මගේ කලා කටයුතුවලට ඇය ලොකු ශක්තියක් | සිළුමිණ

මගේ කලා කටයුතුවලට ඇය ලොකු ශක්තියක්

මේ දවස්වල එයා රැකියාවේ කටයුතු සඳහා විදෙස්ගත වෙලා ඉන්නේ

මං ආසම කළ ‘ආගන්තුකයාගේ‘ චරිතය රඟපාන්න ලැබීම ලොකු සතුටක්

‘හිතුමතේ ජීවිතේ’  මම පෞද්ගලිකව ලොකු කැපවීමක්  කළ චරිතයක්

 

හෙළ සිනමා තිරය මත දිස්වූ ඔහු රුව ප්‍රතාපවත්ය. උත්තිය ඇමැති ඔහුගේ කුළුඳුල් සිනමා අත්දැකීමයි. කුළුඳුල් නිර්මාණයම සම්මානයට පාත්‍ර වීම ඔහු ලද වාසනාවකි. සරසවි සම්මානයෙන් නොනැවතුණු ඔහු හිරු සම්මානයට ද හිමිකම් කීවේය. ආලෝකෝ උදපාදි හි උත්තිය ඇමැති වූ ඔහු දිනෙත් ද සිල්වා ය. ඔහු රංගනයෙන් දායක වුණ අලුත්ම චිත්‍රපටය ‘හිතුමතේ ජීවිතේ’ දැන් තිරගත වේ. මේ කතාබහ ඔහු සමඟයි.

 

මේ දවස්වල ඔබ ගොඩක් කාර්යබහුල වෙලා ?

මගේ අලුත්ම චිත්‍රපටයේ මංගල දර්ශනය සැප්. 15 වැනිදා වැල්ලවත්ත සැවෝයිහිදී ප්‍රදර්ශනය වුණා. ඒ ‘හිතුමතේ ජීවිතේ’. ඒ නිසා කාර්යබහුල වුණා. මේ චිත්‍රපටය කරලා අවුරුදු 4ක් වෙනවා. රටේ පැවති අර්බුදකාරී තත්ත්වය නිසා ප්‍රදර්ශනය පමා වුණා.

ඔබ දකින්න ලැබුණෙම රජ කාලේ චරිතවලින්. එයට හේතුව කුළුඳුල් රංගනය සම්මානයට පාත්‍ර වීම ද ?

මං හිතන්නේ මගේ පෙනුමයි ඒකට හේතුව. ඒ නිසා මාව තල්ලු වුණේම රජ කතාවලට. ඒකත් වෙනස්ම අත්දැකීමක්. පසුගිය කාලයේ නිෂ්පාදනය වුණේම රජ කතා. නමුත් සුමිත්‍රා රාහුබද්දගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු ‘කන්දක් සේ මා, අරුණ ජයවර්ධනගේ 1942 ලව් ස්ටෝරි, හිතුමතේ ජීවිතේ‘ වගේ චිත්‍රපට කිහිපයකම මම රජ කාලෙන් මිදුණු චරිත තමයි නිරූපණය කළේ.

ඔබ ඉදිරියට එන්නේ පියවරෙන් පියවර. ඒ ගමන් මඟ සිහි කළොත්?

මුලින්ම මම නිරූපණ ශිල්පියෙක් විදියටයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. මට නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළටම ගිහින් සම්මාන ලබා ගන්න හැකි වුණා. ඊටත් පස්සේ වෙළෙඳ දැන්වීමක් හරහා තමයි ‘ආලෝකෝ උදපාදි‘ සිනමා පටයට ආරාධනා ලැබෙන්නේ. ජැක්සන් ඇන්තනී මහතාගේ ‘දස්කොන්, ශ්‍රී රජ‘ වගේම සංජය නිර්මාල්ගේ ‘සංසාර ආරණ්‍ය අසබඩ’ වැනි ටෙලි නාට්‍ය හරහා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් පිවිසීමේ භාග්‍ය උදාවුණා. සංසාර ආරණ්‍ය කියන්නේ මං ගොඩාක් ආස කරපු සයිමන් නවගත්තේගම සූරීන්ගේ නවකතාවක් ඇසුරින් සැකසුණු නිර්මාණයක්. මං ආසම කළ ‘ආගන්තුකයාගේ‘ චරිතය රඟපාන්න ලැබීම වගේම එය සම්මානයට නිර්දේශ වීමත් ලොකු සතුටක්. ඒ වගේම ‘ශ්‍රී රජ’හි චරිතයත් සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා. ඊට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘බිම්බාදේවී හෙවත් යශෝධරා‘, ‘ෆේස් ටු ෆේස්’, ‘ෂෙරීනා’ සඳහා දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.

ඒ වගේම අශෝක ආතාවුදහෙට්ටිගේ ‘කන්දක් සේ මා’, අරුණ ජයවර්ධනගේ ‘1942 ලව් ස්ටෝරි’, අද්මිරාල් සරත් වීරසේකරගේ ‘ශ්‍රී සිද්ධා, ‘යාත්‍රා’, ‘ඉත්තා’ ඉදිරියට එන්න තියෙන නිර්මාණ.

රජ කාලෙ නිර්මාණවල සටන් ජවනිකා තමයි බහුල. ඒ අත්දැකීම් ගැන සඳහන් කළොත්?

මුල්ම සිනමා අත්දැකීම මට අභියෝගයක් වුණා. ‘ආලෝකෝ උදපාදී’ සඳහා අංගම්පොර සටන් කලාව යොදා ගත්තේ. සුමුදු අමල්ක කියන ගුරුතුමා යටතේ බොහෝ හැදෑරීම් කළා. එහිදී විශාල පිරිසක් එක්කයි අපට සටන් කරන්න තිබුණේ. ඒ සටන් කලාවේදී ජවය, ශක්තිය තමා වැදගත්. ගොඩක් තුවාලවීම්, කැපීම්, සීරීම් වුණා. ආධුනිකයෙක් විදියට හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණ නිසා ලොකු අපහසුවක් දැනුණේ නැහැ. මං ලොකු කැපවීමක් කළ චිත්‍රපටයක්. අවසානයේ සම්මානයට පාත්‍රවීම මගේ ගමනට උත්ප්‍රේරකයක් වුණා.

ඒ වගේම සැප්.15 ප්‍රදර්ශනය ඇරඹුණු ‘හිතුමතේ ජීවිතේ‘ හි සුමතිපාලගේ චරිතයත් මං පෞද්ගලිකව ලොකු කැපවීමක් කළ චරිතයක්. මෙය 1970 ලංකාවේ සිදුවුණු සත්‍ය සිදුවීමක් අලළා නිර්මාණය වූවක්. උදේනි සමන් කුමාරගේ ‘හිතුමතේ ජීවිතේ’ නවකතාව ඇසුරින් ඉන්දික අතුල ප්‍රියන්ත තිර රචනය කළ මෙය ගෘෘප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරිගේ අධ්‍යක්ෂණයක්. සුමතිපාල කියන්නේ හදිසියේම අතුරුදන් වුණු තම ආදරණීය නැගණිය සෙවීමට බොහෝ වෙහෙසක් දරන අයියා කෙනෙක්. සියලු බලාපොරොත්තු බිඳ වැටුණු පසු නීතියේ ද පිළිසරණක් නොමැති තැන සමාජයට එරෙහිව නැඟී සිටින චරිතයක්. මං ආදරේ කරන ප්‍රවීණයන් බොහෝ දෙනෙකු සහභාගී වුණු නිර්මාණයක්.

බොහෝ කාලයක් එංගලන්තයේ ගත කළ ඔබ රජ කාලේ චරිතවල හෙළ බස හැසිරවීමේ දී අපහසුතාවට ලක්වුණේ නැද්ද?

මං මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය සඳහා තමයි මං විදෙස්ගත වුණේ. ඒ නිසා ලොකු ගැටලුවක් මතු වුණේ නැහැ.

ජනප්‍රිය කඩවසම් නළුවෙකුට ආදරණීය අත්දැකීම් නැති වෙන්න බෑනෙ. ඒ ගැන මතක් කළොත්..?

මට ආදරවන්තියක් ඉන්නවා. මේ දවස්වල එයා රැකියාවේ කටයුතු සඳහා විදෙස්ගතවෙලා ඉන්නේ. ඇයත් බොහෝම බලාපොරොත්තුවෙන් හිටියා ‘හිතුමතේ ජීවිතේ’ ප්‍රදර්ශනය වෙනතුරු. මගේ කලා කටයුතුවලට ඇය ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන්ම චරිත අධ්‍යයනය කිරීමේ දී ඒ චරිත ගැන තොරතුරු හොයාගන්න ඇය මට ගොඩක් උදවු කළා. මගේ කලා කටයුතුවලට ඇය ලොකු ශක්තියක්.

 

Comments