‘හෙලෝ’ බිලත් අහස උසට | සිළුමිණ

‘හෙලෝ’ බිලත් අහස උසට

යාර්ටෙල් දුරකථන සමාගමේ මවු සමාගම ඇත්තේ ඉන්දියාවේ ය. හච් යනු, හොංකොං මවු රට කරගත් දුරකථන සමාගමකි. ඩයලොග් යනු මැලේසියානු සමාගමක් වන අතර, මොබිටෙල් දුරකථන සමාගමේ 50.6%ක වැඩි කොටස් අයිතිය ඇත්තේ මැලේසියාවට ය. අපේ රටේ ජනතාව පාවිච්චි කරන එම දුරකථන සේවා හරහා එම සමාගම් උපයන මුදලින් සැලකිය යුතු මුදල් කන්දරාවක් ගලා යන්නේ එම මවු රටවලටය. 100%ක් ශ්‍රී ලාංකේය දුරකථන සමාගමක් වන්නේ ලංකා බෙල් පමණක් වුවද, එය මේ වන විට ස්ථාවර දුරකථන සේවාවලට පමණක් සීමා වී තිබේ.

ජලය, විදුලිය ඇතුළු භාණ්ඩ හා සේවා මිල අහස උසට නඟිද්දී ලංකාවේ ක්‍රියාත්මක මේ දුරකථන සේවා සමාගම් ද නිකම් හිටියේ නැත. දැන් ඔවුන්ගේ ගාස්තු ද 25% දක්වා ඉහළ දමා තිබේ.

මේ පිළිබඳ අදාළ පාර්ශ්ව කිහිපයකින් අදහස් විමසුවෙමු.

විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍ය ජනරාල් සහ ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු වන මහාචාර්ය රොහාන් සමරජීව ඒ පිළිබඳ පැවසූයේ මෙවැනි අදහසකි.

"යම් භාණ්ඩයක හෝ සේවාවකට අදාළ Inputs හෙවත් ආදානයන් ඉහළ යද්දී, එම භාණ්ඩය සාමාන්‍ය මිල මට්ටමේම තබා ගැනීම අපහසුයි.

සන්නිවේදන ක්ෂේත්‍රය ගත් විට ඇමතුම් හෝ දත්ත හා සබැඳුණු සේවා සැපයීමට අවශ්‍ය Inputs හෙවත් ආදානයන් මොනවා දැයි සොයා බැලීම වැදගත්.

එහිදී, මිනිස් ශ්‍රමය යම් පමණකට පාවිච්චි වෙනවා. නමුත් ඒ මනුෂ්‍ය ශ්‍රමය හැරෙන්නට අනෙක් සියලුම දේ පිටරටින් ගෙන්වන්නට සිදු වෙනවා. පාර අයිනේ තිබෙන දුරකථන කුලුනු, කේබල්, මෘදුකාංග වැනි සංකීර්ණ මෙවලම් ඊට ඇතුළත්. මේ පිටරටින් ගෙන්වන දේවලට දැන් ගෙවන්නට සිදුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතා අධිකයි. ඒ නිසා, අවසාන සේවාවට අයකරන සිල්ලර මිලත් ඉහළ යන බව පැහැදිලියි.

ආර්ථික විද්‍යාව පැත්තෙන් හෝ නියාමනය පැත්තෙන් බලන විට මට මේ කරුණ ඉතා පැහැදිලියි. නමුත් මට නොතේරෙන දේ තමයි, මේ දුරකථන සමාගම් හතරම එකවර වැඩි කරන්න කියූ එක සහ ඊට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව එකඟ වී තිබෙන එක.

තරගකාරී වෙළෙඳපොළක දුරකථන සමාගම් හතරක් ඉන්නවා කිවුවම සාමාන්‍ය ජනතාවට හිතෙන්නේ එතැන හොඳ තරගයක් තිබෙනවා කියලයි. නමුත් ඒ හතර දෙනා ම එකිනෙකා එක්ක කතාබහ කරගෙන එකඟතාවකට පැමිණ මිල වැඩි කරගන්න එක තරගකාරී වෙළෙඳපොළක ප්‍රමිතීන්ට සහ සම්මුතීන්ට ඉඳුරා පටහැණියි.

ඒ පටහැණි කටයුත්ත, සමාගම්වලට ඕනෑ ආකාරයට රජයේ නියාමන ආයතනය විසින්ම ඉටු කර දීම සම්පූර්ණයෙන් ම වැරැදියි.

සාමාන්‍යයෙන් වෙළෙඳපොළ තරගය පිළිබඳ නීති රීති තිබෙන තැනක එවැනි දෙයක් දුටුවොත් හරි විදියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් මෙතැන වෙලා තිබෙන්නේ ඒ දේට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට, ආණ්ඩුව විසින්ම අඩුවක් නැතිව දුරකථන සමාගම්වල අවශ්‍යතාව ඉටු කර දීමයි.

ඇයි එහෙම දේවල් වෙන්නේ. ඔය සමාගම් හතර අතරෙන් දෙකක් දැවැන්ත සමාගම්. මේ අය කල්පනා කරනවා, අපි මේ වෙලාවේ ගණන් උස්සලා, අනිත් අය ඉස්සුවේ නැතිනම් අපිට අපේ වෙළෙඳපොළ කොටස අඩු වන්නට ඉඩ තිබෙනවා කියා. ඒ සඳහා ආරක්ෂාවක් හැටියට කට්ටියව ම එකතු කරගෙන මේ වැඩි කිරීමේ එකඟතාවට ආවා වන්නට පුළුවන්.

මම ඔතන හිටියා නම්, යම් කිසි පරාසයක් ඇතුළේ ඔය මිල එහා මෙහා කර ගන්නවට මම විරුද්ධ වන්නේ නැහැ. මොකද, රටේ මේ තිබෙන තත්ත්වය සහ බාහිර සාධක නිසා එය සිදු විය යුතු දෙයක්. ඒ වගේම රටේ පවතින අර්බුදය නිසා සෑම ක්ෂේත්‍රයක වගේම සන්නිවේදන ක්ෂේත්‍රයටත් සුවිශේෂී බාහිර සාධක ඇති වී තිබෙන බව මා ද පිළිගන්නා නිසා. නමුත් ඔය හැම දෙනාම එකවර 25% කින් වැඩි කළ එකට මම එකඟ වන්නේ නැහැ. ඒ තමයි පළමු කාරණය.

දෙවෙනි කාරණය තමයි, තරගයක් තුළින් ඉස්මතු විය යුත්තේ කාර්යක්ෂමතාව. උදාහරණයක් විදියට මොන යම් හෝ හේතුවක් මත මේ වෙලාවේ දැවැන්ත සමාගමක් නොවූවත් හච් සමාගමට හැකියාව තිබෙනවා, ඉතාම සුළු මිල වැඩි කිරීමකට යන්න. එවිට පාරිභෝගිකයාත් සිතනවා, අනෙක් සමාගම් 25%ක් වැඩි කරද්දී ඔවුන් වැඩි කළේ 5%යි. කාර්යක්ෂමතාවත් ඉහළයි. ඒ නිසා මං ඒ දුරකථන සමාගම තෝරා ගන්නවා කියා. ඒක තමයි තරගකාරී වෙළෙඳපොළක ස්වභාවය. නමුත් ලංකාවේ ජනතාවට තවමත් තරගකාරී වෙළෙඳපොළ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා ලංකාවේ තරගකාරී වෙළෙඳපොළ ලක්ෂණ ද ඉතාමත් අඩුයි. විදුලි සන්දේශ ක්ෂේත්‍රයටත් අද වෙලා තිබෙන්නේ මේ දේ.

නමුත් මම එතැන හිටියා නම් ඔවුන්ට තාවකාලික නිදහසක් දී, ඒ නිදහස සහ පරාසය ඇතුළේ තාවකාලිකව යම් වැඩි කිරීමක් කර ගන්නට අවසර දෙනවා. ඒ අතරේ මං යම්කිසි සාක්ෂි කැඳවීමක් සහ මහජන උපදේශනයක් පවත්වනවා.

ඉන්දියාව ඇතුළු වෙනත් රටවල මිල නියම කරන ක්‍රමවේද පිළිබඳ හොඳ හැදෑරීමක් කරනවා. මාස හයක් ඇතුළත මම ඔවුන්ට නිර්දේශයක් දෙනවා, දැන් පවතිනවාට වඩා වෙනස් ආකාරයකටයි මේ සංශෝධනයන් සිදු කළ යුත්තේ කියා. ඒ වගේම ඒ යෝජනාව ක්‍රියාත්මක කරනවා. එතකොට තමයි ජනතාවට වුණත් හැඟීමක් එන්නේ, රජයේ මේ නියාමන ආයතනය ඕනෑම අවස්ථාවක නිකම් රබර් මුද්‍රාවකින් අනුමැතිය දෙන තැනක් නෙවෙයි, ජනතාවගේ පැත්තෙන් සිතා බලන ආයතනයක් බව..."

මෙම ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් දුරකථන සමාගම් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ SLT මොබිටෙල් සභාපති, රොහාන් ෆර්නැන්ඩු දැක්වූයේ මෙවැනි අදහසකි.

" අවුරුදු පහක් ආපස්සට බැලුවත් අපි ගාස්තු අඩු කළා මිස, වැඩි වීමක් සිදු කළේ නැහැ. දැන් ගෙවන්න තිබෙන බලපත්‍ර ගාස්තුව ඉතා ඉහළයි. ජාත්‍යන්තරයෙන් මිලදී ගත යුතු උපාංග සහ මෙවලම්වල මිලත් ඉතා ඉහළයි. දුරකථන සමාගම්වලටත් දැන් මේ වියදම දරන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙන්නේ.

අපි මේ අවුරුද්දේ මුල සිට සංශෝධනයක් ඉල්ලුවත් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දැන් තමයි, ඊට අනුමැතිය දී තිබෙන්නේ. රුපියල් 626 ටත් පැකේජයක් තිබෙනවා. ඒ කියන්නේ පාන් ගෙඩි දෙකක මුදල විතරයි. නමුත් අපිට සෑම වසරකම රුපියල් බිලියන 16- 18 ත් අතර මුදලක් ආයෝජනය කරන්න වෙනවා, ජාල සංවර්ධනය සහ වේගය සංවර්ධනය කිරීම වැනි රට ඇතුළේ තාක්ෂණික කටයුතු වැඩි දියුණු කිරීම වෙනුවෙන්.

ඒ වගේම SEMEWE කේබල් හෙවත්, මූදු පතුලෙන් දිවෙන ෆයිබර් කේබල් මාර්ග පද්ධති සඳහා සෑම වසරකම අපි රුපියල් මිලියන 150 ක් වැය කරනවා. දැනට SLT මොබිටෙල් සතුව එවැනි කේබල් මාර්ග පද්ධති 5ක් තිබෙනවා. 6 වැනි කේබල් පද්ධතියත් සවි කළ විට තවත් හොඳින් අපගේ සේවාව ලබා දිය හැකියි. වේගය ද වැඩි කළ හැකියි.

මෙම SMEWE - 6වැනි කේබල් පද්ධතිය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු සාමාජිකයන් 16 දෙනකුගෙන් යුතු ව්‍යාපාර සමූහය දැරිය යුතු මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක්. ඉදිරි වසර දෙක තුළ ඉදිකිරීම් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා SLT ආයෝජනය කළ යුතු කොටස හෙවත් මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන150 ක්.

මේ තරම් ආයෝජනය කළත්, යම් කිසි සංශෝධනයක් නොකළොත් ඉදිරියට යන්න අමාරුයි. ක්ෂේත්‍රයේ සියලු දෙනාටම මේ ප්‍රශ්න බලපානවා. ඒ නිසා දුරකථන සමාගම් හතරම විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට කැඳවා එහිදී ආ එකඟතාවකට අනුවයි මේ වැඩි වීම සිදු කළේ. එහෙම නැතිව අපේ හිතූ මනාපෙට ගණන් වැඩි කිරීමක් මෙතැන සිදු වී නැහැ. ඒ නිසා ජනතාවට අපෙන් ඈත් වෙන්න කිසිම හේතුවක් නැහැ. මේක දරන්න බැරි වැඩිවීමක් නෙවෙයි. අනික, ඉදිරියේදී සන්නිවේදනය සහ තාක්ෂණය හරහා තමයි රටටත් ජනතාවටත් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම 'please communicate, don't commute' කියන්නේ. 'ගමන් කරන්න එපා, සන්නිවේදනය කරන්න.' කියන එක තමයි අපිට දෙන්න තිබෙන පණිවුඩය. එවිට අපිට පුළුවන් ගමන් කිරීම් අවම කර සන්නිවේදනයෙන් සිය කාර්යය ඉටු කර ගන්න.

SLT මොබිටෙල් කියන්නේ, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ පුද්ගලික සමාගමක්. රජයට තිබෙන්නේ එහි 49.4%ක කොටස් අයිතියක් විතරයි. අප එම කොටස් අයිතිය සඳහා අදාළ ප්‍රතිලාභ රජයට ගෙවනවා. ගිය අවුරුද්දේ රුපියල් බිලියන 1.8 ක ප්‍රතිලාභ ගෙවා තිබෙනවා.ඒ අනුව, SLT මොබිටෙල් කියන්නේ රජයට හෝ රටට බර නැති ආයතනයක්."

දුරකථන සහ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය ආයතනය වන, ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් හෙලසිරි රණතුංග ඒ පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.

" මුලින්ම කියන්න ඕනේ, මෙවැනි මිල සංශෝධනයක් සිදු වන්නේ අවුරුදු 20කින්. අනෙකුත් ක්ෂේත්‍රවල භාණ්ඩ හා සේවා මිල කෙතරම් ඉහළ ගියත්, සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ පවතින තරගකාරීත්වයත් එක්ක පසුගිය කාලය පුරාම සිද්ධ වුණේ දුරකථන ගාස්තු අඩුවීම පමණයි.

ඇත්තටම, දුරකථන මෙහෙයුම් සමාගම්වලින් මේ ඉල්ලීම ආවේ විදුලි මිල වැඩි කරන්නටත් බොහෝ කලකට පෙරයි. එනම්, මේ අවුරුද්දේ මාර්තු මාසයේදී යි. ඔවුන්ගේ දුරකථන ජාල නඩත්තු කරගෙන යෑම සහ සේවා පුළුල් කිරීමේදී දරන්නට සිදු වන පිරිවැය ඉතා ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දී තිබුණා.

එම ගණනය කිරීම්වලට අනුව, එම ආයතන දැනටමත් පවත්වාගෙන යනු ලබන්නේ ලාභදායි ආයතන ලෙසින් නොවේ. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් යම් සහනයක් නොලැබුණොත්, ලබන වසර වන විට මේ තත්ත්වය තවත් දරුණු අතට පත්වන බවට ඔවුන් කරුණු ඉදිරිපත් කළා.

ඒ වගේම ඔවුන් පෙන්වා දී තිබුණේ, මෙම තත්ත්වය තුළ අමතර 30% ක පිරිවැයක් ඔවුන්ට දරන්නට සිදුව ඇති බවයි. මොකද, ඔවුන් ගේ ක්ෂේත්‍රයට අදාළ සියලු මෙවලම් සහ උපාංග ගෙන්වන්නේ පිටරටින්. එවිට ඔවුන්ට එම ගනුදෙනු කරන්නට සිදුව තිබෙන්නේ ඩොලර්වලින්. ඊළඟට, රුපියල අවප්‍රමාණය වීමත් සමග රට ඇතුළේ ඔවුන්ගේ ගනුදෙනු සඳහා ගෙවීම්ද, දෙගුණ තෙගුණ වී තිබුණා. ඒ නිසා ඔවුන්ගේ පැත්තෙන් ආවේ 30%- 40% දක්වා ගාස්තු ඉහළ දැමීමක්.

නමුත් මහජනතාවගේ පැත්තෙනුත් සොයා බලා, දෙපැත්තට ම සාධාරණයක් වන අයුරින් අවම සංශෝධනයක් ලෙස 20%ක වැඩි කිරීමකට පමණයි, අප අනුමැතිය දුන්නේ. නමුත් පසුගිය පළමු වැනි දා සිට ක්‍රියාත්මක වැට් බද්ද ඉහළ යෑම නිසා මෙම සංශෝධනය 24% දක්වා ඉහළ ගියා. ඇමතුම් සහ ඩේටා පැකේජ කියන දෙයාකාරයේ ම සන්නිවේදන ගාස්තු සඳහා මෙය අදාළයි.

අනික් අතට මේ දුරකථන ජාල සමාගම් ගනුදෙනු කරන්නේ ජාත්‍යන්තර සමාගම් එක්ක. රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව ඩොලරයේ අසීමාන්තික ඉහළ යෑම තුළ ශ්‍රී ලාංකේය දුරකථන සමාගම්, ජාත්‍යන්තර සන්නිවේදන සමාගම් වෙත ගෙවිය යුතු මාසික හා වාර්ෂික ගාස්තුත් ඉහළ ගොස් තිබෙනවා.

දැනටත් ඩයලොග් සහ ශ්‍රී ලංකාවේ ටෙලිකොම් සමාගම්වලට අයත් මුහුද යටින් යන කේබල් පද්ධති ක්‍රියාත්මකයි. ඔවුන්ගෙන් තමයි, ලංකාවේ ජනතාවට ඉන්ටර්නෙට් පහසුකම් ලැබෙන්නේ. ඒ ප්‍රධාන සමාගම් දෙක හරහා, අනෙකුත් දුරකථන සමාගම් වන හච්, එයාර්ටෙල්, ලංකා බෙල් හා මොබිටෙල් විසින් ඒ අන්තර්ජාල සේවාව ලබා ගන්නවා. මෙය ෆයිබර් කේබල් ජාලයක්.

මෙම ෆයිබර් කේබල් ජාලය, එක් පැත්තකින් සිංගප්පූරුව සහ මැලේසියාව පැත්තට සම්බන්ධ වී තිබෙනවා. අනෙක් පැත්තෙන් යුරෝපයට විහිදෙනවා. මුහුදු පතුල හරහා විහිදී ඇති මේ දත්ත ගමන් මාර්ගයෙන් තමයි, අපේ රටට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම්වලට අදාළ දත්ත ගමනාගමනය (Data Traffic) සිදු වන්නේ.

වැදගත්ම දේ තමයි, රට ඇතුළේ ක්‍රියාත්මක ඔවුන්ගේ සන්නිවේදන ජාලය. මේ සෑම සමාගමකට ම අප වෙන වෙනම රේඩියෝ තරංග දී තිබෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර සේවා ලබා ගැනීම සඳහා මුහුදු පතුලෙන් දිවෙන මිල අධික ෆයිබර් කේබල් තාක්ෂණය රට ඇතුළෙත් භාවිත වනවා. ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් එසේ ලංකාව ඇතුළේ ෆයිබර් කේබල් තාක්ෂණය භාවිත කර සිය සේවා සපයනවා. ඒවාට අදාළ මෙවලම් ගෙන්වන්නේ පිටරටින් නිසා ඒ පිරිවැයත් ඉතා ඉහළයි.

අප මේ සෑම සමාගමකට ම කියනවා, තමන්ගේ සන්නිවේදන ජාල පුළුල් කරන්න කියා. ඒ වගේම ඔවුන්ටත් වගකීමක් තිබෙනවා, සිය සේවා ජාලය පුළුල් කොට ජනතාවට උපරිම සේවාවක් ලබා දෙන්නට. ඔවුන් එය තේරුම් ගෙන තිබෙනවා. පහුගිය කාලයේ අධ්‍යාපන, රැකියා කටයුතු, වෙළෙඳාම ආදී බොහෝ අංශ ක්‍රියාත්මක වුණේ ඔන්ලයින් හරහා.

විශේෂයෙන් ඈත ගම්වලට පවා පාසල් අධ්‍යාපනය සඳහා අන්තර්ජාල පහසුකම් අත්‍යවශ්‍ය වුණා. ඉතින් අපගේ උපදෙස් වගේම ඔවුන්ගේ වගකීමත් අනුව දුරකථන ජාල පහසුකම් තවත් පුළුල් කෙරුණා. ඉදිරියේදී ඒවා තවත් වැඩි දියුණු වේවි. ඒ ව්‍යාප්ත කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය කරන මෙවලම් වගේම දැනට තිබෙන ජාල පද්ධති වැඩි දියුණු කරන්නට අවශ්‍ය උපකරණ ආදී සියල්ල ගෙන්වන්නේ පිටරටින්. ඒවාට විශාල වියදමක් දරන්න වුණා. දැන් අපේ රටේ හැම දුරකථන මෙහෙයුම් සමාගමක්ම ඩිජිටල්කරණය වී අවසන්. ඔවුන් භාවිත කරන්නේ, අතිනවීන 4G තාක්ෂණය. නුදුරේදී ම ඒ සෑම සමාගමකටම 5G තාක්ෂණය දෙන්නට මේ දිනවල අපි අත්හදා බැලීමේ කටයුතු කරගෙන යනවා.

දැනට තිබෙන සෑම පැකේජයකට ම 24% ක ගාස්තු සංශෝධනයක් එක් වන නිසා, රුපියල් 49 ඩේටා පැකේජවල සිට මේ මිල වැඩි වීම බලපානවා.

ඒ වගේම, තවත් විශේෂ දෙයක් කිව යුතුයි. දුරකථන මෙහෙයුම් සමාගම් ස්ථාපිත ගාස්තු සංශෝධනයක් ද ඉල්ලා තිබුණා.

ඒ කියන්නේ, දැනට කෙනෙක් පාවිච්චි කරන පැකේජ් එකක් ඉවර වූ විට ඒ දුරකථන සමාගම් දෙන අමතර ඇමතුම් සඳහා ගාස්තුව තිබෙන්නේ විනාඩියකට රුපියල් 1.50යි. ඩේටා ගාස්තුව MB එකක් සත 30යි. දුරකථන සමාගම් මේ ගාස්තු ඉහළ දමන්නට ඉල්ලුවත් අපි මේ ගාස්තු දෙකම වැඩි කළේ නැහැ. පැකේජවල මිල පමණයි ඉහළ යන්නේ. එලෙසම දුරකථන සමාගම් විසින් සපයන රූපවාහිනී සේවා වන, ඩයලොග් TV සහ SLT පියෝ TV සඳහාත්, 25% කින් ගාස්තු ඉහළ යනවා.

තත්ත්වය මෙසේ වූවත්, මේ තිබෙන තරගකාරීත්වයත් සමඟ ඉදිරියේදී මහජනතාවට සහනදායි වන නව පැකේජ හඳුන්වාදීමට දුරකථන මෙහෙයුම් සමාගම් කටයුතු කරමින් සිටින බවත් කිව යුතුයි..."


 

 

Comments