
මෙවර ජිනීවාහි පවත්වන්නේ මානව හිමිකම් කවුසිලයේ 51වැනි සැසිවාරයයි. ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මානව හිමිකම් කවුන්සිලය උපකාර කරන බව ද එහි සඳහන් වෙයි. විශේෂයෙන් සමාජ, ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගත යුතු බවද එහි සඳහන්ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක් මෙරට පිහිටුවීම ඔවුන්ගේ දැඩි ප්රයත්නයකි.
පවතින ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව ද එම ව්‍යවස්ථා සංශෝධන තුළින් උතුරු නැඟෙනහිර බලය බෙදා හැරීමක් කළ යුතු බව ද අවධාරණය කරයි. ව්‍යවස්ථාව සංශෝධනයේ ස්වාධීනත්වය තහවුරු කිරීම පුළුල් සාකච්ඡාවකින් හා එකඟතාවකින් කළ යුතු බව සඳහන් කරයි. එහිදී අදාළ පාර්ශ්වයන් සහ කණ්ඩායම් සමඟ පුළුල් සාකච්ඡාවකින් එකඟතාවකට පැමිණිය යුතු බව ද සඳහන් කරයි. එසේම සංක්‍රාන්ති යුක්තිය සහ වගවීම පිළිබඳ ද සඳහන් වෙයි. යුද සමයේ මානව හිමිකම් කඩ කළ හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු බව ද සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් ඇති කරමින් නඩු පැවරීමත් සහ නඩු ඇසීමත් සිදු කළ යුතු බවත් හමුදාව වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඉවත් කළ යුතු බවත් පවසයි. එසේම යුද සමයේ අසාධාරණයට ලක්වූවන් උදෙසා වන්දි ගෙවීමේ කාර්යාලය නැවත බලාත්මක කළ යුතු බව ද එහි සඳහන් කර ඇත. අසාධාරණයන්ට ලක් වූ පිරිස් පිළිබඳ තොරතුරු සම්පාදනය කළ යුතු සේම එම තොරතුරු රැස් කිරීමේදී පොලිසිය විසින් පරික්ෂණ නොකළ යුතු බව ද සඳහන් කරයි.
එසේම කාදිනල්තුමාට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට සහ ජාත්‍යන්තර නියෝජිතයන්ට එම බලය ලබා දිය යුතුය. යුක්තිය සහ සත්‍ය ගවේෂණ කොමිසමක් පිහිටුවීම පිළිබඳ ද අවධාරණය කරයි. සංක්‍රාන්තික යුක්තිය ඉටු කළ යුතු බව ද සඳහන් කරයි. තවද උතුරේ සහ නැඟෙනහිර හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව ද උතුරු නැඟෙනහිර ඇති පුරාවස්තු හිමිකාරීත්වයට සර්ව ආගමික කණ්ඩායම්වලට පත් කළ යුතුය. තවද ත්‍රස්තවාදී මර්දන පනත අහෝසි කළ යුතුය. මේ කරුණු එකිනෙක පෙළගස්වා මේ පිළිබඳ විචාරාත්මක විමර්ශනයක් කළ යුතුය. මේ සියලු කරුණු විමර්ශනය කිරීමේදී පැහැදිලි වන කරුණක් නම් අන්තවාදීගේ අරමුණු ඉටු කිරීමයි. මානව හිමිකම් කාර්යාලයක් එම ප්‍රදේශවල පිහිටුවීමේ යෝජනාව පිළිබඳව සලකා බැලීමේදී එහි ඉතා පැහැදිලි අරමුණ වන්නේ, හමුදාව සහ පොලිසියට රාජ්‍ය ආයතනයන්ට බලපෑම් කිරීමට අවකාශ ලබාගැනීම සහ වැරදි තොරතුරු රැස්කර ගැනීමට ඉඩ ප්රස්ථා ලබා ගැනීමයි.
මෙවර පැවැත්වෙන සැසියේදී ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චෝදනා රැසක් ගොනු කර ඇති බව පෙනෙයි. එම චෝදනා පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණු කිහිපයක් වෙයි. එනම්, එම වාර්තාවේ ඉදිරිපත් කරන චෝදනා ලෙස අවධානය යොමු කිරීමේදී සම්පූර්ණයෙන්ම මානව හිමිකම් කොමසාරිස්වරිය එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්රඥප්තිය කඩ කරමින් මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදු කරනු ලබන බව ඉතා පැහැදිලි කරුණකි. එලෙස කිරීමට බලයක් ඔවුන්ට කිසිසේත් නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තිය අනුව සෑම රටකටම සමාන අයිතිවාසිකම් හිමිවෙයි. ඒ අනුව සමානාත්මතාව තිබිය යුතුයි. වෙනත් රටක අභ්‍යන්තරික දේශපාලන හෝ වෙනත් අර්බුදයන්වලට ඇඟිලි ගැසීමට ඔවුන්ට අයිතියක් නැත.
මානව හිමිකම් කවුන්සිලයේ 2012 වසරේ සිට ඉදිරිපත් කළ වාර්තාවල දිගටම මේ රටේ අභ්‍යන්තරික දේශපාලනික සහ ආර්ථික වැඩපිළිවෙළට කරන ලද බලපෑම් දක්නට ලැබෙයි. එසේම යුද සමයේ සේවය කළ ඇතැම් හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දීමට ඉල්ලීම් කරයි. එසේම හමුදාව වෙනුවෙන් වියදම් කරන මුදල් අවම කිරීම පිළිබඳ ද කරුණු ඉදිරිපත් කරයි.
තවද මෙරට ත්‍රස්තවාදී මර්දන පනත අහෝසි කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කරයි. ලංකාවේ පවතින නීතියට වඩා බලසම්පන්න සහ දළදඬු නීති රැසක් සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය, කොරියාව සහ පිලිපීනය වැනි රටවල පවතී. එම රටවල නීතිය මෙරටේ ත්‍රස්තවාදී මර්දන නීතියට වඩා බලගතුයි. එහෙත් ඒ පිළිබඳ සංවාදයක් ඇති නොකරන්නේ එම රටවල් බලසම්පන්න රටවල් නිසයි. අන්තවාදී කණ්ඩායම්වල අවශ්‍යතාව වෙනුවෙන් මොවුන් ක්‍රියාත්මක වන අතර, දෙමළ ඩයස්පෝරාවේ දේශපාලන බලපෑමක් මෙහිදී ඇති බව ඉතා පැහැදිලි වෙයි. අන්තවාදී කණ්ඩායම් එකඟ කර ගැනීමට හැකි ක්‍රමය ඔවුන්ගේ අරමුණු ඉටු කිරීම එක් අරමුණකි.
වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ ද යම් කරුණු කිහිපයක් මෙවර ඇතුළත් කර ඇත. එනම්, පවතින අර්බුදය නිසා අවදානම් සහගත පුද්ගලයන්ට සමාජ ආරක්ෂාව සැලසිය යුතු බව ප්‍රකාශ කරයි. එහිදී ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක්වූ පිරිස්වලට මුදල් ආධාර ලබාදීමට යෝජනා කිරීම සහ ජනතාවගේ අවශ්‍ය සැපිරීම පිළිබඳ මෙරට රජයට යෝජනා කිරීම, දුෂණය පිටුදැකීම, සොරකම් කරන ලද දේපළ සොයා ගැනීම වැනි යෝජනා ඇතුළත් කර ඇත. බඩු මිල ඉහළ යෑම පිළිබඳ ද අවධානය යොමු කර තිබේ. අපේ රට විදේශීය රටවල සහභාගීත්වය ඇතිව ආර්ථිකය මංකොල්ලයට ලක්වී ඇත. බටහිර රටවල විවෘත ආර්ථීකය ක්‍රමානුකූලව ගොඩනැඟුණත් මේ රටට එය ඕපපාතිකව හිමි වූවකි. මොවුන්ගේ අවශ්‍යතාව වන්නේ මෙරටවලින් ඔවුන්ට අවශ්‍ය නිෂ්පාදන ගෙන්වා ගැනීම සහ ඔවුන්ගේ. ඒ අයගේ නිෂ්පාදන මෙරටට ආනයනය කරවීමයි. ශ්‍රී ලංකාව වැනි රටවල් ආර්ථිකමය වශයෙන් අඩු තැනක සිටීම ඔවුන්ට වාසිදායකය.
එසේම පසුගිය දිනවල රටේ ඇතිවූ තත්ත්වය මැඬපැවැත්වීමට හමුදා නිලධාරින් යෙදවීම, හදිසි නීතිය පැනවීම වැරදි සහගත බව සඳහන් වේ. රටේ රාජ්‍ය දේපළවලට, ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති කාර්යාලයට කඩා වදින විට එය බලහත්කාරයෙන් අවහිර කිරීම, පාර්ලිමේන්තුව අවහිර කිරීම, ජනතාවට මාර්ග අවහිර වන විට ඒවා වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂාව සඳහා හමුදාවක් මැදිහත් වීම අනීතික දෙයක් නොවෙයි. රට ආරක්ෂා කිරීමට ආණ්ඩුවකට වගකීමක් ඇත.
මේ සියලු කරුණු පිළිබඳව විචාරාත්මකව විමර්ශනය කිරීමේදී පැහැදිලි වන කරුණක් නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය තම විෂය පථයෙන් පිටතට ගොස් රට අභ්‍යන්තරයේ ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කරන බවයි. රට බටහිර යුද ආධිපත්‍යකට ගෙන ඒම සහ වර්ගවාදී ඉල්ලීම් ශක්තිමත් කිරීම සඳහා යුද සමයේ කටයුතු කළ නිලධාරීන්ට දඬුවම් කිරීම මොවුන්ගේ ප්රමුඛ අරමුණයි. මෙවැනි තත්ත්වයන් නැවත ඇතිවීම වැළැක්වීමට සහ වගවීම අන්තවාදී ඉල්ලීම් ඉෂ්ට කිරීම සහ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සඳහන් කරනුයේ ඒ අරමුණු අනුවයි. එනම්, උතුරු නැඟෙනහිර නිජබිම සංකල්පය ප්‍රධාන ඉලක්කයයි. මේ සඳහා දේශපාලන විසඳුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම බව සඳහන් කරනු ලබන්නේ ඒ අනුවය. මෙහි දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිය. විශේෂයෙන් රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට අවතීර්ණ වීමට මානව හිමිකම් කවුන්සිලයට අයිතියක් නැත. එසේම ඔවුන්ගේ දේශපාලන ඉලක්ක දිනා ගැනීමට මානව හිමිකම් කවුන්සිලය පාවිච්චි කිරීම කළ නොහැකිය. එසේම අපේ රටේ යුද අපරාධ සිදුවී ඇත්නම් ඒ අයගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතුය.
වසර 20ක් යනතුරු චෝදනා ඉදිරිපත් කළ පාර්ශ්වයන් හෙළිදරව් කිරීමට හැකියාවක් නැති බව ඔවුන් සඳහන් කිරීම තුළින්ම මේ චෝදනාවල පදනම් විරහිත භාවය මනාව පැහැදිලි වෙයි. ඕනෑම අපරාධ නඩුවක වැරදිකරුවන් සහ නිවැරදිකරුවන් පිළිබඳ සාක්ෂි ලබාදී ඔප්පු කිරීමට නම් ඒ චෝදනා ඉදිරිපත් කළ පාර්ශ්වයන් දැනගැනීමේ අයිතියක් ඇත. තමන්ට විරුද්ධව සාක්ෂි දෙන්නේ කුමන පාර්ශ්වයක්ද දැනගැනීමට අයිතිය ඇත. ඒ කිසිදු අවස්ථාවක් ලබා නොදී අපරාධ නීතීයේ මූලධර්මවලට සම්පූර්ණයෙන් පටහැනි එනම්, ස්වභාවික යුක්ති මූලධර්මවලට සම්පූර්ණයෙන් පටහැනිව ක්‍රියාවක නිරත වෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට රටක් ලෙස අපට හැකියාව ඇත. මේ චෝදනාව අතර ත්‍රස්තවාදි මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් 47දෙනකු වන අතර, 22ක් දඬුවම් ලබන පිරිස් වන බව මොවුන් සඳහන් කරයි. ඒ අය නිදහස් කළ යුතු බව පවසයි. අත්අඩංගුවට ගෙන වරදකරු බවට ඔප්පු වූ පිරිස් දඬුවම් ලබයි. එසේ නොමැතිව වරදක් නොකර දඬුවම් නොලැබිය යුතුය. එය රටේ නීතියයි. එසේ තිබියදී මේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම නීතියට පටහැනියි.
එසේ අසාධාරණයක් සිදුවී ඇත්නම් සාධාරණය සහ නීතිය ඉටුකර ගැනීමට මහාධිකරණය, ඇපැල් උසාවිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා උසාවි වෙයි.
2015දී යහපාලන රජය යටතේ සම අනුග්‍රහකත්වය දැක්වූවායින් පසුව ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනු ලැබිණි. අතුරුදන් වූවන්ගේ කාර්යාල පිහිටුවීම, අතුරුදන් වුවන්ගේ පනතක් පැනවීම සිදු කරනු ලැබිණි. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ප්රඥප්තිය අත්සන් තැබීමත් වන්දි ගෙවීම් කාර්යාලයක් සහ සංහිඳියා කාර්යාලයක් පිහිටුවීමත් සිදු විය. එම අවස්ථාවේදී කාරණා දෙකක් ඉටු කිරීමට නොහැකි විය. එනම්, යුක්තිය සහ සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීම සහ දේශපාලන විසඳුමක් ලබාදීමයි. එම කරුණු දෙක ඉටුකර ගැනීමට මේ මානව හිමිකම් කොමිසම මේ වනවිට උත්සාහයක යෙදෙයි.
මොවුන් හුවා දක්වන කරුණු අතර, රට හමුදාකරණයකට ලක්ව ඇති බවත් යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් හමුදාවේ සහාය ලබාගැනීම, හමුදාව යෙදවීම වැරදි සහගත බවත් සඳහන් කරයි. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ වගකීමකි. පසුගිය දිනවල පැවැති වාතාවරණය හමුවේ ආණ්ඩුව පෙරළීමට යම් ප්රචණ්ඩත්වයක් උපයෝගි කර ගනිමින් සිටි බවක් පෙනෙයි. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් හමුදාවේ සහාය ලබා ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් නොවෙයි. තවද උතුරේ අසීමාන්තික ලෙස හමුදාව යොදවා ඇති අතර, ජනතාව භීතියෙන් සිටින බවත් ඔවුන්ගේ තවත් චෝදනාවකි. එය පිළිගත හැකි දෙයක් නොවෙයි. යුද සමයේ භාරවූ එල්.ටී.ටී. ඊ කාන්තාවන් දූෂණය කිරීමත් යුද ජයග්රහණයෙන් පසුව එල්.ටී.ටී.ඊ කාන්තාවන් බිය වැද්දීම, මුදල් මංකොල්ලකෑම් සිදුවූ බව පවසයි. මේ චෝදනා තහවුරු කළ හැකි ඒවා නොවෙයි. උතුරු නැඟෙනහිර නියෝජනය කරන ලද මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ වන අතර මානව හිමිකම් පිළිබඳ කොමිෂන් සභාවක් ද විය. 2015 වසර සිට 2019 දක්වා ආණ්ඩුව තුළ විශාල බලවේගයක් ලෙස එම පළාත්වල නියෝජිතයන් පාර්ලිමේන්තුවේ බලය හිමිකරගෙන සිටින ලදී. මෙවැනි අපරාධයක් සිදුවී ඇති නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ නැඟීමට තිබිණි. එය අසත්‍යයක් බව අද තහවුරු වීමට මෙය ප්‍රධාන සාධකයකි. අපේ රටේ මානව හිමිකම් පිළිබඳ ආයතන ගණනාවක් ඇත. මානව හිමිකම් ගැන කතා කරන පිරිස් විශාල ලෙස වෙයි. මානව හිමිකම් කොමිසමේ කාර්යාල විශාල සංඛ්‍යාවක් වෙයි. මෙවැනි අර්බුදයක් තිබුණා නම් ඒ අයට පැමිණිලි කිරීමට වඩා අවකාශයක් තිබිණි. මෙවැනි දේ සිදුවී ඇති නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් කළ හැකියි. එසේ කරුණු ඉදිරිපත් වී නැත. මේ රටේ සිටින ආණ්ඩු විරෝධි බලවේග විසින් රටේ ඇති තත්ත්වය පිළිබඳ විකෘති අදහස් ලබාදීමක් සිදුකර ඇති බව පැහැදිලි කරුණකි. ආණ්ඩුව මෙවැනි චෝදනා ප්‍රතික්ෂේප කළ යුතු අතර, පිළිතුරු දීම සහ ඔවුන්ට අවශ්‍ය දේවල් කිරීමත් නොකළ යුතුය. අප කළ යුත්තේ මේ පදනම් විරහිත චෝදනා අසත්‍ය බව හුවා දැක්වීමයි. මේ චෝදනා රටවල්වලට බලපෑම් කිරීමට පාවිච්චි කරන ආයුධ මිස මානව හිමිකම් රැකීමට කරන ලද්දක් නොවේ. මෙවැනි චෝදනා දේශපාලන ආයුධ වශයෙන් සහ රටවල්වලට බලපෑම් කිරීමට පාවිච්චි කරයි. මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සත්‍යය සහතික කර ඔප්පු කිරීමේ වාරයක් හිමිකර ගැනීම රටක් ලෙස අප විසින් කළ යුතු ජාතික වගකීමකි.