කොත­රම් ලැබු­ණත් සෑහී­ම­කට පත් නො­වන ජන­තා­වක් නිර්මා­ණය වී තිබේ | සිළුමිණ

කොත­රම් ලැබු­ණත් සෑහී­ම­කට පත් නො­වන ජන­තා­වක් නිර්මා­ණය වී තිබේ

ජාත්‍යන්තර සංක්‍රමණ පිළිබඳ සාකච්ඡා කිරීමේදී මූලිකව ජාත්‍යන්තර සංක්‍රමණිකයා යනු කවරෙක්ද යන්න විග්‍රහ කළ යුතුය. තමන් දැනට සිටිනවාට වඩා ඉහළ පරිභෝජන මට්ටමක් සහ ජීවන රටාවක් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව සාධනීය කරගැනීම මෙන්ම ආහාර හිඟය යුදමය සහ අයහපත් දේශපාලනික මැදිහත්වීම්, ස්වාභාවික ආපදා, රැකියා විරහිත භාවය රටේ පවතින ආර්ථීක දුෂ්කරතාව නිසා ඇතිවන ආහාර හිඟය, දරිද්‍රතාව, සැබෑ ජීවිත තර්ජනයක් සහ ඇතැම් විට මරණ බිය නිසා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන පුද්ගලයකු සරලව සංක්‍රමණිකයකු ලෙස හැඳින්විය හැකිය. මෙවැනි සමුච්චිත සාධක රාශියක ප්‍රතිඵලයක් ලෙස මේ සංක්‍රමණය සිදු වෙයි.

මෙලෙස මිනිසුන් තමන් උපන් රට අත්හැර දමා යෑමට පොලඹවන හේතු සාධක රාශියක් ඇති බව පැහැදිලිය. යම් පුද්ගලයකුට තමන් ජන්ම ලාභය ලැබූ රට අත්හැර විදේශයකට සංක්‍රමණය වීමට මුල් වන ප්‍රමුඛ සාධකය තමන් උපන් රටේදී අත්කර ගැනීමට නොහැකි ජීවන මට්ටමක් අත්කර ගැනීමේ අභිලාෂයයි. වඩා යහපත්, සුවබර, සතුටුදායක ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවයි. පුද්ගලයන් අපේක්ෂිත ආර්ථිකය වර්ධන මට්ටමක් සහ ජීවන තත්ත්වයක් මේ රට තුළ සිට වර්ධනය සහ අත්පත් කර ගැනීමට නොහැකිය යන ආකල්පය නිසා ඇතැමුන් මේ සඳහා පෙලඹී ඇත. මිනිසාගේ මූලික ස්වභාවය තමාගේ සැපත සලසා ගැනීම බැවින් එය අසාධාරණ යැයි තර්ක කළ නොහැකිය.

තමන් ඉපදුණු රටේ තමන් දැනට හඳුනාගෙන ඇති පරිභෝජන රටාවට ළඟා වීමට නොහැකි යැයි යන සිතුවිල්ල එනම්, සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි යැයි යන අදහසයි. අපි කුඩා කල සිටම සමාජයෙන් අපට දෙන පණිවුඩය කුමක්ද? පාසල් සහ විශ්වවිද්‍යාලවලින් ළමුන්ගේ මනසට ඇතුළු කරන්නේ සැපවත් ජීවිතයක් ළඟා කර ගත යුතු බවයි. කුමක්ද මේ සැපවත් ජීවිතය? ප්‍රමාණවත් ඉහළ මට්ටමින් කෑමබීම, ඇඳුම් පැලඳුම්, විවිධ විලාසිතා, විනෝද වීමේ ඉඩ පහසුකම්, අලුත් පන්නයේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, මහල් නිවාස, වටිනා නවීන පන්නයේ මෝටර් රථයක් වැනි පාරිභෝජන රටාවේ සුඛෝපභෝගික බවක් සම්බන්ධයෙන් කුඩා කල සිටම ඇතිවූ පෙලඹවීමක්, ආශාවක් සමාජය විසින් දී ඇත.

අපේ රට ධනවත් රටක් නොවන අතර, බරපතළ ආර්ථික අර්බුදයකට දේශපාලනික ගැටලුවලට මුහුණ දී ඇති රටකි. අපේ රට අනුගමනය කරන ආර්ථික මාදිලිය සහ දේශපාලනික රටාව බෙහෙවින් අසාධාරණ කුරිරු සහ අනුකම්පා විරහිත වූවකි. ධනය ඇත්තෝ ඉතාම ඉහළ සුඛෝපභෝගි ජීවන රටාවක් ගත කරති. මේ පරිභෝජන රටාව දකින බොහෝ මිනිසුන් උත්සාහ කරනුයේ ඒ තත්ත්වයන් හිමිකර ගැනීමේ සහ අත්පත් කරගැනීමට හැකි ස්ථානයට ගමන් කිරීමටය. එහෙත් මෙලෙස සංක්‍රාන්තික සංක්‍රමණය සිදු කරන බොහෝ පිරිස් සුඛෝපභෝගී ජීවන රටාවක් අපේක්ෂා කළද බොහෝ විට හිමි නොවෙයි. තෘප්තිමත්, චාම්, සරල දිවිපෙවතක් අපේ සාරධර්ම පද්ධතියේ පවතී. මනුෂ්‍යයකුට ප්‍රමාණවත් තරම් ආහාර, සෞඛ්‍ය සම්පන්නව සිටීමට නිවෙසක්, තමන්ගේම නොවුණද ගමන් බිමන් සඳහා වාහන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, මනා අධ්‍යපනයක් දීමේ පහසුව සහ වියපත් වූ විට කිසිවකුට අතනොපා ජීවත් වීමේ හැකියාවක් යන සරල දිවිපෙවතකට එකඟ නොවීම පරිභෝජනවාදී ධනේෂ්වරවාදී සමාජයේ ස්වභාවයයි. කොතරම් ලැබුණත් සෑහීමකට පත් නොවන ජනතාවක් නිර්මාණය වී තිබීම විශාල ගැටලුවකි. තමන්ට ‍ෙකාතරම් ප්‍රමාණයක් හිමි වුවත් ඇති වීමක් නැති සමාජ ආකල්පයන් පැවැතීම ද මෙයට ප්‍රධාන හේතු සාධකයක් වෙයි.

මේ වුවමනාව වඩා තීව්‍ර වූ වකවානුවක බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වීමෙන් සමාජ ව්‍යාකූලත්වයක් ඇති විය. සමාජයේ කලහ ඇති වූ විට මේ පෙලඹවීම වඩා තීව්‍ර වෙයි. ඒනිසා මිනිසුන් රට අත්හැරදා සංක්‍රමණය වීමට වඩා පලා යෑමටත් උත්සාහ කරයි. පසුගිය මාස ගණනාව තුළ අපේ රටේ ජනයා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වියරු උත්සාහයක නිරත වීම මේ යථාර්ථයේ ප්‍රකාශනයකි. වත්මන් සමාජය අතිශයින් ස්වකීය අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන ආත්ම කේන්ද්‍රීය වූ එකකි. එහි ඉතාමත් ආත්මාර්ථකාමි ආකාරයක් දක්නට ලැබෙයි. මමත්වය මූලික ආදර්ශ පාඨය වෙයි. එසේම අනෙක් පුද්ගලයාට කුමක් වුවත් තමාට කමක් නැතැයි සිතන තත්ත්වයකට අපේ සමාජය පත්වී ඇත. මේ සමාජයේ ඇතැම් පිරිස් තමන්ට අභිමත ලෙස හැසිරිය හැකි ලෝකයක් කරා යෑමට කටයුතු කරති . නිදහස් අධ්‍යපනය හරහා අති විශාල වියදමක් දරමින් රටේ නිදහස් අධ්‍යපනයේ පිහිටෙන් ඉහළට නැඟුණු මිනිසුන් තමන්ගේ රට අත්හැර වෙනත් රටකට යයි. අපේ රට දිළිදු රාජ්‍යයක් වුවද නිදහස් අධ්‍යාපනය උදෙසා අතිවිශාල වියදමක් දරයි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සමාජයේ ඉහළට යන ඇතැම් පිරිස් තමා පෝෂණය කළ ඒ ජනතාව අමතක කොට ස්වකීය යහපත පමණක් පතා රට හැරයෑම අතිශයින්ම ආත්මාර්ථකාමි ක්‍රියාවකි. ඕනෑම කෙනකුට කැමැති ස්ථානයක වාසය කිරීමේ අවකාශ තිබිය යුතුය. එසේ වුවද මේ අයිතිය භාවිත කළ යුත්තේ සාධාරණ අයුරිනි.

විදෙස්ගත වන අතිමහත් බහුතරය උත්සාහ කරනුයේ ඉහළ සංවර්ධන මට්ටමක් සහිත බටහිර සංක්‍රමණය වීමට මිස දිළිදු රටවලට සංක්‍රමණය වීමට නොවෙයි. දියුණු රටවල ජීවන තත්ත්වය අත්පත් කර ගැනීමේ උත්සාහයක යෙදුණත් එය අත්පත් කර ගැනීම ඉතා අසීරු කරුණකි. මෙලෙස සංක්‍රමණය වන බොහෝ පිරිස් තේරුම් නොගන්නා කරුණක් නම්, එසේ විදෙස්ගත වන සංක්‍රමණිකයන් ආකර්ෂණය කරගන්නා ධනවත් රාජ්‍යයන් ඒ ඒ ජීවන මට්ටම අත්පත් කරගෙන ඇත්තේ ලෝකයේ අනෙක් රාජ්‍යයන් යටත් විජිත බවට පත් කොටගෙන ඒ රටවල ධනය පැහැර ගැනීමෙන් බවය. සෙසු රාජ්‍යයන් සිය අවනත භාවයේ තබාගෙන ඒ රටවල මහ ධනස්කන්ධය අනුකම්පා විරහිත ලෙස කොල්ලකෑමෙන් එම දියුණු රාජ්‍යයන් බොහෝ විට ධනවත් වී ඇත. ඉංග්‍රීසින් ඉන්දියාව යටත් විජිතයක් බවට පත් කර ගැනීමේදී ඉන්දියාව ලෝක ආර්ථීකයට කළ දායකත්වය සමස්ත ලෝක ආර්ථීකයේ වටිනාකමින් 23%කි. ඉංග්‍රීසින් ඉන්දියාවෙන් ඉවත් වන විට ඉන්දියාවේ ලෝක ආර්ථීකයේ එම පංගුව 3% දක්වා අඩු වී ඇත. එය ඕපපාතිකව සිදු නොවිණි. බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ ආර්ථිකය කොල්ලකෑම සහ ආර්ථික රටාව කඩා බිඳ දැමීමක් සිදු කරන ලදි. එසේ කර තමන්ගේ භාණ්ඩ හා සේවා ඉන්දියාවට පුරුදු කළ අතර, අලෙවි කිරීම සහ විකිණීම සිදුකරන ලදී. එය ඉතා සහාසික නින්දිත උදාහරණ අතුරින් එකක් පමණයි. එසේ එවැනි අත්පත් කරගෙන එම රාජ්‍යයන් සූරා කෑමෙන් පසුව එම ධනවත් රාජ්‍යයන් අද එම ස්ථානයේ පවතී.

හුදෙක් ස්වාර්ථය පතා අප අපේ රට අත හැර යා යුතු නැත. අපි අපේ රටේ සිටිමින් අපේ ශක්තියෙන් මේ රට සංවර්ධනය කර යහපත් ජීවිතයක් ගොඩනඟා ගත යුතුය. එසේම වඩා යහපත් ජීවිතයක් උරුම කර ගැනීමට කටයුතු කළ යුතුය.

අපේ රටවල දේශපාලන සංස්ථා හා සංස්කෘතිය සැකසී ඇති ආකාරය පිළිකුල් සහගතය. බලය ඇති පිරිස් තමන්ගේ අතේ ඇති බලය අසීමිත ලෙස පාවිච්චි කරමින් හැකි උපරිම ඉහළම ජීවන මටිටමින් භුක්ති විඳිති.මේ නිසා කලකිරුණු පිරිස් ද යම් ප්‍රතිශතයක් ලෙස රට අත හැර යන අවස්ථා ඇත. එසේම අපේ වැනි රටවලින් උගත් පිරිස් වඩා සැපවත් ජීවිතයක් ගත කිරීම පිණිස විදෙස්ගත වීම බුද්ධිගලනය ලෙස හඳුන්වනු ලැබේ. බුද්ධි ගලනය පාලනය කිරීමට 1960 සහ 70 දශකවල ලෝකයේ කථිකාවක් ගොඩනැඟිණි. එනම්, අපේ රට වැනි දිළිඳු රටවලින් ජනතා බදු මුදලින් නඩත්තු වන අධ්‍යාපන මට්ටම අතින් ඉහළ එනම්, සුදු කරපටි රැකියාවල නිරත පිරිස් තමන්ගේ රටට සේවය නොකර පලා යෑමක් සිදු වෙයි. මෙය පාලනය කිරීමට එම රටවල් විශාල උත්සාහයක යෙදුණත් අවසානයේදී බටහිර රාජ්‍යයන් විසින් ඒ කථිකාව යටපත් කිරීමට සමත් විය. එවැනි ක්‍රියාවන් නතර කිරීමට ආණ්ඩු විසින් කිසිදු පියවරක් ගෙන නැත.

ඊට අමතරව මිනිසුන් යුද්ධය නිසා පලා යෑම ද සුවිශේෂ කරුණකි. උදාහරණ ලෙස ගත්විට යුක්රේන යුද්ධය ලෝක රටාවේ පවා කැලඹීමක් ඇති කිරීමට සමත් විය. මේ නිසා ඉන්ධන මිල ඉහළ යෑම, ආහාර මිල ඉහළ යෑම නිසා සංක්‍රමණ සිදු විය. මෙලෙස පලා යන ඇතැම් පිරිස්වලට බොහෝ විට ඛේදනීය ඉරණමක් අත්වෙයි. මෙවැනි සංක්‍රමණික ඛේදවාචකයන් ලොව පුරා දිනපතාම සිදු වෙයි. ලෝකයේ ඉහළ සැප සම්පත් ඇති රටවල් ඒ සැප සම්පත් අත්පත් කොටගෙන ඇත්තේ සෙසු රටවල සම්පත් විශාල ලෙස කොල්ලකෑමෙන් බව අප තේරුම් ගත යුතුය. සංවර්ධිත රටවල ලෝක ජනගහනයෙන් 20%ක් පමණ වෙයි. ලෝකයේ ආහාරවලින්, ඛනිජ තෙල් බලශක්තියෙන්, සෞඛ්‍ය සේවාවන්වලින් සියයට 60- 70% ප්‍රමාණයක් එම රාජ්‍යයන් භුක්ති විඳියි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්ෂික ඛනිජ තෙල් පරිභෝජනය ලෝක පරිභෝජනයෙන් 25%ට වඩා වැඩිය.

එක්සත් ජාතීන්ට සම්බන්ධ යුරෝපීය රාජ්‍යයන් මුල්වී සංක්‍රමණික ගැටලුව විසඳීම සඳහා IOM නමින් සංවිධානයක් නිර්මාණය කර ඇත. සංක්‍රමණ ක්‍රියාදාම කළමනාකරණය, නීති විරෝධි සංක්‍රමණ පාලනය කිරීම නීත්‍යනුකූල සංක්‍රමණය සඳහා පහසුකම් සැලසීම මෙහි අරමුණු අතර වෙයි. නුතන අවධියේ ලෝක ජනතාවගේ අනවර්ථ සංක්‍රමණයන් අන්තර් ජාතික ප්‍රශ්නයක් වී ඇත. මෙයට යුරෝපා රටවල ස්ථිර පදිංචිකරුවන්ගෙන් විශාල විරෝධයක් ඇති විය. තමන්ගේ රටවලට එක් එක් රටවලින් පිරිස් පැමිණීම බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමට හේතුවී ඇති බව ඔවුන්ගේ අදහසයි. ඒ ඒ රටවලත් රැකියා අවස්ථා සීමා වී ඇති කාලවකවානුවක් උදා වී ඇත. ඒ නිසා සංක්‍රමණිකයන්ට විරුද්ධව මේ රටවලට ෆැසිස්ට් ප්‍රවණතාවක් ඇති වී ඇත. සංක්‍රමණිකයන් නිසා සමහර රටවලට විශාල ආර්ථීක ප්‍රශ්න ද මතුවී ඇත. සෑම වසරකදීම ලතින් අමෙරිකාවෙන් සහ මෙක්සිකෝවෙන් නීති විරෝධි ලෙස සංක්‍රමණය වන ජනතාව නිසා අමෙරිකාවට ආර්ථීක, සමාජ, ‍ෙසෟඛ්‍ය සහ දේශපාලනික වශයෙන් ගැටලු බලපා ඇත.

මේ IOM ප්‍රකාශිත අරමුණු යහපත් සේ පෙනුණද ඒ රටවලට වාසිදායක ලෙස සංක්‍රමණික ආගමන විගමන කළමනාකරණයක් එහි යටි අරමුණයි. IOM මේ සඳහා අදාළ නෛතික ගිවිසුම් වෙයි. සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා ගණනාවක් වෙයි. එසේම අන්තර් ජාතික කම්කරු සංවිධානය ද සංක්‍රමණ ක්‍රියාදාමය කළමනාකරණය පිණිස සම්මුතීන් සම්පාදනය කර ඇත. ඇතැම් රටවලට මේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම අවාසියක් මෙන්ම එක්තරා වාසියක් ද වෙයි. අඩු ශ්‍රමයට වැඩ කරන මිනිසුන් විශාල ලෙස දුප්පත් රටවලින් පැමිණීම වඩා වාසිදායක තත්ත්වයකි. ආසන්න දිනයක යුක්රේනයෙන් අත්අඩංගුවට ගත් මෙරට ශිෂ්‍යයන් පිරිස නැවත ලංකාවට පැමිණීමට නොහැකි බව පවසා ඇත. මේ අයගේ අපේක්ෂාව ඉතා පැහැදිලිය. එයට වගකිව යුත්තේ අපේ මේ සමාජ ක්‍රමයයි. හොඳ ජීවන මට්ටමක් සියලු දෙනාට අත්පත් කර ගැනීමට නොහැකි නම්, එකිනෙකා අදහන ආගම අනුව සරල ජීවන රටාවට හුරු විය නොහැකි නම් එයට එකඟවීමට නොහැකි නම් මෙය අවසානයක් නැති ගැටලුවක් බවට පත් වෙයි.

සංක්‍රමණයේ ප්‍රතිවිපාක බහුතරයක් වේදනා සහගතය; අමිහිරි සහ අප්‍රිය සහගත වෙයි. මෙක්සිකෝව, කැරිබියානු දූපත්, චිලී රාජ්‍යය සහ කොළොම්බියා වැනි රටවල පවතින්නේ අතිශයින් දුක්ඛිත පරිසරයකි. ලිබියානු සහ ඉරාක යුද්ධය නිසා පලා යන බහුතරයකට අත්වන්නේ ද එවැනි ඉරණමකි.

මේ ප්‍රශ්නයට ඇති පැහැදිලි විසඳුම වඩා සාධාරණ ලෝක රටාවක් සහ ලෝක පරිපාටියක් ඇති කිරීමයි. මෙයට විසඳුම නම්, අතළොස්සක් වූ රාජ්‍යයන් විසින් ලෝකයේ බහුතරයක් සූරාකන මේ අසාධාරණ සමාජ ක්‍රමය නැති කිරීමයි.

මේ ගැටලුවට දිගුකාලීන විසඳුම් අවශ්‍යය වෙයි. අප වැනි තුන්වැනි ලෝකයේ රාජ්‍යයන් මේ ධනපති රටවලට ගැළපෙන ආර්ථික මාදිලියක් ගොඩනඟා ගැනීම නොව, අපට ගැළපෙන මාදිලියක් තෝරා ගත යුතුය. එනම්, එම මොඩලය හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය. ඇමෙරිකාව හෝ ජර්මනිය විසින් සෙසු රටවලින් ධනය පැහැරගෙන නඩත්තු කරන ජීවන මට්ටම අත්කර ගැනීමට අපට හැකියාවක් නැත. ජර්මනියේ සහ කැනඩාවේ ජීවන මට්ටමට ළඟාවීමට නම් මුළු ලෝකයටම තවත් පෘතුවි ගෝල දෙකක් අවශ්‍ය යැයි යුනෙස්කෝව ගණන් බලා ඇත. අප අපට පවතින සම්පත් මනාව කළමනාකරණය කර ගනිමින් පාවිච්චි කළ යුතුය. අපිට ගැළපෙන ආර්ථික තලයේ නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදී යන සමාජ ක්‍රමයක් ඇති කළ යුතුය. මෙය දිගුකාලීන කටුක අරගලයකින් ජයගත යුතු දේශපාලන ගැටලුවකි. එසේ නොවනතාක් මේ ගැටලුව තව තවත් උග්‍ර වනු ඇත. ජාතික වශයෙන් සහ අන්තර් ජාතික වශයෙන් සාධාරණ සමානාත්මතා සමාජයක් ගොඩනැඟිය යුතු සේම මේ පෘතිවියේ සම්පත් ප්‍රමාණයට අනුගත වන ජීවන රටාවක් ගොඩනැඟිය යුතුය. එය සමස්ත ලෝකවාසීන්ගේ යුතුකමකි.

 

Comments