- වහලයේ දොස් සිවිලිම නිසා ඉවත් වුවත් සිවිලිමේ මාදිලිය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය
- වහලය සඳහා යකඩ භාවිත කිරීමෙන් අමතර දෝෂ තත්ත්වයක් හටගත හැකිය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක වාස්තු ශිල්පීන් විසින් ඔවුන්ගේ පරීක්ෂාවන්හිදී වැඩි වැඩියෙන් අවධාරණය කරනු ලබන දෝෂ තත්වයන් අතර වහලයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඇතැම් විද්වතුන් විසින් වහලයේ දෝෂ පමණක් දක්වා සුවිශේෂ ග්‍රන්ථ රචනා කර තිබුණද මෙකී වහලයේ ඇති දෝෂ සම්බන්ධයෙන් ශක්තිමය විවරණ එතරම් දුරට දක්නට නොමැත. මේ නිසා නිවැසියන් හෙවත් සේවාලාභීන් නිරන්තරයෙන් බොහෝ අපහසුතාවන්ට පත්වන බැවින් වහලයේ දෝෂ පිළිබඳ මනා පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය වේ.
වහලයේ දෝෂ පිළිබඳ අවධානය යොමු කිරීමේදී බල්බයකින්, පරාලයකින්, රීප්පයකින් හෝ වෙනයම් වහලයේ අංගයකින් ඇතිවන දෝෂ තත්ත්වයන් ප්‍රමාණාත්මක විග්‍රහයක් ද එතරම් දුරට දක්නට නොලැබේ. එසේ වුවත් වහලයේ උස මට්ටම් වැඩි වන්නට පහළ සිටින නිවැසියන් වෙත ඇති කරන බලපෑම් අඩුවන බව නම් නිසැකය.
එබැවින් වහලය ඉතා ඉහළින් පිහිටුවා ඇති නිවෙස්වල දෝෂ තත්ත්වයන් විග්‍රහ කරන්නට කාලය ගත කිරීමේ අවශ්‍යතාවක් නැත. මෙහිදී අපගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය වන අනික් කරුණ වන්නේ වහලය ඉදි කිරීමේදී යොදා ගනු ලබන ද්‍රව්‍ය පිළිබඳ විග්‍රහයයි. වහලය සඳහා යකඩ භාවිත කිරීම් හේතු කොටගෙන අමතර දෝෂ තත්ත්වයක් හටගත හැකි බව ද විශේෂයෙන් වටහාගත යුතුය. එබැවින් හැකිතාක් දුරට යකඩ භාවිතයෙන් ඉවත් වී වහල් නිර්මාණය කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් වේ.
මීට අමතරව වාස්තු ශිල්පීන් අතර ඇති තවත් ගතානුගතික ඉදිරිපත් කිරීමක් වන්නේ නිවෙසකට වහලයක් අත්‍යවශ්‍ය බවයි. එනම් කොන්ක්‍රීට් තට්ටුවකින් වහලයක් නැතහොත් ඉහළින් නව පොළොවක් නිර්මාණය කරගැනීමේ කාර්යය දෝෂ සහිත වන බවයි. මේ තත්ත්වය පිළිබඳ කිව යුතු කරුණ වන්නේ වහලය නිසා ඇතිවන කිසිදු දෝෂ තත්ත්වයක් කොන්ක්‍රීට් තට්ටුවක් යෙදීම නිසා ශක්තිමත් ලෙස ඇති නොවන බවයි. එබැවින් වහලයේ ඇති විවිධ දෝෂ තත්වයන් පිළිබඳ සැලකිල්ලක් නොදක්වා කොන්ක්‍රීට් තට්ටුවක් ඊට යෙදීම ආකාර ගණනාවකින් ඵලදායි යහපත් නිර්මාණයක් බව යෝජනා කිරීමට අවශ්‍ය වේ. මෙහිදී ඇතිවෙන ශක්ති ක්‍රියාවලිය තවදුරටත් විග්‍රහ කිරීමේදී ඇතිවන එක් ගැටලුවක් වන්නේ කොන්ක්‍රීට් තට්ටුව සමඟ සකස් වන කොන්ක්‍රීට් බීම් ගණනාවක් ඇති විට ඒවායෙන් ද පෙර කී බාල්කයක ඇති කරන බලපෑම් වැනි බලපෑමක් ඇතිවිය හැකි බවයි. මීට අමතරව කොන්ක්‍රීට් තට්ටුවේ ඇති අභ්‍යන්තර යකඩ රාමු විසින් ද යම් බලපෑමක් ඇතිවිය හැකිය. එබැවින් එහිදී පවා බිත්තිවල උස හැකිතාක් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙවැනි තත්ත්වයකදී සම්ප්‍රදායිකව හා නූතන ප්‍රායෝගික භාවිතයක් වශයෙන් සිවිලිමක අවශ්‍යතාව මතුව එයි. වහලයට සිවිලිම යෙදීම නිසා වහලෙන් ඇතිවන දෝෂ තත්ත්ව ඉවත්ව යෑම අනිවාර්ය බව මෙහිදී පැවසිය හැකිය. එසේ වුවත් යොදා යොදාගනු ලබන සිවිලිම් මාදිලිය කවරාකාර ද යන්න මත ද යම් විවිධ තත්ත්වයන් ඇතිවන බව ද මෙහිදී සැලකිය යුතුව ඇත. සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව ගොඩනඟනු ලබන සිවිලිමක තිරස් ආකාරයෙන් ලෑලි හෝ ඇස්බැස්ටෝස් භාවිතය සුලභව සිදුවන බව පෙනේ. ඒවායේ රාමු පිටතට පෙනෙන ආකාරයට නොව ඇතුළතින් යෙදී ඇති බව ද ඔබට සිහිපත් වනු ඇත. එවැනි තත්ත්ව යටතේ කිසිදු දෝෂ තත්ත්වයන් ඇති නොවන බව කිය යුතු අතර, වහලයෙන් ඇතිකරන අසුබ ශක්ති ක්ෂේත්‍රයන් කිසිවක් පහතට තීව්‍ර ලෙස නොඑන බව ද පැහැදිලිය. එසේ වුවත් වර්තමානයේ නැවතත් පිටතට රාමු පෙනෙන පරිදි සකස් කර ඇති සිවිලිම් මාදිලියක් භාවිතයට පැමිණ ඇති හේතුවෙන් පෙර කී පරිදි ඉවත්ව ගිය විවිධ දෝෂය වෙනුවට යළිත් නව දෝෂ තත්ත්වයක් පිටතට පෙනෙන පරිදි සැකසී ඇති සැකිලි විසින් ඇති වේ. මෙහිදී යළිත් වාස්තුමය දෝෂ පිළිබඳ නව විග්‍රහයක් අදාළ රාමු සමඟ සසඳමින් සිදුකළ යුතු බව කිය යුතුය.
කෙසේ වුවත් මෙසේ නිර්මාණය වන වාස්තුමය ගැටලු හේතුකොට ගෙන වහලයේ භෞතික වෙනස්කම් සිදු කිරීම එතරම් පහසු නොවනු ඇත. මේ හේතුවෙන් සිදු කළ යුතු සරලම විසඳුම් ක්‍රියාවලිය වන්නේ පිරමිඩ ආශ්‍රිත මෙවලම් යොදා ගනිමින් අසුබ ශක්තීන් ඉවත් කිරීමේ හා සුබ ශක්තීන් වර්ධනය කිරීමේ ශිල්පයන් භාවිතයට ගැනීමයි.