2022ක් වූ සැප්තැම්බර් 19 වැනිදා සිට සැප්තැම්බර් 25 ඉරිදා දක්වා | සිළුමිණ

2022ක් වූ සැප්තැම්බර් 19 වැනිදා සිට සැප්තැම්බර් 25 ඉරිදා දක්වා

මේෂ - ගෘහ ජීවිතය යහපත්ය

සඳු ගමන් ගන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. ආර්ථිකය ශක්තිමත් වීමට හැකි අතර රැකියා මාර්ගවලට ඉතා උනන්දුවෙන් යොමුවේ. කලබලකාරී බව අඩුකර ගැනීමෙන් සහ ඉවසීමෙන් ඔබට බොහෝ වැඩකටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. දුවා දරුවන්ගේ අධ්‍යාපනයට සුබ කාලයකි. ජයග්‍රහණ ලබයි. බුද්ධිය වර්ධනය වේ. ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිත යොමුකිරීම ද වැදගත්ය. ආමාශගත රෝග, හෘදය, තුනටියේ වේදනාවලට ඉඩ ඇත. වස් කාලයේ ධර්ම දේශනාවලට සහභාගී වීමෙන් අපල අවම වේ. අය 5, වැය 3, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස අඟහරුවාදා

වෘෂභ - ප්‍රීතිමත් සතියකි

සඳු ගමන් කරන්නේ 2, 3, 4, සහ 5 වැන්න මතිනි. මවුපස ඥාතීන්ගෙන් සහ බාල සහෝදර සහෝදරියන්ගෙන් උපකාර හිමිවේ. දරුවන් සමඟ ඉතා ළඟ ඇසුරක් පෙන්වයි. ආර්ථිකය සම මට්ටමේ පවතී. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස්වේ. නැණ නුවණ වර්ධනය වුවද දරුවනට අපල පවතින හෙයින් ආරක්ෂාව සලසන්න. දුර ගමන් මෙන්ම නිෂ්ඵල ගමන් ද යෙදිය හැකි අතර අනවර්ත චෝදනාවලට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වන්න. සෙම් රෝග, පා ඇඟිලිවල තුවාල සහ උදරාබාධවලට ද ලක්විය හැකිය. අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා

මිථුන - අතමිට සරුවේ

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 සහ සිවුවැන්න මතිනි. තිබෙන ආදායම් මාර්ග වැඩි දියුණු වීමටත් නව ආදායම් මාර්ග විවර වීමටත් හැකියාව ඇත. වැඩ වැඩි කාලයකි. ඉවසීම සහ උත්සාහයෙන් ධෛර්යයෙන් කටයුතු කිරීමෙන් වාසනාවත් ප්‍රසිද්ධිය සහ කීර්තියත් ගොඩනැඟෙන වාතාවරණයකි. දරුවන්ට ද යහපත්ය. විදේශ ගමන් සඵල වේ. ඒරාෂ්ටක තත්ත්වයක් පවතින හෙයින් තුනටියෙන් පහළ සහ නාභියෙන් පහළ වේදනා පෙනෙන්නට ඇත. ස්නායු දුබලතා ඇති වේ. ප්‍රේම සබඳතා අවංකව ගෙන යන්න. නොගැළපෙන ඇසුරුවලින් කරදර ඇතිවේ. තිරිසන් සතුනට ආහාර දෙන්න. අය 7, වැය 4, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස් සඳුදා සහ සිකුරාදා

කටක - දූ දරුවන්ගේ ජයග්‍රහණ

සඳු ගමන් ආරම්භ කරන්නේ 12, 1, 2 සහ 3 වැන්න මතිනි. සතිය ආරම්භය එතරම් සුබ නොවුණද මැද කොටසේදී යහපත සැලසේ. රැකියාව හෝ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඇවිදීම වැඩිවේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් උදව් උපකාර හිමිවේ. විදෙස්ගත හිතවතකුගේ පැමිණීම හෝ හිතවතකු විදේශගත වීම සිදුවිය හැකිය. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ උසස් අධ්‍යාපන දැනුම වර්ධනය වේ. සෙම් රෝග, හෘදය සම්බන්ධ රෝග හා විෂ ද්‍රව්‍ය විෂබීජ ශරීරගතවීම ද සිදුවිය හැකිය. වෙල් මාළුන්ට ආහාර දැමීමෙන් අපල සමනය වේ. අය 8, වැය 6, සුබ අංකය 2, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා

සිංහ - ව්‍යාපාරික අංශවල දියුණුව

සඳු ගමන් ආරම්භ කරන්නේ 11, 12 ලග්නය සහ දෙවැන්න මතිනි. තම අපේක්ෂා අරමුණු සඵල වන සුබ සතියකි. ආර්ථිකය සවිමත් වන අතර, පවුලේ සමගිය වර්ධනය වේ. දුවා දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනික දැනුම වැඩිදියුණු වෙයි. ඔවුන්ගේ ආරක්ෂාව ගැන විමසිලිවත් වන්න. පාදවල වේදනා, සෙම් රෝග, මුඛ රෝග ආදියට ඉඩ ඇත. වස් කාලයේ ධර්ම දේශනාවලට දායක වීමෙන් අපල අඩුවේ.

අය 5, වැය 3, සුබ අංකය 4, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා

කන්‍යා - මිල මුදල් ලාභ

සඳු ගමන් ආරම්භ කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. මවු පාර්ශ්වයෙන් උපකාර හිමිවන අතර නොසිතූ ආදායම් මාර්ගයක් හෝ මිල මුදලක් ලැබීමට පුළුවන. ඇවිදිලි වැඩිවේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන ග්‍රහබල නිර්මාණය වී ඇති බැවින් ජයග්‍රහණ ලබයි. කලවාවල වේදනා, දණහිස් පා ඇඟිලිවල අවහිරතා මතු කරයි. අගහිඟකම් ඇති දරුවකුට පාසැල් උපකරණ පරිත්‍යාග කිරීමෙන් අපල අවම වේ.

අය 7, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය කොළ, සුබ දවස බදාදා

තුලා - පුණ්‍ය කටයුතු ගැන වැඩි උනන්දුවක්

සඳු ගමන් ආරම්භ කරන්නේ 9,10, 11 සහ 12 වැන්න මතිනි. පුණ්‍ය කටයුතු කෙරෙහි සිත ඇදී යන මේ සතියෙහි රැකියා කටයුතු වෙනුවෙන් බොහෝ ඇවිදීමට සිදුවේ. තමාට අය විය යුතු ණය මුදලක් ලැබීමට ඉඩ ඇත. දුර ගමන් බිමන් යෙදේ. අධ්‍යාපනය ලබන දරුවන්ට සහන සැලසේ. පාදවල වේදනා, සෙම් රෝග, ගෘහ ජීවිතය තුළ හැල හැප්පීම් ඇතිවේ. නිහඬ බව, ඉවසීම තුළින් ඒවා මගහැර ගන්න. උදේ හෝ හවස භාවනාවක යෙදීමෙන් අපල අඩුවේ.

අය 5, වැය 3, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා

වෘශ්චික - අධ්‍යාපනික කටයුතුවලට සුබයි

සඳු ගමන් කරන්නේ 8, 9, 10 සහ 11 වැන්න මතින්ය. ආරම්භය එතරම් සුබ නොවේ. එහෙත් මධ්‍යම කොටසේදී යහපත් අතට හැරේ. දියර වර්ග ආශ්‍රිත රැකියාවන්වල යෙදෙන අයට ලාභ අත්වේ. ඇවිදීමෙන් තම බඩු භාණ්ඩ අලෙවි කර ගැනීමට ලාභ ප්‍රයෝජන ලැබීමට පුළුවන. ගෘහ ජීවිතය සාමාන්‍ය පරිදි ගතවේ. ආර්ථිකය යැපීමට ප්‍රමාණවත් අයුරින්ය. දරුවන්ගේ අධ්‍යාපනය සුබ ප්‍රතිඵල අත්කර ගැනීමට සුදුසු ග්‍රහබල ඇත. අජීර්ණ සහ ඉනෙන් පහළ වාත වේදනා ආදියට ඉඩ ඇත. අඟහරුවාදා චෛත්‍යයක් අබියස රතු මල් පුදා සතිය ආරම්භ කිරීමෙන් අපල අඩුවේ.

අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය රතු, සුබ දවස අඟහරුවාදා

ධනු - යහපත් සමාජ සබඳතා

සඳු ගමන් කරනුයේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. යහපත් සමාජ සබඳතා ගොඩනැඟෙන අතර ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමිවෙයි. ගෘහ ජීවිතය සාමකාමී වේ. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කර ගැනීමට දැඩි උත්සාහය සහ කැපවීම අත්‍යවශ්‍ය වේ. මේ සතියේ මුත්‍රා දෝෂ, බඩ පුරවා දැමීම, පිත් රෝග ආදියට ඉඩ ඇත. ධර්ම සාකච්ඡාවලට සහභාගිවීමෙන් සහ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපල අවම වේ. අය 7, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය කහ, සුබ දවස ඉරිදා

මකර - සතුරු කරදර පහව යයි

සඳු ගමන් ආරම්භ කරනුයේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ ගැටලු නොමැතිව පවත්වාගෙන යෑමට හැකිවන අතර, සතුරු කරදර පහව යයි. පුණ්‍ය කටයුතුවලට සිත ඇදී යන සතියකි. දරුවන්ගේ ආදරය, සෙනෙහස කරුණාව මැද දිවි ගමන සැපවත් වේ. ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීම තරමක් දුරට ප්‍රමාද විය හැකිය. අධ්‍යාපනය ලබන දරුවනට සුබ කාලයකි. සෙම් රෝග, අජීර්ණ, කෑම අරුචිය ආදියට ඉඩ ඇත. අය 8, වැය 6, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස සෙනසුරාදා

කුම්භ - සුබ අසුබ මිශ්‍ර සතියක්

සඳු ගමන් ගන්නේ 5, 6, 7 සහ 8 වැන්න මතිනි. සුබ අසුබ මිශ්‍ර සතියකි. ඒරාෂ්ටක තත්ත්වයක් ද ආරම්භ වී ඇති බැවින් ප්‍රේමය, විවාහය වැනි කටයුතුවලදී කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාර හා රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන ලබාගත හැකිය. ගෘහ ජීවිතය සාමාන්‍ය පැවැත්මෙන් අරපිරිමැස්මෙන් ගෙන යා හැකිය. අධ්‍යාපනික කටයුතුවලට තරමක බාධා පැමිණිය හැකිය. උනන්දුවෙන් වැඩ කරවිය යුතුව ඇත. ආමාශගත අසනීප, මුත්‍රා දෝෂ, අජීර්ණ රෝග පැන නැඟීමට ඉඩ ඇති අතර, ජලයෙන් ද අපලය. බෝධි පූජාවකට සහභාගී වීමෙන් අපල අඩුවේ. අය 5, වැය 3, සුබ අංකය 9, සුබ වර්ණය තද නිල්, සුබ දවස සිකුරාදා

මීන - ව්‍යාපාරවලින් ලාබ ප්‍රයෝජන

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු තරමක් අවුල් සහගත වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාර හා රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන ගැනීමට හැකියාව පවතී. ආර්ථික ගැටලු මතු වෙයි. ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා මතු කරයි. උත්සාහයෙන් කටයුතු කරන්න. උදරාබාධ, ගර්භාෂගත රෝග, මුත්‍රා දෝෂවලට ඉඩ ඇත. කහපාට මල් වට්ටියක් චෛත්‍යයක් අබියස පුදා සතිය ආරම්භ කරන්න. අය 7, වැය 6, සුබ අංකය 3, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා

Comments