අනුන් නිසා කැඩෙන බි‌ෙඳන හිත හදාගන්න පහසු ක්‍රම මෙන්න | සිළුමිණ

අනුන් නිසා කැඩෙන බි‌ෙඳන හිත හදාගන්න පහසු ක්‍රම මෙන්න

"අපේ සිතේ සැනසිල්ල තියෙන්නේ අපි ළඟමයි කියන එක බොරුවක් " ඇය කතාවට වැටුණේ දිගු සුසුමක් ද හෙළමිනි. " ඒක ඇත්ත, බොහොම දේවල්, මිනිස්සු, සිදුවීම් පිටතින් ඇවිත් අපේ හිත කඩා බිඳ දානවා. " ඊට ගැළපෙන්නට පිළිතුරක් අමුණා ගන්නට මට හැකි විය.

"ඉතින් අර කියමන අලි බොරුවක් නෙවෙයිද ? " කනස්සල්ල පැරදූ උද්දාම හඬකින් ඈ ඇසුවාය.

ඊට ලබා දිය හැකි උත්තරය ඒ හැටි පහසු එකක් නොවේ. සැබවින්ම " මන සුව" සලසන උත්තර , න්‍යාය සිය දහස් ගණනක් ඇතත් ප්‍රායෝගිකව සමහර ඒවා කියන තරම් ලේසිපාසු නොවන්නට පුළුවන. මේ කාරණය සම්බන්ධයෙන් ද එය එසේමය. එහෙත් බාහිර ලෝකය නිසා අපට විඳින්නට සිදු වන චිත්ත වේදනාව අඩු වැඩි කර ගැනීමේ හැකියාව පුද්ගල ශක්තිය අප සැමට තිබෙන බව කීම බොරුවක් නොවේ. මේ ආකාරයෙන් එදිනෙදා ජීවිතයේදී විවිධාකාරයේ ප්‍රබල සෘණාත්මක හැඟීම්වලට යටත් වන්නට අපට සිදු වේ. ඇතැම් විට අපට එවැනි ගොදුරක් වී සිටින බව පවා අපට නොවැටහෙයි. අපට දැනෙන්නේ පැහැදිලිව කිව නොහැකි යම් මානසික පීඩාවක් ඇති වී තිබෙන බවක් පමණි. මනෝ විද්‍යාඥයන් නම් පවසන්නේ ඒවා යමකුගේ චිත්‍ත අභ්‍යන්තර තොරතුරු හා පෞරුෂය ගැන තේරුම් ගන්නට පවා ඉඟි සපයන බවය.

එහෙත් සාමාන්‍ය එදිනෙදා ජීවිතයක් ගත කරන අපට එය මහත් බාධාවක් පමණි. මේ ආකාරයෙන් පැහැදිලි කරගත නොහැකි " මහ බරකින් " සිත පිරීම වළකා ගත හැකි වන්නේ කෙසේද ?

මේ ආකාරයේ හදිසි තදබල හැඟීම් අප මනසට රිංගා ගන්නේ කොයි වේලාවක දැයි අපට නිච්චියටම කියන්නට පුළුවන්කමක් නැත. එහෙත් ඒවා එනම්, වේදනාකාරී චිත්තවේග ඇති විය හැකි විශේෂ තත්ත්ව කීපයක් හඳුනාගන්නට අපට පුළුවන. ඒවා හඳුනා ගැනීමෙන් වළක්වා ගන්නට උත්සාහ කිරීමෙන් " මන සුව " සලසා ගන්නට අපට හැකි වෙයි.

මේ ආකාරයේ මානසික පීඩනයකට හේතුවන එක් මූලික කාරණයක් වන්නේ ප්‍රතික්ෂේප වීම්ය. ප්‍රතික්ෂේප වීම් සිදු විය හැකි ස්වරූප ගැනත් එදිනෙදා ජීවිතයේදී ඒවා කළමනාකරණය කර ගැනීම ගැනත් උනන්දු වීම එහිදී වැදගත් ය. හිතාමතාම එබඳු තත්ත්ව මඟ හැරෙන සේ කටයුතු කිරීම මෙන්ම එවැන්නක් හට ගතහොත් ඊට මුහුණ දිය යුතු ආකාරය තේරුම් ගැනීම ද මෙහිදී ප්‍රයෝජනවත් වන්නට ඉඩ තිබේ.

ඩියුක් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ මාක් ලියරි කියන අන්දමට අප හය ආකාරයකින් ප්‍රතික්ෂේප වන්නට ඉඩ තිබේ. තමා ප්‍රතික්ෂේප වී තිබෙන බවක් යමකුට හැඟෙන එක් ප්‍රධාන සිදුවීමක් වන්නේ යම් ආකාරයක විවේචනයකට ලක් වීමය. එය පෞද්ගලික හෝ සාමාජයීය වන්නට පුළුවන. නොඑසේ නම් වෘත්තීය සම්බන්ධයෙන් වුවත් විය හැකිය. කිසිවකු විසින් තමා පාවා දෙනු ලැබීම, තමා පිළිබඳ නොපැවසිය යුතු දෑ හෙළිදරවු කරනු ලැබීම හෝ විශ්වාසය බිඳිණු ලැබීම ද තමා ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙකැයි හැඟෙන්නට හේතුවක් වෙයි.

වෙන් කරනු ලැබීම ද ප්‍රතික්ෂේප වීමේ හැඟුම් හා චිත්ත පීඩාව ඇති කරන්නකි. එය දෙයාකාරය. පළමුවැන්න ආදර සම්බන්ධතාවක් වැනි යමක් බිඳී යෑමයි. දෙවැන්න වන්නේ මුළුමනින්ම අපේ පාලනයෙන් ගිලිහුණු වෙන් කරනු ලැබීමකි. එනම් යම් සමාගමයකට, කටයුත්තකට එක් කොට නොගැනීම, සම්බන්ධ කර නොගැනීම ආදි තත්ත්ව විය හැකිය. අගය කරනු නොලැබීම ද ඊටම අයත් කාරණයකි.

මේ ආකාරයේ කවරක් වුවද ප්‍රතික්ෂේප කරනු ලැබීමේ අප්‍රසන්න චිත්තවේගවලට හේතුවක් වෙයි. කනස්සල්ල, කනගාටුව, කෝපය හෝ කාන්සාව වැනි කවරක් වුව නිරන්තර උපදවන්නට එය සමත් ය. එබඳු සිතිවිලි යටපත් කර ගන්නේ කෙසේද? එය බෙහෙවින් ම අසීරු කාර්යයක් බව ඇත්තය. එතැනදී පළමුවෙන්ම කළ යුතු වන්නේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමය. ඇතැම් අවස්ථාවලදී මේ ප්‍රතික්ෂේප වීම සිදු වන්නේ මුළුමනින්ම තමාගේ වරදක් හෝ අඩුපාඩුවක් නොමැතිව විය හැකිය. එබඳු තත්ත්වයකදී කළ යුත්තේ හිස නවා ගැනීම නොව , තමා තුළ ඇති වටිනාකම් ගැන හොඳ තේරුම් ගැනීමකට උත්සාහ කිරීමය. තවත් කාරණයක් නම් තිබෙන තත්ත්වයට වඩා බරපතළ ලෙස කල්පනා කරමින් හිත නරක් කර ගැනීමය.

උදාහරණයක් වශයෙන් කිට්ටුවෙන් ආශ්‍රය කළ මිතුරකුගේ හෝ මිත්‍ර සමාගමයක කතාබහ ඔබ හා ඇති සම්බන්ධය තරමක් දුරස් වූයේ යැයි සිතමු. එහිදී අපට ඇති වන්නේ කනස්සල්ලකි. අප ප්‍රතික්ෂේප වූවාක් මෙන් අදහසකි. අධිකතර චිත්ත පීඩාවකි. එහෙත් එය ඔබ අප කල්පනා කරනවාට වඩා වෙනස් කාරණයක් විය හැකිය. ඇතැම් විට ක්ෂණිකව හිත නරක් කර ගන්නවාට වඩා , එසේත් නැත්නම් වැරදි ලෙස වටහා ගන්නවාට වඩා යම් කාලයක් ලබා දීම, කාලයට ඉඩ ලබා දීම ඥානවන්ත තීරණයකි. සමහර වරදවා වටහා ගැනීම් කාලයත් සමඟ නිවැරදි වන්නේ අප සිහිනෙකින් හෝ නොසිතන අන්දමිනි.

අනෙක් අතට දකින දකින සෑම පුද්ගලයකුගේම ඉහත ආකාරයේ ඍණාත්මක ප්‍රතිචාරවලින් අප සිත රිදවා ගත යුතු නොවේ. සෑම කෙනෙකුගේම වචනවලට හෝ ප්‍රතිචාරවලට හෝ ගැළපෙන පරිදි හිතන්නට ජීවත් වන්නට කිසිවකුටත් නොහැකිය. තමාගේ වරදක් හෝ අඩුපාඩුවක් නොමැතිවම ප්‍රතික්ෂේප වන තැන්වලින් ඉවත්ව යෑම තව තවත් සිත් රිදවා ගැනීමෙන් එහි රැඳී සිටිනවාට වඩා යෝග්‍යය.

අනෙක් කාරණය ඒ සමඟම බැඳුණු එකකි. ඒ එබඳු විවේචන හෝ ප්‍රතිචාවලට හැරෙන තැපෑලෙන් පිළිතුරු දෙන්නට යෑමයි. එය සිදු නොකළ යුත්තකි. එමෙන්ම ඇතැම් චෝදනා හෝ විවේචන හුදෙක් අප කෝප ගන්වනු හෝ අපට අපහාසයක් කරනු පිණිසම ඉස්මතු කරනු ලබන ඒවා ය. ඒ ඇමකි. ඒ ඇම ගිල ගතහොත් දීර්ඝ කාලයක් තිස්සේ " මන සුව " බිඳ හෙළන කනස්සල්ලකට මුල පුරන්නට අපට සිදු වනු ඇත. එබඳු තැනකදී කළ යුත්තේ වහාම එතනින් ඈත් වීමයි. The Words Between Us: A 30-Day Journal for Couples to Get Closer and Communicate with Love ලියූ ෂෙමියා ඩෙරික් පවසන්නේ තව තවත් එල්ලී යෑම කිසි සේත් මානසික සහනයකට, සැනසිල්ලකට මඟ පාදන්නක් නොවන බවය. එබැවින් අනවශ්‍ය වාදවල නොපැටලී සිටීම අභ්‍යන්තර සාමයට ප්‍රබල ලෙස බලපාන්නා වූ සාධකයකි. බාහිර ප්‍රතිචාර හෝ වෙනත් පුද්ගලයන් නිසා හෝ සිත රිදවා ගත් බොහෝ තැනැත්තන්ගේ කතාව සොයා බැලූ විට එය දුරදිග ගොස් ඇත්තේ මෙකී අනවශ්‍ය වාද විවාදවලට පැටලීම නිසා බව පෙනේ.

සැබැවින්ම අපේ සිතේ සතුට අඩු වැඩි කළ හැක්කේ අපටම යැයි කියන කතාවේ ඇත්තක් නැතුවා නොවේ. සිත සතුට නසන්නට එන බාහිර බලවේගවල, එනම් හැසිරීම් ස්වභාවය හෝ වදන්වල ගැබ්ව ඇති වේගය තියුණු බව අඩු කරන්නට හැකි වන්නේ අපේ සිතටම පමණකි. ඇතැම් හැසිරීම් හෝ වදන් මරණීය වේදනාවක් පවා ගෙන එන්නට පුළුවන. එහෙත් එය මරණයකින් කෙළවර නොකොට හොඳ අතට හරවා ගන්නට හැක්කේ එකී තැනැත්තාගේ මනසටම මිස වෙන කිසිවකට නොවේ. එහිදී කළ යුතු හොඳම දෙය ලෙස අප දකින්නේ එබඳු ප්‍රතිචාරයකට ඔබේ ප්‍රතිචාරය අවශ්‍යම නැත්නම් එනම් හදිසි කාරණයක් නොවේ නම් , එකී චිත්ත වේදනාව වේදනාවක් ලෙස නොසලකා යම් කිසි කාලයක් ඉවසන්නට සිත එකඟ කර ගැනීමයි. බාගවිට ඒ කාල සීමාව ඉවර වන්නට පවා පළමුව අපට හොඳ පිළිතුරක් ලැබී තිබෙන්නට ඉඩ තිබේ.

අප බොහෝ විටම ලත වෙන්නේ , හිත නරක් කර ගන්නේ අපේ පාලනයෙන් තොර කාරණාවලටය. තවත් ලෙසකින් කිවහොත් අප කොයිතරම් හිත් නරක් කරගත්තද ඊට විසඳුමක් ඇති පෙලඹුමක් කරන්නට අපට ඉඩකඩක් ලැබෙන්නේ නොවේ. එබඳු තත්ත්ව තේරුම් ගැනීමට උත්සාහ කිරීම ද "මන සුව" සලසන්නකි.

මෙයාකාරයේ චිත්ත පීඩාවලින් එනම්, බාහිර සාධක නිසා ඇතිවන පීඩාවලින් මිදෙන්නට න්‍යායාත්මක උපදෙස්වලටත් වඩා වටින්නේ ප්‍රායෝගිකව සිදු කළ හැකි ක්‍රියාකාරකම්ය. භාවනාව හෝ චිත්ත ඒකාග්‍රතාව හා සම්බන්ධ ක්‍රියාකාරකම් මෙහිලා බෙහෙවින් වැදගත් ලෙස සැලකිය හැකිය. ඒවා මූලික වශයෙන්ම ආතතිය, කාංසාව හා විශාදය ආදියට කදිම පිළියමක් බැවින් කවරාකාරයක හෝ මානසික පීඩාවක් දරා ගැනීමේදී ප්‍රයෝජනවත්ය.

ලෝකයෙන් එන නොයෙක් ආකාරයේ පීඩා නිසා උපදින බරපතළ හැඟීම් දරා ගන්නට හැකි හොඳම ක්‍රමයක් වන්නේ නිශ්චිත රාමුවකට සකසා ගත් ව්‍යායාම කාලසටහනයි. එය ශාරීරික ක්‍රියාකාරීත්වය හා මානසික තෘප්තිය කෙරෙහි ද බලපාන අතරම බයිසිකල් පැදීම, කඳු නැඟීම හා ඇවිදීම, කණ්ඩායම් ක්‍රීඩා ආදිය හුදෙකලා හැඟීම් අවම කර ගන්නට ද උපකාරී වෙයි.

සිතේ සැනසිල්ල ගෙනෙන්නට මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලින් පිහිටක් ලැබේ යැයි ඇතමෙක් කල්පනා කරති. එහෙත් එය මුළුමනින්ම ඇත්තක් නොවේයැයි සිතමි. එය තාවකාලිකය. කෙටි කාලයකට සිත එකී අප්‍රසන්න හා කණස්සලුසහගත සිතිවිල්ලෙන් ඉවතට අදින්නට පමණක් එය සමත්ය. ලොවෙන් රිදවුම් ලැබෙන හැම මොහොතකම මධුවිත සොයා යෑම වෙනත් නපුරක ආරම්භය විය හැකිය.

මුළු ලොවම පිටුපෑවේ යැයි කීම බොහෝ විට සාහිත්‍ය ලෝකයේ කියමනක් බව මගේ හැඟීමය. කලාතුරකින් එබඳු පුද්ගලයන් ඉන්නට පුළුවන් නමුදු අඩුම තරමේ ඕනෑම කෙනකුට කිට්ටුවන්තයන් එක් කෙනකු හෝ දෙදෙනකුවත් සිටින්නට පුළුවන. ඔවුන් හා වැඩි කාලයක් ගත කරමින්, ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට කාලය මිඩංගු කරමින් කටයුතු කිරීම මේ ආකාරයේ මානසික පීඩාවලින් අප මුදන්නට සමත්ය.

යමකු නිර්මාණශීලිත්වයකින් යුතු නම් ඔහු හෝ ඇය කිසි විටෙකත් මුළුමනින්ම බාහිර සමාජය විසින් ඇති කරන පීඩාවල ගොදුරක් බවට පත් නොවේ. චිත්‍ර ශිල්පය, ගායනය, ලිවීම ආදි කටයුතුවල කාර්ය බහුල වීම සාමාන්‍ය මට්ටමේ ආතතිය පාලනය කරන්නට සමත් ඒවාය.

අපෙන් කාට වැඩක් ඇත්දැයි සිතා හිත නරක් කර ගැනීම ද මීටම ඈඳුණු කොටසකි. සැම අයෙකුම යම් කිසිවකට දක්ෂ බව සාමාන්‍ය පිළිගැනීමයි. ඒ හරහා තමා අන් අයට ප්‍රයෝජනවත් පුද්ගලයකු යැයි සිතන්නට පෙලඹීම මේ සැක සාංකා ගති දුරලා සතුට ද ආත්ම විශ්වාසය ද ඉහළ නංවන්නට හේතුවකි. එහි විවිධ පරාස තිබෙන්නට පුළුවන. එය ප්‍රමාණවත් නොවන විට තම හැකියාව උපරිම තලයකට ගෙන එන්නට උත්සාහ කරමින් ඒ හරහා අන්‍යයන්ගේ ආකර්ෂණය හා ඇගයුම දිනා ගන්නට වෑයම් කිරීම නරකක් නොවේ. කළු ජාතිකයන්ගේ අභිමානයත් සමාජ තත්ත්වයත් ඉහළ නැංවීමේ අනූපමය සේවයක් කළ මහාචාර්ය බුකර් ටී. වොෂින්ටන් ( Booker T Washington - Up From Slavery / බිඳුණු විලංගු ) වරෙක පවසා තිබුණේ ඉහළ සමාජශීලි ජීවිතයකට හොඳම මඟ නම් කාටත් අවශ්‍ය පුද්ගලයකු බවට පත් වන්නට උත්සාහ කිරීම බවය. යම් හැකියාවක් අනෙකාගේ ආකර්ෂණය , අවශ්‍යතාව උපදන පරිදි දියුණු තියුණු කර ගැනීම එතෙකින් නොනැවතී පුද්ගල අභිවෘද්ධියට ද හේතු වෙයි.

අද අප ජීවත් වන්නේ ඉතාමත් තරගකාරී සමාජයකය. සිතේ සැහැල්ලුව වඩවන විවේකය අප බොහෝ දෙනාට නොමැති තරම්ය. එබඳු වටපිටාවක බාහිර සමාජය නිසා ඇතිවන චිත්ත පීඩා ප්‍රබල කනස්සලු සහගත චිත්තවේග එනම්, හදිසි බරපතළ හැඟීම් ලෙසින් අපට දැනෙන්නට පුළුවන. ගෙදරදොරේදී වේවා, පාසලේ හෝ සේවා ස්ථානයේ හෝ වේවා මෙබඳු දේ අප හිත් කඩා වට්ටන්නට සමත් බව ඇත්තකි.

එහෙත් ඊට පිළියම් සෙවිය යුත්තේ ද අපම විනා වෙන කවුරුන් හෝ නොවේ. මේ සියලු ක්‍රමවේද සියලු දෙනාට එක ලෙස පෑහෙන්නේ නොවේ. ඇතමකුට මසුරන් වන දෙය තවත් අයකුට පිච්චියක් නොවටින්නට ඉඩ තිබේ. තමාට ගැළපෙන ක්‍රමවේද අඩු වැඩි වශයෙන් තෝරා ගැනීම අපේ වගකීමය. එතැනින් ද පිළියමක් පිළිසරණක් නොලැබේ නම් වෘත්තියමය වශයෙන් මේ කාරණා සම්බන්ධයෙන් අපට උදවු කළ හැකි පුද්ගලයන් හා ආයතන ද තිබෙන බව අප අමතක නොකළ යුතුය.

Comments