
ජනතාව අතර වීරයන් බිහිවන්නේ කලාවෙන් සහ ක්‍රීඩාවෙන් බවට අපූරු කියමනක් ඇත. ඊට නිදසුන් ද බොහෝය. ජනතාවගේ හදවත ස්පර්ශ කළ හැකියාවත්, ඔවුන්ගේ ආත්මයට කතා කළ හැකියාවත් එක ලෙස පිහිටන එවැනි පුද්ගලයන් පසුකාලීනව ජාතික හෝ ජාත්‍යන්තර සංකේත බවට පත්වන්නේ නිතැතින්මය. මුත්තයියා මුරලිදරන් ඒ අතරින් ඉදිරියෙන්ම සිටී. එතෙක් මෙතෙක් ක්‍රිකට් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙස ක්‍රිකට් විචාරකයන්ගේ නොමඳ පැසසුමට හා ගෞරවයට පාත්‍ර වූ මේ විශිෂ්ට පන්දු යවන්නා ක්‍රීඩාවෙන් විශ්‍රාම ලැබුවේ මීට දශකයකටත් පෙරය. එහෙත් අදටත් ඔහු ගැන කතා කිරීමට බොහෝ දේවල් ඉතිරිවී ඇත. 2010 වසරේ ජූලි මාසයේ මැද භාගයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් පන්දුව යවමින් ටෙස්ට් කඩුලු 800ක් සම්පුර්ණ කළ ලොව පළමු හා එකම ක්‍රීඩකයා බවට පත් වූ මේ ‘දඟපන්දු රජු‘ ගැන යළි කතාබහට ලක්වන්නේ ඔහුගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන ‘800‘ සිනමා සිත්තම යළි වැඩ අරඹන පසුබිමකදීය.
මුරලිගේ ජීවිත කතාව පාදක කරමින් නිර්මාණය වන ‘800‘ ජීවන වෘතාන්තය මුලින්ම කතාබහට ලක් වූයේ 2020 වසරේදීය. සැබැවින්ම දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් පෑ මුරලිදරන්ට ජනතාවට සහ ජාත්‍යන්තරයට කිවයුතු තවත් කතාවක් ඉතිරිව තිබිණි. එය ඔහු කිව යුතුම කතාවක් මෙන්ම ලෝක ප්‍රජාව දැනගත යුතුම කතාවකි. මෙරට වඩාත්ම ජනප්‍රියත්වයට සහ අවධානයට ලක් වූ චරිතයක එක්තරා පැතිකඩක් තිරයට නැඟෙන මේ සිනමා සිත්තම ගවේෂණය කිරීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබිය යුතුව තිබිණි.
‘800‘ යට පාදක වන්නේ අසූව දශකයේ මුල් භාගයේදී මෙරට ඇවිළුණු ජාතිවාදයේ ගිනිදැල් මැදින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ මුරලිට පසුකාලීනව කිසිදු ජාතිභේදයකින් තොරව ලොවම ආදරය කරන චරිතයක් බවට පත්වීමට හැකියාව ලැබුණු අයුරුය. කන්ද උඩරට මහනුවර පළාතේ දෙමළ පවුලක ඉපදී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ අකුරු කරමින් ක්‍රිකට් පිත්තත්, පන්දුවත් සිය ජීවිතයේ කොටසක් කරගෙන ළමාවිය ගත කරමින් සිටි මුරලිට ජාතික කණ්ඩායමට පැමිණ සමස්ත ශ්‍රී ලාංකිකයන් අතර වීරයකු වීමටත්, ඉන් ඔබ්බට ගොස් ජාත්‍යන්තරය ජයගැනීමටත් හැකි වූයේ කෙසේද ? සිංහල කලහකාරීන් පිරිසක් ගිනි තබා විනාශ කළ ව්‍යාපාර හිමි වතුකරයේ පවුලකින් පැවත එන දෙමළ තරුණයකුට ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට හැකි වූයේ කෙසේද? ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමට සිය විශිෂ්ට දායකත්වය සැපයීමට හැකි වූයේ කෙසේද? මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මුරලිට මේ සිනමා සිත්තම නිර්මාණය කිරීමට අවශ්‍ය විය.
එය වූ කලි ශ්‍රී ලාංකේය අභිමානවත් පුත්‍රයකුගේ දිරිය සම්පන්න හා අප්‍රතිහත ධෛර්යයට කදිම නිදසුනකි. සිය තාරුණ්‍යය මුළුමනින්ම මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් ජාතිවාදයට අතුල් පහරක් එල්ල කළ මේ අනභිභවනීය දඟපන්දු යවන්නාගේ ජීවිත කතාව ඔහු අරභයා ගොඩනැඟුණු තවත් ප්‍රශ්න කන්දරාවකටම පිළිතුරු සපයන්නකි.
අසූ තුනේ කළු ජූලියේ කටුක බව මේ ලියුම්කරු ද සියැසින් දැක තිබිණි. එවකට කුඩා පාසල් සිසුවකුව සිටි මේ ලියුම්කරු කළු ජූලියේ මුල් දිනයේදී ජාතිවාදයේ ගිනිදැල් කොළඹ ඇවිළීමේ කලබලය නිසා වාර විභාගය අතරමැද අවලංගු කිරීමෙන් පසු පාසලෙන් නික්ම නිවසට ගිය වැල්ලවත්ත ගාලු පාර මඟ දෙපස දුටු ඛේදනීය හා බියජනක සිදුවීම් සමුදාය මුරලි ලද අත්දැකීමේ කටුක බව ලියුම්කරුට පසක් කරවයි. ‘පුංචි යාපනය‘ නමින් එවකට ප්‍රචලිත වැල්ලවත්තේ දෙමළ කඩසාප්පු ගිනි තබනු, දෙමළ ජාතිකයන් ගමන් කළ මෝටර් රථ ඔවුන් සමඟම උඩුයටිකුරු කර පෙට්‍රල් දමා ගනි තබනු සියැසින් දුටු ලියුම්කරුට අදටත් යම් ස්ථානයක අහස උසට කළු දුමාර විසිරෙද්දී කළු ජූලියේ කටුක අත්දැකීම් සිහිපත් වන්නේ නිතැතින්මය. එය එසේ නම් එදා දෙමළ ජාතිකයකු ලෙස මුරලි සිය පවුලේ සාමාජිකයන් සමඟ එම අත්දැකීමට මුහුණ දුන් අයුරු කෙතරම් අනුවේදනීය වන්නට ඇති ද ?
සිය ජීවන වෘතාන්තයෙන් මුරලිට අවශ්‍ය වන්නේ ඒ කටුක අත්දැකීම් නැවත නැවත සිහිපත් කිරීමට නොවේ. වේදනාත්මක අත්දැකීම් තුළින් ලද පන්නරය සිය ජීවිතය ඔපමට්ටම් කර ගැනීමට ඉවහල් වූ අයුරු ලොවට කියන්නටය. විශේෂයෙන් ජාතිවාදයට පයින් ගසා විවිධ ජාතීන් නියෝජනය කළ එකම කණ්ඩායමක සගයන් ලෙස ක්‍රිකට් ලොව ජයගත් අයුරු ලොවට කියන්නටය.
800 චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වූයේ චෙන්නායි කේන්ද්‍ර කරගත් මූවි ට්‍රේන් මෝෂන් පික්චර්ස් සමාගමය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ එම සමාගමේ සමාරම්භක සාමාජිකයකු වූ මොහාන් ශ්‍රීපතීය. එහි තවත් සාමාජිකයකු වන විවේක් රංගචාරි තිර පිටපත රචනා කළ අතර, පසුව මෙරට සම්මානනීය ඉංග්‍රීසි සාහිත්‍යවේදී ශෙහාන් කරුණාතිලක ද ඊට එක් විය.
Chinaman: The Legend of Pradeep Mathew කෘතිය රචනා කරමින් වසර 2016දී පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානයත්, දකුණු ආසියානු ඩීඑස්සී සාහිත්‍ය සම්මානයත්, ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයේ නිරතවන ශ්‍රී ලාංකිකයන්ට පිරිනැමෙන ග්‍රේෂන් සම්මානයත් දිනාගත් මේ ප්‍රකට ඉංග්‍රීසි සාහිත්‍යවේදියා මුරලිගේ ජීවන වෘතාන්තයේ තිර රචනයට දායක වූයේ ඉතා සතුටෙන් බව මීට පෙර මේ ලියුම්කරු සමඟ කියා තිබිණි. දෙමළ වාර්ගික යුද්ධයක් පැවැති කාලයක මුළුමනින්ම සිංහල ක්‍රීඩකයන්ගෙන් පිරුණු ක්‍රීඩා විවේකාගාරයේ ඔහු ලැබු සහෝදරාත්මක බැඳීමත්, සමස්ත කණ්ඩායම එකම ජාතියක් ලෙස ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගත් ආකාරයත් ප්‍රේක්ෂකයන්ට කියාපෑමට තමාටත් යම්කිසි දායකත්වයක් සැපයීමට ලැබීම ඔහුගේ සතුටට හේතු විය.
‘මුරලිදරන්ගේ චිත්‍රපටයේ තිර රචනයට දායකත්වය ලබා දෙන්න මම එකඟ වුණේ හේතු දෙකක් නිසයි. ඒ, ප්‍රශ්න දෙකකට පිළිතුරු සැපයීමක් විදිහටයි. සමහර විට ඒක මට කවදා හරි මුරලිදරන් හමු වුණා නම් ඔහුගෙන් විමසීමට තරම් ධෛර්යයක් නැති ප්‍රශ්න දෙකක් වෙන්නත් තිබුණා.‘
ශෙහාන් කීවේ ඔහු තිර රචනයට දායක වන විටත් ශ්‍රීපති එහි තිර පිටපත අවසන් කර තිබූ බවය. ‘මගේ චයිනමන් කෘතිය නිසා ඔහුට මුලින්ම වුවමනා වුණේ මට මේ තිර රචනය කියවන්න දීලා උපදෙස් ටිකක් ලබාගන්න. ඒත් පස්සේ මමත් සහය තිර රචකයෙක් විදිහට එකතු වුණා.‘ ශෙහාන් කරුණාතිලක ලියුම්කරු සමඟ එසේ කීවේ මීට වසර දෙකකට පමණ පෙරය.
‘800‘ යනු මුරලිගේ ප්‍රතිරූපය තව දුරටත් ඉස්මතු කර පෙන්වීමේ සිනමා සිත්තමක් හෝ සුපිරි වීරයෙක් තැනීමේ නිර්මාණයක් නොවන බව ඉඳුරාම පැවැසිය හැකිය. තිර පිටපත රචනා කළ ශ්‍රීපතිගේ අවශ්‍යතාව වී ඇත්තේ යථාර්ථවාදී නිර්මාණයක් ප්‍රේක්ෂකයා හමුවේ තැබීමටය. ඒ සඳහා ශ්‍රීපති සහ ශෙහාන් අතර ඇති වූ සංවාද එමටය. විශේෂයෙන් චිත්‍රපටයේ භාවිත දෙමළ බස පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබුණේ දකුණු ඉන්දීය සිනමාවේ භාවිතයට ගැනෙන දෙමළ බස ශ්‍රී ලංකාවේ දෙමළ බසට වඩා හාත්පසින්ම වෙනස් බැවිනි. ඒ පිළිබඳ ශෙහාන් විසින් ශ්‍රීපතිගේ අවධානයට යොමු කරනු ලැබූ අතර, පසුව කන්ද උඩරට වතුකරයේ භාවිත කරනු ලබන දෙමළ බස චිත්‍රපටයට භාවිත කිරීමට ශ්‍රීපති තීරණය කර තිබිණි.
එවකට ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත්පතට ශෙහාන් දුන් සම්මුඛ සාකච්ඡාවට අනුව මෙරට ජනවාර්ගික යුද්ධය පැවැති සමයේදී පවා මෙරට සිංහල, මුස්ලිම්, බර්ගර් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් මුරලි පසුපස සිටි බවය. විශේෂයෙන් ඩැරල් හෙයාර් මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කරද්දී මෙරට සිංහල බෞද්ධ ජනතාව මුරලිගේ ‘වැලමිටේ‘ අර්බුදයේදී ඔහු වෙනුවෙන් එක්සත් වූ බව සිහිපත් කළ ශෙහාන් චිත්‍රපටය තුළින් එය ඉස්මතු කිරීමට තමා වඩාත් උනන්දු වූ බව ද සඳහන් කර තිබිණි.
‘ලේඛකයකුට නම් මෙය ළයාන්විත මිනිසෙක් සහ ආකර්ෂණීය කතාවක්. ඒ වගේම සිනමා තරුවකට වඩා රංගන ශිල්පියකු විදිහට තමාව දකින නළුවකුට නම් මෙය ජීවිත කාලය තුළ රඟපෑමට ලැබෙන විශිෂ්ටතම භූමිකාව විය හැකියි.‘
අවසානයේදී දකුණු ඉන්දීය චරිතාංග නළු විජේ සේතුපතිට අහිමි වූයේ ශෙහාන් එසේ අවධාරණය කළ කාරණාවය. ආරම්භයේදී 800 චිත්‍රපටයේ මුරලිගේ භූමිකාවට අධ්‍යක්ෂවරයා විසින් තෝරා ගනු ලැබුවේ සේතුපතිවය. පසුගිය දශකය තුළ දකුණු ඉන්දීය සිනමාවේ සුකුමාල නළුවන් අතර, කැපී පෙනුණු ප්‍රබලතම චරිතාංග නළුවා විජේ සේතුපතිය. ඔහුගේ අතිවිශිෂ්ට රංගනයත්, දෙමළ සිනමාවේ විශාල ජනප්‍රියත්වයක් ලබා සිටීමත් නිසා ඔහු ඊට හොඳින්ම ගැළපිණි. මුරලි පවා ඉන් සතුටට පත්ව සිටියේය. එහෙත් සියල්ල වෙනස් වූයේ අනපේක්ෂිත අයුරකිනි.
මුරලිගේ විවාහය සිදු වූයේ තමිල්නාඩුවේ චෙන්නායි නුවර කේන්ද්‍ර කරගත් පවුලකිනි. ඔහුගේ බිරිය මෙන්ම ඇගේ මාපියන් ද කීර්තිමත් තමිල්නාඩු වැසියෝ වෙති. එබැවින් 800 චිත්‍රපටය දකුණු ඉන්දීය සිනමාවට නැඟීම ඒ වනවිට ක්‍රීඩාවෙන් ලොවම දිනා සිටි මුරලිට ආශක්තව වූ තමිල්නාඩු වැසියන්ට මහත් උද්දාමයක් ඇති විය. එහෙත් මුරලි චිත්‍රපටයට තමිල්නාඩුවේ විරෝධයක් මතු වූයේ වැඩි දිනක් ගත වීමට පෙරය. මේ විරෝධතා ව්‍යාපාරය පසුපස සිටියේ ද්‍රවිඩ ඊලාම් හිතවාදීන් පිරිසකි. ඔවුන් මුලින්ම සිදු කළේ චිත්‍රපටයේ මුරලිගේ භූමිකාවට පණ පෙවීමට තෝරාගෙන සිටි විජේ සේතුපතිට එරෙහිව විශාල විරෝධතාවක් ආරම්භ කිරීමය. මුළු තමිල්නාඩුවම උණුසුම් කරමින් ඊලාම් හිතවාදීන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ විරෝධතාව ගෙන ගියේ ‘ශේම් ඔන් විජේ සේතුපති‘ නමින් හෑෂ් ටැගයක් ද නිර්මාණය කරමිනි. මුරලිගේ චරිතය රඟපාන්නේ නම් ඔහුගේ සිනමා ගමන එතැනින්ම අවසන් කරන බවට තමිල්නාඩුවේ සිටින ඊලාම් හිතවාදී දේශපාලකයන් සේතුපතිට තර්ජනය කළ බවත් වාර්තා විය. පසුව සේතුපතිගේ කුසලතා පූර්ණ රංගනය නිසා සිනමාවේ තැනක් නැති වූ බාල වර්ගයේ නළු නිළියන් ද මේ විරෝධතාවට එක් විය. තමිල්නාඩුවේ දේශපාලනය සහ සිනමාව එකකට එකක් සම්බන්ධව බව ප්‍රකට කරුණකි.
කොටින්ම තමිල්නාඩුවේ දේශපාලනයට සිනමාවෙන් තොර පැවැත්මක් නැත. කලාවෙන් තොර දේශපාලනයක් එහි ඇත්තේම නැත. සිනමාවට දේශපාලනය ගෑවීමේ හොඳම නිදසුන එම්ජීආර් සහ ජයලලිතා බව අමුතුවෙන් කිව යුතු ද නැත. එවැනි පසුබිමකදී විජේ සේතුපති මැදිවූයේ දෙලොවක් අතරටය. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මෙලෝ හසරක් නොදැන සිටි සේතුපති ක්‍රීඩාව හැදෑරීමට පටන් ගත්තේ මුරලිගේ චරිතයට පණ පෙවීමේ තීරණයෙන් පසුවය. ඔහු මුරලිදරන්ගේ ජීවිතය ද අධ්‍යයනය කළේය. මේ විශිෂ්ට දඟපන්දු යවන්නාගේ මනසේ සිටින මානව හිතවාදියා ඔහු හඳුනා ගත්තේය. ඔහු මුරලිට අසීමිත ලෙස ගෞරව කිරීමට පටන් ගත් අතර, තමිල් නාඩුවෙන් එල්ල වූ විරෝධය හා පීඩනය හමුවේ වුවත් මුරලි ඔහුගෙන් ඉල්ලීමක් කරනතුරු චිත්‍රපටයෙන් ඉවත් නොවීමට තීරණය කර තිබිණි. අවසානයේ මුරලිදරන් ලිපියක් ලියමින් සේතුපතිට මෙසේ කීවේය.
‘මේ චිත්‍රපටය ජාතීන් අතර සංහිඳියාවට, ජාතික සමගියට කදිම නිදසුනක් මෙන්ම අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන්ට කැපවීමෙන් හා උනන්දුවෙන් මෙන්ම ආත්මවිශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කිරීමෙන් ජාත්‍යන්තරය ජයගත හැකි බව සාධක ඇතිව පෙන්නුම් කිරීමක්. ඒත් මේ චිත්‍රපටයේ රඟපෑමෙන් ඔබේ ඉදිරි ගමනට බාධා ඇති විය හැකියි. එබැවින් මේ චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.‘ සේතුපති චිත්‍රපටයෙන් ඉවත් වූයේ මුරලිගේ ඉල්ලීමෙන් පසුවය. සේතුපතිට මුරලිගේ භූමිකාව අහිමි වීමත්, තමිල්නාඩුවේ අන්තවාදී දේශපාලකයන් සහ සේතුපතිගේ විරුද්ධවාදී සිනමා නළු නිළියන්ගේ ක්‍රියා කලාපය මුලින්ම විවේචනය කරනු ලැබුවේ තමිල්නාඩුවේ සාමාන්‍ය වැසියන් විසිනි. ඔවුන්ට සේතුපති මෙන්ම මුරලි ද වීර චරිත දෙකකි. අනතුරුව මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත ශ්‍රී ලාංකිකයන්ම තමිල්නාඩුවේ අන්තවාදී දේශපාලනය හෙළා දකිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔවුන්ගේ පතුරු හැරියේය. ඉන් පැහැදිලි වන්නේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියත් අදටත් සමස්ත ශ්‍රී ලාංකික වැසියන් මුරලි වෙනුවෙන් නැඟී සිටින බව නොවේද?
මුරලිට එරෙහිව තමිල්නාඩුවේ අන්තවාදීන් විරෝධතාවේ නිරත වූයේ ඔහු මෙරට සිවිල් යුද්ධයේදී රජයට සහාය දැක්වූ බවට පදනම් විරහිත චෝදනාවක් එල්ල කරමිනි. සැබැවින්ම මුරලි විරුද්ධ වූයේ ත්‍රස්තවාදයටය. ජාතිවාදයටය. ඔහුට දෙමළ ජනතාව පිළිබඳ කවදත් උරුමයක් තිබේ. ඊටත් වඩා ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු පසුවන්නේ ඉමහත් ආඩම්බරයෙනි. සම්ප්‍රදායික ලෙස මෙරට බහුතරය ‘මම සිංහල, මම දෙමළ, මම මුස්ලිම් යැයි කියන පසුබිමක මුරලි කට පුරා කීවේ ‘මම ශ්‍රී ලාංකිකයෙක්‘ කියා බව කවුරුත් දනී. අනෙක් අතට ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර අර්බුදවලදී හැකි සෑමවිටකම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි.
එබැවින් ‘800‘ මුරලි ජීවන වෘතාන්තය සිනමාවට නැඟීම හැම අතින්ම සාධාරණ බව තමිල්නාඩුවම පසුව අවබෝධ කරගනු ඇත.
ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ තවත් රටවල් කිහිපයකදී රූගත කෙරෙන ‘800‘ සිනමා සිත්තමේ වැඩකටයුතු සේතුපතිගේ සිදුවීමෙන් අඩාළ වූවද එය නතර වූයේ නැත. මුරලි කවදත් අභියෝග ජයගැනීමේ උපන් හපනෙකි. කොටින්ම ඔහු සිය ටෙස්ට් තරග දිවියෙන් සමුගැනීම සිදුවන බවට නිවේදනය කළ ඉන්දියාවට එරෙහි ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වෙද්දී ටෙස්ට් කඩුලු 800ට කඩුලු අටක්ම මදිවී තිබිණි. ඉන්දියාව සමඟ ගාල්ලේ පැවැත්වෙන තරගය සිය අවසන් ටෙස්ට් තරගය බව නිවේදනය කරද්දී ටෙස්ට් කඩුලු 792ක් අතැතිව සිටි මුරලි ගත් තීරණය කණ්ඩායමේ සෙසු සගයන්ට අදහා ගත නොහැකි විය. එහෙත් මුරලිට තමා පිළිබඳ තිබුණේ දැඩි ආත්ම විශ්වාසයකි. ඔහු ඉන්දීය පළමු ඉනිමෙන් කඩුලු 5ක් උදුරා ගත් අතර, දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල දවාලමින් ඓතිහාසික වාර්තාව තැබුවේය.
එබැවින් මුරලිගේ 800 චිත්‍රපටය තිරගත කිරීම ද ඒකාන්තය. දැන් සේතුපති වෙනුවට තෝරාගෙන ඇත්තේ ස්ලම්ඩෝග් මිලියනයර් චිත්‍රපටයෙන් ලොව දිනූ විශිෂ්ට නළු මධූර් මිටාල් බව ඉන්දීය වෙබ් අඩවි සඳහන් කර තිබේ. වැඩ නිමා කිරීමට ඉතිරිව ඇත්තේ ද කොටස් කිහිපයක් පමණක් බවත් වාර්තා වේ. එහි ශ්‍රී ලංකාවේ රූගත කිරීම් දැනටමත් අවසන් කර ඇතැයි ද කියැවේ.
මුරලිගේ 800 සිනමා සිත්තම එක්තරා අන්දමකින් වීරකාව්‍යයක් බඳුය. එහි ගැබ්ව ඇත්තේ අභිමානවත් ශ්‍රී ලාංකේය පුත්‍රයකුගේ ජීවන හඬය.