වැසිකිළිය සහ මුළුතැන්ගෙය නිරිතේ පිහිටීමෙන් සිදු වන හානි | සිළුමිණ

වැසිකිළිය සහ මුළුතැන්ගෙය නිරිතේ පිහිටීමෙන් සිදු වන හානි

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට මූල්‍ය ගැටල රැසකට මුහුණ දීමට සිදුවී තිබීම අරුමයක් නොවේ. මෙබඳු අවස්ථාවක දී වාස්තු ශිල්පීන් වශයෙන් අප විසින් ද මේ පවත්නා තත්ත්වය උදෙසා යම් පමණකට දුරු කරලීම පිළිබඳ යම් ක්‍රමවේදයක් හඳුන්වා දීම අවශ්‍ය වේ. මේ සඳහා පූජා, පිළිවෙත් හෝ කෙම් යෝජනා කරනු වෙනුවට නූතන බටහිර විද්‍යාවේ එන සංකල්ප මත පැහැදිලි කරගත හැකි යම් ක්‍රම ශිල්ප සමුදායක් යෝජනා කිරීම ප්‍රායෝගික බව පෙනේ. එසේම කාලාන්තරයක් තිස්සේ වාස්තු ශාස්ත්‍රයේ භාවිත වූ සිද්ධාන්ත මත පදනම් වූ පිළියම් සමුදායක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කිරීම්ටද එපමණටම වැදගත් බව වටහා ගත හැකිය.

වාස්තු ශාස්ත්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඊසාන දිශාව කාගේත් සුබවාදි හැඟීම් දනවන දිශාවක් වුවත් මූල්‍යමය ප්‍රතිලාභ කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන්නේ ඊසානයට සම්මුඛ් වූ අනෙක් දිශාව වන නිරිත බව මෙහිදී අවධාරණය කළ යුතුය. නිරිත දිශාවේ වාස්තු පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන සමහර ගෘහ අංග සම්බන්ධයෙන් යමක් මෙහිදී සඳහන් කළ යුතුය. ප්‍රධාන නිදන කාමරය පිහිටු විය යුතු දිශාව ලෙස නිරිත දිශාව අතිශයින් වැදගත් වේ. ප්‍රධාන නිදන කාමරය යන්නෙන් අදහස් වන්නේ ගෘහ මූලිකයා නිදාගන්නා කාමරයයි. ගෘහ මූලිකයා යනුවෙන් වාස්තු ශාස්ත්‍රයේදී අදහස් වන්නේ පවුලේ වැඩිහිටියා නොව පවුලේ බර කරට ගෙන ක්‍රියා කරන්නාය. සමහර පවුලක තරුණ වියේ කටයුතු කරන දරුවා විසින් නිවෙසේ සියලු කාර්යයන්හි බර දරා සිටිනවා විය හැකිය. එවැනි අවස්ථාවකදී නිවෙසේ ගෘහ මූලිකයා ලෙස සලකන්නේ වියපත් වැඩිමල් පුද්ගලයා නොව පෙර කී තරුණ ආර්ථික හා සාමාජීය බර දරන්නාය. මේ අනුව අප විසින් වයස සීමාව නිර්ණායකයක් ලෙස නොගෙන නිවසේ බර දරන, වගකීම් දරන්නාගේ නිදන කාමරය නිරිත දිශාවේ පිහිටුවීම අත්‍යවශ්‍ය වේ.

එසේම නිවසේ අභ්‍යන්තරයේ පවත්නා ගෘහ අංග පිළිබඳ සැලකිල්ල ද අතිශයින් වැදගත් වේ. මෙහිදී වැසිකිළිය හා මුළුතැන්ගෙය කිසි ලෙසකින් නිරිතෙහි පිහිටුවීම නොකළ යුතුය. එසේ වුවත් බොහෝ දෙනා නිරිත දිශාව වැසිකිළි සඳහා උචිත යැයි වරදවා කරුණු වටහා ගෙන ඇති බව පෙනේ. අතීතයේ නිවෙසට බද්ධ කළ වැසිකිළි දක්නට නොලැබිණි. වසර තිහ හතළිහකට පෙර නිවැසියන්ගේ වැසිකිළිය තිබුණේ ඉඩමේ ඈත කෙළවරකය. එසේ වුවත් අද කුඩා නිවෙසක පවා වැසිකිළියක් නිවෙසට බද්ධ කොට හෝ අභ්‍යන්තරව යොදා තිබීම අනිවාර්ය අංගයක්ව පවතී. මෙබඳු තත්ත්වයක් යටතේ වැසිකිළිය නිවෙස සමඟ බද්ධ කර ගන්නේ කෙසේදැයි නව සිද්ධාන්තයක් නිර්මාණය කර ගැනීමට සිදුවේ. අප විසින් නිරන්තරයෙන් කියනු ලබන කාරණාව වන්නේ නිරිත දිශාවට අසූචි වැනි යමක් පැවතීම අයහපත් බවයි.

මුළුතැන්ගෙය කිසිදු ආකාරයකින් නිරිත දිශාවට යෝග්‍ය නොවේ. ඊට උචිතම දිශාව වන්නේ ගිනිකොන වන අතර, විකල්ප වශයෙන් වයඹ දිශාව ද ඒ සඳහා යොදාගත හැකියි. මෙසේ නිවැරදි දිශාවේ මුළුතැන්ගෙය පිහිටුවනු ලැබූවද එහි සේදුම් බේසම හෙවත් සින්ක් එක සහ ළිප අතර සැලකිය යුතු දුරක් තිබීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවීමෙන් බරපතළ අසමගිකාරී තත්ත්වයන් හට ගත හැකි අතර ගෘහිණියගේ මානසික ව්‍යාධි තත්ත්වයන් ද හට ගැනීමේ ඉඩකඩක් ඇති බව වටහා ගත යුතුය.

මේ තත්ත්වයන් විග්‍රහ කර ගැනීමට නූතන වාස්තු සිද්ධාන්තවල සහාය අපට අත්‍යවශ්‍ය වේ. ඊශාන දිශාවෙන් ගලා එන අන්තරීක්ෂ ශක්තිය රැඳෙනුයේ ඒ දිශාන්තයේ වන නිරිතෙහි වේ. ඒ අනුව එහි ගබඩා වන අන්තරීක්ෂ ශක්තිය වැඩිවත්ම කෙමෙන් නිවෙස පුරා අන්තරීක්ෂ ශක්තියෙන් පිරී යෑම සිදු වන බව වටහා ගත හැකිය. මේ අනුව ද අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව ද වැඩිම වන්නේ නිරිතෙහි බව පැහැදිලිව පෙන්වා දිය හැකිය. මෙසේ වැඩි අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාවක් ඇති ස්ථානයක අසුබ ශක්තීන් හට ගන්නා වැසිකිළි පිහිටුවීම නොකළ යුතු වන්නේ ඒ මඟින් උක්ත අසුබ ශක්තීන් වඩාත් සක්‍රීය වන බැවිනි. එසේ වූ විට විශේෂ රෝග තත්ත්වයන් හට ගැනීමටත් හටගත් ව්‍යාධීන් සුව නොවීමටත් හේතු වන අතර, නිවැසියන්ගේ ශක්ති ශරීර දුර්වල වීමෙන් තීරණ තීන්දු නිසි පරිදි නොගැනීමත් සිදු විය හැකිය. එයම අභාග්‍යය උදා කිරීමට ප්‍රමාණවත් වනු නියතය.

එසේම අන්තරීක්ෂ ශක්තිය නිරිතෙහි වැඩිව තිබියදී වුව එහි රත්වීමක් සිදු වුවහොත් ශක්ති ධාරාවන්හි පවත්නා අංශුමය චලනය (චාලක ගුණය) වැඩී ශක්තිය විසිරී යන්නට පටන් ගනී. මෙසේ නිරිතේ අන්තරීක්ෂ ශක්තිය දුර්වල වත්ම නිවෙසේ අන් ස්ථානයන් වඩාත් දුර්වලව යෑම ස්වභාවයයි. මේ තත්ත්වයේ නිසැක ප්‍රතිඵලය වන්නේ නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්තිය දුර්වල වී යෑමෙන් අලස හා දුර්වල පෞරුෂ ලක්ෂණ ගොඩනැඟෙන්නට පටන් ගැනීමයි. සැලසුම් කෙතෙක් තිබුණද ඒවා ක්‍රියාවට නොනැඟෙන තත්ත්වයට පත්වීමෙන් බරපතළ සමාජීය හා ආර්ථික බිඳවැටීම් සිදු වන බව අපගේ අවබෝධයයි.

මෙයින් මිදී යහපත් ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීමට නම් නිරිත දිශාව බලවත් කිරීම සිදු කළ යුතු වේ. මේ සඳහා නිරිත දුර්වල කරන වැසිකිළි, මුළුතැන්ගෙය, අපිරිසිදු දෑ සහ කුණු වළවල් ආදිය ඉවත් කිරීම වඩාත් වැදගත් වේ. මෙසේ භෞතිකව වෙනස්කම් සිදු කළ නොහැකි අවස්ථාවන්හිදී පිරමීඩ මෙවලම් යොදා ගනිමින් දෝෂ නිවාරණය කළ හැකි සරල, වියදම් අඩු, කරදර නොමැති ක්‍රමවේද ද තිබෙන බව අවධාරණය කරමි.

ජනක ප්‍රියන්ත දයාරත්න 
සිවිල් ඉංජිනේරු 
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය 
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ 
ආයතනයේ ප්‍රධාන පර්යේෂක

Comments