කාන්තාව සහ ළමයින් පිළි­බඳ ආක­ල්ප­මය වෙන­සක් සමා­ජයේ ඇති­විය යුතුයි | සිළුමිණ

කාන්තාව සහ ළමයින් පිළි­බඳ ආක­ල්ප­මය වෙන­සක් සමා­ජයේ ඇති­විය යුතුයි

 

ඔබේ දේශපාලන ගමනේ ආරම්භය පිළිබඳව සඳහන් කරනවා නම්?

මගේ ගම වන බෙන්තර ඇල්පිටියෙන් මා ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වුණේ 2010 වසරේදි. එවර මට පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා; මම බිම් මට්ටමේ සිටයි මගේ දේශපාලන ගමන පටන් ගත්තේ. මුලින්ම මම පළාත් සභාවට තරග කර ජයග්‍රහණය ලබා ගත්තා. ඉන් පෙර 2008- 2009 වසරවලදී දේශපාලන පක්ෂවලට ජනතාව වෙනුවෙන් ක්‍රියාකාරීව උදවු කළා. මිනිසුන්ට නළු නිළියන් ගැන එවකට නැති වෙලා තිබුණ විශ්වාසය ඇති කරන්න මට අවශ්‍ය වුණා. 2011 වසරේ මම පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක වුණා. 2010- 2015 සිට මම සංවිධාන කටයුතු සිදු කළා. ගාල්ල දිස්ත්‍රික්කය පුරා මම ගමින් ගමට ගියා. ඒ ගමන අසීරුයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෑත ඉතිහාසයේදී දේශපාලනයට ප්‍රවිෂ්ට වූ එකම කාන්තාව මමයි. 2015දී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමඟ නැවත වතාවක් පක්ෂය ගොඩනැඟීමට අපි ලොකු වෙහෙසක් ගත්තා. එදා මෙදා තුර ග්‍රාමසේවා වසම් 102 පුරාම ආසනයේ ගමින් ගමට ගිහින් සංවිධානාත්මක පක්ෂ කමිටු පත් කළා. මට මගේ ආසනයේ මිනිසුන් පිළිබඳව විශ්වාසය ඇති වුණා. අවුරුදු පහක් තුළ ඊළඟ මැතිවරණය එන තුරු ගමේ සංවිධාන කටයුතු කළා. 2014 වසරේදී දකුණු පළාත් සභාවේ කටයුතු කරමින් ගාල්ල ජනතාව වෙනුවෙන් කටයුතු කළා. 2015 මැතිවරණයේදී ලොකු ජයග්‍රහණයක් ලැබුණා. මිනිසුන්ගේ විශ්වාසය තහවුරු කරමින් පො.ජ.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වී මම රට වෙනුවෙන් කටයුතු කළා. 2019දී මගේ ජිවිතයේ තීරණාත්මක ගැටලුවක් ආවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා. මගේ ස්වාමි පුරුෂයා විදෙස් ජාතිකයෙක් නිසා ඒ රටෙත් පුරවැසිභාවය තිබුණු නිසා මම ද්විත්ව පුරවැසියෙක් වෙලා හිටියා. පක්ෂයේම හිටපු අය මට නඩුවක් දැම්මා, තනිවම සටනක් කරලා ඒ අවස්ථාවේදී ස්විස්ටර්ලන්තයේ තානාපතිට දැනුම් දීලා හුඟක් අසීරුවෙන් එම පුරවැසිභාවය ඉවත් කරගත්තා. ඒ අවස්ථාවේදී කියන්න කනගාටුයි මට කවුරුත් උදවු කළේ නැහැ. නමුත් අවසානයේ මම ජයග්‍රහණය කළා.

රටේ පවතින ආර්ථික අර්බුදය නිසා වඩාත් පීඩාවට පත්වෙලා තියෙන්නේ දරුවන් සහ කාන්තාවන්. ඔවුන් මේ පවතින අර්බුදයෙන් මුදා ගැනීමට ඔබේ අමාත්‍යාංශය හරහා යම් ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවාද?

අනිවාර්යෙන් මම පිළිගන්නවා. මේ අර්බුදයත් සමඟ වැඩියෙන්ම පීඩාවට පත් වුණේ කාන්තාව සහ දරුවෝ. දරුවන්ට කෑම ටික හදලා දෙන වගකීම තියෙන්නේ අම්මට. ඒ නිසා ඔවුන් ගොඩක් පීඩා විඳිනවා. පසුගිය කාලයේ අපිට ඉන්ධන, ගෑස් ප්‍රශ්නයක් තිබුණා. අද ඒ ගැටලුවලට විසඳුම් ලැබිලා තියෙනවා. බඩු මිල ඉහළ යෑමත් සමඟ ගෘහණිය අසීරු තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මුළු මහත් රටම ආර්ථික අවපාතයක ඉන්නේ. සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා. අපි රටක් ලෙසයි ගොඩ එන්න අවශ්‍ය. සමහරක් මේ රට භයානක රටක් බව සංචාරකයන්ට පෙන්වීමට උත්සාහ කරනවා. ඉතින් ඔවුන් අපේ රටට එයිද? විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේරණයන් අඩු වුණා. එසේම අපේ රටේ අපනයන භෝග ඇඟලුම් වැනි ආනයනයන් මඟින් රටේ සංචිතය පවත්වාගෙන ආවේ. කොවිඩ් නිසා ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වුණා. වෙනත් රටවල විදෙස් සංචිතයක් තිබුණා. ඒ නිසා විශාල වශයෙන් ඒ රටවල් බිඳ වැටුණේ නැහැ. නමුත් අපේ රටට එහෙම තිබුණේ නැහැ. මේ රටේ තේ ඇතුළු වෙනත් අපනයන භෝගවලට මොකද වුණේ? ලොකුම ආදායම ගෙනාව තේ කර්මාන්තය ක්‍රමානුකූලව ප්‍රශ්නවලට මුහුණ පෑවා. අපේ තේ, රබර්, පොල්, කුරුඳු ලෝකයේ ඉල්ලුමට සරිලන ආකාරයට නවීන ආකාරයට මේ භෝග කර්මාන්තය නඟා සිටුවන්න අපිට හැකියාව තියෙනවා.

රටේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් ප්‍රමාණය වැඩි වී තිබෙනවා නේද? දරුවන් එම තත්ත්වයෙන් මුදා ගැනීමට විෂය භාර ඇමැතිවරිය ලෙස යම් පියවරක් ගෙන තිබෙනවාද?

රටේ පූර්ව ළමා වියේ පසුවන දරුවන් එක්ලක්ෂ පනස් පන්දහසක් සිටිනවා. ඒ අතර වතු දරුවන් තිස් පන්දහසක් සිටිනවා. පූර්ව ළමා විය සංවර්ධනය වූ දරුවන්ගේ දිවා ආහාරවේල දීමට කටයුතු කරනවා. වසරකට ලක්ෂ තුනක් හෝ තුනහමාරක් දරුවන් අපේ රටේ උපත ලබනවා. එසේම ගර්භිණී සමයේ කාන්තාවට පෝෂණ මල්ලක් දීලා දරුවන්ගේ පෝෂණ මට්ටම සුරක්ෂිත කිරීමට සියලු කටයුතු සම්පාදනය කරනවා. අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 24 මඟින් දිසාපතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම සේවා වසම් සියල්ල ආවරණය වන පරිදි ගැබිනි මවගේ සිට පෙර පාසල් අවධිය දක්වා දරුවන්ගේ උස, බර ප්‍රමාණය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට කටයුතු කරනවා. අඩු බර දරුවන්ගේ පෝෂණ තත්ත්වය වර්ධනය කර මන්දපෝෂණ තත්ත්වයට ඉවහල් විය හැකි තත්ත්වයෙන් මුදා ගැනීමට කටයුතු කරනවා.

උපත ලද දරුවාට ඝන ආහාර දෙන කාලය දක්වා ඒ අය මන්දපෝෂණ තත්ත්වයෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. පෙර පාසල් අවධියේදී අවශ්‍ය උදෑසන ආහාර වේල ලබා දීමට කටයුතු කරනවා. දිළිඳු පවුල්වල දරුවන් වෙනුවෙන් මේ රටේ මවුපියන් යටතේ හැදී වැඩෙන දරුවන්ට මාපිය කැපකරු ක්‍රමයක් පිටරටවල ඉන්න පිරිසට ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. අපේ දරුවන් පිටරටට හදාවඩා ගැනීමට දීමට මම තරයේ විරුද්ධයි. ග්‍රාමසේවා වසම්වල එවැනි දරුවන් මාපිය කැපකරු ක්‍රමය යටතේ රැක බලාගන්න අවස්ථාවක් සහ උපකාර කරනවා නම් එය විශාල පිටිවහලක් වේවි මෙවැනි අවස්ථාවක.

ගැබිනි මවුවරුන්ගේ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයා අතුරු අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා මේ වන විට ක්‍රියාත්මක වෙනවාද?

ගැබිනි මවුවරුන් සඳහා රුපියල් 2,000ක පෝෂණ මල්ලට තවත් රුපියල් 5,000ක් අතුරු අයවැයෙන් ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළා. කාන්තාව සම්බන්ධයෙන් කැබිනට් පත්‍රයක් යොමු කර එයට අනුමැතිය ලබාගෙන තියෙනවා. එහි කාන්තාවන්ට අදාළ සියලු ක්ෂේත්‍රයන් ආවරණය වී තියෙනවා. ජනාධිපතිවරයා අතුරු අයවැයෙන් රුපියල් 60ක් පාසල් දරුවකුගේ දිවා ආහාරය සඳහා වැය කිරීමට කටයුතු කර තියෙනවා. එක දරුවකුට රුපියල් 60ක් වැය කරනවා කියන්නේ මේ අවස්ථාවේ ලොකු දෙයක්. මාසයක් පුරා මෙය මුළු ලංකාවේම දරුවන්ට දිය යුතුයි. මේ රටේ සියලුම දේවල්වලට විරුද්ධ වන සමහර පාර්ශ්වයන් සිතිය යුතුයි, ආර්ථික ප්‍රශ්න අහස උසට නැඟලා තියෙන අවස්ථාවක අපි තවමත් සුභසාධන සේවාවන් පවත්වා ගෙන යනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය ලෝකයේ කිසිදු රටක මේ වගේ සුබසාධන ලබා දෙන්නේ නැහැ.

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යම් පියවරක් ගෙන තිබෙනවාද?

කාන්තාවන්ට සම තත්ත්වය ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ කැබිනට් පත්‍රයක් අනුමත වී තියෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජයීය සමානතාව ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් සමාන වැටුප් ලබා දීමට කටයුතු කිරීම, රාජ්‍ය අංශයේ පුද්ගලික වශයෙන් වන අසාධාරණය, කාල රාමුවට අනුව නීතිපති දෙපාර්තමේන්තුවට විසඳීමට ඇති නඩු ඉක්මන් කිරීම වගේම මේ රටේ මව පමණක් රැක බලාගන්න දරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ගැන කවුරුත් සලකා බලන්නේ නැහැ. උප්පැන්න සහතිකය බලනවා. අම්මලා තාත්තලා විවාහ වෙලාද කියලා බලනවා. එය කොතරම් දරුණු ක්‍රියාවක්ද?

ගැහැනියකට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් නම් දරුවෝ හදාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. එම දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කරන තුරු දරුවා සහ මව පෝෂණය කරන්න රජයට හැකියාව තිබිය යුතුයි. ආකල්පමය වශයෙන් දියුණු රටවල් මෙවැනි අය ගැන විශේෂ සැලකීමක් තියෙනවා. අපේ රටේ කාන්තාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් විය යුතුයි. තනිවම දරුවෝ හදාගන්න අම්මට ගරහන එක නෙවෙයි විය යුත්තේ දිරිමත් කිරීමයි. වෙනත් දියුණු රටවල එවැනි දරුවන්ට විශාල කාලයක් යන තුරු රජයේ රැකවරණය ලබා දෙනවා. මවට රැකියාවක් නොකර ඉන්න පුළුවන් කාලයක් යන තුරු. නිවාස පාසල් සියල්ල ලබා දෙනවා. ළමයි දමා යන්න, මරන්න, සියදිවි නසා ගන්න හේතුව මෙවැනි සමාජ ආකල්පයි. අත්වැරදීමකින්, රැවටීමකින්, දූෂණයකින්, ස්වාමියා හැර යෑමකින් දරුවෙක් ලැබුණ අම්මා කෙනෙක්ට මේ රටේ අත්වන ඉරණම අපි දන්නවා. මේ රටේ එවැනි අම්මාවරුන් දිහා බලන ආකල්පයයි මුලින්ම වෙනස් විය යුත්තේ.

වයස අවුරුදු 16-20 අතර පිරිසට සතියකට පැය 20ක උපරිමයකට යටත්ව අර්ධ කාලීන රැකියාවල නිරත විය හැකි පරිදි කම්කරු නීති සංශෝධනයට අවධානය යොමු වී තිබෙනවා. මේ සමබන්ධයෙන් ඔබේ අදහස?

අවුරුදු 16 වන විට විටත් දරුවන් ලෙසයි අපි සලකන්නේ. 18 වනතෙක් දරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් අපේ රටේ දැඩි නීතිරීති පනවා තිබෙනවා. දැනටත් ඒ නීති ක්‍රියාත්මකයි. මම ඒ යෝජනාවට එකඟ නැහැ.

මේ රටේ බහුතරය කාන්තාවන් වුවත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට පහක් පමණ වෙනවා. එය ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද?

දැනට සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ 13යි. නමුත් මේ රටේ කාන්තාවන් 52% ක් ඉන්නවා. ජනගහනයට සාපෙක්ෂව විශේෂයෙන්ම මේ රටේ කාන්තාව ඇය පිළිබඳ අවතක්සේරුවෙන් ඉන්නෙ. හුඟක් අය විවාහය ගැන හිතන්නේ නඩත්තු කර ගැනීම සඳහා ලැබෙන අවස්ථාවක් කියලයි. නමුත් තමන්ගේ දෙපයෙන් නැඟී සිටිය යුතුයි, ස්වාධීන විය යුතුයි. සමාජයේ සෑම ස්ථරයකම කාන්තාවන් ඉහළ තනතුරුවල සිටිනවා. පිරිමින් හා උරෙනුර ගැටෙන්න කාන්තාවට පුළුවන් කියලා ඇය සියලු ක්ෂේත්‍රවලදී ඔප්පු කරලා තියෙනවා. කාන්තාවක් වීම නිසාම ඇතැම් අවස්ථාවලදී කාන්තාවට හිමි තැන නොලැබෙන අවස්ථා තියෙනවා.

පාසල් දරුවෝ ආහාර හිඟය නිසාම පාසල් පැමිණීම අඩු වී ඇති බව ඇතැම් පාසල්වලින් වාර්තා වෙනවා, ඒ වගේම පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් ද ලොකු අර්බුදයක් මතුවෙලා තියෙනවා. මේ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම අවශ්‍යයි නේද?

එවැනි තත්ත්වයක් තියනවා කියලා පාසල් කිහිපයක් කියනවා. එය අධ්‍යාපන ඇමැතිවරයාගේ වගකීමක්. ඉක්මනින්ම ඒ පිළිබඳ සොයා බලා ඒ දරුවන් වෙනුවෙන් අපිට කළ හැකි දේවල් කිරීමට අපි අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්වත් කිරීමක් සිදු කරනවා. දරුවන්ට දිවා ආහාරය ලබා දෙන්න පිටරටවලින් රාජ්‍ය නොවන සංවිධානවලින් යමක් කිරීමටත් ලෝක බැංකුව මඟින් ණයක් ලබා ගැනීමටත් කටයුතු කරනවා.

සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මම අමාත්‍යංශය බාරගත්ත වහාම ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. සනීපාරක්ෂක තුවාවලට බදු වර්ග කිහිපයක් පැටවෙන විට මිල විශාල වශයෙන් ඉහළ යනවා. මම ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කිව්වා. එතුමා කිව්වා මහ භාණ්ඩාගාරයට වහාම දැනුම් දුන්නා මේ බදු ටික අඩු කරන්න කියලා. නමුත් එය ගැසට් පත්‍රයක් අනුව නීත්‍යනුකූලව නිකුත් විය යුතුයි. ඒ වගේම අපේ ජනතාවත් මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් කාරුණික වෙන්න අවශ්‍යයි. බදු අඩු වුණාම අඩු කරන්නත් අවශ්‍යයි.

විදෙස් ගතවන කාන්තාවන්ට එම රටවලදී සිදු වන පීඩා වැළැක්වීම සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් ඔබේ අමාත්‍යාංශය මඟින් කෙරෙනවාද ?

විදෙස් රැකියා ප්‍රවර්ධන ඇමැතිවරයාත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මේ සඳහා සභභාගිවීමට අවශ්‍යයි. ලෝකයේ අනෙක් රටවල එවැනි නීති ක්‍රියාත්මක වෙනවා. අපේ රජය එම රටවල්වල රජය සමඟ ආරක්ෂාව, සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. එය තානාපති සේවයේ ලොකු වගකීමක්. වයස් සීමාවන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. එසේම එවැනි විදෙස් ගතවන කාන්තාවගේ වයස අවුරුදු 2කට වඩා කුඩා දරුවන් සිටිනවා නම් ඒ අයට විදෙස්ගත වීමට ලබා දීමම සාපරාධී ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. විදෙස් විනිමය අපට අවශ්‍යයි. නමුත් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාපිළිවෙතෙහි මානුෂික මුහුණුවරක් තිබිය යුතුයි.

ළමා යාචක ගැටලුව මේ වන විට විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. ඒ සඳහා ඔබේ අමාත්‍යංශය මඟින් යම් පියවරක් ගෙන තිබෙනවාද?

දරුවන් යාචක ක්‍රියාවලියේ යෙදවීමට බොහෝ විට මැදිහත් වන්නේ වැඩිහිටියන්. එනම්, මව හෝ මව ලෙස පෙනී සිටින කාන්තාවන් මේ දරුවන් සමඟ යාචක වෘත්තියේ යෙදෙනවා. මේ ළමයි වැරදි ලෙස පාවිච්චි වෙනවා. ළමා ආරක්ෂක අධිකාරිය මඟින් මේ සඳහා මෙහෙයුමක් කළ යුතුයි. ළමයාට, ළමයෙක් විදිහට සැලකිය යුතුයි. දරුවන්ට මේ කරන්නේ මොනතරම් වරදක් ද කියලා වැඩිහිටියෝ නොහිතන එකයි වරද? අපේ රටේ මේ දේ ව්‍යාපාරයක් විදිහටයි කරන්නේ. ළමා ආරක්ෂක අධිකාරිය ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුයි.

ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන්්‍ දරුවන් වෙනුවෙන් ඔබේ අමාත්‍යාංශය යටතේ සිදු කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ කෙබඳුද?

ඔක්තෝබර් පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව පෙර පාසල් පිළිබඳ අවම ප්‍රඥප්තිය ප්‍රකාශයට පත්කිරීම සිදු කරනවා. එසේම ගර්භිණී මවුවරුන්ට ලබා දුන් මාස දහයක දීමනාව ලබා දීම නැවත ආරම්භ කරනවා. පෙර පාසල් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශය මඟින් දරුවන්ට රුපියල් 60ක ආහාර වේලක් ලබා දීමට කටයුතු කරනවා. ගැබිනි මවුවරුන්ගේ, පාසල් දරුවන්ගේ සහ පෙර පාසල් දරුවන්ගේ ආහාර වේල ලබා දීම සිදු වන්නේ ලෝක බැංකුවේ ආධාර ඇතිවයි

 

Comments