ගම්පහ පත්තුවෙන තුවක්කු | සිළුමිණ

ගම්පහ පත්තුවෙන තුවක්කු

 

පසුගිය මාස දෙක තුනක කාලයක මෙරට විවිධ ප්‍රදේශවල සිදු වූ නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 33 දෙනෙකු පමණ මියගොස් තවත් පුද්ගලයන් කීප දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධීන් වාර්තා වී තිබිණි. මේ සිද්ධිවලදී වැඩි පිරිසක් ඝාතනය වී ඇත්තේ පාතාල ක්‍රියා සම්බන්ධයෙනි. ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ පසුගිය දින කීපය ඇතුළත වෙඩි තැබීමේ සිද්ධීන් නිසා පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු පමණ බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ඝාතන නිසා මිය යන පුද්ගලයින්ගේ පවුල්වල සහ ඔවුන්ගේ සමීප ඥාතින් මහත් අපහසුතාවලට පත්ව සිටිති. මෙකී සිදුවන පාතාල ක්‍රියා නිසා තරුණයන් රැසක් අකාලයේ මිය පරලොව ගොස් සිටිති.

අගෝස්තු මාසයේ 24 වන දින ගම්පහ පොලිස් වසමට අයත් උඩුගම්පල, බටපොත, කුරුස හන්දිය ප්‍රදේශයේ පාතාල කල්ලියක් සිදු කළ වෙඩි තැබීමකින් තරුණ ව්‍යාපාරිකයකු ජීවිතක්ෂයට පත් විය. මෙසේ ඝාතනය කර ඇත්තේ මාකෙවිට පාර, නැදගමුව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි අනුරාධ කුමාර තිසේරා නැමති 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ වැලි අලෙවි කිරීමේ නිරතව සිටි අයෙකු බව පොලිසිය පවසයි. ඝාතනය කෙරුණ පුද්ගලයා විවාහක දෙදරු පියෙකි.

එම ව්‍යාපාරිකයා ඔහුට අයත් ටිපර් රථයකින් වැලි ඇණවුමක් කිසිවකුට බාරදී එම ටිපර් රථයෙන්ම සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණි අවස්ථාවේ මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකුගෙන් පසු පස අසුනේ සිටි වෙඩික්කරුවකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මෙතෙක් සිදු කළ පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ ව්‍යාපාරිකයා ටිපර් රථයෙන් සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණි අවස්ථාවේ ඝාතකයන්ගේ මෝටර් බයිසිකලය ද එම ස්ථානයට පැමිණ ඇති බවත් ඔවුන් මඟ නැවතී "එන්න එන්න ඉස්සරහට එන්න එන්න ඔහොම එන්න" යයි පවසා ටිපර් රථය හරවා ගැනීම සඳහා ව්‍යාපාරිකයාට උපකාර කර ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි විය. ව්‍යාපාරිකයා ඉන් පසුව ටිපර් රථය හරවා ගැනීමෙන් අනතුරුව එය නවතා එයින් බැස එන අවස්ථාවේ ඝාතකයෝ ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය කළ විමර්ශන වලදී හෙළි විය.

වෙඩි පහරින් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා ගම්පහ මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේ මිය ගියේය. සැකකරුවන් මෙම ව්‍යාපාරිකයාට පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඇති බවත් එහි හිස් පතරොම් කොපු කීපයක් වෙඩි තැබූ ස්ථානයේ වැටී තිබි සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

මේ ඝාතනය සම්බන්ධව ගම්පහ මූලස්ථාන පොලිසියට ලැබුණ නිර්නාමික දුරකථන ඇමතුමක් මත පොලිස් නිලධාරින් එහි ගොස් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව මුලින්ම එම ස්ථානයට ගිය ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් සහ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරින් මූලික විමර්ශන කටයුතු සිදු කරන ලදී.

පසුව මෙම සිද්ධිය සම්බන්ධව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න අපරාධ ස්ථානය පරික්ෂා කර බලා අනතුරුව ගම්පහ මූලික රෝහලට පැමිණ ව්‍යාපාරිකයාගේ මළ සිරුර පරික්ෂා කර මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය.

මේ ව්‍යාපාරික අනුරාධ කුමාර තිසේරා ප්‍රදේශවාසින් සමග සුහදශීලීව කටයුතු කළ පුද්ගලයකු වන අතර ඔහුට විරුද්ධව අපරාධ චෝදනා පිළිබඳව පැමිණිලි පොලිසියට මෙතෙක් ලැබී නොමැති බව සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි විය. කිසිවෙකු මේ ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදල් ඉල්ලා ඒවා නොදුන් නිසා ඔහු මෙලෙස ඝාතනය කළා ද යන්න සෙවීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ව්‍යාපාරිකයා පාතාලයට සම්බන්ධ පුද්ගලයකුද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධව ද විමර්ශන කටයුතු සිදු කැරේ.

මේ ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහුගේ වෙළෙඳ ආයතනයේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරාවල මේ සිද්ධිය මුළුමනින්ම සටහන්ව ඇති අතර ඝාතක සැකකරුවන් පැමිණි මෝටර් බයිසිකලයේ ලියාපදිංචි අංකය පරීක්ෂා කිරීමේදී එය ව්‍යාජ එකක් බව හෙළිවී ඇත. මේ ව්‍යාපාරිකයා වෙනත් ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ ආරවුලක් පැවතියේ ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් පවතී. ඔහුට මරණ තර්ජන ඇති බව තොරතුරු වාර්තා වී නොතිබිණි.

මෙලෙස ඝාතනය කෙරුණු ව්‍යාපාරික අනුරාධ කුමාරගේ බිරිය පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නාය. “මේ සිද්ධිය දින මගේ සැමියා නිවසින් පිටවී ව්‍යාපාරික ස්ථානයට ගියා. පසුව මමත් ටික වේලාවකින් එහි පැමිණියේ සැමියාගේ ව්‍යාපාරික කටයුතුවලට සහය විමටයි. පසුව මගේ සැමියාට ලැබුණු වැලි ඇණවුමක් මත වැලි තොගයක් ටිපර් රථයේ පටවා ගෙන ගොස් ඒවා අවශ්‍ය පුද්ගලයාට ලබා දී නැවතත් ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණියා.

එම අවස්ථාවේ මම ව්‍යාපාරික ස්ථානයේ මුදල් අයකැමි ලෙස කටයුතු කරමින් සිටියා. ටික වේලාවකින් වෙඩි ශබ්දයක් ඇසුණු නිසා මම එළියට පැමිණ බැලුවා එවිට සැමියා වෙඩි වැදී බිම වැටී සිටින අයුරු දුටුවා පසුව ප්‍රදේශවාසින් සමඟ එක්ව බරපතළ තුවාල ලබා සිටි සැමියා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. ගම්පහ මූලික රෝහලේ වෛද්‍යවරු සැමියා පරීක්ෂා කර බලා ඔහු මිය ගොස් ඇති බවට දැනුම් දුන්නා. මම මුදල් අයකැමි ලෙස සිටි ස්ථානයට මෙම වෙඩි තැබීම සිදුවු ස්ථානය පෙනෙන්නේ නැහැ. මේ පිළිබඳව අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටිනවා.

පසුගියදා ගම්පහ අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වීමට පැමිණි පාතාල සාමාජිකයන් බව කියන පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා, ගාමිණි පියතිලක යන අය මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

මීට අමතරව ඉකුත් අගෝස්තු මස 06 වන දින පාතාල සාමාජිකයකු යැයි සිතා උඩුගම්පල, කොටුගොඩ මාර්ගයේ කෙහෙල්බද්දර ප්‍රදේශයේ සැලුන් එකක කරණවෑමියෙකු ලෙස සේවය කළ අචිර නෙත්රුවන් බෝඹුවල නැමති තරුණයාත් වෙඩි තබා ඝාතනය කරන ලදී.

මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ධර්මසුරිය සැරයන්වරුන් වන (12839) රොෂාන්, (32795) ප්‍රේමලාල්, (57933) මාරසිංහ, (51709) සිල්වා පොලිස් කොස්තාපල්වරුන් වන (1458) සම්පත්, රියදුරු (80951) ජයසිංහ යන නිලධාරින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

 

Comments