මහ රැජි­නගේ ජීවි­තයේ දන්නා නොදන්නා රහස් | සිළුමිණ

මහ රැජි­නගේ ජීවි­තයේ දන්නා නොදන්නා රහස්

 


බ්‍රිතාන්‍ය රජකම යනු උපතින් මෙන්ම උරුමයෙන් හිමිවන දෙයකි. එය අතීතයේ මෙන් සටන් කර දිනා ගන්නා හෝ ජනතා කැමැත්ත මත තීරණය වන දෙයක් නොවේ. රජකම දරනා පුද්ගලයාගෙන් පසුව මීළඟට රජකම හිමිවන්නේ රජුගේ වැඩිමහල් දරුවාටය. ඒ අනුව රජකම යනු උපතින් උරුමවන දෙයකි. එහෙත් බ්‍රිතාන්‍යයේ වැඩිම කලක් කිරුළ හෙබවූ දෙවැනි එළිසබෙත් රැජිනට උපතින් බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකමක් තිබුණේ නැත. නැතහොත් එය උරුමයන් රැසකින් පසුවන දීර්ඝ හිමිකමක් වශයෙන් හඳුනා ගත හැකිය. එහෙත් ලෝකය නව සහශ්‍රකයක් කරා පියනඟමින්, නව තාක්ෂණය සමඟ නූතනත්වය නොඅඩුව අත්විඳින විටත් 18වැනි සියවසේ මෙන් ජනතාවගෙන් නඩත්තු වන පූර්ණ සැප සම්පත් සපිරි රාජකීය ජීවිතයක් ගෙවීමේ වාසනාව 1926 අප්‍රේල් 21 උපන් එඩ්වඩ් රජුගේ සහෝදරයාගේ එනම් ජෝර්ජ් කුමරුගේ වැඩිමහල් දියණියට විය.

ඇයගේ උපත සිදුවන විට බ්‍රිතාන්‍යයේ රජකම දරමින් සිටි පස්වැනි ජෝර්ජ් රජුගෙන් පසු රජකම හිමිවූ සිවුවැනි එඩ්වඩ් රජු රජකමට වඩා ප්‍රේමය උතුම් කොට සැලකූවේය. ඔහු බ්‍රිතාන්‍ය කිරීටය ප්‍රතික්ෂේප කර සිටියේ තම ප්‍රේමයට උරුමකම් කී වරක් දික්කසාද වී සිටි ඇමරිකානු ජාතික තරුණිය විවාහ කර ගැනීමට රජකමෙන් ඉඩක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුවය. කෙසේ වුවද බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය යනු හුදෙක් නාමික බලතල පමණක් වන බැවින් වඩා වැඩි බලතල වෙනුවෙන් සිවුවැනි හෙන්රි කළ අරගලයක ප්‍රතිඵල ලෙස ඔහු රජකම ප්‍රතික්ෂේප කළ බවටද මතයක් වේ. ඔහු කිරීටය අත්හැරීමෙන් පසු රජකම උරුම වූයේ ඔහුගේ සොහොයුරු හය වැනි ජෝර්ජ් රජුට හෙවත් එළිසබෙත් කුමරියගේ පියාටය. තම පියාට රජකම හිමි වන විට එළිසබෙත් කුමරියට යන්තම් වයස අවුරුදු දහයක් සම්පූර්ණ වූවා පමණි. විශේෂත්වය වන්නේ ඒ සමඟම ඇය බ්‍රිතාන්‍යයේ අනාගත ඔටුන්න හිමි කුමරිය බවට පත් වීමය. යම් හෙයකින් සිවුවැනි එඩ්වඩ් රජතුමා තම ප්‍රේමයට පිටුපා දිගටම රජකම දැරීමට සිතුවේ නම් කිරීටයේ උරුමය ඔහුගේ දරුවන්ට උරුම වනවා විනා එළිසබෙත් කුමරියට රජකම දැරීමට ඉඩ නොලැබෙන්නට තිබිණි. එහෙත් වාසනාව ඒ සියල්ලටම හරස් වී ඇයට මුළු ලෝකයෙන්ම ගෞරව ලබමින්, සැප සම්පත් රාජ්‍ය ගෞරව මැද ජීවිතය ගෙවීමට අවස්ථාව සැලසීය.

රැජිනගේ විවාහය සම්බන්ධ ව ඇත්තේ ද රස කතා සමූහයකි. අනාගත රැජිනියගේ හිමිකරු යනු අනාගත කිරුළ දරන්නාගේ පියාය. එබැවින්ම ඇය අනවශ්‍ය සබඳතාවලට පැටළීම වළකා නිසි ස්වාමියකු සොයා විවාහ කර දීම කෙරෙහි බොහෝ කල් වේලා ඇතිවම රජ පවුලේ අවධානය යොමුව තිබිණි. ඇයට සුදුසු සහකරුවකු මුළු මහත් බ්‍රිතාන්‍යයේම නොසිටි නිසාදෝ ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ රජ පවුල්වලට නෑකම් ඇති පිලිප් කුමරු කෙරෙහි අවධානය යොමුව තිබිණි. මේ යුවළ අහම්බෙන් හමු වී පෙමින් බැඳුණු ලෙස පෙන්වුව ද එය බොහෝ දුරදිග සිතා කරන ලද විවාහයක් බව ප්‍රසිද්ධ රහසකි. රැජින වරක් පවසා ඇත්තේ ඇය පිලිප් කුමරු සමඟ පෙමින් බැඳුණේ වයස අවුරුදු 13ක් තරම් කුඩා වියේදී බවයි. ඇය විවා පත්වන විට ඇයගේ වයස යන්තම් අවුරදු 20ක් පමණි.

අනාගත බ්‍රිතාන්‍ය රජුගේ වාසගම පිලිප් කුමරුගේ වාසගම වීම වැළැක්වීමට කුමරුට රැජිනගේ වාසගමට තම වාසගම මාරු කර ගැනීමට සිදු විය. ඒ හේතුවෙන් කුමරු ජීවත්වූ මුළු කාලය පුරාම කනගාටු වූ බවද වාර්තා වී තිබේ. ඒ කනගාටුව සමනය කර ගැනීමට දෝ වයස අවුරුදු අනූ ගණන්වලදීත් පිලිප් කුමරුගේ නම ඉතා ළාබාල කාන්තාවන් හා සම්බන්ධ වී කියවුණු නමුත් රැජිනිය මිය යන තුරා ඇයට අගෞරවයක් වන කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බව බහුතරයකගේ මතයයි.

කෙසේ වෙතත් රැජින තම කාන්සිය මඟ හරවාගෙන ඇත්තේ සුරතල් සතුන් ඇති කිරීමෙනි. සුරතල් සුනඛයන් කෙරෙහි දැඩි කැමැත්තක් දැක්වූ එළිසබෙත් රැජින විශේෂයෙන් ‘කෝර්ගී‘ වර්ගයේ සුනඛයන් ඇති කිරීමට ආශා කළාය. මිය යන විට ඇය සතුව සුරතල් සුනඛයන් සිවු දෙනකු වූ අතර කෝර්ගී වර්ගයේ සුනඛයන් දෙදෙනෙක්, එක් කොකර් ස්පැනියල් වර්ගයේ සුනඛයෙක් සහ එක් ඩොර්ගී වර්ගයේ සුනඛයෙක් ( ඩෑස්හවුන්ඩ් සහ කෝර්ගී දෙමුහුම්) එම සුනඛයන් සිවුදෙනා අතර විය. රැජින ඔවුන්ට නම් තබා තිබුණේ මයික්, සැන්ඩි, ලීසි සහ කැන්ඩි යනුවෙනි.

තම සුරතල් සතුන්ද සමග නිවාඩුවක් ගත කරමින්

රජ පවුලේ සමීපතමන් පවසන අන්දමට එළිසබෙත් රැජිනගේ ප්‍රියතම සුනඛ වර්ගය ‘කෝර්ගී‘ය. ඇයට වසය අවුරුදු 18දී ප්‍රථමයෙන් කෝර්ගී වර්ගයේ බලු පැටවකු තෑගි ලැබුණු අතර ඌ සුසාන් යනුවෙන් නම් කළ ඇය එතැන් පටන් කෝර්ගී සුනඛයන්ට බෙහෙවින් ප්‍රිය කළ බව වාර්තා වේ. තම ජීවිත කාලය පුරා වරින් වර සුරතල් සුනඛයන් රාශියක් ඇති කළ එළිසබෙත් රැජිනිය 2015වසරේදී අලුතෙන් කුඩා බලු පැටවුන් ලබා නොගැනීමට තීරණය කළාය. ඇය එහිදී අදහස් කර ඇත්තේ තමා දැන් බෙහෙවින් වියපත් බැවින් තමා මිය ගියහොත් සුනඛයන් දුකට පත්වනු ඇතැයි යන සිතිවිල්ලයි. ඒ කෙසේ වුවද රැජිනිය අභාවයට පත් වන අවස්ථාව වන විට ඇය සතුවූ සුනඛයන් සිවුදෙනා රජ පවුලේ සමීපතමයන් අතර බෙදී යෑමට නියමිතය. කොකර් ස්පැනියල් වර්ගයේ බල්ලා බොහෝ දුරට ඇන්ඩෘ කුමරුට හිමි වනු ඇත්තේ මේ වන විටත් ඔහුට එම වර්ගයේ සුනඛයකුගේ හිමිකරුවා වන බැවිනි.

මේ වන විටත් රැජ­ිනියගේ දේහය මහජන ගෞරවය පිණිස තබා ඇති අතර ලබන 19වැනි සදුදා ඇය බ්‍රිතාන්‍ය ජනතාවගේ සෝ සුසුම් මැද අවසන් ගමනට නික්මෙනු ඇත. එහෙත් ඒ සමඟින් රජ ලෙස කිරුළු පලඳින චාල්ස් කුමරු ද මෙවන් රස කතා රැසක් ලෝකයට තිළිණ කරනු ඇත.

විවාහ උත්සවයේදී  හා  රැජින පළමුවරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව

ගිනි අවියක් පිරික්සා බලන රැජින
දේහය මහජන ගෞරවය සඳහා රැගෙන යමින්

 

මුලින්ම රැජිනගේ දේහයට ගෞරව  ශ්‍රී ලාංකිකයකුගෙන්

රැජිනගේ දේහයට ගෞරව කිරීමේ අවස්ථාව මහජනතාවට දීමත් සමඟ ප්‍රථමයෙන්ම එම අවස්ථාව උදා කර ගැනීමට එරට වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක විසින් උදා කරගෙන තිබේ. වැනීසා නාතකුමාරන් නම්වූ මේ කාන්තාව මහජනතාවට ගෞරව දැක්වීම සඳහා වන පෝලිමේ මුලටම පැමිණීම සඳහා දින දෙකකට පෙර වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ ඉපිද හැදී වැඩී ඇති වැනේසා පසුව බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් තිබේ. මේ වන විට ඇය 56 හැවිරිදි වියේ පසුවන බව පැවසේ.

 

ඡායාරූප ශිල්පියාට  වාසනාව උදා කර දුන්  රැජිනගේ ආචාරය

ප්‍රසන්න හෙන්නායක

දෙවැනි එළිසබෙත් රැජින ලංකාවේ සංචාරය කළ දෙවැනි අවස්ථාවය. එම සංචාරය සිදුවූයේ 1981 ඔක්තෝබර් 21 සිට 25 දක්වාය. ඇයගේ පැමිණීම සම්බන්ධයෙන් මුළු රටම සූදානම් වෙමින් පැවති අතර මාධ්‍යවේදීන්ට මෙය සුවිශේෂී වූයේ මුළු රටම පමණක් නොව ලෝකයම බලා සිටින්නේ ඔවුන්ගේ වාර්තා දෙස වූ බැවිනි. එවකට ලේක්හවුස් ආයතන‍ෙය් සභාපති රණපාල බෝධිනාගොඩ මහතා වූ අතර ඩේලි නිව්ස් පුවත්පතේ කර්තෘ වූයේ මණික් ද සිල්වාය. රැජිනගේ ආගමනය වාර්තා කිරීමේදී ඡායාරූපවලට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව දැන සිටි මේ දෙදෙනා කල් තබාම එවකට ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘ ලෙස සේවය කළ ඊ.එල්. සමරරත්නට මේ වගකීම දී තිබිණි. එහෙත් ඔහුට අමතරව තවත් ඡායාරූප ශිල්පියකු මේ අවස්ථාවන් ආවරණය පිණිස යෙදවීම කෙරෙහි අවධානය යොමු කළ ඔවුහු එවකට ලේක්හවුස් ආයතනයේ සිටි ළාබාලතම ඡායාරූප ශිල්පියා වූ ප්‍රසන්න හෙන්නායකටද වගකීම් පැවරූහ.

එකල වැඩියෙන් භාවිත වූයේ කළු සුදු ඡායාරූප වූ අතර වර්ණ ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාව ඡායාරූප කර්තෘට හිමි විය. තරුණ ප්‍රසන්න හෙන්නායකට කළු සුදු ඡායාරූප ලබා ගැනීම පැවරුණු නමුත් එකම එක වර්ණ සේයා පටලයක් ඔහුට ලැබුණේ සුවිශේෂී අවස්ථාවක් වෙනුවෙනි. රැජින නික්ම යන දිනට පෙර දින ඩේලි නිව්ස් කර්තෘවරයා මේ ඡායාරූප ශිල්පීන් දැනුම්වත් කර තිබුණේ රැජින නික්ම යන දිනයේදී පුවත්පතේ සුවිශේෂ ඡායාරූපයක් යෙදිය යුතු බවටය. එදින එනම් 1981 ඔක්තෝබර් 24වැනිදා උදෑසන රැජින මහවැලි ව්‍යාපාරය නැරඹීමට ගිය අතර දහවල් කාලයේදී ඇය බ්‍රිතාන්‍ය කවුන්සිල ගොඩනැඟිල්ලට පැමිණියාය. දහවල් කාලය වූ බැවින් කාලගුණය මඳක් උණුසුම් වූ අතර ගොඩනැඟිල්ලේ සඳැල්ලට පිවිසි රැජිනියගේ මුහුණට ඍජුව හිරු රැස් පතිත වී තිබිණි. තමාට කර්තෘවරයා පැවසූ වදන් සිහියේ තබාගෙන සිටියද තරුණ ඡායාරූප ශිල්පියා සිටියේ සඳැල්ලට පහළ රැස්ව සිටි ජනතාව අතරය. සෙසු ඡායාරූප ශිල්පීහු ගොඩනැඟිල්ල ඇතුළට පිවිස සිටියහ.

ඩේලි නිව්ස් පුව­ත්පතේ මුල් පිටුවේ පළ වූ ඡායාරූපය

සඳැල්ලට පැමිණ තත්ත්පර කිහිපයක් ගත කළ රැජිනිය පහළ සිටි ජනතාව වෙත අත ඔසොවා ආචාර කර ගොඩනැඟිල්ල තුළට පිවිසියාය. මේ දෙස හොඳින් බලා සිටි හෙන්නායක තරුණයා වහාම තම වර්ණ සේයා පටල පටය යොදා තිබූ කැමරාව ගෙන ක්‍රියාත්මක කරවූයේය. ඔහුට අවම ඡායාරූප තුනක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන්නට ඇත. ඩිජිටල් නොවූ එම යුගයේ ඡායාරූප ගැනීමද අභියෝගයක්ම විය. එහෙත් ඔහු ලබා ගත් එම ඡායාරූප තුන අතර එක් අතිසුවිශේෂී ඡායාරූපයක් විය. පසුවදා ඩේලිනිව්ස් පුවත්පතේ මුල්පිටුව එම ඡායාරූපයෙන් සැරසුණු අතර, එදින ශ්‍රී ලංකාවෙන් නික්ම යන රැජ­ිනියට ආචාර පිණිස ‘සුබ ගමන් එළිසබෙත් රැජිනියනි‘ යනුවෙන් සිරස්තලය යොදා තිබිණි.

මේ ඡායාරූපය සැමගේ අවධානය දිනා ගත් අතර ඡායාරූපය ලබා ගත් තරුණ ඡායාරූප ශිල්පියාට පැසසුම් බොහෝ විය.

‘පහුවදාම මට කෝල් එකක් ආවා. කතා කළේ උපාලි විජේවර්ධන. මට කිවුවා උපාලි ගෘප් එකෙන් කරන පත්තරේට එකතු වෙන්න කියලා. මගෙන් ඇහැවුවා දැනට වැටුප කීයද කියලා. මම කිව්වා රුපියල් 400 කියලා. මට කිවුවා රුපියල් 2400ක් දෙන්නම් කියලා. ඒ කාලේ මම විවාහ වෙච්ච අලුත. බිරිය අපේ ප්‍රථම දරුවා බලාපොරොත්තුවෙන් හිටියේ. ඉතින් මේ නව වැටුපට මම කැමති වුණා. විශේෂයෙන් කියන්න ඕනේ එවකට ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා හෝ ඩේලි නිව්ස් කර්තෘවරයා මට යන්න එපා කිවුවේ නැහැ.‘

එදා 23වැනි වියේ සිටිමින් තම දක්ෂකමෙන්, කැපවීමෙන් හැකියාවන් පෙන්වූ සහ එයට නියමිත මිල උපයා ගැනීමට සමත් වූ ප්‍රසන්න හෙන්නායක අද 63වැනි වියේ පසුවෙමින් එම අතීත මතක අතර රැඳෙන්නේ එදා රැජිනගේ තත්ත්පර කිහිපයක ආචාරය තමන්ට වාසනාව ගෙනා අන්දමද සිහිපත් කරමිනි.

 

 

Comments