මං හිතන් හිටියේ කවදාවත් නැවක වැඩ කරන කෙනෙක්ව බඳින්නේ නෑ කියලා | Page 2 | සිළුමිණ

මං හිතන් හිටියේ කවදාවත් නැවක වැඩ කරන කෙනෙක්ව බඳින්නේ නෑ කියලා

මගේ ජීවිතේ  මං  කරන්නෑ කියල හිතන් හිටිය  ඒවමයි  අන්තිමට  කරලා තියෙන්නෙ

ගොඩක් දෙනා  හිතුවේ  මං කලාවෙන්  සමුඅරන්  කියලා

කුඩා කල සිටම මවගේ අතේ එල්ලී රංගන තලයට ආ ඇය කලා ක්ෂේත්‍රයේ අයට නම් නුපුරුදු කෙනෙකු නොවෙයි. ‘පුංචි කුමාරියේ’ නත්තල් නාට්‍ය ඔස්සේ ළමා රංගන ශිල්පිනියක් ලෙස කලාවට පිවිසි ඇය තම කුළුඳුල් සිනමා නිර්මාණය වූ ‘උඩුගම් යාමය’ සඳහා ජනාධිපති විශේෂ කුසලතා සම්මානයක් ද හිමිකර ගත්තාය. නමින් තිසුරී යුවනිකා වන ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය දියණියයි.

 

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වුණු ‘පිච්චමල සුවඳයි’ හි රංගනයෙන් පසුව ඇය දකින්නට නොලැබීම බොහෝ දෙනාට ගැටලුවක් වූවා සේම ඇය කලාවෙන් සමුගෙන ඇතැයි ද පුවත් පළ විය. එහි ඇත්ත නැත්ත සොයා බැලීමේ අපේක්ෂාවෙන් අපි ඇයගේ වත්මන් තොරතුරු විමසීමු.

“සමාජ මාධ්‍යවල ආකර්ෂණය ලබාගන්න පළකරන සමහර හෙඩ් ලයින් නිසා ගොඩක් දෙනා හිතුවේ මං කලාවෙන් සමු අරන් කියලා. ඒක ඇත්ත නෙවෙයි. පෞද්ගලික හේතු කිහිපයක් නිසා චුට්ටක් රංගනයෙන් ඈත් වෙලා ඉන්න සිදු වුණා. අම්මගේ හදිසි අසනීප තත්ත්වය තමයි ඒකට ප්‍රබලම හේතුව වුණේ“

තම සෙවණැල්ල සේ සිටි මවගේ හදිසි අසනීපයෙන් තිසුරිගේ මුළු ලොවම උඩියටිකුරු වූවාට කිසිදු සැකයක් නැත.

“2020 දි තමයි මුල්ම වරට අම්මට මෙහෙම දෙයක් තියෙනව කියලා දැනගත්තේ. පරීක්ෂණවල රිපෝට් එද්දි මං හිටියේ ටෙලි නාට්‍ය රූගත කිරීමකට ගිහින්. හස්බන්ඩ්ට තමයි මුලින්ම කියලා තිබුණේ. මුල් අවස්ථාවේම හඳුනගත් නිසා අම්මව සනීප කරගන්න පුළුවන් වුණා. අම්මට ඔපරේෂන් එකක් කළා. දිගටම ට්‍රීට්මන්ට් තිබුණා. ගෙදර වැඩ තිබුණා. ඒ එක්කම කොවිඩ් ආවා. ඒ නිසා මං කොහොමත් බය වුණා වැඩ කරන්න යන්න. අම්මට කොවිඩ් වගේ ලෙඩක් හැදෙන්න හොඳ නැති නිසා ගොඩක් පරිස්සම් වුණා. පවුලේ අය ඇරුණම ගෙදරට කාටවත් එන්න දුන්නෙත් නැති තරම්. මං හරිම කැමැත්තෙන් ළඟටම වෙලා අම්මව බලාගත්තා. දෙවිවරු වගේ දොස්තරවරු හම්බවුණා. හැමෝම උදවු කළා. ආශීර්වාද කළා. සීයට සීයක් මං කියන්නෑ හැමදේම හොඳයි කියලා. ඒත් අම්මට දැන් ගොඩක් සනීප නිසා දෙයියනේ කියලා අපි හොඳින් ඉන්නවා.“

ළමා රංගන ශිල්පිනියක් ලෙස රංගනයට පිවිස රංගන දිවියේ ලද හැකි ඉහළම ඇගයීම තෙවරක්ම දිනාගත් ඇය සැබැවින්ම වාසනාවන්තියකි.

“මේ ලෝකේ වටිනාම රැකියාව තමයි තෝර ගත්තේ කියලා මං හිතනවා. මගේ හීනයක් තිබුණා කවදහරි මට රංගනයෙන් සමුගන්න වුණොත් ඊට කලින් හොඳම නිළියට හිමි සම්මානය ලබා ගන්න ඕන කියලා. අම්මගෙන් ලැබුණු දායාදයට මගේ වෙහෙස, මහන්සිය සහ කැපවීමත් එකතු කරලා හිතුවටත් වඩා ඉක්මනින් මං ඒ ඉලක්කයට ගියා. ‘බොරළු පාර’, ‘සුළඟ මත මොහොතක්’ සහ ‘මිනිගං දෑල’ ටෙලි නාට්‍යයන් සඳහා තෙවරක් හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් මං වාසනාවන්ත වුණා. ඊට අමතරව සහාය නිළිය, කුසලතා සම්මාන එහෙමත් ලැබිලා තියෙනවා.

සිනමාවෙ වුණත් චරිතය තුළ යමක් කරන්න පුළුවන් නම් ඒක පොඩි චරිතයක් වුණත් මං බාරගන්නවා. ඒ වගේ එකක් තමයි ‘ධර්ම යුද්ධය’ කියන්නේ. මං ගොඩක් ආසාවෙන් කළ චරිතයක්. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඒක ගොඩක් ජනප්‍රිය වුණා. එහිදී නැඟී එන නිළියට හිමි සරසවි සම්මානය හිමිවුණා. ඊට පස්සෙ තවත් ඒවට ඇරයුම් ලැබුණා.“

ක්ෂේත්‍රය තුළ කටකතාවලට ලක්නොවූ ඇය ප්‍රථම ප්‍රේමය ජයගත් වාසනාවන්තියක්.

“කවදාවත් අම්ම මට නූල කැඩිච්ච සරුංගලයක් වගේ ඔහේ යන්න දීල නැහැ. එයා නිතරම මාව ගයිඩ් කළා. මට දෙයක් තනියෙන් කරගන්න පුළුවන් කියලා එයාට ෂුවර් වෙනකල් එයා මගේ පස්සෙන්ම හිටියා. බැන්ඳ කියලත් වෙනසක් නෑ. අදටත් මගේ හැම දෙයක්ම හොයල බලලා කරල දෙන්නෙ අම්මයි තාත්තයි.

මං විවාහ වෙන්නෙත් තාත්තගේ හොඳම යාළුවගේ පුතා එක්ක. පුංචි කාලෙ ඉඳන්ම මං එයාව දන්නවා. වයසින් මුහුකුරා යද්දි එයා මට විවාහ යෝජනාවක් ගෙනාවා. මං එකපාරටම උත්තරයක් දුන්නේ නැහැ. මට ඕන වුණා එයා මං වෙනුවෙන් බලන් ඉන්නවද කියලා බලන්න. ආදරය කරනවා නම් විවාහයකින් කෙළවර වෙන්න ඕන කියන සිතුවිල්ල මට තිබුණා. ඉතින් එයා අවුරුදු හතරක් විතර මං වෙනුවෙන් බලන් හිටියා. බැරිම තැන එයා කිව්වා මං ගෙවල්වලට කියනවා කියලා. ඊට පස්සෙ තමයි මං අම්මට කිව්වේ. ගෙවල්වලිනුත් කැමති වුණා. දැන් අපි විවාහ වෙලා අවුරුදු 4ක් වෙනවා. අපි හොඳින් තේරුම් අරන් ගොඩක් සතුටින් ඉන්නවා. එයත් රැකියාව කරන්නෙ නැවක. මගෙ තාත්තත් නැවක නිසා ගෙදර එන්නෙ මාස ගාණකින්. ඒ නිසා මුලදි නම් මං හිතන් හිටියෙ කවදාවත් නැවක වැඩකරන කෙනෙක් බඳින්නෙ නෑ කියලා. අම්ම රංගන ශිල්පිනියක් නිසා මං හිතුවා කවදාවත් මං නම් රඟපාන්නෑ කියලත්. මගේ ජීවිතේ මං කරන්නෑ කියල හිතන් හිටිය ඒවමයි අන්තිමට මං කරලා තියෙන්නෙ.”

 

Comments