මට උසස් පෙළට 'S' දෙකයි ඒත්, CIM ඉවර කළේ අවුරුදු දෙකෙන් | සිළුමිණ

මට උසස් පෙළට 'S' දෙකයි ඒත්, CIM ඉවර කළේ අවුරුදු දෙකෙන්

- සියලුම පසුතැවීම් මට ආපහු නැගිටින්න හදපු පාරවල් විතරයි
- තීරණයක් ගන්නකොට ඒ මොහොතෙ වෙන පාඩු ගැන හිතන්න එපා
- මගේ සාර්ථකත්වයේ රහස ඕනෑම අභියෝගයක් එහෙම එකක් කර නොගන්නා එකයි

තාරක රන්වල අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු වුවත් පොත පත ගැන කතා කරන සංවාද මණ්ඩපවලට ද අමුත්තකු නොවේ. සාහිත්‍ය කෘති ගැන බොහෙවින් උනන්දු හේ ඒ සම්බන්ධ ක්‍රියාවලි හා ව්‍යාපෘති සඳහා ද නිරතුරුව සිය අතහිත දෙන්නට මැළි වෙන්නේ නැත. උසස් පෙළ අසමත් වුව ද නැවත ඒ වැටුණු තැනින් ම ගොඩ එන්නට මාර්ගය සොයන තාරක අනතුරුව බොහෝ කඩඉම් ජයගන්නේ වාර්තා පිට වාර්තා තබමිනි. සිය දිවිසැරියේ මතක මෙන් ම අසීරු තැන් ගැන ද සීරුවට ඔහු සිහිපත් කළේ ඒ දිවිය පුරා වන ආදර්ශය පාඨක ඔබට අසීරුතා ජයගන්නට පිටුබලයක් වනු ඇතැයි වන විශ්වාසය නිසා ය. වත්මනෙහි ඔහු සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ඩිජිටල්කරණය, තැන්පතු ප්‍රවර්ධන සහ අලෙවිකරණ) ලෙස කටයුතු කරයි.

සම්පූර්ණ නම 

ලසිත් තාරක රන්වල

උපන් දිනය

1971 අප්‍රේල් 13

කොහේද ගම් පළාත

කළුබෝවිල

තාත්තා, අම්මාගේ නම්. ඔවුන් රැකියා කළා ද?

අම්මා මංගලිකා පුෂ්පරාණී කල්පගේ. තාත්තා ගාවින් කමලසිරි රන්වල. තාත්තා ලංකා බැංකුවේ විශ්‍රාම යනතෙක් වැඩ කළේ. ඊට කලින් අම්මයි තාත්තායි දෙන්නම රැකියාව කළේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ. මට අවුරුදු තුනක විතර කාලෙදි අම්මටයි තාත්තාටයි දෙන්නට ම රැකියාව නැති වෙනවා; වර්ජන නිසා. ඊට පස්සෙ අම්මා සිලෝන් ටුබැකෝ එකට යනවා. තාත්තා ලංකා බැංකුවට සම්බන්ධ වෙනවා.

සහෝදර සහෝදරියන්

මට ඉන්නෙ නංගිලා දෙන්නෙක්

කොහේද පාසල් යන්නෙ

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට

පාසලේදී ක්‍රීඩා කළාද? මොනවද ඒ

ඇත්තටම මේ ප්‍රශ්නයට ඔබ මොනවද පාසලේදී නොකළෙ කියලා ඇහුවා නම් මට උත්තර දෙන්න පහසුයි. ඒතරම් මම බාහිර වැඩ කළා. ක්‍රිකට්, රගර්, මලල ක්‍රීඩා, පාපන්දු වගේ බොහෝ ක්‍රීඩාවල නියුතු වෙලා හිටියා. විද්‍යා, සිංහල සාහිත්‍ය හා ඉංග්‍රීසි සාහිත්‍ය සංගම්වල හිටියා. ශිෂ්‍ය නායකයෙක් විදියටත් මම පාසලේ කටයුතු කළා.

ඔබ දක්ෂ කථිකයෙක්. පාසලෙන් ද ඒ ආභාසය ලැබුවෙ

මම ඇත්තටම පාසලේ ඉංග්‍රීසි හා සිංහල දෙඅංශයේ ම විවාද කණ්ඩායම්වල හිටියා. පාසල් ඉතිහාසයේ මම කියන මේ වකවානුවේ එහෙම හිටිය එක ම ශිෂ්‍යයා මම. ඒ වගේම පාසලේ ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායම නියෝජනය කළ පොඩිම ශිෂ්‍යයා මම. ඒ වෙනකොට මම නවය වසරෙ හිටියෙ.

හැබැයි මගේ කථිකත්වය මුලින් ම හඳුනා ගත්තෙ සහ ඊට අත්වැල ලැබුණෙ මගේ දහම් පාසල වුණු කළුබෝවිල ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ උගන්වපු ශ්‍යාමලී කියන ගුරුතුමිය. මගේ ඒ හැකියාව හඳුනා ගත්තේ සහ වැඩිදියුණු කිරීමේ මූලික පාදම දැම්මේ දහම් පාසල.

උසස් පෙළට මොනවද කළේ. විශ්වවිද්‍යාල වරම් ලැබුණද?

අද මේ තනතුරු දැරුවට මම ඇත්තටම උසස්පෙළ අසමත්. ගණිත අංශයෙන් උසස්පෙළ කළේ. ඒක මගේ ආසාවට කළ තෝරා ගැනීමක් නොවෙයි. මම කැමති වුණේ ගිණුම්කරණ අංශයට. මට ඇත්තට ම ඕන කළේ නීතිඥයෙක් වෙන්න. ඒත් මගේ තාත්තාගේ ඥාතීන් කිහිපදෙනෙක් හිටියා ඉංජිනේරුවරු. ඒ අයගේ ඉල්ලීමටයි ගණිත අංශයෙන් කළේ. ඇත්තට ම ඒක හොඳ නැහැ. මම මගේ ළමයින්ට ඒක කළේ නෑ. තමන් කරන්න කැමැති දේයි කළ යුතු වෙන්නෙ. අපි ජාතියක් විදියට අසමත් වෙන්නත් මේ දේ බලපානවා. මොකද අපේ වටපිටාවෙ ඉන්න අය හරියට අපට බලපෑම් කරනවා. ඒක වැරදි දෙයක්.

විෂයයන් හතරම අසමත් ද?

නෑ S දෙකක් තිබුණෙ. ඒ කාලෙ මම හිටියෙ ඒ දෙකත් අසමත් වුණා නම් හොඳයි කියලා හිතෙන තැනක. ඇත්තම කියනවා නම් මට උසස්පෙළ සමත් වෙන්න ඕනකමක් තිබුණෙත් නෑ. පළමු ආදරෙන් පරාජිත වෙලා මට හැමදේම එපා වෙලා හිටියෙ. මගේ අම්මයි තාත්තයි කිසිම බලපෑමක් ඒ ගැන කළේ නෑ. මට කිව්වෙ ඔයා ඔයාට ඕන දේ කරන්න කියලා.

අම්මලා මුකුත් නොකිව්වට ඔබේ හිත ඔබට දොස් කියන්න ඇති

මම හිතුවා මට දැන් නීතිඥයෙක් වෙන්න ඕන වුණාට ඒකවත් කරන්න බෑනෙ කියලා. එතකොට තමයි මට තේරුණේ දැන් මම වැටෙන්න ඕන අන්තිම තැනට වැටිලා ඉන්න බව. මට ඉතිරි වෙලා තිබුණෙ එතැනින් නැඟිටින්න විතරයි. මම කියවලා කියවලා හොයලා බැලුවා මට කරන්න පුළුවන් මොනවද කියලා. මම එතනින් හොයා ගත්තා NIBM එකේ Computer System Design පාඨමාලාවක් තියෙනවා ඒක කරන්න පුළුවන් කියලා. ඒක ඉහළින් ම පිළිගන්න පාඨමාලාවක්. මම තාත්තට කිව්වා ඒක කරන්න ඕන කියලා. අපි ගිහින් ඒකට සල්ලි ගෙව්වා. 91 දි පවා ඒක තිස්එක්දහස් පන්සියයක ගෙවිය යුතු පාඨමාලාවක්. ඒ කාලෙ ඒක ලොකු ම ගාණක්. තාත්තා සල්ලි ගෙවලා එන ගමන් කිව්වා මේක අපතේ නොයන විදියට වැඩ කරන්න කියලා. එච්චරයි. මට ඒක තදට දැණුනා.

ඒ පාඨමාලාව සාර්ථක ව නිම කළා ද?

මම දැනන් හිටියා මේ මට ලැබුණු අන්තිම අවස්ථාව කියලා. මම ඒ නිසා ඒක හොඳට කළා. ඒකෙ ප්‍රොජෙක්ට් එක කරන කාලෙ මට ආවා වෘත්තිමය අවස්ථාවක්. ඒ මෙට්‍රොපොලිටන් එකේ.

ඒ අවස්ථාව ඔබට ලැබෙන්නෙ කොහොමද? ඉල්ලුම් කළා ද?

ඇත්තට ම ඒක හිතවතකු මාර්ගයෙන් ලැබුණු අවස්ථාවක්. මගේ අම්මාගේ හිතවතකුගෙ පුතෙක් හිටියා. එයා තමයි මටත් කතා කළේ. එයත් NIBM පාඨමාලාව කළ කෙනෙක්. මගේ ජීවිතේ පළමු සම්මුඛ පරීක්ෂණය ඒක. එයාලා මාව ගත්තා. මට බාර දුන්නෙ මෙට්‍රොපොලිටන් එකේ ඩේටා ටෙක් කියන ආයතනයේ ලංකාවට කවදාවත් ගෙනාපු නැති ඉමේජින් සොලූෂන් එකක් හඳුන්වා දෙන්න. ඒකෙන් කළේ ලිපි ලේඛන සියල්ල අයින් කරලා ඩිජිටයිස් කරන්න පුළුවන් යන්ත්‍රයක්. මම මේ කියන්නෙ 1992 වගේ කාලයක් ගැන. ඒක ලංකාවට ගේන්නෙ පළමුවැනි වරට. මාව නිර්දේශ කළ අයවත් ඒ ගැන දන්නෙ නෑ.

කොහොමද කවුරුත් නොදන්න යන්ත්‍රයක් හඳුන්වා දෙන්න ඔබ ලැහැස්ති වෙන්නෙ

මම බ්‍රහස්පතින්දා දවසක සම්මුඛ පරීක්ෂණයට ගියේ. සිකුරාදා ඉඳන් වැඩට එන්න කිව්වා. සිකුරාදා වෙද්දිත් මේ ගේන යන්ත්‍රය ගැන කිසිම දෙයක්, විස්තරයක්වත් එයාලා ළඟ නෑ. දවල් වෙද්දි මට කිව්වා සති අන්තයේ මේ මැෂින් එක ගේනවා, ඔයා සදුඳා මේක ගැන ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕන කියලා. මම සෙනසුරාදා උදේ ම ආයෙත් කාර්යාලයට ආවා. එදා උදේ 8 ඉඳන් හවස 7 වෙනකම් ඒ මැෂින් එකේ සියල්ල අධ්‍යයනය කළා. ඉරිදා උදේ ඇවිල්ලා පළමුවැනි ප්‍රසන්ටේෂන් එක කළේ මගේ පෙම්වතියට. සදුඳා මම පළමුවැනියෙන් මගේ සාමාන්‍යාධිකාරිට මේක ඉදිරිපත් කළා. දෙවැනි වතාවට ලංකාවේ ඉහළ ම වෘත්තියවේදීන් හයදෙනකු ඉදිරිපිට මම මේ ප්‍රසන්ටේෂන් එක කළා. ඒක හරිම සාර්ථක වුණා.

කොහොමද මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගියේ

මම සති දෙකක් ඇතුළත සිස්ටම් 5ක් විකිණුවා. මාව මෙට්‍රොපොලිටන් එකට ගත්තේ මගේ පරිගණක දැනුමට. හැබැයි එයාලට ඕන වුණා සිස්ටම් පැත්ත දන්න නමුත් ප්‍රධාන කාර්යය අලෙවිය වුණු කෙනෙක් ව. එයාලා මගෙන් ඇහුවා කැමතිද මේක දිගට ම කරගෙන යන්න කියලා. මට අභියෝගයක් ආවා. මම පරිගණක දත්ත සම්බන්ධයෙන් ඉගෙන ගත්තට දැන් ඊට වෙනස් ම පැත්තක් වුණු අලෙවිකරණය පැත්තටයි යොමු කරන්න හදන්නෙ. එක කොන්දේසියක් පිට මම ඒක බාර ගත්තා. ඒ තමයි මාස හයක් ඇතුළත මට මේක හරියට කරන්න බැරි වුණොත් මගේ පරණ තනතුරට මට එන්න ඕන කියන එක. එයාලා කැමැති වුණා. මමත් ඒ පැත්තට කැමැති වුණා.

කොහොමද ඔබේ සුදුසුකම් හදා ගත්තෙ

ඒ ක්ෂේත්‍රයෙන් ම මට ඉදිරියට යන්න ඕන වුණා. මම SLIM, CIM සහ CPM කළා. අවුරුදු 4ක් 5ක් ඇතුළත මම අලෙවිකරණය සම්බන්ධ සියලු සුදුසුකම් හා විභාග සම්පූර්ණ කළා. උසස්පෙළ අසමත් වුණු මම CIM ඉවර කළේ අවුරුදු දෙකෙන්. CPM, CIM, SLIM තුනම අවුරුදු 3ක් ඇතුළත ඉවර කරපු අය මම දන්න තරමින් දැනටත් නෑ. මේකෙන් මම කියන්නෙ මම මාර මිනිහෙක් කියලා නොවෙයි. මාත් සාමාන්‍ය මනුස්සයෙක්. මගේ අරමුණට මම උනන්දුවෙන් ගිය එකයි කළේ.

මේ වෙනකොට මෙට්‍රොපොලිටන් එකේ ඔබේ තනතුර මොකද්ද

1998 වෙනකොට මම මෙට්‍රොපොලිටන් එකේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානියා. මෙට්‍රොපොලිටන් ඒ කාලෙ එක පවුලකට අයිති ව්‍යාපාරයක්. පවුල් ව්‍යාපාරයක සීමා ඇතුළෙ යන්න පුළුවන් ඉහළම තනතුරකට මම ඇවිත් හිටියෙ. ඒ වගේම ඒ වෙනකොට මගේ යටතෙ ආයතන තුනක් තිබුණා. ව්‍යාපාර සංවර්ධන, මෘදුකාංග සංවර්ධන හා තාක්ෂණ සංවර්ධන කියන ආයතනවලයි මම ප්‍රධානියා විදියට වැඩ කළේ. මෙතනින් එහාට යන්න තැනක් තිබුණෙ නෑ. මට උවමනාව තිබුණෙ මගේ දැනුම වැඩි කරගන්න.

මෙට්‍රොපොලිටන් එකෙන් පස්සෙ ඔබ යන්නෙ DFCC බැංකුවට

ඔව්. මම එතැන ඉද්දි DFCC බැංකුවෙ Corporate communication Executive තනතුරට අයදුම්පත් කැඳවලා තිබුණා. අලෙවිකරණ හා පාලන කියන දෙකේම මම ඒ වෙනකොට යම් දුරක් ගියපු කෙනෙක්. ඒත් සන්නාම, ආයතනික සන්නිවේදන වගේ විෂයයන් ගැන මට ඒ වෙනකොට අවබෝධය අඩුයි. මෙට්‍රොපොලිටන් හිටියට මට ඒක ලැබෙන්නෙත් නෑ. ඉතින් මම තීරණයක් ගත්තා DFCC බැංකුවෙ පුරප්පාඩුවට යන්න. ඒක අසීරු තීරණයක්. ඒ වෙනකොට අපි ඒ වැටුපට අදාළ ව වියදම්වලට පුරුදු වෙලා හිටියෙ. ඉතින් මෙතනට එනකොට තනතුරෙනුත් අඩුයි; වැටුපත් අඩුයි. ඒත් මම මගේ අරමුණ ගැන හිතලා ඒ තීරණය ගත්තා.

හැබැයි ඔබ එතනින් පටන් ගත්තට ඉක්මනින් ඉහළ තනතුරකට යනවා

DFCC එකේ මට ඉතාම හොඳ ප්‍රධානියෙක් හිටියෙ. ඇය මට බොහෝ වගකීම් පැවරුවා. අද මේ ඉන්න තත්ත්වයට එන්න ඇය මා ගැන විශ්වාසයෙන් වැඩ කිරීම සෑහෙන පිටුබලයක් වුණා. මම ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සහ ශාඛා ජාලය බාර ප්‍රධානියා විදියට උසස් වුණා.

කොහොමද සම්පත් බැංකුවට එන්න පාර කැපෙන්නෙ

සම්පත් බැංකුවෙන් තමයි මට ආරාධනාව ආවෙ; අලෙවි ප්‍රධානියා විදියට වැඩ බාර ගන්න කියලා. ඒ 2006 දි. හැබැයි සම්පත් බැංකුවට පිටින් කෙනෙක් ගේන එක ලේසි වුණේ නෑ. ඒක සම්පත් බැංකු සංස්කෘතිය. මම ‍ෙජ්‍යෂ්ඨ කිහිපදෙනෙක්ගෙන් මේ සම්බන්ධයෙන් විමසුවා. ඒ අයගෙ මතය වුණෙත් මේක අතහරින්න වගේ එකක්. ඒත් මගේ විදිය අනෙක් අය බෑ කියන ඒවා කරන එක. හැබැයි මගේ තාත්තා කිව්වෙ මේ අභියෝගය බාර ගන්න කියලා. ඉතින් මම බාර ගත්තා. මේ තනතුරට පත් වුණු ළාබාලම කෙනා මම. ඒ වගේම මම බැංකු ක්ෂේත්‍රයේ සියලු ඉසව් ආවරණය කළ කෙනෙක්.

මොකද්ද ඔබේ සාර්ථකත්වයේ රහස

ඕනෑම අභියෝගයක් අභියෝගයක් කර නොගන්න එක. අනික තමන් මොන කාරණේ කළත් තමන්ගෙ හෘදය සාක්ෂියට එකඟ ව කරන්න ඕන. කතාවක් තියෙනවා ඕනෑම කෙනෙක් ඕනෑවට වඩා නොමඟ යවන්න බෑ කියලා. ඒක වැරදි කතාවක්. හොඳ දක්ෂ නළුවන්ටයි, දේශපාලඥයන්ටයි ඕනෑම කෙනෙක් ව ඕනෑම වෙලාවක කඩේ යවන්න පුළුවන්. ඒ නිසා ලෝකයා මොනවා කිව්වත් තමන්ගෙ හෘදය සාක්ෂියට අනුකූලව වැඩ කරන්න ඕන.

රැකියා අවස්ථා කීයක සම්මුඛ පරීක්ෂණවලට ගිහින් තියෙනවද?

මම මගේ ජිවිත කාලෙම ගිහින් තියෙන්නෙ ඉන්ටර්විව් 4කට විතරයි. හැබැයි මම වැඩ කරලා තියෙන්නෙ ආයතන 3කයි. අර වැඩ කළ ආයතන 3ට වඩා ඉන්ටර්විව් එකක් වැඩි වෙන්නේ මම මෙට්‍රොපොලිටන් ඉදිද්දි මට ලැබුණු අවස්ථාවක් නිසා. ඒ තමයි සිංගර් එකේ දිස්ත්‍රික් කළමනාකරු කියන තනතුර වෙනුවෙන් තිබුණු ඉන්ටර්විව් එක. මම ඒකෙනුත් තේරුණා. හැබැයි මම ගියේ නෑ. ඒ තනතුර ගොඩක් පහසුකම් සහිත එකක්. ඒත් මට හිතුණා මගේ අරමුණට යන්න ඒක බාධාවක් කියලා. ඒ වගේම ඒ පහසුකම් එක්ක මගේ හිත වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියලා මට හිතුණා. ඒ නිසා මම ඒක බාර ගත්තෙ නෑ. මම ගත්ත තීරණ අතර ඒක හොඳ ම එකක්.

ජීවිතේ ගන්න අසීරු වුණු තීරණ මොනවද?

මම රැයක් එළිවෙනකම් නිදි මරපු අවස්ථා දෙකක් තියෙනවා. එකක් මගේ සීයා නැති වුණු දවස. අනෙක තමයි මගේ බිරිය රැකියාවෙන් ඉවත් වෙන්න ගත්ත තීරණයට කැමැති වෙනවාද නැද්ද කියන එක කල්පනා කළ රාත්‍රිය. තමන්ගේ රැකියාවෙන් ඉහළට ආව කාන්තාවකගේ රැකියාව නවත්තලා ඇය ගෙදරට කොටු කිරීම අපරාධයක් කියලයි මට හිතුණෙ. ඒත් අපේ දරුවො දෙන්නාගේ වගකීම් වෙනුවෙන් අපි තීරණයක් ගත යුතුව තිබුණා. ඒ වගේ ම ඇය මට වඩා ඒ කාලෙ වැටුපක් ගත් කෙනෙක්. අපි නැවතත් මගේ වැටුපෙන් පමණක් යැපෙන තත්ත්වයට ගැළපෙන විදියට අපේ ආර්ථිකය සකස් කරගත යුතුව තිබුණා. මේ දෙක නිසා ම මම රැයක් එළිවෙනකම් කල්පනා කළා. අන්තිමට මම තීරණය කළා ඇයට රැකියාවෙන් ඉවත් වෙන්න කැමැත්ත දෙන්න. දැන් බැලුවහම ඒ තීරණය අපි ගත් හොඳම තීරණයක්. 

කොහොමද ලැබුණු ප්‍රධානීන්

ඒක මට ලැබුණු වාසනාවක්. මට නිතරම හමු වුණේ ඉතාම හොඳ බොස්ලා. ඒ අය නිසා තමයි මම මේ තැන අද ඉන්නෙ. ඒ අය මට නිදහස දුන්නා. මම ඒකෙන් ඉගෙන ගත්තා. මමත් අද මගේ අයට එහෙම කරනවා.

මේ සියල්ලෙන් ඔබ කියන්න උත්සාහ ගන්න කාරණය මොකද්ද?

තමන්ගෙ අරමුණට යද්දි ඒ අතරමඟ හමුවෙන කිසිම දෙයක් නිසා තමන්ගෙ අරමුණ වෙනස් කරන්න එපා කියන එක. ඒවගේම ඒ අරමුණට යද්දි ඒක නිසා ඔබට යම් දෙයක් නැති වෙනවා නම්, ඒ වරප්‍රසාද ගැන හිතලා අරමුණ අමතක කරන්න එපා කියන කාරණය. ඒ වගේ ම වැදගත් කාරණය තමයි ගොඩක් අයට අරමුණු තියෙනවා; ඒත් ඒ අරමුණට ඔහු හෝ ඇය යන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ට වයස කීයෙදි ද, මොන අවුරුද්දෙ ද කියන එක ගැන හිතන්නෙ නැහැ. අන්න ඒ වයස් ඉලක්කය වැදගත්. අපට කවදා හෝ දේවල් ලැබිලා වැඩක් නෑ. ලැබිය යුතු වයසක් තියෙනවා. ඒ වයසෙදි ඒවා ලබා ගන්න අරමුණක් තියෙන්න ඕන. අවසාන ඉලක්කය පැහැදිලි වෙන්න ඕන.

ඔබේ විවාහය සිදු වෙන්නේ

1997 දෙසැම්බර් 5

බිරියගේ සහ දරුවන්ගේ නම්

බිරිය අනීෂා කෝකිලානි, ලොකු දුව චනෝද්‍යා හා පොඩි දුව මිනෝද්‍යා

විවේක වෙලාවට මොකද කරන්නෙ

මම විවේකයෙන් ඉන්න කොට කැමති දෙකක් තියෙනවා. එකක් පොත් කියවීම. අනික ක්‍රිකට් මැච් බලන එක.

අන්තිමට කියවපු පොත මොකද්ද?

චන්ද්‍රරත්න බණ්ඩාරගේ ප්‍රේමානිශංස. මම සෑහෙන පොත් කියවන කෙනෙක්. නිදා ගන්න කලින් මම හැමදාම පැය බාගයක් හරි කියවනවා.

සංචාරය කරන්න කැමති?

අනුරාධපුරේ සහ නුවරඑළියට යන්න කැමැතියි. ලංකාවේ ඕනම ලස්සන තැනක ඇවිදින්න කැමතියි.

බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ

ඒක මම මට අවුරුදු 21 ඉඳන් කරන දෙයක්. දැන් ඒක පුරුද්දක්.

හැරිලා බලද්දි ජීවිතේ පසුතැවෙන දේවල් තියෙනවද?

අපෝ එහෙම බැලුවම පසුතැවෙන තැන් ගමකට තියෙනවා. හැබැයි මම ඒවා ගණන් ගන්නෙ නෑ. ඒවා ඔක්කොම මට ආපහු නැගිටින්න හදපු පාරවල් විතරයි. ඒනිසා අද වෙනකොට මට කිසිම පසුතැවීමක් නෑ.

ඔබ බොහෝ දේ අතහැරි බව කියනවා.

අතහරින්න බැරි බැඳීම් ජීවිතේ තියෙනවා.

ඔව්. මට මගේ දරුවො දෙන්නා අතහරින්න බැහැ. අනික් සියලු දේ මම පුළුවන් උපරිමයෙන් අතහැරියා. දේපළ, වස්තුව මේ වගේ බොහෝ දේ.

ඡායාරූප - මාලන් කරුණාරත්න

Comments