දෛව අංකයෙන් හෙළි වන ඔබේ ජීවිතය මේ දෛව අංක 5 හිමි ඔබ ගැනයි | සිළුමිණ

දෛව අංකයෙන් හෙළි වන ඔබේ ජීවිතය මේ දෛව අංක 5 හිමි ඔබ ගැනයි

පන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු ඔබගේ දෛව අංකය අංක 5 නම් ඔබ බුධ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මෙය ඔබගේ ජීවිතයේ ස්ථිර භාවය යම් මට්ටමකට අඩු කිරීමට හේතු වන අතර, සිතිවිලිවල ඒකාත්මික බව අඩු කිරීමට හේතු වෙයි.

එක ස්ථාවර සිතිවිල්ලක කටයුතු කිරීමට අපොහොසත් වන අතර, විටින් විට අදහස් වෙනස් කරන ස්වභාවය ඇති කරයි. එමෙන්ම ඔබ එකම දෙයකට කොටු වීමට කැමැති නැත. ජීවිතයේ සෑම දෙයකම විවිධත්වයක් සහ වෙනසක් අපේක්ෂා කරයි. බොහෝ කාලයක් එකම තැන රැඳී සිටීමට කැමැති නැත. ඔබ රැකියාවක් සහ ව්‍යාපාරයක් පටන් ගත්තත් ටික කාලයක් යන විට එය වෙනස් කිරීමට සිතෙයි. ජීවත් වන පරිසරය ද වෙනස් කිරීමට සිතයි. නිවෙසක් අංග අංගසම්පූර්ණව හැදුවත් ටික කාලයක් යන විට නැවත එය වෙනස් කොට සාදන්නට හෝ අලුතින් කොටස් එකතු කර, විවිධ වෙනස්කම් කරන්නට සිත් දෙයි. එමෙන්ම ඔබ යම් තීරණයක් ගැනීමට පෙර බොහෝ කල්පනා කරයි. දෙපැත්තේම වාසි අවාසි හොඳින් කල්පනා කර බලා බොහෝවිට තීන්දු තීරණ ගනී. මෙහි ඇති යම් දුර්වලතාවයක් වන්නේ හදිසි අර්බුදකාරී අවස්ථාවක ක්ෂණිකව යම් යම් තීරණවලට එළැඹීමේ නොහැකියාවයි. ඔබ ස්වාධීනව කටයුතු කිරීමට කැමති පුද්ගලයෙකි. ඔබටම ආවේණික අනන්‍ය වූ ගති ලක්ෂණ ඔබට ඇති අතර නිදහස් පෞරුෂයකට හිමිකම් කියයි. ස්වභාව සෞන්දර්ය නැරඹීමටත් ඒවා බලමින් සංචාරය කිරීමටත් ඔබ බොහෝ ප්‍රිය කරයි. විනෝදයෙන් විහිළුවෙන් තහළුවෙන් කාලය ගත කිරීම ද ඔබේ සිරිතකි. කිසිම දෙයක් ගැන ඕනවට වඩා සිතන්නේ ද නැත. ඔබගේ දුර්වලතාවක් වන්නේ පහසුවෙන් අන් අයට ඔබව ඕන පැත්තකට නම්මවා ගැනීමට හැකි වීමයි. වැදගත් තීන්දු තීරණ ගැනීමේදී ඒ පිළිබඳ දන්නා විශ්වාසවන්ත අයගේ උපදෙස් ගැනීම ඉතා යහපත් වෙයි. ඔබව සතුටු කිරීමට බොහෝ දේවල් අවශ්‍ය නැත. සමහරවිට එක් යහපත් වචනයකින් පවා සෑහීමකට පත්වෙන පුද්ගලයෙකි.

ඔබ යම් දෙයක් ආරම්භ කිරීමට පෙර බොහෝ සැලසුම් කරයි. ඒ පිළිබඳ ඉතා ලොකුවට කල්පනා කළද එය පටන් ගත්ත විදිහට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් හෝ වුවමනාවක් තිබෙනවාද යන්න ගැටලුවකි. පටන් ගන්නට තිබුණු වුවමනාව පවත්වාගෙන යෑමට ටික කාලයක් යද්දි නැති වී යයි. එය අතහැර දැම්මා කියා ඔබට කිසි ගාණක් ද නැත. එය සාමාන්‍ය සිද්ධියක් ලෙස සලකා ඔබ හිත හදා ගනියි. එක දෙයක් කරගෙන යන ගමන් තව දෙයක් ගැන කල්පනා කරන ස්වභාවය ද ඔබ තුළ පවතී. එම නිසා දෙකම අසාර්ථක වීමට තිබෙන ඉඩකඩ වැඩි බව මතක තබා ගන්න. සමාජයේ අනිත් පුද්ගලයන් ඔබ ගැන එතරම් විශ්වාස නොකරන්නේ ඔබගේ පවතින්නාවූ මේ අස්ථිර ස්වභාවය නිසයි.

ඉතා ප්‍රියමනාප ලෙස කැපී පෙනෙන ලෙස අඳින්නට පලඳින්නට ඔබ ප්‍රිය කරයි. දැනුම එකතු කිරීමට, අලුත් දේවල් ඉගෙන ගැනීමට, පොත්පත්වලට, ලේඛන කලාවට ඔබ ඉතා ප්‍රිය කරයි. ආදරය කරන්නට වගේම ආදරය ලබන්නට ද ඔබ ඉතා ප්‍රිය කරන අතර, පවුල තුළ ඉතා ආදරණීය, ප්‍රියමනාප පුද්ගලයකු ලෙස ජීවත් වෙයි. අන් අය යටතේ කරන වෘත්තියකට වඩා නිදහසේ කළ හැකි ව්‍යාපාර හෝ වෘත්තින් තෝරා ගැනීම ඔබට ඉතා ඵලදායකය. 

දෛව අංක 6 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී 
පාඨශාලාචාර්ය
ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය

Comments