EPF නොදැන ගිහින් අත­රමං නොවෙන්න සේවක අර්ථ­සා­ධ­කය ගැන දැන­ගන්න | Page 2 | සිළුමිණ

EPF නොදැන ගිහින් අත­රමං නොවෙන්න සේවක අර්ථ­සා­ධ­කය ගැන දැන­ගන්න

 

රාජ්‍ය සේවකයා විශ්‍රාම ගිය පසුව ඔහුට දිවි ඇති තෙක් මසකට විශ්‍රාම වැටුපක් හිමි වේ. එහෙත් අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට එසේ විශ්‍රාම වැටුපක් හිමි නොවන නමුත් ඔවුන්ගේ සැඳෑ සමය ගත කිරීම වෙනුවෙන් විශ්‍රාම යාමේදී සේවක අර්ථසාධක අරමුදලක් හිමි වේ. එම අර්ථසාධක අරමුදල ලැබෙන්නේ ගෙඩිය පිටිනි. වෙනත් ලෙසකින් පවසනවා නම් රැකියාවට ගිය දින සිට තම වැටුපෙන් හා සේවා යෝජකයාගෙන් හෙවත් රැකියා ස්ථානයෙන් මාසිකව සේවකයාගේ නමට බැර කරන ලද සම්පූර්ණ මුදලයි.

 

රැකියා ස්ථානය නැත්නම් සේවා යෝජකයා විසින් අනිවාර්යෙන්ම අදාළ සේවකයාගේ මූලික වැටුපෙන් 12%ක් සේවක අර්ථසාධක අරමුදලට බැර කළ යුතුමය. එසේම සේවකයාගේ මූලික වැටුපෙන් 8%ක් අනිවාර්යෙන්ම බැර කෙරෙනු ඇත. එයට වාර්ෂික පොලියක්ද එකතු වන අතර විශ්‍රාම යාමේදී ඒ සියල්ල සේවකයාට හිමි වේ. එසේ ලැබෙන අර්ථසාධක අරමුදල රැගෙන ගොස් එම මුදල විනාශ කර ගන්නා සේවකයෝද වෙති. එයින් වැනසෙන්නේ ඔහු පමණක් නොවේ. රැකියා විරහිත දරු දැරියන් නිවසේ සිටින්නේ නම් ඔවුන් ද දැඩි අපහසුතාවන්ට පත්වනු ඇත

අර්ධ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් ලබා දෙන සේවක අර්ථසාධක අරමුදලට අදාළ පනත 1958 අංක 15 යටතේ ස්ථාපිත කරන ලද්දකි. එම අරමුදලෙහි පරිපාලනය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන අතර එම මුදල්වල භාරය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දරනු ලැබේ.

දකුණු ආසියාවේ ඇති විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති අදහස් දක්වන ලදී.

ලක්ෂ 25කගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් ස්ථාපිත සේවක අර්ථසාධක අරමුදල රුපියල් ට්‍රිලියන 3ක් හෙවත් රුපියල් බිලියන 3000ක අතිවිශාල අරමුදලකි. එය දකුණු ආසියාවේ ඇති විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන්නේය.

රාජ්‍ය සේවකයකු විශ්‍රාම ගිය විට සෑම මසකම නිශ්චිත මුදලක් විශ්‍රාම වැටුප් ලෙසින් හිමිවන අතර සංස්ථා, මණ්ඩල හා පෞද්ගලික අංශ සේවකයන් විශ්‍රාම ගත් පසුව අර්ථසාධක අරමුදල හිමි වන්නේ ඒ හරහා ජීවිත කාලයම එයින් යැපීමටය. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල හිමිවන්නේ අවුරුදු 55 සම්පූර්ණ වූ විය. එය කාන්තාවන්ට නම් අවුරුදු 50 සිට ලබා ගත හැකිය. නව පනත අනුව පෞද්ගලික හා සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල අධිකාරි සේවක සේවිකාවන්ට වයස අවුරුදු 60 දක්වා ‍ෙස්වයේ නිරත විය හැකි හෙයින් අර්ථසාධක අරමුදල ලබා ගැනීමද ඒ අනුව තවත් වසර කිහිපයකින් ඉහළ යා හැකිය. එය තමන්ගේ අභිමතය පරිදිය.

කෙසේ වුවත් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ නිසි වයස් සම්පූර්ණ වීමට පෙර ලබා ගත හැකි අවස්ථාද තිබේ. ඒ අතර අරමුදලේ සාමාජික සාමාජිකාවන් පූර්ණ දුබලතාවට පත්වීම මුල්තැනක් ගනී. එමෙන්ම විදෙස් රටක ස්ථිර පදිංචියට යන්නන්ටද සේවක අර්ථසාධක අරමුදලේ මුදල් සම්පූර්ණයෙන්ම ලබා ගත හැකිය. ඊට අමතරව කාන්තාවක් නම් විවාහ වීමට ප්‍රථම මාස 3ක් තුළ හෝ විවාහ වී අවුරුදු 5ක් තුළ සේවයෙන් ඉවත් වූයේ නම් එවිටද අරමුදලේ මුදල් ආපසු ලබා ගත හැකි වේ.

එසේම සාමාජිකයා මියගියහොත් අරමුදලේ මුදල් ප්‍රතිලාභීන්ට ලබාගත හැකිවනු ඇත. එසේ නොවන සෑම අවස්ථාවකදීම විශ්‍රාම වයස සම්පූර්ණ වන තෙක් සිට අදාළ අරමුදල් ලබා ගත යුතු වේ. යම් සේවකයෙක් ඕනෑම ආයතනයකට බඳවා ගැනීමේ සිට එම සේවකයාට අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා දීම සේවා යෝජකයාගේ වගකීම වන්නේය. එම ආයතනයේ සේවක සංඛ්‍යාව 1ක් අයකු වුවද ඔහු හෝ ඇයට සාමාජිකත්වය ලබා දී අදාළ සාමාජික මුදල් බැර කිරීම සේවායෝජකයාගේ අනිවාර්යය වගකීමකි. උදාහරණයක් ලෙස වෙළෙඳසලකට සේවකයකු බඳවා ගන්නේ නම් ඔහුට අනිවාර්යෙන්ම අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා දිය යුතුමය.

එසේ නොවන කල්හි අදාළ ආයතනයට හෝ හිමිකරුට විරුද්ධව කටයුතු කෙරෙනු ඇත. පළමුව අදාළ ආයතනයට ලිඛිතව දැනුම් දෙන අතර පසුව රතු නිවේදනයක් යවනු ලැබේ. එයටද ප්‍රතිචාර නොලැබුණහොත් නීති මඟින් කටයුතු කෙරෙනු ඇත.

නිසි කලට අර්ථසාධක අරමුදල බැර නොකරනු ලබන ආයතනවලින් අධිභාරයක්ද අය කරනු ලැබේ. එය ගෙවිය යුතු දිනය ඉක්මවා මාසයක් දක්වා කල් පසුවූයේ නම් 5%ක අධිභාරයක් අය කරනු ලබන අතර ප්‍රමාදය වැඩිවන විට අධිභාරයද ක්‍රමයෙන් වැඩි වී ප්‍රමාදය මාස 12ට වැඩි නම් දායක මුදලින් 50%ක අධිභාරයක් ද ගෙවීමට සිදු වේ. ඒ අනුව සේවා යෝජකයන්ට ලෙහෙසියෙන් අර්ථසාධක අරමුදලෙන් පැන යා නොහැකිය. මේ නිසා බොහෝ මහා පරිමාණ ආයතන නිසි වේලාවට සේවක අර්ථසාධක අරමුදල් බැර කිරීමට කටයුතු කරනු ලැබේ. අතපසුවීම් ප්‍රමාදයන් බොහෝ විටම සිදු වන්නේ අවම සේවක සංඛ්‍යාවක් සිටින ආයතනවලිනි.

පසුගිය 2021 වසරේ පමණක් අර්ථසාධක අරමුදලට අලුතින් එක් වූ සේවක සංඛ්‍යාව 314,058කි. එමෙන්ම අලුතින් සේවායෝජකයන් 2407ක් අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා තිබේ. එම වසරේ පමණක් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 99,587ක් බැර වී තිබේ. එමෙන්ම එම වසර තුළදී අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් 74,923කට ප්‍රතිලාභ හිමිව ඇත.

එම පිරිස අතර විශ්‍රාම ලැබීමෙන් පසු අර්ථසාධක අරමුදල් ලබාගත් සංඛ්‍යාව 50,000ක් පමණ වන අතර ඊට අමතරව මිය ගිය අයගේ යැපෙන්නන්ට ප්‍රතිලාභ ගෙවීම් හා විවාහ වීම නිසා රැකියාවෙන් ඉවත් වූ පිරිස් හා පූර්ණ දුබලතාවයන්ට පත් වූවන්ට කළ ගෙවීම්ද මීට අයත් වේ. එමෙන්ම ඉහත දැක්වූ පූර්ව විශ්‍රාම වයස්හිදී සිදු කළ ගෙවීම්ද මීට අයත් වේ. ඒ අනුව විදේශ රටක ස්ථිර පදිංචියට යෑම, පෞද්ගලික අංශයේ අර්ථසාධක ලබමින් රැකියාවේ නිරතව සිට රාජ්‍ය සේවයේ විශ්‍රාමික රැකියාවකට එක්වීම හා පූර්ණ ආබාධයන්ට ලක්වීම හා විවාහය නිසා රැකියාවෙන් ඉවත්වීම වැනි හේතූන් නිසා කළ ගෙවීම්ද ඊට අයත්ය.

ඇතැම් සාමාජිකයන්ගේ හා ප්‍රතිලාභීන්ගේ නම්වල තිබුණු අඩුපාඩු පවා සකස් කර කඩිනමින් එම මුදල් ලබා දීමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ. ඇතැම් විට මේ අඩුපාඩු සේවායෝජකයන්ට විරුද්ධව නඩු දැමීමේදී පවා තිබෙන්නට පුළුවන. එවැනි අවස්ථාවලදී පවා සාමාජිකයන්ට හිමි ප්‍රතිලාභ ලබාදීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ගැටලුවක් නොමැත. කම්කරු දෙපාර්තමේන්තුව හරහා මෙහි කටයුතු සිදු වුණත් මුදල් ඍජුවම බැරවන්නේ මහ බැංකුවේ ගිණුමටයි. එමනිසා එම අරමුදලේ සුරක්ෂිතතාවය ඉහළින්ම රැකෙන බව පෙන්වා දිය යුතුයි. එමෙන්ම අදාළ සියලු සාමාජිකයන්ට තම සාමාජික මුදල් වෙනුවෙන් වාර්ෂිකව පොලියක්ද හිමි වේ. එය 9%ක් හෝ 9.5%ක් වැනි සැලකිය යුතු පොලී අනුපාතයකි. එමෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ ඍජු මෙහෙයුම් යටතේ ඇති අර්ථසාධක අරමුදලට අමතරව ආයතන තුළ ස්ථාපිත පෞද්ගලික අර්ථසාධක අරමුදලක් එම ආයතනවල පහසුව පිණිස ස්ථාපිත කර තිබේ. එම ආයතනික සේවක අර්ථසාධක අරමුදල් කාරක සභාවක් මඟින් ක්‍රියාත්මකය. එසේ වුවත් ඒ සෑම අර්ථසාධක අරමුදලක් විසින්ම වාර්ෂිකව විගණන වාර්තා අනිවාර්යෙන්ම දෙපාර්තමේන්තුවට එවිය යුතුය. එසේ අර්ථසාධක අරමුදලක් පවත්වා ගැනීමට හැකියාව ඇත්තේ අර්ථසාධක අරමුදලේ 27/2 වගන්තියට අනුවය.

මේ කුමන අර්ථසාධක අරමුදලක් හිමි සාමාජිකයකුට වුවත් තම අර්ථසාධක අරමුදල මත ණය ලබා ගැනීමට පහසුකම් තිබේ. විශ්‍රාම යාමේදී හෝ පෙර පරිදි පූර්ව විශ්‍රාම වයසකදී සේවයෙන් ඉවත් වන්නේ නම් අදාළ අර්ථසාධක අරමුදල් ලබා ගන්නා විට අර්ථසාධක අරමුදල ඇපයට තබා ණය මුදලක් ලබා ගෙන ඇත්නම් එම හිඟ ණය මුදල් අයකර ගැනීමේ හැකියාවක් අදාළ ආයතනයට තිබේ. ඒ හැරෙන්නට වෙනත් කිසිදු ආකාරයක මුදලක් හෝ ආයතනයට අය විය යුතු යමක් වෙනුවෙන් අර්ථසාධක අරමුදලින් අය කර ගැනීමට කිසිදු ආකාරයක අවකාශයක් නැත කිසිදු සේවා යෝජකයකුට අර්ථසාධකය ලබා ගැනීම වෙනුවෙන් අත්සන් නොකර සිටීමට හැකියාවක් නොමැත. ඒ සේවකයාගේ සුරක්ෂිතතාවයයි.

2021 වසර තුළදී පමණක් අර්ථසාධක නිසි ලෙසින් නොගෙවූ ආයතන 7, 000කට ප්‍රථම නිවේදන යොමු කර ඇති අතර ආයතන 1700කට රතු නිවේදන නිකුත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ. එමෙන්ම මේ වන විට අර්ථසාධක සම්බන්ධ නඩු 9000ක් මහේස්ත්‍රාත් අධිකරණ තුළ විභාග වෙමින් පවතී. පසුගිය වසරේ පමණක් නඩු 769ක් ගොනු කර ඇති අතර එයින් 338ක්ම අවසන් කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන් තේරුම් ගත යුතු යමක් ඇත. ඒ තම සාමාජික මුදල් නිසි ලෙසින් බැර වී ඇත්දැයි සොයා බැලීමය. ඒ වෙනුවෙන් කම්කරු කොමසාරිස් කාර්යාලයට යා යුතු නැත. දුරකථනයෙන් පවා විස්තර දැනගත හැකිය. එමෙන්ම ඔබ ස්ථිර, ආධුනික,තාවකාලික හෝ අනියම් ලෙස සේවය කළත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කෑලි ගණනට, කොමිස් ක්‍රමයට, කොන්ත්‍රාත් ක්‍රමයට හෝ වැඩ ප්‍රමාණය අනුව ගෙවීම් ලබන්නකු වුවත් ඔබට සේවක අර්ථසාධක අරමුදලේ වරප්‍රසාද හිමි විය යුතුය.

අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ කඩිනමින් ලබා ගන්නට පසුගිය 1 වෙනිදා සිට ඒ වෙනුවෙන්ම වෙන් කළ ක්ෂණික දුරකථක අංකයක් හඳුන්වා දෙන ලදී. ඒ ‘1958‘ අංකයයි. ඒ අංකයද අර්ථසාධක අරමුදල හා සබඳතාවයක් ඇත. ඒ ටී.බී. ඉලංගරත්නයන් විසින් සේවක අර්ථසාධක අරමුදල ආරම්භ කරන ලද්දේ 1958 වසරේ වීමය.

සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල මෙන්ම පෞද්ගලික ආයතන සේවක සේවිකාවන් වෙනුවෙන් ස්ථාපිත සේවක අර්ථසාධක අරමුදල ගැන සේවකයන් වඩාත් අවබෝධයෙන් කටයුතු කළ යුතු වන්නේ ඇතැම් ආයතන විසින් නිසි ලෙසින් අර්ථසාධක අරමුදල් නොගෙවා සිටීම නිසාය. තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න. ඒ වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව ජනතාව වෙනුවෙන් පෙනී සිටී.

 

Comments