මම හෂාන්ට කිව්වා, ජොබ් එකෙන් අයින් වෙනවා නම් මාව දවසක්වත් තනියම තියලා යන්න එපා | සිළුමිණ

මම හෂාන්ට කිව්වා, ජොබ් එකෙන් අයින් වෙනවා නම් මාව දවසක්වත් තනියම තියලා යන්න එපා

 

හෂාන් තිලකරත්න වගේම අප්සාරි සිංහබාහු තිලකරත්න කියන්නේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය යුවළක්. මේ දෙන්නා ගැන නොදන්න කෙනෙක් නැහැ . ක්‍රිකට් ක්‍රිඩාව එක්ක කාලය ගත කරන මේ දෙන්නා එක්ක කතා කරන්න රසඳුන අපි හිතුවා. ගුවන් සේවීකාවක් විදිහට කටයුතු කළ අප්සාරි වගේම ක්‍රිකට් නිසා තවමත් දුෂ්කර කාරියක් කරන හෂාන් ගැනයි මේ කතාබහ මුලින්ම අපි කතාබහ ට එකතු කරගත්තේ අප්සාරිව,

අප්සාරි විවාහ වෙන්න කලින් ඔබ ලෝකයක් එක්ක ගනුදෙනු කළ ගුවන් සේවිකාවක්. ඒ අත්දැකිම් සුන්දර ඇති..?

ඒ අත්දැකීම් අති සුන්දරයි. මම අවුරුදු හයක් ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කළා, ඒ වගේම බොහෝ අත්දැකීම් ලබන්න තරම් වාසනාවන්ත කාන්තාවක් වුණා. අද මේ ගෙවන ජීවිතේටත් ඒ ජිවිතේ පිටිවහලක් වුණා කිව්වොත් හරි.

 

පළමු ගුවන් අත්දැකීම වගේම අමතක නොවන අත්දැකීම් ඒ අතර ඇති..?

පළමු ගුවන් ගමන සුන්දර යි, දවස් දෙක තුනක් යද්දී ඒ ජීවිතේට හුරු වුණා. අමතක නොවන අවස්ථා ඕන තරම් තිබ්බා එකපාරටම ගුවන් යානය ගැස්සෙන, එයාර් පොකට් එකට වැටෙන අවස්ථාව. අපි ඉන්නේ හිටගෙන වැටිලා තියෙනවා . ඒ වගේම හදිසියේම පැසෙන්ජ කෙනෙකුට හෘද රෝග හැදෙන අවස්ථාවල අපි අපහසුතාවට පත් වෙනවා. ඉක්මනින් ඊට අදාල පියවර ගන්න ඕන ඒවගේ නොයෙකුත් අවස්ථා තියෙනවා . සමහර අවස්ථාවල ගුවන්‍ යානය මුහුදු මට්ටමින් යද්දී හදවත ගැස්සෙනවා. හැම පැසෙන්ජ කෙනෙකුගේ ම ජීවිතේ තියෙන්නේ අපේ අතේ.

ත්‍රස්තවාදීන් ගුවන්ගත වෙන අවස්ථාවල මොන වගේ හැඟීමක්ද ඇති වුණේ..?

ගුවන් සේවිකාවක් කියන්නේ නිකම්ම කෑම බෙදන කෙනෙක් නෙමෙයි. එයාව මනාව පුහුණු කරලා තියෙනවා ඕනම අවස්ථාවකදි මොනාද කරන්න ඕන කියලා. ත්‍රස්තවාදීන් කියලා සැක කරන පිරිස් ඕන තරම් ගුවන්ගත වෙලා තියෙනවා . එයාලා ඉන්නේ ලොකු පීඩනයකින් ඕනම මොහොතක කරදරයක් කරන්න පුළුවන්. ඒ වගේම යානය හයිජැක් කරන්න පුළුවන්. එහෙම වෙයි කියලා බය හිතේ තියෙනවා. එයාලගේ කකුල්වලට මාංචු දාලා ඒ මාංචු සීට් එකට සවි කරලා තියෙන්නේ. කෑම දෙනකොට හැදි ගෑරප්පු දෙන්නේ ප්ලාස්ටික්. ඒවගෙන් ඇන්නොත් කරදර කරොත් කියලා. ඒ වගේම පැසෙන්ජ කෙනෙකුට දෙන හැම කෑමක් බීමක් ගැනම අපි දැනගෙන ඉන්න ඕන. හදන විදිහ පවා. සමහර අය අහනවා විස්තර ඒ ගැන එතකොට කියන්න අපි දැනුවත් වෙන්න ඕන.

 

දිගම ගුවන් ගමන..?

පැය 13ක්. ඉතාලියේ රෝමයට. කොහොමත් ගොඩක් වෙලාවට රෑට ෆ්ලයි කරන්නේ. ඒ නිසා අදටත් මම ආස දවල්ට නිදා ගන්න. රෑ පැය ගාණක් ඇහැරලා ඉන්න පුළුවන්. 1995 විවාහ වුණා. එදා ඉදලා 2004 වෙනකල් හෂාන් එක්ක සංචාර සඳහා සම්බන්ධ වුණා. මිස් වුණේ අවස්ථා කිහිපයක් විතරයි. ගියේ නැත්තම් එයා අප්සට් වෙනවා. මම හිතන්නේ එයාව පේන දුරින් ඉන්නකොට එයාට බයක් නැතුව ඇති.

 

ඔබ ඔබේ රැකියාවෙන් ඉවත් වෙන්නේ විවාහය නිසා, හෂාන්ගේ අකමැත්ත නිසා, ඇත්තටම දුකක් හිතුණේ නැද්ද ..?

දුකක් හිතුණේ නැහැ. මගේ අම්මා තාත්තා ලස්සන පවුල් ජීවිතයක් ගත කරපු දෙන්නෙක්. මට ඕන වුණෙත් ඒ වගේ ලස්සනට ජීවත් වෙන්න. ඒ නිසා මම කැමැත්තෙන්ම සාම්ප්‍රදායික ජීවිතය ගත කරන්න කැමති වුණා.

 

හෂාන් ආදරේ ප්‍රකාශ කරලා විවාහ වෙන්න ඕන කිව්ව මොහොතේ ඔබ ඔහුගෙන් ඉල්ලිම් දෙකක් කළා, එය ඒ විදිහට ම ඉටු වුණා ද..?

මගේ අම්මා තාත්තාව මම තමයි බලාගත්තේ, ඒ නිසා එයාලව බලාගන්න එක, දෙක මම තේරෙන වයසේ ඉදලම හිටියේ අම්මා තාත්තාගෙන් ඈත් වෙලා පිටරට. ඒ නිසා මම හෂාන්ට කිව්වා ජොබ් එකෙන් අයින් වෙනවා නම් මාව දවසක්වත් තනියම තියලා යන්න එපා කියලා. එකට ඉන්න ඕන කියලා. ඉතිං මොන ටුවර් එක ගියත් සල්ලි වියදම් කරලා එක්කගෙන ගියා. ඒ ඉල්ලිම් දෙකම ඉටු කළා. අදටත් කොහේ ගියත් යං යං මාත් එක්ක කියනවා. දැන් ඉතිං දරුවෝ දාලා මාස ගණන් ගිහිං ඉන්න බැහැ නේ.

 

ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආර්ථිකය එතරම් ශක්තිමත් නැහැ, එහෙම පසුබිමක ඔහුත් එක්ක දීග කන්න බයක් හිතුණේ නැද්ද ..?

මම ඒ කාලේ ක්‍රිකට් ගැන මොකුත් දන්නේ නැහැ, මම හිතන්නේ කිසිම දෙයක් නොහිතා දැක්ක ගමන් කැමැත්තක් ඇති වුණේ සසර ගනුදෙනුවක් නිසා වෙන්න ඇති. බයක් දැනුණේ නැහැ. මගේ ඉල්ලිම් දෙකකට ඔහු කැමති වුණා. ඕන දෙයක් වෙයි වෙන්න තියෙනවා නම් කියලා විවාහ වුණා. නමුත් අදටත් ඒ තීරණය නිවැරදිම තීරණය කියලා හිතනවා.

 

ඔහු එක්ක ජීවත් වෙන්න ලේසියිද ..?

හෂාන් කියන්නේ එදා වගේම අදටත් පවුල් ජීවිතේ ගැන හිතන කෙනෙක්. ගෙදර හිටියත් මොකක් හරි වැඩක්. ගේ ලස්සනට තියා ගන්න ආස කෙනෙක්. යාළුවෝ හම්බෙන්නවත් එළියට යන්නේ නැහැ. කොහේ ගියත් මාත් එක්ක යන්නේ. යාළුවෝ ගෙදරට ගෙන්නගෙන කන්න බොන්න දිලා විනෝද වෙනවා. කවදාවත් මම කෑම පිටින් ගෙනත් කාටවත් කන්න දෙන්නේ නැහැ. මමමයි උයන්නේ. වැඩට ඉන්න අයට කියනවා කපලා කොටලා දෙන්න කියලා. මමයි උයන්නේ. ඔහු හොඳ සැමියෙක්. තාත්තා කෙනෙක්. හෂාන් හොඳම කෙනෙක්. ඔහු සමඟ ජීවත් වෙන්න ලේසියි.

අප්සාරි ගේ කතාබහෙන් පසුව කාලයක් ලෝකයම ආදරේ කළ ආදරණීය ක්‍රිකට් තරුව හෂාන් එක්ක කතා කළා,

 

හෂාන් කියන්නේ ඒ කාලේ වගේම අදටත් කවුරුත් ආදරේ කරන ක්‍රිකට් තරුවක්, ඔබට අප්සාරි කියන ලස්සන තරුණිය මුණ ගැහුනේ කොහොමද කියමු..?

1995 අවුරුද්දේ ඩුබායි උත්සවයකදී තමයි මම මුලින්ම එයාව දකින්නේ. දැකලා කතාබහ කළා. එයා ක්‍රිකට් කණ්ඩායම ගැන දැනගෙන හිටියට ක්‍රිකට් ගැන අවබෝධයක් තිබ්බ කෙනෙක් නෙමෙයි . දැක්ක ගමන් හිත ගියා. ඒක හරි අමුතු සිදුවීමක්. ආදරයක් ඇති වුණා . විවාහයට එයාව හොඳයි කියලා හිතුණා . ඊට පස්සේ මම යෝජනා කළා. අපි ආදරේ කරලා විවාහ වුණා.

 

ගුවන් සේවිකාවක් කියන්නේ නිතර ගෙදර රැඳෙන කෙනෙක් නෙමෙයි නේ..?

ඒ නිසා තමයි එයාට ජොබ් එකෙන් අයින් වෙන්න සිදු වුණේ . මොකද පවුල් ජීවිතේ ගත කරන්න නම් දෙපැත්තක ඉදලා බැහැ. මම ක්‍රීඩා කරන්නම ඕන. එයා කැමති වුණා අයින් වෙන්න . ඊට පස්සේ මාත් එක්ක විවාහ වෙලා ජොබ් එකෙන් එයා අයින් වුණා . අපි සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. එයා දරුවන්ට හොඳ අම්මා කෙනෙක්. ඒ වගේම මාවත් හොඳට බලා ගන්නවා. අපි සතුටින් ජීවත් වෙනවා.

 

තවමත් අප්සාරිව ලෝකේ වටේ අරගෙන යන්න නේද හිතන්නේ ..?

එෂියන් කප් බංග්ලාදේශයේ පැවැත්වෙනවා. මම 28 ආවා. එයාට එන්න කිව්වා මම වියදම් කරන්නම් කියලා. දරුවෝ දාලා එන්න බැරි නිසා එයා ආවේ නැහැ. දරුවෝ තුන් දෙනාට විවේකයක් ලැබෙන්න ඕන පවුල පිටින් යන්න. ඉස්සර නම් මගේ වියදමින් හැමෝම එක්ක තමයි සංචාර සඳහා සම්බන්ධ වුණේ.

 

එදා හා අද ක්‍රිකට් ගැන ඔබට බොහෝ දේ කියන්න ඇති නේද ..?

කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්ක මම වැඩ කරන්නේ. ෆෝමැට් තුනෙන්ම තරග තියෙනවා. හැමෝම ස්ව උත්සාහයෙන් වැඩ කරනවා. එයාලගේ රැකියාව මේක නිසා. වැටුපක් ලැබෙනවා ක්‍රීඩිකාවන්ට. ක්‍රිකට් බෝඩ් එකෙන් ප්‍රතිපාදන වෙන් කරමින් යනවා. ඉදිරියේදි කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙත් දියුණුවක් දකින්න පුළුවන්. පිරිමි ජාතික කණ්ඩායම ගැන කිව්වොත් එයත් හොඳ මට්ටමක තියෙනවා . බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.

 

*කාන්තාවන් එක්ක වැඩ කරන්න අමාරු නැද්ද ..?

ලොකු අමාරුවක් නැහැ . කණ්ඩායමේ දක්ෂ අය ඉන්නවා. එයාලගේ ෆිට්නස් බලන්න, කෑම බිම ගැන බලන්න වෙනම කට්ටිය ඉන්නවා. එයාලා ඒවා මේන්ටේන් කරනවා. විනයත් ප්‍රශ්නයක් නැහැ ගොඩක් ක්‍රීඩිකාවන් ෆෝසස්වල අය නිසා.

 

ඉන්නේ පුතාලම තුන් දෙනෙක්, තුන් දෙනාම තාත්තා වගේ ක්‍රිකට් ගහනවා, සතුටු ඇති නේද ..?

සතුටුයි එයාලත් දක්ෂතා දක්වද්දි. බාල පුතා 17 පහළ කණ්ඩායම් නායකත්වය දැරුවා. අනිත් දෙන්නා NCC හා DRC ක්‍රිඩා කරනවා. කොල්ලෝ තුන් දෙනෙක් ඉන්න නිසා එයාලා එයාලගේ දක්ෂතා පෙන්නලා එයාලගේ මාර්ගය හදා ගනියි කියලා හිතනවා.

 

ඔබ එහෙම කිව්වට ජාතික කණ්ඩායමට දරුවෙක් තේරෙන්න ඔබේ බලපෑම් ඇති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ..?

ඒ දරුවෝ තුන් දෙනාගේ තාත්තා හෂාන් තිලකරත්න කියන ක්‍රිඩකයා වීම හරිම අවාසීදායකයි. කිසිම වාසියක් නැහැ. විවිධ කතා හැදෙනවා. නමුත් පැවැත්ම හදාගෙන රැදෙන්න නම් එයාලගේ දක්ෂතා ඕනනේ. දවසක් දෙකක් ජාතික කණ්ඩායමට ගහලා මොනා කරන්නද, අඩු තරමින් අවුරුදු තුන හතරක්වත් ජාතික කණ්ඩායමට ගහන්න ඕන.

 

ගෙදරට ලේලියක් ගේනකල් නේද බලාගෙන ඉන්නේ..?

ලොකු දෙන්නා නිවුන් දරුවෝ. දෙන්නම තවම විවාහයට සූදානමක් නැහැ . ඒක තමයි ඊළඟ බලාපොරොත්තුව. ලොකුම කටයුත්ත.

 

 

Comments