බ්‍රැන්ඩික්ස් අතහිත

රුධිර පරිත්‍යාගය යනු මහා දානයක් තරම් පුණ්‍යකර්මයක් වන්නේ ඇතැම් විට ලේ බිඳකින් පවා ජීවිතයත් මරණයත් අතර සිටින රෝගියකුට ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරාත්තු ඇති කර ගත හැකි නිසාය. එබැවින් රටකට ජාතික රුධිර පාරවිලයන සේවාව නිසි පරිදි පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වේ. නිසි පරිදි ජාතික රුධිර පාරවිලයන සේවාව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය කරුණ වන්නේ පරිත්‍යාගශීලීන් වෙතින් අඛණ්ඩව රුධිරය ලැබීමය. ඒ සද්කාර්ය සඳහා දායක වන සමාගම් අතරින් බ්‍රැන්ඩික්ස් සමාගමට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

බ්‍රැන්ඩික්ස් යනු සෑම විටම ජනතාව, පරිසරය සහ සිය ප්‍රජාවන් යන ත්‍රිවිධ අංශවල යහපත කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන සමූහ ව්‍යාපාරයකි. මේ වනවිට මෙරට සමාගම් හා ආයතන අතරින් වැඩිම වශයෙන් රුධිර පරිත්‍යාගයන් සිදු කරන සමාගම බ්‍රැන්ඩික්ස් වන අතර, එහි සාමාජික සාමජිකාවන් දහස් ගණනින් මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් රුධිරය දන්දීමේ උදාර කර්තව්‍යයට දායක වී ඇත. ඉකුතු 13 වසර මුළුල්ලේම අඛණ්ඩව රුධිරය දන්දීමේ වැඩසටහන පවත්වාගෙන යාමට බ්‍රැන්ඩික්ස් සමූහය කටයුතු කළ අතර, පසුගිය වසර දෙකේදී පමණක් වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීම සිදු විය. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවයට ද විවිධ අංශවල සහයෝගය අත්‍යවශ්‍ය වී ඇත. විශේෂයෙන් රෝගී ජීවිත සුරකින ජාතික රුධිර පාරවිලයන සේවාව නිසි ලෙස පවත්වාගෙන යෑමේ කර්තව්‍යයට දායක වීම ජාතික වගකීමක් කොට සලකන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය නැවතත් සිය සුපුරුදු ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සංවිධානය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සමූහයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් දිවයින පුරා ස්ථාන 23කදී පවත්වනු ලබන අතර, මෙම වැඩසටහන් මාලාවට සාමාජික සාමාජිකාවෝ 35,000කට අධික පිරිසක් දායක වෙති. තවකෙකුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සිදුකරන උදාර මෙහෙවරක් වශයෙන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකත්වයේ පූර්ණ මෙහෙයවීමෙන් යුතුව මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ.

“මෙම වටිනා කර්තව්‍යය සඳහා දායක වීමට වැඩි පිරිසක් පොලඹවා ගැනීමට සමූහයේ සාමාජික සාමාජිකාවන් කටයුතු කිරීම මඟින් පෙනී යනුයේ, බ්‍රැන්ඩික්ස් යනු පරාර්ථකාමී ක්‍රියාවන් ඔස්සේ යහපත් වෙනසක් සිදුකිරීම සඳහා කැපවුණු, එකම පවුලක් වන් පිබිදුණු මිනිසුන් පිරිසක් සිටින සමාගමක් බවයි. බ්‍රැන්ඩික්ස් සෑම විටම තම සාමාජික සාමාජිකාවන්ටත්, ප්‍රජාවන්ටත් පිබිදුණු විසඳුම් තිළිණ කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා අප ක්‍රියාවට නංවා ඇති ‘මනුසත්කාර’ ව්‍යාපෘතිය යටතේ දැනටමත් මේ ලේ දන්දීමේ වැඩසටහන් මාලාවට අමතරව, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලුවලට පිළියම් වශයෙන් අක්කර 500 ක භූමි ප්‍රමාණයක් වගා කිරීම, 250,000කට අධික පිරිසකට පානීය ජල පහසුකම් සපයන ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ 1 වසරේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා සිසු සිසුවියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ පාසල් ලිපි ද්‍රව්‍ය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා. අපගේ පරමාර්ථය වන්නේ අපගේ කර්මාන්ත ශාලා ස්ථාපිත කරන සෑම ප්‍රදේශයකම ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම තුළින් එම ප්‍රදේශ අප පැමිණෙන විට පැවති මට්ටමට වඩා යහපත් තත්ත්වයකට පත් කිරීමයි.”

එසේ පැවසුවේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ප්‍රධානී මාලිකා සමරවීර ය. ජාතික රුධිර පාරවිලයන සේවයට මේ සමාගමෙන් ලැබෙන දායකත්වය පිළිබඳ අපි ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහගෙන් අදහස් විමසුවෙමු.

“ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිරය ලැබෙන්නේ මෙවැනි මානුෂීය ව්‍යාපෘති තුළිනුයි. බ්‍රැන්ඩික්ස් යනු දිවයින පුරාම විසිරී පවතින සමූහ ව්‍යාපාරයක් නිසා අපගේ සේවාවට ඉතා පුළුල් මට්ටමින් රුධිරය පරිත්‍යාග කිරීමට එම සමූහයට හැකි වී තිබෙනවා. සාමාන්‍යයෙන් විශාල වශයෙන් රුධිර පරිත්‍යාගයන් සිදු නොවන ප්‍රදේශ පවා මෙම වැඩසටහන් මඟින් ආවරණය වීම විශේෂත්වයක්. ඉදිරියටත් රටේ ජනතාව වෙනුවෙන් මේ උදාර මෙහෙවර අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට බ්‍රැන්ඩික්ස් කටයුතු කරනු ඇතැයි කියා අපට විශ්වාසයි.” වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ එසේ පැවසුවේ බ්‍රැන්ඩික්ස් සමාගමට සිය කෘතඥතාව පළ කරමිනි.

බ්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමූහ ව්‍යාපාරයකි. එය ලොව පිළිගත් සන්නාමයන් සඳහා පරිපූර්ණ ඇඟලුම් විසඳුම් සැලසුම් කිරීම, නිෂ්පාදනය සහ අලෙවිකරණය සිදුකරයි. ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ යන පරමාර්ථය මුල්කරගත් බ්‍රැන්ඩික්ස් සමූහය මේ වනවිට ඉන්දියාව, බංග­්ලාදේශය, හයිටි සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 9ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර, එහි සේවය කරන පිරිස 60,000 කට අධිකය. බ්‍රැන්ඩික්ස් සමූහය සෑම විටම මිහිතලය සහ එහි ජනයාගේ යහපත වෙනුවෙන් කැපවන අතර, දකුණු ආසියාවේ වඩාත්ම තිරසර ඇඟලුම් නිෂ්පාදකයා බවට පත්වීමේ ඉලක්කය තුළ තම මෙහෙයුම්වල ප්‍රධාන අංග රාශියක තිරසර වෙනස්කම් සිදුකර ඇත.

2020/21 ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී අඛණ්ඩව 7 වැනි වරටත් ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ සම්මානය දිනාගැනීමට බ්‍රැන්ඩික්ස් සමූහයට හැකියාව ලැබිණි. එමෙන්ම 2019 වසරේදී එහි මඩකලපුව කර්මාන්තශාලාව ලොව ප්‍රථම ‘Net Zero Carbon’ ඇඟලුම් කර්මාන්තශාලාව ලෙස පිළිගැනීමට ලක්විය.

ඒ සියලු සාර්ථක කඩඉම් තුළින් සාර්ථකව ඉදිරියට යන බ්‍රැන්ඩික්ස් සමාගමේ රුධිරය දන්දීමේ වැඩසටහන යටතේ මේ වනවිට රුධිරය පයින්ට් 36,296 ක් පරිත්‍යාග කර ඇති අතර, බ්‍රැන්ඩික්ස් සමූහය මෙරට ‘පෞද්ගලික අංශයේ විශාලතම රුධිර පරිත්‍යාගශීලියා’ යන විරුදාවලියෙන් ද පිදුම් ලබා ඇත. ලේ දන්දීම යනු අභය දානය දීමක් ය යන විශ්වාසයට සමඟාමීව බ්‍රැන්ඩික්ස් සමූහය විසින් ලොවට ලබාදෙන මහඟු ආදර්ශයක් ලෙස ද මෙම වැඩසටහන හැඳින්විය හැකිය.

Comments