කරන්න පුළුවන් දේට පුළුවන් වගේම බැරි දේට බෑ කියන්නත් ඕනෑ | සිළුමිණ

කරන්න පුළුවන් දේට පුළුවන් වගේම බැරි දේට බෑ කියන්නත් ඕනෑ

- ජවිපෙ තරුණ නැගිටීම් නිසා අවුරුදු 4 නීති උපාධිය ගන්න මට අවුරුදු 7ක් බලන් ඉන්න වුණා
- විශ්වවිද්‍යාලෙ යන කාලෙම මම වෙළෙඳ දැන්වීම් නියෝජිතයකු විදියට ලේක්හවුස් ආයතනයේ වැඩ කළා
- ලංකා හොස්පිට්ල් සමූහ ප්‍රධාන විධායක වුණේ පත්තරේ දැන්වීමකට ඉල්ලුම් කරලා. පළමුවැනිපාර මාව තේරුණෙත් නෑ
- මුල්ම වැටුප වැටුප රුපියල් 5,000යි  
- විභාගවලට අවශ්‍ය පොත් කි‍ෙයව්වෙත් හරි අසීරුවෙන්

නීතිවේදියකු වීම කුඩා කල පටන්ම තම සිහිනය කරගත් දීප්ති ලොකුආරච්චි අනතුරුව පා තබන්නේ තමා නොසිතූ ක්ෂේත්‍රයකට ය. එහෙත් ඒ ක්ෂේත්‍රයේ ඔහුට ලැබුණු පිළිගැනීම හා ඔහුගේ හැකියාවට ලැබුණු ඉඩ හසර නිසා රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ සියලු සුදුසුකම් පූර්ණය කරන ඔහු එකී රැකියා අවකාශයේ සිටිමින්ම සිය නීතිඥ සිහිනය ද සැබෑ කර ගනී. විශ්‍රාමයෙන් පසුව වෙනම ක්ෂේත්‍රයකට පා තබන ඔහු අද වන විට ලංකා හොස්පිට්ල්ස්හි සමූහ විධායක නිලධාරියා ය. මේ ඔහුගේ දිවිසැරියේ මතක බිඳකි.

සම්පූර්ණ නම

දීප්ති ප්‍රසාද් ලොකුආරච්චි

උපන්දිනය

1965 ජූලි 20

ගම්පළාත

මම උපන්නේ මාතලේ

අම්මා තාත්තාගේ නම් සහ ඔවුන් කළ රැකියා

තාත්තා ලොකුආරච්චිගේ ගුණදාස. ඔහු ව්‍යාපාරිකයෙක්. අම්මා වික්‍රමආරච්චිගේ පද්මාවතී කුමාරිහාමි. අම්මා රැකියාවක් කළේ නැහැ.

සහෝදර සහෝදරියන්

මට ඉන්නෙ එක නංගි කෙනෙක් විතරයි

පාසල් යන්නෙ

පහ වසර වෙනකම් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට. පොඩි කාලෙ ඉඳලම මම හැදුණෙ බෝඩිමෙ. ප්‍රවාහන පහසුකම් ආදී ගැටලු තිබුණ නිසා හය වසරේ ඉඳන් මාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට මාරු කළා.

පාසලේදී බාහිර වැඩ කළාද?

පාසල් ශිෂ්‍ය භටයෙක් විදියට හිටියා. ඒවගේම රගර් ක්‍රීඩා කළා.

පාසල් කාලයේ මතකය කොහොමද?

මම හිටියෙ බෝඩිමේනෙ. අපේ පාසල පිටුපස්සෙ තමයි උඩවත්ත කැලේ තිබුණෙ. දළදා මාලිගය, බහිරව කන්ද ආදී බොහෝ දේ තිබුණා අපට පාසලෙන් පසු කාලය ගෙවන්න. ඒවගේ කාලයක් අද දරුවන්ට නම් ලැබෙන්නෙ නෑ. මගේ චරිතය ගොඩනැඟෙන්න පාසල ගොඩක්ම බලපෑවා

මොනවද උසස් පෙළට කරන්නෙ

මම වාණිජ විෂයයන් කළේ. පළමුවැනි පාර විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. මට පොඩි කාලෙ ඉඳන් තිබුණු ආශාව තමයි නීතිඥයකු වීම. මම කොළඹ විශ්වවිද්‍යාලෙ නීති පීඨයට ඇතුළත් වෙන්න තිබුණු ආශාව නිසාම දෙවැනි පාර විභාගය කළා. දෙවැනි පාර විභාගයෙන් ඒ කියන්නෙ 1986 වසරේදී මම නීති පීඨයට තේරුණා.

ඔබ බොහෝ ගැටලුකාරී වාතාවරණයකයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. අවුරුදු කීයක් ගියාද උපාධිය සම්පූර්ණ කරන්න?

1985 ඔක්තෝබර් මාසෙ විශ්වවිද්‍යාලෙ පටන් ගත්තට භීෂණ යුගය ඉවර වෙනකම් අපිට උපාධිය කරගන්න ලැබුණෙ නෑ. ක්‍රමානුකූලව නැවත විශ්වවිද්‍යාලෙ පටන් ගත්තෙ 1989 විතර. කොහොමහරි අවුරුදු 4 නීති උපාධියට අවුරුදු 7 ක් ගියා.

කොහොමද ඒ කාලය ගෙවා ගත්තෙ.

ඔබ ගමේ යනවද?

ඒකාලෙ මම වෙළෙඳ දැන්වීම් නියෝජිතයතයකු ලෙස වැඩ කළා ලේක්හවුස් ආයතනයේ. ඒකාලෙ රටේ තත්ත්වය නිසා පත්තර සාමාන්‍ය පරිදි විකුණන්න අමාරුයි. දැන්වීම්වලින් තමයි ආයතනය පවත්වා ගෙන ගියේ. පත්තර විකුණන්නෙ හමුදාව දාලා. මමත් එක්ක වෛද්‍ය සිසුවකුත් හිටියා. තව ජ්‍යේෂ්ඨ අයත් හිටියා. ඒකාලෙ දැන හඳුනාගත් සම්බන්ධතා මට පසුකාලීන ව ගොඩක් වැදගත් වුණා. 

විශ්වවිද්‍යාලය නැවත පටන් ගත්තම ඒ රැකියාවෙන් අයින් වුණාද?

ඔව්. මට අරමුණක් තිබුණා. මම කවදාවත් මේ වගේ තනතුරක් ගැන සිහින මැව්වෙ නෑ. මට උවමනාව තිබුණෙ නීතිඥයකු ලෙස පත්වීම අරන් ගමට ගිහින් වැඩ කරන්න.

හැබැයි ඒ සිහිනය ඒ වෙලාවේ ඔබට ඉටු කරගන්න බැරි වෙනවා. මොකද ඒ

මට විශ්වවිද්‍යාලෙදි තමයි මගේ පෙම්වතිය හමු වුණේ. ඇයට ගැහැනු ළමයකු ලෙස නිසි වයසේදී විවාහය සඳහා නිවෙසින් බල කරනවා. අපේ කාලය ගොඩක් ජවිපෙ කලබල නිසා නාස්ති වුණා. මම නීතිඥයකු ලෙස වැඩ කටයුතු නිසි පරිදි අරඹන්න තව අවුරුදු දෙක තුනක් යනවා. එතකන් එයාට ඉන්නත් බෑ;. ඒනිසා මම තීරණය කළා ස්ථාවරත්වයක් හදා ගන්න. ඒනිසා මම රැකියාවකට යනවා

ඔබ පටන් ගන්නෙ සී.ටී.සී. ඊගල් එකෙන්. කොහොමද එතැනට එන්න පාර කැපෙන්නේ

මගේ යාළුවෙක් තමයි කිවුවේ සී.ටී.සී. ඊගල් එකට පුහුණු නීති නිලධාරියෙක් හොයනවා කියලා. එතකොට මම හිටියෙ උපාධියෙ අන්තිම කොටසෙ. වැඩ වර්ජන නිසා ඒවෙද්දි ආයෙමත් අපේ උපාධි කාලය මාස නවයක් විතර ඇදුණා. ඉතින් ජීවිතේ ඒ කාලවකවානුවලට ගැළපෙන ප්‍රශ්න එන්න පටන් ගත්තා. මම හිතුවා හොඳම දේ රස්සාවක් කරන එක කියලා.

නීතිඥයකු වීමේ සිහිනය අත­්හැරියද?

නෑ, මට හිතුණෙ මේක ටික කාලයක් කරලා ආයෙත් නීති උපාධිය සම්පූර්ණ කරනවා කියලයි. පුහුණු කාලය ඇතුළත් වුණු අවුරුදු දෙක මට ඒ කාලෙ ගෙවා ගන්න අමාරු වුණා. ඒනිසා තමයි සී.ටී.සී. ඊගල් එකට ගියේ.

මොකද්ද ලැබුණු තනතුර? හොඳ වැටුපක් ලැබුණාද?

මම බැඳුණේ කළමනාකරණ පුහුණුවන්නෙක් ලෙස. පළමුවැනි වැටුප රුපියල් 5000යි. එතනදි මට හොඳ පුහුණුවක් ලැබුණා. කෙටි කාලයක් ඇතුළත මම වෘත්තීය නිපුණතා පෙන්නලා ඉදිරියට ගියා. නීති විෂයයික දැනුම ගොඩක් මට මේ දේවල් සඳහා උපයෝගී වුණා. වසරක් ඇතුළත මම සහකාර කළමනාකරුවකු ලෙස උසස් වුණා. මට හොඳ වැටුපක් ලැබුණා. මම ඉදිරියට ම ගියා. මට හිටිය මෙහෙයුම් අධ්‍යක්ෂතුමා සහ කළමනාකාර අධ්‍යක්ෂතුමා මගේ හැකියාව තේරුම් ගත්තා. එයාලා මට කිවුවා වරලත් රක්ෂණ විභාග කරන්න කියලා.

නීතිඥයකු වීමේ සිහිනයට මේ රැකියා ස්ථානයේ ඉඳන් යන්න පුළුවන් වුණාද?

රැකියාව කරන ගමන් මම නීතිවේදී විභාග කළා. පස්සෙ මම විභාගය සමත් වුණා. නීතිඥයකු වශයෙනුත් දිවුරුම් දුන්නා.

මොකද වෙන්නෙ. ආයතනයෙන් ඉවත් වෙනවද

ඇත්තටම එයාලා මාව තියාගන්න තැනට වැඩ කළා. මම මේ යන්න හදන ගමන ටිකෙන් ටික වැළකුණා. ඒකාලෙ ඉඳපු සාමාන්‍යාධිකාරීවරයෙක් රැස්වීමකදි මට අභියෝග කළා තාක්ෂණික ප්‍රශ්නයක් ගැන. සභාවක් මැද්දෙ කතා කරලා මම ඉදිරිපත් කරපු මතය හරි කියන එක මම ඔප්පු කළා. රැස්වීම අවසානෙ ඔහු කිවුවා අපි රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන්; ඒ නිසා අපි හැම තිස්සෙම හිතනවා අපි හරි කියලා. නමුත් ඊට වඩා මතත් තියෙනවා. ඔයාගෙ ඔය වෘත්තීය නිපුණතාව නීතිඥයකු හැටියට විතරක් නොවෙයි; ඔයා වරලත් රක්ෂණකරුවකු හැටියටත් තිබුණා නම් මෙතන පිළිගැනීම ගොඩක් වැඩියි. ඒ වගේම ඔච්චර ඒක ඔප්පු කරන්න මහන්සි වෙන්න ඕනත් නැහැ කියලා. එදා තමයි මට තේරුණේ මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඒකෙ සුදුසුකම් හදාගන්න ඕන කියලා

ඒක ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්

පැහැදිලිවම ඔව්. ඒක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය. මම අවුරුදු තුනක් ඇතුළත වරලත් රක්ෂණවේදී විභාගය සම්පූර්ණ කළා. නීතිවේදී උපාධියයි, වරලත් රක්ෂණ ඩිප්ලෝමා එකයි මගේ වෘත්තිමය ජීවිතේ ඉහළට නග්ගන්න අඩිතාලමක් වුණා

සීටීසී ඊගල් එකේ අවුරුදු කීයක් හිටියද

මම අවුරුදු 15 ක් විතර හිටියා. ඒක ආයතන 4කට විතර කැඩුණා. මම අවුරුදු 4කට විතර පස්සෙ සාමාන්‍යාධිකාරී කෙනෙක් වුණා. මගේ ජීවන මට්ටමත් ඉතා හොඳ මට්ටමක් තිබුණා. මේ සියල්ල සම්පූර්ණ ම වුණාම මට හිතුණා චැලේන්ජ් එකක් ගන්න. වෙන තැනකත් වැඩ කරලා අත්දැකීම් ගන්න ඕන කියලා මට හිතුණා. හේලීස් ඒඅයිජී එකට මම යන්නෙ ඒ අරමුණ නිසා. ලෝකෙ තුබුණු ලොකුම රක්ෂණ සමාගම තමයි ඒක. ඇමරිකන් සමාගමක් වුණු ඒකෙ ශාඛාවක් තිබුණා ලංකාවේ. මම එතැනට ගියේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ හැටියට. ලංකාවේ වැඩි වටිනාකමක් තියෙන දේපළ ඔක්කොම වගේ රක්ෂණය කරලා තිබුණෙ ඒඅයිජී එකෙන්. ඒ ප්‍රාග්ධන ධාරිතාව අනික් අයට වඩා ගොඩක් වැඩියි. ඇමරිකන් පරිපාලනය ගොඩක් තදයි. හැබැයි රැකියාව කරන කාලය ඇතුළත විතරයි ඒ තද බව තියෙන්නෙ. ඊට පස්සෙ එයාලා හරි හිතවත් මිනිස්සු.

ඒකට මම උදාහරණයක් කියන්නම්. මම වාහනේ මාරු කරන වෙලාවෙ මට ඒකට අත්සනක් ගන්න ඕන වුණා මගේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගෙන්. ඔහු මගෙන් ඇහුවෙ එක දෙයයි. මේ වාහනේට ඔයයි ඔයාගෙ පවුලේ අයයි කැමතිද කියලා විතරයි. මම ඔව් කියලා කිවුවම එයා මුකුත් කිවුවෙ නෑ අත්සන් කළා. තමන් ළඟ වැඩ කරන අය හොර බොරු කරන්නෙ නෑ කැපවීමෙන් වැඩ කරනවා කියලා දැනගත්තම එයාලා හරිම හොඳට තමන්ගේ සේවකයන්ට සලකනවා.

කොහොමද ඔබේ අත්දැකීම් පරාසය එතැනදි වැඩි වෙන්නෙ

හේලීස් ඒඅයිජී එකේ විධායක කළමනාකරණ පුහුණු වැඩසටහනක් තිබුණා. ඒක තමයි මම ජීවිතේ ලබපු ලොකුම අත්දැකීම. කන්ට්‍රි මැනේජ්මන්ට් වැඩසටහනට ගිහින් ඒ පුහුණුව ඉවර වුණාම ලෝකෙ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන්. ඒ පුහුණුවට යොමු කරන්න කලින් එයාලා ප්‍රශ්නාවලියක් දෙනවා නියමිත කාලයකදී පුරවන්න. අපි දෙන උත්තර අනුව තමයි මේ ආයතනයට අපි සුදුසුද කියලා තීරණය කරන්නෙ. මම මේකෙන් අසමත් වුණා. මගේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මට කිවුවා ඔබ රැකියාවෙදි ඉතා හොඳ නිලධාරියෙක්. බොහෝ දක්ෂ කෙනෙක්. නමුත් අපි කන්ට්‍රි මැනේජර්ස්ලා පුහුණු කරන්නෙ ලංකාවට විතරක් නොවෙයි; මුළු ලෝකෙටම. ඒ අරමුණ හා මේ පිළිතුරු අතර හිදෙසක් තිබෙනවා කියලා. මම අසමත් වුණු එක ප්‍රශ්නයක් තමයි අපි කාටහරි උදවුවක් කළාම පෙරළා ඒකට උදවුවක් බලාපොරොත්තු වෙනවාද කියන එක. මම දීලා තිබුණෙ නැහැ කියන එක. එහෙමනෙ ආසියාතික අපි පුරුදු වෙලා ඉන්නෙ. එයා කියනවා ඒක ඒක එහෙම නොවෙයි, ඔබ කාටහරි උදවුවක් කළාම සම්බන්ධතාවක් ඇති වෙනවා; ඒ සම්බන්ධතාව අනුව තමන්ට හැකියාවක් තියෙන්න ඕන ඒ සම්බන්ධතාව පාවිච්චි කරලා මේ ආයතනයට වැඩි අගයක් ගන්න කියලා. මේ වගේ දේවල්. මට මාස තුනක් ලැබුණා මේ ගැන පුහුණු වෙන්න. මට කළමනාකරණ පුහුණුව ආවෙ ඒක. ආයතන පරිපාලනය කරන්න මට ලැබුණු හැකියාව තමයි මට ලැබුණු ලොකුම අත්දැකීම‍.

එතැනින් පස්සෙ කොහොමද වෘත්තීය නිපුණතාව හැදෙන්න‍ෙ

එතැනින් අයින් වුණාට පස්සෙ මම රක්ෂණ සමාගම් කිහිපයක වැඩ කළා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙ ප්‍රධාන විධායක නිලධාරී තනතුර මට ලැබුණා. ටික කාලයක් ගියාම මට තදබල බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. එ්ක අතෘප්තිකර තත්ත්වයක්. මම පුද්ගලික හේතු නිසා අයින් වුණා. ඊට පස්සෙ මම HNB ඇෂුවරන්ස් එකට කළමානාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්වුණා. මම එතනින් අවුරුදු 55 පිරෙද්දි විශ්‍රාම ගත්තා.

හැබැයි ඔබ ලංකා රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විදියට වර්තමානෙ වැඩ කරන්නෙ.

විශ්‍රාම ගිය ඔබ කොහොමද මෙතනට එන්නෙ.

මම විශ්‍රාම ගියාට ඒ වෙනකොට මට හොඳට වැඩ කරන්න පුළුවන්. පත්තරේ දැන්වීමක් තිබුණා ලංකා හොස්පිට්ල් එකට ප්‍රධාන විධායක නිලධාරියෙක් හොයනවා කියලා. මම ඒකට ඉල්ලුම් කළා. පළමුවර මම තේරුණේ නෑ. පස්සෙ ඒකට මුලින් තේරුණු වෛද්‍යවරයා ඒක බාරගෙන නැති නිසා මට නැවතත් ඒ අවස්ථාව ලැබුණා. දැන් මම නායකත්වය දීලා ඉහළ ලාභාංශ අරන් දීලා තියෙනවා ලංකා රෝහලට. ඒකට බලපෑවේ මගේ පරිපාලන හැකියාව.

තමන්ගෙ සේවකයන් එක්ක තියෙන ගනුදෙනුව කොහොමද?

මම එ් අය එක්ක ඉතාමත් සුහදව හා මිත්‍රශීලිවයි වැඩ කරන්නෙ. මම 1993 ඉඳන් මේ දක්වා රැකියාමය දියුණුවක් ලැබුවට මගේ ගතිගුණ එකමයි.

වෘත්තීය ජීවිතේ අනුගමනය කරන දේවල් මොනවද

අධ්‍යක්ෂ මණ්ඩලයක් එක්ක වැඩ කරද්දි එයාලා බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. විශේෂයෙන් ම ඔවුන්ගේ සියලු බලාපොරොත්තු එක්ක අනුගත වුණා නම් තමන්ගෙ රැකියාව එක්ක ඉදිරියට යන්න පුළුවන්; ඒත් රැකියා සන්තුෂ්ටිය නැතිව යන්න පුළුවන්. ඒ අය එක්ක එකඟ වෙන ගමන් ස්වාධීන තීරණ ගන්න අපට පෞරුෂයක් තියෙන්න ඕන. හැමදේටම හා කියන කෙනෙක් නොවෙන්න ඕන. තමන් කරන්න ඕන තමන් හරියි කියලා හිතන දේ. තමන්ට කරන්න පුළුවන් දේට හා වගේම බැරි දේට බෑ කියන්න ඕන. හරි වෙලාවට හරි දේ වගේම හරි තීරණය ගන්න ඕන. හෘදය සාක්ෂියට අනුකූලවයි වැඩ කරන්න ඕන. මම කවදාවත් එහෙයියෙක් වුණේ නෑ. රක්ෂණ ක්ෂේත්‍රයේ අවුරුදු 30 ක් විතර වැඩ කළාට වඩා මම ලංකා හොස්පිට්ල් එකේ මේ වැඩ කරපු කාලෙ රටට වැඩක් කළා සතුටක් තියෙනවා.

කවුද ඔබේ ජීවන සහකාරිය. කවදද විවාහ වෙන්නේ

1995 මාර්තු 8 වැනිදා අපේ විවාහය සිදු වෙන්නෙ, ඇය ගයාත්‍රී. අපට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දුව තවීෂා, පොඩි දුව මලින්ද්‍රි. ඔවුන් ඉගෙනගත්තේ එංගලන්තෙ විශ්වවිද්‍යාල දෙකක.

සාමාන්‍යයෙන් පොත් කියවනවද

මට නැතිම පුරුද්දක් තමයි පොත් කියවන එක. විභාගවලට අවශ්‍ය පොත් කියවන්නෙත් හරි අසීරුවෙන්

චිත්‍රපට බලන්න කැමැතිද?

ඇත්තටම එහෙම කැමැත්තකුත් නෑ. තරුණ කාලෙ නම් බැලුවා.

විනෝදාංශ විදියට මොකද කරන්නෙ

මම ෆේස්බුක් බලනවා. ඒකේ ගොඩක් දේවල් තියෙනවා. රගර් මැච් බලන්න කැමැතිියි. සිංහල සින්දු අහන්න මම ගොඩක් කැමතියි.

විවේක වෙලාවට මොකද කරන්නෙ

මම සත්තුන්ට හරි කැමැතියි. මට ඉන්නවා බල්ලෙක්; මගේ ලොකුම විනෝදාංශය එයා හුරතල් කරන එක.

සංචාරය කරන්න කැමැති මොන පළාත්වලද?

ශීතල හා වියළි දේශගුණයට කැමැතියි. දඹුල්ල වගේ පැත්තක ඇවිදින්න කැමැතියි

ජීවිතේ පසුතැවිලි වෙන දේවල් තියෙනවාද?

එහෙම ඒවා කාටද නැත්තේ. මටත් තියෙනවා තවමත් මම පසුතැවෙන දේවල්

සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ්ද පාවිච්චි කරන්නෙ

එහෙමම එකක් නෑ. දැන් ගොඩක් වෙලාවට ඇඳුම් එහෙම ගැනෙන්නෙ එංගලන්තයෙන්. ලංකාවෙ ඒවට වඩා ඒවයෙ ගුණාත්මක බව වැඩියි.

අනාගත පරම්පරාවට කියන්න තියෙන්නෙ මොකද්ද

ඉස්සෙල්ලම තමන් තමන්ගෙ හැකියාව තේරුම් ගන්න ඕන. ඊට පස්සෙ තමන්ට කරන්න පුළුවන් දේ මොකද්ද, බැරි දේ මොකද්ද සහ කරන්න ආස දේ මොකද්ද කියලා පැහැදිලි ව අවබෝධ කරගත යුතුයි. ඊට පස්සෙ ආස දේ කරන්න අවශ්‍ය දැනුම සම්පාදනය කරගන්න ඕන. අද ළමයින්ට අවස්ථා වැඩියි. තොරතුරු සම්පාදනයට මෙවලම් වැඩියි. ඒවයෙන් ප්‍රයෝජනය ගන්න දැන ගන්න ඕන.

සේයාරූ - සුදත් නිශාන්ත

Comments