28 බදාදා උදෑසන 06.06 ට යෙදෙන සරස්වතී යෝගයෙන් උදාවන සියලු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට ම විශිෂ්ට වූ තුරදේව මුහුර්තය | සිළුමිණ

28 බදාදා උදෑසන 06.06 ට යෙදෙන සරස්වතී යෝගයෙන් උදාවන සියලු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට ම විශිෂ්ට වූ තුරදේව මුහුර්තය

දැනුම, අධ්‍යාපනය, අකුරු කියවීම ආදිය සඳහා යොදාගත හැකි සරස්වතී යෝගයක් සැප්තැම්බර් මස 28 වැනි බදාදා උදෑසන 06.06 ට යෙදේ. ශිවා ලිඛිත මුහුර්තවලට අනුව එදින උදා වන්නේ තුරදේව මුහුර්තයයි. තුරදේව මුහුර්තය යනු ශිව ලිඛිත මූර්ත යටතේ එන සියලු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට, නම් තැබීමට, මන්ත්‍ර සිද්ධියට, බෙහෙත් ආහාරයට ගැනීමට ආදියටම විශිෂ්ට වු මුහුර්තයයි. තවද ශිව දෙවිදුන් මෙම මුහුර්ත ලොවට දායාද කරන්නේ පාර්වතී දේවියගේ ඉල්ලීම පරිදි බව ද රාහු කාලය, පංචාංගය දූෂිත වු දින, සංක්‍රාන්ති දින, නපුරු යෝග උදාවන දිනවල වුව කිසිදු බාධාවකින් තොරව මෙම මුහුර්ත භාවිත කළ හැකි බව පතපොතෙහි සඳහන් වේ.

එසේ බලන කල මෙම කාලය හෙවත් මුහුර්ත වැටෙන්නේ ද ශිල්ප ශාස්ත්‍ර අභිවෘර්ථ කරන කාලයක් වන තුරදේව මුහුර්ත කාලයට වීම විශේෂත්වයකි.

සම්ප්‍රදායික ජ්‍යෙතිෂයට අනුව ද පංචාංගයේ පහෙන් 4ක්ම සුබ දවසකි. තත්කාල කේන්ද්‍රයේ ලග්නාධිපති, හතරවැන්නාධිපති, හත්වැන්නාධිපති, දසවැන්නාධිපති යන හතර කේන්ද්‍ර අධිපතියට උච්ච එවන් සෙසු බල සහිතව ලග්නයේ හා හත්වැන්නේ සිටීමෙන් භද්‍ර හා ගුරු හංස යන පංච මහා පුරුෂ යෝග දෙකක් නිර්මාණය කර ඇත. එනයින් හතර කේන්ද්‍රය ඉතා බලවත් මුහුර්තයකි. ලග්නාධිපති මෙන්ම ස්වක්ෂේත්‍ර බල සහිතව හෝරාධිපති වන්නේ ද බුධයි. නවය අධිපති සිකුරු හා දහය අධිපති බුධ සමඟ යෝග වීම ධර්ම කර්මාධිපති යෝගයකි. තවද එකොළොස්වැන්නාධිපති දෙවැන්නේ සිටීම ද ධන යෝගයකි. කේතු ඥාන කාරක ග්‍රහයෙකි. මෙම සියලු කටයුතු පිළිබඳව විමසා බැලු විට දැනුම යොදා කිරීමට අපේක්ෂා කරන ඕනෑම කටයුත්තකට මෙන්ම බෙහෙත් ඖෂධ සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ද ජ්‍යෙතිෂය, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු උදෙසා ද මෙම නැකත ඉතා ප්‍රශස්ත බව කිව යුතුය.

එදින උදා නක්ෂත්‍රය සිත නැකත වන අතර, සුබ දිශාව වන්නේ උතුරු දිශාවයි. තවද ළා කොළ, සුදු, ක්‍රීම් වර්ණ සුබ වර්ණ ලෙස භාවිත කළ හැකිය.

ඒ අනුව බැලු විට රෙහෙණ, හත, සුවණ යන නැකැත් හිමි අයට මෙම මූහුර්තය ඉතා ප්‍රබල ලෙස සුබ ඵල ලබා දෙන බව පෙනේ. බෙරණ, පුවපල්, පුවසල, මුව සිරස, සිත, දෙකට, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමි අයට ද මෙම නැකැත මහත් වූ සුබ ප්‍රතිඵල උදාකරන බව පෙනී යයි.

උදෑසනම බුද්ධ පුජාව තබා බුදුන් වැඳ ඉන්පසු ගණ දෙවි ගණදෙවියන්ට හා සරස්වතී මැණියන්ට පූජා තබා සුබ මුහුර්තයේදී අකුරු කියවීම සිදු කළ හැකිය.

අකුරු කියවීමට පෙර දින සවස එළඟි තෙල් පහන් 73ක් දැල්වා බුදු රජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥානය සිහි කර වැඳ තම දරුවාගේ කටයුතු සඵල වේවා යැයි විශ්වයට ප්‍රාර්ථනාවක් මුසු කරන්න. එහිදී සැරියුත් මුගලන් ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය ද සිහි කර ඒ දැනුම ලැබීමට හැකියාව ලැබේවායි පතන්න.

ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී, ආචාර්ය කැලුම් ගුණතිලක

Comments