
හෙතෙම වෙදකමට පිවිසෙන්නේ පාරම්පරික උරුමයෙන් එය තමන් කරා ආ නිසා නොවේ. ස්වෝත්සාහයෙන් මහත් කැපවීමෙන් පොතපතින් මෙන්ම ප්‍රායෝගිකව එය හැදෑරීමට ගත් නිසග උත්සාහය නිසාය. ඔහුගේ කැපවීම දුටු බොහෝ වෙදැදුරෝ ගුරු මුෂ්ටියක් නැතිවම ඔහුගේ නැණ පහන දල්වා ගැනීමට උපකාර කළහ. හුදු වට්ටෝරු වෙදකු නොවී, ප්‍රයෝගික පර්යේෂණ මඟින් නව ඖෂධ සොයා ගැනීමට ඔහු සමත් වූයේ ජනශ්‍රැතියට පෙම් බඳිමින් ජන මූලාශ්‍ර සොයා යමින් ගම් දනව්වල හා ආදිවාසී ගම්මානවල ලැඟුම් ගැනීමෙනි.
1976 ජනවාරි මස 31වැනිදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය කළුබෝවිටියන ග්‍රාමයේදී ජී.ඒ නන්දසේන සහ සෝමා බඹරැන්ද යන දෙපළට දාව හෙතෙම මෙලොව එළිය දුටුවේය. කුලුඳුලේ උපන් බිලිඳාට නැකැත් ශාස්ත්‍රය අනුව ගීගන ආරච්චිගේ චමින්ද ශ්‍රී පාලිත යැයි නම් තැබීය. හෙතෙම කෙදිනක හෝ ආයුර්වේද වෛද්‍යවරයකු වෙතැයි ඔවුන් පවා නොසිතන්නට ඇත. එහෙත් අගහිඟකම් මධ්‍යයේ වුව ඔහුටත් ඔහුට බාල සොහොයුරාට හා සොහොයුරියටත් සිප් සතර දීමට ඔවුහු පසුබට නොවූහ. කළුබෝවිටියන මහා විද්‍යාලයෙන් මුලකුරු කියැවූ හෙතෙම සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමේ අරමුණින් මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් විය. කෘෂිකර්ම විෂය ධාරාව හදාරමින් සිටියදී මාලේවන ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඉල්ලුම්පත් යොමු කරන පාලිත, ආයුර්වේද පාඨමාලාවට බඳවා ගැනීමට සුදුසුකම් ලැබීමත් සමඟ උසස් පෙළ අධ්‍යයන කටයුතු පසෙක තබා ඒ කෙරෙහි යොමු විය. ආයුර්වේද පාඨමාලාව විශිෂ්ට ලෙස සමත් වීමත් සමඟ සුවහසක් ජනතාව සුවපත් කරන තවත් සුවිශේෂී ජීවකයකුගේ ගමන ඇරඹෙන්නේ එතැන් සිටය.
1995දී මාලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට බැඳෙන හෙතෙම වසර හතරක් ආයුර්වේද ශාස්ත්‍රීය පාඨමාලාව හැදෑරූවේය. ඉන් සමත්ව පාලිත 2000 වසරේදී ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසර භාවිතය නම් ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස කටයුතු කළේය. විවිධ ප්‍රදේශවල ජීවත් වන හෙළ වෙදැදුරන් සොයා යෑමටත් ඔවුන් සමඟ කුලුපග වෙමින් ඔවුන් ඇසුරේ හිඳිමින් වෙදකම ප්‍රායෝගිව ප්‍රගුණ කිරීමටත් මේ කාලය තුළදී ඔහුට හැකි විය. මෙලෙස විවිධ අත්දැකීම් උකහා ගනිමින් තම දැනුම වර්ධනය කරගත් හෙතෙම 2009 වර්ෂයේදී ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි විය. අනතුරුව මාලේවන වෛද්‍ය විද්‍යාලයේ ගුරුවරයකු ලෙස බැඳෙන වෛද්‍ය පාලිත ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ඇසුරට වැටුණි. මේ සියලු අත්දැකීම් ඔස්සේ තමන් විසින් ඉතා දුෂ්කර වෑයමෙන් උපයාගත් දැනුම කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව විද්‍යාර්ථීන්ට පිරිනැමීමට හේ නිහතමානී විය. නිරන්තර අධ්‍යයනයේ පසුවූ හෙතෙම විවිධ පර්යේෂණ සිදු කළේය. ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ සිළුමිණට හෙළි කළේ මෙලෙසිනි.
“මම ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට පමණක් සීමා වුණේ නැහැ. ඉතාම දුෂ්කර ගම්මානවල ඇවිදිමින් වෙද මහත්වරු හම්බවෙලා වෙද ගෙවල්වල නැවතිලා මම ඒ වෙදකම් ඉගෙන ගත්තා. මීට අමතරව ජන වෙදකම වගේම සාම්ප්‍රදායික දැනුම එකතු කළා. ඒ අතර සෙත් කවි, යන්ත්‍ර මන්ත්‍ර, ජ්‍යෝතිෂය, බලිතොවිල්, යාග, ශාන්තිකර්ම මේ හැම දෙයක් ගැනම මම අධ්‍යයනය කළා. ඒ වගේම කෘෂිකර්මය සම්බන්ධ දැනුම එකතු කළා. අදටත් මං ඒ දේවල් කරනවා. හැබැයි ඒ දැනුම මට විතරක් සීමා නොකර මේ රටේ දුවා දරුවන්ටත් ලබාදෙන්න මම කටයුතු කරනවා.”
වෛද්‍ය පාලිත සාම්ප්‍රදායික දැනුම නූතනයට ගැළපෙන ආකාරයට වෙනස් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ නිරන්තර අධ්‍යයනයේ පසුවන්නෙකි. ඔහු විසින් මෙම දැනුම එක්තැන් කර හෙළවෙද අත්පොත සහ ජනයහගුණ දිවිපැවැතුම යන කෘති ද්විත්වය රචනා කර ඇත. වර්තමානයේ බොහෝ දෙනා ඖෂධ භාවිතයට මැළිකමක් දක්වන බැවින් ආයුර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ බොහෝ විට උත්සාහ ගන්නේ ඖෂධ වෙනුවට ආහාර අතිරේකයක් මඟින් රෝගීන් සුවපත් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳවය. වර්තමානයේ බොහෝ දෙනකුට අරිෂ්ට, කසාය, චූර්ණ, ගුළි, කල්ක බීමට ප්‍රියතාවක් නැත. එසේ වුවත් ඔවුහු දෛනිකව ආහාර ගනිති. එබැවින් පුද්ගල ප්‍රකෘතිය අනුව ඔහුට හෝ ඇයට ගැළපෙන සහ නොගැළපෙන ආහාර හඳුනාගෙන ඉන් ඔවුන්ට ගැළපෙන ආහාරවලට හුරු කිරීම මඟින් බොහෝ රෝගී තත්ත්වයන් වළකාලිය හැකි බවත් අනතුරුව රෝගයට ගැළපෙන ආහාර ඔවුන්ට හඳුන්වා දීම කළ යුතු බව වෛද්‍ය පාලිතගේ අදහසයි.
වර්තමානයේ දියවැඩියා රෝගයට ගොදුරු වන්නන් දිනෙන් දින ඉහළ යන අතර, ඒ සඳහා වසර ගණනාවක් තිස්සේ බටහිර ඖෂධ වර්ග ලබා ගත්තද කිසිදා රෝගය සාමාන්‍ය අතට පත් නොවේ. රෝගියා මියැදෙන තුරුම එම ඖෂධ ලබා ගත යුතුය. එහෙත් වෛද්‍ය පාලිත, දියවැඩියාව සඳහා ඉතා සාර්ථක ඖෂධයක් ගෝණබටු කරවිල මඟින් ඉදිරිපත් කරයි.
“දියවැඩියාව වර්ධනය වන්නේ කාරණා කිහිපයක් මුල් කරගෙනයි. ඉන් ප්‍රධාන වන්නේ සමාජ, ආර්ථික කාරණායි. එමඟින් ඇතිවන මානසික ආතතිය මේ තත්ත්වයට ගොදුරු වීමට බොහෝසෙයින් බලපානවා. අධික වෙහෙස, නින්ද නොයෑම වගේම අධික ලෙස නිදිවැරීම ද මේ සඳහා බලපානවා. මේ හැම දෙයක්ම මානසික ආතතිය නිසා සිදු වන කාරණා. මානසික නීරෝගිභාවය නැත්නම් ඕනෑම අයෙක් දියවැඩියාවට ගොදුරු වෙන්න තිබෙන ඉඩකඩ වැඩි බව මගේ අධ්‍යයනවලදී තහවුරු වී තිබෙනවා. ඒ නිසා මානසික සෞඛ්‍යය ඉතාම වැදගත්. ඒ සඳහා කෙනකුට සතුටින් විසිය හැකි සමාජ ආර්ථික පරිසරයක් අවශ්‍යයි. ඒ වගේම වැරැදි ආහාර පුරුදු නිසාත් මේ තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. දියවැඩියාව සඳහා ගෝණබටු කරවිල ප්‍රතිකාරය මා සොයාගත්තේ ආදිවාසින්ගෙන්. ඔවුන්ගේ ජීවනෝපාය නැංවීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ වැඩසටහනක් සඳහා මා එහි ගිය අවස්ථාවකයි. ගෝණබටු කරවිල හැදෙන්නේ වියළි කලාපයේ. ඒ පැතිවල මිනිස්සු නිතර මෙය ආහාරයට ගන්නවා. අධික තිත්ත රස නිසා ගොඩක් දෙනෙක් මේවා කන්න කැමති නැහැ. මම මේක ගෙනල්ලා මෙහි තිබෙන ගුණය පිළිබඳ අධ්‍යයනය කළා. ඊට පස්සේ මගේ ළඟට එන රෝගීන්ට ඒ අයගේ කැමැත්ත මත අතිරේක ආහාරයක් ලෙස එය දුන්නා. ආයුර්වේදයේ කරවිල දියවැඩියාවට ගුණදායක ආහාරයක් ලෙස ලබා දීම සාමාන්‍ය දෙයක්. මා තෝරා ගත් පිරිසකට ගෝණබටු කරවිල පමණක් ආහාරයට ගැනීම නිර්දේශ කළා. තවත් අයට වෙනත් කරවිල වර්ග දුන්නා. ගෝණබටු කරවිල ආහාරයට ගත් අයගේ රුධිරයේ සීනි මට්ටම ඉක්මණින් අඩු වීමට පටන් ගත්තා. එමඟින් ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ත අගයකට ගන්න මට හැකියාව ලැබුණා.
ඒ වගේම ඒ අයගේ දියවැඩියා රෝගී තත්ත්වය නිසා ඇති වන කකුල් හිරිවැටීම, ඇස් පෙනීම දුර්වල වීම වගේ රෝගී තත්ත්වයනුත් ඉන් මගහැරී තිබුණා. ඒ වගේම කාටහරි මේ රෝගයට මේ ආහාර හොඳයි කිවුවම ඒක කන්න ඕනේ කොහොමද කොපමණ ප්‍රමාණයකින්ද කියන අවබෝධය බොහෝ දෙනාට නැහැ. නමුත් මම රෝගයේ ස්වභාවය අනුව කොපමණ ප්‍රමාණයක් දවසකට පානය කළ යුතුද කියලා නිර්දේශ කළා. ඒ අනුව වියළි ගෝණබටු කරවිල ග්‍රෑම් 2-10 ප්‍රමාණයන් ගෙන තම්බා පානය කරන්නැයි මා රෝගීන්ට නිර්දේශ කළා. මේ සමඟ මෝරපු ගෝණබටු කරවිල ඇට ද ලබා ගත යුතුයි. මම මේ ප්‍රතිකාරය සඳහා ආයුර්වේද පර්යේෂණ පත්‍රිකාවක් ද ඉදිරිපත් කළා. ඒ වගේම ආයුර්වේද පර්යේෂණ සමුළුවකට ද මෙම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කළා.”
මේ ආකාරයෙන් හෙතෙම විවිධ රෝග සඳහා සිය පර්යේෂණාත්මක අධ්‍යයන ඔස්සේ තෙල් බෙහෙත්, කසාය, ගුළි, කල්ක වෙනුවට ආහාරමය හා පාන වර්ග මඟින් ලෙහෙසියෙන් ලබා ගත හැකි ආකාරයට හඳුන්වා දීමට කටයුතු කර ඇත. නිදර්ශනයක් ලෙස නහර ගැටගැසීම යනු අද බොහෝ දෙනකුට ඇති රෝගී තත්ත්වයකි. බටහිර වෙදකමේදී මේ සඳහා ශල්‍යකර්ම සිදු කරයි. එහෙත් මේ සඳහා ගෘහස්ථ ප්‍රතිකාර ක්‍රමයක් හෙතෙම හඳුන්වා දෙයි. ඒ සඳහා ඔහු යොදා ගන්නේ පුවක් මල් සහ අක්කපාන ය. එය රෝගියා අනුව පාවිච්චි කරන ආකාරය වෙනස් වේ. සාමාන්‍ය නහර ගැටගැසීමකට ගොදුරු වූ රෝගියකු පුවක් මල්, අක්කපාන සමඟ මලවා නහර ගැට ගැසී ඇති ස්ථානයේ ගල්වා වෙළීම සිදු කරයි. එසේම වර්තමානයේ තවත් බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක් වනුයේ පුරස්ථි ග්‍රන්ථී ප්‍රදාහයයි. ඊට වෛද්‍ය පාලිත, සම්ප්‍රදායික දැනුම යොදාගෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් හඳුන්වා දී ඇත. මෙය පෙර පරිදිම සැත්කමකින් මාර්ගයෙන් ඉවත් කළ යුතු රෝගී තත්ත්වයකි. හෙතෙම එය මැල්ලුමක් සහ පත්තුවක් බැඳීමෙන් සාර්ථකව මැඬ පවත්වයි. ඒ සඳහා හෙතෙම ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ වැටකෙයි ගොබ, ඉඳි ගොබ, ලුණුවර්ණ පොතු, වල් ඇඹරැල්ල පොතු සහ කොළය.
ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමඟ ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට අපොහොසත් වීම නිසා ළමා මන්දපෝෂණය ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය පිටු දැකීමට වෛද්‍ය පාලිත අපූර්ව අදහසක් ඉදිරිපත් කළේය.
“මාතෘ සායනවලට ගියාම ගොඩක් වෙලාවට පෝෂණ ඌනතාව සහිත දරුවන්ට මවුවරුන්ට අතිරේක ආහාරයක් ලෙස දෙන්නේ ත්‍රිපෝෂ. නමුත් මේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍යවල ප්‍රමිතිය අපි දන්නේ නැහැ. පිටරටවලින් ආනයනය කරන බඩඉරිඟුද එහෙම නැත්තම් ලංකාවේ ඒවද පුස් හැදිලද නැද්ද අපි දන්නේ නැහැ. වගා කිරීමේදී මේවට කොච්චර රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවද කියලවත් අපි දන්නේ නැහැ. මේ සඳහා ගේන අමුද්‍රව්‍ය කාබනික පොහොර යොදා කළ නිෂ්පාදන බව කොහේවත් සඳහන් වන්නේ නැහැ. ඒ නිසා අපේ දරුවන්ට දෙන්න පුළුවන් පෝෂණ අතිරේකයක් පිළිබඳ මම අවධානය යොමු කළා. ඒ අනුව හේන් වට්ටක්කා, හේන් මෑ ඇට සහ ගැට තුඹ දලු යොදාගෙන මම මේ ආහාර අතිරේකය නිර්මාණය කළා. මේ ආහාරය දරුවකුට දුන්නාම ත්‍රිදොස් සමනය වී හදවත සහ ශරීරය ශක්තිමත් වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙනවා. ගැටතුඹ දලු නිසා ආහාර ජීර්ණ පද්ධතිය යහපත් වෙනවා වගේම විවිධ පණු රෝගවලින් දරුවා ආරක්ෂා කරනවා. මේ වට්ටෝරුව මම පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කළාට මේක මගේ වට්ටෝරුවක් නෙමෙයි. මේ අපේ සාම්ප්‍රදායික ආහාර රටාව තුළ තිබුණ ඒවා. මම කළේ මේවා නැවත හඳුන්වා දීම පමණයි. ”
දරුවන් රෝගවලින් ආරක්ෂා කර ගැනීමට හා මනා පෝෂණයක් දීම සඳහා පරම්පරාවෙන් අපට හිමි වූ ආහාර සංස්කෘතියක් පැවති බවත් මේ වන විට එම ආහාර සංස්කෘතිය මාධ්‍ය විසින් විනාශ කර දමා ඇති බවත් ආයුර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චි වැඩිදුරටත් කීවේය. පෝෂණය ගැන ප්‍රාමාණිකයන් නොවන පිරිස් මාධ්‍ය ඉදිරියට පැමිණ දරුවන්ට දිය යුතු ආහාර පිළිබඳ විවිධ නිර්නායක ඉදිරිපත් කීරීමත් දරුවන් මන්දපෝෂණය කරා රැගෙන යෑමට හේතුවක් වී ඇති බව ඔහු පැවසුවේය.
දරුවකුගේ ආහාර තුළ අන්තර්ගත විය යුතු මස්, මාළු, බිත්තර ප්‍රමාණයන් තීරණය කරමින් ඉදිරිපත් කරන මෙවැනි නිර්ණායකයන් එදා අපේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය තුළ නොතිබූ බැවින් දරුවාට ඒ ඒ දේශගුණික කාලවලදී දිය යුතු හා නොදිය යුතු ආහාරයන් මොනවාද යන්න පිළිබඳ මනා අවබෝධයක් පැවති බවත්, තම වත්තේ පිටියෙන් සොයා ගන්නා ආහාර රටාවකට දරුවන් යොමු කිරීමෙන් ඔවුන් මනා පෝෂණයකින් වැඩුණු අතරම රෝගවලින් ද ආරක්ෂා වූ බවත් ආයුර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ පැවසීය. පිටි කිරි, මස් මාළු බිත්තර වෙනුවට කුරහන්, කොළ කැඳ , මුරුංගා කොළ, කතුරුමුරුංගා කොළ ආහාරයට එකතු කර ගන්නේ නම් ප්‍රෝටීන් බොහෝ ප්‍රමාණයක් සිරුරට ලබා ගත හැකි බව ඔහුගේ අදහසයි.
ආයුර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ රෝග සුවපත් කිරීම සඳහා ඖෂධ දීමට වඩා උත්සාහ ගන්නේ චර්යාමය රටාව මඟින් රෝගය සුවපත් කිරීමටය. ඝර්ම කලාපයේ ජීවත් වන ජනතාවක් ලෙස ශරීරය නිරාවරණය කිරීමට පැරැන්නන් කටයුතු කළේ අප රටේ දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට ජීවත් වීමටය. අප භාවිත කරන ඇඳුම් පැලඳුම් සමඟ ලෙඩ රෝගවලට ද සම්බන්ධකමක් ඇති බව ඔහු කළ අධ්‍යයන මඟින් පෙනී ගොස් ඇත. හෙතෙම පෙන්වා දෙන්නේ දියවැඩියා රෝගීන්ට සහ මඳසරු භාවයෙන් පෙෙළන රෝගීන් සඳහා බැස යන ජලය සතියකට දෙවරක් හෝ ස්නානය කිරීම වඩාත් යෝග්‍ය බවයි. ඉන් සිරුරේ පවතින උෂ්ණත්වය අඩුවී ශරීරය යථා තත්ත්වයට පත්වන බව හෙතෙම කීවේය.
අධික තරබාරුව සඳහා හුඹස් මැටි ප්‍රතිකාරය ඉතා සාර්ථක ප්‍රතිකාරයක් බව වෛද්‍ය පාලිත පැවසීය. තරබාරුව ඇති අය සතියට දින තුනක් හුඹස් මැටි දිය කර ශරීරය පුරා තවරා ඒවා වියළී ඉරිතලන තුරු සිටිය යුතුය. මෙම මැටි වියැළෙන්නේ පරිසරයේ උෂ්ණත්වය නිසා නොව ශරීර උෂ්ණත්වය පිට කිරීම මඟිනි. එහිදී හමට යටින් පවතින මේදය දියවීමට පටන් ගන්නා අතර, ක්‍රමයෙන් තරබාරුව නැතිවී යයි. මෙම ක්‍රමය පැරැන්නන් අතර පැවති ප්‍රතිකර්මයක් බවත් තමන් විසින් සිදු කළේ එය නැවත සමාජගත කිරීම බවත් හෙතෙම පැවසීය.
ඡායාරූප - ගයාන් පුෂ්පික