පසුගිය දශක කිහිපය තුළ ගෝලීය ජනගහනය අඛණ්ඩව වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය පරිභෝජනය ද අඛණ්ඩව වර්ධනය වුණි. පරිභෝජනය ඉහළ යාම ආර්ථික ප්‍රසාරණයට තුඩු දෙන අතර එහි ප්‍රතිඵලයක් වනුයේ අමුද්‍රව්‍ය සහ සම්පත් පරිභෝජනය සීඝ්‍ර ලෙස ඉහළ යාමයි. ඉහළ යන සම්පත් පරිභෝජනය මානව සංහතිය ඉදිරියේ ඉතිරි කරන ප්‍රධාන ප්‍රශ්න දෙකකට සමස්ත ලෝකයම අද මුහුණ දෙමින් තිබේ. එනම් නිෂ්පාදන සඳහා අවශ්‍ය සම්පත් හිග වීම සහ පරිභෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළ යෑම නිසා ද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ගැටලුවයි.
පසුගිය වසර 100 ක කාලය තුළ ලොව පුරා නිස්සාරණ ඉදිකිරීම් ද්‍රව්‍ය ඒකක 134 ගුණයකින්ද, ලෝපස් සහ ඛනිජ ද්‍රව්‍ය ඒකක 27 ගුණයකින්ද, පොසිල ඉන්ධන ඒකක 12 ගුණයකින්ද, ජෛවස්කන්ධ ඒකක 3.6 ගුණයකින්ද ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සම්පත් මණ්ඩලය විසින් හඳුනාගෙන තිබේ. මෙය අතිශය බැරෑරුම් ගෝලීය අර්බුදයක් ලෙස හඳුනාගෙන ඇති අතර අනාගත පරම්පරාවන්ගේ චිරස්ථිතික වැස්ම සඳහා අභියෝගයක් වශයෙන්ද හඳුනාගෙන ඇත.
අනෙක් අතින් ආර්ථික වර්ධනයේ තවත් ප්‍රතිඵලයක් වන කසළ හා අපද්‍රව්‍ය කළමනාකරණය ලොව හමුවේ ඇති, ලෝක නායකයින්ගේ අවධානය අවැසි, ගැටළු වලින් එකක් ලෙස හඳුනාගෙන ඇත. උදාහරණයක් ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය (MSW) ලොව පුරා විසිරී ඇති ප්‍රධාන නගර රාශියක ඉහළින්ම අවධානය දිනාගත් නිසි විසඳුම් අවශ්‍ය ගැටලුවක් ලෙස සැලකේ. තවද ජල අපද්‍රව්‍ය විද්‍යුත් අපද්‍රව්‍ය කාර්මික අපද්‍රව්‍ය අන්තරාදායක සහ විෂ සහිත අපද්‍රව්‍ය කළමනාකරණය ලෝක අවධානය දිනා ගත්යුතු සහ විස්ඳුම් සෙවීම සඳහා පර්යේෂණ සිදු කළ යුතු අංශ ලෙස හඳුනාගෙන තිබේ.
ඉහත ගැටලු පිළිබඳ පර්යේෂණ කරන බොහෝ අන්තර්ජාතික පර්යේෂකයන් පවසන අන්දමට සම්ප්‍රදායික ආර්ථික මොඩලයේ පවතින රේඛීය ස්වභාවය (Linear) මෙම ගැටලු ඇතිවීමට ප්‍රමුඛ හේතුවයි. ආර්ථිකයක් රේඛීය වනුයේ රේඛීයව සිදුවන සම්පත් ගලායාම හේතුවෙනි. එනම් වත්මන් ආර්ථික මොඩලය තුල පරිසරයෙන් සම්පත් ලබා ගැනීම්ත් එමගින් නිෂ්පාදනය සහ පරිභෝජනය කිරීමත් ඉන් අනතුරුව සම්පත් යළි පරිසරයට අපද්‍රව්‍ය ලෙස මුදාහැරීමත් රේඛීය ආකාරයෙන් සිදුවේ. මෙහි ආරම්භක අදියර සහ අවසන් අදියර පෙර සඳහන් කළ මූලික ගැටලු වලට පාදක වී ඇති බව පහත රූප සටහනෙන් තවදුරටත් පැහැදිලි කර ගත හැක.
ඉහත ගැටලු වලට විසදුම් සොයන ආර්ථික විශ්ලේෂකයන් රේඛීය නොවන නිෂ්පාදන ආකෘති සහ රාමු පිළිබඳව විකල්ප යෝජනා ඉදිරිපත් කර තිබේ. උදාහරණ ලෙස ප්‍රතිලෝම සැපයුම් (reverse logistics), සංවුර්ත ලූප (Closed loop), කාර්මික සහජීවනය (Industrial symbiosis), කාර්මික පරිසර විද්‍යාව ආශ්‍රිත මොඩල හඳුනාගත හැක. උදාහරණ වශයෙන්ප්‍රතිලෝම සැපයුම් ක්‍රමවේදයන් තුළ යෝජනා කරන්නේ භාවිතා කරන ලද නිෂ්පාදන හෝ නිෂ්පාදන කොටස් නැවත නිෂ්පාදකයෙක්වෙ ත ලබා ගැනීමේ අරමුණ ඇතිව නිෂ්පාදන සැලසුම් කොට එය නැවත භාවිතා කිරීමට හැකි වන පරිදි නැවත එකතු කිරීමේ ක්‍රමවේදයයි. එහිදී අදාළ ද්‍රව්‍යයේ වටිනාකම් නැවත ලැබෙන පරිදි සැපයුම් දාමය සැලසුම් කරන අතර නිවරදිව බැහැර කිරීමේ ක්‍රම තුළින් කර්මාන්තය තුළට නැවත යෙදවුමක් ලෙස ලබා ගැනීම ප්‍රවර්ධනය කෙරේ. උදාහරණයක් ලෙස මනාව සැලසුම් කළ නිමි ඇඳුමක් වසර කිහිපයක පරිභෝජනයෙන් පසු නැවතත් අමුද්‍රව්‍යයක් ලෙස නිමි ඇඳුම් නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුලත් කිරීම දැක්විය හැක.
සංවර්ධිත රටවල් බොහොමයක් ඉහත දැක්වූ පරිද්දෙන් සම්පත් පරිභෝජනය ආර්ථික සංවර්ධනයෙන් විසංයෝජනය කිරීමේ ක්‍රම අධ්‍යයනය කරමින් පවතී. යෝජනා කරන මොඩල අතරින් බටහිර ලෝකය තුළ ඉහළම ජනප්‍රියතාවක් දිනාගෙන ඇති සංකල්පය වනුයේ චක්‍රීය ආර්ථික (Circular economy) සංකල්පයයි. මෙම සංකල්පයේ මූලික න්‍යායන් 2000 දශකයේ මුල් යුගයේ William McDonough සහ Michael Braungart විසින් යෝජනා කරන ලද අතර ප්‍රායෝගික යෙදවුම් අධ්‍යයනය පුරෝගාමී වූයේ එක්සත් රාජදානියේ රාජ්‍ය නොවන උපදේශන සමාගමක් වන Ellen MacArthur පදනමයි. මෙහි මූලික න්‍යාය "තොටිල්ලේ සිට සොහොනට"නොව "තොටිල්ලේ සිට නැවත තොටිල්ලට" යන සංකල්පය පදනම් කොටගෙන "අපි දේවල් සාදන ආකාරය නැවත සකස් කරමු" යන පදනමින් ඉදිරිපත් කර ඇත. චක්‍රීය ආර්ථිකය තුළ මුලික හරය වනුයේ සම්පත්වල ගලායෑම චක්‍රීය කරණය සිදු කිරීමයි. එනම් නැවත නැවත පරිභෝජනය කළ හැකි වන පරිදි නිෂ්පාදිත සැලසුම් කොට පරිභෝජනය අවම කිරීම, නැවත නැවත භාවිතා කිරීම,ප්‍රතිචක්‍රීයකරණය තුලින් සම්පත් ආර්ථිකය තුළ රඳවා ගැනීම මෙහි අරමුණ වේ. එමඟින් සම්පත් පරිසරයෙන් උකහා ගැනීම අවම වනවා පමණක් නොව පරිසරයට අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම ද සීමා කිරීම් සිදු කෙරේ. මෙම සංකල්පය පහත රූප සටහනින් දක්වා ඇත.
Ellen MacArthur පදනමට අනුව චක්‍රීය ආර්ථිකයක මූලිකාංග තුනක් දක්වා තිබේ. අපද්‍රව්‍ය සහ දූෂණය අවම කිරීම,චක්‍රීය නිෂ්පාදිත සහ අමුද්‍රව්‍ය සුලභ කිරීම සහ ස්වභාවික පද්ධති පුණනර්ජනනය කිරීම එම මුලිකාංග වලට ඇතුලත් වේ. ඉහත ක්‍රම මගින් ආර්ථික ක්‍රියා ක්‍රියාකාරකම් සහ සීමිත සම්පත් පරිභෝජනය අතර වන අනුලෝම සම්බන්ධය බිඳ දැමීම මෙහි මූලික පරමාර්ථය වේ. එමඟින් මිනිසුන්ට, පරිසරයට සහ ව්‍යාපාර වලට හිතකර තිරසාර ක්‍රමවේදයක් නිර්මාණයය කිරීම අභිප්‍රායයි.
චක්‍ර්‍රීය ආර්ථික ඉලක්ක ළඟා කර ගැනීම සඳහා විවිධ රාජ්‍යයන්, ජාත්‍යන්තර සංවිධාන, මෙන්ම ව්‍යාපාර සහ තනි පුද්ගලයන් ද විවිධ ආකාරයෙන් ක්‍රියා කරනු ලබයි. සමාජයේ සෑම පාර්ශවයක ම දායකත්වය රේඛීය ආර්ථිකයක සිටචක්‍ර්‍රීය ආර්ථිකයක් දක්වා ගමන් කිරීමට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස දැක්විය හැකියි. චක්‍රීය ආර්ථිකය තුළ ක්‍රියාත්මක කළ හැකි විවිධ ව්‍යාපාර මොඩලයන් රාශියක් මේ වන විට බිහිවී තිබේ.
අද වන විට ලෝකයේ බොහෝ රටවල දැනුවත්ව හෝ නොදැනුවත්ව චක්‍රීය ආර්ථික මූලධර්ම භාවිතා කරන ව්‍යාපාර ආයතන දැකගත හැක. මෙම චක්‍රීය ආර්ථික ව්‍යාපාරික මොඩල පහත ආකාරයෙන් වර්ගීකරණය කළ හැක.
Regenerate - නැවත උත්පාදනයය කිරීම
Share - බෙදාහදා ගැනීමේ ව්‍යාපාර
Optimization - ප්‍රශස්තකරණය
Loop - ලූපය
Virtualization - අත්ත්‍යකරණය
Exchange - හුවමාරු කිරීම්.
නැවත උත්පාදනය කිරීම (Regenerate) යටතේ සිදු වනුයේ පුනර්ජනනීය බල බලශක්තීන් හෝ භාවිතා කරමින් ප්‍රතිචක්‍රීයකරණ පද්ධතීන් හෝ බලශක්ති ප්‍රතිස්ථාපන ව්‍යාපාරයක් බිහිකිරීමයි. මේ යටතේ උදා උදාහරණ ලෙස පුනර්ජනනීයනීය බලශක්ති උත්පාදන ව්‍යාපාර, කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපාරයන් ආදිය දැක්විය හැක. තවත් ලොව පුරා ප්‍රචලිත විය ව්‍යාපාර මොඩලයක් වනුයේ බෙදාහදා ගැනීමේ (sharing) ව්‍යාපාර මොඩලයයි. මෙය බොහෝ දුරට ඩිජිටල්තාක්ෂණය හා බද්ධව පවත්වාගෙන යනු ලබයි. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ තනි තනිව සම්පත් හිමිකාරීත්වය දැරීම අවමකර අවශ්‍ය විට පරිභෝජනයය කිරීම සඳහා පොදුවේ සම්පත් පවත්වාගෙන යාමයි. උදාහරණ වශයෙන් ලොව පුරා ප්‍රචලිත මාර්ගගත කුලී රථ සේවා ලබාගැනීමේ ව්‍යාපාර හඳුන්වා දිය හැක. එමගින් සෑම පුද්ගලයකුම මෝටර් රථයක හිමිකාරීත්වය ලබාගෙන සම්පත් පරිභෝජනය ඉහළ දමනවා වෙනුවට පොදුවේ වාහන සමුදායක් පවත්වාගෙන ගොස් අවශ්‍ය විට භාවිතයට පමණක් ගෙවීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබා දී තිබේ.
ප්‍රශස්තකරන (optimization) ව්‍යාපාර තුළින් සිදු කරනුයේ නිෂ්පාදිතයක කාර්ය සාධනය සහ කාර්යක්ෂමතාවය දියුණු කිරීමෙන් එහි උපරිම භාවිතයට ඉඩ හසර ලබා දීමයි. ඒ සඳහා බොහෝ ව්‍යාපාර තොරතුරු තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය, big data වැනි සංකල්ප භාවිතා කරයි.නිශ්පාදන ක්‍රියාවලියේ අපතේ යෑම අවම කිරීම්ද මෙම යාන්ත්‍රණයට ඇතුලත් වේ.
උදාහරණයක් ලෙස පර්යේෂණ මගින් සොයාගෙන ඇත්තේ වාණිජ කෘෂි වගා සඳහා යොදන පොහොරවලින් සියයට හැත්තෑවක් පමණ ඵලදායි නොවන ලෙස සේදී ගොස් පසට එක් වන බවයි. නූතන ගොවිපල ආශ්‍රිත තාක්ෂණික ක්‍රම මගින් ශාකවල මුලටම අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් පොහොර යෙදීම මගින් පොහොර භාවිතය 70% කින් පහල හෙලීමට හැකි වනවා පමණක් නොව පස දූෂණය වීමේ අභියෝගය ද ජය ගැනීමට හැකි වී තිබේ.
ලූප් (loop) හෙවත් දාමයන් සම්පූර්ණ කිරීමේ ව්‍යාපාර මඟින් සිදුකරනුයේ කාබනික ද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් කිරීමත් අකාබනික හෝ තාක්ෂණික ද්‍රව්‍ය නැවත භාවිතයෙන් හෝ ප්‍රතිචක්‍රීයකරණය කිරීම මගින් නැවත ආර්ථිකයට යෙදවුමක් ලෙස ඇතුලත් කිරීම්ට ක්‍රියා කිරීමය.
මෙමගින් පෙර සාකච්ඡා කළ රේඛීය ආර්ථිකයක මෙන් අපද්‍රව්‍ය කසල අංගන වෙත යාම වළකා නැවත චක්‍රීය ලෙස භාවිතයට අවස්ථාවව සලසා දෙයි. උදාහරණ ලෙස භාවිතය නිමි කළ නිමි ඇඳුම් අමුද්‍රව්‍ය ලෙස නිමි ඇඳුම් නිෂ්පාදනයට යොදා ගැනීම දැක්විය හැක.
අතත්‍යකරණය (virtualization) ලොව පුරා සාර්ථකව භාවිතා වන ඉතා ජනප්‍රිය ව්‍යාපාර මොඩලයකි. මෙහිදී පැරැණි සම්ප්‍රදායික ක්‍රම ඩිජිටල් හා තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කර සේවා නවමු වූ ආකාරයෙන් සැපයීම් සිදුකෙරේ. උදාහරණ ලෙස පෙර භාවිතා කළ මුද්‍රිත කෘතීන් වෙනුවට ebook භාවිතයට ආරම්භ වී පවතී. තවද පෙර භාවිතා කළ කැසට් පට සීඩී තැටි වෙනුවට මාර්ගගත ක්‍රමයට මාසික ගෙවීමකට ගීත සහ විනෝදාත්මක වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබී තිබීම දැක්විය හැක. මෙහි ඉතා දියුණු අදියරයක් ලෙස 3d තාක්ෂණයෙන් සිදුකරන නිෂ්පාදිත මුද්‍රණය (3d printing) යනාදිය දැක්විය හැක.
හුවමාරු කිරීමේ (Exchange) ව්‍යාපාර මොඩලය තුල පැරණි ද්‍රව්‍යයන් සහ ක්‍රමවේද නූතන ක්‍රමවේදයන් සමඟ හුවමාරු කිරීම් සිදුකෙරේ. උදාහරණ ලෙස පොසිල ඉන්ධන මගින් ක්‍රියාත්මක වූ මෝටර් රථ හෝ යන්ත්‍ර සුත්‍ර පුනර්ජනනීය බල බලශක්තීන් මගින් හෝ hybrid ක්‍රම මගින් ක්‍රියාත්මක කිරීමට හුවමාරු කිරීම දැක්විය හැක.
ඉහත දැක්වූ පරිදි චක්‍රීය ආර්ථිකය ලොවට සුබදායි වන පරිද්දෙන් මෙන්ම ව්‍යවසායකයන්ට තිරසාර සංවර්ධනයට දායක වෙමින් ආයෝජනයන්ට මූල්‍ය ප්‍රතිලාභ ද ලැබෙන පරිද්දෙන්ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක් ලෙස හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් මෙම ව්‍යාපාර ප්‍රචලිත කිරීමට රාජ්‍ය හා පුද්ගලික අංශයේ ලැබෙන දායකත්වය මද වීම, පර්යේෂණ සදහා පවතින පහසුකම් අවම වීම, මෙම සංකල්ප පිළිබඳ මහජනතාවගේ පවතින දැනුවත් භාවය අඩුවීම, වර්තමානයේ චක්‍රීය ආර්ථිකය හමුවේ පවතින ප්‍රදාන අභියෝග වේ. බටහිර ලෝකය මෙම සංකල්ප පිළිගනිමින් ජාතික සහ ආයතනික මට්ටමෙන් ඉලක්ක තබා ගනිමින් කටයුතු කළත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම සංකල්ප ඉතා සුළු වශයෙන් පමණක් භාවිතා වීම කණගාටුවට කරුණකි.
.jpg)
ලිපි සැකසුම : උපේක අටුපොල
(ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයනාංශයේ පළමු පෙළ උපාධිධාරියෙක් වන අතර වර්තමානයේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පශ්චාත් උපාධිය සඳහා අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටි. ඔහු තිරසාර සංවර්ධනය සහ තිරසාර ගිණුම්කරණය පිළිබඳ පර්යේෂණ සිදුකරන අතර එම අංශ වලින් අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකා රචනා කොට ඇත.)